Tuesday, August 25, 2015

ඉගෙනීමේ අගය

ඉගෙනීමේ අගය

අපට ඉතා සමීප හිතවතකුගේ මංගලෝත්සවයකට ආරාධනා ලැබී වුවද අපට ඊට යන්න නොහැකි විය.ඒ මුළු පවුලටම උණ වැළඳීම හේතුවෙන්.කොහොම වුණත් අදාළ පවුල විසින් එය අර්ථ කථනය කරනු ලැබුවේ අප ඔවුන් සමග තරහට ඊට සහභාගි නොවුණා කියායි.ඒ මංගලෝත්සවය නිමා වී වසර පහ හයක් ගත වුතත් මේ නිසාම තවමත් ඔවුන් අප සමග හිත යටින් අමනාපයි.විශේෂයෙන්ම මනමාලයා මේ සම්බන්ධයෙන් නිරතුරුවම තමන්ගේ මතය තහවුරු කරන්නට උත්සාහ දරයි.එහෙත් අප මංගලෝත්සවයට සහභාගි වීමට නියමිතව තිබුණේ මනාලියගේ පාර්ශ්වයෙනි.ඇය ඉතා හොඳින් අපගේ තත්ත්වය තේරුම් ගත්තාය.එහෙත් වෘත්තියෙන් ව්‍යාපාරිකයකු වන එතරම් ඉගෙනීම ගැන සැළකිල්ලක් නොදැක්වූ මනාලයාගෙන් හැසිරීමෙන් නිරතුරුවම පෙනෙන්නේ නූගත්කමයි.කලා අංශයෙන් උසස් පෙළ හදාරා පසුව ඉංග්‍රීසි මාධ්‍යයෙන් නර්තනය සහ ඉංග්‍රීසි උගන්වන ජාත්‍යන්තර පාසැලක ගුරුවරියක වූ ඇයව ඉගැන්වීමෙන් ඉවත් කළේද මනමාලයාගේ ඉගෙනීමේ අගය පිළිබඳ අවබෝධය මනාව ඔප්පු කරමිනි.එහෙත් කුමක් කරන්නද ? එය පෙම් සබඳතාවයකි.ඇය ඔහුට ලෙන්ගතුය

සංගා සහ මම

සංගා සහ මම

සංගා අද නික්ම ගියේය. එහෙත් මා හට ක්‍රිකට් උන්මාදය හට ගත් අවධියේ ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තරයට බිහිවූ,පළමු ක්‍රීඩකයා ඔහුයි.ඔහු තම පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කරන අවධියේ පටන්ම ඔහුගේ ටෙස්ට් තරග නරඹමින්, අලංකාර පහරවල් දැකීමට පාසැල් කාලයේ සිටම මම වරම් ලැබුවෙමි.එසේම ඔහුගේ හොඳම ඉනිම් කිහිපයක් මෙන්ම අවාසනාවන්ත ඉනිම් කිහිපයක්ද දැකීමට අලුයම නොනැගිටින මම, පාන්දර හතරටත් ඇහැරුණෙමි.පාසැලට ප්‍රමාද වී ගොස් ඇත්තෙමි.එහෙත් ඊටත් වඩා ආඩම්බර වීමට මට අද කාරණයක් තිබේ.ඒ ඔහු මට අනුව මාගේ ඇස් පනා පිටම ටෙස්ට් වරම් ලබා, ඇස් පනා පිටම ටෙස්ට් පිටියට සමුදෙන පළමු ශ්‍රී ලාංකිකයා වීම නිසායි.ඒ අනුව මහේල ටෙස්ට් පිටියෙන් සමුගන්නා විට ඔහු ගැන සංගා කී දේ පිළිබඳ ක්‍රීඩා මාධ්‍යවේදියෙක් ලෙස සටහනක් තැබීමට වාසනාවන්ත වූ මම,පසුගිය බ්‍රහස්පතින්දා සංගාගේ ටෙස්ට් මතක සටහන් පිළිබඳ නැවත මතකාවර්ජනයක යෙදීමටද වාසනාවන්ත විය.එහෙත් එදා සංගා, ජාත්‍යන්තර තණතීරුව තුළ තම ඉන්න සලකුණු කරන අවස්ථාවේ මා පාසැල් සිසුවෙකි.අද සංගා පිටියෙන් සමුගන්නා විට මා මාධ්‍යවේදියෙකි.

මාලන් විදානපතිරණ

Monday, August 17, 2015

අපි දැන් කොතැනද

අපි දැන් කොතැනද ?

අත්තක පත්තක පාළු කනත්තක
පොළොංගු දෙන්නෙක් විලංගු දාගෙන
අල්ලන් සෙල්ලම් කරපු හැංගි මුත්තන් කරපු
ආයි මායි ජීවිතේට යාළු වෙන්නේ නෑ කියල කියපු
ඉක්කත් එක්ක ගාලු ගියපු
අවුරුද්දට කැවුම්,කොකිස් හදන හැටි බලාපු
අවුරුද්දට ගෙයින් ගෙයට කෑම පිඟන් උස්සන් දුවපු
වෙසක් එකට දන්සැල් දෙන්න,කූඩු හදන්න වෙර දාපු
පොසොන් එකට මිහින්තල හදාපු
සරුංගල් කාලෙදි සරුංගල් පස්සේ
උඩ බලාගෙන වත්ත පුරා නටපු
වෙරළු වාරේට වෙරළු ගහ වටේ දුවපු
සෙල්ලම් ගෙවල් හදාගෙන පවුල් නඩත්තු කරපු
හවසට රසකතා,සුදු පුංචා බලන්න කණේ පාරවල් කාපු
ඉන්පස්සේ දොස්තර හොඳ හිත,වළස් මාමා බලපු
කලා හරඹ දැකලා මුතුහර බලපු
අටහමාරේ ටෙලිනාට්‍ය දැකලා හෝම් වර්ක් අමතක කරපු
අපි දැන් කොතැනද?
මතක සටහන - මාලන් විදානපතිරණ