Sunday, March 19, 2017

පාසැල් මතක පොත ඇසුරින් -2017.03.19


පාසැල් මතක පොත ඇසුරින් -2017.03.19

(මාලන් විදානපතිරණ)

මම ඒ වෙද්දි තුන වසරේ හිටියේ.හරියටම කිව්වොත් පංති භාර ටීචර් විදිහට යමුනා දමයන්ති මිස් හිටපු 3-C පන්තියේ තමයි මම හිටියේ(මට ඒ කාලේ මිස්ගෙ නමත් පැටලුණා.මොකද යමුනා මාලිනී පෙරේරා කියලා ගී පද රචිකාවියකුත් හිටපු නිසා සමහර වෙලාවට මම ඒ නම තමයි පංති භාර ටීචර්ගෙ නම විදිහට කිව්වේ). 1998 වසර වෙද්දි යුද්ධය තදින්ම රට පුරා පැතිර ගිහින් තිබුණා. බෝම්බ පිපිරීම්,වෙඩි තැබීම් ගැන සැරින් සැරේ ආරංචි වුණා.යුද්ධෙදි රණවිරුවන් කරන ජිවිත පූජාව මගේ හිතටත් තදින් දැනුණා. ඒ කාලේ ඒ නිසා මට හමුදා සෙබළෙක් වෙන්නත් ඕනි වුණා.මේකට මාව පෙළඹෙව්වේ මගේ හොඳම යාළුවෙක් වුණු එරංග රෝහණ.එරංග මං එක්ක ප්‍රාථමික ශ්‍රේණියේ ඉඳන් පන්ති කීපයක්ම මං එක්ක එකට ආපු යාළුවෙක්.ඒ නිසා අපි හුඟක් හොඳ යාළුවෝ වුණා.ඒ නිසාම තමයි එරංගගේ පෙළැඹවීම මට බලපෑවේ.අනික එරංගගේ තාත්තාත් යුද හමුදාවේ නිසා එරංගගේ ආසම සින්දුව මොකක්ද කියලා ඇහුවම එරංග ඒක ඕනැම තැනකදි හයියෙන් කියන්න සැදී පැහැදී හිටියා.

සෙබළාණනි ඔබ මැරුණා නොවේ
කුසුමක් වෙලා ඔබ පිපුණා ළයේ
කඳුලක් වෙලා ඔබ රැඳිලා නෙතේ
හඬවන්න මා මේ රෑ යාමයේ

අපි හිතුවා සින්දුව එරංග එතනින් ඉවර කරයි කියලා.ඒත් එහෙම වුණේ නෑ.මගේ දිහා හිනාවෙවී බැලුවා.

මතකයි එදා ඈත රණබිම් පුරා
සටනේ වැදීලා දෙන්නා එදා
නොසිතූ නිමේෂෙන් මරු හා ගියේ
මව් භූමියේ ලේ ගංගා ගලා//

ආයෙත් එරංග මං දිහා බැලුවා.

සොයුරාණනි ඔබ මැරුණා නොවේ
කුසුමක් වෙළා ඔබ පිපුණා හදේ
කඳුළක් වෙලා ඔබ රැඳිලා නෙතේ
හඬවන්න මා මේ රෑ යාමයේ

ඉන්පස්සේ මම හිතුවා එරංග සින්දුව නවත්තයි කියලා.ඒත් එරංග දිගටම සින්දුව කියන්න ගත්තේ අපිව පුදුමයට පත් කරමින්.

විරුවෙක් විලාසෙන්ම වෙන් වී දැයේ
රතු මල් පිපේවි නාමෙන් ඔබේ
විඳිනා මෙවන් නේක දුක් වේඳනා
උපහාර වේ මේ ගී ගායනා//

මම දැක්කා එරංග “උපහාර වේ මේ ගී ගායනා“ කියල කියද්දි ආචාරය පුද කරනවා. ඒ තරම් එරංග ඒ මොහොතට සමවැදිලා හිටියේ. ඒ නිසා මටත් අනාගතේ හමුදා සෙබළෙක් වෙන්න ලොකු උවමනාවක් ඇති වුණා.

“අම්මේ, මමත් කවදාහරි ලොකු වෙලා හමුදාවට යනවා“ මම දවසක් අම්මට කිව්වා.

“අනේ මේ මගෙන් මුකුත් අහගන්නේ නැතුව බත් ටික කනවා.“ අම්මා එතකොටම බත් ගුලියක් කටට හයියෙන් ගිල්ලලා බැන්නා.

“නැහැ. මං යනවමයි.මගේ යාළුවෝ ගොඩක් යනවලු.“

“දැන්මම ?“

“ අවුරුදු දහ අටට වැඩි අය අඩු වුණොත් අපි දැන් වුණත් යන්න ලෑස්තියි.හරිද අම්මේ.තුන වසරෙ කියලා අපිව නවත්තන්න හදන්න එපා.“

මම එහෙම කියද්දි අම්මා බය වුණා. මොකද මම දවස් කීපයක්ම මේ ගැන කිය කිය අම්මගෙ මූණ නරක් කළා.මේ හින්දා බැරිම තැන දවසක් අම්මා මේ ගැන තාත්තට කිව්වා.

“මේ ළමයට පිස්සු හැදිලද කොහෙද? අර එරංගත් ලොකුවෙලා යුද්ධෙට යනවලු. ඒ නිසා මේකටත් ලොකුවෙලා යුද්ධෙට යන්න ඕනිලු“

“ඒ ලොකුවෙලානේ“

“ලොකුවෙලා නෙමෙයි.කට්ටිය මදිවුණොත් එයාලත් ඉස්කෝලෙ අතඇරල යුද්ධෙට යනවලු.“

තාත්තට මරුවා ආවේස වුණා.මොකද මමත් එතකොට තාත්තට පේන මායිමේ හිටියේ.

“ඇයි දැන් උඹටත් ඕනි වෙලාද ඒ ගමන යුද්ධෙට යන්න? “
“ඇයි අර එරංගත් යන්නේ.ඉතිං අපි ගියාම මක් වෙනවද? එරංගගේ තාත්තත් හමුදාවේ.“
“ඉතින් දැන් උඹ කියන්නේ මටත් හමුදාවට යන්න කියලද?“
“ඒ නිසා තමයි මම ලොකුවෙලා හමුදාවට යන්න හදන්නේ“
“කටවහගෙන වැඩක් බලාගනින්.“
“ඇයි ?“
“උඹ ගිහින් හමුදාවට බිලිවෙයන්.උන්ට මොකද? අපි එපැයි දුක් උහුලන්න.උන්ට උඹ එකෙක් විතරයි.අන්න ඒක දැන ගනින්.“
“එහෙම ජිවිත පූජා කළොත් තමයි අපට රට බේරගන්න පුළුවන් වෙන්නේ.අනික් පැත්තෙනුත් ළමයි යුද්ධ කරනවා තාත්තා දැක්කෙ නැද්ද ටීවි එකේ.“
“ඉතින් බේරගනින්.මොනවද බලං ඉන්නේ.දැන්ම පලයන්.“

තාත්තයි,මායි අතර එදා මේ අඬදබරය ඉවරවුණේ අන්න එහෙම.මොකද එදා තිබුණු කලබල කාලෙත් එක්ක කවදාවත් තාත්තා කැමැතිවුණේ නැහැ අපි යුද්ධෙට යනවා.ඒක හුඟක් ආත්මාර්ථකාමි හැඟීමක් තමයි.ඒත් ඉන්පස්සේ දවසක කියපු කතාවක් එක්ක තාත්තා එදා එහෙම බැණපු එක කොයිතරම් සාධාරණද කියල මට පස්සෙ කාලෙක තේරුණා.

“ඔය ඉන්න එක මන්ත්‍රී කෙනෙක්ගෙ පුතෙක් ගියාද ජීවිත පූජා කරන්න.ඔවුන් ඔක්කොම එවුන්ට ඕනි උඹලව බිලි පූජාවට දීලා රට නිදහස් කර ගත්ත කියල ෂෝ එක දාන්න.තොපි හරක්ට ඒක තේරෙන්නේ නැහැ. “

තාත්තා මෙහෙම කිව්වෙ යුද්ධෙ ඉවර වෙන්නත් අවුරුදු දහයකටත් කලින්.