Saturday, February 28, 2015

දෛවෝපගත විශ්වවිද්‍යාල පුද්ගල හමුවීම් දෙකක් 2015/02/28

දෛවෝපගත විශ්වවිද්‍යාල පුද්ගල හමුවීම් දෙකක්


එදා තමයි මම කොළඹ විශ්වවිද්‍යාලයීය හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ සිනමාව පිළිබඳ විශේෂවේදී උපාධියට අදාළ ප්‍රායෝගික පරීක්ෂණයට ආවේ.අලුත් ගමනක් පටන් ගනිද්දී මොකක්ම හරි මට වෙන නිසා එදත් මට මොනවාම හරි වෙන බව මම දැනගෙන හිටියා.ඒ වගේම එදා මට එහෙම දෙයක් වුණා.කන්ද නැගගෙන එද්දී අතරමගදී සපත්තු දෙක කඩලා ගියා.එවේලේ තමයි 5-B ශාලාව ඉස්සරහ තිබුණු බංකුවේ වාඩිවෙලා හිටපු එරන්ද සහෝදරයා මුණ ගැහුණේ.අපි දෙන්නා මුලින්ම හම්බවෙන්නේ අන්න එහෙම.අනික එයත් කරන්නේ සිනමාව කියලා දැනගත්තම මටත් ලොකු සතුටක් දැනුණා.ඉතින් තාත්තත් එයත් එක්ක හරි හරියට කතාව.

කොහොම වුණත් විෂයන් තුනකින්(ජනමාධ්‍ය,නාට්‍ය හා රංග කලාව සහ සිනමාව) ශ්‍රීපාලි මණ්ඩපයට ඉල්ලුම් කරලා තිබුණු මගේ අවසන් බලාපොරොත්තුව වුණේ සිනමාව.චිත්‍රපට පිස්සුව තදින්ම ඇඟට ගහලා තිබ්බත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඉල්ලුම් පත්‍රයේ තිබුණු පැටලිලි සහගත බව නිසයි,සිනමාව කියලා විශේෂවේදී උපාධියක් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ තිබෙන බව දැනගෙන හිටියේ නැත්තේ.ඒත් මම ඒ් අවදානම අරගෙන සැකෙන් වුණත් සිනමාවට අදාළ කතිරයත් එදා සලකුණු කළා.ඒ නිසයි මම අද ඊට අදාළ ප්‍රායෝගික පරික්ෂණයෙන් ඉහළම ලකුණු ලබාගෙන,අද වන විට එහි තෙවැනි වසරත් පසුකරමින් ඉන්නේ.(එදා පැවැති ප්‍රායෝගික පරීක්ෂණයෙන් වැඩිම ලකුණු ලබා ඇත්තේ මම බව මට පහුකාලෙක දැනගන්න ලැබුණා.)

කොහොම වුණත් එදා ප්‍රායෝගික පරීක්ෂණය අවසන් වෙලා මම ශාලාවෙන් එළියට බහිද්දී එතැන හිටියා බදුල්ලේ ඉඳන් ආපු තාත්තා කෙනෙක්.අපේ තාත්තා ඒ තාත්තත් එක්ක එදා හුඟක් වෙලා කතා කර කර හිටියා.පස්සේ කාලෙක මගේ බෝඩිමේ හොඳම යාළුවා වුණෙත්,තාත්තාගේ හොඳම යාළුවා වුණෙත් ඒ තාත්තගේ ළමයා.

ඒ වගේම මම එදා ශාලාවෙන් බැහැලා යද්දී අම්මා කෙනෙක් මාව නැවැත්තුවා.

“පුතා,ඔයා ගියේ ෆිල්ම් ප්‍රැක්ටිකල් ටෙස්ට් එකටද ?“

“ඔව් ආන්ටි“

“අයියෝ.අපරාදේ.අපේ දුව ඒක දාන්නත් හදලා පස්සේ ෂුවර් නැති නිසා දැම්මේ නෑ “

ඒත් එදා ඒ අම්මගේ දුව උත්සාහය අත්හැරියේ නෑ.ඉබ්බාගමුවේ පදිංචි ඇය නර්තනය විශේෂවේදී අංශයෙන් ශ්‍රීපාලි මණ්ඩපයටම තේරී පත්වෙලා හිටියා.ඒත් ඇය හුඟක්ම කැමැත්තෙන් ඉඳලා තියෙන්නේ, උනන්දුවක් තිබිලා තියෙන්නේ චිත්‍රපට විෂයට.(එදා සිනමා විශේෂවේදී උපාධිය අවාසනාවන්ත විදිහට අහිමි වුණේ ඇයමයි කියලයි මම හරියටම ප්‍රත්‍යක්ෂ කර ගත්තේ පළමු වසරේදී)

ඒ නිසාම ඇය ආ වෙලේ පටන් වැඩි උනන්දුවක් දැක්වුයෙත් චිත්‍රපට විෂයටයි.ඒක මට හොඳටම තේරුණා.ප්‍රධාන විෂයට නර්තනය හැදෑරුවත් ඉන් පරිබාහිර වෙලාවෙදී ඇයගේ ඇඟේ දිව්වේ සිනමාව.තෝරාගැනීමේ විෂයන්වලදිත් ඇය තෝරනු ලැබුවේත් සිනමාව.පුස්තකාලයේ හෙව්වෙත් සිනමාව.බෝඩිමේ හෙව්වෙත් සිනමාව.ලැප් එකේ හෙව්වෙත් සිනමාව.ඩොන්ගල් එකේ හෙව්වෙත් සිනමාව.

ඇගේ ජීවිතය කොතරම් දෛවෝපගතද කිව්වොත් ඉරණම්කරු ලෙස ඇයට පහුකාලෙක හමුවෙන්නේත් සිනමාව ඇඟ පුරා දුවන චිත්‍රපටි උණ තදින්ම ගහලු තිබුණු පෙම්වතෙක්.ඒත් ඔහුත් තමන්ගේ ප්‍රධාන විෂයට තෝරාගෙන තිබුණේ ජනමාධ්‍ය. ඒ නිසා දෙන්නටම චිත්‍රපට ගැන හොයන්න,චිත්‍රපට බලන්න,චිත්‍රපට ගැන කතා කරන්න ලොකු උනන්දුවක් තිබුණා.ඇත්තම කිව්වොත් අපිටත් ඒක විශාල උත්තේජනයක් වුණා.

අනික ජීවිතේ කියන්නේ කොච්චර නම් දෛවෝපගතද කිව්වොත් පස්සේ කාලෙක ඇගේ පෙම්වතායි,මායි එකම බෝඩිමේ එකම කාමරේ සගයන් බවට පවා පත්වුණා.ඒත් මුලින් ඒ හඳුනාගැනීම සිද්ධවුණේ අපි දෙන්නම කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකාරයන් වුණු හින්දා.ඒ වගේම කොළඹ ජනප්‍රියතම පාසැල් දෙකක ආදි ශිෂ්‍යයන් වුණු හින්දා.

කොහොම වුණත් අදටත් ඇය සිනමාව පිළිබඳ හදාරනවා.තෝරා ගැනීමේ විෂයන්වලදී සිනමාව පිළිබඳ විෂයන් අපිත් එක්කම එකතුවෙලා උනන්දුවෙන් ඉගෙන ගන්නවා.ඇගේ පෙම්වතාත් එහෙමයි.

(කිසිවකුගේ හෝ නම් සඳහන් නොකළේ එයි්න් ඔවුන්ට නිගරුවක් වේ යැයි හිතූ හින්දා)

මාලන් විදානපතිරණ

Friday, February 27, 2015

දැනෙන්න කරපු පිංකම 2014/08/04


ඊයේ දවල් මම ජීවිතේ පළමු වතාවට හිතට දැනෙන්න පිංකමක් කළා.ඇත්තම කිව්වොත් ඊයේ මම ගෙදරින් එළියට බැස්සේ රුපියල් දෙසීයක් විතරක් අතේ තියන්.බැංකුවටයි ගියේ.ඒත් බස් එකට නැග්ගා ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කමකට සල්ලි එකතු කරන අසරණ තාත්තා කෙනෙක්.ලක්ෂ අටක් වැයවෙනවලු ඒ සැත්කමට.ඒත් තමන්ගේ අල්ලපු ඇඳේ දරුවා කොහොමහරි සල්ලි හොයාගෙන සුවවෙලා.මේක ඒ තාත්තට වාවගන්න බැරුව තමයි පාරට බැහැලා තියෙන්නේ. තමන්ගේ දරුවාව සුව කරගන්න දවසකට ලේ පැකට් තුනක් පාවිච්චි කරන්න ඕනෙලු. ඒ හින්දා ඔය වගේ කතා ලෙහෙසියෙන් විශ්වාස නොකරන මමත්, ඒ ඡායාරූප සහ කතාවෙන් සංවේදි වුණා.අවුරුදු දොළහේ පිරිමි ළමයාගේ අහිංසක මූණ දැක්කම පර්ස් එක එළියට ආවේ ඒ හින්දයි.අතට ආවේ රුපියල් සීයක් ඉබේටම.කවදාවත් බස් එකට නගින කෙනෙක්ට විස්සක්,දහයක් ඇරුණම රුපියල් සීයක් දන් නොදීපු මට ඊයේ හුඟක් සතුටු දවසක්. මම හිතන්නේ මම හුඟක් වාසනාවන්තයි

මාලන් විදානපතිරණ

තාමත් මුණගැහුණේ නෑ....... 2014/08/29

තාමත් මුණගැහුණේ නෑ.......


ඉස්සර එක වසරේදි අපි ඉන්ටර්වෙල් එක එනකම් බලන් ඉන්නේ ග්‍රවුන්ඩ් එකට යන්න. අපි දැනං හිටියා අපිට ලොකු ග්‍රවුන්ඩ් එකට යන්න දෙන්නේ නැහැ කියලයි. ඒ හින්දා නයි ගහ ළඟ තිබුණු පොඩි ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරන්න බලන් තමයි අපි හිටියේ.ඔන්චිල්ලා පදින්න,ලිස්සන බෝට්ටු පදින්න,අල්ලන් සෙල්ලම් කරන්න, හැංගි මුත්තන් කරන්න ඔය මොන සෙල්ලම කරන්න හරි දහය, දහය හමාර වෙනකම් ඉවසුමක් තිබ්බේ නැහැ.ඉතින් අපි බෙල් එක ගහපු ගමන් ග්‍රවුන්ඩ් එකට දුවනවා. සමහර දවස්වලට අපි එද්දි ඉඩ නැහැ.සමහර දවස්වලට ඉඩ තියෙනවා.ඉඩ තිබ්බ දවස්වලට අපි නගිනවා ඔන්චිල්ලාවට. නැගලා පදිනවා. ඒත් කවුරුවත් එන්නේ සමහර වෙලාවට ඔන්චිල්ලාවට පොඩි තල්ලුවක් දෙන්න.එතකොට ඉතින් ඔන්චිල්ලාවත් එක්ක ඉස්සරහට ගිහින් තනියෙන් තල්ලු තමයි.මොකද සමහර වෙලාවට බලන් ඉඳලා බලන් ඉඳලා අන්තිමට ඔන්චිල්ලාව ලැබෙන්නේ බෙල් එක ගහන්න ඔන්න මෙන්න තියෙද්දි.ඒ නිසා ඔන්චිල්ලාව ගැන තිබ්බ ආසාව ටික ටික අඩුවුණා.කලිසමේ ජරාව ගෑවිලා අම්මගෙන් බැණුම් ඇහුවත් ලිස්සන බෝට්ටුවේ නගින්න ආසා කළේ මේ එක්කමයි.ඒ නිසා අම්මා එපා කීවත්,තියෙන හිතුවක්කාරකමට දෙක වසර වෙනකම්ම මෙහෙම සෙල්ලම් කර කර හිටියා.

ඒත් දෙක වසරෙදි මම ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කර කර ඉන්ඳැද්දී ළමයි,ටීචර්ස්ලා ඔක්කොම ලිස්සන බෝට්ටුව ළඟට වට වෙනවා මම දැක්කා.මමත් ටිකක් එබිකම් කරලා බැලුවා.ඒ්ත් කිසිම දෙයක් හරියට බලාගන්න බැරිවුණා.

“හැමෝම තම තමන්ගේ පන්තිවලට යන්න“ ටීචර් කෙනෙක් සැරෙන් කිව්වා.

ළමයි ඔක්කෝම ආපහු පන්තිවලට ගියා.එදා අපිට විනාඩි පහකට වඩා සෙල්ලම් කරන්න බැරිවුණා.මගේ පාසැල් ජිවිත කාලේ අඩුම වෙලාවක් සෙල්ලම් කළේත් එදා.

“ඒ මල්ලිගේ කකුල කැඩිලාලු“ මට දවසක් මගේ යාළුවෙක් කියනවා ඇහුණා.

“නෑ??????“ මම පුදුමෙන් ඇහුවා.

මොකද මට ඒක විශ්වාස කරන්න බැරිවුණා.

“බොරු නෙමෙයි.ඇත්ත“ මගේ යාළුවා කේන්තියෙන් කිව්වා.
ඒත් මම පිළිගත්තේ නැහැ. මම හිතුවා මාව රවට්ටන්න කියපු බොරුවක් කියලා.

ටික දවසක් ගත වුණා. මම හිතන්නේ මම දෙක වසරේ නැත්නම් තුන වසරේ. මම දැක්කා උදේ පාන්දර ළමයෙක් කිහිලිකරුවලින් එනවා.මම බැලුවා කවුද මේ කියලා.

“අර අලුතින් එන ළමයෙක්ද ?“ මම මං ළඟ හිටපු ළමයාගෙන් ඇහුවා

“නෑ.නෑ. අර ඔයාට මතකද අපි පොඩි කාලේ ලිස්සන බෝට්ටුවෙන් මල්ලි කෙනෙක් වැටුණා ? “

“අප්පටසිරි !!! ඔව්. ඔව්. මතකයි. මේ ඒ ළමයද ? “

“ඔව්.ඔව්.මේ එයා තමයි “

“අනේ පව් ඒ මල්ලි“ මට කියවුණා.

ඒත් අද වෙනකම් ඒ මල්ලි කව්ද, මොකක්ද නම,දැන් මොකද කරන්නේ කියලා මට හොයාගන්න බැරිවුණා.දැන් කකුල හොඳයිද, නැත්නම් තාමත් එහෙම අත්වාරුවලින් යනවද කියලා මට හොයන්නවත්,දැනගන්නවත් ලැබුණේ නැහැ.අනික එදායින් පස්සේ අපිට ඒ ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරන්න ලැබුණේ නැහැ.වැලි දාලා,ටයර් දාලා ඒක වැහුවා.මම අන්තිමට ඒ පැත්තට ගිය වතාවේ වෙනකම් තිබුණේ එහෙමයි. ඒත් මෙතැන පුදුමේ දෙක වසරේදි, තුන වසරේදි දැක්කට පස්සේ එහෙම කිහිලිකරුවලින් යන කිසිම මල්ලි කෙනෙක් මට ඇහැටවත් දකින්න ලැබුණේ නැති එකයි.

මාලන් විදානපතිරණ

ස්තුතියි මචං 2014/08/31

ස්තුතියි මචං


උසස් පෙළට ඉගෙන ගන්න කාලේ ගණන් හදනවා ඇරෙන්න කලාව ගැන හදාරන්න වෙලාවක් අපිට තිබුණේ නැහැ.ඒ ගැන කතා කරන්න පුළුවන් ගොඩක් එවුන් හිටියෙත් නැහැ.හැමෝම පිස්සු බල්ලෝ වගේ උදේ පාන්දර ඉඳන් ගණන් හදනවා.
ඒත් අලුත් ෆිල්ම් එකක් ආවාම,අලුත් සින්දුවක් ආවාම සී.ඩී රයිට් කරවගෙන,පෙන්ඩ්‍රයිව් මාරු කරගෙන ඒවා අහන්න බලන්න අපේ පුරුද්දක් තිබුණා.
ඔය කාලේදි අනික් ළමයි පුස්තකාලයෙන් තමන්ගේ විෂයට අදාළ පොත් මාරුකර ගනිද්දී මම ඒකෙන් ගත්තේ නවකතා පොත්.එක්කෝ සෝවියට් රුසියානු පොත්.අපේ පන්තියේ එවුන් මට හිනා වුණා.ඒත් මගේ මොකක්දෝ කරුමයකට මට ඒකෙන් විද්‍යාවට අදාළ පොතක් ගන්න ඉස්කෝලෙන් අස්වෙනකම්ම බැරිවුණා.අඩුම ගාණේ විද්‍යා ප්‍රබන්ධ කතා පොතක්වත් ගන්න බැරිවුණා.ඒ නිසා මම පුස්තකාලයෙන් ඇතුල් වුණාමයි,පොත ගෙදර ගෙනියන්නයි හදද්දි පුස්තකාලාධිපතිනිය පවා මගේ දිහා බැලුවේ අමුතු විදිහකට.අමුතු විදිහකට හිනාවෙලා.පොත බාරදෙන්න ආවමත් එහෙමයි.
හැබැයි ඒ කොහොම වුණත් මම පන්තියට පොතක් අරගෙන ආවාම උනන්දු වෙන කීපදෙනෙක් අපේ පන්තියෙත් හිටියා.උන් තමයි මාත් එක්ක අලුතින් එන චිත්‍රපටි,සින්දු ගැන කතා කරන්නේ.ඒත් චිත්‍රපටි ගැන කතා කරද්දි හැමදාම මාත් එක්ක ඇමිණෙන්න එන කොල්ලෙක් හිටියා.ඌ තමයි පසන්.හරියටම කිව්වොත් Pasan Munasinghe.ඒකට ලොකු හේතුවකුත් තිබුණා.ඒ තමයි ඒ දවස්වලට මට තිබුණු හින්දි චිත්‍රපට පිස්සුව.ඒක කොච්චර වැඩිද කියනවා නම් බදාදා මම ඉස්කෝලේ ඇරිච්ච ගමන් ගෙදර දුවන්නේ දෙක හමාරට අයි.ටී.එන්.එකේ දාන හින්දි චිත්‍රපට ගීත වැඩසටහන බලන්න ඕනේ හින්දයි.ඉන්පස්සේ ඉතින් අනික් දවසේ ඒකේ ගිය සින්දු ගැනයි,අලුතින් එන චිත්‍රපට ගැනයි කයිවාරුව තමයි.
“යකෝ හින්දි ෆිල්ම්ස් විතරක් නෙමෙයි.හැම ෆිල්ම් එකක්ම බලන්න පුරුදු වෙයන්.එතකොටයි මිනිහෙක් සම්පූර්ණ වෙන්නේ.මම නම් එහෙමයි.හැම ෆිල්ම් එකක්ම බලනවා.“ දවසක් කෙමිස්ට්‍රි ලැබ් එකේදි මට පසන් එහෙම කිව්වේ මගේ ආකල්පය වැරැදි බව කියලා.
මමත් ඒ වෙලාවේ සද්ද නැතුව හිටියා.මොකද එවෙලේ ඒ ගැන තව තර්ක කරනවාට වඩා ඒ ගැන හිතලා බලලා උත්තරයක් දෙන්නයි මට ඕනේ වුණේ.
උදේ පාන්දරම එන අපේ පන්තියේ(13 -E) පසන්, අපි පන්තියට එන කොට පන්තියේ පිටිපස්සේ පේළියේ පැද්දි පැද්දි ඉන්න චරිතයක්.මොකක් හරි පොතක් කියව කියව තමයි ඉන්නේ.මට මතක හැටියට හුඟක් වෙලාවට ඒක නවකතාවක්.
ඒ හින්දා මූ මොකක්ද මේ කිව්වේ කියලා මම ආයෙත් කල්පනා කළා. කියපු දේ ගැන තර්ක කරනවාට වඩා කියපු දේ කරලා බලන එක හොඳයි කියලා හිතුවේ ඒ හින්දයි.
එදායින් පස්සේ මම අහුවෙන හැම ෆිල්ම් එකක්ම බලන්න පටන් ගත්තා.හැම රටකම, හැම භාෂාවකම, හැම ආකාරයකම චිත්‍රපට මට බලන්න ලැබුණා. අහුවෙන හැම චිත්‍රපට උලෙළකට යන්න පටන් ගත්තා.විශේෂයෙන්ම සිංහල චිත්‍රපටවත් බලන්න එච්චර කැමැත්තක් දක්වපු නැති මම ඒවාත් දිගටම බලන්න පටන් ගත්තා.
හින්දි චිත්‍රපටවලට වඩා සිනමාත්මක කොච්චර චිත්‍රපට තියෙනවද කියලා තේරෙන්න පටන් ගත්තේ ඉන්පස්සෙයි. දැන් ඒක මට තහවුරු වෙලා.
මේ වෙනකොට කොළඹ අන්තර්ජාතික සිනමා උලෙළට යන්න තරම් උණක් මට බෝ වෙලා තියෙන්නේ ඒ හින්දයි.ඒ නිසා ශ්‍රී ලංකාවේ පළමුවරට පැවැත්වීමට නියමිත මහා සිනමා සැණකෙළිය,ආරම්භ වන්නට දින කීපයක් තිබියදී ඒ දයාබර සොහොයුරාට ස්තුතිවන්ත වෙන්න හිතුවේ ඒ හන්දයි.
මාලන් විදානපතිරණ

“කල් හෝ නා හෝ“ මේනියාව 2014/09/01

“කල් හෝ නා හෝ“ මේනියාව

කල් හෝ නා හෝ කියන්නේ මාව පිස්සු වට්ටපු ෆිල්ම් එකක්.ඒකේ තියෙන කල් හෝ නා හෝ සින්දුව ඉස්සර අපි කට පාඩම් කළේ පිස්සුවෙන් වගේ.මේ හින්දා ප්‍රභාත් එක ළඟ ඔය වගේ ඒ දවස්වල හිට් වෙච්ච හින්දි සින්දු ඉංග්‍රිසියෙන් ලියපු බුක් මාක් විකුණන්නත් තිබ්බා.අපි ඉතින් එ්වා රුපියලට දෙකට උදේ පාන්දරම ගත්තේ හෝම්වර්ක් පැත්තක තියෙද්දී කට්ටිය එක්ක ඒ සින්දු කියන්න ඕනේ හින්දයි.

ඕලෙවල් පන්තියේදි මටයි,හර්ෂටයි,ජයසංඛටයි ඔය පිස්සුව තදින්ම තිබ්බා.කොහොම වුණත් අන්තිමට ඒ කල් හෝ නා හෝ මේනියාව හිතේ පැහැවන්න පටන් ගත්තේ මගේ හිතේ විතරයි.හිතට දුකක් ආවාම මම ඒ ෆිල්ම් එක බලන්න පටන් ගත්තා.හිතට දුකක් ආවාම ඒ ට්‍රැක් එක අහන්න පටන් ගත්තා.සින්දුවක් කියන්න කිව්වමත් කල් හෝ නා හෝ සින්දුව කියන්න පටන් ගත්තා.සිංහල එකක් කියන්න කිව්වමත් කිව්වේ ඒකෙම සිංහල අනුවාදය.

මේ හින්දා මට පස්සේ කල් හෝ නා හෝ ඇරෙන්න වෙන සින්දුවක් කියන්න බැරිමද කියලා සමහරු අහන ගාණට ඒක වැඩි වුණා.සමහර පොඩි එවුන් පවා මාලන් අයියා ඉතින් දන්නේ කල් හෝ නා හෝ විතරයි කියල විහිළුත් කළා.

මොකද ට්‍රිප් එකක් ගියත්,අපේ 31st night එකේදි වුණත් මම මුලින් කිව්වේ කල් හෝ නා හෝ සින්දුව.හැබැයි තිස් එක රැ තිබුණු එක අවුරුද්දක පාටියකදි ඒක මට සෘතියට කියන්න බැහැ කියලා වෙන සින්දුවක් කියන්න වුණා.ඒත් මම අධෛර්යමත් වුණේ නැහැ. ඉන්පස්සේ තිබුණු පාටියකදි හරියටම සෘතියට කියන්න මම හිතා ගත්තා.ඒ වගේම මම කිව්වා. මොකද මගේ හීනය වුණේ කවදාහරි කොහොම හරි ඒ සින්දුව සෘතියට කියන එක.

ඒත් තාමත් ඒ පිස්සුව හිතෙන් දුරස් වෙලා නැහැ.මේක ලියන මොහොතේත් මගේ පිටිපස්සෙන් ඇහෙන්නේ කල් හෝ නා හෝ ට්‍රැක් එක. දවසක් ඉස්කෝලේ ජනසන්නිවේදන ඒකකයේ උත්සවයක් තිබුණු වෙලාවක ඒක පටන් ගන්නකම් ශ්‍රවණාගාරයේ කල් හෝ නා හෝ ට්‍රැක් එක දාලා තිබුණා.ඒක උදේ පීරියඩ් එකක්.කෙමිස්ට්‍රි තිබුණේ. මහින්ද බණ්ඩාර සර්(ටිල්වින්) රසායන විද්‍යාවේ පදාර්ථ හරි මොකක් හරි පාඩමක් උගන්ව උගන්ව හිටියේ.ඒත් මම අවධානයෙන් හිටියේ එළියෙන් ඇහෙන කල් හෝ නා හෝ ට්‍රැක් එක ගැන . ඒ ඒකට තිබුණු පිස්සුව හින්දයි.මට එදා කළු ආරච්චිත් බැන්නා.

“යකෝ කල් හෝ නා හෝ නෙමෙයි. ඉස්සරහ බලාගෙන පාඩම අහගනින්“ ඌ අතට හයියෙන් ගහලා කිව්වා.මොකද ඒ වෙනකොට මම හෙමින් සීරුවේ මෙලඩියත් එක්ක සින්දුව කියනවා.

“පාඩම වගේද බං සින්දුව. පාඩම නම් ක්ලාස් එකෙන් හරි අල්ලගන්න පුළුවන්“ එච්චරටම පිස්සු වැටිලා හිටපු මම කිව්වා.

අනික අපේ කාලේ කීප දෙනාටයි ඉන්ටර්නෙට් තිබ්බේ. ඒ නිසා කල් හෝ නා හෝ අහන්නත් ටී.වී ප්‍රෝගෑම් එකක් එනකම් බලන්න ඉන්න උනා.ඒත් මට ඉවසුමක් නැතිවුණා.එක්කෝ එෆ් එම් කරකවන්න ඕනේ.ඒත් කව්ද දන්නේ ඒ සින්දුවම දායිද කියලා.

ඒ හින්දා ඒ කාලේ ඉන්ටර්නෙට් තිබුණු බුට්ටාට කියලා මම ඔය ට්‍රැක් එක විතරක්ම තියෙන ඕඩියෝ ට්‍රැක් එකක් රයිට් කර ගත්තා.

මොකද ඒ කාලේ අපේ ගෙදර තිබ්බා, සී.ඩී දාන්න පුළුවන් කැසට් එකක්.රට එකක්.මම කරපු වැඩේ සී.ඩී එක ලැබුණු ගමන් දැම්මා ඒක කැසට් එකට. මම හිතන්නේ මම ඒකේ තාක්ෂණික දෝෂ හැම එකකටම වගකියන්න ඕනේ.

මොකද මම දවසකට ඒ සින්දුව රිපීට් කර කර, හයි වොලියුම් දාලා ගමටම ඇහෙන්න දැම්මා.දවසකට පන්සිය වතාවක්වත් අහන්න ඇති. සමහර දවස්වලට පන්තියට ගියාමත් ඔය ගැන මම කියනවා, “ මචං මම මෙච්චර වතාවක් මේ සින්දුව ඇහුවා කියලා“

“මොකක්ද බං ඔය පිස්සුව.උඹට වෙන සින්දුවක් ඇත්තෙම නැද්ද ?“ අපේ එවුන් මට බනින්න පටන් ගත්තා.

“අනේ මන්දා බං. මුන් නම් හැදෙන්නේ නැහැ.උඹ අර ප්‍රතික්‍රියා ටික ඉවර කළාද ?“ තව එකෙක් ඇහුවා

“ඔක්කොම කරන්න බැරිවුණා බං. “ මම කිව්වා

“අනුකලනය ගණන් ටික ? “

“අවකලනය ලේසි වුණාට අනුකලය අමාරුයි බං.හදන්න හැදුවා.අමාරුයි අත ඇරලා දැම්මා“ මම කිව්වා

“යකෝ හදපිය“ ඌ මට බැන්නා.

“මොකක්ද බං මේකේ තේරුම ? උඹේ ගේ ළඟින් යනකොටත් යන පාරට ඇහෙන්නේ කල් හෝ නා හෝ නේ.“ ඒ අස්සේ දවසක් සිදත් මට බැන්නා.

මොකද සිදත් හිටියේ අපේ ගෙවල් ළඟමමයි.මීටර් සීයක්වත් නැහැ අපේ ගේ ළඟ ඉඳන්.

“මූගේ ගේ ළඟින් දැන් ඇහෙන්නේත් කල් හෝ නා හෝ බං.“ සිදත් ඉස්කෝලේදි අනික් උන් එක්ක කියන්න පටන් ගත්තා.නිකම් බයිටට වගේ.

ඒත් මගේ මානසික සහනයට හැම වෙලාවකම පිහිටට ආවේ කල් හෝ නා හෝ. ඒක කෙනෙක්ට හිනාවට කාරණාවක් වෙන්න පුළුවන්. තව කෙනෙක්ට මට මානසික ලෙඩක් තියෙනවා කියලා හිතෙන්න පුළුවන්.හැබැයි මට ඒක සතුටක්.විනෝදයක්.

හැබැයි පුදුමේ තමයි ඉන්පස්සේ ආපු ආශිකි සින්දුව මට ඒ තරම් දැනුනේ නැති එක.ඒ මොකද කියලා මට තාම හිතා ගන්න බැහැ. ඒ හින්දා තාමත් පරණ තැටියම තමයි.හැබැයි අලුත් විදිහකට.

ඉස්සර හිතේ පාළුව,දුකට,තනිකම,කේන්තිය නැති කරන්න සීඩී එකකින් මං ළඟට ආපු කල් හෝ නා හෝ ,දැන් ලැප් එකේ හාඩ් ඩිස්ක් එකට ඇවිත්.හැම වෙලාවෙම රිවයින් වෙන තත්ත්වයට ඇවිත්.එහෙමත් බැරි වුණු වෙලාවට යූටියුබ් එකට ඇවිත්.

මට නම් හිතෙන්නේ මට නම් කවදාවත් මේකෙන් ගැලවුමක් ලැබෙන්නේ නැහැ.හැබැයි ළගකදි ඔය ගැන ආපහු හිතද්දි හිතුණේ කවර් එකක්වත් කළොත් මේ බෝ නොවන රෝගය හොඳ වෙයි කියලයි.ඒකයි මගේ අන්තිම ප්‍රාර්ථනය. හි හි හි

Saturday, February 21, 2015

මා නොමැති ලොවේ නුඹ, ඔහුගේම වේවා!!!

මා නොමැති ලොවේ නුඹ, ඔහුගේම වේවා!!!

සඳක් මෙන් මෝදු වී එළිය දෙන්නට බැරි
ග්‍රහ තාරුකාවකට ඉරණමත් බාර දී
ළං වෙන්න සිටි අපේ පැතුම් මියැදෙද්දී
නුඹ ඔහොම ගිය හැටි මට තාම හීනෙකි

මට මාද අමතකව හිටි කලෙක පැමිණී
සුවඳ මුසු කොපුලින් එන වදන් මිහිරියි
සුමුදු පොඩි අත් පොඩි මා සමග පටැලී
අප එදා ගිය මගේ ලකුණු දුක පබඳී

ඕනැවටත් වැඩි ඇඳුම් ආයිත්තම්
ඕනැවටත් අඩු ඇඳුම් ආයිත්තම්
ඕනෑවටත් වැඩි සුවඳ මුසු ඔසු පැන්
සොඳුරු පිය සබඳ මට තිබුණාද පවසන්

හිඳින්නට නුඹ කැමැති කැදැලි හෙට මැවේවා
හිඳින්නට නුඹ කැමැති රජුන් හෙට තැනේවා
ලබන්නට නුඹ කැමැති සුවය හෙට ලැබේවා
මා නොමැති ලොවේ නුඹ, ඔහුගේම වේවා !!!!!

මාලන් විදානපතිරණ

ජීවිතයේ තවත් අමතක නොවන කතාවක් 2015/02/18 and 2015/02/19

ජීවිතයේ තවත් අමතක නොවන කතාවක්



මීට වසර තුනකට පෙර ප්‍රායෝගික පරීක්ෂණයෙන් අසමත්ව විශ්වවිද්‍යාල සිහිනය තරමකට බොඳ කර ගැනීමට මට සිද්ධවුණා. ඒ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට විද්‍යාර්ථයකු ලෙස ආයෙමත් එන්න බැරි බව දැනගත්තු නිසා.මොකද මම නාට්‍ය හා රංග කලාව ප්‍රායෝගික පරීක්ෂණය අසමර්ථ වුණු හින්දා.

මට ලැබුණේ මෙගා ටෙලිනාට්‍යයක් සහ වේදිකා නාට්‍යයක් එකවර අධ්‍යක්ෂණය කරන අධ්‍යක්ෂවරයකුගේ චරිතයක්. වේදිකා නාට්‍යයේ පුහුණුවීම් අතරතුර තමන්ට පැමිණෙන දුරකතන ඇමතුමක් අනුව ටෙලිනාට්‍යයේ ඉදිරි කටයුතුවලට උපදෙස් දෙන චරිතයක දර්ශනයක් තමයි මට නිරූපණය කරන්න තිබ්බේ.මම එම චරිතය සෑහීමකට පත්විය හැකි ආකාරයෙන් රඟපා තිබුණේ නෑ.

ඒත් මම ඉන්පස්සේ පැවැත්වුණු කොළඹ විශ්ව විද්‍යාලයීය ශ්‍රිපාලි මණ්ඩපයේ සිනමා විශේෂවේදී උපාධියට තෝරා ගැනීමේ ප්‍රායෝගික පරීක්ෂණයෙන් සමත්වෙලා තිබුණා.හැබැයි මම එහිදී ජනමාධ්‍ය උපාධියටත් තෝරාගෙන තිබුණත් ඊට Z Score එක බලපෑමක් එල්ල කළා.

ඉතින් ඉන්පස්සේ මම වසර තුනක් යන තුරුත්, ප්‍රායෝගික පරීක්ෂණයෙන් අසමර්ථ වුණායින් අනතුරුව සෞන්දර්ය විශ්ව විද්‍යාලය පැත්ත පළාතේ ගියේ නෑ.(ඒත් එකම වතාවක් ශ්‍රීපාලි මණ්ඩපයේ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියකගේ වැඩකට කථිකාචාර්ය පියල් කාරියවසම් හමුවීමට පමණක් එක් වතාවක් සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ගියා මතකයි.ඒත් ගේට්ටුවෙන් ඇතුළු වුණේ නෑ)

ඉන්පස්සේ තමයි පසුගිය බදාදා මම නැවතත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ආවේ.ඒ කොළඹ විශ්ව විද්‍යාලයීය ශ්‍රීපාලි මණ්ඩපය වෙනුවෙන් සිනමා අංශය නියෝජනය කරමින්.ආරාධිත විශ්ව විද්‍යාලයීය  විද්‍යාර්ථයකු වශයෙන්. ඒත් ඒ තනියෙම නොවෙයි.තවත් ශ්‍රීපාලි විද්‍යාර්ථයන් කණ්ඩායමක් සමගින්.

ඇත්තටම ඒක මට හීනයක් වගේ.පරීක්ෂක මණ්ඩලයේ හිටි ඇතැමුන් මගේ ඉදිරියේම එදා හිටගෙන හිටියා.මට එය වඩාත්ම දැනුණේ මුල් දිනයේ ආරාධිත විශ්ව විද්‍යාලයක් ලෙස ශ්‍රීපාලි මණ්ඩපය නියෝජනය කරමින් පොල්තෙල් පහන දල්වන්නට ලොකු ලොක්කන් සමගම මටත් හැකිවීම හින්දයි. මෙය සත්‍යක්දැයි මටම අදහාගන්නට නොහැකිවුණේ මේ නිසයි.

විශේෂයෙන්ම වැරැදි මිනුම් දඬු ඔස්සේ (මා අසමත් වූ නිසා නොව නාට්‍ය හා රංග කලාවට විද්‍යාර්ථයින් තෝරන ක්‍රමය අදටද ප්‍රාථමිකයි.) මාව පරීක්ෂාවට ලක්කළ ඉතා ඉහළ නිලධාරියෙක් මගේ විශ්ව විද්‍යාලය කුමක්දැයි එවේලේ ඇහුවාම මට ඇතිවූයේ මහා ප්‍රීතියක්.එසේම කෝපයක්.එනම් ඔහු ප්‍රතික්ෂේප කළ සිසුවා ශ්‍රීපාලි මණ්ඩපය විසින් බාරගත් බව පවසන්නට මට වරක් හිතුණා. ඒත් එම හැඟීම මම බොහොම අමාරුවෙන් පාලනය කර ගත්තා.

එහෙත් සිනමාව, නාට්‍ය යනු මාධ්‍ය දෙකක් බව මම නොදන්නවා නොවේ.ඒත් මෙම මාධ්‍ය දෙකම කෙරේ මට ලොකු පිස්සුවක් තිබුණා.ඒ හින්දා මට හුඟක් ළඟ සෞන්දර්ය විශ්ව විද්‍යාලය විසින් නාට්‍ය හා රංග කලාවට මා තෝරාගනු ඇතැයි මම සිතුවා.ඒත් අවසානයේදී චිත්‍රපට පිස්සුව මගේ අනාගතය වෙනස් කළා.අනික මට තිබුණේද මාර්ග දෙකෙන් එකක් තෝරා ගැනීමේ අසීරුතාවයක්.

කෙසේ වෙතත් එහිදී සිදුවූ අනෙක් විශේෂ සිදුවීම වූණේ ආචාර්ය සෞම්‍ය ලියනගේගේ දේශනයෙන් පසුව පැවැති කෙටි සාකච්ඡා කාල සීමාවේදී මා ගැන දන්නා කථිකාචාර්යවරයෙක් නිතැතින්ම මට මෙහි මයික්‍රොේෆෝනය දිගු කිරීමයි.ඒ මෙම වැඩසටහනේ සංවිධායක වන ඔහු අපේ විශ්ව විද්‍යාලයට බාහිර කථීකාචාර්යවරයකු ලෙස පැමිණ ඇති බැවින්(මම කට පියාගෙන ඉන්න කෙනෙක් නොවෙන නිසා වෙන්න ඇති) .ඒත් පළමු අදහස් දැක්වීම හෝ ප්‍රශ්න ඇසීම මගෙන් බලාපොරොත්තු වන බවක් මම අපේක්ෂා කළේ නැහැ.

එම සුවිශේෂී මොහොත මට අමතක නොවන්නට තවත් හේතුවක් තිබුණා. එනම් වසර පහකට පමණ පෙර ආචාර්ය ජයලාල් රෝහණ මහතා විසින් මෙහෙයවූ නාට්‍ය හා රංග කලාව උසස් පෙළ පන්තියේදී මට හමුවූ ධනුත්තරා අක්කාව නැවතත් මුණ ගැසීමට වාසනාව ලැබීම.අවසන් වසරේ සිටින ඈ දැන් හුඟක් හැඩයි.අඳුනගන්නත් අමාරුයි. ඒත් එදා ඇය සමග සෞන්දර්ය විශ්ව විද්‍යාලයේදී ගත කළ සුළු මොහොත කවදාවත් මට අමතක වෙන්නේ නැහැ.ඒ අපි දෙදෙනාම එදා විශ්ව විද්‍යාල සිහිනය,සිහිනයක්ම වෙයි කියලා දෙගිඩියාවෙන් හිටි හන්දා.ඒ වගේම එදා නාට්‍ය හා රංග කලාව පන්තියේ හිටි වැඩිමහල්ම අයගෙන් දෙදෙනෙකු වුණේ අපි දෙන්නා හින්දා.ඒ නිසා අපි දෙදෙනාම විශ්ව විද්‍යාල සිසුන් විදිහට එකට හමුවේවි කියලා මම කවදාවත්ම හිතුවේ නෑ.

ඒ වගේම මා එක්ක එකට උසස් පෙළ කරපු, තුන් පාරක් කලා විෂය ධාරාවෙන් පෙනී හිටපු,අපේ ගෙවල්  පැත්තේ නදීර අයියා හෙවත් සෞන්දර්යයේ හිටපු මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිතුමාත් එදා මට හම්බවුණා. ගෙවල් පැත්තේදි දැක්කට මම නදීර අයියාව විශ්වවිද්‍යාලයේදි දැක්කේ එදායි. සෞන්දර්යයේ කැන්ටිමේදී සිදුවුණු ඒ හමුවීමත් අමතක කරන්න බැහැ.මොකද උත්සාහය අත් නොහැර උසස් පෙළ කළ ඔහුත් දැන් ඉන්නේ අවසන් වසරේ.

කොහොම වුණත් සෞන්දර්ය විශ්ව විද්‍යාලයට පසුගිය වසරේදී සිනමාව විෂයක් ලෙස පැමිණෙද්දී අද මා වසර දෙකක් ඉදිරියට පැමිණ තිබෙනවා.තවත් මට ඉතිරිව ඇත්තේ වසර දෙකකටත් අඩු කාලයක්.අනික ශ්‍රීපාලි මණ්ඩපයේදී සෘජුවම මට සිනමාව තෝරා ගැනීමට මග පෑදෙද්දි, සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ තිබෙන ක්‍රමයට  නම් මට කවදාවත්ම සිනමාව කරන්න ලැබෙන්නේ නෑ. මෑතකදි තමයි ඔවුන් එම අවස්ථාව සාම්ප්‍රදායිකත්වයෙන් මිදී විවෘත කළේ. ඒ නිසා මම එදා ශ්‍රීපාලි මණ්ඩපයට ඇතුළු වීමට ගත් තීරණය කොතරම් නිවැරදි,වටිනා තීරණයක්දැයි අද මට තියෙන්නේ විශාල ආඩම්බරයක්.

මාලන් විදානපතිරණ

Tuesday, February 17, 2015

මාධ්‍යවේදී ගම්මානයක සොඳුරු මතක අතරින් - 2

මාධ්‍යවේදී ගම්මානයක සොඳුරු මතක අතරින් - 2

මුලින්ම සෙල්ලම් කරන්න යාළුවෙක් හම්බවුණු දවස

එක වසරේදි ඉඳන්ම මගේ යාළුවෙක් වුණු සිදත් විතරයි මට මාධ්‍යවේදී ගම්මානයේදී දන්නා යාළුවෙක්ට හිටියේ.ඒත් එයත් අපි එන දවස් වෙද්දි පදිංචියට ඇවිත් හිටියේ නැහැ.ඒ නිසා හවසට සෙල්ලම් කරන්න කවුරුවත් නැතුව මම හුඟක් පාළුවේ හිටියේ.

එතකොට මම දැක්කා අංක 24 දරන නිවසේ මල්ලි කෙනෙක්,එයාගේ තාත්තා එක්ක සෙල්ලම් කරනවා.ඒ වෙන කවුරුවත් නෙමෙයි.සරසවිය පත්තරේ හිටපු කර්තෘ ගාමිණි සමරසිංහ අන්කල්. අන්කල් තමයි පුතත් එක්ක සෙල්ලම් කර කර හිටියේ.අපි හිටියේ අංක 28 නිවසේ.ඒත් අපේ ගෙදර,මාධ්‍යවේදී ගම්මානයේ එක් කෙළවරක්.

මම අම්මා දිහා බැලුවා.අම්මා නීතිකාරි.ලේසියෙන් එළියට බහින්න බැරි බව මම අත්දැකීමෙන්ම දන්නවා.අනික එළියට ගියත්,කොන්දේසි ගොඩක් එක්ක තමයි මට එළියට යන්න ලැබෙන්නේ.

“ගියාට කමක් නැහැ.හැබැයි හැන්දෑ වෙන්න කලින් එන්න ඕනේ.වෙන කොහේවත් යන්නත් බැහැ හරිද ? මම ඇවිත් සැරින් සැරේ බලනවා මට පේන මානයෙම ඉන්න ඕනේ.“ එහෙම කියලා තමයි අලුත් ගෙදරට ආපු වෙලේත් අම්මා මාව පිටත් කළේ.

අලුත් යාළුවෙක් හම්බවුණු එක ගැන එයාටත් හරි සතුටුයි.එයා මට වඩා බාලයි.අවුරුදු හතරක් නැත්තම් තුනක් මං හිතන්නේ. ඒ මල්ලිගේ නම ධනුජය සමරසිංහ.හරිම අහිංසක මල්ලි කෙනෙක්.හරිම හොඳයි.අපි දෙන්නා හුඟක් වෙලා එදා සෙල්ලම් කළා.ඉන්පස්සේ හැමදාම වගේ අපි සෙල්ලම් කළා.

සිදත්ලා පදිංචියට ආවාට පස්සේ සිදත්,සුදාරක ආවා සෙල්ලම් කරන්න.මම ධනුජය මල්ලිට දෙන්නවම අඳුන්නනලා දුන්නා.ඉන්පස්සේ අපි දෙකට බෙදිලා සෙල්ලම් කළා.මට මතකයි සමහර දවස්වලට ධනුජය මල්ලිගේ අක්කාත් එනවා අපිත් එක්ක සෙල්ලම් කරන්න.ඒ දවස්වලට නම් මාර ජොලි.අපි ඉතින් සඳා නංගී බැට් කරන වෙලාවට හිනාවෙනවා එයාට.

(තව කොටසක් මතක් වුණු සැණින්)

මාධ්‍යවේදී ගම්මානයක සොඳුරු මතක අතරින් -1

මාධ්‍යවේදී ගම්මානයක සොඳුරු මතක අතරින් -1

(මේක පම්පෝරියක් නම් නෙමෙයි.සොඳුරු සොඳුරු මතක සටහනක් ලියා තැබීමක්.)

1999 වසරේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේදී මංගල සමරවීර ඇමැතිවරයාගේ යෝජනාවක් අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම මාධ්‍යවේදී නිවාස සංකීර්ණය ඉදිකෙරුණා.වෙනත් විදිහකින් කිව්වොත් රිචඩ් ද සොයිසා මාධ්‍යවේදී ගම්මානය නිර්මාණය වුණා.පුංචි පුංචි වයස් පරතර තිබුණත් ඒ ගෙවල්වල පදිංචියට ආපු අපි ජීවත්වුණේ එක වයසේ ළමයි වගේ. සිදත්, සුදාරක, අරවින්ද, ධනුජය,දුලන,සඳා තමයි මුලින් එතැන නිර්මාණය වුණු මුල්ම කණ්ඩායම.හරිම විනෝදයි.අපි එක එක දවසට එක එක සෙල්ලම් කළා.හුඟක් දවසට කළේ ඉතින් ක්‍රිකට් ගහපු එක තමයි.හැබැයි දුලන නම් ක්‍රිකට් ගහපු විදිහට අපිට හිනා ගියා.අනික් අය දුවගෙන ඇවිත් බෝලේ දාද්දි,දුලන දුවගෙන ඇවිත් කළේ බෝලේ දමලා ගහපු.අනික බැට් කරද්දි බෝලේ ලෙග් සයිඩ් එකෙන් වයිඩ් යයි කියලා හිතලා වයිඩ් එක ගන්න දුලනයා ලොකු ට්‍රයි එකක් ගත්තා.බෝලේ ලෙග් සයිඩ් එකෙන් ආවාම, දුලනයා බෝලේට ලෙග් සයිඩ් එකෙන් යන්න ඉඩ දීලා කොන්ද මැදින් නවනවා.හැබැයි සමහර දවස්වලට අපි කරන්නේ ඒ වෙලාවට බෝලේ ටර්න් කරන එක.හොඳට ටර්න් වුණොත් ඒ දවසට දුලනයා අවුට් වෙනවා

මට මතකයි දවසක් මම එක ගෙදරක මිදුලකට විතරක් හැම වතාවෙම ගහලා ලකුණු ගනිද්දි බැරිම තැන මගේ ළඟටම හැමෝම ඇවිත් වට කරලා මාව අවුට් කළා.මම අවුට් වුණේ හරියටම ලකුණු 49ට.

අපි පිට්ටනියට පුරුදු වුණාට පස්සේ මට මතකයි, දවසක් සිදත් ගැහුවා අපිට අමතක නොවෙන ඉනිමක්.එදා සිදත් ලකුණු 389ක් ගැහුවා.ඒ වාර්තාව අදත් අපේ ග්‍රවුන්ඩ් එකේදි කාටවත් කඩන්න බැරි වුණා.

තවත් දවසක මට මතකයි මම විකට් එකේ ඉඳන් මීටර් 100ක් විතර ඈත ඉඳන් බෝලේ විකට් එකට ගහලා සිදත්ව හරි සුදාරකව හරි අවුට් කළා.මම හිතන්නේ ඒක තමයි වැඩිම දුරක ඉඳන් අවුට් කරපු විකට් එක.තවත් කාලෙක මට මතකයි,මමයි, සිදතුයි තරගටෙ ලකුණු ගැහුවා.අපි වෙනම පොතකුත් තියා ගත්තා. හැන්දෑවේ ඇවිත් ගහපු ලකුණු එකතු කළා.

පිට්ටනියේ අපිට සෙල්ලම් කරන්න බැරි වුණු දවස්වලට අපි පාරේ සෙල්ලම් කළා.සමහර දවස්වලට ක්‍රිකට් ගැහුවා.සමහර දවස්වලට කැච් පාස් කළා.ඒක නම් කළේ බැට් එකක් නැති දවසට.

හය වසරේදි මම බැට් එකක් ගත්තා.ඒක තමයි මට ගෙදරින් අරන් දුන්නු මුල්ම බැට් එක.ඒත් මම ඒ බැට් එක, එකම එක දවසයි අරන් ගියේ.මම ට්‍රයි කළේ ලොකු පාරක් ගහන්න.බැට් එකේ කෑලි වීසි වුණා.මම ගෙදරින් බැණුම් අහන්න වෙයි කියලා බයට බැට් එක ඒ විදිහටම අතින් සෙට් කරගෙන,අතින් බැට් එකේ කෑලි දෙක එකතු කරන්,ඒක අතින් වහගෙන ගෙදරට අරන් ගියා.ඉන්පස්සේ ඒ කෑලි දෙක මගේ ඇඳ යටින් දැම්මා.මොකද මම බැට් එක කැඩුණා කියලා කියන්න. හුඟක් බයෙන් හිටියේ.

අපි සමහර දවස්වලට තාච්චි පිච්චුවා.හැංගි මුත්තන් කරනවට වඩා ඒකේ ලොකු ජොලියක් තිබ්බා. අපි සේරම එක එක තැන්වල හැංගුණා.සමහරු ඒ අස්සේ තමන්ගේම ගෙදරට ගිහින් තේ එකකුත් බීලා එනවා.මමත් දවසක් එහෙම තේ බීලා ආවා.

සමහර දවස්වලට අපි රේස් දුවනවා.මීටර් 100 තමයි දුවන්නේ.ඒක දුවන්නේත් පාරේ.හැබැයි කොල්ලො විතරයි දිව්වේ.සඳා නංගි ආවේ නැහැ.එයා හුඟක් දවසට කොඩියක් වගේ එකක් අරගෙන අපිට ඉස්සරහින් දිව්වා.එයා තමයි අපිට කමාන්ඩ් එක දෙන්නේ හැමදාම.මට මතකයි තාම එයා කමාන්ඩ් දීපු හැටි.ඒ දවස්වල මම තමයි හුඟක් වෙලාවට පළවැනියා වුණේ.දවසක් සඳා නංගි කමාන්ඩ් එක දීලා අපි ඉස්සරහින් ගියා.එයා හැමදාම කමාන්ඩ් එක දුන්නේ අපිට වඩා මීටර් කීපයක් ඉස්සරහ ඉඳන්.එයා තමයි අපේ මග පෙන්වන්නිය.හැබැයි දවසක් එයා “බුදු අම්මෝ“ ගාගෙන අපි දුවන පැත්තෙන් අයින් වුණා.ඒ අපේ වේගෙට බය වෙලා.

අපිට අදටත් උදේටයි හවසටයි යන්න එන්න විශේෂ බස් තියෙනවා. ඒකේ ඩ්‍රයිවර් මහත්තයයි,කොන්දොස්තර මහත්තයයි අපිත් එක්ක හරි යාළුයි.හවසට අන්තිම ටර්න් එක යන්න කලින් අපෙන් අහනවා අද මොකක්ද කරන සෙල්ලම කියලත්. මොකද අපි රේස් දුවපු දවසට රේස් එක ඉවර කරන්නේ බස් එක නවත්තලා තියෙන තැනින්

(තවත් කොටසක් මතක් වුණු සැණින්)

Tuesday, February 10, 2015

පුංචි පුංචි තිත් වැටිච්ච පුංචි මුවෙක් මං

අපේ චූටි මල්ලියා එයාගේ මුල්ම විවිධ ප්‍රසංගයේදී ඇඳන් හිටියේ මුවෙක් විදිහට.හරියටම කිව්වොත් අහිංසක මුව පැංචෙක් විදිහට.ඉන්පස්සේ එයා විවිධ ප්‍රසංගය තිබුණූ වේදිකාවට නැගලා මෙහෙම කිව්වා.
පුංචි පුංචි තිත් වැටිච්ච පුංචි මුවෙක් මං.
කොළ විතරයි කන්නේ බබෝ අහිංසකයි මං
කාටත් කිසි වරදක් නෑ හරි සුරතල් මං
අල්ලගන්න එපා බබෝ අම්මා සොයයි මං
(මල්ලීත් එක්කම අවුරුදු 14ක් ආපස්සට යන්න හිතුණා)
මාලන් විදානපතිරණ

Sunday, February 8, 2015

අජිත් මාමාට අපගේ උත්තමාචාරය! 2015/01/04

අජිත් මාමාට අපගේ උත්තමාචාරය!
අද මම අජිත් මාමාලගේ කඩේට ගියේ පෑන් දෙකක් ගන්න.එතකොට කොල්ලෝ දෙන්නෙක් ආවා මෝටර් සයිකල් කට්ටක.අවුරුදු 17ක්වත් නැතුව ඇති.මේ එතැනදි ඇතිවුණූ උණුසුම් සංවාදය
“අයියේ බ්‍රිස්ටල් එකක් දෙන්න*
“බ්‍රිස්ටල් ?*
“ ඔව්.බ්‍රිස්ටල් දෙකක් දෙන්න.*
“අවුරුදු 21කට වැඩිද ? *
“ඔව්. ඔව් අපි දෙන්නටම 21කට වැඩියි* .
“බොරු කියන්න එපා.කෝ එහෙනම් අයිඩින්ටි නාඩ් එක පෙන්නන්න.නැත්නම් සිගරට් දෙන්න බැහැ මට*
“ අයිඩින්ටි කාඩ් ගෙනාවේ නැහැ අයියේ.*
“එහෙනම් දෙන්න බැහැ අනික ඔයගොල්ලන්ට 18ක්වත් නැහැ.*
“නැහැ. නැහැ අපිට 21කට වැඩියි.*
“බැහැ. බැහැ එක සිගරට් එකක්වත් දෙන්න බැහැ.*
(කොලු ගැටයන් දෙදෙනා පිට වේ)
“උන් හිතන් ඇති, අපි මේ අද ඊයේ මෙහෙට ආපු මිනිස්සු කියලා.. අපිව තම්බන්නේ කොහෙද උන් *
මතට තිත ගැන කියවන ආණ්ඩුවක ජීවත් වන අපගේ අවුරුදු දහ හතේ දහ අටේ නොදරුවන් පවා දුම්වැටියට පොළඹවන මහින්ද මාමාට විරෝධය පෑ අජිත් මාමාට අපගේ උත්තමාචාරය!
මාලන් විදානපතිරණ

Wednesday, February 4, 2015

ආශ්චර්යමත් පන්ති මාරු වීම- 2015/01/31

කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ආරම්භ කර 
නාලන්දා විද්‍යාලයෙන්ම නිමා කළ මගේ පාසැල් 
ජීවිතයේ අමතක නොවන ආශ්චර්යමත් පන්ති මාරු 
වීම (A - E)

1- C - විජේරත්න මිය(මීට වසර කීපයකට පෙර අප 
අතරින් සමුගත්තාය)

2- B - රණශීලි මිය (විශ්‍රාම ගොස් ඇත)
3- C - යමුනා දමයන්ති (වෙනත් පාසැලකට මාරු 
වූයේ අප ඉගෙන ගත් වසරට පසු වසරේදීමය)
4 -B - දම්පහල මිය (අප ඉගෙන ගත් පාසැල් 
සමයේදිම පාසැලින් ඉවත් විය)
5- C - සන්ධ්‍යා පෙරේරා මිය (වෙනත් පාසැලකට 
මාරු වී ඇති බව මෑතකදි දැනගන්නට ලැබිණ)
6- D - ආරියප්පෙරුම මිය (විශ්‍රාම ගොස් ඇත)
7- A - මනෝජා රත්නායක මිය (කොළඹ රාජකීය 
විද්‍යාලයට මාරු වී ඇත)
8- B - ගයනි කුලවර්ධන මිය
9- C - කළුආරච්චි මිය
10-B - ලක්ෂ්මන් අමරසූරිය මහතා (දැන් පාසැලේ 
උසස් පෙළෙහි ජන සන්නිවේදන ගුරුවරයෙකි.)
11-B - හේවගේ මහතා (පිළියන්ඳල මධ්‍ය මහා 
විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති)
12-E - සුනිල් පෙරේරා මහතා
13-E - සුනිල් පෙරේරා මහතා

මාලන් විදානපතිරණ