Thursday, May 28, 2015

“වනපස මල්,තාත්තා සහ කලං අන්කල් 2015/05/28

“වනපස මල්,තාත්තා සහ කලං අන්කල්

මේ චිත්‍රපට නළුවා ගැන කවුරුත් දන්නවා ඇති. මේ තමයි අමරසිරි කලංසූරිය.අපේ හිතවත්කම මත මම ඔහුට කතා කරන්නේ කලං අන්කල් කියලා.ඒත් අද මට හිතුණා ඔහු මට වැදගත් වෙන්නේ ඇයි කියලා ලියලා තියන්න.

කලං අන්කල් නිසා තමයි මම මුලින්ම ටෙලිනාට්‍යයක දර්ශනයක් දැකලා අඬන්නේ.එතකොට මම හුඟක් පොඩියි.හුඟක් කියන්නේ හුඟක්ම පොඩියි.මේ ටෙලිනාට්‍යයේ තියෙන අනික් විශේෂත්වය තමයි මේක අපේ තාත්තා අධ්‍යක්ෂණය කරපු ටෙලිනාට්‍ය හතෙන් කෙටිම කෙටි නාට්‍යය වීම.සම්පූර්ණ ටෙලිනාට්‍යයම කොටස් හතයි.මේ ටෙලිනාට්‍යයේ නම “වනපස මල්“. රෙබෙකා නිර්මලී තමයි මෙහි ප්‍රධාන චරිතය වුණු අම්මාගේ චරිතය නිරූපණය කළේ.වයසට නොගැලපෙන චරිතයක් තමයි රෙබෙකා ආන්ටි නිරූපණය කළේ.මොකද ඇයට ඒ චරිතය ඇතුළේ භූමිකා කීපයක් නිරූපණය කරන්න තිබුණා. ඊට අමතරව දමිතා අබේරත්න,ආනන්ද වික්‍රමගේ,ජගත් චමිල, ජයන්ත බෝපෙආරච්චි, මානෙල් වානගුරු මීට දායක වුණා.

කලං අන්කල්ට තිබුණේ තාත්තාගේ චරිතය.ජීවිතයෙන් හුඟක් බැට කාලා හෙම්බත් වුණු ඒ චරිතේ ඇතුළේ මට අපේ තාත්තාව අහුවුණා.ඒ තරම් ඒ චරිතය මට සමීප වුණා.හැබැයි ළඟකදි ඉඳලා තමයි ඒ චරිතේ ඇතුළෙන් මට තාත්තව හුඟක්ම අහුවෙන්න පටන් අරන් තියෙන්නේ.අපේ තාත්තාගේ ගති ලක්ෂණ කලං අන්කල් නිරූපණය කරපු තාත්තාගේ චරිතේ ඇතුළේ තියෙනවා නේද මට දැනෙන්න පටන් ගත්තා.

හැබැයි කතාවට අනුව දරුවන් හෝ බිරිඳ නොසිතූ මොහොතක ඔහු මෙලොව හැර යනවා.ඉන්පස්සේ දරුවෝයි අම්මයි අසරණ වෙනවා.ඇත්තටම මට ඒ දවස්වල අවුරුදු හතක් අටක් ඇති. තාත්තා කැමරාව තුළින් මවපු ඒ මළ ගෙදර දර්ශනයට පුදුම විදිහට මට ඇඬුණා.
ඉන්පස්සේ කතාව හැටියට තාත්තාගේ රැකවරණ නැතිකමින් එක්කෙනෙක් ලංකාවේ නොම්මර එකේ හොරෙක් වෙනවා.අනික් කෙනා හොඳට ඉගෙනගෙන පොලිස් නිලධාරියෙක් වෙනවා.ඒත් අවසානයේදී පොලිස් නිලධාරි අයියා අතින් මල්ලි මැරෙනවා.ඒ මල්ලි කියලා දන්නේ නැතිව වෙඩි තියන නිසා.

හොරාගේ චරිතය නිරූපණය කළේ ජගත් අයියා (ජගත් චමිල).පොලිස් නිලධාරියාගේ චරිතය නිරූපණය කළේ ජයන්ත බෝපෙආරච්චි(අද ඇමෙරිකාවේ ඉන්නේ).අම්මාගේ චරිතය නිරූපණය කළ රෙබෙකා නිර්මලීත් අද අප අතර නැහැ.නපුරුම නපුරු වලව් පැලැන්තියේ නෝනාගේ චරිතය නිරූපණය කළේ මානෙල් වානගුරු.මට හයක් හතරක් තේරෙන වයස වෙනකම් මම ඒ චරිතයට වෛර කළා.ඇත්ත ජීවිතයෙදිත් එහෙම වෙන්න ඇති කියලයි හිතුවේ.දුප්පත් මිනිස්සුන්ට කෙණෙහිලිකම් කරනවා කියලයි හිතුවේ.
කොහොම වුණත් අදටත් මට මේ ටෙලිනාට්‍ය කතාව අද වගේ මතකයි.

(සැ.යු. පම්පෝරියක් නොවෙයි.අමතකවෙන්න කලින් ලියා තැබීමක් පමණයි.)

-මාලන් විදානපතිරණ

Tuesday, May 5, 2015

වෙසක් බලන්න ගියා.(හැබැයි හිතන් හිටිය වෙසක් නෙමෙයි)

වෙසක් බලන්න ගියා.(හැබැයි හිතන් හිටිය වෙසක් නෙමෙයි)


ඊයේ පත්තරේ වැඩ ටික ඉවර කරලා හත හමාරට විතර ඔෆිස් එකෙන් එළියට බැස්සේ ඔෆිස් එකේ යාළුවෝ සෙට් එකත් එක්ක වෙසක් බලන්න යන්න හිතාගෙන.කොහොම වුණත් මම යන්න කලින් ට්‍රාන්ස්පෝට් අංශයටත් ගිහින් තමයි පාරට ආවේ. මම ඒක යාළුවන්ට කිව්වත්, වෙසක් බලන්න ආපු සෙනඟ ගොඩ අස්සේ මට ඒගොල්ලන්ව හොයාගන්නවත් බැරිවුණා.මගේ ෆෝන් එකත් කැඩිලා තිබුණූ නිසා ගොඩක් නොම්මර නැතිවෙලා තිබ්බේ.ඒ නිසා මම සම්පත් බැංකුව ළඟ තියෙන පෝලිම දිහා බලාගෙනම පාරෙන් අනික් පැත්තට පැනලා අපේ කට්ටිය හොයන්න පටන් ගත්තා.මම දැන් ලොකු අවුලකින් හිටියේ.

ඒ අස්සේ කවුදෝ මන්දා “මාලන්. මාලන්“ කියලා කෑ ගහනවා.මම හිතුවා අපේ ඔෆිස් එකේ සෙට් එක කියලා.බැලින්නම් මගේ පරණ ඉස්කෝලේ යාළුවෝ සෙට් එක.ඔෆිස් සෙට් එක හොයන එක පැත්තක දාලා මම දැන් උන් එක්ක කතා කරනවා හරි හරියට.කොහොමින් කොහොමහරි අන්තිමට බලනකොට අපි ගංගාරාමෙටත් ඇවිත්.ඒ අතරෙදි නොහිතපු මොහොතක මට අපේ කැම්පස් එකේ සන්දීපත් හම්බවුණා.එයත් අයියලා එක්ක වෙසක් බලන්න ඇවිත්.ඒත් වැඩිවෙලා කතා කරන්න ලැබුණේ නෑ අපිට.

ඉන්පස්සේ විහාරමහාදේවි පාක් එකෙන් පැත්තෙන් යද්දි මම ඇහුවා කොහෙද මේ යන්නේ කියලා.වාහනේ පාක් කරලා තියෙන්නේ ඒ පැත්තේ කිව්වා.

ඒත් අපි එතනට ගියාම වාහනේ ගන්න විදිහක් නෑ. ඒක හරස් කරලා වෑන් එකක් ගහලා.අපි කිව්වා වෑන් එක හින්දා කැබ් එක ගන්න විදිහක් නෑ කියලා.ඒත් වෑන් එකේ හිටියෙත් නංගිලා දෙන්නෙක් විතරයි.ඒ දෙන්නත් නිදි.අපි ඇහැරවලා ගත්තා. බලනකොට වෑන් එකත් ලොක් කරලා නෑ.අපේ එකෙක් ගියා ඩ්‍රයිවින් සීට් එකට.අපි ගියා ගියා වෑන් එකේ පිටිපස්සේ.හසිත වාහනේ නියුට්‍රල් කරද්දි අපි වෑන් එක ඉස්සරහට තල්ලු කළා.

දැන් අපේ සෙට් එකක් වාහනේ පිටිපස්සේ.මම රජිත එක්ක ඉස්සරහ සීට් එකේ.අපේ කට්ටියත් කොහෙන්දෝ මන්දා නළාවක් හොයාගෙන.පාරේ අනික් වාහනවලට නොදෙවෙනි වෙන්න නළා පිඹිනවා හිටු කියලා.

වාහනෙන් වෙසක් බලන්න පිටත් වුණු අපි මුලින්ම ගියේ ගෝල් ෆේස් එකට.වාහනේ නවත්තන්නත් බැරි හින්දා හෙමින් හෙමින් පාරේ ගියා.ඔය අතරේදි ඉස්සරහ හිටපු මමත් ට්‍රැෆික් අස්සේ පිටිපස්සට පැන ගත්තා. අතරමගදී ලොරිවල,කැබ්වල,වෑන්වල,බයිසිකල්වල,ත්‍රීවිල්වල ගිය අමුතු අමුතු කොල්ලොත් හම්බවුණා.කෙල්ලොත් හම්බවුණා.ආන්ටිලාත් හම්බවුණා.

"අර පුංචි ළමයා තනියෙන්ම එළවනවා. පව් නැද්ද ? " ලොරියක නැගලා හිටපු ආන්ටි කෙනෙක් කිව්වා.

“ඒ අපේ උක්කුං පුතා. එයා තමයි අපේ වාහනේ අරං යන්නේ“ එතකොට චාමර හිනාවෙවී කිව්වා.

ආයෙත් පාරක් ඒ ලොරියම අපිට ට්‍රැෆික් එකේදි සෙට් වුණා.ලොරිය කළු පාට ඉටි රෙද්දකින් වහලා තිබ්බේ.

“අද හුඟක් පින්න වැඩියි වගේ නේද ?“ මම පොඩි නක්කලයක් දැම්මා.

එතකොට ඒගොල්ලො හිනාවෙන්න පටන් ගත්තා.

ඔය විදිහට ඒගොල්ලන්ටත් අනංමනං කිය කිය අපි එතැනින් පිටත් වුණා.නවලෝක තොරණත් බැලුවා.

හැබැයි ඉතින් වාහනේ අරන් ආපු හසිත සහ රජිත දෙන්නම එක පාරම බ්‍රේක් ගහන්න නම් සුපිරි දක්ෂයෝ කියලයි මට නම් හිතුණේ.

අපි මරදානේ පැත්තෙත් වෙසක් බලන්න ගියා.ඒත් දිගටම තිබ්බේ දන්සැල්.ගොඩක් ඒවා බත් දන්සැල්.ඒවාත් බලාගෙන.පොඩි පොඩි කූඩුත් බලාගෙන අපි වාහනේ පෑලියගොඩටම ඇද්දුවා.ඉන්පස්සේ පෑලියගොඩ තොරණත් බලලා,දෙමටගොඩ තොරණත් බලලා,කූඩුත් බලලා අපි කෙලින්ම ගියේ නාලන්දෙට.වෙනත් විදිහකින් කිව්වොත් අපේ ඉස්කෝලෙට.මොකද ඉස්කෝලේ ළඟ පදිංචි යාළුවෝ දෙන්නෙක්ම(නඳුන් සහ හසිත) අපේ සෙට් එකේ හිටියා.

ඒත් මම නිකමට වගේ නඳුන්ගේ ගෙදර ළඟ වාහනේ නවත්තද්දි නඳුන්ගෙන් ඇහුවා, අම්මලා ඇහැරිලාද කියලා.මොකද එතකොට වෙලාව රෑ දොළහත් පැනලා.ඒත් නඳුන් එනකන් අම්මයි, තාත්තයි දෙන්නම ඇහැරිලා.මොකද නඳුන්ගේ අම්මයි තාත්තයි කියන්නේ වෙනම චරිත දෙකක්.හරියට අපේ අම්මයි තාත්තයි වගේ.

එක වසරේ ඉඳන්ම යාළුවෝ විදිහට එකම ඉස්කෝලේට ගිය අපි එක්ක අපේ අම්මයි තාත්තයිත් ඉස්කෝලේ ගියා එකේ ඉඳන්ම.පොඩි කාලෙදි නඳුන්ගේ ගෙදර කොච්චර ළඟ වුණත් අම්ම හරි තාත්තා හරි ඒ දෙන්නගෙන් කවුරුහරි නඳුන් එක්ක ආවේ ඒ හින්දයි.අපේ ගෙදරත් එහෙමයි.මාව අතින් අල්ලගෙන පහ වසර වෙනකම්ම වගේ අපේ අම්මා හරි තාත්තා හරි ආවා මාව ගෙදර එක්කගෙන යන්න.ඒත් අපේ අම්මලාත් ඒ කාලේ ඉඳන්ම නඳුන්ගේ අම්මයි තාත්තයි ගැන කතා වුණේ පුදුමයෙන් වගේ.

“පේනවනේ අර නඳුන්.ඒ ළමයා ඉන්නේ ඉස්කෝලෙට අල්ලපු වැටේ.ඒ වුණාට ගෙදර එක්කන් යන්න එනවා.ඇයි ඒ ? අද කාලේ කොච්චර ළඟ වුණත් පාරවල් තනියෙන් යන එක භයානක නිසා.ඒත් ඒ ළමයාට තේරෙන දේ ඔයාලට තේරෙන්නේ නෑ“ තාත්තා ඒ දවස්වල එහෙම කිව්වා.

මම තනියෙන් ගෙදර යන්න එන්න උත්සාහ කරපු හැම වෙලේම උදාහරණයට ගත්තේත් නඳුන්වමයි. ඒත් අන්තිමට ස්කූල් වෑන් එකෙන් යන්න පටන් ගත්තට පස්සේ ටික ටික අම්මා මාව එක්කන් යන්න එන එක අඩු කළා.අනික මල්ලිගේ වැඩ එක්ක එන්න විදිහක් තිබ්බෙත් නෑ.හැබැයි තාත්තා හිටියේ ඉස්කෝලේ ඉඳන් වැඩි දුරක නෙමෙයි හින්දා හිටි ගමන් මාව බලන්න ඉස්කෝලේ ළඟට එනවා.හිටි ගමන් වෑන් එක දාලා ගිහින් වෙන්න ඇති කියලා ඔෆිස් එකට එක්කන් යනවා.මට ඉතින් එදාට යන්න වෙන්නේ හැන්දෑ වෙලා. අනික වෙන වැඩකුත් නෑ.ඉස්කෝලේ හෝම් වර්ක් කරන්නත් වෙන්නේ එදාට ඔෆිස් ඉඳන්.ඒ අතරේ තාත්තාගේ ඔෆිස් එකේ යාළුවොත් එනවා සැරෙන් සැරේ කවුද මේ අමුත්තා කියලා බලන්න.එදාට “තරුණයා“ පත්තරේ දවසේ මාතෘකාව වෙන්නේ මාව තමයි.

කොහොමින් කොහොමහරි අපි නඳුන්ගේ ගෙදර යද්දි නඳුන්ගේ අම්මා අපිටත් බීමත් හදලා.අපි ඉතින් ඒවාත් බීලා ආ ගිය තොරතුරුත් කතා කරලා නඳුන්ගේ ගෙදරින් සමුගත්තා.ඉන්පස්සේ යන්න තිබ්බේ හසිත ගිහින් බස්සන්න.

ඒ යද්දි අතරමගදී හොඳට දැකලා පුරුදු චරිතයක් ඉස්කෝලේ ළඟ ඉඳන් උඩහ පන්සල පැත්තට යනවා.අපි සැකේට නැවැත්තුවා.බැලින්නම් අපේ ඉස්කෝලේ හිටපු සුපිරිම අවනද්ධ භාණ්ඩ වාදකයා තමයි ඇවිදගෙන යන්නේ.වෙනත් විදිහකින් කිව්වොත් හර්ෂාන් ගාල්ලගේ(මෑතකදි මිය ගිය ප්‍රවීණ වාද්‍ය ශිල්පී හේමපාල ගාල්ලගේ මහතාගේ පුතා).

අපි දැන් ආයෙත් වාහනේ නවත්තලා ගාල්ලගේගේ අලුත් වැඩ ගැන කතා කළා. ඉස්කෝලේ ගැන කතා කළා.ඉන්පස්සේ තමයි හසිතත් එතැනින් බැහැලා ගියේ.කොහොම වුණත් ගාල්ලගේ කාලයක ඉඳන් ඩෙල් ස්ටුඩියෝ එකේ ඉන්න හොඳම ඩ්‍රම්ස් වාදකයා නිසා අපි හිතුවේ අල්ලගන්නවත් බැරිවෙයි කියලා.මොකද ක්ලාස් කීපයකුත් කරන හින්දා දැන් කතා කරන්නවත් වෙලාවක් නැහැ කියලා අපි ඇත්තටම හිතුවේ.බැලින්නම් ගාල්ලගේ බෑන්ඩ් එකකුත් පටන් ගන්න කතාවක් අපිට කිව්වා.අපිට වැඩක් තියෙනවා සෙට් වෙන්නත් කිව්වා.

ඒත් මේ ඔක්කොම දේවල් සිද්ධවෙන්නේ මම ඔෆිස් එකෙන් බැහැලා ඔෆිස් එකේ යාළුවෝ සෙට් එක හොය හොය ඉඳිද්දි නාලන්දේ කොල්ලො සෙට් එක “මාලන්“ කියලා කෑ ගහපු හින්දා.

කොහොමහරි ඉන්පස්සේ කොළොන්නාවෙන් රජිත බැස්සුවයින් පස්සේ වාහනේ ඉතුරු වුණේ මමයි,චාමරයි.ආපු පාර අනුව අංගොඩ හරහා අපේ ගෙවල්වලට යන එක තමයි ලේසිම විදිහකට තිබ්බේ.අපි ඒ අතරෙදි අයි.ඩී.එච්. ගහලා තිබුණු තොරණත් බැලුවා.හැබැයි පාන්දර නිසාද කොහෙද ඒකට නම් එච්චර සෙනඟ හිටියේ නෑ

ඒ කොහොම වුණත් මගේ හිත වැඩ කළේ මාව බස්සලා ආපහු චාමර තනියෙන් කැබ් එකේ කොහොම එන්නද කියන එක ගැන.මොකද එතකොටත් පාන්දර එක පහුවෙලා.ඒ නිසා මම කල්පනා කළා, මගින් බැහැලා යන්න.බස් ස්ටෑන්ඩ් එකේ ඉඳන් කිලෝමීටරයක් විතර යන්න තිබ්බත්,වෙලාව පාන්දර එක පහුවෙලා බලු බල්ලෙක්වත් නැති පාරක වුණත් අවදානම තිබ්බේ චාමරට කියලයි මට හිතුණේ.මොකද චාමර හරියට අපේ පැත්තේ පාරවල් දන්නෙත් නෑ කියලයි මම හිතුවේ.මට නම් අපේ පාරවල් පුරුදුයිනේ කොහොමත්.

ඒත් චාමර එතකොට මට බණින්න ගත්තා.මෙච්චර දුරක් තනියෙන් ආවා නම් මාව සුද්ධ කරයි කියලා චාමර මට කිව්වා. ඉන්පස්සේ තමයි ඌ මාව ගේ ළඟටම දැම්මේ.බැලින්නම් චාමර අපේ පැත්තේ පාරවලුත් හොඳටම දන්නවා.හැබැයි මම චාමරට ගෙදර යන්න කලින් පින් දීලා,පරිස්සමින් පලයන් කියලා ගෙදරට පිටත් කළා.

හැබැයි මේ පාර යන්න හිටපු වෙසක් බලන සැලසුම වෙනස් වෙලා,හදිසියෙම මුණගැහෙයි කියලා හිතන් නොහිටපු ඒ වෙසක් බැලිල්ල හරිම පුදුමාකාරයි.

- මාලන් විදානපතිරණ