Saturday, April 25, 2015

සොඳුරු මිනිසෙකුගේ අකාරුණික සමුගැනීම 2015/03/23

සොඳුරු මිනිසෙකුගේ අකාරුණික සමුගැනීම

 

මට මතක් වෙනවා මම කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණු දුන්නු දවස.මගේ වෘත්තිය සුදුසුකම් එක්ක ජනමාධ්‍ය අංශයට තේරේවි කියලයි මම හිතාන හිටියේ.ඒ නිසා මට කිසිම බයක් තිබුණේ නැහැ පරීක්ෂණ මණ්ඩලයට මුහුණදෙන්න.විශේෂයෙන්ම මම ජනසන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය උසස් පෙළ විෂයකට හදාරා තිබුණු නිසා ඒ බව තවත් අඩුවුණා.
පරීක්ෂණ මණ්ඩලයේ තුන්දෙනෙක් හිටියා.එයින් එක්කෙනෙක් තමයි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පසන් කොඩිකාර.මට මතක මුහුණකට තිබ්...බේත් ඔහුගේ මුහුණ.මගේ සුදුසුකම් දැනගත්තට පස්සේ අනෙක් අය ප්‍රශ්න අහද්දී එතුමා මට මෙච්චරයි කිව්වේ.

“පුතා, අපිට ඔයාගෙන් අහන්න දෙයක් නැහැ. ඔයා උසස්පෙළටත් ජනමාධ්‍ය කරලා තියෙනවා.ඒකත් උඩින්ම පාස්වෙලා තියෙනවා.අනික වෘත්තියමය වශයෙනුත් ජනමාධ්‍ය කරනවා.ඉතින් ඔයාව අපි තෝරාගන්නවා උඩින්ම.ඒත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තමයි එසෙඩ් ස්කෝර් එක බලලා අන්තිම තීරණේ ගන්නේ.අපි බලමු පුතා “
මම ජනමාධ්‍ය අංශයට තේරුණේ නැහැ. හැබැයි මට ඒ සොඳුරු මිනිසාව හම්බවුණා.ඒ මම එම විශ්වවිද්‍යාලයේම සිනමා විද්‍යාර්ථයෙක් වුණු හන්දයි.

මට ඔහුව හම්බෙවන්න ලොකු උවමනාවක් තිබුණා.මොකද පෙම්බර මිතුරා ගී ද මෝපසං නම් එතුමාගේ පරිවර්තන කෘතිය කියවන එක මට හුඟක් අමාරු වැඩක් වුණා.ඒ ඔහුගේ භාෂාවේ පැවැති ආගන්තුක බව නිසා.මම ඇහුවා ඇයි කියලා.

“පුතා, මම හැමවෙලේම උත්සාහ කළේ මුල් කෘතියේ භාෂා ශෛලිය රැකගෙන පොත පරිවර්තනය කරන්නයි.ඒ නිසා වෙන්න ඇති ඔයාට එහෙම දැනුණේ“

ඒ කොහොම වුණත් ඔබ අපෙන් වෙන්වීම අසාධාරණයි.මන්ද අපට ඔබෙන් ගත හැකිව තිබූ දේ තවත් බොහෝයි.ඒත් ඇයි ඔබ ඊට ඉඩක් නොතැබුවේ?

මාලන් විදානපතිරණ

Friday, April 24, 2015

අපේ ඉස්කෝලේ සාහිත්‍ය සංගමය සහ මම 2015/04/24

අපේ ඉස්කෝලේ සාහිත්‍ය සංගමය සහ මම

(අතීතයෙන් තවත් පුංචි රස කතාවක්)

අපේ ඉස්කෝලේ සිංහල සාහිත්‍යය සංගමය පටන් ගත්තේ මට මතක විදිහට හය වසරේදී..සිංහල සාහිත්‍ය සංගමයේ මුල්ම සභාපතිවරයා විදිහට කටයුතු කළේ මට මතක විදිහට සිදත් සහෝදරයා.(ලේකම් විදිහට කටයුතු කළේ ලකිඳු වගේ තමයි මතක. හැබැයි ඒක නම් හරියටම මතක නැහැ.) සිදත් මගේ අසල්වැසි පාසැල් මිත්‍රයාත් වෙනවා.ඒ වෙද්දී ඔහු මගේ පන්තියේත් හොඳම යාළුවෙක්.අපි දෙන්නා එක ශ්‍රේණීයෙන් පසුව දෙවැනි වතාවට සහ අන්තිම වතාවට තමයි ඒ ආකාරයෙන් එකම පන්තියට වැටුණේ.

කොහොම වුණත් ඒ වසර වෙද්දී අපේ පාසැලේ මලලසේකර රඟහල ගිනිගෙන විනාශ නොවුණූ නිසා මලලසේකර රඟහලේ තමයි මුල්ම සිංහල සාහිත්‍ය සංගමය පැවැත්වුණේත්.

ගෙදරදි සින්දු කිව්වට,පන්තියේදී ජොලියට සින්දු කිව්වට, බැච් එකක් ඉස්සරහ වේදිකාවට නැගලා ගීතයක් ගායනා කරලා නොතිබුණු මට ඒ අත්දැකීම අපූර්වත්වයක් එක් කළා.

ඒත් මුල්ම ගීතය ගායනා කළේ ජයසංඛ චූලාභය .ඔහු ගායනා කළ ඒ ගීතය එවෙලේ ලොකු කතාබහක් ඇතිවුණා.මොකද සාමාන්‍යයෙන් ළමයෙක් ගායනා නොකරන,ඒත් ගායනා කරන්න තහනමක් නැති ගීතයක් තමයි ජයසංඛ ගායනා කළේ.ඒ ගීතය තමයි “මේ රාග තාල අපි ගයන්නේ ඉගෙනගෙනයි ළමයෝ“ ගීතය.ඉන්පස්සේ තමයි මගේ වාරය ආවේ.

මම මුල්ම වතාවට වේදිකාවට පය තිබ්බා.හිතේ ලොකු චකිතයක් තිබ්බා.ඒත් එදා උදේ අම්මා මගේ බය සම්පූර්ණයෙන්ම වගේ නැති කරලා තිබ්බේ.ඒ නිසා මුල්ම වතාවට මයික් එක අතට අරන් “පාණ තියා බුදුසාදුට හිමිදිරියේ“ ගීතය කිව්වා.

අත්පොළසන් නාදය මැද්දේ මම වේදිකාවෙන් බැස ගියා. ඒ ගීතය හැමෝම අහලා තිබුණු ගීතයක් සහ නිතර ඇහෙන ගීතයක් නිසා බලන් හිටි අයට ලොකු අමුත්තක් වුණේ නෑ.

ඒත් හත වසරේදී මම ‍වේදිකාවට නැග්ගේ පුරුදුකාරයෙක් වගේ.මොකද කලින් එක් වතාවක් වේදිකාවට නැග්ග නිසා දැන් එච්චර බයක් තිබුණේ නෑ.ඒත් අවුරුද්දකට වතාවක් විතරක් තියෙන නිසා දෙගිඩියාවක් නොතිබ්බා නෙමේ.

 මොකද එදා මම ගායනා කළේ “දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න“ ගීතය.


දැලි රැවුලත් නැති ඒ කාලේ රැවුල ගැන කතා කරනවා කියන එකත් බයිට් වීමට කාරණාවක්.ඒ නිසා රැවුල ගැනත් කියැවෙන ඒ ගීතයේ ඒ කොටස කොහොම කියන්නද කියලා ලොකු සැකයක් තිබ්බා.නමුත් අවසානයේදී කවුරු හිනාවුණත් කමක් නෑ, මම සින්දුව කියනවා කියලා මම හිතාගත්තා.ඒත් මට අදාළ ස්ථානයේදී හිනා නොවී ඉන්න නම් බැරිවුණා (“මම තරුණෙකි කවදා හෝ එය ඉටුවන දා“ යන කොටසේදී)

ඒ කොහොම වුණත් එදා මම ගායනා කළ ගීතයේ අදාළ කොටස විතරක් උපුටා දක්වන්න මං කැමැතියි.ගීතයේ දෙවැනි අන්තරා කොටස පටන් ගන්නේ මෙහෙමයි.

“වැල් ඇඳ උඩ වාඩිවෙලා රැවුල පැසෙන දා
මම තරුණෙකි කවදා හෝ එය ඉටුවන දා
අවුරුදු දා බුලත් අතින් තෑගි ගෙනෙන දා
ඔබේ ඇසට කඳුළු නැගෙයි එදින නොවරදා“


එදා අපේ යාළුවෝ අතර එතරම් ප්‍රසිද්ධ නොවූ ඒ ගීතයත්,පාසැල් මට්ටමේ ගායන දක්ෂතාවයත් නිසා එදා මට ගායකයෙක් විදිහටත් යම් ජනප්‍රියත්වයක් ලැබුණා.

ඒත් අටවැනි ශ්‍රේණියේදී පැවැති සිංහල සාහිත්‍ය සංගමයෙන් පස්සේ තමයි හුඟක් අය අතර මාව කැපී පෙනෙන්න පටන් ගත්තේ.

මම එම වසරේ පැවැති සිංහල සාහිත්‍ය සංගමයේදී ගායනා කළේ “ රුං රුං හඬ දීලා “ ගීතය.

“රුං රුං හඬ දීලා හොඳම තැනක් බලලා
මුං ඇට තරමේ මැටි ගුලි ගෙනැල්ලා එක පිට තබලා
රන් කුඹලා උළුවස්සේ උඩ අපි පුංචි ගෙයක් හැදුවා“


මේක ඒ කාලේ බොහෝ දෙනෙක් නොදැන සිටි ගීතයක්.මට ඉගැන්නුවෙත් අපේ අම්මා.අම්මා කියන්නේ තනිකරම ළමා ගීත ලැයිස්තුවක්.අම්මා නොදන්න ගීතයක් නැහැ.

ඒ වෙද්දි මගේ කටහඬත් ගොරෝසුවෙමින් පැවැති කාලයක්.ඒත් ඒ වෙද්දිත් ළමා කටහඬ මා සතුව තිබුණා.හරිම සිහින්ව පැවැති ඒ හඬින් “රුං රුං හඬ දීලා“ ගීතය ගායනා කරද්දී හැමෝම ඒ ගීතය ගැන අවධානයෙන් හිටි බව මට අවසන් අන්තරා කොටස ගායනා වෙද්දී තේරුම් ගියා.ඒ වටහා ගැනීම කොච්චර නිවැරදිද කියලත් පසුව ලැබුණු අත්පොළසන් හඬින් පැහැදිලි වුණා.

මොකද ඉන්පස්සේ තිබුණු පන්තියේ විශේෂ අවස්ථාවලදී ඉදිරිපත්කිරීම් කරන්න ඉඩ ලැබුණාම බලෙන්ම මාව ඉස්සරහට යවපු අවස්ථා තිබුණා. මට මතකයි දවසක් නවය වසරේදී ලකිඳු මාව බලෙන්ම ඉස්සරහට යවපු දවසක්.එවෙලේ පන්තියේ හිටියේ සිංහල උගන්නපු ඉන්ද්‍රපාල සර්.සර් ප්‍රශ්න පත්තර බලන අතරේ කැමැති කෙනෙක්ට ඇවිත් ඉදිරිපත් කරන්න අවස්ථාවක් සර් ලබා දුන්නා.එතකොට තමයි ලකිඳු මාව ඉස්සරහට තල්ලු කළේ.

“මාලන්, අර කුඹලාගේ සින්දුව කියන්නකෝ.අර එදා සාහිත්‍ය සංගමයේදි කිව්වේ.“

මට බලෙන් කරපු ඉල්ලීමක් වුණත්, මම ඒ ඉල්ලීම බාරගත්තා.ඒත් මම එදා පුදුම වුණා, ලකිඳු වගේ රංගනයට,ගායනයට,කථිකත්වයට ආදී දක්ෂතා ගොඩකට හිමිකම් කියන කෙනෙක් එහෙම ඉල්ලීමක් කරපු එක ගැන.

නමුත් නවය වසරේ මැද භාගයේදී පසුව උගුරු ඇටේ ඉදිරියට ඇවිත් කටහඬත් ගොරෝසු වුණාට පස්සේ මට ආයෙත් ළමා ගීත ගායනා කළ හැකි අවස්ථාව අහිමි වුණා.

ඒත් ඊටත් වඩා හොඳ කටහඬක් මට ලැබුණු බව මට තේරුණේ ඇගයීමක් වෙනුවෙන් එස්.මහින්ද හිමිගේ “ලංකා මාතා“ කවි පන්තියෙන් කවි දෙකක් ගායනා කරන්න ඉදිරියට ගිය අවස්ථාවේදී.මට තාමත් ඒ කවි දෙක කට පාඩම්.


“බෑ ඉවසන්නට බෑ ඉවසන්නට අම්මෙනි පෙම්බර ලංකා
මා සිත ගින්නෙහි ලූ ලුණු මෙන් පුපුරන්නෙය කෝප විකාරෙන්
ඈ සනසන්නට සිංහල ලේ ඇති සිංහල කොල්ලකු අයියෝ
දැන් උපදින්නම නැද්ද අහෝ අද දෙව් රජුනේ ලක රක්නා


ජාතික ආලෙහි ජීව නගා කිරි දී එඬරු රස දුන්නු
මේ ලක ගොයි මහගෙ සතු සම්පත කොයිබද ඒ කිරි දෙන්නු
කාමුක නීච සිරිත් පුරුදු කර උන් මරලා ගිල දැම්මෝ
මේ එක දේම නොවීද අහෝ අද ජාතික හානියෙ හේතු“


මේ කවි දෙක ඇහෙද්දී එහා පැත්තේ පන්තියේ උගන්නමින් හිටියේ අපේ පන්තියටත් ගණන් උගන්වන කමලදාස මිස්.මට සිංහල පීරියඩ් එකෙන් පස්සේ ලුචින (කළුවා) කියපු විදිහට මම කවි දෙක කියද්දී පාඩම නවත්තලා පන්තියේ ළමයි සහ මිස් මම කියපු කවි දෙක අහන් හිටියා කියලයි වාර්තා වුණේ.

කොහොම වුණත් නවය වසරේදී සිදුවුණු තවත් අතුරු සිදුවීමක් තමයි මම “අමද්‍යප සංගමයට“ එකතු වීම.ඒත් සංගම්වල බැහැලා වැඩ කරන්න ගිහින් ඉස්කෝලේ වැඩ අතපහුවෙයි කියලා මම හුඟක් බැහැලා වැඩ කරන්න ගිය චරිතයක් නෙමෙයි.ඒ නිසා මට මතක විදිහට මුල්ම සංගම් රැස්වීමෙන් පසුව කිසිම අමද්‍යප සංගමයට අදාළ රැස්වීමකට යන්න මට බැරිවුණා.අනික මට එහෙම රැස්වීමක් ගැන ඉන්පස්සේ දැනගන්න ලැබුණෙත් නැහැ.හැබැයි ඒ මුල්ම රැස්වීමට චානුක රත්නසේනත් ඇවිත් හිටියා.ඒක තිබුණේ පිට්ටනියේ නවය වසරේ ඉදිරිපිට තිබුණු පඩිපෙළ ළඟ.කටහඬ වෙනස්වෙන කාලේ එදා චානුක මට කියපු කතාව මට තාම මතකයි.මොකද අපි කාලෙකින් තමයි එදා හම්බවුණේ.

“අම්මෝ මාලන්ව දැක්ක කල්.දැන් කටහඬත් වෙනස්වෙලානේ.ගොරෝසු වෙලා හොඳටම“

සටහන - මාලන් විදානපතිරණ

Monday, April 13, 2015

මධුක සමග මම 2015/04/13

මධුක සමග මම
(අතීතයෙන් කතාවක්)


මේ කතාව පටන් ගන්නේ හය වසරෙන්.හරියටම කිව්වොත් 6- ඩී පන්තියෙන්.එදා තමයි ශිෂ්‍යත්වයෙන් වැඩිම ලකුණු ගත්ත ළමයින් අලුත් පාසැලට එන දවස.අපිත් බලන් ඉන්නවා,ටික මොහොතකින් අපිට පේනවා,අපේ පන්තිභාර ටීචර් වෙච්ච ආරියප්පෙරුම ටීචර් පිටිපස්සෙන් පෙරහැරක් එනවා. අපිත් ලෑස්ති වුණා, අලුත් ළමයින්ව පිළිගන්න.මං ළඟ වාඩිවුණේ සුදු ලස්සන ළමයෙක්.හරිම අහිංසක ළමයෙක්.තමන්ගේ පාඩුවේ වැඩ ටික කරගෙන යන,හැමෝ එක්කම හොඳින් කතා කරන සුපිරි මොළයක්.ඒ හින්දා මටත් ඒ යාළුවාව හිතට ඇල්ලුවා.ඔහු නමින් රේෂාන් මධුක අබේසිංහ.පදිංචිය හොරණ.

හැබැයි හය වසරේදි එදා ඇතිවුණු ඒ මිත්‍රත්වය තව දුරටත් ගෙනියන්න අපිට පුළුවන් වුණා.මොකද හත වසරේදිත් මධුක හිටියේ මගේ පන්තියේ.හැබැයි තරමක් දරදඬු පන්තිභාර ටීචර් කෙනෙක් අපිට හම්බවුණු නිසා අපි ඒ කාලය ගත කළේ හරිම විනීතව.ටීචර්ට හුඟක් බයෙන්.අපි පොඩ්ඩක් හරි හිතුවක්කාර වුණේ සිංහල පීරියඩ් එකේදි තමයි.රෝහිණි ටීචර්ගේ සිංහල පාඩම අපිට හොඳට අල්ලලා ගියා.මොකද රෝහිණී ටීචර් දැනන් හිටියා අපේ වයසේ හැටි.ඒත් මනෝජා ටීචර්ගේ නීතියට අනුව අපිට බං,ඕයි,කුණුහරුප කියන්න තහනම්.මොකද ඒ කාලේ හොඳම හැසිරීම වගේම නරක හැසිරීම බලන්නත් ක්‍රමයක් යොදලයි තිබුණේ.අනික පන්ති නායකයා අංක පිළිවෙළට දවසින් දවස මාරුවෙනවා.වැරැදි වැඩවලට ලකුණු කැපෙනවා වගේම,හොඳ වැඩවලට ලකුණු එකතු කිරීම තමයි පන්ති නායකයාගේ රාජකාරිය.ඒ නිසා අපේ පන්තිය තමයි හත වසරේදි ගුණගරුකම පන්තිය වුණේ.

කොයිහැටි වෙතත් ඉස්කෝලේ ඇරුණට පස්සේත් අපේ මිත්‍රතත්වය දුරදිග ගියා.මොකද අපි දෙගොල්ලොම අපේ පාසැල් වෑන් එනකම් හිටියේ එකම තැනක.හැබැයි මධුක හිටියේ පාරෙන් එහා පැත්තේ.මධුකත් එක්ක ඒ දවස්වල ඒ පාසැල් බස් එකේ මට මතක විදිහට අමිත්,කසුන් දන්ත එහෙමත් ගියා.ඒ හින්දා එතැන වෙනම සෙට් එකක් හැදිලා හිටියා.ඒත් අපේ වෑන් එකට කලින් මධුකගේ බස් එක එනවා.ඒක කොළ පාට ලස්සන හුරුබුහුටි බස් එකක්.ඒ නිසා සමහර දවස්වලට බස් එක ඈත තියා දැක්කම මම මධුකට කෑගහලා සිග්නල් එක දෙනවා, බස් එක එනවා කියලා.

ඒත් හත වසරෙන් පස්සේ මමයි,මධුකයි කාලෙකට එක පන්තියකට වැටුණේ නැහැ.අපි ඉන්පස්සේ හම්බවුණේ වෑන් එනකම් ඉන්න තැනදි විතරයි.ඉතින් දවසින් දවස මමත් දැක්කා මධුක වෙනස්වෙන විදිහ.මට නවය වසරේ වෙද්දි මධුකගේ අහිංසක ගතිය ගිහින් ටිකක් දඟකාර ගතිය ඉස්මතුවුණු සිදුවීම් පවා අහන්නත් ලැබුණා.කොහොම වුණත් මධුකයි,මායි ආයෙමත් එක පන්තියේදි හම්බවෙනවා.ඒ ගණිත අංශයෙන් මම ඒ ලෙවල් කරන්න තීරණය කරපු හන්දා.

අපේ පන්ති භාර සර්ගේ නම සුනිල් පෙරේරා.අපි කිව්වේ චොක්කා කියලා.මොකද මොකක් කිව්වත් ඒ සර් “චුක්“ ගානවා හූනෙක් වගේ.සර්ගේ හොඳම ගෝලයා තමයි මධුක.ඉතින් මධුකම තමයි ඒ කාලේ සර්ව අවුස්සලා ගන්නේත්.

ඒ කාලේ ජනප්‍රියම ඉංග්‍රීසි උගන්වන හාස්‍ය වැඩසටහනක් තමයි, “රජ කඩුව“ කියන්නේ.ඒකේ ජනප්‍රියම දෙබසක් තමයි “අන්න එතැනදි ඇදුරාණනි“ කියලා කියන්නේ.ඕක මධුක ඒ කාලේ අපේ සර්ලව බයිට් කරන්න ඕනේ වුණාම දවසට එක පාරක් හරි කියනවා.හරියටම ටයිමින් බලලා අපි හිතන්නේ නැති වෙලාවක තමයි සමහර දවස්වලට මධුක ඒක කියන්නේ.ඒ නිසා හරිම කටෝර විෂයන් එක්ක පන්තියම රසවත් කරපු චරිතයක් තමයි මධුක කියන්නේ.

මේ අතරේ අපේ සර්ගේ(චොක්කාගේ) උපන් දිනය තියෙන දවස අපේ එකෙක් කොහොමහරි හොයාගෙන.දැන් දවසේ මාතෘකාව තමයි සර්ගේ උපන්දිනය.

සර් පන්තියට ආවා.මධුක කිව්වා,කට්ටියටම කෑ නොගහ ඉන්න මම ලස්සනට වැඩේ කරන්නම් කියලා.ඉතින් සර් පාඩම පටන් ගන්න හදද්දිම මධුක නැගිටලා මෙහෙම කිව්වා.

“සර්,අපිට සර්ගේ බර්ත්ඩේ එක මතක්වුණා.ඉතින් අපි ඔක්කොමල්ලාම කේක් ගෙනාවා“

මොකද අපි කලින් ප්ලෑන් කරලා තිබුණු විදිහට හැම එක්කෙනෙක්ම පොඩි “ඕකේ“ කේක් එකක් අරන් ආවා.මොකද ඒ කාලේ ඔය විදිහෙම වෙළඳ දැන්වීමක් හුඟක් ජනප්‍රිය වෙලා තිබුණා. අනික මධුක මොනවා කිව්වත්,සර් ඒකට මුකුත් කියන්නේ නැති බව මධුකත් දැනන් හිටිය නිසා මධුක තමයි ඒ විදිහේ ජොලි වැඩ කළේත්.

ඔය අතරේදි දවසක් පොඩි කාලේ වගේ පාසැල් බස් එකේ යන්න මධු, කට්ටිය එක්ක බලන් හිටියා.මම හිතුවා, පාසැලේ අන්තිම කාලේ ආයෙමත් මධුක පාසැල් බස් එකේ යන්න තීරණය කළා කියලා. ඒ නිසා මම මධුකගේ බස් එක එද්දි ටිකක් කලබල වුණා.මොකද බස් එක ආවත් යන්න කල්පනාවක් නැහැ.බස් එක අනික් ළමයින් නග්ගගෙන යන්න ගියා. මම මධුකට කෑ ගැහුවා, අන්න බස් එක යනවා කියලා.
“මාලන්ට තාම අපේ බස් එක මතකයි නේද ?“ එතකොට මධුක මට කිව්වා.

කොහොම වුණත් මධුක කැම්පස් තේරුණාට පස්සේ,මමත් ලංකාදීප පුවත්පතේ වැඩ කරන්න පටන් ගත්තාට පස්සේ මධුක සහ මම අතරේ තිබුණු මිත්‍රත්වය ටිකක් ඈත්වුණා.

නමුත් මොරටුව විශ්වවිද්‍යාලයේ පැවැති ප්‍රදර්ශනයකට මටත් යන්න තිබුණු විශාල ඕනැකමක් තිබුණු හින්දා,ආයෙත් දවසක් අපි දෙන්නට මුණගැහෙන්න අවස්ථාවක් ලැබුණා.

හැබැයි ඒ වෙද්දි නම් මධුක තවත් දියුණුවෙලා තමයි හිටියේ.ගෑණු ළමයෙකුත් හිටියා,ඒ වුණාට මධුක මාව දැකලා කිව්වේ වෙන කතාවක්.

“අම්මටසිරි මාලන්,උඹ මොඩ්වෙලානේ බං.සන්ග්ලාස් එහෙම දාලා.“

මම ඒකෙන් පුදුම වුණා.සමහර විට ඉස්කෝලේ දැකපු විදිහට මාව දකින්න මධුකත් හිතන් ඉන්න ඇති.

දැන් මධුක අපේ පැත්තට සේන්දුවෙද්දි,මම මධුකලාගේ ගෙවල් පැත්තට සේන්දු වෙලා.මොකද මම කොළඹ විශ්වවිද්‍යාලයේ වුණත් අපේ පීඨය පිහිටලා තියෙන්නේ හොරණ.ඒත් දෛවෝපගත විදිහට මම කොළඹ විශ්වවිද්‍යාලයට යන මුල්ම දවසේ මධුකව අතරමගදි හම්බවුණා.මම සැකේට තාත්තාට වාහනේ නතර කරන්න කිව්වාම,මගේ සැකේ තහවුරු වුණා.මධුක ගෙදර යන ගමන්.හැබැයි හරියටම අපි අපේ වාහනේ නතර කරලා තියෙන්නෙත් මධුකගේ ගෙවල් ළඟ.

ඒත් එදා ඉඳන් දැන් අවුරුදු දෙකක් ගත වෙලා.හැමදාම මධුකගේ ගෙදර මට පාස්වෙනවා.තාමත් බැරිවුණා මට මධුකගේ ගෙදර යන්න.දනිපනියේ එහාට මෙහාට යන අපි දෙන්නා අවුරුදු දෙකකින් මුහුණට මුහුණ හම්බවුණේ නැහැ.මතකය විතරක් ඉතුරුවෙලා.ඒ නිසයි වෙලාවක් ආපු හැටියේම ඒ මතකය මම ලියලා තිබ්බේ.

නමුත් මධුකගෙන් යම්කිසි ඉල්ලීමක් ආවොත්,එයින් යම් හානියක් වෙනවා නම්, මේ සටහන ඉවත් කරන්නත් මම මැලිවෙන්නේ නැහැ.

(මාලන් විදානපතිරණ)

හීන අතරින් ආ අමුතු තාලේ ගමනක් 2015/04/12


 හීන අතරින් අමුතු තාලේ ගමනක්
(පම්පෝරියක් නෙමෙයි)



පුංචිම කාලේදි අපි අපේ ජීවිතේදී එක එක ජාතියේ හීන දකිනවා.මටත් වගේ හින තිබුණා.

ඉස්සර මම හිතුවේ රියදුරු සහායක රස්සාව හුඟක් වටිනා රස්සාවක් කියලා.මම ඒක පහතට දානවා නෙමෙයි.ඒත් සමාජය විසින් ඒක සළකන්නේ පහත් පෙළේ රස්සාවක් විදිහට.ඒත් මට කාලේදි ඒකට පුදුම පිස්සුවක් තිබුණා. මොකද එක එක වටිනාකමින් යුක්ත ටිකට් පොත් ටිකක් එකම ලී කොටයක හිරකර ගෙන අමුතුම ආකාරයකට කිහිල්ලේ රුවාගෙන අපි යන තැනට අදාළ ටිකට් එක දෙමින් බස් එක ඇතුළේ ඔහු කරනා වික්‍රමය, මට දැනුණේ හුඟක් ලොකු වැඩක් විදිහටයි.ඉතින් මමත් වගේ ටිකට් පොතක් හදාගන්න දවස්වල හුඟක් උත්සාහ කළා.බැරිම තැන හැමදාම හම්බවෙන ටිකට් කෑලි ටික එකතු කරලා විදිහටත් ටිකට් පොත හදන්න හැම විදිහකටම උත්සාහ කළා.අනික ගෙදර මිනිස්සුන්ටත් බේරුමක් නැහැ, මම හැමතැනම ටිකට් පොතක් තියාගෙන ටිකට් කඩ කඩ ඇවිදින හින්දා.මේ හින්දා දවසක් බැරිම තැන කව්දෝ මන්දා පාරේ තිබිලා අහුලපු,බස් එකෙන් වැටිච්ච ටිකට් පොතක් මට ගෙනල්ලා අම්මා දීලා තිබුණා.අම්මලා හිතුවේ ඒකෙන්වත් මගේ පිස්සුව ඉවරවෙයි කියලා.ඒත් ඒකෙන් වුණේ මගේ පිස්සුව ඩබල් වුණු එක.

ඔය අතරේදි තමයි රූපවාහිනියේ කාර් රේස් පෙන්නන්න පටන් ගත්තේ.ඒක දැක්කම මට බස් ටිකට් පිස්සුව කොහෙන් ගියාද නෑ.ඒත් දැන් අම්මාට උයාගන්න විදිහක් නැහැ.ඉස්සර ගෑස් කුකර් එකේ දෙපැත්තේම උයපු අම්මට,එක පැත්තකයි උයන්න වෙලා තියෙන්නේ.මොකද අනික් එක මම මගේ සුක්කානමට අරගෙන,ඩෙස් එකට හයි කරගෙන.ඩෙස් එකේ පියන ඇරලා පොත් දාන එකට තමයි සුක්කානම සෙට් කරලා තියෙන්නේ.ඩෙස් එකේ පියන තමයි වීදුරුව.දැන් ඉතින් මෙලෝ සිහියක් නැතුව මම එළවනවා.අම්මා දහ පාරක් කෑ ගහලා කෝටුව ගත්තම තමයි රේස් එක නතර වෙන්නේ.

යුද්ධෙත් දරුණුවටම ගිය කාලේ තුන වසරෙදි හමුදාවට යන්නත් හීනයක් තිබුණා.මම අම්මට කිව්වා,මම කවදාහරි ලොකුවෙලා හමුදාවට යනවා කියලා.ඒක කිව්වම අපේ අම්මා මට බැණ බැණගෙන ගියා.මොකද කාලේ අපේ සෙබළු හුඟක්,යුද්ධේ වෙනුවෙන් තමන්ගේ ජීවිත පරිත්‍යාග කරලා තිබුණා. හින්දම මටත් ඕනේ වුණා හමුදාවට බැඳෙන්න. නිසා පොල්පිති කපාගෙන,තුවක්කු හදාගෙන යාළුවොත් එක්ක එක එක විදිහේ සෙල්ලම් එදා මම කරපු විදිහ, මට අද වගේ මතකයි.හැබැයි අපේ අම්මාගේ අඬෝවැඩියාව එක්ක පොඩි කාලෙදිම හීනෙත් අකුලගන්න මට සිද්ධවුණා.



අනූ හයේ ලෝක කුසලානයේ අවසන් තරගයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබුවයින් පස්සේ අපේ ගෙදරත් ටිකක් ක්‍රිකට් මැච් බලන්න පුරුදු වුණා.ඒත් ගෙදර කවුරුවත් හිතුවේ නැහැ,ඒක මගේ ජීවිතේ සන්ධිස්ථානයක් වෙයි කියලා.හැබැයි මට එදා ක්‍රිකට් පිස්සුව තදින්ම වැදුණා.කවදාහරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනවා කියලා හිතන් හිටපු මම පොල්පිති බැට් කපාගෙන, පොල්පිති බැට් හදාගෙන එදා ඉඳන් සෙල්ලම් කරන්න පටන් ගත්තා.සමහර දවස්වලට හවසට අල්ලපු වැටේ හිටපු ලෝචන අයියා එනවා මං එක්ක සෙල්ලම් කරන්න.එයා තමයි මගේ පුහුණුකාරයා.පොල්පිති බැට් හොඳට හදලා දෙන්නෙත් එයා.එයා නැති දවසට මම තනියම සෙල්ලම් කරනවා,බෝලෙකුත් නැතුව.මම චක්කරේ පාඩම් කළේත් ක්‍රිකට් වලින්.මට එවන හැම බෝලෙටම හයේ ඒවා ගහනවයි කියලා හිතාගෙන මම හවසට ලකුණු ගණන් කළා.මට එවන හැම බෝලෙටම හතරේ පාරවල් ගහනවා කියලා මම ලකුණු ගණන් කළා.මේ අතරේ සමහර දවස්වලට මම අල්ලපු ගෙදර තිලක් අයියලාගේ ගෙදර සෙට් එකත් එක්ක සෙට් එනවා.මොකද මම දන්නවා අපේ පාරෙන් ට්‍රේල් බයික් කීපයක් යද්දි,අද කට්ටිය සෙට් වෙන බව.හැබැයි මම තමයි එතැන හිටපු පොඩිම එකා.ඒත් මාව ඒගොල්ලෝ සවුත්තු කළේ නැහැ.මාවත් ගත්තා, ක්‍රිකට් ගහන්න හැම වෙලේම.

මේ හින්දා ඉස්කෝලේ හයේ පන්තියට යද්දි ක්‍රිකට් පිස්සුව තදටම වැදිලා තිබුණා. නිසා මම තීරණය කළා, ක්‍රිකට්වලට තෝරා ගැනීමේ නාලන්දා විද්‍යාලයීය පාසැල් කඳවුරට යන්න.ඒත් මම කවදාවත් ලෙදර් බෝලෙන් සෙල්ලම් කරලා තිබුණේ නැහැ.අනික එතැන හිටියේ වෙද්දි ක්‍රිකට් සමාජවල සෙල්ලම් කරන යාළුවෝ.අලුතින් ඇවිත් හිටියේ මම වගේ කීපදෙනෙක් තමයි.අපිට ඒත් ක්‍රිකට් බඩු ගන්න ඕනේ කියලා කල්පනාවක් තිබුණේ නැහැ.පස්සේ තමයි ඒක කල්පනාවට ආවේ.ඉතින් මම ගැන දවසක් පුහුණු කරන කෙනාගෙන් ඇහුවා.එතකොට කිව්වා, අනිවාර්යයෙන්ම ක්‍රිකට් බඩු ඕනේ කියලා.අපිට තේරුණේ ක්‍රිකට් බඩු සල්ලි දීලා අලුතින් ගන්න ඕනේ වගේ දෙයක්.මොකද අපි ඒවා කලින් අරන් තිබ්බේ නැහැනේ.දැන් මම අර කතාව කිව්වට පස්සේ,මගේ අනික් යාළුවොත් අප්සට්.ඒත් සමහරු මම වගේම අමාරුවෙන් හරි බඩු ටික අරගත්තා. කාලේ ගානේ හැටියට රුපියල් 5000ක් විතර ගියා.හැබැයි පස්සේ තමයි තේරුණේ, පුහුණුකරුවා කිව්වේ සෙල්ලම් කරන්න බඩු ඕනේ මිසක් සල්ලිවලට අලුතින් බඩුගන්න ඕනේය කියලා ඔහු අදහස් නොකරපු බවක්.ඒත් වෙද්දි අපි බඩු අරගෙන ඉවරයි. හින්දා පුහුණුවට තෝරාගන්න අන්තිම දවසේදි බඩුවලින්වත් ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියලා අපි හිතුවා.අපි ඉස්කෝලේ වෙනම තැනක සෙට් වුණා.හරියටම කිව්වොත් පැවිලියන් එක පිටිපස්සේ,බාස්කට්බෝල් කෝට් එක හරියේ.එදා අපි සුපිරි මැච් එකක් ගැහුවා.ලොකු විනෝදයක් ලැබුවා.හැබැයි මගේ ජීවිතෙත් එතැනින්ම ඉවරවෙන්න තිබුණු අවස්ථා දෙකක්ම එදා යන්තම් මගහැරුණා.එක වතාවක් කැච් එකක් අල්ලන්න ගිහින් ලෙදර් බෝලේ නළලේ වැදුණා.අනික් වතාවේ වහලේ ඉඳලා රූටලා ආපු ලෙදර් බෝලේ පිට කොන්දේ වැදුණා.කොහොම වුණත් එදා අපි රෑ වෙනකම්ම සෙල්ලම් කළා.අම්මලා දැනන් හිටියා අපේ දුක. දුක නැතිවෙන්න එදා අපි සෙල්ලම් කරපු බවත් අම්මලා දැනන් හිටියා.එදා අපේ අම්මත් එක්ක මට මතක විදිහට බුවනෙකගේ අම්මත් හිටියා.
කොහොම වුණත් ගත්තු ක්‍රිකට් බඩු ටික ගැන ගෙදර ගියාට පස්සේ බැණුම් කෝටියයි. නිසා ඒකටත් සාධාරණයක් කරන්න හිතාගෙන මම හිතාගත්තා,කොහොමහරි ක්‍රිකට්වලින් ඉස්සරහට යනවා කියලා.ඒත් හත වසරේදි මම ගිය පුහුණු සැසියේදිත් මම අසමත් වුණා.අට වසරේදිත් ගියා. පාරත් අසමත් වුණා.අන්තිම උත්සාහය වශයෙන් නවය වසරේදිත් ගියා.ඒකත් අසාර්ථක වුණා.ඒත් ක්‍රිකට් සමාජයකට බැඳෙන්නත් මම එක පාරක් උත්සාහ කළා.ඒත් මුදල් ප්‍රශ්නයක් හින්දා සහ ඉගෙනීමට ප්‍රශ්නයක් වෙයි කියලා බයට තාත්තා හින්දම ආයෙත් තීරණේ පස්සට ගන්න වුණා.ඒත් ක්‍රිකට් උණ හැමදාම හිතේ රජ කරන්න වුණා.අනික් ක්‍රිඩා ගැන උණත් දවසින් දවස වැඩිවෙන්න වුණා.



හත වසරේදි තිබුණු මලල ක්‍රීඩාවට තෝරා ගැනීමේ පුහුණු සැසියේදී මාවත් මීටර් 100,200 ඉසව්වලට තේරෙන්නේ ඔය අතරේදි.උදේ පාන්දර පහට හෝ හයට අපිට එන්න කියලා තිබුණා.මංජුල සර් තමයි කාලේ හිටියේ.ආවේ නැත්නම් එදාම පන්තියට ඇවිත් ආපු නැති එකට හේතු අහනවා.අනික සර් ගහන පාරවල් රිදෙන හින්දා සර්ට හුඟක් දෙනෙක් බයවෙලා හිටියේ.කියන දේ අනිවාර්යයෙන්ම අපි කරනවා කියලා තමයි අපි හිතන් හිටියේ.මමත් ගියා මුල්ම දවසේ.උදේට වැඩිය කන්නෙත් නැති මට,උදේ පාන්දරම වට 10ක් දුවන්න වුණා.ඉන්පස්සේ මීටර් 100,200 ඉසව්වලට පුහුණු කරනවා.මට වෙද්දි හති.මට පේනවා ඒත් බුවනෙක යනවා විදගෙන.කොහොම වුණත් ඉන්පස්සේ හොඳට නාලා තමයි අපි පන්තියට ගියේ. හින්දා පන්තියේ ළමයිත් අපි දිහා අමුතු විදිහකට තමයි බැලුවේ.හැබැයි එනපොට හොඳ නැති බව තාත්තට තේරුණා.වහාම ක්‍රියාත්මක වන පරිදි මා තාත්තා,මලල ක්‍රීඩාවෙන් අයින් කළා.මලල ක්‍රීඩකයෙක් වීමේ අවසන් වුණේ අන්න එහෙමයි.

ටයිටැනික්,ජුරාසික් පාක් බලපු මට,ඔය කාලේදි තමයි චිත්‍රපට පිස්සුව ඔළුවට ගහන්නේ.ටයිටැනික් චිත්‍රපටය බලලා මම හුඟක් ඇඬුවා,පොඩි කාලේ.විශේෂයෙන්ම රෝස් බලන් ඉද්දිම ජැක්,සීතලට ගල්වෙලා මුහුදුබත් වෙන දර්ශනය මාව හුඟක් ඇඬෙව්වා.ඇත්තම කිව්වොත් ඒක කාලයක් පුරා හිතට දුකක් ගෙන ආවා. ජුරාසික් පාක් බැලුවට පස්සේ මට, ගෙයින් එළියට බහින්නත් බය හිතුණා.හැබැයි ඔක්කොම සංවේදී හැඟීම් දරදඬුවෙලා,හිතුවක්කාර චරිතයක් වෙන්න පටන් ගන්නේ අට වසරේ ඉඳන්.ඒත් මොහොතේත් මගේ හිතේ දෝංකාර දුන්නේ, වගේ හැඟීම්බර චිත්‍රපටයක් කවදාහරි හදන්න ඕනේ කියන එකයි.චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වෙන්න ඕනේ කියන හීනය එළියට එන්නේ එතකොටයි.

හැබැයි දහය,එකොළහ වසර වෙද්දි අපේ හීනය සිරස සුපර් ස්ටාර් විසින් අමතක කළා.මටත් ඕනේ වුණා ගායකයෙක් වෙන්න.අපි හැමදාම ඒකට පන්තියේදි පුහුණු වුණා.වැඩ නැති පීරියඩ්වලදි කළේ සින්දු කියන එක තමයි.මොකද මාත් එක්ක හර්ෂ සහ ජයසංඛ සුපර් ස්ටාර් යන්න හීන දැක දැක හිටියා.අපි කියන්න ඉන්න ගීත අහන්නත් කට්ටිය උනන්දුවෙන් බලන් හිටියා.ඒත් ඔය අතරේදි මම ප්‍රවීණ සංගීතඥ සරත් වික්‍රම ළඟට ගිහින් කටහඬ හදාගන්න උත්සාහ දැරුවාට පස්සේ ගායකයකු වීමේ හීනයත් එතැනින්ම වලපල්ලට ගියා.මොකද තරමටම මම ගැන කළකිරුණා.

උසස් පෙළට මම තෝරාගත්තේ ගණිත අංශය.මේ හින්දා මගේ ජීවිතේ වෙනත් පිටුවක් පෙරලුණා.අන්තිම වෙද්දි මට රසායන විද්‍යාව පැත්තෙන් ව්‍යාපාරිකයෙක් වෙන්න හීන මවමින් හිටියා.ඒත් හීනයටත් තාවකාලිකව සමුදෙන්න මට සිද්ධවුණා.

අනික උසස්පෙළත් අසමත් වෙලා ආයෙත් කලා අංශයෙන් උසස් පෙළ හදාරලා විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම ලබද්දි මම හිතන් හිටියේ නාට්‍යකරුවෙක් වෙනවා කියලයි.ඒත් හීනයත් තාවකාලිකව හිතින් අයින් කරන්න මට සිද්ධවුණා.ඒකට හේතුවුණේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබෙනතුරු කල් මැරූ මට, ආයෙත් චිත්‍රපට උණ බෝවුණු හින්දයි.මොකද වෙද්දි මම ජනමාධ්‍යවේදියෙක් වශයෙන් වගේම,තරුණයා පුවත්පතේ හොලිවුඩ් සිනමා අතිරේකයේත් සංස්කාරකවරයා විදිහට වැඩ කටයුතු කළ හින්දා. මේ නිසාම මම අවසානයේදී කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රිපාලි මණ්ඩපයේ සිනමා විශේෂවේදී උපාධියට සුදුසුකම් ලැබුවේ නිතරම විෂය පථය සමග යාවත්කාලීන වුණු හින්දා ඇසූ ප්‍රශ්න මට හැටි අමාරුවක් නැතිවුණු හින්දා.

මේ අනුව ආයෙත් මගේ ජිවිතයට සිනමාකරුවෙක් වීමේ හීනය ඇවිත් තියෙනවා.ඒත් ජනමාධ්‍ය අත්නොහරින්නේ සිනමාව මගේ හීනය වුණත් ජනමාධ්‍ය මගේ ජිවිතය හින්දයි.පවුල් පසුබිමින්ම මට ඒක උරුම හින්දයි.අනික ජනමාධ්‍ය තුළින් තරම් සමාජයට වැඩක් කළ හැකි වෙනත් මාධ්‍යයක් මට තවමත් හමුවෙලා නැහැ.(නවමාධ්‍ය තුළින් වුණත් තවමත් විශාල බලපෑමක් කරන්නට බැහැ.).සිනමාව මගේ රූපමය අවකාශය වෙද්දි, පුවත්පත මගේ මුද්‍රිත අවකාශය වෙන්නේ හින්දයි.

මාලන් විදානපතිරණ