Friday, July 5, 2013

ප්‍රවීණ නිවේදිකා රසාදරී පීරිස් සමග කතාබහක් (තරුණයා) - 2012/11/09



තරැණයන්ගේ රසවින්දනය බාල වෙලා නැහැ.

ප්‍රවීණ නිවේදිකා රසාදරී පීරිස් 

සටහන සහ ඡායාරෑප - මාලන් විදානපතිරණ

වත්මන් වෙළඳ දැන්වීම් කලාවේ වැඩිම වෙළඳ දැන්වීම් ගණනකට සිය කටහඬ ලබාදෙන නිවේදිකාව වන්නේ රසාදරී පිරීස්ය. ඔෂීන් ජපන් ටෙලිනාට්‍ය හරහා අතිශයින් ජනප්‍රිය වූ හඬ කැවීම් ශිල්පිනියක් වුව ද ඇය කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වන්නේ නිවේදන ක්ෂේත්‍රයේ නම් හරහා නම් නොවේ.

ඔබ කලා ක්ෂේත්‍රයට සම්බන්ධවුණේ කොහොමද ඇසුවොත් ?
‘‘
මම ශ්‍රී ලාංකීය වේදිකාවට පිවිසුණේ 1987 වර්ෂයේදි පමණ.මේ සඳහා මට නුගේගොඩ අනුලා විද්‍යාලය විශාල බලපෑමක් කළා. ඒ නිසා තමයි මම මුල්ම වතාවට ජයලාල් රෝහණගේ ලෝකා නාට්‍යයට සම්බන්ධ වෙන්නේ.ඒත් මට එම නාට්‍යය වෙනුවෙන් යෞවන සම්මාන උළෙලේදී හොඳම සහාය නිළියට හිමි සම්මානය පවා හිමිවුණා.එයින් මම වේදිකා නාට්‍ය කලාවට පිවිසීමට හොඳ පන්නරයක් ලැබුවා. ඉන්පස්සේ තමයි මම පරාක්‍රම නිරිඇල්ලගේ උත්තමාවී, ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ වර්ණ සහ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මහාසාර, එලොව ගිහින් මෙලොව ආවා සහ කපුවා කපෝති ආදී වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ.“



වත්මන් වේදිකාව ගැන මොකද හිතන්නේ ?

විශාල ප්‍රබෝධයක් තිබෙනවා. මේක හොඳ ප්‍රවණතාවයක්.ඒත් මීට කලින් තිබුණේ හවසට පන්සලට ගිහින් බණවත් අහන්නේ නැති යුගයක්.ඒත් අද රඟහලට ගියාම වාහනය පාක් කරන්නවත් ඉඩක් නැහැ. ප්‍රේක්ෂකාගාරය ඒ තරමට ඉතිරී ගිහිල්ලා. ඒ නිසා මට හැම නාට්‍යයකම නාට්‍යාවසානයේදී ඇඬනවා.ඒ මට අහිමි වෙච්ච වේදිකාව ගැන හිතිලා. මගේ මුල් කාලීන වේදිකා නාට්‍ය ජීවිතය ගැන හිතිලා.අනික අද ඇතැම් වේදිකා නාට්‍ය නැවත නිෂ්පාදනය වෙනවා. මේක සුබවාදී ලකුණක්. ඒ වගේම තරැණයන් අතින් නිරන්තරයෙන්ම අලුත් වේදිකා නාට්‍ය ද නිෂ්පාදනය වෙනවා.ඒත් ඒ අතරම ජනප්‍රිය රුල්ලේ වේදිකා නාට්‍ය නොඑනවාම නෙමෙයි.ඒත් සමස්තයක් ලෙස ගත්තම වත්මන් වේදිකාව ගුණාත්මක මට්ටමින් උසස්.

කෙසේ වෙතත් තාරැණ්‍යයෙන් නිර්මාණය වන වේදිකා නාට්‍යවලට අද විචාර ඉදිරිපත් වෙන්නේ නැති තරම් ? 

ඒක නම් මටත් ප්‍රශ්නයක්.මොකද අද සමබර විචාර කලාව කියලා දෙයක් නැති තරම්.අනික පවතින විචාර කලාවෙන් කෙරෙන්නේත් කුණු ගොඩවල් විවේචනය කිරීම පමණයි. මේ නිසා තරැණයන්ගේ නිර්මාණ ඇගයෙන්න ඕනේ. එතකොටයි ඔවුන් දිරිමත් වෙන්නේ.නැතුව ප්‍රවීණ විචාරකයන් පැරණි නිර්මාණ ගැන පමණක්ම පම්පෝරි ගැසීම වැරදියි. ඒක පැහැදිලි කුහකකමක්.

අද තරැණ නිවේදක නිවේදිකාවන්ට එල්ල වන බරපතල චෝදනාවක් තමයි භාෂාව මැරීම ?

ඒ චෝදනාව මමත් කරනවා. හැබැයි මම තරැණ පරම්පරාවට දොස් කියන්නේ නැහැ. ඒත් මම මේ ඛේදවාචකය ගැන හරියට කම්පා වෙනවා.

ඔබ තරැණයන් දොස් කියන්නේ නැහැ කියලත් කියනවා. ඒ වගේම මේ ගැන කම්පාවෙනවා කියලාත් කියනවා.ඒත් මේ අදහස් තරමක් පරස්පරයි ?

තරැණ කාලේ හැමෝම කැමැති හොඳට අඳින්න පළඳින්නයි. කැපිලා පෙනෙන්නයි.මාධ්‍යය ඉදිරියේ පෙනී සිටින්නයි. ඒ නිසා තමයි යම් යම් පුද්ගලයින් මේවායින් අයුතු ප්‍රයෝජන ගන්නේ.ඔවුන් දන්නවා තරැණයන් මේ හරහා ඕනෑම දෙයකට පොළඹවාගන්න පුළුවන් කියලා. ඒ නිසා ඔවුන් තරැණයන්ව ශාරිරිකවත් සූරාකනවා.ඒ නිසා මම මේ සම්බන්ධයෙන් කෙලින්ම ඇඟිල්ල දිගු කරන්නේ නාලිකා ප්‍රධානීන්නටයි. ඔවුන් තමයි තමන්ගේ විසූකදස්සනයන් වෙනුවෙන් තරැණයන්ව බිල්ලට දෙන්නේ. ඒත් ජාතික මාධ්‍ය කටයුතු කරන්නේ වගකීමක් ඇතුවයි. ඔවුන් මෙවැනි දේ සිදුකරන්නේ නැහැ. අනික ඔවුන් ප්‍රමිතියක් ඇතුවයි කටයුතු කරන්නේ.ඒ නිසා සියලුම නාලිකා ප්‍රධානීන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් යළි සළකා බලන්න කියලා මම යෝජනා කරනවා. ඒ වගේම නිවේදකයා පටන් ඉන් පහළ ස්ථරය දක්වා සියලු අංශ ආවරණ වන පරිදි රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් කරන ලෙසත් මම ඉල්ලා සිටිනවා. මොකද මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වුණොත් නිවේදිකාවන්ව විලාසිනියන් ලෙස හැඳින්වීම කිසිසේත්ම වළක්වන්න අපට බැහැ.

ඒත් සමහරැ කියන්නේ තරැණයන් ඉල්ලන දේ තමයි මාධ්‍යෙයෙන් දෙන්නේ කියලායි ?

නැහැ. ඒක මම පිළිගන්න නැහැ. මොකද තරැණයන්ගේ රසවින්දනය බාල වෙලා නැහැ. ඔවුන්ට හොඳ රසිකත්වයක් තියෙනවා.ඒන නිවැරදිව සමීක්ෂණයක් කළොත් තේරැම් ගන්න පුළුවන්. ඒ නිසා මේ දෙන්නේ අරමුණක් නැතිව පාවෙන ජීවිතවලට කන්න ටිකක් විතරයි. ඒත් ඇතැම් නාලිකා ප්‍රධානීන් මෙය හඳුනාගෙන නැහැ.ඔවුන් හිතන්නේ වත්මන් තරැණයා කියන්නේ කන් දෙකේ වයර් දෙකක් ගහගෙන සින්දු අහන කෙනාට කියලයි.අන්න ඒකයි ප්‍රශ්නේ.
  

No comments:

Post a Comment