Tuesday, August 26, 2014

එදා මල්ලි සහ දැන් මල්ලි 2014/08/24


එදා මල්ලි සහ දැන් මල්ලි

මේ අවුරුද්දෙන්(2015 A/L) පස්සේ අපේ මල්ලිත් තමන්ගේ පාසැල් ජීවිතයට සමුදෙනවා.හරියටම කිව්වොත් තව මාස දොළහකින් එයා උසස් පෙළට මුහුණදෙනවා.ඒත් අහිංසක,සුදු හුරතල් මූණ මට තාම මතකයි.ටිකක් ලැජ්ජාකාර චරිතයක් වෙච්ච අපේ මල්ලි එක වසරට එද්දී මම හිටියේ හත වසරේ.ඒත් මල්ලිත් අපේ ඉස්කෝලෙට එනවා කියලා මට දැනෙන්න පටන් ගත්තේ හය වසරේදි.දිලිප් රෝහණ සර් තමයි මාව ප්‍රින්සිපල් සර්ගේ කාමරයට එක්කන් ගියේ.මාත් එක්ක එදා හසිඳුත් ගියා.තවත් කීප දෙනෙක් ගියා.ඒගොල්ලන්ගේ මල්ලිලාත් ඒ අවුරුද්දේ අපේ මල්ලි එක්ක එන්න හිටපු අය. මට අනික් අයව නම් මතක නැහැ.

පුතාගේ නම මොකක්ද ?“ අපේ ප්‍රින්සිපල් සර් මගෙන් ආපු ගමන් ඇහුවා.

මාලන් විදානපතිරණමම කිව්වා

ඒ කාලේ ප්‍රින්සිපල් එච්.යූ.ප්‍රේමතිලක මැතිතුමා.එතුමා දැන් අධ්‍යාපන අමාත්‍යාංශයේ විශාල තනතුරක් දරනවා.මට මේ ළඟදී ටොරින්ටන්වලදිත් හම්බවුණා.සර් ජොගින් කරන්න ඇවිත්.

"
කව්ද තාත්තාගේ නම ? "ප්‍රින්සිපල් සර් ආයෙත් ඇහුවා.

රොඩ්නි විදානපතිරණ මම කිව්වා.

මොනවද තාත්තා කරන්නේ ? “ ආයෙත් සර් ඇහුවා.

මේ දවස්වල නම් සර් අලුත් ටෙලිනාට්‍යයක් හදනවා. මොකද ඒ දවස්වල තාත්තා ගෙදර හිටියේ නෑ.

නෑ නෑ.තාත්තාගේ ජොබ් එක මොකක්ද

තරුණයා පත්තරේ ප්‍රධාන කර්තෘ සර්

මල්ලිත් ඔයාගේම ඉස්කෝලෙට ඇප්ලිකේෂන් දාලා කියලා දන්නවද ? “

මට තාත්තා එහෙම කියනවා ඇහුණා සර්

ඒ කියන්නේ තාම ඔයාට තාත්තා මේ ගැන කිව්වේ නෑ ? “

නෑ සර්

මල්ලි නාලන්දෙට එනවට ඔයා කැමැතිද සර් එහෙම ඇහුවේ හිනාවෙවී.එතකොට දිලිප් සර්ත් මං දිහා බැලුවා.

ඔව් සර්මම කිව්වා.

මොකක්ද මල්ලිගේ නම ?“

ආකාශ් විදානපතිරණ

ලස්සන නමක්නේ ඔයාගේ මල්ලිට තියෙන්නේ. මල්ලිට ආදරෙයිද ?“ සර් ආයෙමත් හිනාවෙවී ඇහුවා.

ඔව් සර්.මම හුඟක් ආඩම්බරකාර අයියා කෙනෙක් වගේ කිව්වා.

හරි පුතා යන්න.මං මල්ලි ගැන අහන්නයි කතා කළේසර්ත් අන්තිමට කිව්වේ ඇස් දෙකෙන් හිනාවෙවී.

ඒත් මොකට එහෙම ඇහුවද කියලා මට නම් තේරුමක් තිබ්බේ නෑ ඒ කාලේ.අනික මල්ලිව ඉස්කෝලෙට තෝර ගත්ත කිව්වා නම්, මට මේ වගේ ප්‍රශ්න ඇහුවේ මොකටද කියලා හිතාගන්න තිබ්බා. ඒ හින්දා ආපහු මං 6 – D පන්තියට ගියේ කිසිම දෙයක් තේරුම්ගන්න බැරුව.

මචං මොකක්ද අවුල ?“ පුටුවෙන් වාඩිවුණාට පස්සේ ප්‍රමෝද් ඇහුවා.

අනේ මන්දා බං.

ඒ කිව්වේ ? “

තාත්තගේ විස්තරයි, මල්ලිගේ විස්තරයි ඇහුවා.ඒත් මොකටද කියලා කිව්වේ නැහැ.

උඹට මල්ලි කෙනෙක් ඉන්නවද ?“ ඒක අහගෙන හිටපු තනුජ ඇහුවා.

ඔව් බං. ලබන අවුරුද්දේ අපේ මල්ලිත් නාලන්දෙට එනවා.

ෂා... නියමයිනේ.උඹ අපිට නිකමටවත් කිව්වේ නෑනේ මල්ලි කෙනෙක් ඉන්නවා කියලා.ආවාම අපිට පෙන්නපං හොඳේ

කව්ද දන්නේ බං එයිද කියලා. තාම තෝරගත්තද කිව්වෙත් නෑනේ.

තෝර ගනියි තෝර ගනියි බං. උඹ බයවෙන්න එපා.

හරි හරි.ආපුවම බැරියැ බලන්න

තනුජටයි, ප්‍රමෝද්ටයි මල්ලි බලන්න පුදුම උනන්දුවක් තිබුණේ. මම හිතන්නේ ඒ දෙන්නටම මල්ලි කෙනෙක් හිටියේ නැති නිසා වෙන්න ඇති.අනික එක වසරේ ඉඳන්ම අපි තුන් දෙනා පුදුම විදිහට බැඳිලා හිටියේ, යාළුවෝ විදිහට.ප්‍රමෝද් මට මතක විදිහට එකේ ඉඳන් හය වසරට වෙනකම් එක දිගටම මම හිටපු පන්තියේ තමයි හිටියේ.තනුජට නම් එහෙම එක දිගටම එන්න බැරිවුණා. ඒත් එකටම ඉන්ටර්වෙල් එකේ සෙල්ලම් කරපු නිසා ඒ යාළුකම දිගටම තිබුණා. ඉන්ටර්වෙල් එකේ තමයි අපි අපේ යාළුවෝ හොයාගෙන කොරිඩෝව දිගේ යන්නේ.ලොකු පැන්සල් පෙට්ටියක් අරගෙන, කලිසම් සාක්කුවේ ප්ලාස්ටික් බෝලයක් හංගගෙන අපි හැමදාම ට්‍රයි කළේ හොස්ටල් එකේ කන්ද උඩට යන්න.මොකද කන්ද උඩ සෙල්ලම් කරද්දි පුදුම නිදහසක් දැනුණේ.ඒත් කළුවර කාමරේට දානවා කියලා හැමදාම බය කරන වයසක මනුස්සයා නිසා කවදාවත් අපිට මැච් එකක් සම්පූර්ණයෙන් ගහලා ඉවර කරන්න බැරිවුණා. කොහොම වුණත් මොන්ටිසෝරියෙන් මල්ලිව අරගෙන ඇවිත් මාව ගෙදර එක්කන් යන්න අම්මා බලන් ඉද්දි ප්‍රමෝදුයි, තනුජයි දෙන්නම මල්ලිගේ හුරතලේ දැක්කා ඒ කාලේම.

ආනේ... ෂෝයි මල්ලියෙක්. හරි හුරතල්දවසක් ඉස්කෝලේ ඇරිලා ගෙදර යන්න හදනකොට කුරුවිටආරච්චිත් මල්ලි ගැන කිව්වේ ඔය කාලේදිමයි. ඒ ඩෙන්ටල් එක ළඟදී.

මල්ලි ඒ කාලේ.හරියට සුද්දෙක් වගේ.කොණ්ඩෙත් වැවීගෙන එන කාලෙනේ.හැබැයි කුරුවිටආරච්චි දැනගෙන හිටියෙත් නැහැ, එයා මගේ මල්ලි කියලා.මල්ලි අපේ ඉස්කෝලෙටම එයි කියලත් එයා දැනගෙන හිටියේ නැහැ.

කොහෙමෙන් කොහොමෙන් හරි මල්ලිත් අර තඩි බෑග් එක උස්සගෙන ඉස්කෝලේ එක වසරට ඇතුල් වුණා. මමත් ළඟ හිටියා එදා ගේට්ටුව ළඟ.හැබැයි මං වගේ නම් ඇඬුවේ නෑ එයා එදා.මම ළඟ හිටියෙත් අඬයි කියලා බයට.

එතකොට උදේ පාන්දර ආපු මල්ලිව බලන්න තනුජටයි,ප්‍රමෝද්ටයි ලොකු උවමනාවක් තිබුණා. මොකද ඒක ඉවෙන් වගේ ඒ දෙන්නට දැනිලා තිබුණා. මටත් ඒක කල්පනාවට ආවා. ඒ හින්දා ඉන්ටර්වෙල් එකට කලින් පීරියඩ් එකේදී මම ඒ ගැන ඒ දෙන්නට කිව්වා.

යං යං ඉක්මනට අපි. කවද්ද මල්ලි ආවේ? “ ඒ ගැන කිව්වම තනුජ කිව්වා.

අද ආවේ මම කිව්වා

මොකක්ද මල්ලිගේ පන්තිය ? “ ඒක ඇහිලා ප්‍රමෝද් ඇහුවා.

“ 1 – E “

එල එල. ඉන්ටර්වෙල් එකේ බෙල් එක ගහපු ගමන් යං.

එතකොටම තමයි ඉස්කෝලේ ඉන්ටර්වෙල් බෙල් එකත් ගැහුවේ.

අපි ටීචර්ටත් කලින් පන්තියෙන් පැන ගත්තා.

කෝ කෝ මල්ලි ? “ පන්තියෙන් එළියට පැන්න ගමන් තනුජ අහන්න පටන් ගත්තා.

කොහෙද පන්තිය තියෙන්නේ ?“ ප්‍රමෝදුත් අහන්න පටන් ගත්තා.

අර පැත්තේමම පෙන්නුවා.

ඒත් බං ඒ පැත්තට යන්න දෙන එකක් නැහැ.උඹ දන්නවනේ ඒ පැත්තේ කව්ද ඉන්නේ කියලා.මම ආයෙත් කිව්වා.

මට පොඩි බයක් දැනුණා ගුටිකන්න වෙයි කියලා.

වරෙන් බං පිස්සු නැතුව. උඹට පිස්සුද ? අපි ඇහුවොත් ඩාන්සින් රූම් එකට යනවා කියමු.

ඉතින් අපි ගියා.ඒත් පන්තිය ළඟට ගියේ නැහැ.මොකද අපි යන වෙලාවෙත් මල්ලිගේ ටීචර් වේවැල අතේ තියන් උගන්න උගන්න හිටියේ.

ඒ නිසා පන්තිය වටේ මං තුන් හතර වතාවක් කැරකුණා.මල්ලිගේ සුදු මූණ හෙව්වා. හතරවැනි වතාවේ මම දැක්කා මල්ලිව.මල්ලි ටීචර් කියන දේ දිහා කෙලින්ම බලන් ඉන්නවා.මල්ලි වේවැලට හුඟක් බයවෙලා වගෙයි මම දැක්කේ.

මම යාළුවන්ට සිග්නල් එකක් දුන්නා මල්ලි ඉන්නවා කියලා.ඉන්පස්සේ අපි තුන්දෙනාම හෙමින් සැරේ මල්ලිව පේන කෝණයට ඇස් දෙක හදාගත්තා.හරියට කැමරාවක සූම් ලෙන්ස් එක වගේ.ඉන්පස්සේ මම ඇඟිල්ල දික් කරලා මල්ලිව පෙන්නුවා.දෙන්නටම හරිම සතුටුයි.ඉන්පස්සේ දෙන්නම තරගෙට වගේ මල්ලි ගැන කියවන්න පටන් ගත්තා.

ඉන්පස්සේ මමත් මල්ලිව උදේට ඉස්කෝලේට අතින් අල්ලන් දවස් කීපයක්ම ආවා.එතකොට ඉස්කෝලේ පටන් ගන්න කලින් මල්ලිව බලන්න අපි තුන්දෙනාම ආවා. එයාගෙ පන්තියටම.සමහර දවස්වලට ඉන්ටර්වෙල් එකෙත් යනවා.

කාලයක් ගෙවුණා.තනුජ ඒ ලෙවල්වලට බයෝ පන්තියට මාරු වෙද්දි මට ආයෙමත් ප්‍රමෝද්ව හම්බවුණා. ඒ මම ගණිත අංශයෙන් ඒ ලෙවල් කරපු හින්දා.ඒ වෙනකොට මල්ලි හිටියේ හතර වසරේ.අර පොඩි කාලේ තිබුණු ලැජ්ජා බයත් හුඟක් මගහැරිලා. ගෙදරදි පට පට ගාලා කතා කරනවා. ඒ නිසා මට හිතුණා මල්ලිව ජන සන්නිවේදන ඒකකයට යොමු කරන්න ඕනැ කියලා.ඒත් එතැනදි මට අපේම පන්තියේ එවුන්ගෙන් කැපිල්ලක් ආවා.මොකද අපේ අය තමයි ඒ වෙනකොට එතැන ලොක්කෝ වෙලා හිටියේ.මට මල්ලි වෙනුවෙන් රණ්ඩු කරන්නත් සිද්ධවුණා.ඒ නිසා එදා මල්ලිට කිසිම අවස්ථාවක් ලැබුණේ නැහැ.හුඟක් හිත හොඳයි කියලා හිතපු සමහරු පවා මේක අවස්ථාවක් කරගෙන මාව බයිට් කරන්න පටන් ගත්තා.

ඒත් මල්ලි ඒකෙන් දුක්වුණේ නැහැ.දුක් වුණු ඒ බවක් මට පෙන්නුවේත් නැහැ.මොකද මල්ලි දැනන් හිටියා කවදාහරි තිත්තයටත් වාරයක් එනවා කියලා.ඒ නිසා අපි ඉස්කෝලෙන් අයින් වෙලා අවුරුදු දෙක තුනක් යනකම් එයා සද්ද නැතුව බලන් හිටියා.ඉන්පස්සේ ආයෙමත් ජනසන්නිවේදන ඒකකයට ගියා.හොඳට හඬ හසුරුවන්න ඉගෙනගත්තා.දැන් වෙනකොට මල්ලි අලුතින් එන මල්ලිලාටත් උගන්වනවා.මල්ලි නාලන්දා විද්‍යාලයීය ජන සන්නිවේදන ඒකකයේ තමන්ට හිමි ස්ථානය ලබාගත්තේ එහෙමයි.

-
මාලන් විදානපතිරණ

දෙක වසරේදි කාපු මුල්ම වේවැල් පාර මතක් වුණා 2014/08/23



දෙක වසරේදි කාපු මුල්ම වේවැල් පාර මතක් වුණා

ඉස්කෝලේ එක වසරට බායි කියලා දෙක වසරට මං ගියේ හුඟක් ආඩම්බරයෙන්.මොකද ගුටි නොකා අවුරැද්ද ඉවර කරපු ළමයින්ගෙන් කෙනෙක් මම.ලොකූ පොත් බෑග් එකත් උස්සගෙන,තව පොත් වගයක් කළු බෑග් එකක එල්ලගෙන ගිය ඒ ගමන මට තාම මතකයි. 1-C පන්තියට බායි කියලා පන්තියෙන් එළියට එද්දී කට්ටිය අලුත් පන්තියට යන්න පෝලිම් ගැහිලා.තමන්ගේ අලුත් පන්තිය මොකක්ද කියලා දැනගන්නකම් හැමෝටම ඉවසිල්ලක් නෑ.ඒත් පුංචි දුකක් නැත්තෙම නැහැ.

කෝ ඔයාගේ පොත් දෙකකට ඉටි කවර දාලා නැහැනේ.පිටකවරත් නැහැ* එතකොටම නඳුන් මට කිව්වා.

ලබන සතියේ දාගෙන එනවාමම කිව්වා.

ඒ කතා හරියන්නේ නැහැ.පළවෙනි දවසෙම ගුටිකන්න තමා වෙන්නේආයෙත් නඳුන් මට කිව්වා.

මාව ගැහෙන්න ගත්තා.ඒත් අම්මා කිව්වේ ඇහුවොත් ලබන සතියේ අනික් පොත්වලට පිටකවරයි ඉටිකවරයි දාලා බාරදෙන්නම් කියලා කියන්න කියලයි.

කොහොම වුණත් එක වසරේදි උජිතයි,තනුජයි එක්ක සෙල්ලම් කරන්න ගිහින් ඉන්ටර්වෙල් එකේ බෙල් එක ගහද්දි පන්තියට යන්න බැරි වෙච්ච සිද්ධිය මට එවෙලේ මැවිලා පෙනුණා. අපි පංති භාර විජේරත්න ටීචර්ගෙන් බැණුම් අහලා ගුටිකන්න වෙන නිසා ඉන්ටර්වෙල් එකෙන් පස්සේ ටොයිලට් එකට ගියා කියන්න ටොයිලට් එකට රිංගුවා එදා.ඒත් එදා බයට ගුටිකන පෝලිමේ අන්තිමට ගිය මට ටීචර් ගැහුවේ නැහැ.සමහරවිට බයවෙලා අඬන්න වගේ හිටපු මූණ දැකලා වෙන්න ඇති.මොකද එක වසර ගිය මුල් දවස් දෙකේම මම පන්තියට ගියේ අඬාගෙන.මුල් දවසේ අම්මා මාව දාල ගිය එකට ඇඬුවා.දෙවැනි දවසේ පන්තිය හොයාගන්න බැරුව පරක්කු වුණු නිසා මං ඇඬුවා.(පන්තියට පරක්කු වෙලා නිසා මම දිව්වා.ඒ නිසා පන්තිය ඉස්සරහ කාණුවට රුපියල් දෙකේ කාසියක් වැටුණා.ඒක හොයන්න ගිහින් පැය බාගයක්ම පරක්කු වුණා.බැලින්නම් ඒක මුළු පන්තියම එදා හිනාවෙවී බලන් ඉඳලා )

කොහොමහරි මගේ අලුත් පන්තිය වුණේ 2-B.පන්තියේ හිටියේ කවදාවත් දැක්කේ නැති ළමයි.කලින් පන්තියේ අයගෙන් හිටියේ දෙතුන් දෙනෙක් විතරයි.ඒ හින්දා ටිකක් බයෙන් පොත් බෑග් එක පුටුවේ එල්ලලා මගේ පුටුවේ මං වාඩිවුණා.

අංක 32- එම්.ජී.විදානපතිරණඑතකොටම ටීචර් කියනවා ඇහුණා.මට මතක විදිහට මට පස්සේ හිටියේ ඩිලන්ජන් අතුකෝරළ.

මම බයෙන් බයෙන් ටීචර් ගාවට ගියා.මම හිතුවා නඳුන් අහපු අර ප්‍රශ්නේ මේ දැන් අහයි,මේ දැන් අහයි කියලා.

විදානපතිරණ ?“ එතකොටම ටීචර් සැරෙන් කතා කළා.
ඇයි ටීචර්?* මම වෙව්ල වෙව්ල ඇහුවා

ඔයාගේ පොත් ටික තියන්න ඕනේ අර රාක්කෙන්.වැඩ ඉවර වුණාම ඒ හැම පොතක්ම එතන තියෙන්න ඕනේ.* ටීචර් කිව්වේ එච්චරයි.

දැන් පැන්ෂන් ගිහින් තියෙන ඒ මූණ මට තාම මතකයි.මට හම්බවුණු මහතම පන්ති භාර ටීචර්(රණශීලි ටීචර්) තමයි ඒ.කණ්ණාඩිත් දානවා.ඉතින් මම ගුටි කෑවේ නෑ නේද කිය කිය හිනාවෙවී ආයේ ඉඳගත්තා.ඉන්ටර්වෙල් එකේදී මට මේ ගැන නඳුන්ට කියන්න උවමනා වුණත් සති කීපයක් යනකම් නඳුන්ව හම්බවුණේ.මට ඕනේ වුණේ ගුටි කෑවේ නෑ කියලා පොඩි හින්ට් එකක් ගහන්න.

ඒත් ඉන්පස්සේ දවසක මම ඉන්ටර්වෙල් එකේ සෙල්ලම් කරන්න කවුරුත් නැති දවසක නයි ගහට නැග්ගා.අපි ඒකට ඒ දවස්වල කිව්වේ නයි ගහලා.මම හිතුවේ ඒකේ කොහේහරි නයෙක් ඉන්නවා කියලා.නිල් කොට කලිසම සවුත්තු වුණත් කමක් නැහැ කියලා දෙබලක් වගේ තිබුණූ ඒ ගහට මට නගින්නම උවමනා වුණේ ඒ හින්දයි.ඉතින් මම හිතුවක්කාරකමට ඒකට නැග්ගා.නැගලා වැඩි වෙලාවක් යන්න වුණේ නැහැ. ඉන්ටර්වෙල් එක ඉවර වුණා.

ටීචර් කියලා තියෙනවා නේද ඔය ගහට නගින්න එපා කියලා.එතකොටම ළමයෙක් ඇවිත් මට කිව්වා.

නැහැ. මට නම් එහෙම දෙයක් මතක නැහැ.මොන ටීචර් ගැනද ඔයා කියන්නේ ? ඔයා අපේ පන්තියේයැ ?“

ඔව්. මම ඔයාගේ පන්තියේ තමයි. ඔය ගහෙන් දැන්ම බහින්න.ඉන්ටර්වෙල් එකත් ඉවරයි.යං පන්තියට. නැත්නම් මම ටීචර්ට කියනවා නයි ගහට නැග්ගා කියලා.ඒ ළමයා කිව්වා.

හා ගිහින් කියන්නමම වීරයා වගේ කිව්වා. මොකද මම හිතුවේ නැහැ, එයා කියයි කියලා.

ඉන්න කියන්නම් මං. කියන එක කියනවා ටීචර්ට අද.*මෙහෙම එදා කිව්වේ ගයාන්.
කොහොමහරි ඉන්ටර්වෙල් එක ඉවරවෙලා වීරයා වගේ මම ඉතින් ආයෙත් පන්තියට ගියා.යනකොට රණශීලි ටීචර් ඉන්නවා වේවැල අතේ තියන්.හැබැයි මම හිතුවේ නැහැ ඒ මට ගහන්න කියලා.

විදානපතිරණ ?* ටීචර්ගේ ඇස්වලින් කේන්තිය පිටවෙනවා මම දැක්කා.

ඇයි ටීචර් ?*මම සැකෙන් වගේ ඇහුවා.

මම කියලා තියෙනවා නේද අර නයි ගහට නගින්න එපා කියලා.හ්ම් හ්ම්* එහෙම කියලා ටීචර් නයි ගහ පෙන්නුවා.මොකද ඒක අපේ පන්තියේ ඉඳන් හොඳට පේනවා.

අල්ලනවා අත * මමත් නයි ගහ දිහා බලලා ආපහු හැරෙනකොටම ටීචර් කිව්වා.

මම අත ඉස්සරහට ඇල්ලුවා.අනික් පැත්ත බලා ගත්තා. ඇස් දෙක පියා ගත්තා.එතකොට ටීචත් අල්ලට වේවැලට තට්ටුවක් දානවා මට දැනුණා. මට හිතුණා මේ දැන් ගහයි, මේ දැන් ගහයි කියලා.

චටාස්* මට ඇහුණේ එච්චරයි

මට ආව් ගෑවුණා.අත පල්ලෙහාට දැම්මා. ළමයි ඔක්කෝම හිනාවෙන්න පටන් ගත්තා.කමක් නෑ කියලා මම ආයෙත් අත ඇල්ලුවා.මොකද එක පාරක් ගහලා මාව පන්තිය ඇතුළට දාන්නේ නැති බව මම දැනන් හිටියා.

හ්ම් හ්ම් අනික් අත. අත හොඳට අල්ලනවා.ටීචර් කිව්වා.

මොකද ඔච්චර ගුටි කන්න බය නම් ගහට නැග්ගේ ?* කියලා ටීචර් හිනාවෙන්නත් පටන් ගත්තා.

මම හිත තද කර ගත්තා. වෙන පැත්තක් බලාගත්තා.තව කීයක් කෑවත් අනික් අයට හිනාවෙන්න දෙන්නේ නැහැ කියලා දෙවැනි වේවැල් පාරට ලෑස්ති වුණා. හැබැයි ඒ වේවැල් පාර නම් අරකට වඩා ටිකක් සැර අඩුයි.කොහොම වුණත් ඒකත් ටිකක් රිදුණා.ඒත් ආයෙත් නම් අර ගහට නගින්නේ නැහැ කියලා හිතාගෙන මම පන්තියට ගියේ පුදුම කේන්තියකින්.අර කේළමා කව්ද කියලා හොයාගන්නයි මට ඕනේ වුණේ

එතකොට මම දැක්කා ගයාන් මම දිහා බලලා හිනාවෙනවා.මට එවෙලේ පුදුම කේන්තියක් ආවා.ආයේ නම් ජීවිතේට කතා කරන්නේවත් නැහැ කියලා හිතාගත්තා.මං ළඟින් යන්නේත් මගේ වැරැද්දක් අල්ලගෙන ටීචර්ට කියන්න කියලයි මම හිතුවේ.

ඒත් කාලයත් එක්ක ටික ටික ඒ තරහ මරහ අඩුවුණා.දෙක වසරින් අපි සමුගත්තේ හොඳම යාළුවෝ විදිහට.තාත්තා බයික් එකේ මාව උදේ ඉස්කෝලෙට ගිහින් බස්සද්දී,ගයානුත් එනවා ඒ එක්කම වගේ ත්‍රීවිල් එකෙන් බැහැලා.එහෙම දවස්වලට අපි දෙන්නාම පන්තියට ගියේ එකට.

සමහර දවස්වලට ඉස්කෝලේ ඇරිලා තාත්තා මාව ඔෆිස් එකට එක්කන් යන්න බයික් එකෙන් එනකම් ප්‍රභාත් කඩේ ළඟ ඉන්නකොට, ගයාන් යනවා මට අත වනාගෙන.ඒ අතීතය ඒ තරම් සුන්දරයි.එහෙම තමයි මේ කතාව අවසන් කරන්න වෙන්නේ.

-
මාලන් විදානපතිරණ