Friday, January 30, 2015

ඔස්කාර් සම්මාන උලෙළට චෝදනා -2015/01/31 - තරුණයා

ඔස්කාර් සම්මාන උලෙළට චෝදනා

ලබන පෙබරවාරි මස 22 වැනිදා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදී පැවැත්වීමට නියමිත ඔස්කාර් සම්මාන උලෙළේදී සම්මානයට නිර්දේශ වී ඇති නම් පසුගිය සතියේ ප්‍රකාශයට පත්විණ.කෙසේ වෙතත් ඒවා අතරින් ප්‍රධාන සම්මාන සම්මාන කීපයකට අදාළ සුදුසුම වූ නම් කිහිපයක්ම මීට ඇතුළත්ව නොමැති බවට මේ වන විට චෝදනා එල්ල වී ඇත.මේ ඒ පිළිබඳ තබනා සටහනකි.

හොඳම නළුවා ?

ඇමෙරිකානු මානව හිමිකම් වෙනුවෙන් සටන් වැදුණු මාටින් ලූතර් කිංග්ගේ චරිතාපදානය රැගත් Selma චිත්‍රපටයට හොඳම නළුවා සම්මාන හිමි විය යුතු බව ඇතැම් විචාරකයන්ගේ අදහසයි. බ්‍රිතාන්‍ය නළු ඔයෙලෝවෝ මෙවර හොඳම නළුවා සම්මානය සඳහා සුදුසුව තිබු චිත්‍රපට නළුවකු බව පවසන ඔවුන් එය වසරේ හොඳම චිත්‍රපට රූපණයන්ගෙන් එකක් ලෙසද සළකයි.එහෙත් පිට පිට තෙවැනි වතාවටත් බ්‍රෑඩ්ලි කූපර් විසින් American Sniper චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් මෙම සම්මානයට නිර්දේශ වී සිටී. එසේම Nightcrawler චිත්‍රපටයේ රංගනය  වෙනුවෙන් ජේක් ගයිලෙන්හාල්ද මෙම සම්මානයට නිර්දේශ වන්නට තිබූ බව සමහරුන්ගේ අදහසයි.ඔවුන් ගයිලෙන්හාල් සංසන්දනය කරනු ලබන්නේ රොබට් ඩි නිරෝ සමගිනි. එනම් Taxi Driver චිත්‍රපටයේ රොබට් ඩි නිරෝ විසින් ට්‍රැවිස් බික්ල් ලෙසින් යෙදෙනා රංගනය, ගයිලෙන්හාල්ට සමපාත වේ.එහෙත් ගයිලෙන්හාල් දායක වන්නේ දරුණු අපරාධයක් පසුපස හඹායන අභීත ජනමාධ්‍යවේදියෙකු වන ලොයි බ්ලූම්ගේ චරිතයටයි. මේ අතර The Grand Budapest Hotel චිත්‍රපටයේ සිත්ගන්නා හාස්‍යජනක රංගනයක නිරත වූ රැල්ෆ් ෆියන්ස්ද මෙම ලැයිස්තුවේ නොමැති වීම විස්මය දනවන්නක් වී ඇත.

හොඳම සහාය නිළිය ?

සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ ඩේවිඩ් ෆින්චර්ගේ අධ්‍යක්ෂණයක් වන Gone Girl චිත්‍රපටයේ නික්ගේ සහෝදරිය (බෙන් ඇෆ්ලෙක්ගේ සහෝදරිය) ලෙසින් කේරි කූන් කළ රංගනය කලෙකින් දුටු සුපිරි ගණයේ රංගනයක් බව ඇතැම් විචාරකයන්ගේ මතය වන අතර එබැවින් ඇය මෙම ලැයිස්තුවට ඇතුළත් නොවීම පුදුමයට කරුණක් බව ඔවුන්ගේ අදහසයි.

ගිලිහිණු ප්‍රථම කළු ජාතික අධ්‍යක්ෂවරිය

මාටින් ලුතර් කිංග්ගේ ජීවිතයේ තීරණාත්මක වසරක් වන 1965 වසරේ සිදුවුණු සිදුවීම් පෙළක් අලළා නිපැයුණු Selma චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ඈවා ඩුවර්නේගෙනි.ඇය මෙම සම්මානයට නිර්දේශ වූයේ නම් කළු ජාතික කාන්තාවක් ඔස්කාර් සම්මාන උලෙළේදී හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානයට නිර්දේශ වූ ප්‍රථම අවස්ථාව ලෙස මෙය සටහන් වීමට ඉඩකඩක් පැවති අතර එය එසේ නොවුණේ මන්ද යන්න ප්‍රශ්නකාරී තත්ත්වයක් වී ඇත.

Life Itself නැහැ ?

විවාදාත්මක විචාර පළ කළ ඇමෙරිකානු විචාරකයකු වන රොජර් එබර්ට්ගේ ජීවිතයේ වැදගත් අවස්ථා අලළා නිර්මාණය වුණු Life Itself චිත්‍රපටය,ස්ටීව් ජේම්ස්ගේ අධ්‍යක්ෂණයකි.විශේෂයෙන්ම එබර්ට්ගේ විචාරක කලාව පිළිබඳ අපූරු ගවේෂණයක් සිදුකර ඇති මෙහිදී එබර්ට්ගේ වෘත්තියමය ජීවිතය,ඇල්කොහොල් සමගින් ඔහු කළ සටන ආදිය විමර්ශනාත්මක වාර්තාකරණයකට බඳුන් කර ඇති මෙම වාර්තාමය චිත්‍රපටය හොඳම වාර්තා චිත්‍රපටයට හිමි සම්මානය සඳහා නිර්දේශ නොවුයේ මන්ද යන්න මේ වන විට මතභේදයට තුඩු දී ඇත.


මාලන් විදානපතිරණ  

No comments:

Post a Comment