Monday, March 2, 2015

“පිට නෑ මහත්තයා පිට නෑ“ 2014/09/14

“පිට නෑ මහත්තයා පිට නෑ“


හත වසරේ 7 - A පන්තිය කියන්නේ අපේ සෙක්ෂන් එකේ තිබුණූ හොඳම පන්තිය.මම එහෙම කියන්නේ හේතුවක් ඇතුව.මොකද මනෝජා රත්නායක තමයි අපේ පන්තිභාර ටීචර්.ඒ තරම් විනය හදපු,ඒ තරම් නීති දාපු, ඒ තරම් නායකත්ව පුහුණුවක් දුන්නු කිසිම ගුරුවරියක් මම දැක්කේ නැහැ. ටිකක් සැර වුණාට පුදුම කාරුණික හිතක් තියෙන්නේ.හැමෝටම තමන්ගේ දක්ෂතාවලට තැනක් ලැබුණා.අදටත් ගජ යාළුවෝ විදිහට ඉන්න අපේ අම්මයි, සිදත්ගේ (සිදත් ගුණසේන) අම්මයි ආයෙත් යාළුකම අලුත් කර ගත්තෙත් මේ පන්තියේදි.කොහොම වුණත් මම මේ කියන්න යන්නේ ඊට වඩා වෙනස් කතාවක්.මට මතක විදිහට මේක සිද්ධවුණෙත් හත වසරේදි.ඒ පන්තියේම තමයි මධුක හිටියෙත්.අපිට ඒ කාලේ තිබුණා ජීවණ නිපුණතා කියලා විෂයක්. ඒක ඉගැන්නුවේ හරිම ජොලි සර් කෙනෙක් පණ්ඩිතරත්න සර් කියලා. ඉතින් ඒ පීරියඩ් එකේ තමයි අපි මිස් වෙච්ච වැඩ ඔක්කොම කරන්නේ.සර්ත් ඒකට මුකුත් කියන්නේ නැහැ. මොකද සර්ගේ විෂයත් ජීවන නිපුණා නෙමෙයි කිය කිය සර්ත් හැමදාම අපිත් එක්ක චැට් එක දාගෙන හිටියා.ඒ මිසක වැඩි වැඩක් කෙරුණේ නැහැ.

මොකද ඇත්තටමත් සර්ගේ විෂය තර්ක ශාස්ත්‍රය.කොහොම වුණත් නිකම්ම ඉඳලා බැරි නිසා සර් කිව්වා දවසක් කණ්ඩායම්වලට බෙදිලා නාට්‍යයක් කරන්න කියලා. ඒක ක්ෂණික නාට්‍යයක්. එවෙලේ හැදුවා එවෙලේ පෙන්නුවා.ඉතින් මගේ කණ්ඩායමේ හිටියා මධුකයි,තනුජයි,ප්‍රමෝදුයි තවත් සෙට් එකක්. අපේ උන් දැනන් හිටියා මට ඉතින් ඔය වගේ එව්වා පුළුවන් කියලා.

“ඒ මචං මොකක්හරි කියපං දැන් ටක් ගාලා කරන්න“ ප්‍රමෝද් කිව්වා.

“මාලන්, උඹට මොකක් හරි අයිඩියා එකක් තියෙනවාද “ මම ඒ වෙනකොටත් හිනාවෙවී ඉන්නවා දැකපු මධුකත් ඇහුවා

මොකද තොප්පිය අන්තිමට මට වැටෙන බව මම දැනන් හිටියා. ඒ හින්දා සර් මේ ගැන කියනකොටම ‍මම ටක් ගාලා ඒ වෙලාවෙම ලෑස්ති වුණා.

හැබැයි ඒක මගේම කතාවක් නෙමෙයි.ඒත් ‍ඒ වෙලාවේ හැටියට මසුරන් වටින කතාවක් නිසා අපේ එවුන් ඒක තෝරා ගත්තා.ඒ තමයි පිටකොටුවේ පේමන්ට් එකේ ඇඳුම් විකුණන වෙළෙන්ඳෙක්ගේ කතාව.

“ආ. එන්න මහත්තයා. ලාබයි ලාබයි. පිට නෑ පිට නෑ මෙහෙ විතරයි. ගන්න මහත්තයා. ගන්න නෝනා“ මධුක තමයි මේ නාට්‍යයේ ප්‍රධාන චරිතය කළේ.
මධුක හරිම ලස්සනට එදා ඒ චරිතය කළා.ක්ෂණික නිරූපණයක් වුණාට අතිනුත් දෙබස් දාලා ළමයි ඔක්කොම හිනා ගැස්සුවා.මට ඉතින් හරි සතුටුයි.

“ඇයි මහත්තයා මොකක්ද ප්‍රශ්නේ “

“මේ ඕයි.මොකක්ද අයිසේ මට ඊයේ තමුසේ විකුණපු ෂර්ට් එක.ඒකේ පිට නෑනේ “

“ඉතින් මහත්තයා මම බොරුවක් කිව්වැයැ.“

“මොකක්ද ඕයි ඒ කතාවේ තේරුම“

“මම කෑ ගගහ කිව්වේ ඒක තමයි පිට නෑ කියලා. මහත්තයාමනේ සල්ලි දීලා මේක ගත්තේ.“

ළමයි එදා තමයි මධුකගේ නියම රංගන හැකියාව දැක්කේ.හැබැයි ලංකාවේ අවාසනාව කියන්නේ දිගටම ඉගෙන ගනිද්දි ඔය වගේ කලා හැකියා තියෙන ළමයින්ට ඉස්කෝලවලින් නිසි අවස්ථාවක් ලැබුණේ නැහැ.එහෙම අවස්ථාවක් තිබුණත් ඒ ගැන ගුරුවරු පවා වැඩි සැළකිල්ලක් දැක්වුවේ නැහැ.මොකද ඒගොල්ලන්ට ඕනැ කළේ මුරුච්චි ඇණ ටිකක් විතරයි.එහෙම නැතුව සංවේදී පුරවැසියෝ ටිකක් නෙමෙයි.ඒත් එදා මධුක වගේ කොල්ලොන්ට ඉස්සරහට එන්න චාන්ස් එකක් තිබ්බා නම් ගණිත අංශයෙන් ඉගෙන ගත්තත් වැඩක් ගන්න තිබ්බා උන්ගෙන්.ඒත් වැඩක් ගත්තේ නැහැ.එදායින් පස්සේ මම ඌගේ එහෙම රඟපෑමක් දැක්කෙත් නැහැ.ඕකයි ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ ඛේදවාචකය.

මාලන් විදානපතිරණ

මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා -1 2015/03/02

මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා -1


ඉස්සර ඉස්කෝලේ යන කාලේ ගෑණු ළමයෙක් හිනා වුණත් ඒක අපිට ඇති,මාස ගාණකට.ඉතින් අපේ ට්‍රයි එක කොහොම හරි එහෙම දෙයකට පොළඹවගන්න.ඉතින් මටත් ඒ විසේ තදේටම ඒ කාලේ තිබ්බා.ඒත් මම ඒක පෙන්නන්න ටිකක් බය වුණා.බයකට වඩා චකිතයක් තිබ්බා.මොකද ඉන්පස්සේ ඒකට ලැබෙන බයිට් එක ඉවසන්න ඒ කාලේ මට ශක්තියක් තිබ්බේ නෑ.ඒ නිසා මගේ හොඳමම යාළුවන්ට විතරයි,කෙල්ලෝ සම්බන්ධ දේවල් කිව්වේ.ඒ වගේ රසවත් මතකයක් මට දැන් මතක් වුණා.

මේක සිද්ධවෙන්නේ මම ඕලෙවල් කරන කාලේ.මම ඉස්කෝලේ ඇරිලා ගෙදර එන්න නම් අටේ කණුව බස් ස්ටෑන්ඩ් එකෙන් බැහැලා කිලෝමීටර් එක හමාරක් විතර එන්න ඕනේ.ඉතින් යාළුවෝ එක්ක කදේ දාගෙන ඉඳලා,හුඟක් දවසට මම අටේ කණුවෙන් බහින්නේ දෙක හමාරට විතර.

අනික ඒ කාලේ අපි කොච්චර ගේට්ටුව ළඟ තිබ්බත්,ගොඩක් වෙලාවට ගියේ ලොකු ගේට්ටුවෙන්.උදේට වුණත් එහෙමයි.මොකද ලොකු ගේට්ටුවෙන් යද්දි තමයි,ගෝතමි බාලිකා විද්‍යාලය අහුවෙන්නේ.(මේක ගොඩක් මගේ ඉස්කෝලේ යාළුවෝ නොදන්න මම ඒ කාලේ නිතරම ඕනෙකමින්ම කරපු දෙයක්)

කොහොම හරි මම ගෙදරට යන බස් ස්ටෑන්ඩ් එකෙන් බැහැලා ටික දුරක් යද්දි හරිම හුරුබුහුටි ගෑණු ළමයෙක් හැමදාම වගේ මට හම්බවෙනවා.ටිකක් පොඩියි එයා.හැබැයි හැඩයි. අහිංසකයි.ඒත් ගොඩක් දවසට එයාගේ අයියා ඇවිත් මගදී එයාව බයික් එකේ දාගෙන යනවා. ඒත් මට එයාව හිතට අල්ලලා ගියා.

ඉතින් දවසක් මම බැහැලා ටික දුරක් යද්දී මට පේනවා ඒ ගෑණු ළමයා ඈත යනවා. එදා එයයි මමයි විතරයි හිටියේ පාරේ පේන තෙක් මානෙක.මමත් අඩිය ඉක්මන් කළා.මට ඕනේ වුණේ එයාගේ අවධානය දිනාගන්න.

වැඩි වෙලාවක් ගියේ නෑ.මම එයාගේ ගාණටම ආවා.දැන් අපි දෙන්නා පාරේ දෙපැත්තේ එක ළඟ එක ගාණට යනවා.ඒත් එයා දන්නේ නෑ මාව.ඒත් එයාගේ මූණේ ලස්සන හිනාවක් ඇඳිලා තිබුණා මට තාම මතකයි. මම එයාගේ අවධානය ගන්න හිතාගෙන කඩාගෙන බිඳගෙන ආපු බවක් එයා දන්නෙ නැති නිසා එයා,එයාගේ පාඩුවේ ආවා.

මේ අස්සේ මටත් අමතක වුණා,මම එයාට කලින් ඉස්සරහින් හැරෙනවා කියලා.ඒත් මම උත්සාහය අතඇරියේ නෑ.හැරෙන ගමන්ම හෙමින් සැරේ එයා දිහා හැරිලා බැලුවා.එයත් මගේ දිහා හැරිලා බැලුවා.අපි හිතුවේ අපි හැරිලා බලද්දි කෙල්ලත් හැරිලා බැලුවොත් ඒ කියන්නේ කෙල්ල අපිට කැමැතියි කියලයි.හරියට හින්දි චිත්‍රපටි වගේ.

හැබැයි එයා නම් බැලුවේ හරියට හැමදාම දකින හුරුපුරුදු කෙනෙක් දිහා බලනවා වගෙයි.එයා බැලුවා විතරක් නෙමෙයි. බලලා හිනාත් වුණා.කොච්චර සතුටුද කිව්වොත් මමත් හැරෙද්දී ලාවට බායි කියලා කිව්වා. ඒත් එයා බය නැතිව කටපුරා මට බායි කිව්වේ හරියට ආයේ හම්බවෙමු වගේ.

මට දැන් මේක අදහාගන්න බැහැ.සතුට දෝරේ ගලා යනවා. මම මගේ යාළුවෝ එක්ක මේ ගැන ඉස්කෝලෙදි දැන් කියවනවා

“මචං අර කෙල්ලව ඉන්පස්සේ හම්බවුණේ නැද්ද ? “ මට මතකයි ඉන්පස්සේ දවසක සිදත් මගෙන් ඇහුවා.

“හම්බවුණා.හම්බවුණා“ මමත් ඉතින් ඉන්පස්සේ රස කර කර කිව්වා.

“දැන් උඹ ඒ කෙල්ලට ට්‍රයිද ?“

“හ්ම්ම්“

“ඒත් උඹ දන්නේ කොහොමද ඒ කෙල්ල උඹට කැමැතියි කියලා“

“යකෝ කෙල්ල හැරිලා බැලුවා නම්, හිනාවුණා නම්,බායි කිව්වා නම් තව මොනාද ?“

“ආව් ආව් මාලන්.කෝ බලන්න මූණ ?“ සිදත් මාව යාළුවෝ එක්ක බයිට් කරන්න පටන් ගත්තා.

මේ අතර දවසක තමයි,වාසනාවන්ත වැස්සක් වහින්න පටන් ගත්තේ.
හැබැයි එදා ගංවතුර වගේ තදේටම වැස්ස වහින්න පටන් ගත්තා.මම කුඩයක් අරන් ඇවිත් තිබුණට මම දැක්කා කෙල්ල කුඩයක් නැතිව අමාරුවෙන් ඉන්නවා.එවෙලේ මම දිග කලිසම උඩටම නවාගෙන හිටියේ.මම කිව්වා යං කියලා.ඒත් මම හිතුවේ නැහැ එයා එයි කියලා.ඒත් එයා මම යමු කියපු හැටියෙම දුවගෙන මගේ ළඟට ආවා.

මට දැන් ඒ හැඟීම හිතාගන්න බෑ.මම ට්‍රයි කරන කෙල්ල මම ළඟ.හරියට හීනයක් වගේ.අනේ ඒත් එයාට ඒක ගාණක්වත් නෑ.එයා වැස්ස ගැන කතා කරනවා.ඒත් මම කතා කළේ එයාගේ ඉස්කෝලේ ගැන.එයා කීයෙද ඉන්නේ,මොනවද කරන්නේ,කොහේද ගෙවල් ඔව්වා තමයි මගේ ප්‍රශ්න.

ඒත් එයත් කිසි බයක් සැකක් නැතිව ඒවාට උත්තර දුන්නා.මට ඒක තාම මතකයි.හැබැයි අපිට වැඩිවෙලා කතා කරන්න ලැබුණේ නැහැ.

“යන්නම් අයියේ.මට මේ ටික දුවලා යන්න පුළුවන්“ එයා කිව්වා

“ඉන්න මම ගේ ගාවට ඇරලවන්නම්.“ මම අප්සට් එකෙන් කිව්වා

“කමක් නෑ අයියේ.තෑන්ක් යූ“එයා හැරිලාවත් බැලුවේ නෑ.දුවගෙනම ගෙදරට ගියා.

ඒත් මම එදා සතුටු වුණා.

“යන්තම් ගේ හොයාගත්තා“ මම මටම කියාගත්තා.

හැබැයි එදා කුඩේ යටින් ගිය සිද්ධිය මම යාළුවන්ට කිව්වේ නෑ.මම ඒකට බය වුණා.චකිතයක් තිබ්බා ඒක කියන්න මට.ඒ නිසා මම යාළුවන්ට කිව්වේ කෙල්ලගේ ගේ හොයාගත්තා කියලා විතරයි.

ඒත් මම එදායින් පස්සේ කෙටි පාරෙන් හැරෙන්නේ නැතුව දිගටම යන්න තීරණය කළා.මොකද මම හිතුවා,එතකොට තව ටිකක් එයාට ළංවෙන්න පුළුවන්න කියලා.

“මොකද පුතේ පරක්කු.වෙනදට කලින් එනවනේ ?“ අම්මා දවසක් ඇහුවා.

“ට්‍රැෆික් අම්මේ.අනික දන්නවනේ කොල්ලො සෙට් එකත් එක්ක එන්න ගියාම.“ මම කිව්වා.

මොකද අම්මලා දන්නේ නැහැ,මම කෙල්ලෙක් පස්සේ යනවා කියලා.

අනික එයා වැස්ස දවසේ ගියේ වෙන ගෙදරකට නිසා, මට ඕනේ වුණා ඇත්තම ගෙදර හොයාගන්න.ඒ වගේම වැඩි දවසක් නොගිහින් මම ඒක හොයාගත්තා.මම හිතන්නේ එයා එදා වැස්ස දවසේ ගියේ නෑදෑ ගෙදරකට.

එයාට ඉන්නවා ලස්සන අහිංසක මල්ලියෙක්.එයා හරි ආදරෙයි, ඒ මල්ලිට.සමහර දවස්වලට ගේට්ටුව ළගම ඒ මල්ලි ඉන්නවා මට පේනවා.ඒ වගේ දවස්වලට එයා දුවගෙන යනවා මල්ලි ළඟට.

කොහොම වුණත් හැමදාම වෙලාව අල්ලලා එයත් එක්කම එන එක ප්‍රශ්නයක් කියලා ටික ටික මට තේරුණා.අනික හැමදාම දකින කුකුළාගේ කරමලෙත් සුදුයි කියනවලු.ඒ නිසා මමත් එයාව හම්බවෙන දවස් අඩු කළා.

ඒත් ඒකෙන් අන්තිමට වුණේ අපි දෙන්නම ඈත් වුණ එක. පස්සේ පස්සේ එයා ඉස්කෝලේ යන දවස්වත් මට හොයාගන්න බැරිවුණා.කලාතුරකින් තමයි හම්බවුණේ.අනික මම ආදරේ කළෙත් ඉස්කෝලේ ඇඳුම ඇඳන් හිටපු ගෑණු ළමයට.

ලස්සන හිනාවකින් මූණ සරසගෙන හිටියත් එයා ටික ටික වෙනස් වුණා.සමහර දවස්වලට එයා කව්දෝ කොල්ලෙක් එක්ක යනවා මම දැක්කා.සමහර දවස්වලට ගේ ළඟ මල්ලිත් එක්ක සෙල්ලම් කර කර ඉන්නවා මම දැක්කා.ඒ වගේ දවස්වලට එයා මාත් එක්ක හිනා වුණා.වෙනදා වගේම.මට මතක විදිහට එතකොට මම ඒලෙවල් ක්ලාස් යනවා.ඒ නිසා මට හැමදාම වගේ එයාගේ පාස් කරන්න වෙනවා.

ඒ නිසාමද කොහෙද පුරුද්දට ව‍ගේ මම අදත් එතැනින් යද්දි එයාලගේ ගේට්ටුව දිහා බලනවා. එයා මල්ලිත් එක්ක සෙල්ලම් කරනවද කියලා බලනවා.ඒත් ආයෙත් එයාව එහෙම දකින්න ලැබෙන එකක් නැහැ.මම හිතන්නේ එයාව කවුරුහරි අරන් ගිහින්.වෙන කාටහරි අයිතිවෙලා වෙන්න ඇති. දැන් එයා අලුත් ජිවිතයක් තෝරාගෙන ඇති.

ඒත් ඒ සුන්දර ආදර කතාව මට කවදාවත් අමතක වෙන එකක් නැතිවෙයි.කෙනෙක්ට මේක ආදර කතාවක් කියලා නොපෙනෙන්න පුළුවන්.ඒත් මට නම් ඒක හිතේ උපන් වෙනස්ම ආදරයක්

මාලන් විදානපතිරණ