Saturday, June 28, 2014

පිය සෙනෙහසට කව් ගී ලියවුණා මදි -2014.06.15




පිය සෙනෙහසට කව් ගී ලියවුණා මදි



 

ජාත්‍යන්තර පියවරැන්ගේ නිමිත්තෙනි



 


මාලන් විදානපතිරණ


ප්‍රවේශයක්


අපි හැමෝම මෙලොව එළිය දකින්නේ අම්මාගෙන්.ඒ නිසා මව් පදවිය තමයි ලොව උතුම්ම පදවිය විදිහට සැළකෙන්නේ. ඒකටයි ගැහැණිය හැමදාම හීන දකින්නේත්. මොකද ඇය සමග තමයි අපි උපදින්න කලින් ඉඳන්ම සන්නිවේදනය වෙන්නේ.ඒ වගේම ඒකට තවත් හේතු බලපානවා.ඒත් ජීව විද්‍යාත්මක වශයෙන් බැලුවොත් අම්මයි තාත්තයි එකතු නොවී දරැවෙක් බිහිවෙන්නේත් නැහැ.පිරිමි හැමෝම තමන්ගේ ප්‍රතිවිරැද්ධ ලිංගිකයා සමග එක්නොවීම ප්‍රතික්ෂේප කළොත්,එහෙම නැත්නම් විවාහ වීම වර්ජනය කළොත් එදාට මුළු ලෝකයක්ම දෙදරැම් කයි.ඒ වගේ බලයක් තියෙන නිසා වෙන්න ඇති සමහර විට සමාජය තුළ පවා නොදැනුවත්වම පුරැෂාධිපත්‍යය නිර්මාණය වෙලා තියෙන්නේ.අනික අද ලංකාව ගැන සළකලා බැලුවොත් පිරිමි ජනගහණය, ගැහැණු ජනගහණයට වඩා දැඩි ලෙස අවම වෙලා තිබෙනවා. ඒත් මේ සටහන තබන්නේ අද්‍යතන යුගයේ පියවරැන් සහ මව්වරැන් ගැනයි. ඇතැම් විට මේක මව්වරැන්ට එරෙහිව ලියන ලිපියක් කියලත් කෙනෙක්ට හිතෙන්න පුළුවන්.කොහොම හිතුවත් මේක තමයි මෙවැනි ලියමනකට හොඳම අවස්ථාව.

ගෘහ මූලිකයා තාත්තාලු

අපේ සමාජයේ ගෘහ මූලිකයා තාත්තා.ඒත් ඒක හරියට අද ලංකාවේ තිබෙන අගමැති පුටුව වගේ.අනික ගෙදර වැඩිපුරම ආදරේ කාටද කියලා ඇහුවොත් බොහෝ දෙනෙක් ආදරේ අම්මට.ඒත් දුවෙක් ගෙදර ඉන්න ගෙදරක මේ තත්ත්වය යම් තාක් දුරට වෙනස් වෙන්න පුළුවන්.ඒත් අම්මා එක්ක තමයි තමන්ගේ පුද්ගලික ගනුදෙනුව කොහොමත් කෙරෙන්නේ.

“අම්මේ අද මං ක්ලාස් ඉවර වෙලා ගෙදර යන්න හදද්දි පිරිමි ළමයෙක් ඇවිත් කැමැත්ත ඇහුවා*

“ඉතින් *

“මං මුකුත් කිව්වේ නැහැ.හිනාවෙලා ආවා*

“ඔයා ඒ ළමයට කැමැතිද ?*

“අකමැත්තක් නැහැ*

මේ විදිහට සමහර වෙලාවට මුළුතැන්ගෙයට මුළුගැන්විලා තමයි මේවා සිද්ධවෙන්නේ.එහෙම නැත්නම් කාමරේට වෙලා ගෙදර දොර වහගෙන.ඉන්පස්සේ පිරිමි ළමයට දුව කැමැති නම් කරන්න ඕනැ දේවල්,රණ්ඩු සරැවල්,ආයේ වෙන්වෙන දේවල් හැම දෙයක්ම කියන්නේ අම්මාට.(මේ මුකුත් නොකියන දූවරැ නැතුවා නෙමෙයි.)
එතකොට මේක පුතාලාට සමපාත කළොත් ඒක වෙන විදිහක ගනුදෙනුවක්.

“අම්මේ අද මං ක්ලාස් එකේදි ලස්සන කෙල්ලෙක් දැක්කා.*

“ඉතින්*

“මම ඒ කෙල්ලට කැමැතියි අම්මේ*

“මම ඕවා දන්නේ නැහැ.තාත්තා දැන ගත්තොත් විසුමක් වෙන්නේ නැහැ. දැන් ඕවාද කරන්න තියෙන්නේ ? විභාගේ අත ළඟ.*

“අනේ අම්මේ !*

“හ්ම් හ්ම්*

ඉන්පස්සේ සමහර විට පිරිමි ළමයි මේ ගෑණු ළමයාගෙන් කැමැත්ත අහනවා,බැහැ කිව්වොත් ඒ දුකත් කියන්නේ අම්මට.අඬන්නේත් අම්මා ළඟ. කැමැති වුණොත් ඉන්පස්සේ වෙන දේවල් කියන්නේත් අම්මට.අනික් හැම දෙයක්ම කියන්නේත් අම්මාට.

එතකොට මේ හැම දෙයක්ම පොදුවේ ගත්තම මොකක් හරි දේකදි පුතා හෝ දුව අසරණ වුණොත් අන්න එතැනදි තමයි තාත්තාව මතක් වෙන්නේ.මොකද ඒ වගේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න තරම් හුඟක් අම්මලා ශක්තිවන්ත නැහැ. අනික් පැත්ත තමයි හැම දෙයක්ම සම්මත කරගෙන තාත්තාගේ අනුමැතිය උවමනා වෙද්දි තමයි තාත්තා කෙනෙක් ඉන්නවා කියලා සමහරැන්ට මතක් වෙන්නේ.

එහෙනම් ඇත්තටම මොකක්ද මෙතැන වෙලා තියෙන්නේ ?

ආසියානු පවුල් සංස්කෘතිය තුළ පවතින සම්ප්‍රදාය සැළකිල්ලට ගත්තොත් කුටුම්භය රක්ෂා කිරීමේ වගකීම පැවරිලා තියෙන්නේ තාත්තාට.ඒ නිසා තාත්තාට ගෙදර රුඳෙන්න තියෙන වෙලාව හුඟක් අඩුයි.ගෙදර රුඳෙන්නේ අම්මා.තාත්තා උපයන ධනය කළමණාකරණය කිරීමේ වගකීම පැවරෙන්නේ ඇයට.ඒ වගේම තාත්තා ගෙදර එනතුරැ ළමයින් රුක බලා ගැනීමේ වගකීම පැවරෙන්නේත් අම්මාට.අම්මා රුකියාවක් කළත් තාත්තාට කලින් ගෙදර එන නිසා එතැනි වාසියත් අම්මාට.
අනික කුසට ආපු වෙලේ ඉඳන් තියෙන ගනුදෙනුව නිසා ළමයි ගැන හොඳටම දන්නේත් අම්මා.බහුතරයක් එහෙමයි. හැබැයි ගෙදරින් පිටත සමාජය ගැන හොඳටම දන්නේ තාත්තා.සමාජය තුළ හොඳට තැලිලා, පොඩි වෙලා, පදම් වුණු තාත්තා, හොඳ මිනිස්සු කවුද, නරක මිනිස්සු කවුද, උගත්තු කව්ද,නූගත්තු කව්ද කියලත් හොඳටම දන්නවා.
ඒ නිසා අම්මා එක්ක මතුපිටින් කරන සාකච්ඡාව දිහා ගැඹුරින් දකින්නේ තාත්තා.ඒ නිසා ළමයි ගන්න තීරණ බොහෝ වෙලාවට වැරදෙන සම්භාවිතාවත් වැඩියි.ඒ ළමයි සහ තාත්තා අතර පවතින මත ගැටුම නිසා. ඒ හින්දා හැමදාම අන්තිමට සිදුවෙන්නේ පිය - පුතු ගැටුමක්. ඒත් මේක දූවරැන්ටත් පොදු තත්ත්වයක්.

ඒත් මේ සදාතනික සත්‍යය තේරැම්ගන්න බොහෝදෙනෙක්ට තාමත් බැහැ.මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍යයට පවා මේ තේමාව ප්‍රස්තුත වෙන්නේ මේ නිසයි.ඔහු තමන්ගේ පෞද්ගලික අත්දැකීමක් පාදක කර ගනිමින්පුතු සෙනෙහේ සම් මස් නහර විද ඇට මිදුළු තුලටම* යන බව එම නාට්‍යයේ එක තැනකදි පවසන්නේ මේ නිසයි.ඒත් සමහරැ තමන්ගේ තාත්තාට වෛර බඳිනවා.සමහරැ තාත්තාට නිග්‍රහ කරනවා.සමහරැ අපවාද නගනවා.චෝදනා කරනවා.

හැබැයි කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ම තාත්තා කියපු බොහෝ දේවල් ඇත්ත නේද කියලා තේරැම් ගන්නවා.ඒත් එතකොට ඒක තාත්තාට කියන්න තරම් වාසනාවක් නැතිවෙනවා.සමහරැන්ට ඒක කියන්න පුළුවන් වුණත් තේරැම් ගන්නකොට බැඳ ගත්තු බෙරේ ගහන්න සිද්ධ වෙලා.
ඒත් එදිනෙදා ජිවිතයේ පුරැද්දක් විදිහට දරැවන් තමන්ගේ ප්‍රශ්න අම්මා එක්ක වගේම තාත්තා එක්කත් කියනවා නම් මේ තත්ත්වය වෙනස් වෙන්න ඉඩ තිබුණා.අනික කොච්චර වැඩ අධික වුණත් දරැවන් වෙනුවෙන් වෙලාවක් වෙන්කර ගන්න මැලි නොවන තාත්තලා,තාමත් අපිට ඉන්නවා.


තාත්තලාට කුඩම්මාගේ සැළකිළි

අපි හැමෝම දන්නවා මව්වරැන්ගේ දිනයක් තියෙනවා කියලා.දිනය කවදද කියලා අමතක වුණත් අඩුම ගාණේ එහෙම එකක් තියෙනවා කියලවත් අපි දන්නවා.ඒත් පියවරැන්ගේ දිනයක් තියෙනවා කියලා කව්ද දන්නේ? කව්ද අගය කරන්නේ? දිනයක් තිබුණත් නැතත් තාත්තා ගැන කතා කරන්න ඒක බාධාවක් නෙමෙයි වුණත් අම්මලාට සමාජය ලබා දී තිබෙන තැනත්, තාත්තලාට සමාජය ලබා දී තිබෙන තැනත් අතර ලොකු වෙනසක් මෙයින් පෙන්නුම් කෙරෙනවා. ටී.එම්.ජයරත්න ගායනා කරන “අම්මා සඳකි* ගීතය තුළින් පවා කතා කරන්නේ මේ සමාජ වටිනාකම ගැන.එවැනි ගීත පවා බිහිවෙන්නේ මෙවැනි පසුබිමක් තුළ. හැබැයි ලංකාව තුළත්,විදෙස් රටවලත් කාන්තාවන්ගේ විමුක්තිය උදෙසා විවිධ සංවිධාන කටයුතු කරනවා.ඒ වගේම නිසි තැන කියමින්, එහෙම නැතම් සම තැන කියමින් විවිධ උද්ඝෝෂණ ගෙනියනවා.විප්ලව කරනවා.ඒත් අපේ තාත්තලා කවද්ද තමන්ගේ නිසි තැන ලබාදෙන්න කියලා උද්ඝෝෂණය කළේ ?

අනාගත ඛේදවාචකය

අද වෙනකොට ලංකාව පුරාව අලුත් උප සංස්කෘතියක් ඇතිවෙමින් පවතිනවා.ඒ තමයි “ඩේ කෙයා* සංස්කෘතිය.ඒ නිසා මෙවැනි සමාජයක් තුළ ඉදිරියේදි කුමක් වේවිද කියලා අපටවත් හිතාගන්න බැහැ. තාත්තට තියා අම්මට ලැබෙන ගෞරවයවත් දරැවන්ගෙන් ලැබෙයිද කියලා හිතන්න අමාරැයි.ඒත් ඒ ගැන හිතන්නවත් දෙමාපියන්ට අද වෙලාවක් නැහැ.ළමයින්ට වෙලාවකුත් නැහැ. හැමෝම ළමයව ලොකු ඉස්කෝලෙකට දාන්න මහන්සි ගන්නවා.ඉන්පස්සේ ශිෂ්‍යත්වය පස්සේ පන්නනවා.ඉන්පස්සේ සාමාන්‍ය පෙළ. ඊට පස්සේ උසස් පෙළ.ඊට පස්සේ විශ්ව විද්‍යාලයට.බැරි වුණොත් විෂය පාඨමාලා,පරිගණක පාඨමාලා,ඉංග්‍රිසි පාඨමාලා.

එතකොට ළමයා හුස්ම ගන්නේ කොයි වෙලාවටද ? දෙමාපියෝ හුස්ම ගන්නේ කොයි වෙලාවටද ? අනික නව මාධ්‍යයත් එක්ක ළමයි ගෙදර ආවත් දෙමාපියෝ එක්ක ගනුදෙනුවක් නැහැ. තමන්ගේම ලෝකයක තනිවෙනවා.එහෙම බැලුවොත් මේ තත්ත්වය සමනය කරන්න පුළුවන් පිළියමක් තවමත් අපට පෙනෙන්නටත් නැහැ.ඒ නිසා සමාජවාදීන් කියන අන්දමට මේකත් සමාජ ක්‍රමයේම ගැටලුවක් කිව්වත් අප සැම සිතිය යුතු යමක් තියෙනවා. අම්මටයි තාත්තටයි වැඳලා යන, අවුරැද්දට එකතු වුණු,නත්තලට එකතු වුණු,දීපවාලි දවසට එකතු වුණු,හජ්ජි දවසට එකතු වුණු අපේ සංස්කෘතියට 21 වැනි සියවසේදි මොකද වුණේ ?

No comments:

Post a Comment