Friday, July 5, 2013

Dead Poet Society (GO Magazine) 2012/10/11



ජීවිකාව ගැන නොව ජීවිතය ගැන කියාදෙන 

Dead Poet Society  

මාලන් විදානපතිරණ

බොලිවුඩ් නළු අමීර් ඛාන් කුළුඳුළේ අධ්‍යක්ෂණය කළ තාරේ සමීන් පර් ඔබට මතකද ? පවතින අධ්‍යාපන ක්‍රමය හේතුවෙන් පීඩනයට පත්වන දරැවන්, දෙමාපියන් හා ගුරැවරැන් කේන්ද්‍ර කරගත් චිත්‍රපටයක් වන මෙය එකල බොහෝ දෙනාගේ කතාබහට ලක් වූවකි.එමෙන්ම අමීර් ඛාන් ප්‍රධාන චරිතය නිරෑපණය කළ රාජ් කුමාර් හිරානි විසින් අධ්‍යක්ෂණය කරන ලද ත්‍රී ඉඩියට්ස් චිත්‍රපටය ද එවැන්නකි. 
කෙසේ නමුත් මේ වෑයම මෙම චිත්‍රපට පිළිබඳ පුන පුනා පුනා වැමෑරීම නම් නොවේ.ඒ මෙම චිත්‍රපට පිළිබඳ මේ වන විටත් නන් අයුරින් විචාර,ලිපි පළ වී ඇති බැවිනි.එහෙත් මෙම චිත්‍රපට සඳහා පාදක වූ චිත්‍රපටය කුමක්දැයි යන්න පිළිබඳ කියවුණාදැයි සැකයකි. එහෙත් මේ සඳහා මුල් වූ චිත්‍රපටයක් අපට හමුවිය. ඒ Dead Poet Society චිත්‍රපටයයි. ත්‍රී ඉඩියට්ස් සහ තාරේ සමීන් පර් චිත්‍රපට හා මේ අතර කෙතරම් සමානකම් තිබේද යන්න පෙනෙන්නේ මේවා සංසන්දනාත්මකව බැලීමේදිය. මෙහි වෙනසකට ඇත්තේ අදාළ හින්දි චිත්‍රපට ද්විත්වය සුපුරැදු ලෙස සියල්ල සතුටින් කෙළවර වීමත්, Dead Poet Society චිත්‍රපටය ප්‍රේක්ෂකයාට යථාර්ථය අවබෝධ කර දීමත්ය.

Dead Poet Society චිත්‍රපටයේ මුල්ම විශේෂ අවස්ථාව වෛද්‍ය විද්‍යාලයේ නව ඉංග්‍රීසි ගුරැවරයා ලෙස ජෝන් කීටින් මහතා පත්වී පැමිණීමය. ඒ හිටපු ඉංග්‍රීසි ගුරැවරයා විශ්‍රාම යාම නිසාය. කෙසේ වෙතත් ඔහු සෙසු ගුරැවරයන්ට වඩා ඉතා වෙනස් පුද්ගලයෙකි. කොටින්ම කියතොත් චිත්‍රපටයේදි ඔහු පිළිබඳ විස්තර කෙරෙන්නේ මෙසේයි.

“නම                                 -      ජෝන් චාල්ස් කීටින්.
 දක්ෂතා/තනතුරැ  -      කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ පාපන්දු කණ්ඩායමේ නායක.
                      වාර්ෂික කේම්බ්‍රිජ් කලාපයේ සංස්කාරක
                                  Dead Poet Society - සාමාජික

විශේෂම ලක්ෂණය -     සිතට නැගෙන නව අදහස් නොබියව අත්හදා බැලීම“

එමෙන්ම ජෝන් කීටින්ගේ සම්ප්‍රාප්තිය ද අපූරැය. එහෙත් එය තාරේ සමීන් පර් චිත්‍රපටයේදී අමිර් ඛාන් ගීතයක් ගායනා කරමින් පැමිණීමක් නම් නොවේ. ඊට වඩා තරමක් වෙනස්ය. තාත්ත්විකය. යථාර්ථවාදීය.ඉනික්බිති ඔහු උගන්වන පළමු පාඩම ද එසේමය. චිත්‍රපටයේදී ඔහුගේ මුවින් පිටවන පළමු දෙබස් ඛණ්ඩය ද මෙය වේ.            

O’ Captain My Captain. “

“කව්ද දන්නේ මේ කවිය ලිව්වේ කව්ද කියලා ? මේ කවිය ලිව්වේ වෝල් විට්මන්. කා ගැනද ලිව්වේ ? ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් ගැනයි ලිව්වේ. සමහර විට මේ කවිය ඔබටත් කියන්න පුළුවන් වෙයි. හැබැයි ඒ මම ඔබට අභියෝගයක් වුණොත් තමයි. එහෙම නැත්නම් ඔබ මට අභියෝගයක් කළොත් තමයි“

“මේ බලන්න මේ කුසලාන දිහා. ජයග්‍රහණ දිහා. පදක්කම් දිහා. විශිෂ්ටයන්ගේ පින්තූර දිහා.ඔවුන් සහ ඔබ අතර කිසිම වෙනසක් නැහැ. එකම හැඩරැව. එකම හෙයාකට්ස්. ඒ වගේම ගලා යන්නේත් එකම හෝමෝන. මුහුණේ තිබෙන්නේ මොකක්ද ? අපරාජිත බව. ඒ මුහුණත් හරියට ඔබේ මුහුණ වගේ. ඔවුන් හිතන්නේ තමන් නිසා තමයි ලෝකේ පවතින්නේ කියලයි.“

“මේ බලන්න ඔවුන්ගේ ඇස් ? ඒවා බලාපොරොත්තුවෙන් පිරැණු ඇස්. හරියට ඔබේ වගේ. ඔවුන් හිතුවේ  ලෝකෙටම විශේෂ වූ පුද්ගලයකු වෙන්නේ කොහොමද කියලයි. ඔවුන්ගේ හඬ අපිට කියන්නේත් ඒ ගැනමයි. හොඳින් අහන්න ඒ හඬ. කන්දෙන්න ඒකට.“

චිත්‍රපටයේ එන තවත් සුවිශේෂ අවස්ථාවක්  මෙහිලා සටහන් කිරීම වටී. එනම් කවිය පිළිබඳ මහාචාර්ය ජේ. එවන් ප්‍රිචඩ් මහතා පාඩම් පොතෙහි කර ඇති විග්‍රහයයි. ඔහු මෙය චිත්‍රපටයේ ප්‍රධානතම චරිතයක් වන නීල් පෙරී සිසුවාට ලබාදෙයි. එහෙත් එම කියවීමට කීටින් මහතා අවධානය යොමු නොකරයි.ඔහු පෙරී පොත කියවන විට කළුලෑල්ලේ ප්‍රස්තාරයක් අඳියි.ඉන්පසුව එහි පසෙක සමීකරණයක් සටහන් කරයි. ඔහු එයින් අවධාරණය කළේ කවිය යන්න පිළිබඳ කිසිවකුටත් අර්ථ කථනය කළ නොහැකි බවත්, එහි අර්ථ කථනය අදාළ පුද්ගලයා අනුව වෙනස් වන බවත්ය. එනිසා ඔහු මහාචාර්යවරයාට බැණ වදින්නේ මෙය තම මහාචාර්ය පට්ටම පෙන්වීම සඳහා කළ හුදු වාක්‍ය රචනයක් පමණක් බවයි. කොටින්ම ඔහු එය නම් කරන්නේ අසූචි ලෙසය.එනිසා ඔහු අභියෝගාත්මක ක්‍රියාවකට පෙළඹේ. කෙළින්ම කියතොත් මහාචාර්යවරයා විසින් පාඩම් පොත ආරම්භයේ ඇති මෙම හැඳින්වීම ඉරා දමන ලෙස සිසුන්ට නියම කරයි.අධ්‍යාපන ක්‍රමයට එරෙහිව ඔහු තබනා පළමු පියවර එයයි.අප කළ යුත්තේ මහාචාර්යවරයාගේ මිණුම් දඬු අනුකරණය කිරීම නොව අපගේම මිණුම් දණ්ඩක් තුළින් සමස්ත ලෝකය දෙස බැලීම බව ඔහු පවසන්නේ ද එලෙසිනි.එමෙන්ම අප වචනවලින් සහ අදහස්වලින් ලෝකය වෙනස් කළ යුතු බව පවසන්නේ ද එලෙසිනි.ඉනික්බිති ඔහු සිසුන්ට රහසක් පවසයි.

“අපි ජීවන තරගයක යෙදෙන සාමාජිකයන්. ඒ නිසා අපි ඒ තරගය දිනන්න නම් කවිය හොඳින් කියවන්න දැනගෙන ඉන්න ඕනේ. කවි ලියන්න දැනගෙන ඉන්න ඕනේ.මොකද ජීවන තරගය පීරි තිබෙන්නේ විවිධත්වය මත.ඒක සමහර විට නීතිය,ඉංජිනේරැ විද්‍යාව,වෛද්‍ය විද්‍යාව හෝ ආර්ථික විද්‍යාව වෙන්නත් පුළුවන්.ඒත් කවිය ? කවියේ තියෙන්නේ ඊට වඩා වෙනස් දේවල්. මිනිස්සු තුළ ආදරය,රසය,ලස්සන,හිනාව,කුතුහලය ඇති කරන්නේ කවිය. ඒවා මිනිස්සුන්ට මැරෙනකල් ඕනේ. ඒ නිසා ඔබ කව්ද කියලා ලෝකෙට පෙන්නන්න නම් ඔබ අලුත් විදිහට හිතන්න ඕනේ.වෙන කවුරැවත්ම හිතන්නේ නැති විදිහට හිතන්න ඕනේ. කවිය තමයි ඒකට  මග පෙන්වන්නේ. කවිය තමයි අපිව අලුත් විදිහට හිතන්න පොළඹවන්නේ. ඒ නිසා ඔබ මැරෙන්න කලින් ලෝකය ඉදිරිපිට විශේෂ චරිතයක් රඟපාන්න ඕනේ.ඔබ කව්ද කියලා අනාගත පරපුරටත් පෙන්නලා දෙන්න ඕනේ. “  

එහෙත් පාසලේ සමකාලීන ගුරැවරයකු වන ආචාර්ය ජෝර්ජ් මැකැලිස්ටර් මහතා,කීටින් මහතාට මේ පිළිබඳ අනතුරැ අඟවයි.

“ඔයා ළමයින්ව කවියෝ කරන්න ගිහින් ලොකු කරදරේක වැටෙනවා,. මොකද ඒ ළමයි කවිවලට වෛර කරනවා. විශේෂයෙන්ම ඔයාටත් වෛර කරනවා. මොකද  ඒගොල්ලන්ට ඕනේ නැහැ ශේක්ස්පියර්ගේවත්,මොසාර්ට්ගේවත් කවි කියවන්න. ඒවා වැඩකුත් නැහැ.ඒ නිසා ළමයින්ව හීනවල අතරමං කරන්න එපා.තේරැණාද ? “

එමෙන්ම පාසලේ විදුහල්පතිවරයා විසින් ද කීටින් මහතාට ඉතා තදින් අවවාද කරයි.අනතුරැ අඟවයි.

“මට දැනගන්න ලැබුණා ඔයා පන්තියේදී අසාමාන්‍ය ඉගැන්වීම් ක්‍රමවේද භාවිතා කරනවා කියලා.විශේෂයෙන්ම සාහිත්‍යය පැත්තක තියෙද්දි එළිමහනේදී ව්‍යායාම කරන හැටි මම දැක්කා. මම හිතුවේ ඒක පෙළපාලියක් කියලයි.ඒත් මතක තියාගන්න මොවුන් බොහොම කැළඹිලි සහගත පුද්ගලයන් .ඒ නිසා ඔබට තියෙන වගකීම ඔවුන්ගේ විනය හැදීමයි. සම්ප්‍රදාය කියා දීමයි. සංස්කෘතිය කියා දීමයි .නැතුව එළියට ගිහින් පාඩම් කියලා දෙන එක නෙමෙයි. ඒවා ප්‍රායෝගිකව ඔප්පු කර දීම නෙමෙයි.ඒවාට මෙතැන වෙලාවක් නැහැ.අපි ඔවුන්ව අනාගතයට සූදානම් කරන්න ඕනේ. දෙමාපියන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඒකයි.“
එහෙත් එයින් ඔහුගේ ඉගැන්වීමේ ක්‍රමවේදය නවතාලීමට විදුහල්පතිවරයාට නොහැකි වෙයි. එය කෙසේද යත් සිසුන් ඉංග්‍රීසි ගුරැවරයාව අනුගමනය කිරීමට පෙළඹේ.ඔවුහු ඔහුට සර් වෙනුවට කැප්ටන් කියා කතා කිරීමට පවා පෙළඹෙති. එනම් ඔවුන් ඔහුට තව තවත් ළං වේ. තව තවත් ළං වේ. ඔවුන් කීටින් මහතාගෙන් Dead Poet Society යනු කුමක්දැයි අසන්නේ මෙවන් වාතාවරණයක් මතයි.එවිට ඔහු මෙසේ පිළිතුරැ දේ.

“ ඔයගොල්ලෝ විශිෂ්ට මිනිස්සු ගැන ඉගෙන ගන්නවා නේද ? ඒත් ඔබ ඔවුන්ගේ ජීවිත කතා ගැන හොඳට හොයලා බැලුවද ?  ඔවුන් ඉගෙනීම වෙනුවෙන් ජීවිතය නැතිකර ගත්තාද කියලා හොයලා බැලුවද? මගේ උත්තරේ නම් ඔවුන් ජිවිතේ නැතිකර ගත්තේ නැහැ කියන එකයි.ඒ නසියි ඔවුන් විශිෂ්ටයන් වුණේ . මම අද ගුරැවරයෙක් වුණත්, ඒ මත්තෙම නැහුණේ නැහැ. මට ආසාවක් තිබ්බා ගුරැවරයෙක් වෙන්න. මට ඒකට හොඳ ආත්ම විශ්වාසයකුත් තිබ්බා. ඒත් ඒ වගේම අපිට ජීවිතය රස විඳින්නත් පුළුවන් වුණා. අපි ඉගෙන ගන්න කාලේදී මේ වගේ කවි සමාජයක් පිහිටුවා ගත්තේ ඒ සඳහායි. අපි එතැනදී හැමදාම එක එක විදිහේ කවි කිව්වා. මොකද ඒක අපිට නිකං මැජික් එකක් වගේ. ඒ නිසා ඒකෙන් අපි ලොකු විනෝදයක් ලැබුවා. සමහර දවස්වලට අපි කොලුකමට අපේම කවි ලිව්වා.අපේ ට්‍රයි එක වුණේ කෙල්ලොන්ට ආස හිතෙන විදිහේ කවි ලියන්නයි.ඒක තමයි අපේ විනෝදය වුණේ. ඒ නිසා අපේ සවස් භාගය ගෙවිලා ගියේ හරිම විනෝදයෙන්.“

චිත්‍රපටයේ කේන්ද්‍රගත සිදුවීම සිදුවන්නේ මින්පසුවයි. ඒ, පන්තියේ දක්ෂතම ශිෂ්‍යයා වන නීල් පෙරී, විලියම් ශේක්ස්පියර්ගේ මිඩ් සමර් නයිට් ඩ්‍රීම්ස් වේදිකා නාට්‍යයේ රඟපෑමට යොමු වීමයි. එහෙත් මධ්‍යම පාන්තික පවුලක උපන් පෙරීගේ පවුලේ අරමුණ ඔහුව විද්‍යා අංශයෙන් ඉහළට ගෙන යාමයි. එනිසා මෙය දැන ගත් වහාම පෙරීගේ පියා කලබල වෙයි.විකාර නාට්‍යවලින් ඈත් වී තම අධ්‍යාපනය ගැන අවධානය යොමු කරන මෙන් අවවාද කරයි.එහෙත් එය අවවාදයකට වඩා විධානයකි.මන්ද පෙරීගේ පියා පවසන්නේ පෙරී නාට්‍යයේ රඟපෑවහොත් තමන් ඔහුව වෙනත් විද්‍යාලයකට ඇතුළත් කරන බවත්ය. පෙරී වසර දහයක් පුරා වෛද්‍ය විද්‍යාව හැදෑරිය යුතු බව ද ඔහු අවධාරණයෙන් කියා සිටියි. එය කෙසේ ද පෙරීගේ පියාගේ ආකල්පය වන්නේ තම දරැවා ඉලක්කය කරා නොයනු ඇති බවයි. එමෙන්ම ඔහු සිතන්නේ කවිය යනු ජීවිතයට සම්බන්ධ දෙයක් නොවන බවයි. එනම් ජීවිතයේ තිබිය යුත්තේ ජීවිකාව පමණක් බවයි. කොටින්ම කියතොත් චිත්‍රපටයේදී පෙරීගේ පියා හැසිරෙන්නේ පියෙකු ලෙස නොව අණදෙන නිලධාරියෙකු ලෙසිනි. ඔහු නියෝජනය කරන්නේ බහුතර දෙමාපියන්ගේම මතයයි . එනම් ළමයින්ගේ සිත පිරවීමට වඩා පොත පිරවීම වඩා වැදගත් යන්න ඔවුන්ගේ මතයයි.

එහෙයින් අවසානයේ සිදුවන්නේ කුමක්ද ?

පෙරී මුරණ්ඩු දරැවකු වේ. ඔහු ශේක්ස්පියර්ගේ මිඩ් සමර් නයිට් ඩ්‍රීම්ස් නාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපායි.එයින් ඔහු අතිශයින් ප්‍රශංසා ලබයි. එහෙත් පියා විසින් ඔහුව නාට්‍යය අවසන ආපසු නිවසට ගෙන යන්නේ නිර්දය ලෙසිනි. සැමගේ බලවත් විරෝධය මධ්‍යයේය. සමස්ත අධ්‍යාපන ක්‍රමයේම ඛේදවාචකය හේතුවෙන් ඉතා අවාසනාවන්ත ලෙස නීල් පෙරී මිය යන්නේ මේ අනුවයි. හරියටම කියතොත් ඔහුට පවතින අධ්‍යාපන ක්‍රමය දරාගත නොහැකිව යයි. කරකියාගත නොහැකි වූ තැන සිය දිවි නසා ගනියි.තවත් විදිහකින් කියතොත් අධ්‍යාපන ක්‍රමය විසින් පෙරීගේ ජීවිතය බිල්ලට ගනියි.ඔහුව මරා දමයි.

මේ නිසා අවසානයේ සියල්ල අනාවරණය වේ. Dead Poet Society පිළිබඳ පාවාදීම් ද සිදුවේ. අසාධාරණ චෝදනා මැද ආචාර්ය ජෝන් කීටින් මහතා මෙම මරණයට වැරුදිකරැ බවට චෝදනා ලබයි. ඒ අසාමන්‍ය ඉගැන්වීම් ක්‍රමවේද තුළීන් ළමයින් නොමග යැවුවා කියාය. එමෙන්ම ගිරාපෝතක අධ්‍යාපනය ක්‍රමයට නොඉගැන්වීම නිසාය. එනිසා විදුහල්පතිවරයා විසින් ඔහු මීට වැරුදිකරැ බවට සිසුන් ලවා ම අත්සන් කරවා ගනියි. ඒ බලහත්කාරයෙනි. මේ අනුව අනපේක්ෂිත ලෙස විදුහල්පතිවරයා විසින් කීටින් මහතා පාසලින් පිටමං කරයි. එහෙත් එයින් සිසුන්ගේ හෘද සාක්ෂිය උදුරා ගැනීමට හැකිවේද ? සිසුහු  නිහඬ කිරීමට හැකිවේද ?.
සිසුහු, කීටින් මහතා වෙනුවෙන් නැගී සිටිති. විදුහල්පතිවරයාටත් වඩා ප්‍රබල වෙති. ජීවිතය ගැන කියා දුන් ආචාර්යවරයාට ආචාරය පුද කරති.ජීවිතය පිළිබඳව කියා දුන් ඔහුට උත්තාමාචාරය පුද කරති. ඔහුට,

O’ Captain My Captain. “යැයි ආමන්ත්‍රණය කරති.ඒ ඔහු කියා දුන් පළමු පාඩම සිහිපත් කරමිනි.

සැබැවින්ම එම අවසන් දර්ශනය ප්‍රේක්ෂකයාගේ නෙත් තෙත් කරවන සුළුය. බෑග්පයිප්ස් නාදය අතරේ දෙපයින් නැගී සිටින ඔවුහු, කීටින් මහතා දෙස ඇසිපිය නොහෙළා බලා සිටිති. එහෙත් සමස්ත සමාජයම කීටින් මහතාට එකඟ නොවීමෙන් ඔහුව නවතාලීමට සිසුන්ට නොහැකි වෙයි. එනිසා ඔහු සිසුන් දෙස බලා සිනා සෙති.එමෙන්ම ඔහුගේ එම නික්ම යාම ප්‍රීතිමත් වේ. මුහුණේ ඇඳී තිබෙන්නේද බලාපොරොත්තුවේ සේයාය. හේ සියල්ලන්ටම ස්තූති කරයි. එහෙත් සිසුහු තවදුරටත් නැගී සිටිති. අප දෙස බලා සිටිති. අප එන තුරැ බලා සිටිති . සැබෑවකි. මෙය ඊට සුදුසුම කාලයකි.   

(පීටර් වියර් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ තිර රචනය ටොම් ෂුල්මන්ගෙනි.ජෝන් කීටින්ගේ චරිතයට රොබින් විලියම්ස් පණ පොවන මෙම චිත්‍රපටයේ නීල් පෙරීගේ චරිතයට පණ පොවන්නේ රොබට් ෂෝන් ලියොනාර්ඩ්ය. එමෙන්ම ටොඩ් ඇන්ඩර්සන්ගේ චරිතයට පණ පොවන්නේ ඒතන් හෝක් විසිනි. 1989 වසරේ පැවැති ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම තිර රචනයට හිමි සම්මානය දිනා ගත් මෙම චිත්‍රපටය එම සම්මාන උළෙලේදී ම හොඳම නළුවා (රොබින් විලියම්ස්),හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම චිත්‍රපටයට හිමි සම්මාන සඳහා ද නිර්දිෂ්ට වූවකි.

    

No comments:

Post a Comment