Friday, July 5, 2013

උදේශ් ඉන්දුල සමග සංවාදයක් - මෙත් බෝසත් සුරිඳේ - 2013/05/22




මාලන් විදානපතිරණ

මෑතකදී ජනප්‍රියත්වයට පත් හොඳම බෞද්ධ ගීතය ලෙස මෙත් බෝසත් සුරිඳේ ගීතය මේ වන විට බොහෝ දෙනාගේ කතාබහට ලක් වී ඇත(මෙම ගීතය යූ ටියුබ් හරහාද නැරඹිය හැකිය). මෑත පරපුරේ ගායකයකු වන උදේශ් ඉන්දුල ගායනා කරන මෙම ගීතය සංගීතවත් කර ඇත්තේ උදේශ් විසින්ම වීමද තවත් විශේෂත්වයකි.එසේම මෙහි රෑප රචනයද ප්‍රේක්ෂකයාගේ කතාබහ ලක්වීමට හේතු පාදක වී ඇත. මේ යනාදී කරැණූ කාරණා සළකා බලා මෙම ගීතය පිළිබඳව මෙන්ම උදේශ්ගේ සංගීත ජීවිතය පිළිබඳ කෙටි පිළිසඳරක යෙදීමට අපි අදහස් කළෙමු.

 “ මේ ගීතය අපි දහම් පාසල් යන කාලේ ඉඳලම අහන ගීතයක්.හරියටම කිව්වොත් මේක දැන් රචනා වෙලා අවුරැදු දහයක් පහළොවක් විතර වෙනවා. ඒත් මේක සංගීතවත් වුණේ මෑතකදියි. ඒ නිසයි මෙත් බෝසත් සුරිඳේ ගීතය රසිකයාට අලුත් වෙන්නේ.මෙම ගීතය රචනා කළේ පරගස්තොට සුධම්ම හාමුදුරැවෝ.උන්වහන්සේ මතු බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ අදහන නමක්. ඒ වගේම මෛත්‍රී බුදුන් වෙනුවෙන් පන්සලේ බෝධි පූජා පවා සිදුකරන කෙනෙක්.ඒ නිසා උන්වහන්සේ කිව්වා මීට තනුවක් යොදලා ගායනා කරන්න කියලා.*උදේශ් තම ගීතය පිළිබඳව පැවසුවේ එසේයි.

මේ ගීතයේ තේමාව සාම්ප්‍රදායික බෞද්ධ ගීතයෙන් තරමක් පරිබාහිරයි නේද ?

“ඔව්.මෙහි කියැවෙන්නේ ඊළඟට බුදුවෙන්න පෙරැම් පුරන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගැන. මනාව ගුණ දම් පුරන කෙනෙක් තමයි මතු බුදු වෙන්නේ.සමහර විට ඒ මතු බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සිටින්නේ අපිත් එක්ක වෙන්න ඇති. පද රචනයේ තිබෙන්නේ එවැනි කතා තේමාවක්. ඒත් අපි රෑප රචනයේදි මෙහි අදහස රෑප රචනයට අවශ්‍ය විදිහට තරමක් වෙනස් කළා. විශේෂයෙන්ම බඩගින්නේ වේලෙන තමන්ගේ අම්මාට පිණ්ඩපාතේ ගිහින් හම්බවෙන කෑමවලින් කොටසක් දන්දෙන හාමුදුරැ නමක් ගැනයි මෙහි කියැවෙන්නේ. ඒක දුර්ලභ දසුනක්.ඒ නිසා දැන් මගේ මේ ගීතය ගැන හුඟක් අය හුඟක් පැහැදිලා.කලින් ගීතයටත් වඩා හොඳ පිළිගැනීමක් ලැබිලා. ඒත් තාමත් මේ ගීතය රෑපවාහිනියේ ප්‍රචාරය වුණේ පෝය දවසේ විතරයි.එහෙම වෙලත් හුඟක් අය මේ ගීතය නරඹලා. හැබැයි මෙහි රෑප රචනය නිර්මාණය කළේ මගේ සහෝදර මල්ලිලා ටිකක්.ඔවුන්ගේ A tune Pictures ආයතනයෙන් තමයි මගේ සංකල්පය සංවර්ධනය කළේ. “

ඔබ දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගයෙන් පැමිණී ගායකයෙක්. “ස්ටාර්“ ලේබලයෙන් මිදී ස්වාධීන වීම ටිකක් අමාරැයි නේද?

මම දැන් දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගයෙන් ජයග්‍රහණය කරලා අවුරැදු හතරක් වෙනවා. ඒ නිසා මම දැන් කැමැති ස්වාධීනව නිර්මාණකරණයේ යෙදෙන්නයි. ඒ නිසා සංගීත ප්‍රසංගවලට ගියහම උදේශ් ඉන්දුල කියලා කතා කරනවටයි මම කැමැති. හැබැයි තාමත් ඒ ලේබලය මගෙන් ගැලවිලා නැහැ.කොහොම නමුත් මගේම ආරකටයි මම ගමන් කරන්නේ. ඒ නිසා උදේශ් ඉන්දුල නාමය තරැණයන් අතර ජනප්‍රිය වීම ගැන මම සතුටු වෙනවා.

රියැලිටි තරගවලින් දක්ෂ ගායක ගායිකාවන් මතුවුණත් තරගයෙන් පස්සේ ඔවුන්‍ගෙන් බොහොමයක් දකින්නටවත් නැහැ ?

අපිට අනුන්ගේ ගීත ගායනා කරලා කවදාවත් ඉස්සරහට යන්න බැහැ. ඒක අපි මුලින්ම දැන ගත යුතුයි. ඒ නිසා තරගයෙන් පස්සේ තමන්ගේ අනන්‍යතාවයක් සහිත නිර්මාණයක් කරන්න ඕනේ. එතකොටයි අපිට මේ ක්ෂේත්‍රයේ රුඳී සිටින්න පුළුවන් වෙන්නේ.විශේෂයෙන්ම හොඳ නිර්මාණයක් කළොත් තමයි අපේ පැවැත්ම තහවුරැ වෙන්නේ. මගේ ‘‘“ ළං වෙලා හිම සීතේ * තාමත් වරින් වර ප්‍රචාරය වෙන්නේ මේ නිසයි. මේ හින්දා තමන්ගේ පැවැත්ම තහවුරැ කරගන්න තමන් දැනගන්න ඕනේ.

ඒත් American Idol වැනි රියැලිටි ආකෘති දිහා බැලුවම ලංකාවේ රියැලිටි ආකෘතියේ දුර්වලතා පවතිනවා නේද ?

ඇමෙරිකාව සහ ලංකාව කියන්නේ සංස්කෘතින් දෙකක රටවල් දෙකක්.හැබැයි එහේ හුඟක්ම සල්ලි තියෙන්නේ කලාකරැවන්ටයි. අනික ලංකාවේ රෑපවාහිනි නාලිකාවල මූලික අවධානය යොමු වෙන්නේ නවක ගායකයන් බිහි කිරීමට වඩා රෑපවාහිනි නාලිකාව කොහොමද විකුණගන්නේ කියන එකටයි. හැබැයි ඔවුන් තේමාව විදිහට යොදා ගන්නේ නවක ගායකයන් බිහි කිරීමයි. ඒ නිසා නවක ගායක ගායිකාවන් ඉදිරියට ගෙන ඒම ඔවුන්ගේ ද්විතියික කාරණාවක්. ඒ නිසා තරගයෙන් පසුව ඔවුන් අපිව අතහරිනවා.හැබැයි දෙරණ නාලිකාව තරගයෙන් පස්සේත් අපේම නිර්මාණ කිරීම සඳහා අවස්ථා සලසා දුන්නා. ප්‍රසිද්ධියක් ලබා දුන්නා.ඒත් එවැනි දෙයක් හැම නාලිකාවම කරන්නේ නැහැ. නමුත් කිසිම නාලිකාවක් තරගයෙන් පස්සේ ගායකයාට ශිෂ්‍යත්වයක් ලබා දිය යුතුයි කියලා හිතන්නේ නැහැ. වැඩිදුර අධ්‍යාපනය වෙනුවෙන් ඔවුන්ව පිටරට යවන්න උත්සාහ දරන්නේ නැහැ.අන්න එතැනයි ඇමෙරිකාවේ සහ ලංකාවේ වෙනස. කැපවීම් කරගෙන කොහොම හරි මේ ක්ෂේත්‍රයේ සමහරැ ඉන්නවා තමයි. හැබැයි ආර්ථික අපහසුතා තිබෙන දක්ෂයන්ට එහෙමවත් ඉදිරියට එන්න බැහැ.අනික අද ලෙහෙසියෙන් ගීතයක් නිර්මාණ කරගන්න බැහැ.හොඳ රෑප රචනයකුත් ඒකට ඕනේ.

එයින් අපිට හැඟෙන්නේ ලංකාවේ ගායකයාට නිසි පිළිගැනීමක් නැහැ කියලයි ?

ඔව්. ඒක ඇත්ත. ලංකාවේ ගායකයාට නිසි වෘත්තිය මට්ටමක්වත් නැහැ.ඒ නිසා දැන් එන්න එන්නම ගායකයාට තිබෙන පිළිගැනීම අඩුවෙනවා.ඒත් අපිට අමරදේවයන්ගේ යුගයේ ගායකායට හොඳ පිළිගැනීමක් තිබුණා. වෘත්තිය මට්ටමකුත් තිබුණා.

වත්මන් සංගීතයේ නොයෙකුත් සංගීත ශෛලීන් තිබෙනවා. තරැණ ගායකයෙක් විදිහට ඔබ මොන ශෛලියද තෝරා ගන්නේ ?

අපිට ඒක කාලයත් එක්ක වෙනස් කරන්න වෙලා.ඒ නිසා අපිට ගමන් කරන්න වෙලා තියෙන්නේ මැද මාවතක.මොකද අද අපිට විද්‍යුත් මාධ්‍යයන්ට අවශ්‍ය විදිහට අපේ සංගීත ශෛලිය වෙනස් කරන්න සිදුවෙලායි තියෙන්නේ.ඔවුන් තමයි රසිකයාට අවශ්‍ය මොන වගේ ගීතයක්ද කියන එක තීරණය කරන්නේත්. විශේෂයෙන්ම ගීතය ප්‍රචාරය වෙන වෙලාව අනුවයි අපි ගීත නිර්මාණය කරන්නේ. හැබැයි මම එහි වැරුද්දක් දකින්නේ නැහැ. මොකද අද අපි හැමෝම ජීවත්වෙන්නේ මුදල් පසුපස හඹායන සමාජයක.ඒ නිසා එක් ගීතයකින් ජනප්‍රිය වෙලා අනික් ගීතයකින් හොඳ දෙයක් දිය යුතුයි කියලයි මම විශ්වාස කරන්නේ.

ඒත් තරැණ ගායක ගායිකාවන්ගේ අලුත් ගීතවල අලුත් තේමා නැහැ කියලත් චෝදනාවක් තිබෙනවා ?

නැහැ. එහෙම නැතුවාම නෙමෙයි. අලුත් ගායක ගායිකාවන් ප්‍රේම ගීත, විරහ ගීත, බොදු බැති ගී,දේශාභිමානී ගීත ආදී නොයෙකුත් තේමා යටතේ ගීත ගායනා කර තිබෙනවා. ඒත් මෙතැන ප්‍රශ්නේ තියෙන්නේ අදාළ ගීතය රුල්ලේ ගීතයක් නොවුණොත් ඒක ප්‍රචාරය කරගන්න බැරි වීමයි. සමහර වෙලාවට ගීත ප්‍රචාරය කිරිම සඳහා නාලිකාවලට සල්ලි ගෙවන්නත් වෙනවා. එහෙම සංස්කෘතියක් තමයි අද තියෙන්නේ. සමහරැ ලක්ෂ ගණන් ඒවාට ගෙවනවා. නොවඳිනා වැඳුම් වඳිනවා. අනික අපිට දැන් මාර්ගෝපදේශකත්වයක් ලබාදෙන්න සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ ඉදිරිපත් වෙන්නේත් නැහැ.උපදෙස් ලැබෙන්නේත් නැහැ. ඒත් මීට පෙර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පමණක් තිබුණූ යුගයේ ගායකයන්ට හොඳ මග පෙන්වීමක් ලැබුණා. ගීතයේ හොඳ නරක කියාදෙන්න පිරිස් හිටියා.අද එහෙම නැහැ. හැබැයි අපේ වැරුදි කියාදෙනකොට තමයි අපි වුණත් අපේ ගීත උනන්දු වෙන්නේ.  

    

No comments:

Post a Comment