Sunday, July 7, 2013

ධවල භීෂණ පිළිබඳ විමසුමක් 2012/09/19



ධනවාදී සමාජයක් හමුවේ පරිපීඩිත අසරණයින්ගෙන් කොටසක්

ධවල භීෂණ

මාලන් විදානපතිරණ

අස්තිත්වවාදී දාර්ශනියකු,දේශපාලඥයකු,සාහිත්‍යධරයකු, තිර පිටපත් රචකයකු මෙන්ම නාට්‍ය රචකයකු ද වන ප්‍රංශ ජාතික ජෝන් පෝල් සාත්‍රෙගේ කතා වස්තුවක් වන Men Without Shadows ඇසුරින් ධර්මසිරි බණ්ඩාරනායක විසින් නිෂ්පාදනය කරන ලද ධවල භීෂණ, දෙවැනි ලෝක යුද සමයේදී ප්‍රංශ සොල්දාදුවන්ට අසූ වූ කැරලිකරැවන් පිරිසක් වටා ගෙතෙනා ශෝකාන්තයකි (Tragedy). 1940 වසරේදී ප්‍රංශ හමුදා අත්අඩංගුවට පත්ව මාස නවයක් සිර බත් කෑ සාත්‍රේගේ අත්දැකීමක් ඇසුරින් ලියැවුණූ මෙම නාට්‍යය, අප පළමු වර දුටුවේ ලුම්බිණියේදීය.

එහි පළමු අංකය ආරම්භ වන්නේ ප්‍රේක්ෂකයාගේ කුකුස දනවන සිරකරැවන් පස්දෙනෙකුගේ දසුනකිනි. ඔවුහු පවතින බල ඒකාධිකාරයට එරෙහිව කැරලි ගැසුවෝ වෙති. රාජ්‍ය විරෝධී කැරලිකරැවන් වෙති.රජය විසින් ඔවුන් අත්අඩංගුවට පත්ක ඇත්තේ මෙම නිර්ණායකය මතය. එනිසා අවසන ඔවුන්ට දරැණු වධකාගාර උරැම වෙයි. මේ අතරින් ප්‍රන්සුවා තරමක් කැළඹිලි ස්වභාවයක් ගත් චරිතයකි.ඒ ඔහු මෙම පිරිසෙහි ලාබාලයා වූ නිසාවෙනි.  පැසුණු බුද්ධියකින් යුතු වූ කැනෝරි පසෙක වාඩි වී සිටී. එහෙත් ඔහු තරමක් නිහඬ චරිතයකි. සෝබියර් නම් තවත් තරැණයෙකු ද මේ අතරම වෙයි. ඔහු අසුරැ සැණින් කෝපවන සුළුය. ඒ අතරම  තවත් අයෙකු පැත්තකට වී නිදා සිටින්නේ කළ යුතු යමක් පිළිබද සිතා ගැනීමටවත් නොහැකිවය. ඔහු හෙන්රිය. ලුසී මේ අතර සිටින එකම කාන්තා නියෝජනයයි. ඇය මෙම ප්‍රංශ විප්ලවයේ කාන්තාවට හිමිතැන නිරෑපණය කරන්නීය. එහෙත් විප්ලවයේ නායකයා තවමත් හසු වී නොමැත. එනිසා සිරකරැවන් අතර ඔහු පිළිබඳ විවිධ මතවාද ගොඩනැගේ.එහෙත් එය වඩාත්ම ඉස්මතු වන්නේ ප්‍රන්සුවාගේ චරිතය හරහාය. ඔහු තම නායකයාට දිගින් දිගටම වෛර කරයි.විමුක්තිය උදාකර ගත නොහැකි බව දැන සිටියා නම් තමා මීට එක් නොවන බව ද පවසයි.එනිසා දහසය හැවිරිදි ප්‍රන්සුවාගේ එකම අභිප්‍රාය වී මෙයින් කෙසේ හෝ එළියට පැන ගැනීමයි. එබැවින් එය ඔහු ප්‍රසිද්ධියේ පවසයි. එමෙන්ම ඔහු ඒ සඳහා තම නායකයා වුව ද පාවාදීමට සූදානම් බව දිගින් දිගටම පවසයි. ඒ ප්‍රංශ හමුදා නිලධාරීන් විසින් තම සහෝදර සහෝදරියන්ට පමුණුවන වධ හිංසා දැක එයින් වික්ෂිප්තභාවයට පත්ව ඇති බැවිනි.ප්‍රන්සුවා නාට්‍යයේ කේන්ද්‍රගත චරිතයක් වන්නේ මෙවන් වටපිටාවක් තුළය.එහිදී අදූරදර්ශී නායකත්වයන් හමුවේ අන්ධව කටයුතු කරනා තාරැණ්‍යය පිළිබඳ ඉතා සියුම් විවරණයක යෙදෙන සාත්‍රේ,පවතින සමාජය හරහා එවන් සමාජ කණ්ඩායම්වලට හිමි තැන පිළිබඳව ද එනයින් ප්‍රශ්න කරන්නේය.  

ෂෝන් හෙවත් ඔවුන්ගේ නායකයා වැරදීමකින් සිරභාරයට පත්වන්නේ මේ අතරතුරදීය. නාට්‍යය තුළ දේශපාලනික,සමාජයීය සහ සංස්කෘතික අර්බුදයන් පිළිබඳ ඉතා ගැඹුරින් සාකච්ඡා වන්නේ ද මෙහිදීයි. එමෙන්ම ෂෝන් වැනි නායකයන් සහ ඔවුන් හා සබැඳි පෙම් සබඳතා ද සංවාදයට බදුන් වන්නේ මෙතැනදියි. එහෙත් නාට්‍යකරැවා එම සංකීර්ණ පෙම් සබඳතා වෙත නිසි පිළිතුරක් ලබා නොදෙන්නේ, එය ප්‍රේක්ෂාවට බදුන් කරමිනි.

මේ අතර සොල්දාදුවන් විසින් සෝබියර් දෙවැනි වරටත් දරැණූ වධහිංසාවට ලක් කරයි. ඔහුගෙන් නායකයා පිළිබඳ යළි යළිත් ප්‍රශ්න කරයි. එහෙත් මෙවර ඔහු, සොල්දාදුවන් හමුවේ වඩාත් අසරණ වන්නේය.එනිසා ඔහු සිදුකරන්නේ කුමක්ද ? ඔහු තම සගයන් පාවා දෙයිද ? සෝබියර් චරිතයට අනපේක්ෂිත නිමාවක් සලකුණු වන්නේ එලෙසිනි. ඒ ඔහු පිළිබද ප්‍රේක්ෂකයා මවාගෙන සිටි චිත්‍රණය සම්පූර්ණයෙන්ම වෙනස් කරමිනි. ප්‍රේක්ෂකයාගේ ජුගුප්සාව තව තවත් වර්ධනය කරමිනි.

ධවල භීෂණ නාට්‍යයේ එන කැනෝරිගේ චරිතය ද අපූරැය. ඔහු සිතන්නේ ප්‍රශ්න කිරීමට වඩා මෙවන් වධකාගාරයක වුව නිදහසේ සිතන්නට ලැබීම විප්ලවය ඉදිරියට ගෙන යාමට මහත් පිටිවහලක් වන බවකි. සෙස්සන්ට ඔහු පවසන්නේ ද එයයි. මන්ද ඔහු මීට පෙර ද සිර භාරයට පත් වූවකු බැවිනි.එනිසා අත්දැකීම් බහුල ඔහු සෙස්සන්ට උවදෙස් දෙන්නේ නිහඬව දඬුවමට මුහුණ දීම මගින් සටන ඉදිරියට ගෙන යා හැකිය කියාය.මෙය ප්‍රන්සුවා හැර අනෙකුන් සියල්ලෝම පිළිගන්නා අතර ඒ පිළීවෙළටම කටයුතු කිරීමට ද ප්‍රතිඥා දෙන්නේය.
සිර කණ්ඩායමේ සිටිනා හෙන්රි, උගත් තරැණ ප්‍රජාව නියෝජනය කරන්නෙකි. එනම් ඔහු වෛද්‍ය ශිෂ්‍යයකි. එමෙන්ම කුරිරැ ප්‍රංශ හමුදාවන් විසින් පණ පිටින් පුළුස්සන තරැණ තරැණියන් දැක දැකම අභීතව විප්ලවයට සම්බන්ධ වන තරැණයෙකි. එනිසා ඔහු පිළිබඳව ඇතැම් හමුදා නිලධාරීන්ට තිබෙන්නේ දැඩි වෛරයකි. දැඩි ඊර්ෂ්‍යාවකි. විශේෂයෙන්ම වැඩිදුර අධ්‍යාපනය ලබාගත නොහැකි වූ තරැණයන් තුළ, එවන් සිසුන් පිළිබඳ තිබෙනා දැඩි පිළිකුළ අපූරැවට නිරෑපණය කරනා සාත්‍රේ,තම දෘෂ්ටි කෝණය හරහා දෙපාර්ශවයම සාධාරණීකරණය කිරීමට දැඩි ප්‍රයත්නයක යෙදී ඇති බැව් නාට්‍යය පිළිබඳ විමර්ශනය කරන්නෙකුට පෙනී යයි. විශේෂයෙන්ම ප්‍රංශ හමුදාවේ සුළු සේවකයකු වන ක්ලෝවේ සහ හෙන්රි අතර ඇති වන ගැටුම එය මනාව පිළිබිඹු කරනා බැව් දක්වාලීම වටී.

මන්ද සමාජ හර පද්ධතියේ දක්නට ලැබෙන විෂමතාවය සහ ඒ හමුවේ අතරමං වන පොදු මහ ජනතාව පිළිබඳ විමසෙන එම ගැටුම හරහා සාත්‍රේ අප පොළඹවන්නේ සැබැවින්ම වෛර කළ යුත්තේ කාට ද යන්න බැවිනි.

එමෙන්ම මෙහි ඉතා කෙටි කාලයක් සඳහා ගොනුවන ෂෝන්ගේ චරිතය පිළිබඳව ද යමක් කිව යුතුය. ශ්‍රී ලාංකීය නිෂ්පාදනයේදී අසාර්ථක තෝරා ගැනීමකැයි පැවසීමට සිදුවන මේ චරිතය, අභීතව සටන් කිරීම වෙනුවට සැඟවී සිට සටන් කිරිම තෝරා ගත් විප්ලවවාදී නායකයකු නිරෑපණය කරයි. නායකයාගේ සියලු සැලසුම් ක්‍රියාත්මක වන්නේ හොර රහසේය. ඔහු සිර භාරයට පැමිණුන ද එයින් නිදහස් වන්නේ ද එබැවිනි. එනිසා ඔහු නොබෝ දිනකින් නිදහස ලබයි. ඒ යළිත් වරක් සංවිධානගත වන බවට සගයන්ට පොරොන්දු වෙමිනි. එහෙත් එය සිදුවුණි ද ? සිදුවේවි ද ? ඔහු සොල්දාදුවන් අතරින් රිංගා ගියේ කවරාකාරයෙන්ද ? ඊට යොදාගත් උපක්‍රම කවරේද ? ඒවා සාධාරණද ? නාට්‍යකරැවා නැවත වතාවක් ප්‍රේක්ෂකාගාරය අවදි කරවන්නේ එලෙසිනි. එය ඉතා කටෝර භාව ප්‍රකාශනයකි. ඉදිරිපත් කර ඇති ආකාරය ද සංකීර්ණය. මන්ද නාට්‍යකරැවාගේ ආකල්පය වී ඇත්තේ සංකීර්ණ සමාජයක් තුළින් මෙවන් ගැටලු උදෙසා සරල පිළිතුරැ සොයාගත නොහැකි බවයි.ස්වාභාවික රංග රීතියෙන් තම ප්‍රකාශනය අරඹන සාත්‍රෙ, ඉතා උපක්‍රමශීලිව එය නව යථාර්ථවාදී රංග රීතියක් වෙත ප්‍රේක්ෂකයාගේ මනැස විතැන් කරන්නේ ද එබැවිනි. එමෙන්ම සාත්‍රේ විසින් අවසානයේදී ධනවාදී සෙවණැල්ලට යට වූ නූතන සමාජයෙන් යළිත් විප්ලවයක් බලාපොරොත්තු විය හැකිදැයි විමසන්නේ ද එබැවිනි.සැබැවින්ම කියතොත් Men Without Shadows නාට්‍යයේ සර්වකාලීන ගුණයට හේතුවන්නේ ද මෙයයි.

කෙසේ වෙතත් මෙහි එන එකම කාන්තා නියෝජනය වන ලුසී පිළිබඳව ද යමක් කිව යුතුමය.ඒ ඇය, ඇගේ මල්ලී වන ප්‍රන්සුවා මැරෙන තුරැ ඔහේ බලා සිටිනා චරිතයක් බැවිනි.එමෙන්ම සහෝදර ප්‍රේමයට වඩා විප්ලවීය ජයග්‍රහණය උතුම් යැයි ඇදහූ චරිතයක් බැවිනි.එහෙත් ප්‍රන්සුවා මිය යාමට පෙර ඇගේ අක්කාගෙන් අසන ප්‍රශ්න කිහිපයක් තිබේ.ඒ පරාර්ථයේ යෙදීමට පෙර තමා පෝෂ්‍යව සිටිය යුතු නොවේද ?, පවතින ධනවාදී සමාජය හරහා ඔහු තමාගේ සුබසෙත උදෙසා ආත්මාර්ථකාමී වීම අසාධාරණ ද ? අධ්‍යතන ලෝකය හමුවේ සාත්‍රෙ අපෙන් අසන්නේ ද එයයි.එනම් ප්‍රන්සුවා මරා විමුක්තිය උදා කිරීමට පැතූ සහෝදර සහෝදරියන්ටත් මරණය උරැම වූයේ මන්ද ? යන්න නාට්‍යකරැ ඉතා සූක්ෂමව අප හමුවේ තබන්නේය.එය එසේ නම් උපකාරක පද නොමැති ප්‍රහේලිකාවක් බඳු ජීවිතය විවරණය කරනා ධවල භීෂණ නාට්‍යය එදාට මෙන්ම අදට ද වලංගු වන්නේ ද එබැවිනි. 

එනිසා ඇතැම් විට සාත්‍රෙ පිළිබඳ හෙට ද සංවාදයකට බඳුන් වනු ඇත. එමෙන්ම ධනය, බලය හමුවේ පරාජයට පත්වන විප්ලවයන්ගෙන් කොටසක් ලෙස මෙය හෙට ද වේදිකාගත වනු ඇත. නාට්‍යයේ අවසන පත්තු වන වෙඩි මුර ත්‍රිත්වය අපට කියාපාන්නේ ද එයයි.  
(කෙසේ වෙතත් සිරිල් සී පෙරේරාගේ පරිවර්තනය පාදක කර ගනිමින් නිමැවුණු ධවල භීෂණ වේදිකා නාට්‍යයේ පළමු නිෂ්පාදනය පිළිබඳව ද මෙහිලා සටහනක් තැබීම වටී.1988 වසරේ සැප්තැම්බර් මස 27 සහ 27 යන දෙදින පළමු වරට වේදිකාගත කෙරැණු ධවල භීෂණ වේදිකා නාට්‍යයට වේදිකාව සැපයූවේ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවයි. කෙසේ වෙතත් එකල පැවැති භීෂණ සමය හේතුවෙන් මෙහි සියලු දර්ශන වාර අත්හිටුවීමට එකල රජයන් කටයුතු කළ අතර එය යළිත් වේදිකාගත වූයේ 1991 වසරේය. එතැන් සිට 2002 වසර දක්වා දර්ශන වාර 900කට ආසන්න ප්‍රමාණයක් වේදිකාගත කළ මෙම  වේදිකා නාට්‍යය 1990 වසරේ පැවැති රාජ්‍ය නාට්‍ය උළෙලේදී වසරේ හොඳම නාට්‍ය අධ්‍යක්ෂණය, වසරේ හොඳම නිළිය,වසරේ හොඳම සහාය නළුවා,හොඳම වේදිකා නිර්මාණය,හොඳම වේදිකා ආලෝක නිර්මාණය,හොඳම වේදිකා පරිපාලනය ඇතුළුව සම්මාන නවයක් දිනා ගැනීමට සමත් වූවකි.මෙහි සංගීත නිර්මාණ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගෙනි.)

1 comment: