Saturday, June 15, 2013

බොහොඬෙක් - ඇන්ටන් චෙකොව්ගේ කෙටිකතාව

මාලන් විදානපතිරණ
කොළඹ විශ්ව විද්‍යාලයීය ශ්‍රීපාලි මණ්ඩපය
පළමු වසර
ප්‍රසංග කලා
SP/PA/2011/2012/88



 බොහොඬෙක්

(බූන්දි වෙබ් අඩවියෙන් උපුටා ගත් නවතම කෙටි කතාවකි.)

රුසියානු කෙටිකතා වංශකතාවේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළ ඇන්ටන් චෙකොව් ලෝක කෙටි කතාවේ රිද්මය වෙනස් දිසාවකට යොමු කළ සාහිත්‍යධරයෙකි. වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වුවද, සාහිත්‍යයට සහ නාට්‍යකරණයට වැඩි නැඹුරුතාවයක් දැක්වූ චෙකොව් රචනා කළ කෙටි කතා ප්‍රමාණය 200කට අධිකයි. එහෙත් මේ අතරින් මෑතකදීම සිංහලට පරිවර්තනය වූ කෙටිකතාවක් ලෙස බොහොඬෙක් නම් නිර්මාණය සඳහන් කළ හැකිය. මෙය සිංහලට පරිවර්තනය කර ඇත්තේ රන්සිරිමල් ප්‍රනාන්දු විසිනි. මේ අවධානය එහි ද්විත්ව ප්‍රතිපක්ෂ කවරේදැයි යන්න පිළිබඳවයි. 
උපහාසාත්මක රසයෙන් යුතු නිර්මාණයක් වන මෙහිදී  කතුවරයාගේ ප්‍රධාන චරිතය බවට පත්වන්නේ සුනඛයෙකි. එහෙත් ආරම්භයේදී ඌ අසරණ දඩාවතේ යන බල්ලෙකු බව පාඨකයාට හැඟේ.කෙසේ නමුත් එම බල්ලා එක් පාදයක් අහිමි බල්ලෙකි. එබැවින් ඉතා අසරණව ගමන් ගන්නේය.  එහෙත් ඊට මෙහි එන මිනිසා ඉඩ නොදෙන්නේය.

"ඔහෝ උඹ හපනවා ආ... වනචර සිව්පාවා" ඔච්චම්යෙලොව් ට හදිසියේම ඇසෙයි. *කොල්ලනේ, යන්ඩ දෙන්ඩ එපා ඕකාට! හපාකන එක තහනම් මේ දවස්වල! අල්ල ගනින්! ආහ්... ආහ්!"

ද්විත්ව ප්‍රතිපක්ෂවලට අදාළ මෙහි එන පළමු නිදසුන එයයි. බල්ලකු හපන්නේ ඌට යම් බලපෑමක් කළ විටය. එසේ නොමැතිව මෙහි එන ආකාරයට බල්ලකු සපා නොකයි.ඒ අනුව මිනිසා බල්ලාට යම් බලපෑමක් කර තිබේ. බල්ලා සපා කන්නේ මෙවන් වාතාවරණයක් තුළයි. එහෙත් මිනිසාගේ ආත්මාර්ථකාමීත්වය කෙසේද යත් ඔහු බල්ලාට යම් අකටයුත්තක් කළ බව දැන දැනම බල්ලා, තමාව සපා කෑ විට කෝප වෙයි.එය අපට කතාව මැද භාගයේ හමුවේ.

"මේ මිනිහා ඔය සතාගෙ මූණට සිගරට් එක ඇල්ලුවා සර්, විහිළුවට... එතකොටයි බල්ල හැපුවෙ...  ඔය මනුස්සයා  විකාරකාරයෙක් සර්!"

"ඒක පචයක් වපරයෝ! දැක්ක නැති දේවල් ගැන මොකටද උඹ පච ගහන්නෙ? මේ සර් දැන උගත් මහත්මයෙක්. එයාට තේරෙනව කවුද පච ගහන්නෙ කවුද ඇත්ත කියන්නෙ කියල... දෙයියන්ට වගේ... ඉතින් මම කියන්නෙ බොරු නම් ඒක උසාවිය බලාගනී. නීතිය එහෙමනෙ... අපි හැමෝම එක සමානයි නේ මේ දවස්වල. මතක තියාගනිල්ලා... මගේ සහෝදරයාත් පොලිස් භට හමුදාවෙ*


ඒ අනුව මෙහි එන යටිපෙළ ඉතා ප්‍රබලය.

සමාජයේ නීති සම්පාදනය වන්නේ ඉහළ පැලැන්තියේ අවශ්‍යතාවයන්ට මිස සමස්ත සමාජයේ අවශ්‍යතාවන්ට නොවේ. එබැවින් නීතිය බොහෝ විට නිර්මාණය වන්නේ දේශපාලකයන්ට, සමාජයේ ඉහළ තලවල උදවියට එයින් රිංගා යා හැකි ආකාරයෙනි. විශේෂයෙන්ම එය ක්‍රියාත්මක වන්නේ එයාකාරයෙනි.මෙය ඕනෑම කාලයක, ඕනෑම රටක, ඕනෑම සමාජයක පොදු ලක්ෂණයකි. එබැවින් චෙකොව් එතුළින් මතු කිරීමට උත්සාහ දරන්නේ මහජනතාව පවතින බල ඒකාධිකාරයට යමක් කරන්නේ යම් සේද ඔවුන් නීතිය තමන්ට ඕනෑ පරිදි වෙනස් කරමින් ඒවා ක්‍රියාත්මක කරන ආකාරය උපහාසයට ලක් කිරීමයි. වෙසෙසින්ම මෙහි එන මිනිසා යනු දේශපාලන සංකේතයකි. පාදයක් අහිමි බල්ලා අසරණතාවයේ සංකේතයකි. අසරණ මහජනයාගේ නියෝජනයකි.එසේම මෙහිදී බල්ලා අසලට සිගරට් කොටයක් ළං කළ බව දැක ඊට සාක්කි දුන් අනෙක් මිනිසා, මෙහිදී වපරයකු බවට පත්වන්නේ වැරැද්ද දැක දැක එය නොදැක්කා සේ හිඳීමෙන් චිරාත් කාලයක් ජිවත් විය හැකි බව වක්‍රොක්තියෙන් පවසමිනි.එසේම නීතිය ක්‍රියාත්මක කරන්නන් මෙන්ම දේශපාලකයන්ද තැලෙන යකඩේ තැලීම වඩා පහසු ක්‍රමය කාලයක් තිස්සේ පුරුදු පුහුණුව ඇති බැව් මෙයින් අනාවරණය වේ.  එමෙන්ම මෙහි එන කාල ප්‍රාන්තරය අපට පෙන්වන්නේ එය මැතිවරණ කාලයක් බවයි.“ නීතිය එහෙමනෙ... අපි හැමෝම එක සමානයිනේ මේ දවස්වල.“   යැයි මිනිසා පවසන්නේ එබැවිනි. මේ අනුව මෙනයින් මහජනයාගේ දුර්වලතාවය අවියක් කරගන්නා බල ඒකාධිකාරීන් එතුළින්ම තමන්ගේ බලය ඉතා අපූරැවට තර කර ගන්නා අයුරැ ඉතා සුළු සංවාදයක් හරහා චෙකොව් අපට විදාරණය කරයි.  
  
මෙහි ද්විත්ව ප්‍රතිපක්ෂ පිළිබිඹු වන තවත් අවස්ථාවක් දක්වාලීමට කැමැත්තෙමි.
මෙම කෙටිකතාවේදී සියලු දෙනාට මතුවන ප්‍රධානතම ගැටලුව බවට පත්වන්නේ මිනිසා සපා කෑ බල්ලා කාගේද යන්නයි. ඒ අනුව පොලිස් අධිකාරිවරයා හැසිරෙන්නේ මෙසේයි.

“ බොහොම හොඳයි... කාගෙ බල්ල ද මේකාමම මේක ලේසියෙන් අරින්නෙ නෑ! මේ වගේ තමුන්ගේ බල්ලො ඉබාගාතෙ අරින උන්දැලට මම උගන්නන්නම්! කාලෙ හරි මේ වැදගතුන් ගැන සලකා බලන්න, ඒ ගොල්ල නීතිය පිළිපදින්නෙ නැත්නම්! හොඳ දඩයක් වැදුනාම තක්කඩියට... මම උගන්නන්නං තමුන්ගේ බල්ලන්ව යි හරකුන්ව යි ඉබාගාතෙ යැවිල්ලෙ පල විපාක! උගන්නන්නං මං පාඩමක් අද!... යෙල්ඩයිරින්" 

අධිකාරිවරයා පොලිස් භටයා අමතා කෑ ගසයි,

 "හොයනවා මේ බල්ල කාගෙද කියල! මට ඕනෙ වාර්තාවක්!
බල්ලාව වහාම මරා දාන්න ඕනෙ. කිසි ප්‍රමාදයක් නැතුව! සහතිකෙන්ම මූට පිස්සු... ජල භීතිකාව... මං ආයෙත් අහනවා... කාගෙ බල්ලා ද මේ?"

එහෙත් ටික මොහොතකින් මෙහි මිනිසා සපා කෑ බල්ලා කාගේදැයි හෙළි වේ.ඒ මෙලෙසිනි.

"මේ අපේ බල්ලෙක් නෙමෙයි" ප්‍රෝහෝර් දිගටම කියයි. "ඒකා අයිති ජෙනරාල්ගෙ මල්ලිට. එයා ආවෙ ටික
දවසකට කලින්. අපේ සර් මේ ජාතියෙ බල්ලන්ට කිසි ආසාවක් නෑ. ඒකට මල්ලි... එයා කැමතිම මුන්ට..."

"ඔය කියන්නෙ උතුමාණන්ගෙ සහෝදරය මෙහෙ කියල ද? ව්ලැඩිමියර් ඉවානිච්?" ඔච්චම්යෙලොව් අසයි.
ප්‍රීතියෙන් කුල්මත්වූ ඔහුගේ මුහුණ සිනහවකින් එළිය වෙයි.

"අහා... නිකමටවත්! මම දැනගෙන හිටියෙ නෑනෙ... එයා සංචාරයකට ඇවිල්ල ද?"

"ඔව්"

"ආහ්, මට නිකමටවත් .... එයාට අයියගෙන් ඈත්වෙලා ඉන්න බෑ මනෙ.... බලාපල්ලා මම දැන හිටියෙ නෑනෙ! 
එහෙනම් මේ පොඩි උතුමාණන්ගෙ බල්ලා? අහන්නත් සන්තෝසයි... අහන්නත් සන්තෝසයි... අරන් යන්න අරන් යන්න. කොහොමටත් නරක කුක්කෙක් නොවෙයි... බොහොම ජව සම්පන්න සතා... මේ මිනිහගෙ ඇඟිල්ලත් ඩැහැගත්තා! හහ් හහ් හා.... එන්න... ඇයි වෙවුලන්නේ? රර්ර්... රර්ර්... දඟකාරයාට තරහ ගිහින්... කදිම පොඩි කුක්කෙක්"

ප්‍රෝහෝර් බල්ලා කැඳවාගෙන ලී මඩුවෙන් පිටත් වී යයි. පිරිස හරුයිකිං දෙස බලමින් සිනාසෙති.

බල්ලා අවසානයේ සුනඛයකු බවට පත්ව නිදොස් වී නිදහස් වෙයි.

සැමවිටම තරමක රැඩිකල්වාදී කතා තේමා තම ප්‍රස්තුතය කර ගත් චෙකොව්ගේ මෙම කෙටිකතාවද සමාජයේ එවැනි එකිනෙකට පරස්පර සමාජ ක්‍රම දෙකක් නිරූපණය කළ නිර්මාණයකි.එනම් පළමුව බල්ලා හපා කෑම ඉතා විශාල වරදක් බවට පත්වෙයි. ඒ අනුව එහි දෙපාර්ශ්වයේම සාක්ෂි ඉතා දැඩිව විමර්ශනයට ලක්වන්නේ එය ඝාතන තැතක් පරිද්දෙනි.නඩු විභාගයක් පරිද්දෙනි. එහෙත් අවසානයේදී මෙහි කිසිම නඩු විභාගයක් සිදුනොවන්නේ බල්ලා සපාකෑවේ තමන්ගේ වරදින් මිස බල්ලා ඉබාගාතේ යාම නිසා නොවන බැව් ඔප්පු කරමිනි.

එබැවින් මෙහි නඩු විභාගයක් පැවැතියහොත් එයින් සාධාරණය ඉෂ්ට වන්නේ බල්ලාට මිස මිනිසාට නොවේ. එනම්  නීතිය බලු වී තිබේද  එසේත් නැත්නම් බලු නීතිය වී තිබේද යන්න චෙකොව් නැවත නැවතත් ප්‍රශ්න කර තිබේ.මෙහි සර්ව කාලීන ගුණය රඳා පවතින්නේද එබැවිනි.  

"මම උගන්නන්නං උඹට දවසක!" ඔච්චම්යෙලොව් ඔහුට තර්ජන ය කර, සිය විශාල කබාය සිරුර වටා දවටා ගනිමින් චතුරශ්‍රය හරහා ඇවිද යයි.

චෙකොව් ඉහත දෙබස හරහා නොකියා කියන්නේද එයයි.

එහෙත් මෙම කෙටිකතාවේ අවසන මෙසේ සටහනක් තබන්නට කැමැත්තෙමි. මෙහි අවසන් මොහොත දක්වාම පොලිස් අධිකාරිවරයා සිටියේ මහජනයාගේ පාර්ශ්වයේය.ඊට තවත් හේතුවක් වන්නේ බල්ලාගේ සපා කෑමට ලක්වූ පුද්ගලයා සහ පොලිස් අධිකාරිවරයා අතර තිබුණු මිතු දමයි.ඒ අනුව කතාවේ මැද භාගයේදී පොලිස් අධිකාරිවරයා කියන්නේ වෙනකකි.
 
"මමත් දන්නව ඒක. ජෙනරාල්ගෙ බල්ලො ජාතකයක් තියෙන වටිනා උන්. ඒකට මේ අවලම් සතා. මවිල් නෑ... කිසි හැඩයක් නෑ.... වල් සතෙක්. මේ වගේ බල්ලෙක් හදා ගන්න එකේ කිසිම තේරැමක් නෑ. මේ වගේ සතෙක් පීටර්ස්බර්ග් වල හරි මොස්කව් වල හරි ගෙනිච්ච නම් දන්නවද මොකද වෙන්නෙ කියල? නීති රීති ගැන කිසි කතාවක් නැතුව ඇහිපිය ගහන්න කලින් බෙල්ල හිරකරල මරා දායි! උඹට තුවාල වුනා නේ ද හරැයිකිං, ඒක ලේසියෙන් ලිස්සල අරින්න දෙන්න බෑ... අපි මුන්ට පාඩමක් උගන්නන්න ඕනෙ! ඒකට කාලෙ හරි දැන්...!"

එහෙත් අවස්ථාවට ගොදුරු වූ පොලිස් අධිකාරිවරයා සිදුකරන්නේ කිවූ දෙයමද ? අවසානයේ පොලිස් අධිකාරවරයා ක්‍රියා කළේ පොදු මහජනයා වෙනුවෙන්මද ? නීතිය සැමට එක හා සමානව ඇත්තේ පොතෙහි පමණද ? ඇන්ටන් චෙකොව්ගේ කෙටිකතාවල යටිපෙළ ඉතා ප්‍රබල වන්නේද මේ නිසාමය. 

අපට මෙහි ද්විත්ව ප්‍රතිපක්ෂ හඳුනාගත හැක්කේ මේ අයුරිනි.