Friday, July 5, 2013

The Twilight Saga නළු රොබට් පැටින්සන් - (GO Magazine) - 2012/09/24



The Twilight චිත්‍රපටයෙන් මතු වූ හොලිවුඩ් තරැව
රොබට් පැටින්සන් 

The Twilight Saga චිත්‍රපට මාලාව හේතුවෙන් පසුගිය කාලයේ අතිශයින් ජනප්‍රියත්වයට පත් චිත්‍රපට නළුවකු ලෙස රොබට් පැටින්සන් හැඳින්විය හැකිය. එමෙන්ම ක්‍රිස්ටීන් ස්ටිවර්ට් හා ගැලපෙන හොඳම පෙම්වතා සේ සැළකෙන්නේ ද ඔහුයි. The Twilight Saga චිත්‍රපට මාලාවේ පස්වැන්න වන The Twilight Saga: Breaking Dawn – Part 2 චිත්‍රපටයේදී ද එඩ්වඩ් කලින් චරිතය නිරෑපණය කරන්නේ පැටින්සන්ය.දහ නව හැවිරිදි වියේදී ම Harry Potter and the Goblet of Fire චිත්‍රපටයේ රඟපෑමට භාග්‍යවන්ත වූවෙකි. ඒ සෙඩ්‍රික් ඩිගරි ලෙසිනි. චිත්‍රපට නළුවකු මෙන්ම චිත්‍රපට නිෂ්පාදකවරයෙකු ද වන ඔහු, සංගීතඥයෙකු ලෙස ද නමක් දිනා ගත්තෙකි.එමෙන්ම නිරෑපණ ශිල්පියෙකි. මේ ඔහු පිළිබඳ තබනා කෙටි සටහනකි.

1986 වසරේ මැයි මස 13 වැනිදා එංගලන්තයේ ලන්ඩන් නුවරදී උපත ලද රොබට්ගේ පියා (රිචඩ් පැටින්සන්) වාහන ආනයනය කරන්නෙකි.ඔහුගේ මව ක්ලෙයාය. ඇය නිරෑපණ ශිල්පි සමාගමක ඒජන්තවරියකි. තුන්දෙනෙකුගෙන් යුතු පවුලේ බඩපිස්සා වූ රොබට් හට වැඩිමහල් වූ සොහොයුරියන් දෙදෙනෙකි (ලීසි පැටින්සන් සහ වික්ටෝරියා පැටින්සන්).
සිය මූලික අධ්‍යාපනය සඳහා Tower House School සහ The Harrodian යන පාසැල් වෙත ගිය මෙම කෝඩුකාරයා,ඉනික්බිති කෙළින්ම පියමැන්නේ බාන්ස් වේදිකා නාට්‍ය සමාගම වෙතයි.එහෙත් එහිදී පළමුව Guys and Dolls නම් වේදිකා නාට්‍යයේ ඉතා සුළු චරිතයක් තෝරා ගැනුණු රොබට් වෙත සෑහීමකට පත් විය හැකි චරිතයක් හිමිවූයේ තෝර්න්ටන් වයිල්ඩර්ගේ Our Town වේදිකා නාට්‍යෙය්දීය.එහිදී ජෝර්ජ් ගිබ්ස් නම් චරිතයට පණ පෙවූ ඔහු,ඉතා අඩු වයසකදීම Anything Goes, Tess of the d'Urbervilles සහ Macbeth යන වේදිකා නාට්‍ය වෙත පවා සම්බන්ධ වීමට භාග්‍යවත් වූවෙකි.

මේ අතරතුර වයස අවුරැදු දොළහ තරම් කුඩා කාලයේදී නිරෑපණ ක්ෂේත්‍රයට අවතීර්ණ වූ පැටින්සන්,ටික කලකින් එයින් ඉවත් වූයේ තවත් අවුරැදු හතරකින් පමණ මේ වෘත්තියේ යෙදෙන බවයි.ඒ දැන්ම ඔහු ඊට නුසුදුසු යැයි සිතූ බැවිනි.

“මම නිරෑපණ ක්ෂේත්‍රයට ආපු කාලේ මම හුඟාක් උසයි.ඒත් ඒ කාලේ මගේ පෙනුම හරියට ගෑණු ළමයෙකුගේ වගෙයි. ඒ නිසා මට රුකියා අවස්ථා හුඟක් ලැබුණා. ඒත් මම ඒවාට කැමැති වුණේ නැහැ. මට ලැජ්ජ හිතුණා. මොකද මම ඒ කාලේ පොඩි ළමයෙක්නේ. ඒකයි. ඒ නිසා මම මේ රුකියාව පොඩ්ඩක් පස්සට දැම්මා. ඒත් ඒ වෙනකොට නම් මට අර වගේ රුකියා අවස්ථා ලැබුණේ නැහැ.ඒ නිසා මගේ පසුකාලීන නිරෑපණ ක්ෂේත්‍රය ඉතා අසාර්ථකයි.“ රොබට් දිනක් සම්මුඛ සාකච්ඡාවකදී මෙලෙස පැවසුවේ ද එනිසාවෙනි.
  
2004 වසරේදී පුංචි තිරයට ද අවතීර්ණ වූ මෙම තරැණයා, පළමුව සම්බන්ධ වූයේ Ring of the Nibelungs නම් ටෙලි චිත්‍රපටයකටය. ඒ සුළු චරිතයක් නිරෑපණය කරමිනි.ඔහු එම වසරේදීම මීරා නයර්ගේ Vanity Fair නම් චිත්‍රපටයයේ රෝඩි ක්‍රෝලිගේ චරිතය නිරෑපණය කිරීමට වාසනාව ලද නමුත් එය පසුව අවාසනාවකට පරිවර්තනය වූයේ චිත්‍රපටය නිකුත් වන විට ඔහු රඟපෑ දර්ශන සියල්ල කප්පාදුවට ලක් වීම නිසාවෙනි.කෙසේ වෙතත් මීරා නයර්ගේ එම චිත්‍රපටය සැළකෙන්නේ රොබට් පැටින්සන්ගේ කුළුඳුල් චිත්‍රපටය ලෙසයි. 2005 වසරේ මැයි මසදී යළිත් වතාවක් වේදිකාවට සම්බන්ධ වූ රොබට්, The Woman Before වේදිකා නාට්‍ය නිර්මාණයේ කැපී පෙනෙන චරිතයක් නිරෑපණය කළේය. ඒ එංගලන්තයේ රාජකීය රඟහලේදීය. එහෙත් එය හුදෙක් මංගල දර්ශනයට පමණක් සීමා වූ අතර ඉනික්බිති එම චරිතය සඳහා ටොම් රිලි ආදේශ වූයේ රොබට් දෛවයේ සරදමට ලක් කරමිනි.

එහෙත් ඉන් නොසැලී ඉදිරියටම ගිය රොබට්, යළි ඔසවා තැබුවේ හැරී පොටර් චිත්‍රපට මාලාවේ සෙඩ්‍රික් ඩිගරි චරිතයයි. “ද ටයිම්ස්“ පුවත්පත විසින් අනාගත බ්‍රිතාන්‍ය තරැව ලෙසින් නම් කිරීමට තරම් හේතු වූ එම චරිත නිරෑපණය ඔහු, හොලිවුඩයේ නවතම සොයා ගැනීම බවට ද පත් විය. එමෙන්ම දිගු ගමනක අඩිතාලම සකසා දුන් එම චරිත නිරෑපණය  2008 වසරේදී එඩ්වඩ් කලින්ගේ Twilight චිත්‍රපටය වෙත ඔහුව කැඳවාලීමට තරම් පොහොසත් විය.

2009 වසරේ පැවැති ස්ට්‍රාස්බෝග් සිනමා සම්මාන උළෙලේදී How to Be චිත්‍රපටයේ චරිත නිරෑපණය කිරීම වෙනුවෙන් සිය ප්‍රථම හොඳම නළුවා සම්මානය දිනා ගත් රොබට් පැටින්සන්,එම වසරේදීම පැවැති හොලිවුඩ් සම්මාන උළෙලේදී Twilight චිත්‍රපටය වෙනුවෙන් නවක හොලිවුඩ් තරැවට හිමි සම්මානය දිනා ගැනීමට සමත් වූ නළුවෙකි.ඒ වෙනුවෙන් ඔහු රසික විචාර සම්මාන උළෙලේදී ද හොඳම නළුවා සම්මානය දිනා ගැනීමට සමත් විය.  එමෙන්ම එම චිත්‍රපටය වෙනුවෙන් MTV චිත්‍රපට උළෙලේදී සහ ඇමෙරිකානු යෞවන චිත්‍රපට උළෙලේදී හොඳම නළුවා,හොඳම හාදුව සහ හොඳම සටන් ජවනිකාවට හිමි සම්මාන ද දිනාගත් රොබට්ගේ සම්මාන ලැයිස්තුව තවදුරටත් විස්තර කිරීම නිෂ්ඵල වෑයමකි. ඒ එය එතරම්ම දිගු බැවිනි.

දැනට හොලිවුඩයේ වැඩිම ආදායමක් උපයන නළුවන් අතරට ද එක් වී ඇති පැටින්සන්,2010 විසින් පළ කරන ලද ටයිම් සඟරාවේ ආකර්ෂණීයමය පුද්ගලයන් සියදෙනා අතරට එක් වීමට ද සමත් වූ චිත්‍රපට නළුවෙකි.

The Twilight Saga චිත්‍රපට මාලාවට අමතරව Little Ashes ( Salvador Dalí ලෙසින්),Remember Me (Tyler Hawkins ලෙසින්), Water for Elephants (Jacob Jankowski ලෙසින්), Bel Ami (Georges Duroy ලෙසින්) ආදී චිත්‍රපට රුසක රඟපෑ පැටින්සන්ගේ නවතම චිත්‍රපට වන්නේ Cosmopolis (Eric Packer ලෙසින්), The Rover(Reynolds ලෙසින්), Mission:Blacklist (Eric Maddox ලෙසින්) සහ Queen of the Desert (T.E. Lawrence ලෙසින්) ය. මේ සියල්ල ඉදිරියේදී තිරගත වීමට නියමිතය.

මාලන් විදානපතිරණ  
marlonwidanapathirana@gmail.com

No comments:

Post a Comment