Friday, January 30, 2015

මිනිසුන්ට මග පෙන්වන කලා මාධ්‍ය භාවිතයක් වත්මන් අධ්‍යාපනය තුළ නැහැ - 2015/01/30 - “අද“

මිනිසුන්ට මග පෙන්වන කලා මාධ්‍ය භාවිතයක් වත්මන් අධ්‍යාපනය තුළ නැහැ 

“අරුන්දතී“ නාට්‍යයේ නිෂ්පාදක තුමිඳු දොඩම්තැන්න

මාලන් විදානපතිරණ

සංඛාරා චිත්‍රපටය හරහා බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් චිත්‍රපට නළුවකු වන තුමිඳු දොඩම්තැන්න,සිය රූපණයේ මුලකුරු උපයාගන්නේ වේදිකාවෙනි.පාසැල් අධ්‍යාපනය හමාර කළ වැඩි කලක් නොගොස් 1999 වසරේදීම සිය මුල්ම දිගු නාට්‍යය නිපැයූ තුමිඳු, එය හඳුන්වනු ලැබුවේ අරුන්දතී නමිනි.එම වසරේ පැවැති යෞවන සම්මාන උලෙළේදී සම්මාන දොළහකට වග කියූ මෙම වේදිකා නාට්‍යය, රාජ්‍ය නාට්‍ය උලෙළේදීද ප්‍රධාන සම්මාන තුනක් දිනා ගැනීමට සමත් විය.එබැවින් 2013 වසරේදී නව නිෂ්පාදනයක් ලෙස නැවතත් කරළියට පැමිණි අරුන්දතී,අනිද්දා (01) නාමෙල් මාලිනි පුංචි තියටර්හිදී සවස 3.30 සහ 6.30ට නැවතත් වේදිකාගත වීමට සූදානමින් සිටී.මේ ඒ අලළා එහි නිෂ්පාදක (වේදිකා නාට්‍ය කලාවේ අධ්‍යක්ෂවරයා යනු නිෂ්පාදකවරයාය.) තුමිඳු සමග කළ කතාබහක සටහනකි.

අරුන්දතී කියන්නේ හෂිනිකා කරලියද්ද,ජයනාත් බණ්ඩාර වැනි මෙම නාට්‍යයේ ප්‍රධාන චරිත නිරූපණය කරන ශිල්පීන්ගේ මුල් කාලීන නිර්මාණයක්.ඔවුන් පමණක් නෙමෙයි.මෙහි සෙසු චරිත රඟපෑ ශිල්පීන්ගේ පවා මුල්ම වේදිකා ආගමනය සිදුවන්නේ මෙම නාට්‍යය හරහායි. ඒත් ඔවුන් දැන් ජිවිතය පිළිබඳ එදාට වඩා පරිණත බවක් ලබා තිබෙනවා.විශේෂයෙන්ම එම බහුශ්‍රැත බව මුල්ම නිෂ්පාදනයට වඩා වාසි සහගතයි.ඒ මෙහි කතා තේමාවේ ස්වභාවය හින්දා. මේ නිසා වත්මන් නිෂ්පාදනයේදි අපට එදාට වඩා ජවයක් එක්වෙලා තිබෙනවා.නැවතත් මෙහි නව නිෂ්පාදනයක් කිරීමේ අවශ්‍යතාවක් මතුවෙන්නේත් මෙවැනි පසුබිමක් තුළ තමයි.තුමිඳු සිය හඬ අවදි කළේ එසේයි.

සරල කතාවක් ඇතුළත සංකීර්ණ ගවේෂණයක්

ප්‍රේමය සහ විවාහ සංස්ථාව අතර ගැටුමක් තමයි මෙහි ප්‍රධාන ප්‍රස්තුතය බවට පත්වෙන්නේ.මේ අත්දැකීම බොහෝ දෙනෙක් තමාගේ ජිවිත කාලය තුළදි අත්විඳින දෙයක්.කුලය සම්බන්ධ සංස්කෘතික කාරණාවක් තමයි මෙහි කේන්ද්‍රීය කාරණාව බවට පත්වෙන්නේත්. හැබැයි අපි මෙය ගෙන එන්නේ සංකේතාත්මක ආකෘතියක් පදනම් කරගෙන.සාමාජීය,ආර්ථික, වාර්ගික ආදි වශයෙන් අප තුළ පවත්නා බෙදීම් කෙතරම් දුරට අපේ ජිවිත අර්බුදකාරී තත්ත්වයකට පත් කරනවාද යන්නත් මෙහිදී අපි ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක් කරනවා.දේශපාලනික සරල කතාවක් ඇතුළින් තමයි අපි මේ ගවේෂණය සිදුකරන්නේ.ඒ නිසා මේක  ප්‍රසාංගික බවින් පිරුණු මිශ්‍ර රංග ශෛලියකින් යුත් නාට්‍යයක්. හැමදෙයක්ම ඉතාම සරල,සාමාන්‍ය ආකාරයකට තමයි භාවිතා කරලා තියෙන්නේත්.ඒ නිසා මෙය හැමෝටම රසවිඳින්න පුළුවන් නාට්‍යයක්.ආනන්දය තුළින් ප්‍රඥාව කරා යා හැකි නාට්‍යයක්.
  
දේශපාලනික හාස්‍ය නාට්‍ය රැල්ල

රාජ්‍ය පාලනය විහිළුවක් වූ සමාජයක,නාට්‍යකරුවාගේ ප්‍රකාශනයත් විහිළුවක් තමයි.එසේ කරගත්තු නාට්‍ය රැල්ලක් තමයි දැන් පවතින්නේ.එවන් මතුපිටින් දකිනා හාස්‍යයක් තමයි වේදිකාවට ගෙන ඇවිත් තිබෙන්නේත්.  ඒත් මෙවැනි සරල දේශපාලනික සිදුවීම් නාට්‍යවලින් දැකලා හිනාවෙලා අවසන් කරන්න පුළුවන් කියලා මම නම් හිතන්නේ නැහැ.ඒ නිසා එවැනි නාට්‍ය තුළින් සිදුවෙන්නේ ජන ජීවිතය අකර්මණ්‍ය කිරීමක් පමණයි. නිර්වින්දනය කිරීමක් පමණයි. බර්ටෝල්ට් බ්‍රෙච්ට් කියන්නා සේ අඳුරු යුගවලදී අඳුරු යුගය ගැන මිස කවි සින්දුත් ලියවේද ? අපි දැන් පසුකරමින් යන්නේත් එවැනි යුගයක්. එය අපට වර්තමානයට ගැලපෙන්නේ විහිළු යුගයක් විදිහට.ඒත් අඳුරු යුගයක නිපැයුණු ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ ධවල භීෂණ වැනි නාට්‍ය මීට වඩා ගුණාත්මක මට්ටමක පැවතුණා.ඒත් අරුන්දතී නාට්‍යයට පවතින හාස්‍ය නාට්‍ය ප්‍රවාහය බාධාවක් නෙමෙයි.

නාට්‍යකරුවා සහ සංවිධායකවරයා පිළිබඳ ගැටලුව

නාට්‍යයක් නිර්මාණය කිරීමෙන් අනතුරුව එය රට වටා දර්ශන වාර සංවිධානය කිරීමේදි එය නාට්‍යකරුවා සමග බැඳී නැහැ.නාට්‍ය සමාගම්,නාට්‍ය සංවිධාන ආදිය පවතින්නේ එම සංවිධානමය ගැටලුවට තමයි.ඊට නිසි කළමණාකරණ ව්‍යුහයක් නොමැති වීමයි,ලාංකේය නාට්‍ය කලාවේ අර්බුදය වී තිබෙන්නේ.අනික අපේ රටේ පවතින්නේ ජංගම නාට්‍ය කලාවක්. ඒකත් මීට බලපා තිබෙනවා.ඒක වැරැද්දක් නෙමෙයි.එවැනි ව්‍යුහ පවතින සංස්කෘති විදෙස් නාට්‍ය සංස්කෘති තුළ පවතිනවා.නමුත් ඔවුන් එක නාට්‍යයක් වසර කිහිපයක් එක දිගටම එකම රංග ශාලාවක වේදිකාගත කරනවා.ඒත් අපේ රටේ එවැනි පසුබිමක් නිර්මාණය වෙලා නැහැ. ඊට ඉඩක් හෝ ලබා ගැනීම අපහසු කටයුත්තක්.අනික එවන් ප්‍රේක්ෂාගාරයක් පවා තවමත් නිර්මාණය වෙලා නැහැ.ප්‍රාග්ධන අතිරික්තයක් පවතින සමාජයකට තමයි කලාව භාවිතා කළ හැකි වෙන්නේ.ඒත් එවැනි සමාජයක් අද අපට නැහැ.

එකම නිර්මාණ කුට්ටියකට හිර නොවී අධ්‍යාපන විෂය නිර්දේශ පවා යාවත්කාලීන විය යුතුයි

වර්තමානයේ සිටින අධ්‍යාපනයට අදාළ විෂය නිර්දේශවලට අදාළ පරිපාලකයන් දන්නේ එකම නිර්මාණ කුට්ටියක් ගැන පමණයි.ඒ ඔස්සේ තමයි ඔවුන් පෙළ පොත් යාවත්කාලීන කරන්නේ. අපි දන්න විදිහට ජයලත් මනෝරත්නයන්ගේ තලමල පිපිලා නාට්‍යය තමයි මෑතකදි යාවත්කාලීන වූ නාට්‍යයකට තිබෙන්නේ.ඒත් අතුල පතිරණගේ දොළහක් වැනි නාට්‍යයක් සර්වකාලීන ගුණයකින් යුතු නාට්‍යයක්.ඉදිරියටත් රංගගත විය යුතු නාට්‍යයක්.ඒත් අද එය නැවතිලා.මේ නිසා මිනිසුන් ප්‍රගතශීලි කරවන, මිනිසුන්ට මග පෙන්වන කලා මාධ්‍ය භාවිතයක් වත්මන් අධ්‍යාපනය තුළ නැහැ.එවන් ප්‍රගතශීලි කරවීමක් තුළින් දේශපාලකයාට අවාසියක් වේවි කියා දැනීමටවත් සමාජ වැටහීමක් දේශපාලකයාට නැහැ.ඒ නිසා වත්මන් දේශපාලකයන්ගෙන් කීයෙන් කීදෙනෙක්ට එවැනි බුද්ධි මට්ටමක් හෝ සාහිත්‍ය,කලාව පිළිබඳ උනන්දුවක් තිබේද යන්නත් ගැටලු සහගතයි. මෙවන් වාතාවරණයක් තුළ රසවින්දනය පිළිබඳ ඉගැන්වීමකට කොහොමටවත් මෙහි ඉඩක් නැහැ.ඒත් මෙයින් මිනිස් සමාජය තුළ ගැටලු අවම කරන බව ඒ පරිපාලකයන් දන්නේ නැහැ. එයින් සිර ගෙවල් වැසෙන බව ඔවුන්ගේ පුළුල් මනසට වැටහෙන්නේ නැහැ. අනෙකාව දැනෙන්නේත් සාහිත්‍යය,කලාව රසවිඳින සමාජයකට බවට ඔවුන්ට අවබෝධයක් නැහැ.තාමත් අපට අනෙකාව ඉවසන්න බැරි මේ නිසයි. උසස් රසවින්දන මට්ටමක් තියෙන සමාජයක මෙවැනි දෙයක් සිදුවෙන්නේ නැහැ. අපි තිස් අවුරුද්දක් ආපස්සට ගියෙත් මෙවැනි හේතු නිසයි.

නාට්‍ය කලාවේ දොරවල් කවුරුවත් විසින් වහලා නැහැ

සජිවි නාට්‍ය කලාවක් ලෙස වේදිකා නාට්‍ය කලාව තමයි වැඩි නිදහසක් හිමි මාධ්‍ය වෙන්නේ.එවන් නිදහසක් චිත්‍රපටවලටවත් නැහැ.ටෙලිනාට්‍යවලටවත් නැහැ.ඒ විවෘත බව ආධුනිකයන් තේරුම්ගත යුතුයි. අනික ඔවුන්ට යෞවන සහ රාජ්‍ය වශයෙන් ප්‍රධාන නාට්‍ය තරගාවලි දෙකක් තියෙනවා.නාට්‍ය කලාව හැදෑරීමට පවා ටවර්හෝල් සහ ජාතික තරුණ සේවා සභාව ලෙස පිළිගත් ප්‍රධාන ආයතන දෙකක් තිබෙනවා.ඒ හරහා තරුණයන්ට තමන්ගේ මාර්ගය සකස් කර ගත හැකියි.එහෙම නැතුව මෙහි ඒකාධිකාර, කල්ලි නිර්මාණය වෙලා නැහැ.අනික මුලින්ම නාට්‍ය නරඹන්නයි යා යුත්තේ.ඒ ඔස්සේයි තමන්ගේ නාට්‍ය ආකෘතියක් සකස් කර ගත යුත්තේ. උනන්දුව,කැපවීම තුළින් තමයි දක්ෂ නිර්මාණකරුවන් ඉදිරියට එන්නේ.

ටෙලිනාට්‍ය කලාවෙන් ඉවත් වෙලා නැහැ

මම ටෙලිනාට්‍යයක චරිතයක් ලැබුණාම ඒ පිළිබඳව තෝරා ගැනීමක් කරනවා.සාහිත්‍යයමය වශයෙන් යමක් කළ හැකි,වටිනාකමක් තියෙන පිටපතකට දායක විමටයි මම හැමවෙලාවකම උත්සාහ දරන්නේ.අනික මට රංගන ශිල්පියෙකු විදිහට ගත කිරීමට ලැබෙන කාලය ඉතා සීමිතයි.එම සීමිත කාලය වටිනා යමකට යෙදවිමයි මගේ අරමුණ.ඒ නිසා මම මේ මොහොතේ දායක වී සිටින්නේ ලක්මාල් ධර්මරත්නගේ කූඹියෝ ටෙලිනාට්‍යයට පමණයි.ඒත් මම එයින් විශාල තෘප්තියක් ලබනවා.එම පිටපත හොඳ තෝරා ගැනීමක් කියලයි මට හිතෙන්නේ.අනික ටෙලිනාට්‍යයකට පෙනී සිටීම තමයි සමාජය බලාපොරොත්තු වෙන්නේත්.රඟපෑමට තියෙන ඉල්ලුම අද දෙවැනි ස්ථානයට වැටිලා.මෙවැනි පසුබිමක කොහොමද ගුණාත්මක ටෙලිනාට්‍ය බිහිවෙන්නේ ? ඒ නිසා ගුණාත්මක කිර්මාණ බිහිවෙන්නේ දැන් කොහොමත් කලාතුරකින්.

චිත්‍රපට ක්ෂේත්‍රයට දක්වන දායකත්වය

මට ලැබෙන්නේ ඉතාම සිමිත කාලයක්.නිලේන්ද්‍ර දේශප්‍රියගේ තණ්හා රතී රඟා චිත්‍රපටයේ පවා මම නිරූපණය කළේ ඉතාම කුඩා චරිතයක්. මීට  වසර එක හමාරකට පෙර රූගතකිරිම් සිදුවූ සුමිත්‍රා පීරිස්ගේ අලුත්ම චිත්‍රපටයේත් මම රංගනයෙන් දායක වුණා.මේ දිනවල එහි පසු නිෂ්පාදන කටයුතු සිදුවන වෙනවා.මම හිතනවා ඒ චිත්‍රපටය මේ වසරේදි දැකගන්න ලැබෙයි කියලා.



No comments:

Post a Comment