Sunday, July 7, 2013

ධවල භීෂණ - GO Magazine (2012/09/19)



ධනය සහ බලය හමුවේ පරිපීඩිත වූ අසරණයින්ගෙන් කොටසක්

ධවල භීෂණ

මාලන් විදානපතිරණ

ප්‍රවීණ නාට්‍යවේදීයෙකු වන ධර්මසිරි බණ්ඩාරනායක විසින් යළි නිෂ්පාදනය කරන ලද (අධ්‍යක්ෂණය කරන ලද) වේදිකා නාට්‍යයක් ලෙස ධවල භීෂණ හැඳින්විය හැකිය. මේ වසරේදී නවක ශිල්පීන්ට ප්‍රමුඛතාවය දෙමින් නිපැයුණු ධවල භීෂණ නව නිෂ්පාදනය අපට නැරඹීමට හැකිවූයේ පසුගිය සතියේදීය. ඒ ලුම්බිණි රඟහලේදීය.
අස්තිත්වවාදී දාර්ශනියකු,දේශපාලඥයකු,සාහිත්‍යධරයකු, තිර පිටපත් රචකයකු මෙන්ම නාට්‍ය රචකයකු ද වන ප්‍රංශ ජාතික ජෝන් පෝල් සාත්‍රෙගේ කතා වස්තුවක් වන මෙය ප්‍රංශ ආණ්ඩුවට විරැද්ධව පෙළගැසෙන කැරලිකරැවන් පිරිසක් වටා ගෙතෙන දුක්ඛාන්තයක් (Tragedy) සේ හැඳින්වීම වඩාත් නිවැරදිය.
ලුම්බිණියේ තුන්වැනි සීනුව නාද විණ. තිරය ටිකෙන් ටික විවර වන්නට විණ.ඒ සමගම අත්අඩංගුවට පත් වූ සිරකරැවන් පස්දෙනෙක් ප්‍රේක්ෂකාගාරය හමුවේ පෙනී සිටියහ. ඔවුන්ව හංවඩු ගසා තිබුණේ ආණ්ඩුවට විරැද්ධව කැරලි ගසන රාජ්‍ය විරෝධී කැරලිකරැවන් වශයෙනි.එනිසා අවසන ඔවුන්ට දරැණු වධකාගාර උරැම වෙයි. ඒ අතරින් ප්‍රන්සුවා නම් ලාබාල තරැණයෙකු එහාට වේදිකාවේ මෙහාට යමින් සිටියේය.පැසුණු පුද්ගලයකු වූ කැනෝරි පසෙක වාඩිගෙන සිටියේය.ඔහු තරමක් නිහඬ චරිතයකි. සෝබියර් නම් තවත් තරැණයෙකු ද මේ අතරම විය. ඔහු අසුරැ සැණින් කෝපවන සුළුය. ඒ අතරම  එක් අයෙකු පැත්තකට වී නිදා සිටි අතර ඔහු හෙන්රිය. ලුසී මේ අතර සිටින එකම කාන්තා නියෝජනයයි. ඇය මෙම ප්‍රංශ විප්ලවයේ කාන්තාවට හිමිතැන නිරෑපණය කරන්නීය.එහෙත් විප්ලවයේ නායකයා තවමත් හසු වී නොමැත. එනිසා නාට්‍යෙය් පළමු අංකය වන විට මෙම විප්ලවයේ නායකයා හසු වී නොමැති බැවින් සිරකරැවන් අතර ඔහු පිළිබඳ විවිධ මතවාද ගොඩනැගෙන අතර ප්‍රන්සුවාගේ චරිතය එහිදී වඩාත් ඉස්මතු වන්නේය. ඒ ඔහු තම නායකයාට දිගින් දිගටම වෛර කිරීමට පෙළඹීම නිසාවෙනි. එමෙන්ම සිරකරැවන් අතර සිටිනා ලාබාලම පුද්ගලයා ඔහු වීම නිසාය. එනිසා තවමත් දහසය හැවිරිදි වියේ පසුවන ප්‍රන්සුවාගේ අභිප්‍රාය වී මෙයින් කෙසේ හෝ එළියට පැන ගැනීම බව ඔහු ප්‍රසිද්ධියේ පවසයි. එමෙන්ම ඔහු ඒ සඳහා තම නායකයා වුව ද පාවාදීමට සූදානම් බව දිගින් දිගටම පවසයි. ඒ ප්‍රංශ හමුදා නිලධාරීන් විසින් තම සහෝදර සහෝදරියන්ට පමුණුවන වධ හිංසා දැක එයින් වික්ෂිප්තභාවයට පත්ව ඇති බැවිනි.ප්‍රන්සුවා නාට්‍යයේ කේන්ද්‍රගත චරිතයක් වන්නේ මෙවන් වටපිටාවක් තුළය.එහිදී අදූරදර්ශී නායකත්වයන් හමුවේ අන්ධව කටයුතු කරනා තාරැණ්‍යය පිළිබඳ ඉතා සියුම් විවරණයක යෙදෙන සාත්‍රේ,සමාජය තුළින් එවන් සමාජ කණ්ඩායම් සඳහා උරැම වන ස්ථානය පිළිබඳව ද වක්‍රෝක්තියෙන් පවසන්නේය.  
ෂෝන් හෙවත් ඔවුන්ගේ නායකයා වැරදීමකින් සිරභාරයට පත්වන්නේ මේ අතරතුරදීය. නාට්‍යය තුළ දේශපාලනික,සමාජයීය සහ සංස්කෘතික අර්බුදයන් පිළිබඳ ඉතා ගැඹුරින් සාකච්ඡා වන්නේ මෙහිදීයි. එමෙන්ම ෂෝන් වැනි නායකයන් සහ ඔවුන් හා සබැඳි පෙම් සබඳතා පිළිබඳ විමර්ශනය වන්නේ ද මේ මොහොතේදීය. එහෙත් එම සංකීර්ණ පෙම් සබඳතා සඳහා යම් ඉඩක් තබනා  නාට්‍යකරැවා සෝබියට් දෙවැනි වරටත් දරැණූ වධහිංසාවට ලක්වන අයුරැ වේදිකාව තුළ චිත්‍රණය කරන අතර ඔහුගෙන් නායකයා පිළිබඳ යළි යළිත් ප්‍රශ්න කරන අයුරැ ද නිරෑපණය කරයි. එහෙත් මෙවර ඔහු පිළිතුරක් නොදුනහොත් එය මරණාසන්න වධහිංසාවන්ට පැමිණවෙන තරමට සෝබියට්ගේ ගෙලට තොණ්ඩුව වැටේ. ඔහු සිදුකරන්නේ කුමක්ද ? ඔහු තම සගයන් පාවා දෙයිද ? නාට්‍යකරැවා විසින් සෝබියර් චරිතය හමාර කරන්නේ එලෙසයි.
නාට්‍යයේ කැනෝරිගේ චරිතය ද අපූරැය. ඔහු සිතන්නේ ප්‍රශ්න කිරීමට වඩා මෙවන් වධකාගාරයක වුව නිදහසේ සිතන්නට ලැබීම විප්ලවය ඉදිරියට ගෙන යාමට මහත් පිටිවහලක් වන බවකි. සෙස්සන්ට ඔහු පවසන්නේ ද එයයි.මන්ද ඔහු මීට පෙර ද සිර භාරයට පත් වූවකු බැවිනි.එනිසා අත්දැකීම් බහුල ඔහු සෙස්සන්ට උවදෙස් දෙන්නේ නිහඬව දඬුවමට මුහුණ දීම මගින් සටන ඉදිරියට ගෙන යා හැකිය කියාය.මෙය ප්‍රන්සුවා හැර අනෙකුන් සියල්ලෝම පිළිගන්නා අතර ඒ පිළීවෙළටම කටයුතු කිරීමට ද ප්‍රතිඥා දෙන්නේය.
විප්ලවයේදී වැඩි බරක් උසුලන තරැණ ප්‍රජාව අතරින් උගත් කණ්ඩායම නියෝජනය කරන්නේ හෙන්රි විසිනි. ඔහු වෛද්‍ය ශිෂ්‍යයකි.එමෙන්ම කුරිරැ ප්‍රංශ හමුදාවන් විසින් පණ පිටින් පුළුස්සන තරැණ තරැණියන් දැක දැකම අභීතව විප්ලවයට සම්බන්ධ වන තරැණයෙකි.එනිසා ඔහු පිළිබඳව ඇතැම් හමුදා නිලධාරීන්ට තිබෙන්නේ දැඩි වෛරයකි. දැඩි ඊර්ෂ්‍යාවකි. විවිධ සාධාරණ හේතු හේතුවෙන් වැඩිදුර අධ්‍යාපනය ලබාගත නොහැකි වූ ඔවුන්, එවන් සිසුන් පිළිබඳ කතා කරන්නේ දැඩි පිළිකුළෙනි.ප්‍රංශ හමුදාවේ සුළු සේවකයකු වන ක්ලෝවේ සහ හෙන්රි අතර ගැටුම නාට්‍යයේ තීව්‍ර අවස්ථාවක් වන්නේ එබැවිනි.
මෙම අවස්ථාවේදී සමාජ හර පද්ධතියේ දක්නට ලැබෙන විෂමතාවය සහ ඒ හමුවේ අතරමං වන පොදු මහ ජනතාව පිළිබඳ යළි යළීත් ප්‍රශ්න කරන සාත්‍රේ,අපගේ ප්‍රේක්ෂාවට බඳුන් කරන්නේ අප සැබැවින්ම වෛර කළ යුත්තේ කාට ද යන්නයි.
එමෙන්ම මෙහි ඉතා කෙටි කාලයක් සඳහා ගොනුවන ෂෝන්ගේ චරිතය පිළිබඳව තවත් යමක් කිව යුතුය.ඔහු විප්ලවවාදී නායකයෙකි. අභීතව සටන් කිරීම වෙනුවට සැඟවී සිට සටන් කිරිමේ තෝරා ගැනීමට පෙළඹෙන මෙම නායකයාගේ සියලු සැලසුම් ක්‍රියාත්මක වන්නේ හොර රහසේය.ඔහු සිර භාරයට පැමිණුන ද එයින් නිදහස් වන්නේ කිසිවකුට ඔහුව හඳුනාගත නොහැකි වූ බැවිනි. එනිසා ඔහු නිදහස ලබයි.එහෙත් ඔහු නිදහස ලබන්නේ තමන් යළීත් වරක් සංවිධානගත වන බවට සගයන්ට පොරොන්දු වෙමිනි. එහෙත් එය සිදුවුණි ද ? සිදුවේවි ද ? ඔහු ප්‍රේක්ෂකාගාරය හමුවේ විමසා සිටින්නේ එයයි. එමෙන්ම ඒ පිළිතුර හරහා ප්‍රේක්ෂකයාගේ මනැස වෙනස් මානයකට යොමුකරන ඔහු,ධනවාදී සෙවණැල්ලට යට වූ නූතන සමාජයෙන් යළිත් විප්ලවයක් බලාපොරොත්තු විය හැකිදැයි අවසන ප්‍රශ්න කර සිටින්නේය.
මෙහි එන මෙහි එන එකම කාන්තා නියෝජනය වන ලුසී පිළිබඳව ද යමක් කිව යුතුමය.මන්ද ඈ තමන් ඇතුළු සහෝදරයන්ගේ විප්ලවය පාවා දීමට යන ඇගේම මල්ලී වන ප්‍රන්සුවා හෙන්රි විසින් මරන තුරැ බලා සිටිනා චරිතයකි. ඈ ඉතා අකමැත්තෙන් වුව ද ඊට ඉඩ දෙන්නීය.එහෙත් පරාර්ථයේ යෙදීමට පෙර තමා පෝෂ්‍යව සිටිය යුතු බව සිතනා ප්‍රන්සුවා මරණයට පත් කිරීම සාධාරණ ද ? පවතින ධනවාදී සමාජය හරහා ඔහු තමාගේ සුබසෙත උදෙසා ආත්මාර්ථකාමී වීම අසාධාරණ ද ? පරාර්ථය උදෙසා ඉදිරියටම ගිය සහෝදර සහෝදරියන්ට මරණය උරැම වූයේ මන්ද ? සාත්‍රෙ අප හමුවේ තබනා වඩාත් සංකීර්ණ ප්‍රශ්න එයයි.උපකාරක පද නොමැති ප්‍රහේලිකාව ද එයයි. එහෙත් අපි ඊට නිසි පිළිතුරැ සොයාගෙන ඇත් ද ? එය එසේ නම් ධවල භීෂණ නාට්‍යය එදාට මෙන්ම අදට ද වලංගු වන්නේ ද එබැවිනි. එනිසා ඇතැම් විට සාත්‍රේගේ Men Without Shadows නාට්‍යය මේ පිළිබඳව හෙට ද අපගෙන් ප්‍රශ්න කරනු ඇත්තේ ද මෙම ප්‍රහේළිකාව නිසාවෙනි.
එනිසා පොදුවේ ගත් කළ සාත්‍රෙ විසින් නිරෑපණය කිරීමට උත්සාහ දරා ඇත්තේ අන් කිසිවක් නොව ධනය, බලය හමුවේ පරාජයට පත්වන විප්ලවයන් සහ එහි භෂ්මාවශේෂයන්ගෙන් එක් පැතිකඩක් බව මින් පැහැදිලිය. එමෙන්ම නාට්‍යයේ අවසන පත්තු වන වෙඩි මුර ත්‍රිත්වය හරහා එය වඩාත් තහවුරැ වේ.   
කෙසේ වෙතත් සිරිල් සී පෙරේරාගේ පරිවර්තනය පාදක කර ගනිමින් නිමැවුණු ධවල භීෂණ වේදිකා නාට්‍යයේ පළමු නිෂ්පාදනය පිළිබඳව ද මෙහිලා සටහනක් තැබීම වටී.
1988 වසරේ සැප්තැම්බර් මස 27 සහ 27 යන දෙදින පළමු වරට වේදිකාගත කෙරැණු ධවල භීෂණ වේදිකා නාට්‍යයට වේදිකාව සැපයූවේ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවයි. කෙසේ වෙතත් එකල පැවැති භීෂණ සමය හේතුවෙන් මෙහි සියලු දර්ශන වාර අත්හිටුවීමට එකල රජයන් කටයුතු කළ අතර එය යළිත් වේදිකාගත වූයේ 1991 වසරේය. එතැන් සිට 2002 වසර දක්වා දර්ශන වාර 900කට ආසන්න ප්‍රමාණයක් වේදිකාගත කළ මෙම  වේදිකා නාට්‍යය 1990 වසරේ පැවැති රාජ්‍ය නාට්‍ය උළෙලේදී වසරේ හොඳම නාට්‍ය අධ්‍යක්ෂණය, වසරේ හොඳම නිළිය,වසරේ හොඳම සහාය නළුවා,හොඳම වේදිකා නිර්මාණය,හොඳම වේදිකා ආලෝක නිර්මාණය,හොඳම වේදිකා පරිපාලනය ඇතුළුව සම්මාන නවයක් දිනා ගැනීමට සමත් වූවකි.(මෙහි සංගීත නිර්මාණ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගෙනි.)

No comments:

Post a Comment