Friday, January 30, 2015

වෘත්තියමය තත්ත්වයක් නැති නාට්‍ය කලාවට ඉදිරියේදී හෝ රැකවරණයක් ඇතිවිය යුතුමයි- බුද්ධික දමයන්ත -2015/01/23

වෘත්තියමය තත්ත්වයක් නැති නාට්‍ය කලාවට ඉදිරියේදී හෝ රැකවරණයක් ඇතිවිය යුතුමයි.

- ප්‍රවීණ නාට්‍යවේදී බුද්ධික දමයන්ත

මාලන් විදානපතිරණ

පාදඩයා, පළිඟු රෑන, දවස තාම ගෙවුණෙත් නෑ, බන්සි මැරිලා නැහැ, අපේ පන්ති කාමරය, උතුරු කොනට පටු පාරක්, පුතා එනකං,හෙටක් නැති රටක් ආදී නිර්මාණ රැසක් වේදිකා ගත කළ බුද්ධික දමයන්ත, අධිපතියාගේ මරණ මංචකය නාට්‍යය සඳහා රාජ්‍ය සම්මාන ද හිමිකර ගත් නාට්‍යකරුවෙකි.සිංදු කිරිල්ලී“ නාට්‍යය වෙනුවෙන් 2012 වසරේ හොඳම නාට්‍යය,හොඳම නිළිය,හොඳම නළුවා සහ හොඳම පිටපතට යන සියලු සම්මාන දිනා ගත් ඔහු,පසුව පැවැති ආසියාවේ විශාලතම නාට්‍ය උත්සවය වන 16 වැනි අන්තර්ජාතික නාට්‍ය උලෙළ නියෝජනය කිරීමටද වාසනාවන්ත වූයෙකි.(ඉන්දියාවේ නවදිල්ලි නුවරදි පැවැති එම උත්සවයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ වේදිකා නාට්‍ය දෙකෙන් එකක් වීමට සිංදු කිරිල්ලී* සමත් විය.) ඒ අනුව දැන් බුද්ධික තවත් අලුත් වේදිකා නාට්‍යයක් කරළියට ගෙන ඒමට සූදානමින් සිටී. නිරන්තරයෙන්ම නාට්‍යකරණයේ නියැලෙන බුද්ධිකගේ, 19 වැනි නාට්‍ය නිර්මාණය මෙය වන අතර රූ චලන ප්‍රඩක්ෂන්ස් නිපැයුමක් වීමද සුසිල් වික්‍රමසිංහගේ ඉදිරිපත් කිරීමක් වීමද   සුවිශේෂී විශේෂත්වයකි.  මේ ඒ පිළිබඳ ඔහු පිළිබඳ කළ කතාබහකි.

තුන් මෝල්ලු කියන්නේ මම මෙතෙක් නිර්මාණය කළ නාට්‍ය නිර්මාණවල වඩා වෙනස් ආරක් ගත් නිර්මාණයක්. දේශපාලනික ප්‍රහසනයක් කිව්වොත් වඩා නිවැරදියි.මේක මටත් අලුත් අත්දැකීමක්.දක්ෂ නාට්‍ය සංවිධායකවරයෙක් වන සුසිල්ට තමයි මේ සඳහා හුඟක්ම උනන්දුව තිබුණේ. ලංකාව පුරාම වේදිකාගත කරවන හොඳ පිටපතක් සහිත හොඳ වැඩක් මාත් එක්ක එකතුවෙලා කරන්න තමයි ඔහුට ඕනැ කරලා තිබුණේ.රජන්ත ජයසිංහ නිෂ්පාදකවරයා යටතේ මේ වේදිකා නාට්‍යය නිෂ්පාදනය වීමත් මට අලුත් අත්දැකීමක් වුණා.* බුද්ධික කතාව ඇරඹුවේය.

පසුගිය කාලය පුරාවටම ඔබ නිෂ්පාදනය කළේ පරිවර්තන නාට්‍ය.ඇයි එයින් මිදෙන්න හිතුවේ ?

එහෙම දෙයක් නැහැ.මේ නාට්‍යයෙත් විදෙස් නාට්‍ය කීපයකම ඡායාවක් තිබෙනවා.බ්‍රිතාන්‍ය ප්‍රහසන නාට්‍යකරුවකු වන රේ කූනි සහ ඇමෙරිකානු ප්‍රහසන නාට්‍යකරුවකුගේ නාට්‍යයක ආභාසය මීට ලැබුණා.ඒ අනුව තමයි මේ නාට්‍යය මා අතින් ලියැවෙන්නේ.ඒත් ලංකාවේ පසට අනුගත කරලයි මෙහි චරිත ගලපා තියෙන්නේ.

නාට්‍යයේ කතා තේමාව ගැන කතා කළොත් ?

කොළඹ අවට කුලී නිවසක කසය නමින් විකල්ප පුවත්පතක් පවත්වාගෙන යන තරුණ මාධ්‍යවේදීන් දෙදෙනෙක් සහ එම කුලී නිවස අවට පදිංචියට එන රූමත් කාන්තාවක් අතර දෝලනය වන සිදුවීම් මාලාවක් තමයි මෙහි ප්‍රධාන කතාවට පාදක වෙන්නේ.ඒත් පවතින දේශපාලන ප්‍රහසන  නාට්‍ය ධාරාවට වඩා වෙනස් ආකෘතියකින් තමයි අපි මේ නාට්‍යය ඉදිරිපත් කරලා තියෙන්නේ.විශේෂයෙන්ම මෙහිදී අපි සම කාලීන දේශපාලනමය, සමාජමය, ආර්ථිකමය ආදී පැති ගණනාවක් ඔස්සේ කතා කරන්න උත්සාහ දැරුවා.

සම කාලීන දේශපාලනය වත්මන් නාට්‍යකරණය තුළ බහුල ලෙස තේමා සඳහා යොදා ගන්නක් බවට පත්වෙලා.ඒත් මෙයින් හැඟෙන්නේ නාට්‍යකරුවන්ට සර්වකාලීනමය නාට්‍ය කරන්න බැහැ කියන එක නෙමෙයිද ?

නාට්‍යකරුවා නාට්‍යයක් ලියන්නේ සමකාලීන,සර්වකාලීන ආදී වශයෙන් හිතලා නෙමෙයි.සමහර වෙලාවට අදට නොගැලපෙන නාට්‍යයක් හෙටට ගැලපෙන්න ඉඩකඩ තියෙනවා.ඒ වගේ ඉතා ඉක්මනින් වෙනස් වන සමාජ ක්‍රමයක තමයි අපි ජීවත්වෙන්නේ.ඒ නිසා නාට්‍යයක් ගැන කතා කරද්දී එහි සර්වකාලිනමය වගේම සමකාලීනමය ලක්ෂණත් තියෙනවා.අදට ගැලපෙන විදිහට නෙමෙයි නාට්‍යය හෙටට ගලපා ගැනීම සිදුවෙන්නේ.අනික මගේ අලුත් නාට්‍යයේදී පවා අපි හසුකර ගන්නේ විදෙස් නාට්‍යකරුවන්ගේ නාට්‍ය ශිල්ප ක්‍රම. ඒ ආභාසයයි අපි ලබා ගත්තේ.ඒ නිසා අදාළ කතා තේමාවට සමාජය දෙන හැඩතලය මත තමයි නාට්‍යයේ පැවැත්ම තීරණය වෙන්නේ.ක්‍රි.පූ. 3000කටත් පෙර ලියැවුණු ඇතැම් ග්‍රීක නාට්‍ය අදත් ප්‍රතිනිර්මාණය වෙන්නේ මේ හින්දයි.අනික කලා කෘතිවලින් කෙරෙන්නේ සමාජය වෙනස් කරන එක නෙමෙයි.සමාජය ගවේෂණය කරන එකයි.


පැවතුණු දේශපාලන ක්‍රමය යටතේ කලාකරුවන් පවා ඊට එරෙහිව සටන් කළා.ඔබත් මෙහි කොටස්කරුවෙක් නේද ?

අපිට ඒක කරන්න සිදුවුණා.ඒ වෙනසට දැන් අපි ආරම්භයක් අරගෙන තිබෙනවා. එතැනින් එහා නාට්‍යකරුවන්ට විශාල වගකීම් කොටසක් තියෙනවා ඉටු කරන්න.ඒ සඳහා සියලුම නාට්‍යකරුවන් දැන් පෙළගැසිය යුතුයි.  එහෙම වුණොත් තමයි අපේ නාට්‍යයත් මිනිස්සු දකින්නේ. එහෙම නැත්නම් රැල්ලට යන නාට්‍ය කියා පෝස්ටර් ගහන නාට්‍ය පමණයි ප්‍රේක්ෂකයෝ දකින්නේ.මොකද අද තරුණ නාට්‍යකරුවන්ගේ හොඳ නාට්‍ය ඔක්කොම තියෙන්නේ ගෙදර.එහෙම තත්ත්වයක් තමයි අද නාට්‍ය කලාවට උදාවෙලා තියෙන්නේ.නාට්‍ය කරන්න එපා කියන සමාජයක් තමයි තාමත් තියෙන්නේ.එහෙම අත ඇරලා දාපු කලාවක් තමයි මේක.ඉතින් වෘත්තියමය තත්ත්වයක් නැති නාට්‍ය කලාවට ඉදිරියේදී හෝ රැතකවරණයක් ඇතිවිය යුතුමයි.අනික අපි අපේ ජීවිතයේ හොඳම කාලය ගෙව්වේ වේදිකාවත් එක්ක.ඒත් මම අවුරුදු දහයක් තිස්සේ මගේ නාට්‍ය 15ක් ඇතුළත් නාට්‍ය උලෙළක් කරන්න උත්සාහ දැරුවා.ඒත් එහෙම දේකට වත්මන් සමාජයේ අනුග්‍රහයක් තියෙනවද ? නමුත් පහුගිය කාලේ කලාවේ සංවර්ධනයට කියලා මෙගා ව්‍යාපෘති නම් හුඟක් දියත් වුණා.ඒවාට කෝටි ප්‍රකෝටි ගණන් වෙන්වුණා.මම මගේ හෙටක් නැති රටක්“ නාට්‍යය හරහා කතා කළේත් ඔළු මාරුවෙන තක්කඩි දේශපාලනය ගැන තමයි.





  
 



No comments:

Post a Comment