Wednesday, October 23, 2013

බිල්බෝඩ් ගීත දර්ශකයේ අංක එකේ ගීතය "Roar"


බිල්බෝඩ් ගීත දර්ශකයේ අංක එකේ ගීතය 
 "Roar"


මාලන් විදානපතිරණ
අද පුවත්පත
2013/09/10



මේ දිනවල බිල්බෝඩ් ගීත දර්ශකයේ අංක එකේ ගීතය බවට පත් වී ඇත්තේ කැතී පෙරීගේ "Roar" ගීතයයි.ජනප්‍රිය ඇමෙරිකානු ගායිකාවක වන ඇය මෙම ගීතය ගායනා කළේ ඇගේ මීළඟ ගීත ඇල්බමය වන Prism (2013) වෙනුවෙනි. ඔක්තෝබර් මස 22 වැනිදා නිකුත් වීමට නියමිත මෙය ඇගේ සිව්වන ගීත ඇල්බමයයි.පෙරී සමග Lukasz "Dr. Luke" Gottwald, Max Martin, Bonnie McKee සහ Henry "Cirkut" Walter ගීතයේ පිටුපස සිට දායකත්වය ලබා දී ඇති අතර මෙම "Roar" සැළකෙන්නේ මධ්‍ය ලයෙන් ගායනා කරන ලද පොප් ගීතයක් ලෙසිනි. (midtempo power pop song).

පසුගිය අගෝස්තු මස 10 වැනිදා ගුවන්විදුලි නාලිකාවලට ලබා දෙමින් ප්‍රචාරණය ඇරඹි මෙම ගීතය වැඩිමනක්ම ජනප්‍රිය වූයේ එහි රෑප රචනය සහිත මියුසික් වීඩියෝව ජනගත වූ පසුය. එනම් ඉන් දෙදිනකට පසු නිකුත් වූ මෙහි මියුසික් වීඩියෝව iTunes, YouTube, and Amazon ආදියෙහි අතිශයින් ජනප්‍රිය වූ අතර මෙය නරඹා ඇති ප්‍රමාණය මිලියන තිස් හත ඉක්මවන්නේය.එසේම මීට මිලියන 0.5ක් කැමැත්ත පළ ඇති අතර තිස් එක් දහසකට ආසන්න ප්‍රමාණයක් අකමැත්ත ද පළ කර ඇති නමුදු සමස්තයක් ලෙස ගත් කළ ගීත විචාරකයන්ගෙන් පවා ධනාත්මක විචාර ලබාගැනීමට සමත් වීම කැපී පෙනේ.

2010 වසරේ ඇගේ "Firework" ගීතය ඇතුළු සෙසු ගීතවලට සාපේක්ෂව වර්ධනීය ලක්ෂණ පෙන්නුම් කර ඇති මෙම ගීතය, මේ වන විට විවාදාත්මක ස්වරෑපයක් ගෙන ඇති අතර ඊට හේතුව වී ඇත්තේ මේ වසරේ නිකුත් වූ සාරා බෙරෙයිලෙස්ගේ  "Brave" ගීතය සහ මෙම ගීතය අතර යම් යම් සමානකම් තිබෙන බැවින් පෙරී කර ඇත්තේ ස්වතන්ත්‍ර නිර්මාණය් නොවන බවට මත පළවීම හේතුවෙනි.

එහෙත් ඒ පිළිබඳ නොතකමින් කැතී පෙරී තමන්ගේ ගීතය පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියේ මිනිසා තමා ඉදිරියේ තමා සිටින විට තමා පිළිබඳ මැවෙනා චිත්ත රෑප පෙළක් මෙම ගීතය නිර්මාණය කිරීමට හේතු වූ බවයි.එසේම තමා දෙස වඩා ශක්තිමත් ලෙස අභ්‍යන්තරයෙන් බැලීම මෙහි පරමාර්ථය වූ බව පවසන පෙරී,තමා මීට පෙර ජනප්‍රිය වූ ගීත හරහා ලද පන්නරය ගීතයේ ජනප්‍රියත්වයට ප්‍රමුඛතාවය නොදුන් බවත් පැවසුවාය. ඒ අනුව ජනප්‍රියත්වය උදෙසා නිර්මාණය නොකරන බවක් පවසන ඇය, තමාගේ හැඟීම රසිකයාට දැනේ නම් එය තමා ලබන ඉහළතම ජයග්‍රහණය බව පවසා ඇත.

දින තුනක් පුරා ග්‍රේඩි හෝල් සහ මාක් කුඩ්සිගේ අධ්‍යක්ෂණය යටතේ රෑප රචනා වූ මෙම ගීතයේ රෑපගත කිරීම් සඳහා යොදා ගත්තේ ලොස් ඇන්ජලීස් නගරයයි.රෑප රචනය තුළ කියැවෙන කතාව මෙසේයි.පෙරී සහ ඇගේ පෙම්වතා වන බ්‍රයන් නාජෙල් ගුවන් යානා අනතුරකින් අනූනවයෙන් බේරෙති.එහෙත් අනපේක්ෂිත ලෙස තම පෙම්වතාගේ ඇඟෙට කොටියෙකු කඩා පනියි. ඉන් අනතුරැව බියට පත් වන පෙරී, වනය තුළට ගමන් කරන්නේ බියමුසු සැකයෙනි. එහෙත් අවසානයේ සියලු සත්තු ඇඟේ මිතුරෝ වෙති.පෙරී වනයේ රුජින බවට පත්වන්නේ මේ අනුවයි. 

මේ අනුව  වෙනස්ම ආකාරයේ ත්‍රාසජනක ක්‍රියාවන්ට මුහුණ දෙමින් වෙනස්ම අත්දැකීමකට මුහුණදෙන පෙරී, මෙහිදී අලින්,වඳුරන්,කිඹුලන්,කොටීන් යොදා ගනිමින් කර ඇති වික්‍රමය බොහෝ දෙනාගේ විස්මයට හේතු වී ඇත.එසේම මේ සඳහා යොදාගෙන ඇති මිල අධික විශාල පසුතලය,වර්ණවත් භාවය,සැබෑ වනයේ දසුන් සහ පසුබිම් තල දසුන්හි සන්තතික බව රුකගෙන තිබීම, ආලෝකකරණය, දෘශ්‍ය ප්‍රයෝග සහ විශේෂ ප්‍රයෝග විචාරකයන්ගේ නෙත ගැටුණූ සාධක කාරණා ලෙස දැක්විය හැකි අතර මෙහි ඇඳුම් නිර්මාණ, අසීරැ සංස්කරණය මගින් කර ඇති රෑප සංකලනය, ගීතයේ රිද්මය තබා ගනිමින් කරන ලද දර්ශන මාරැ කිරීම්, කැමරාකරණය ද කතාබහට ලක් වී ඇත. ( මෙහි නිර්මාණ කටයුතු කළ ආකාරය සහ එහි රෑප රාමු Nokia සමාගම විසින් එළිදක්වන ලදී)

මේ මොහොත වන මෙම ගීතය ඇමෙරිකාවේ බිල්බෝර්ඩ් හොට් 100 දර්ශකය පමණක් නොව බ්‍රිතාන්‍යය,ඕස්ට්‍රේලියාව, කැනඩාව, දකුණු කොරියාව,අයර්ලන්තය, නවසීලන්තය ආදී රටවල ගීත දර්ශකද ආක්‍රමණය කිරීමට ද සමත් වී ඇත.
මේ අනුව ගීතය ලද ජනප්‍රියත්වය හේතුකොටගෙන පසුගිය අගෝස්තු 25 පැවැති  2013 MTV Video Music Awards උත්සවයේදී ඇය මෙම ගීතය ගායනා කළේ ප්‍රේක්ෂකයාගේ උන්මාදය දෙගුණ කරමින්, ප්‍රේක්ෂකයාගේ කුතුහලය අවුලුවාලමින් උත්සවය නිමාවන්නට මොහොතකට පෙරය.

පළමු සතියේදී පමණක් ලක්ෂ හයකට ආසන්න පිටපත් සංඛ්‍යාවක් අලෙවි වූ මෙම ගීතය, මේ වසරේ පළමු සතියේදී වැඩිම පිටපත් සංඛ්‍යාවක් අලෙවි වූ ගීතය ලෙස ද සැළකේ.එසේම පෙරීගේ වැඩිම පිටපත් සංඛ්‍යාවක් අලෙවි වූ ගීතය ලෙස ද සැළකේ. එනම් ඇගේ "Firework" ගීතය 2010 වසරේ දෙසැම්බර් මස නිකුත්ව පළමු සතියේදී අලෙවි වූයේ පිටපත් ලක්ෂ පහකි. 

No comments:

Post a Comment