Friday, January 30, 2015

ඔස්කාර් සම්මාන උලෙළට චෝදනා -2015/01/31 - තරුණයා

ඔස්කාර් සම්මාන උලෙළට චෝදනා

ලබන පෙබරවාරි මස 22 වැනිදා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදී පැවැත්වීමට නියමිත ඔස්කාර් සම්මාන උලෙළේදී සම්මානයට නිර්දේශ වී ඇති නම් පසුගිය සතියේ ප්‍රකාශයට පත්විණ.කෙසේ වෙතත් ඒවා අතරින් ප්‍රධාන සම්මාන සම්මාන කීපයකට අදාළ සුදුසුම වූ නම් කිහිපයක්ම මීට ඇතුළත්ව නොමැති බවට මේ වන විට චෝදනා එල්ල වී ඇත.මේ ඒ පිළිබඳ තබනා සටහනකි.

හොඳම නළුවා ?

ඇමෙරිකානු මානව හිමිකම් වෙනුවෙන් සටන් වැදුණු මාටින් ලූතර් කිංග්ගේ චරිතාපදානය රැගත් Selma චිත්‍රපටයට හොඳම නළුවා සම්මාන හිමි විය යුතු බව ඇතැම් විචාරකයන්ගේ අදහසයි. බ්‍රිතාන්‍ය නළු ඔයෙලෝවෝ මෙවර හොඳම නළුවා සම්මානය සඳහා සුදුසුව තිබු චිත්‍රපට නළුවකු බව පවසන ඔවුන් එය වසරේ හොඳම චිත්‍රපට රූපණයන්ගෙන් එකක් ලෙසද සළකයි.එහෙත් පිට පිට තෙවැනි වතාවටත් බ්‍රෑඩ්ලි කූපර් විසින් American Sniper චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් මෙම සම්මානයට නිර්දේශ වී සිටී. එසේම Nightcrawler චිත්‍රපටයේ රංගනය  වෙනුවෙන් ජේක් ගයිලෙන්හාල්ද මෙම සම්මානයට නිර්දේශ වන්නට තිබූ බව සමහරුන්ගේ අදහසයි.ඔවුන් ගයිලෙන්හාල් සංසන්දනය කරනු ලබන්නේ රොබට් ඩි නිරෝ සමගිනි. එනම් Taxi Driver චිත්‍රපටයේ රොබට් ඩි නිරෝ විසින් ට්‍රැවිස් බික්ල් ලෙසින් යෙදෙනා රංගනය, ගයිලෙන්හාල්ට සමපාත වේ.එහෙත් ගයිලෙන්හාල් දායක වන්නේ දරුණු අපරාධයක් පසුපස හඹායන අභීත ජනමාධ්‍යවේදියෙකු වන ලොයි බ්ලූම්ගේ චරිතයටයි. මේ අතර The Grand Budapest Hotel චිත්‍රපටයේ සිත්ගන්නා හාස්‍යජනක රංගනයක නිරත වූ රැල්ෆ් ෆියන්ස්ද මෙම ලැයිස්තුවේ නොමැති වීම විස්මය දනවන්නක් වී ඇත.

හොඳම සහාය නිළිය ?

සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ ඩේවිඩ් ෆින්චර්ගේ අධ්‍යක්ෂණයක් වන Gone Girl චිත්‍රපටයේ නික්ගේ සහෝදරිය (බෙන් ඇෆ්ලෙක්ගේ සහෝදරිය) ලෙසින් කේරි කූන් කළ රංගනය කලෙකින් දුටු සුපිරි ගණයේ රංගනයක් බව ඇතැම් විචාරකයන්ගේ මතය වන අතර එබැවින් ඇය මෙම ලැයිස්තුවට ඇතුළත් නොවීම පුදුමයට කරුණක් බව ඔවුන්ගේ අදහසයි.

ගිලිහිණු ප්‍රථම කළු ජාතික අධ්‍යක්ෂවරිය

මාටින් ලුතර් කිංග්ගේ ජීවිතයේ තීරණාත්මක වසරක් වන 1965 වසරේ සිදුවුණු සිදුවීම් පෙළක් අලළා නිපැයුණු Selma චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ඈවා ඩුවර්නේගෙනි.ඇය මෙම සම්මානයට නිර්දේශ වූයේ නම් කළු ජාතික කාන්තාවක් ඔස්කාර් සම්මාන උලෙළේදී හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානයට නිර්දේශ වූ ප්‍රථම අවස්ථාව ලෙස මෙය සටහන් වීමට ඉඩකඩක් පැවති අතර එය එසේ නොවුණේ මන්ද යන්න ප්‍රශ්නකාරී තත්ත්වයක් වී ඇත.

Life Itself නැහැ ?

විවාදාත්මක විචාර පළ කළ ඇමෙරිකානු විචාරකයකු වන රොජර් එබර්ට්ගේ ජීවිතයේ වැදගත් අවස්ථා අලළා නිර්මාණය වුණු Life Itself චිත්‍රපටය,ස්ටීව් ජේම්ස්ගේ අධ්‍යක්ෂණයකි.විශේෂයෙන්ම එබර්ට්ගේ විචාරක කලාව පිළිබඳ අපූරු ගවේෂණයක් සිදුකර ඇති මෙහිදී එබර්ට්ගේ වෘත්තියමය ජීවිතය,ඇල්කොහොල් සමගින් ඔහු කළ සටන ආදිය විමර්ශනාත්මක වාර්තාකරණයකට බඳුන් කර ඇති මෙම වාර්තාමය චිත්‍රපටය හොඳම වාර්තා චිත්‍රපටයට හිමි සම්මානය සඳහා නිර්දේශ නොවුයේ මන්ද යන්න මේ වන විට මතභේදයට තුඩු දී ඇත.


මාලන් විදානපතිරණ  

වෘත්තියමය තත්ත්වයක් නැති නාට්‍ය කලාවට ඉදිරියේදී හෝ රැකවරණයක් ඇතිවිය යුතුමයි- බුද්ධික දමයන්ත -2015/01/23

වෘත්තියමය තත්ත්වයක් නැති නාට්‍ය කලාවට ඉදිරියේදී හෝ රැකවරණයක් ඇතිවිය යුතුමයි.

- ප්‍රවීණ නාට්‍යවේදී බුද්ධික දමයන්ත

මාලන් විදානපතිරණ

පාදඩයා, පළිඟු රෑන, දවස තාම ගෙවුණෙත් නෑ, බන්සි මැරිලා නැහැ, අපේ පන්ති කාමරය, උතුරු කොනට පටු පාරක්, පුතා එනකං,හෙටක් නැති රටක් ආදී නිර්මාණ රැසක් වේදිකා ගත කළ බුද්ධික දමයන්ත, අධිපතියාගේ මරණ මංචකය නාට්‍යය සඳහා රාජ්‍ය සම්මාන ද හිමිකර ගත් නාට්‍යකරුවෙකි.සිංදු කිරිල්ලී“ නාට්‍යය වෙනුවෙන් 2012 වසරේ හොඳම නාට්‍යය,හොඳම නිළිය,හොඳම නළුවා සහ හොඳම පිටපතට යන සියලු සම්මාන දිනා ගත් ඔහු,පසුව පැවැති ආසියාවේ විශාලතම නාට්‍ය උත්සවය වන 16 වැනි අන්තර්ජාතික නාට්‍ය උලෙළ නියෝජනය කිරීමටද වාසනාවන්ත වූයෙකි.(ඉන්දියාවේ නවදිල්ලි නුවරදි පැවැති එම උත්සවයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ වේදිකා නාට්‍ය දෙකෙන් එකක් වීමට සිංදු කිරිල්ලී* සමත් විය.) ඒ අනුව දැන් බුද්ධික තවත් අලුත් වේදිකා නාට්‍යයක් කරළියට ගෙන ඒමට සූදානමින් සිටී. නිරන්තරයෙන්ම නාට්‍යකරණයේ නියැලෙන බුද්ධිකගේ, 19 වැනි නාට්‍ය නිර්මාණය මෙය වන අතර රූ චලන ප්‍රඩක්ෂන්ස් නිපැයුමක් වීමද සුසිල් වික්‍රමසිංහගේ ඉදිරිපත් කිරීමක් වීමද   සුවිශේෂී විශේෂත්වයකි.  මේ ඒ පිළිබඳ ඔහු පිළිබඳ කළ කතාබහකි.

තුන් මෝල්ලු කියන්නේ මම මෙතෙක් නිර්මාණය කළ නාට්‍ය නිර්මාණවල වඩා වෙනස් ආරක් ගත් නිර්මාණයක්. දේශපාලනික ප්‍රහසනයක් කිව්වොත් වඩා නිවැරදියි.මේක මටත් අලුත් අත්දැකීමක්.දක්ෂ නාට්‍ය සංවිධායකවරයෙක් වන සුසිල්ට තමයි මේ සඳහා හුඟක්ම උනන්දුව තිබුණේ. ලංකාව පුරාම වේදිකාගත කරවන හොඳ පිටපතක් සහිත හොඳ වැඩක් මාත් එක්ක එකතුවෙලා කරන්න තමයි ඔහුට ඕනැ කරලා තිබුණේ.රජන්ත ජයසිංහ නිෂ්පාදකවරයා යටතේ මේ වේදිකා නාට්‍යය නිෂ්පාදනය වීමත් මට අලුත් අත්දැකීමක් වුණා.* බුද්ධික කතාව ඇරඹුවේය.

පසුගිය කාලය පුරාවටම ඔබ නිෂ්පාදනය කළේ පරිවර්තන නාට්‍ය.ඇයි එයින් මිදෙන්න හිතුවේ ?

එහෙම දෙයක් නැහැ.මේ නාට්‍යයෙත් විදෙස් නාට්‍ය කීපයකම ඡායාවක් තිබෙනවා.බ්‍රිතාන්‍ය ප්‍රහසන නාට්‍යකරුවකු වන රේ කූනි සහ ඇමෙරිකානු ප්‍රහසන නාට්‍යකරුවකුගේ නාට්‍යයක ආභාසය මීට ලැබුණා.ඒ අනුව තමයි මේ නාට්‍යය මා අතින් ලියැවෙන්නේ.ඒත් ලංකාවේ පසට අනුගත කරලයි මෙහි චරිත ගලපා තියෙන්නේ.

නාට්‍යයේ කතා තේමාව ගැන කතා කළොත් ?

කොළඹ අවට කුලී නිවසක කසය නමින් විකල්ප පුවත්පතක් පවත්වාගෙන යන තරුණ මාධ්‍යවේදීන් දෙදෙනෙක් සහ එම කුලී නිවස අවට පදිංචියට එන රූමත් කාන්තාවක් අතර දෝලනය වන සිදුවීම් මාලාවක් තමයි මෙහි ප්‍රධාන කතාවට පාදක වෙන්නේ.ඒත් පවතින දේශපාලන ප්‍රහසන  නාට්‍ය ධාරාවට වඩා වෙනස් ආකෘතියකින් තමයි අපි මේ නාට්‍යය ඉදිරිපත් කරලා තියෙන්නේ.විශේෂයෙන්ම මෙහිදී අපි සම කාලීන දේශපාලනමය, සමාජමය, ආර්ථිකමය ආදී පැති ගණනාවක් ඔස්සේ කතා කරන්න උත්සාහ දැරුවා.

සම කාලීන දේශපාලනය වත්මන් නාට්‍යකරණය තුළ බහුල ලෙස තේමා සඳහා යොදා ගන්නක් බවට පත්වෙලා.ඒත් මෙයින් හැඟෙන්නේ නාට්‍යකරුවන්ට සර්වකාලීනමය නාට්‍ය කරන්න බැහැ කියන එක නෙමෙයිද ?

නාට්‍යකරුවා නාට්‍යයක් ලියන්නේ සමකාලීන,සර්වකාලීන ආදී වශයෙන් හිතලා නෙමෙයි.සමහර වෙලාවට අදට නොගැලපෙන නාට්‍යයක් හෙටට ගැලපෙන්න ඉඩකඩ තියෙනවා.ඒ වගේ ඉතා ඉක්මනින් වෙනස් වන සමාජ ක්‍රමයක තමයි අපි ජීවත්වෙන්නේ.ඒ නිසා නාට්‍යයක් ගැන කතා කරද්දී එහි සර්වකාලිනමය වගේම සමකාලීනමය ලක්ෂණත් තියෙනවා.අදට ගැලපෙන විදිහට නෙමෙයි නාට්‍යය හෙටට ගලපා ගැනීම සිදුවෙන්නේ.අනික මගේ අලුත් නාට්‍යයේදී පවා අපි හසුකර ගන්නේ විදෙස් නාට්‍යකරුවන්ගේ නාට්‍ය ශිල්ප ක්‍රම. ඒ ආභාසයයි අපි ලබා ගත්තේ.ඒ නිසා අදාළ කතා තේමාවට සමාජය දෙන හැඩතලය මත තමයි නාට්‍යයේ පැවැත්ම තීරණය වෙන්නේ.ක්‍රි.පූ. 3000කටත් පෙර ලියැවුණු ඇතැම් ග්‍රීක නාට්‍ය අදත් ප්‍රතිනිර්මාණය වෙන්නේ මේ හින්දයි.අනික කලා කෘතිවලින් කෙරෙන්නේ සමාජය වෙනස් කරන එක නෙමෙයි.සමාජය ගවේෂණය කරන එකයි.


පැවතුණු දේශපාලන ක්‍රමය යටතේ කලාකරුවන් පවා ඊට එරෙහිව සටන් කළා.ඔබත් මෙහි කොටස්කරුවෙක් නේද ?

අපිට ඒක කරන්න සිදුවුණා.ඒ වෙනසට දැන් අපි ආරම්භයක් අරගෙන තිබෙනවා. එතැනින් එහා නාට්‍යකරුවන්ට විශාල වගකීම් කොටසක් තියෙනවා ඉටු කරන්න.ඒ සඳහා සියලුම නාට්‍යකරුවන් දැන් පෙළගැසිය යුතුයි.  එහෙම වුණොත් තමයි අපේ නාට්‍යයත් මිනිස්සු දකින්නේ. එහෙම නැත්නම් රැල්ලට යන නාට්‍ය කියා පෝස්ටර් ගහන නාට්‍ය පමණයි ප්‍රේක්ෂකයෝ දකින්නේ.මොකද අද තරුණ නාට්‍යකරුවන්ගේ හොඳ නාට්‍ය ඔක්කොම තියෙන්නේ ගෙදර.එහෙම තත්ත්වයක් තමයි අද නාට්‍ය කලාවට උදාවෙලා තියෙන්නේ.නාට්‍ය කරන්න එපා කියන සමාජයක් තමයි තාමත් තියෙන්නේ.එහෙම අත ඇරලා දාපු කලාවක් තමයි මේක.ඉතින් වෘත්තියමය තත්ත්වයක් නැති නාට්‍ය කලාවට ඉදිරියේදී හෝ රැතකවරණයක් ඇතිවිය යුතුමයි.අනික අපි අපේ ජීවිතයේ හොඳම කාලය ගෙව්වේ වේදිකාවත් එක්ක.ඒත් මම අවුරුදු දහයක් තිස්සේ මගේ නාට්‍ය 15ක් ඇතුළත් නාට්‍ය උලෙළක් කරන්න උත්සාහ දැරුවා.ඒත් එහෙම දේකට වත්මන් සමාජයේ අනුග්‍රහයක් තියෙනවද ? නමුත් පහුගිය කාලේ කලාවේ සංවර්ධනයට කියලා මෙගා ව්‍යාපෘති නම් හුඟක් දියත් වුණා.ඒවාට කෝටි ප්‍රකෝටි ගණන් වෙන්වුණා.මම මගේ හෙටක් නැති රටක්“ නාට්‍යය හරහා කතා කළේත් ඔළු මාරුවෙන තක්කඩි දේශපාලනය ගැන තමයි.





  
 



Look Who's Talking Now පෙබරවාරි මස 01 වැනිදා රාත්‍රී 06.45


Look Who's Talking Now
පෙබරවාරි මස 01 වැනිදා රාත්‍රී 06.45                              

HBO Family නාලිකාවෙන්

මාලන් විදානපතිරණ

1989 වසරේ තිරගත වූ Look Who's Talking හාස්‍ය චිත්‍රපට මාලාවේ තෙවැනි සහ අවසන් නිර්මාණය වන  Look Who's Talking Now , 1993  වසරේ තිරගත වූ සිනමාපටයකි. චිත්‍රපටය ටොම් රෝප්ලෙව්ස්කිගේ අධ්‍යක්ෂණයකි. ඇමී හෙකර්ලින්ග් විසින් චරිත ගොඩනැගූ මෙහි තිර රචනයද අධ්‍යක්ෂ රෝප්ලෙව්ස්කිගෙන්ම වීම කැපී පෙනේ. චිත්‍රපටයේ ප්‍රධාන කතා තේමාව ගලා යන්නේ සුරතලුන් කතා කිරිමට පටන් ගැනීමත්, උබ්රිකෝ පවුල විසින් තමන්ගේ සුරතලුන්ගේ අයිතිකරුවන් සොයාගැනීමවටාය. ජෝන් ට්‍රැවෝල්ටා,ක්‍රිස්ටි ඇලේ,ඩේවිඩ් ගැලගර් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙහි සියලු රූගතකිරිම් කැනඩාවේ සිදුවිණ. මෙහි කැමරා ඇස ඔලිවර් ස්ටැපල්ටන්ගෙනි.මෙහි සිනමා සංගීතය සුපිරි සිනමා සංගීතඥ විලියම් රෝස්ගෙනි. කෙසේ නමුත් මීට පෙර චිත්‍රපටය තරම් මෙම චිත්‍රපටය සාර්ථක නොවූ බව විචාරක මතයයි.


Silverado ජනවාරි මස 31 වැනිදා රාත්‍රී 08.30

Silverado

ජනවාරි මස 31 වැනිදා රාත්‍රී 08.30                                 

Cinemax නාලිකාවෙන්

මාලන් විදානපතිරණ
1985 වසරේදී තිරගත වූ ක්‍රියාදාම සිනමාපටයක් වන අතර ලෝරන්ස් කැස්ඩන්ගේ අධ්‍යක්ෂණයකි. මෙහි තිර රචනයද අධ්‍යක්ෂ ලෙවෙන්ගෙන් සහ මාක් කැස්ඩෙන්ගෙන් වීමද කැපී පෙනේ. මෙම චිත්‍රපටයේ ප්‍රධාන කතා තේමාව ගලා යන්නේ සිල්වරාඩෝ නම් නගරයට පැමිණෙන පුද්ගලයන් හතරදෙනෙකු මුහුණදෙන අනපේක්ෂිත සිදුවීම් සමුදායක් අනුව අවදානමකට ලක්වීමත් අනුව ඉනික්බිති මෙම කුඩා නගරයෙන් පිටවන විට ඔවුන් මුහුණදෙන සිදුවීම් පෙළක් අරබයාය. මෙහි සියලු රූගතකිරිම් ඇමෙරිකාවේ නිව්මෙක්සිකෝ ආදී නගවල සිදුවිණ. මෙහි කැමරා ඇස ජෝන් බේලිගෙනි. එම වසරේ පැවැති ඔස්කාර් සම්මාන උලෙළේදී වසරේ හොඳම සංගීතයට හිමි සම්මානය පවා නිර්දේශිත මෙහි සිනමා සංගීතය සුපිරි සිනමා සංගීතඥ බෘස් බ්‍රවුටන්ගෙනි. අධ්‍යක්ෂ කැස්ඩන් විසින් කෙවින් කොස්නර්,කෙවින් ක්ලයින්,ස්කොට් ග්ලේන් ආදී රූපණ ශිල්පීන් හරහා කෙතරම් දුරට සිනමා ව්‍යාකරණය යොදාගෙන ඇත්දැයි වැඩි අවධානයකට ලක්වූ විචාරක පැසසුමට ලක්වූ මෙම චිත්‍රපටය ඇ.ඩො. මිලියන 23ක පිරිවැයක් දරමින් නිපැයූ නමුදු බොක්ස් ඔෆිස් අතින්ද අති සාර්ථක වූ අතර එය ඇ.ඩො. මිලියන 33කට ආසන්න ආදායමක් උපයා ගැනීමටද සමත් විය.


Don Juan DeMarco ජනවාරි මස 30 වැනිදා රාත්‍රී 10.30

Don Juan DeMarco
ජනවාරි මස 30 වැනිදා රාත්‍රී 10.30                                 

HBO Family නාලිකාවෙන්

මාලන් විදානපතිරණ

ලොව බිහිවූ සුපිරිතම ඇමෙරිකානු සිනමා නළුවන් දෙදෙනෙකු වන මාලන් බ්‍රැන්ඩෝ සහ ජොනී ඩෙප් එකම සිනමාපටයක දැකගත හැකි දුලබ අවස්ථාවක් ලෙස සටහන් කළ හැකි Don Juan DeMarco චිත්‍රපටය 1994 වසරේ තිරගත වූවකි. ඇමෙරිකානු සිනමා නිර්මාණයක් වන මෙය, හාස්‍ය සිනමාපටයක් වන අතර ජෙරමි ලෙවෙන්ගේ අධ්‍යක්ෂණයකි. මේ සඳහා Don Juan DeMarco and the centerfold ලෙසින් අධ්‍යක්ෂ ලෙවෙන් විසින්ම රචනා කරන ලද කෙටි කතාවක්ද, 18 වන සියවසේ ප්‍රකට බ්‍රිතාන්‍ය කවියෙකු වන ලෝඩ් බයිරන් හෙවත් ජෝර්ජ් ගෝර්ඩ්න් බයිරන් විසින් රචනා කරන ලද Don Juan  නම් ඓතිහාසික කාව්‍යයද බලපා ඇත. එහෙත් මෙහි තිර රචනයද අධ්‍යක්ෂ ලෙවෙන්ගෙන්ම වීම කැපී පෙනේ. එම වසරේ පැවැති ලන්ඩන් විචාරක සම්මාන උලෙළේදී ජොනී ඩෙප් විසින් වසරේ හොඳම නළුවා සම්මානය පවා හිමිකර ගැනීමට සමත් වූ මෙම චිත්‍රපටයේ ප්‍රධාන කතා තේමාව ගලා යන්නේ සිය දිවි නසා ගැනීමට උත්සාහ දරනා දොන් ජුවාන් නම් 21 හැවිරිදි තරුණයකු සහ ජුවාන්ගේ ජීවිතයට සවන් දෙන මනෝ චිකිත්සකවරයකු වන ජැක් මික්ලර් වටාය. මෙහි සියලු රූගතකිරිම් ඇමෙරිකාවේ සිදුවිණ. මෙහි කැමරා ඇස රැල්ෆ් බෝඩ්ගෙනි.මෙහි සිනමා සංගීතය සුපිරි සිනමා සංගීතඥ මයිකල් කැමෙන්ගෙනි. විචාරකයන්ගේ ඇගයුමට බඳුන් වූ මෙම චිත්‍රපටය ඇ.ඩො. මිලියන 25ක පිරිවැයක් දරමින් නිපැයූ නමුදු බොක්ස් ඔෆිස් අතින්ද අති සාර්ථක වූ අතර එය ඇ.ඩො. මිලියන 70කට ආසන්න ආදායමක් උපයා ගැනීමටද සමත් විය.


The Mexican ජනවාරි මස 29 වැනිදා රාත්‍රී 10.30

The Mexican

ජනවාරි මස 29 වැනිදා රාත්‍රී 10.30                                 

HBO Signature නාලිකාවෙන්

මාලන් විදානපතිරණ

2001 වසරේ තිරගත වූ ඇමෙරිකානු සිනමා නිර්මාණයක් වන The Mexican, හාස්‍ය සිනමාපටයක් වන අතර ගෝ වර්බින්ස්කි අධ්‍යක්ෂණයකි. මෙහි තිර රචනය ජේ.එච්. වයිමන්ගෙනි. නිදහස් චිත්‍රපටයක් ලෙස නිෂ්පාදන කටයුතු ඇරඹි මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා දායකත්වය ලබා දෙන්නේ සම්මානනීය නළු බ්‍රැඩ් පිට් සහ ජූලියා රොබට්ස්ය.තමන්ගේ අපරාධ කල්ලියේ ප්‍රධානියාගේ අණක් පරිදි ජෙරී වෙල්බැක්, පැරැණි පිස්තෝලයක් ගෙන ඒමට මෙක්සිකෝවට යෑමත්,තමන්ගේ පෙම්වතියගේ තමන්ගේ කල්ලියෙන් ඉවත්ව යාමට අරඇඳීමත් වටා ගෙතෙනා මෙහි සියලු රූගතකිරිම් ඇමෙරිකාවේ සහ මෙක්සිකෝවේ සිදුවිණ. මෙහි කැමරා ඇස ඩාරියස් වොල්ස්කිගෙනි.මෙහි සිනමා සංගීතය සුපිරි සිනමා සංගීතඥ ඇලන් සිල්වෙස්ට්‍රිගෙනි. විචාරකයන්ගේ ඇගයුමට බඳුන් වූ මෙම චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයක් නිරූපණය කරනා ජේම්ස් ගැන්ඩොල්ෆිනි සහ රොබට්ස් අතර පැවැති දර්ශන විශේෂ අවධානයක් දිනා ගැනීමට සමත් වූ අතර ඔවුන් අතර සිදුවන දෙබස් අඩංගු දර්ශන මෙම චිත්‍රපටය නැරඹිය යුතුම නිර්මාණයක් වන බව බොහෝ විචාරකයන්ගේ මතයයි.කෙසේ වෙතත් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනා රොබට්ස් සහ පිට් හට අවසානයේදි සිදුවන සංසිද්ධිය අපේක්ෂා භංගත්වයට පත් කරන බව පවසන ඇතැම් විචාරකයන් එසේ වුවත් ඔවුන්ගේ රංගනය ඉහළ මට්ටමක පැවැති බව පවසති. ඇ.ඩො. මිලියන 57ක පිරිවැයක් දරමින් නිපැයූ නමුදු බොක්ස් ඔෆිස් අතින්ද අති සාර්ථක වූ මෙම චිත්‍රපටය ඇ.ඩො. මිලියන 150කට ආසන්න ආදායමක් උපයා ගැනීමටද සමත් විය.


Cruel Intentions ජනවාරි මස 28 වැනිදා රාත්‍රී 07.00

Cruel Intentions

ජනවාරි මස 28 වැනිදා රාත්‍රී 07.00                                

HBO Hits නාලිකාවෙන්

මාලන් විදානපතිරණ

1999 වසරේ තිරගත වූ ඇමෙරිකානු සිනමා නිර්මාණයක් වන Cruel Intentions, නාට්‍යමය සිනමාපටයක් වන අතර රොජර් කුම්බ්ලේ අධ්‍යක්ෂණයකි.1782 වසරේ පියරේ චෝඩර්ලස් විසින් ලියූ Les Liaisons dangereuses නවකතාව ඇසුරින් නිපැයුණු, මෙහි නව තිර රචනය කුම්බ්ලේගෙන්මය. නිදහස් චිත්‍රපටයක් ලෙස කුඩා පිරිවැයක් තුළින් නිෂ්පාදන කටයුතු ඇරඹි මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා දායකත්වය ලබා දෙන්නේ සාරා මිචෙලි ජෙලර්, රයන් පිලිප්, රීස් විදර්ස්පූන් සහ සෙල්මා බ්ලෙයාර්ය. කැත්‍රින් සහ හදා ගැනීමට ගත් සුළු සහෝදරයා වන සෙබස්තියන් සහ ඇනට් වටා ගෙතෙන වෙනස්ම ආකාරයේ මානුෂික සංස්පර්ශයක් ගෙනහැර පානා මෙහි සියලු රූගතකිරිම් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරය අවට සිදුවිණ. මෙහි කැමරා ඇස තියෝ වෑන් ඩි සෑන්ඩ්ගෙනි.මෙහි සිනමා සංගීතය සුපිරි සිනමා සංගීතඥ එඩ්වඩ් ෂියමර්ගෙනි. විචාරකයන්ගේ ඇගයුමට මෙන්ම විවේචනයද බඳුන් වූ මෙම චිත්‍රපටය,ඇ.ඩො. මිලියන 10.5ක පිරිවැයක් දරමින් නිපැයූ නමුදු බොක්ස් ඔෆිස් අතින් අති සාර්ථක වූයේ ඇ.ඩො. මිලියන 80කට ආසන්න ආදායමක් උපයා ගනිමිනි.


Flightplan ජනවාරි මස 27 වැනිදා රාත්‍රී 08.00

Flightplan

ජනවාරි මස 27 වැනිදා රාත්‍රී 08.00                                

HBO නාලිකාවෙන්

මාලන් විදානපතිරණ

2005 වසරේ තිරගත වූ ඇමෙරිකානු සිනමා නිර්මාණයක් වන Flightplan, අභිරහස් ගණයේ සිනමාපටයක් වන අතර ජර්මානු චිත්‍රපට අධ්‍යක්ෂ රොබට් ෂුවෙන්ට්කි අධ්‍යක්ෂණයකි.1938 වසරේ තිරගත වූ The Lady Vanishes චිත්‍රපටය ඇසුරින් නිපැයුණු මෙහි නව තිර රචනය පීටර් ඒ. ඩෝව්ලින්ග් සහ බිල් රේගෙනි. ජර්මානු - ඇමෙරිකානු සම නිපැයුමක් ලෙසින් තිරගත වූ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා දායකත්වය ලබා දෙන්නේ ජෝඩි ෆෝස්ටර්,පීටර් සාර්ස්ගාර්ඩ්,එරිකා ක්‍රිස්ටෙන්සන්, ෂෝන් බියාහාන්, සහ ෂෝන් බීන්ය. තම සැමියාගේ මෘත දේහයට අවසන් ගෞරව දක්වා ජර්මනියේ සිට නිව්යෝර්ක් බලා යන  කයිලේ ප්ලැට්ගේ දියණිය,අනපේක්ෂිත ලෙස අතුරුදහන් වීම වටා ගෙතෙනා  මෙහි සියලු රූගතකිරිම්  ජර්මනියේ සැක්සනි,බර්ලින් යන නගරවලද ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේද සිදුවිණ. මෙහි කැමරා ඇස ෆ්ලෝරියන් බෝල්හවුස්ගෙනි.මෙහි සිනමා සංගීතය සුපිරි සිනමා සංගීතඥ ජේම්ස් හෝනර්ගෙනි. විචාරකයන්ගේ එතරම් ඇගයුමට ලක් නොවූ මෙම චිත්‍රපටය,ඇ.ඩො. මිලියන 50ක පිරිවැයක් දරමින් නිපැයූ අතර බොක්ස් ඔෆිස් අතින් අති සාර්ථක වූයේ ඇ.ඩො. මිලියන 220කට අධික ආදායමක් උපයා ගනිමිනි.


Afflicted ජනවාරි මස 26 වැනිදා රාත්‍රී 10.30

Afflicted

ජනවාරි මස 26 වැනිදා රාත්‍රී 10.30                                 

HBO නාලිකාවෙන්

මාලන් විදානපතිරණ
2013 වසරේ තිරගත වූ කැනේඩියානු සිනමා නිර්මාණයක් වන Afflicted, අද්භූත ගණයේ සිනමාපටයක් වන අතර ඩෙරෙක් ලී සහ ක්ලිෆ් ප්‍රවුස්ගේ සම අධ්‍යක්ෂණයකි.ජනප්‍රිය නවකතාකරුවකු වන ඉයන් මැක්එවන් විසින් 2001 වසරේදී මෙනමින්ම රචිත නවකතාවක් ඇසුරින් නිපැයුණු මෙහි නව තිර රචනය ක්‍රිස්ටෝපර් හැම්ප්ටන්ගෙනි. ටොරොන්ටෝ චිත්‍රපට උලෙළේදී හොඳම කැනේඩියානු චිත්‍රපටයට හිමි විශේෂ ජූරියේ සම්මානය දිනා ගත් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා දායකත්වය ලබා දෙන්නේද මෙහි අධ්‍යක්ෂවරුන් දෙපළ වන ලී සහ ප්‍රවුස් වීමද සුවිශේෂී විශේෂත්වයකි. යුරෝපයේ සංචාරය කරනා අඹ යහළුවන් දෙදෙනෙකු මුහුණදෙන ත්‍රාසජනක සිදුවීම් පෙළක් වටා ගෙතෙනා  මෙහි සියලු රූගතකිරිම් බ්‍රසීලයේ බාසලෝනා, ප්‍රංශයේ පැරිස් යන නගරවලද, ඉතාලියේද සිදුවිණ. මෙහි කැමරා ඇස නෝර්ම් ලීගෙනි.මෙහි සිනමා සංගීතය එදෝ වෑන් බ්‍රිමන්ගෙනි. විචාරකයන්ගේ ඇගයුමට ලක්වූ මෙම චිත්‍රපටය,තවත් ජාත්‍යන්තර සම්මාන කිහිපයකදිම හොඳම චිත්‍රපටය,හොඳම අධ්‍යක්ෂවරයා,හොඳම තිර රචකයා ආදී සම්මාන දිනා ගැනීමට සමත් විණ.


Atonement ජනවාරි මස 25 වැනිදා රාත්‍රී 09.45


Atonement

ජනවාරි මස 25 වැනිදා රාත්‍රී 09.45                                

HBO නාලිකාවෙන්

මාලන් විදානපතිරණ

2007 වසරේ තිරගත වූ බ්‍රිතාන්‍ය සිනමා නිර්මාණයක් වන Atonement, ලයාන්විත සිනමාපටයක් වන අතර ජෝ රයිට්ගේ අධ්‍යක්ෂණයකි.ජනප්‍රිය නවකතාකරුවකු වන ඉයන් මැක්එවන් විසින් 2001 වසරේදී මෙනමින්ම රචිත නවකතාවක් ඇසුරින් නිපැයුණු මෙහි නව තිර රචනය ක්‍රිස්ටෝපර් හැම්ප්ටන්ගෙනි. චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා දායකත්වය ලබා දෙන්නේ කෙයිරා නයිට්ලි සහ ජේම්ස් මැක්එවෝයිය. දෙවැනි ලෝක යුද සමයේ ධනවත් පවුලක ජීවත් වන බ්‍රයනි ටෙලිස් නම් දහ තුන් හැවිරිදි දැරියක,සිසිලියා නම්  ඇගේ වැඩිමහල් සහෝදරිය සහ රොබී නම් වැඩිමහල් සහෝදරයා වටා ගෙතෙනා කතා වස්තුවකින් සුසැදි මෙහි සියලු රූගතකිරිම් එංගලන්තයේ සිදුවිණ. මෙහි කැමරා ඇස සීමස් මැක්ගාර්වේගෙනි.මෙහි සිනමා සංගීතය දාරියෝ මාරියානෙලිගෙනි.ඇ.ඩො. මිලියන තිහක පිරිවැයක් දරමින් නිපැයූ මෙම චිත්‍රපටය. ඇ.ඩො. මිලියන 130කට ආසන්න ආදායමක් උපයා ගත් අතර විචාරකයන්ගේ කතාබහට ලක්වූ මෙම චිත්‍රපටය වසරේ හොඳම චිත්‍රපට දහය අතරට එක්විය.එසේම 61 වැනි බ්‍රිතාන්‍ය ඇකඩමි සම්මාන උලෙළේදී මෙම චිත්‍රපටය හොඳම චිත්‍රපටය සහ හොඳම නිෂ්පාදන සැලසුම්කරණයට හිමි සම්මාන දිනා ගනිමින් එම සම්මාන උලෙළේදී සම්මාන 14කට නිර්දේශ වූ අතර තවත් ජාත්‍යන්තර සම්මාන රාශියකට නිර්දේශ විණ.්‍ය්‍ය

Good People ජනවාරි මස 24 වැනිදා රාත්‍රී 10.00

Good People

ජනවාරි මස 24 වැනිදා රාත්‍රී 10.00                                 

HBO නාලිකාවෙන්

මාලන් විදානපතිරණ
2013 වසරේ තිරගත වූ ඇමෙරිකානු සිනමා නිර්මාණයක් වන Good People, ත්‍රාසජනක සිනමාපටයක් වන අතර හෙන්රික් රුබන් ජෙන්ස්ගේ අධ්‍යක්ෂණයකි.ජනප්‍රිය නවකතාකරුවකු වන මාකස් සැකේ විසින් 2008 වසරේදී මෙනමින්ම රචිත නවකතාවක් ඇසුරින් නිපැයුණු මෙහි නව තිර රචනය කෙලී මාස්ටර්සන්ගෙනි.චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා දායකත්වය ලබා දෙන්නේ කේට් හඩ්සන් සහ ජේම්ස් ෆ්‍රැන්කෝය. ටොම් සහ ඇනා නම් විවාහක යුවළක් ලන්ඩනයේදී ජිවත් වීමේදී මුහුණදෙන අනපේක්ෂිත සිදුවීම් මාලාවක් වටා ගෙතෙනා කතාවකින් සුසැදි මෙහි සියලු රූගතකිරිම් එංගලන්තයේ ලන්ඩන් නුවරදී සිදුවිණ. මෙහි කැමරා ඇස ජෝගෙන් ජොහාන්සන්ගෙනි.මෙහි සිනමා සංගීතය නීල් ඩේවිඩ්ගේගෙනි.


Hannibal - ජනවාරි මස 23 වැනිදා රාත්‍රී 11.45

Hannibal

ජනවාරි මස 23 වැනිදා රාත්‍රී 11.45                                  

HBO  Hitsනාලිකාවෙන්

මාලන් විදානපතිරණ

2001 වසරේ තිරගත වූ ඇමෙරිකානු සිනමා නිර්මාණයක් වන Hannibal, අපරාධ ගණයේ සිනමාපටයක් වන අතර රිඩ්ලේ ස්කොට්ගේ අධ්‍යක්ෂණයකි.ජනප්‍රිය නවකතාකරුවකු වන ස්ටීවන් සයිලින් විසින් මෙනමින්ම රචිත නවකතාවක් ඇසුරින් නිපැයුණු මෙහි නව තිර රචනය ඩේවිඩ් මැමත් සහ නවකතාකරු සයිලියන්ගෙනි.චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා දායකත්වය ලබා දෙන්නේ අන්තෝනි හොප්කින්ග්ස් සමගින් ජුලියන් මෝ ය. 1991 වසරේ තිරගත වූ ඔස්කාර් සම්මානලාභී චිත්‍රපටයක් වන The Silence of the Lambs හි දෙවැන්න ලෙසින් ප්‍රදර්ශනය වූ මෙහි සියලු රූගතකිරිම් ඉතාලිය සහ ඇමෙරිකාව යන රටවල සිදුවිණ. මෙහි කැමරා ඇස ජෝන් මැතිසන්ගෙනි.මෙහි සිනමා සංගීතය හාන්ස් සිමර්ගෙනි.ඇ.ඩො. මිලියන 87ක පිරිවැයක් දරමින් නිපැයූ මෙම චිත්‍රපටය, ඇ.ඩො. මිලියන 350කට අධික ආදායමක් ඉපයූ අතර විචාරකයන්ගේද කතාබහට ලක්වූ සමබර ලෙස ප්‍රතිචාර හිමිකර ගත්තකි.චිත්‍රපටය කොතරම් සාර්ථක වූයේද යත් ඉන් අනතුරුව තවත් චිත්‍රපට දෙකක් මෙම චිත්‍රපට මාලාව යටතේ තිරගත වූ අතර Red Dragon සහ Hannibal Rising එම චිත්‍රපට වේ.


I Give it A Year ජනවාරි මස 21 වැනිදා රාත්‍රී 10.30

I Give it A Year


ජනවාරි මස 21 වැනිදා රාත්‍රී 10.30                                  

HBO නාලිකාවෙන්

මාලන් විදානපතිරණ

2013 වසරේ තිරගත වූ බ්‍රිතාන්‍ය නිර්මාණයක් වන I Give it A Year, හාස්‍ය සිනමාපටයක් වන අතර ඩැන් මේසර්ගේ අධ්‍යක්ෂණයකි. මෙහි තිර රචනයද ඔහුගෙනි.චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා දායකත්වය ලබා දෙන්නේ රෝස් බයිර්න්, රුෆ් ස්පැල්,ඇනා ෆාරිස්,සීමන් බේකර් සහ ස්ටීවන් මර්චන්ට්ය. සචා බාරොන් කොහෙන්ගේ චිත්‍රපට ද්විත්වයක් වන Borat සහ Bruno යන චිත්‍රපටවල තිර රචකයකු ලෙස බොහෝ දෙනා හඳුනා ගත් මේසර්ගේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණය මෙය වන අතර මෙහි සියලු රෑගතකිරිම් එංගලන්තයේ ලන්ඩන් නගරය අවට සිදුවිණ. මෙහි කැමරා ඇස බෙන් ඩේවිස්ගෙනි.මෙහි සිනමා සංගීතය ලැන් එෂ්කෙරීගෙනි. ඇ.ඩො. මිලියන 30කට ආසන්න ආදායමක් ඉපයූ මෙම චිත්‍රපටය විචාරකයන්ගේද කතාබහට ලක්වූ ධනාත්මක ප්‍රතිචාර හිමිකර ගත්තකි.


යුරෝපීය සිනමා උලෙළ හොරණටත් 2015/01/25 - අද

යුරෝපීය සිනමා උලෙළ හොරණටත්

මාලන් විදානපතිරණ


මීට සති කිහිපයකට ඉහතදි කොළඹදි නිමාව දුටු හත්වැනි යුරෝපීය සිනමා සම්මාන උලෙළ ප්‍රථම වතාවට හොරණ නගරයට ගෙන ඒමට කොළඹ විශ්ව විද්‍යාලයීය ශ්‍රීපාලි මණ්ඩපය සමත් විය.පසුගිය ජනවාරි 23 වැනිදා සිට 25 වැනිදා දක්වා පැවැති මීට යුරෝපීය සිනමාව පිළිබඳ කතිකාවතක්ද ඇතුළත්ව තිබීම කැපී පෙනේ. කොළඹ සිනමා ප්‍රේක්ෂක සංඛ්‍යාවට නොදෙවෙනි ප්‍රේක්ෂක සංඛ්‍යාවක් පැමිණි මෙම සිනමා උලෙළ සඳහා අනෝමා රාජකරැණා, තුමිඳු දොඩම්තැන්න, මණ්ඩපාධිපති ආචාර්ය ටියුඩර් වීරසිංහ, සිනමාව පිළිබඳ කථිකාචාර්යවරුන් වන ප්‍රියන්ත ෆොන්සේකා,චතුරිකා නිමලචන්ද්‍ර ආදීහු බොහොමයක් සහභාගි වූහ.University Filmmakers, Agenda 14 සමග සදර්ශි සංවාද කුලකය සංවිධානය කළ මෙම චිත්‍රපට උලෙළලට,විශාල තරුණ සහ පාසැල් ළමුන්ගේ උනන්දුවක් දක්නට ලැබීම කැපී පෙනුණි. මේ එහි සුවිශේෂ අවස්ථා කීපයකි. 

20 වැනි විචාරක සම්මාන උලෙළ 2015/01/19 -තරුණයා - හොලිවුඩ්

20 වැනි විචාරක සම්මාන උලෙළ 

හොඳම චිත්‍රපටය -Boyhood
හොඳම චිත්‍රපට නළුවා - මයිකල් කීට්න්
හොඳම චිත්‍රපට නිළිය - ජූලියන් මෝ

මාලන් විදානපතිරණ

පැවැත්වුණේ

මෙවර හොලිවුඩ් පැලේඩියම්හිදී ජනවාරි මස 15 වැනිදා පැවැත්වුණු 20 වැනි විචාරක සම්මාන උලෙළ, 2014 වර්ෂයේ නිපදවූ චිත්‍රපට වෙනුවෙන් සම්මානය ප්‍රදානය කෙරෙන ප්‍රධාන පෙළේ සම්මාන ප්‍රදානෝත්සවයක් වන අතර මෙහි සම්මාන සඳහා ප්‍රකාශිත නම් පසුගිය දෙසැම්බර් මස 15 වැනිදා ප්‍රකාශයට පත්විණ.

හොඳම චිත්‍රපටය

 ඇමෙරිකානු චිත්‍රපට අධ්‍යක්ෂ ඇලෙජැන්ඩ්රෝ ගොන්සාලේස්ගේ Black Comedy ගණයේ හාස්‍ය චිත්‍රපටයක් වන Birdman මෙවර විචාරක සම්මාන උලෙළේදී හොඳම චිත්‍රපටය වනු ඇතැයි විචාරකයන් පළ කළ අනාවැකිය මෙහිදීද බිඳ වැටුණු අතර සම්මාන 13කට නිර්දේශ වූ එම චිත්‍රපටය අවසානයේදී සම්මාන හතක් දිනා ගැනීමට සමත් විය.එහෙත් ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේ නාට්‍යමය අංශයේ හොඳම චිත්‍රපටය වූ Boyhood චිත්‍රපටය විසින් විචාරක සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගන්නා ලදී.රිචඩ් ලින්ක්ලේටර් විසින් එහි හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානයද දිනා ගන්නා ලදී.මේ අනුව මෙවර සම්මාන අටකට නිර්දේශ වූ Boyhood ‍චිත්‍රපටය, සම්මාන හතරක් දිනා ගැනීමට සමත් වූ නමුත් ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේදී හාස්‍යමය/සංගීතමය අංශයෙන් හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේ ඓතිහාසික කතා පුවතක් රැගත් The Grand Budapest Hotel විසිනි.ඒ මෙම චිත්‍රපටයේ වස්තු විෂය හතළිහ දශකය තරම් ඈතට දිව යන බැවිනි.එය මෙහිදීද හොඳම හාස්‍ය චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේය.

හොඳම නළුවා

මෙවර හොඳම නළුවා සම්මානය සඳහා නිර්දේශිත නාමයන් තියුණූ මුහුණුවරක් ගත් අතර ඒ එහි ප්‍රබල නළුවන් කිහිපදෙනෙකුම රැඳී සිටීම හේතුවෙනි. මේ අතරින් රැල්ෆ් ෆියෙන්ස්,කම්බර්බැච් සහ එඩී රෙඩ්මේන් ඉදිරියෙන්ම සිටි නමුදු අවසානයේදී එහි සම්මානය දිනා ගත්තේ මයිකල් කීට්න් විසිනි. ඒ බර්ඩ්මෑන් චිත්‍රපටයේ රිගෑන් තොම්සන් ලෙසින් කළ රංගනය වෙනුවෙනි.ඔහු මේ වෙනුවෙන් මෙහිදීම හොඳම හාස්‍ය නළුවාට හිමි සම්මානයද දිනා ගත්තේය. නිමා වූ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේ හාස්‍යමය/සංගීතමය අංශයේ හොඳම නළුවා වූයේද ඔහුමය.එහෙත් ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේදී නාට්‍යමය අංශයේ හොඳම නළුවා වූයේ එඩී රෙඩ්මේන්ය.ඒ The Theory of Everything චිත්‍රපටයේ ස්ටීවන් හෝව්කින්ග් ලෙසින් කළ රූපණය වෙනුවෙනි.

හොඳම නිළිය

නිමා වු ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේ හාස්‍යමය/සංගීතමය අංශයෙන්  Map to the Stars  චිත්‍රපටය වෙනුවෙන්ද හොඳම නිළියට නිර්දේශ වූ, Still Alice චිත්‍රපටය වෙනුවෙන් නාට්‍යමය අංශයෙන් හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත් ජූලියන් මෝ, මෙවර විචාරක සම්මාන උලෙළේදී හොඳම නිළියට හිමි සම්මානය අත්පත් කර ගත්තාය.ඒ Still Alice චිත්‍රපටය වෙනුවෙනි.චිත්‍රපටයේ ප්‍රධාන කතාවට පාදක වන්නේ මනෝ විද්‍යාඥවරියක වුවද මානසික පීඩාවකින් පෙළීම හේතුවෙන් තම ජීවිතය කළමණාකරණය කර ගත නොහැකිව විවාහය,රැකියාව සහ දරුවන් පිළිබඳ පිළිබඳ ලබනා අසාර්ථකත්වයයි.මෙහිදී හොඳම හාස්‍ය නිළිය සම්මානය දිනා ගත්තේ ජෙනී ස්ලේට් විසිනි. ඒ 
The Obvious Child චිත්‍රපටය වෙනුවෙනි.

ජීවිතයට කාලයටම එක්වරක් පමණක් ප්‍රදානය කෙරෙන ගෞරව සම්මානය මෙවර දිනා ගත්තේ සම්මානනීය ඇමෙරිකානු නළු කෙවින් කොස්ට්නර් විසිනි.


සෙසු සම්මාන

හොඳම සහාය නළුවා - ජේ.කේ.සිමන්ස් (Whilplash)
හොඳම සහාය නිළිය - පැට්‍රිෂියා ආකියුට් (Boyhood)
නැගී එන නළුවා/නිළිය - එලාර් කොල්ට්‍රේන් (Boyhood)
හොඳම සජීවිකරණ චිත්‍රපටය - The Lego Movie
හොඳම ක්‍රියාදාම චිත්‍රපටය - Guardians of the Galaxy
හොඳම ක්‍රියාදාම නළුවා -බ්‍රෑඩ්ලි කූපර් ( American Sniper)
හොඳම ක්‍රියාදාම නිළිය - එමිලි බ්ලන්ට් (Edge of Tomorrow)
හොඳම විද්‍යාත්මක චිත්‍රපටය - Interstellar
හොඳම වාර්තා චිත්‍රපටය - Life Itself
හොඳම විදෙස් චිත්‍රපටය - Force majeure

හොඳම ගීතය - Glory (ජෝන් ලෙජන්ඩ්)

ලාංකිකයෝ කියලා හිතන අපි ගැනම අපි ලැජ්ජ විය යුතු කතාවක් 2015/01/19

ලාංකිකයෝ කියලා හිතන අපි ගැනම අපි ලැජ්ජ විය යුතු කතාවක්
දන්නා හඳුනන මුස්ලිම් ලැප්ටොප් කඩයකට ගිය වෙලේ එතනැට වෙලා පැය එක හමාරක් විතර ඉඳගෙන බලන් ඉන්න වුණා.ඒ වින්ඩෝස් දාලා දෙනකන් ඉන්න කිව්ව හින්දා.. ඒ අතරේ නවසීලන්ත- ශ්‍රී ලංකා මැච් එකේ විශේෂ අවස්ථා කඩේ ටී එකේ දාලා තිබ්බා. ඉතින් අපි වින්ඩෝස් ඉන්ස්ටෝල් වෙනකම් එක එක දේවල් කතා කළා. ඒ අතරින් දේශපාලනය,අලුත් ආණ්ඩුව, අලුත් සහන,ලෝක කුසලානය ගැන තමයි වැඩිපුර කතා කළේ. ඉතින් මම කිව්වා ලසිත් මාලිංග බොහෝ දුරට සෙල්ලම් කරන එකක් නැහැ කියලා.
“මාලිංග සෙල්ලම් කරන්නේ නැද්ද ?“ ලොකු අප්සෙට් එකකින් ඒ මුස්ලිම් සහෝදරයා මගෙන් ඇහුවා.
“එහෙම තමයි කියන්නේ “ මම කිව්වා.
“පහුගිය කාලේ සෙල්ලම් කරවන්නේ නැතුව වර්ල්ඩ් කප් එකටම තියාගන්නයි තිබ්බේ.අපරාදේ“ ආයෙමත් එයා කිව්වා.
ඒ ගොල්ලන්ට හරි අප්සට් ලසිත් මාලිංගි සෙල්ලම් නොකරන එක.හරියට මාලිංග නැත්නම් ටීම් එකක් නැහැ වගෙයි ඉන්පස්සේ මං එක්ක කතා කළේ
මේ අතරේ මැච් එක බල බල හිටපු නවසීලන්ත ප්‍රේක්ෂකයෝ පෙන්නලා ඒ මුස්ලිම් සහෝදරයා හරි ලස්සන කතාවක් කිව්වා.
“අපේ මිනිස්සුන්ටත් මේ වගේ එකට ඉඳලා මැච් එකක් බලන්න පුළුවන් නම් කොච්චර හොඳද ? කොච්චර ලස්සනද ? *
හැම ජාතියෙම මිනිස්සු ජිවත්වෙන බම්බලපිටියේ වගේ තැනක කෙනෙක් මෙහෙම කිව්වම, හිතාගන්න පුළුවන් නේද ලංකාවේ අපි කොතැනද ඉන්නේ කියලා.
ඒත් මම එයාට අන්තිමට මෙහෙම කිව්වා.
“ලංකාවේ මනුස්සයෙක්ට, ලංකාවේ මනුස්සයක්ගේ අගේ තේරෙන්නේ පිටරට ගියාම.අඳුනන්නේ නැති ලෝකෙක තනිවුණාම තමයි ඒක හොඳටම දැනෙන්නේ. එතකොට ඔය සිංහල, දෙමළ,මුස්ලිම් කියලා බලන්නේ නැහැ.ආගම් බලන්නේත් නැහැ.ලංකාවේ නම් එච්චරයි “
මාලන් විදානපතිරණ

මිනිසුන්ට මග පෙන්වන කලා මාධ්‍ය භාවිතයක් වත්මන් අධ්‍යාපනය තුළ නැහැ - 2015/01/30 - “අද“

මිනිසුන්ට මග පෙන්වන කලා මාධ්‍ය භාවිතයක් වත්මන් අධ්‍යාපනය තුළ නැහැ 

“අරුන්දතී“ නාට්‍යයේ නිෂ්පාදක තුමිඳු දොඩම්තැන්න

මාලන් විදානපතිරණ

සංඛාරා චිත්‍රපටය හරහා බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් චිත්‍රපට නළුවකු වන තුමිඳු දොඩම්තැන්න,සිය රූපණයේ මුලකුරු උපයාගන්නේ වේදිකාවෙනි.පාසැල් අධ්‍යාපනය හමාර කළ වැඩි කලක් නොගොස් 1999 වසරේදීම සිය මුල්ම දිගු නාට්‍යය නිපැයූ තුමිඳු, එය හඳුන්වනු ලැබුවේ අරුන්දතී නමිනි.එම වසරේ පැවැති යෞවන සම්මාන උලෙළේදී සම්මාන දොළහකට වග කියූ මෙම වේදිකා නාට්‍යය, රාජ්‍ය නාට්‍ය උලෙළේදීද ප්‍රධාන සම්මාන තුනක් දිනා ගැනීමට සමත් විය.එබැවින් 2013 වසරේදී නව නිෂ්පාදනයක් ලෙස නැවතත් කරළියට පැමිණි අරුන්දතී,අනිද්දා (01) නාමෙල් මාලිනි පුංචි තියටර්හිදී සවස 3.30 සහ 6.30ට නැවතත් වේදිකාගත වීමට සූදානමින් සිටී.මේ ඒ අලළා එහි නිෂ්පාදක (වේදිකා නාට්‍ය කලාවේ අධ්‍යක්ෂවරයා යනු නිෂ්පාදකවරයාය.) තුමිඳු සමග කළ කතාබහක සටහනකි.

අරුන්දතී කියන්නේ හෂිනිකා කරලියද්ද,ජයනාත් බණ්ඩාර වැනි මෙම නාට්‍යයේ ප්‍රධාන චරිත නිරූපණය කරන ශිල්පීන්ගේ මුල් කාලීන නිර්මාණයක්.ඔවුන් පමණක් නෙමෙයි.මෙහි සෙසු චරිත රඟපෑ ශිල්පීන්ගේ පවා මුල්ම වේදිකා ආගමනය සිදුවන්නේ මෙම නාට්‍යය හරහායි. ඒත් ඔවුන් දැන් ජිවිතය පිළිබඳ එදාට වඩා පරිණත බවක් ලබා තිබෙනවා.විශේෂයෙන්ම එම බහුශ්‍රැත බව මුල්ම නිෂ්පාදනයට වඩා වාසි සහගතයි.ඒ මෙහි කතා තේමාවේ ස්වභාවය හින්දා. මේ නිසා වත්මන් නිෂ්පාදනයේදි අපට එදාට වඩා ජවයක් එක්වෙලා තිබෙනවා.නැවතත් මෙහි නව නිෂ්පාදනයක් කිරීමේ අවශ්‍යතාවක් මතුවෙන්නේත් මෙවැනි පසුබිමක් තුළ තමයි.තුමිඳු සිය හඬ අවදි කළේ එසේයි.

සරල කතාවක් ඇතුළත සංකීර්ණ ගවේෂණයක්

ප්‍රේමය සහ විවාහ සංස්ථාව අතර ගැටුමක් තමයි මෙහි ප්‍රධාන ප්‍රස්තුතය බවට පත්වෙන්නේ.මේ අත්දැකීම බොහෝ දෙනෙක් තමාගේ ජිවිත කාලය තුළදි අත්විඳින දෙයක්.කුලය සම්බන්ධ සංස්කෘතික කාරණාවක් තමයි මෙහි කේන්ද්‍රීය කාරණාව බවට පත්වෙන්නේත්. හැබැයි අපි මෙය ගෙන එන්නේ සංකේතාත්මක ආකෘතියක් පදනම් කරගෙන.සාමාජීය,ආර්ථික, වාර්ගික ආදි වශයෙන් අප තුළ පවත්නා බෙදීම් කෙතරම් දුරට අපේ ජිවිත අර්බුදකාරී තත්ත්වයකට පත් කරනවාද යන්නත් මෙහිදී අපි ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක් කරනවා.දේශපාලනික සරල කතාවක් ඇතුළින් තමයි අපි මේ ගවේෂණය සිදුකරන්නේ.ඒ නිසා මේක  ප්‍රසාංගික බවින් පිරුණු මිශ්‍ර රංග ශෛලියකින් යුත් නාට්‍යයක්. හැමදෙයක්ම ඉතාම සරල,සාමාන්‍ය ආකාරයකට තමයි භාවිතා කරලා තියෙන්නේත්.ඒ නිසා මෙය හැමෝටම රසවිඳින්න පුළුවන් නාට්‍යයක්.ආනන්දය තුළින් ප්‍රඥාව කරා යා හැකි නාට්‍යයක්.
  
දේශපාලනික හාස්‍ය නාට්‍ය රැල්ල

රාජ්‍ය පාලනය විහිළුවක් වූ සමාජයක,නාට්‍යකරුවාගේ ප්‍රකාශනයත් විහිළුවක් තමයි.එසේ කරගත්තු නාට්‍ය රැල්ලක් තමයි දැන් පවතින්නේ.එවන් මතුපිටින් දකිනා හාස්‍යයක් තමයි වේදිකාවට ගෙන ඇවිත් තිබෙන්නේත්.  ඒත් මෙවැනි සරල දේශපාලනික සිදුවීම් නාට්‍යවලින් දැකලා හිනාවෙලා අවසන් කරන්න පුළුවන් කියලා මම නම් හිතන්නේ නැහැ.ඒ නිසා එවැනි නාට්‍ය තුළින් සිදුවෙන්නේ ජන ජීවිතය අකර්මණ්‍ය කිරීමක් පමණයි. නිර්වින්දනය කිරීමක් පමණයි. බර්ටෝල්ට් බ්‍රෙච්ට් කියන්නා සේ අඳුරු යුගවලදී අඳුරු යුගය ගැන මිස කවි සින්දුත් ලියවේද ? අපි දැන් පසුකරමින් යන්නේත් එවැනි යුගයක්. එය අපට වර්තමානයට ගැලපෙන්නේ විහිළු යුගයක් විදිහට.ඒත් අඳුරු යුගයක නිපැයුණු ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ ධවල භීෂණ වැනි නාට්‍ය මීට වඩා ගුණාත්මක මට්ටමක පැවතුණා.ඒත් අරුන්දතී නාට්‍යයට පවතින හාස්‍ය නාට්‍ය ප්‍රවාහය බාධාවක් නෙමෙයි.

නාට්‍යකරුවා සහ සංවිධායකවරයා පිළිබඳ ගැටලුව

නාට්‍යයක් නිර්මාණය කිරීමෙන් අනතුරුව එය රට වටා දර්ශන වාර සංවිධානය කිරීමේදි එය නාට්‍යකරුවා සමග බැඳී නැහැ.නාට්‍ය සමාගම්,නාට්‍ය සංවිධාන ආදිය පවතින්නේ එම සංවිධානමය ගැටලුවට තමයි.ඊට නිසි කළමණාකරණ ව්‍යුහයක් නොමැති වීමයි,ලාංකේය නාට්‍ය කලාවේ අර්බුදය වී තිබෙන්නේ.අනික අපේ රටේ පවතින්නේ ජංගම නාට්‍ය කලාවක්. ඒකත් මීට බලපා තිබෙනවා.ඒක වැරැද්දක් නෙමෙයි.එවැනි ව්‍යුහ පවතින සංස්කෘති විදෙස් නාට්‍ය සංස්කෘති තුළ පවතිනවා.නමුත් ඔවුන් එක නාට්‍යයක් වසර කිහිපයක් එක දිගටම එකම රංග ශාලාවක වේදිකාගත කරනවා.ඒත් අපේ රටේ එවැනි පසුබිමක් නිර්මාණය වෙලා නැහැ. ඊට ඉඩක් හෝ ලබා ගැනීම අපහසු කටයුත්තක්.අනික එවන් ප්‍රේක්ෂාගාරයක් පවා තවමත් නිර්මාණය වෙලා නැහැ.ප්‍රාග්ධන අතිරික්තයක් පවතින සමාජයකට තමයි කලාව භාවිතා කළ හැකි වෙන්නේ.ඒත් එවැනි සමාජයක් අද අපට නැහැ.

එකම නිර්මාණ කුට්ටියකට හිර නොවී අධ්‍යාපන විෂය නිර්දේශ පවා යාවත්කාලීන විය යුතුයි

වර්තමානයේ සිටින අධ්‍යාපනයට අදාළ විෂය නිර්දේශවලට අදාළ පරිපාලකයන් දන්නේ එකම නිර්මාණ කුට්ටියක් ගැන පමණයි.ඒ ඔස්සේ තමයි ඔවුන් පෙළ පොත් යාවත්කාලීන කරන්නේ. අපි දන්න විදිහට ජයලත් මනෝරත්නයන්ගේ තලමල පිපිලා නාට්‍යය තමයි මෑතකදි යාවත්කාලීන වූ නාට්‍යයකට තිබෙන්නේ.ඒත් අතුල පතිරණගේ දොළහක් වැනි නාට්‍යයක් සර්වකාලීන ගුණයකින් යුතු නාට්‍යයක්.ඉදිරියටත් රංගගත විය යුතු නාට්‍යයක්.ඒත් අද එය නැවතිලා.මේ නිසා මිනිසුන් ප්‍රගතශීලි කරවන, මිනිසුන්ට මග පෙන්වන කලා මාධ්‍ය භාවිතයක් වත්මන් අධ්‍යාපනය තුළ නැහැ.එවන් ප්‍රගතශීලි කරවීමක් තුළින් දේශපාලකයාට අවාසියක් වේවි කියා දැනීමටවත් සමාජ වැටහීමක් දේශපාලකයාට නැහැ.ඒ නිසා වත්මන් දේශපාලකයන්ගෙන් කීයෙන් කීදෙනෙක්ට එවැනි බුද්ධි මට්ටමක් හෝ සාහිත්‍ය,කලාව පිළිබඳ උනන්දුවක් තිබේද යන්නත් ගැටලු සහගතයි. මෙවන් වාතාවරණයක් තුළ රසවින්දනය පිළිබඳ ඉගැන්වීමකට කොහොමටවත් මෙහි ඉඩක් නැහැ.ඒත් මෙයින් මිනිස් සමාජය තුළ ගැටලු අවම කරන බව ඒ පරිපාලකයන් දන්නේ නැහැ. එයින් සිර ගෙවල් වැසෙන බව ඔවුන්ගේ පුළුල් මනසට වැටහෙන්නේ නැහැ. අනෙකාව දැනෙන්නේත් සාහිත්‍යය,කලාව රසවිඳින සමාජයකට බවට ඔවුන්ට අවබෝධයක් නැහැ.තාමත් අපට අනෙකාව ඉවසන්න බැරි මේ නිසයි. උසස් රසවින්දන මට්ටමක් තියෙන සමාජයක මෙවැනි දෙයක් සිදුවෙන්නේ නැහැ. අපි තිස් අවුරුද්දක් ආපස්සට ගියෙත් මෙවැනි හේතු නිසයි.

නාට්‍ය කලාවේ දොරවල් කවුරුවත් විසින් වහලා නැහැ

සජිවි නාට්‍ය කලාවක් ලෙස වේදිකා නාට්‍ය කලාව තමයි වැඩි නිදහසක් හිමි මාධ්‍ය වෙන්නේ.එවන් නිදහසක් චිත්‍රපටවලටවත් නැහැ.ටෙලිනාට්‍යවලටවත් නැහැ.ඒ විවෘත බව ආධුනිකයන් තේරුම්ගත යුතුයි. අනික ඔවුන්ට යෞවන සහ රාජ්‍ය වශයෙන් ප්‍රධාන නාට්‍ය තරගාවලි දෙකක් තියෙනවා.නාට්‍ය කලාව හැදෑරීමට පවා ටවර්හෝල් සහ ජාතික තරුණ සේවා සභාව ලෙස පිළිගත් ප්‍රධාන ආයතන දෙකක් තිබෙනවා.ඒ හරහා තරුණයන්ට තමන්ගේ මාර්ගය සකස් කර ගත හැකියි.එහෙම නැතුව මෙහි ඒකාධිකාර, කල්ලි නිර්මාණය වෙලා නැහැ.අනික මුලින්ම නාට්‍ය නරඹන්නයි යා යුත්තේ.ඒ ඔස්සේයි තමන්ගේ නාට්‍ය ආකෘතියක් සකස් කර ගත යුත්තේ. උනන්දුව,කැපවීම තුළින් තමයි දක්ෂ නිර්මාණකරුවන් ඉදිරියට එන්නේ.

ටෙලිනාට්‍ය කලාවෙන් ඉවත් වෙලා නැහැ

මම ටෙලිනාට්‍යයක චරිතයක් ලැබුණාම ඒ පිළිබඳව තෝරා ගැනීමක් කරනවා.සාහිත්‍යයමය වශයෙන් යමක් කළ හැකි,වටිනාකමක් තියෙන පිටපතකට දායක විමටයි මම හැමවෙලාවකම උත්සාහ දරන්නේ.අනික මට රංගන ශිල්පියෙකු විදිහට ගත කිරීමට ලැබෙන කාලය ඉතා සීමිතයි.එම සීමිත කාලය වටිනා යමකට යෙදවිමයි මගේ අරමුණ.ඒ නිසා මම මේ මොහොතේ දායක වී සිටින්නේ ලක්මාල් ධර්මරත්නගේ කූඹියෝ ටෙලිනාට්‍යයට පමණයි.ඒත් මම එයින් විශාල තෘප්තියක් ලබනවා.එම පිටපත හොඳ තෝරා ගැනීමක් කියලයි මට හිතෙන්නේ.අනික ටෙලිනාට්‍යයකට පෙනී සිටීම තමයි සමාජය බලාපොරොත්තු වෙන්නේත්.රඟපෑමට තියෙන ඉල්ලුම අද දෙවැනි ස්ථානයට වැටිලා.මෙවැනි පසුබිමක කොහොමද ගුණාත්මක ටෙලිනාට්‍ය බිහිවෙන්නේ ? ඒ නිසා ගුණාත්මක කිර්මාණ බිහිවෙන්නේ දැන් කොහොමත් කලාතුරකින්.

චිත්‍රපට ක්ෂේත්‍රයට දක්වන දායකත්වය

මට ලැබෙන්නේ ඉතාම සිමිත කාලයක්.නිලේන්ද්‍ර දේශප්‍රියගේ තණ්හා රතී රඟා චිත්‍රපටයේ පවා මම නිරූපණය කළේ ඉතාම කුඩා චරිතයක්. මීට  වසර එක හමාරකට පෙර රූගතකිරිම් සිදුවූ සුමිත්‍රා පීරිස්ගේ අලුත්ම චිත්‍රපටයේත් මම රංගනයෙන් දායක වුණා.මේ දිනවල එහි පසු නිෂ්පාදන කටයුතු සිදුවන වෙනවා.මම හිතනවා ඒ චිත්‍රපටය මේ වසරේදි දැකගන්න ලැබෙයි කියලා.



Thursday, January 29, 2015

අපි ඉගෙනගත්තු සක්‍රියතා ශ්‍රේණිය 2015/01/30

අපි ඉගෙනගත්තු සක්‍රියතා ශ්‍රේණිය
සාමාන්‍ය පෙළ ඉගෙනගන්න කාලේ රසායන විද්‍යාවේ කොටසක් වුණු සක්‍රියතා ශ්‍රේණිය ඉගෙනගන්න අපිට සිද්ධ වුණා.මෙහි පිළිවෙළ අපි මතක තියාගත්තේ මෙහෙමයි.මේක කියලා දුන්නෙත් අපේ පන්ති භාර ගුරුතුමා වන හේවගේ සර්.අද ඔහු එක්තර විද්‍යාලයක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු බවයි අපිට ආරංචි වුණේ.
පොට්ට බේබදු සොමේ කැහැටුයි
මැගී ඇලිසුත් සිහින් අයමයි
ටිකිරි ඊයේ හවස කොහිදැයි
මහත සිල්වාගේ පැලේ ගෝරියි
මාලන් විදානපතිරණ

Tuesday, January 27, 2015

අමතක නොවන පළමු ආදරය 2015/01/27

අමතක නොවන පළමු ආදරය


බාගෙට හොඳ වෙලා තියෙද්දි ඔයාගේ ෆෝන් එක ඕෆ් කරලා හින්දා උණ විකාරයෙන්ම මම ගෙදර ඉඳන් කොට්ටාවට ආවා.කොහොම ආවද කියලා තාම මට හිතාගන්න බැහැ.ඒත් ගෙදර ඉඳන් කිලෝ මීටර් එක හමාරක් විතර පයින් ඇවිත් බස් දෙකක නැගලා ඔයාගේ ක්ලාස් එක තියෙන තැනට ආයෙත් පයින් ඇවිත් ඔයාවමයි හෙව්වේ. හැමතැනම.
මුලින්ම මම හැම බස් එකකටම නැග නැග ඔයාව හෙව්වා. ඉන්පස්සේ ක්ලාස් එකට ගියා. ඒත් එතැනත් කවුරුවත්ම හිටියේ නැහැ.මගේ ෆෝන් එකත් කපලා.ඔයාගේ ෆෝන් එකත් ඕෆ් කරලා. මම දාඩිය පිහද පිහද එහාට මෙහාට දිව්වා.පස්සේ කොමියුනිකේෂන් කඩේකටගියේ ඔයාට කෝල් එකක් ගන්න හිතාගෙනයි.ෆෝන් එක ඕෆ් කරලා බව දන්නවා.ඒත් දැන්වත් ඔන් කරයි කියලා හිතන් දහ දොළොස් සැරයක් ගත්තා.පස්සේ මම ඔයාගේ ගෙදරටත් කෝල් එකක් ගත්තා.ඔයාගේ මල්ලි තමයි ෆෝන් එක ඉස්සුවේ. මම කිව්වා ඔයා ගෙදර ආවාම මට කෝල් එකක් දෙන්න කියලා.ඉන්පස්සේ තමයි තමයි මම වෙන කරන්න දෙයක් නැතිකමට ගෙදරට එන්න බස් එකට නැග්ගේ. එතකොට තමයි මට ඔයාගෙන් මැසේජ් එකක් එන්නේ.ඒකත් ආවේ මම බස් එකේ නැගලා හුඟක් දුර ආවාට පස්සේයි.ඔයා ගෙදර ඇවිත්.ඒ මැසේජ් එකේ තිබ්බේ ඒකයි.
ඒ කොමියුනිකේෂන් එක අද මම පහුකරගෙන ආවා.තාමත් ඒක එහෙමමයි. කාලෙකට පස්සේ ඒ පැත්තෙන් ගිය හින්දා වෙන්න ඇති මට ඒක අමුත්තක් වගේ දැනුණේ. ඒත් බස් ස්ටෑන්ඩ් එක තියෙන තැන වෙනස් කරලා තිබුණු එක විතරයි එදාට වඩා වෙනස් වෙලා තිබුණේ
එදා ඒ මුල්ම ආදරය ඔයා විහින් නැති කර ගත්ත හින්දා අද මම ඒක අමතක කළත්, ඒ හින්දාම ඔයාව නම් මට දැන් ඕනේම නැති වුණත්,ඔයාවත් අමතක කරලා තිබුණත්, හදවතින්ම කරපු ඒ මුල්ම ආදරය කවදාවත් මට අමතක වෙන එකක් නැහැ.
මාලන් විදානපතිරණ