Friday, July 5, 2013

ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණි සමරකෝන් සමග සම්මුඛ සාකච්ඡාවක් - (අද )2012/11/06

නාට්‍යයෙන් පස්සේ වින්සන්ට් සේරසිංහ මහත්තයා ශාලාවෙන් පිටවුණේ මට "Brilliant " කියාගෙනයි
-       

 ප්‍රවීණ රංගන ශිල්පි ගාමිණි සමරකෝන්

සටහන හා ඡායාරෑප - මාලන් විදානපතිරණ

කාලාන්තරයත් තිස්සේ ශ්‍රී ලාංකීය වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ නමක් දිනාගෙන සිටි ප්‍රවීණ රංගන ශිල්පියෙකු ලෙස ගාමිණි සමරකෝන් හඳුන්වා දිය හැකිය.මේ දිනවල යළිත් වේදිකාගත වන ලූෂන් බුලත්සිංහලගේ තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයේ මුල් නිෂ්පාදනයට මෙන්ම නව නිෂ්පාදනයට ද දායක වන ඔහු, ස්වාධීන රෑපවාහිනි සේවයේ විකාශය වූ ප්‍රථම ටෙලිනාට්‍යය වන වජිරා සඳහා ද දායක වූ රංගන ශිල්පියෙකි. මෑතකදී රොඩ්නි විදානපතිරණගේ Spiritual Journey නම් චිත්‍රපටයකට ද රංගනයෙන් දායක වූ ගාමිණී , රඟපෑ වේදිකා නාට්‍ය අතර දයානන්ද ගුණවර්ධනගේ නරිබෑනා, මහාචාර්ය සුනන්ද මහේන්‍ද්‍රගේ පොකුරැ වැස්ස, ආචාර්ය එම්.එච්. ගුණතිලකගේ සක්කායදිට්ඨි, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ (මහාචාර්ය සරච්චන්ද්‍රයන් ජීවතුන් අතර සිටියදී බිහිවූ අවසන් මනමේ කුමාරයා) අතිශයින් ජනප්‍රියත්වය පත්විය. මේ අතර මේ දිනවල ස්වකීය නාට්‍ය නිර්මාණයක් නිෂ්පාදනය කිරීමට වෙහෙසෙන ගාමිණී සමගින් සොඳුරැ කතාබහක යෙදීමට පසුගියදා අපට අවස්ථාව උදා විය. මේ අවදි වන්නේ ඔහුගේ කටහඬයි.

“මම හොඳ උඩරට නැට්ටුවෙක්. ගමේදී මම කංකාරි පහක් නටලා තියෙනවා. මගේ ගුරැතුමා පී.බී.එල්. ලයනල් මහතායි. එතුමා අදත් නක්ෂත්‍ර ක්ෂේත්‍රයේ ඉතා ඉහළ තැනක ඉන්න කෙනෙක්. ඒ නිසා මම අදටත් එතුමාට ගරැ කරනවා.මොකද මම අද ඇවිත් තිබෙන සාර්ථක ගමනට අවශ්‍ය අඩිතාලම සකසා දුන්නේ එතුමායි. කොහොම වුණත් මම පාසැල් කාලයේ ඉඳන්ම නාට්‍ය කලාවට සම්බන්ධ වුණ කෙනෙක්.ඒ නිසා වරක් මිදි පොකුර නම් නාට්‍යයේ රංගනය වෙනුවෙන් හොඳම නළුවා සම්මානයත් දිනා ගත්තා. ඒ වගේම පාසැලේ නිවාසාන්තර මට්ටමින්ද මම මෙවැනි සම්මාන දිනා ගත්තා. “

“ඒත් මම නාට්‍ය කලාව විධිමත් අන්දමින් ප්‍රගුණ කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ආවාට පස්සේයි. මොකද ඒ කාලේ නාට්‍ය පාසැල් තිබ්බේ නැහැ. ඒ නිසා තමයි මම ඒ කාලයේදිම කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවට සම්බන්ධ වුණේ. කෙසේ වෙතත් එහිදී මට ලංකාවේ ශ්‍රේෂ්ඨතම නාට්‍යකරැවන්(දයානන්ද ගුණවර්ධන, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර,ධම්ම ජාගොඩ, අර්නස්ට් මැකින්ටයින්, චන්ද්‍රෙස්න දසනායක, චිත්‍රසේන- වජිරා, ජයසුමන දිසානායක) ගණනාවක් සමග කටයුතු කිරීමට හැකියාව ලැබුණා.ඔවුන් තමයි අපිව නිවැරදි මාවතට යොමුකළේ.ඒ නිසා මට අවුරැදු විසි හතරක් තරම් තරැණ අවදියේදීම අසාත මන්තරේ නමින් 1974 වසරේදී රාජ්‍ය නාට්‍ය උළෙලට නාට්‍යයක් නිෂ්පාදනය කිරීමටත් හැකි වුණා.  ඒ වගේම එම නාට්‍ය උත්සවයේදී නාට්‍ය එකසිය පණහක් අතරින් හොඳම නාට්‍ය හය සඳහා තේරෙන්නත් මට හැකියාව ලැබුණා. ඒ වගේම මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා මේ ගැන මට කිව්වේ මනමේ නාට්‍යෙයන් පස්සේ තමන් දැක්ක හොඳම තරගය තිබුණේ අසාත මන්තරේ නාට්‍යයේ කියලයි. ඒක මට විශාල සතුටක්. “



 ඔබේ පළමු ප්‍රසිද්ධ වේදිකා ප්‍රවේශය සිදුවුණේ කොහොමද ඇහුවොත් ?

මගේ මුල්ම වේදිකා නාට්‍යය මූදු පුත්තු. එහි මා සමග ප්‍රධාන චරිතය රඟපෑවේ ධම්ම ජාගොඩ සහ සුනේත්‍රා සරච්චන්ද්‍රයි. මේ නාට්‍යය ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාව වෙනුවෙන් ධම්ම ජාගොඩ විසින් නිෂ්පාදනය කළ නාට්‍යයක්. හැබැයි මෙය රංගගත වු‍ණ් ඇරීනා තියටර් ආකාරයෙන්. ඒ නිසා ඒ නාට්‍යය තුළ යම් අභූතරෑපී(Absurd)  සබඳතාවයකුත් තිබුණා. මෙහි මුල් නිෂ්පාදනය කළේ ගුණසේන ගලප්පත්ති විසින්. ඒත් එයින්ම මට නාට්‍ය කලාවට පිවිසීමට විශාල පන්නරයක් ලැබුණා. මොකද මූදු පුත්තු නාට්‍යයෙන් පස්සේ වින්සන්ට් සේරසිංහ (ප්‍රවීණ නිළි අයිරාංගනී සේරසිංහගේ සැමියා) මහත්තයා පවා “කව්ද ඒ Actor කියලා“ ධම්ම ජාගොඩගෙන් අසා තිබෙනවා. අවසානයේදී ඔහු ශාලාවෙන් පිටව ගිහින් තියෙන්නේ මට "Brilliant " කියලයි. ඒක ඒ කාලේ මට ලොකු හයියක් වුණා.

වර්තමාන වේදිකා නාට්‍ය කලාවේ ප්‍රබෝධයට මූලිකම හේතුව ටෙලිනාට්‍යවල කඩා වැටීම කියලා සමහරැ කියනවා ?

ටෙලිනාට්‍ය ගැන නම් අද කොහොමත් කතා කරලා වැඩක් නැහැ.මොකද අද වෙනකොට ප්‍රේක්ෂකයා විසින් ටෙලිනාට්‍ය ප්‍රතික්ෂේප කර හමාරයි.හැබැයි ඒක ප්‍රතික්ෂේප කළාට වඩා එවැනි තත්ත්වයකට පත් කර ගත්තා කිව්වොත් වඩා නිවැරදියි.මොකද මේකට ප්‍රධානම හේතුව දන්න මිනිස්සුන්ට වඩා නොදන්න මිනිස්සු මේ කලාවට ඇඟිලි ගැසීම.අනික අද සමහර ප්‍රවීණයෝ හිතන් ඉන්නේ අපි නැත්නම් වේදිකා නාට්‍ය කලාවකුත් නැහැ කියලායි. ඒත් එහෙම දෙයක් නැහැ. මොකද අද සිටින ප්‍රවීණයන්ට වඩා දක්ෂ අය ගමේ සිටිනවා. ඒත් ඛේදවාචකය වෙන්නේ ඔවුන්ට නාට්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට නිසි ක්‍රමවේදයක් සකස්ව නොතිබීමයි.මොකද ටෙලිනාට්‍යවල පැමිණීමත් එක්ක සිනමාවේ සිටි පතාක යෝධයන්ට සිදුවුණේ මොකක්ද කියලා අපි දන්නවා.ඒක තමයි ඇත්ත.

කෙසේ වෙතත් ඇතැම් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරැන්/නිෂ්පාදකවරැන් පවසන්නේ ප්‍රවීණයන් ඉතා ඉහළ ගාස්තු අය කරන බවක් සහ ප්‍රවීණයන්ගේ ගාස්තු ඔවුන්ට ගෙවන්නට බැරි බවක් ?
එහෙනම් අපිට එහෙනම් ඒකෙන්ම පැහැදිලි වෙනවා අද පවතින ටෙලිනාට්‍ය මොන 
වර්ගයේද කියලා. ඒ වගේම ඔවුන්ට ඕනෑ කරන්නේ මොනවද කියලත් එයින් පැහැදිලි වෙනවා.අනික අපිට අලුත් ටෙලිනාට්‍යවලට ඇවිල්ලා මූණ පෙන්නුවා කියලා, අලුතින් ලැබෙන්න දෙයක් නැහැ.මොකද ටෙලිනාට්‍ය ආරම්භ කළේ අපි. ඒ වගේ ම ටෙලිනාට්‍ය කලාව ඉදිරියට ගෙනාවෙත් අපි. ඒ නිසා අපිට වර්තමානයේ නිර්මාණය වන බාල ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්න කිසිම වුවමනාවක් නැහැ. 

පසුගිය කාලයේ සම්මාන පිට සම්මාන හිමිකර ගත් ඇතැම් නාට්‍ය අද දර්ශන වාර කිහිපයකින් නවතිනවා. මේ ගැන මොකද හිතන්නේ ?

ඒක නම් අපිටත් ප්‍රශ්නයක්. මොකද අනාගත වේදිකාව භාර ගන්න ඉන්නේ තරැණ නාට්‍යකරැවන්.ඒත් ඔවුන්ගේ නාට්‍ය මේ විදිහට දර්ශන වාර කිහිපයකින් නැවතීම විශාල ඛේදවාචකයක්. ඒ නිසා මෙය කාගේ අසාර්ථකත්වයක්ද කියලා අපි නැවත විමසා බැලිය යුතුයි. ඒ වගේම එම නාට්‍යවලට නිසි රාජ්‍ය අනුග්‍රහයක් ලැබිය යුතු බවත්, සංස්කෘතික අමාත්‍යාංශයය තරැණ නාට්‍යකරැවන්ගේ සුබසාධනය පිළිබඳ සොයා බැලිය යුතු බවත් අපි අවධාරණයෙන් සිටිනවා.

අපි දන්න විදිහට  ඔබ ඩබ්ලිව්.ඩී.මකුලොලුවගේ “දෙපානෝ“නාද කාව්‍යයටත් සහභාගී වූ ශිල්පියෙක්. ඒ ගැන සඳහන් කළොත් ?

දෙපානෝ කියන්නේ ජන සංගීතය අනුසාරයෙන් කළ  ඔපෙරාවක් වැනි නිර්මාණයක්.ඔහුට ඕනෑ කළේ ජන සංගීතය භාවිතා කරමින් බටහිර ඔපෙරා, ලංකාවට ගැලපෙන ආකාරයට සකස් කිරීමටයි. මම මේ සඳහා සහභාගි වුණේ මෙහි රෑපවාහිනි නිෂ්පාදනයේදියි. මෙහි පළමු නිෂ්පාදනයට අයිවෝ ඩෙනිස්, රෝහණ බැද්දගේ වගේ ගායකයන් සම්බන්ධ වෙලා තිබෙනවා.ඒ නිසා මගේ චරිතයේ පසුබිම් ගායකයා ලෙස එක්වුණේත් අයිවෝ ඩෙනිස්මයි. ඒත් ඒක සිදුවුණේ මට ගීත ගායනා කරන්න බැරි නිසාම නෙමෙයි.මට අයිවෝ ඩෙනිස්ගේ සෘතියෙන් ගීත ගායනා කරන්න බැරි නිසායි. ඒත් මේ නාට්‍යයේ මා එක්ක ජැක්සන් ඇන්තනී,මැණීකේ අත්තනායක වැනි රංගන ශිල්පීන් ගණනාවක් රඟපෑවා.
   

No comments:

Post a Comment