Friday, July 5, 2013

අන්තවාදය සහ මුනිවත රැකීම - (තරුණයා) - 2012/12/24



අන්තවාදය සහ මුනිවත රුකීම





තිස් වසරක යුද්ධයක් අවසන් කළ අප, මේ වන විට ගත කරන්නේ පශ්චාත් යුද සමයයි. නියපොත්තෙන් කඩන්නට තිබුණු සරල ගැටලු කිහිපයක් එදා සංකීර්ණ කර ගත් පාලකයන් නිසාවෙන් දැල්වුණු එම ගින්නෙන් පිලිස්සුණු ජීවිත සංඛ්‍යාව මෙතෙකැයි කිව නොහැකිය. එසේම එයින් පසුපසට හැරවූණු සංවර්ධන ක්‍රියාවලියෙන්





අහිමි වූ දෑ ද මෙතෙකැයි මිල නොහැකිය.එහෙත් බල තණ්හාවෙන් ඔද වැඩුණූ එකල පාලකයන්ට මෙය චූන් වැඩකි. එනම් තමන් පොරක් බව හැඟවීමට මෙවන් අවස්ථා වැඩි වැඩියෙන් නිර්මාණය කර ගත් ඔවුන්, එයින් තම ස්ථාවරත්වය ගොඩනගා ගත්තේ ජාතීන් අතර අසමගිය තුට්ටුවකට මායිම් නොකරමිනි. එහෙත් ජාතිමාමක,ජාති හිතෘෘශි,දේශප්‍රේමී ලේබලය ලෙයට තවරා ගත් සිංහල ජනයා ද මෙම යටි අරමුණ තුට්ටුවකට මායිම් නොකළේය. එනිසාවෙන් ජාතික ඇඳුම හඳින පාලකයා ඔවුන්ට රජෙකි.ආකර්ෂණීය දේශප්‍රේමී රැවන් වැකි පවසන පාලකයා ඔවුන්ට රජෙකි.මාධ්‍යයට පෙනෙන්නට බුදුන් වඳින්නා රජෙකි.එහෙයින් රටේ අධ්‍යාපන ගැටලු දියාරැ වීම ඔවුන්ට අනවශ්‍යය.ආර්ථිකය කඩා වැටීම අනවශ්‍යය.අධිකරණයෙන් අයුක්තිය ඉටු වීම අනවශ්‍යය. මේ වෙලාවේ බඩ ගැන සිතීම අනවශ්‍යය.එනම් සිංහල ජනයා,දේශප්‍රේමයට මනාපය ලබා දුන්නේය.එනම් දේශද්‍රෝහී කුමන්ත්‍රණ හෝ ත්‍රස්තවාදී තර්ජනයක් ඇතැයි ආණ්ඩුවක් පැවසුවහොත්, පටි තද කර ගැනීමට මහ ජනයා දැන් වුණත් නොපසුබට වෙයි. එය අපේ රටේ හැටිය.1948 සිට මෙතෙක් පාලනය ද එසේමය.එහෙත් සන්නිවේදනයේ දියුණුවත් සමගින් නුදුරේදීම රාජ්‍ය සංකල්පය බිඳ වැටෙන බව නොපිළිගන්නා සත්‍යයක් බවට වි ඇත.එනම් පවතින වාතාවරණය සළකා බලන කල්හි තව කෙතෙක් කලක් ශ්‍රී ලංකාව, සිංහල රටක් ලෙස පවතීවි ද යන්න ගැටලුවකි.එනම් සංගණන වාර්තා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ සිටි සිංහල බහුතරය ප්‍රතිශතයක් ලෙස අඩු වී ඇති බවයි.එසේ නම් මෙතැන කුමක් හෝ කුමන්ත්‍රණයක් පවතින බවට මේ වන විටත් දේශප්‍රේමීන් කෑ මොර දෙන්නට පටන් ගෙන ඇත.විශේෂයෙන්ම ජනමාධ්‍ය හරහා නොවුණ ද නව මාධ්‍ය හරහා දැඩි කතාබහට ලක්වන මෙම සංවාදය වඩා අර්ථාන්විත වීම වෙනුවට ජාතිවාදී දිසාවකට එල්ල වන්නේ තවත් යුද්ධයකට පිඹුරැපත් සකසමිනි.එහෙත් යුද්ධය අවසන් කළ අප  එම ජාතික ගැටලුව සඳහා හෝ තවමත් දේශපාලන විසඳුමක් සොයාගෙන නොමැත. මේ නිසා මෙවන් මොහොතක මෙවැනි සංවාද භයානකය.එනම් ජාතික සමගිය සඳහා එක්විය යුතු මෙවන් මොහොතක, එක් වීම වෙනුවට වෙන්වීම තෝරා ගැනීම සුබ ලකුණක් නොවේ.
එනිසා වෙන් පොදුවේ ගත් කළ ද වෙන් වෙන්ව ගත් කළ ද ජාතීන් තුළ අන්තවාදීන් කොටසක් සිටිනා බව අප පිළිගත යුතුමය. මෙය සාමාන්‍ය කාරණයකි.ඇෆ්ගනිස්ථානය තුළ පවා විනාශකාරී තත්ත්වයන් නිර්මාණය කළේ අන්තවාදීන්ය. එසේම මෙවන් කොටස් සිංහල ජනයා තුළ ද සිටී.දෙමළ ජනයා තුළ ද සිටී. ඔවුන් අනම්‍යශීලී පිරිස් වන අතර දැඩි ප්‍රතිපත්ති සහිත පුද්ගලයෝ වෙති. විශේෂයෙන්ම ඔවුන් සාම්ප්‍රදායිකත්වය,ඉතිහාසය,සංස්කෘතිය සහ සිරිත් විරිත් හිස් මුදුනේ තබාගෙන සිටින අතර මෙවැනි තත්ත්ව වෙනස් වීම දරාගත නොහී කෑ මොර දෙන්නේය. එහෙත් අප මෙයින් සංස්කෘතිය හෝ සිරිත් විරිත් හෝ අනවශ්‍ය යැයි නොහඟින්නෙමු. එහෙත් ජාතික අනන්‍යතාවය සමග ජීවත් වන අප, තවමත් බුද්ධියෙන් සංවර්ධනය වී නොමැත.ඛේදවාචකය එයයි. විශේෂයෙන්ම බුදුදහම සිංහලයන්ට පමණක් බදු දී ඇති බව වක්‍රාකාරව සිතීම ද එක්තරා ආකාරයක අන්තවාදයකි. එසේම බුදුදහම ශ්‍රී ලංකාවට බදු දී ඇති බව සිතීම දරැණු ඛේදවාචකයෙකි. මන්ද බුදුරජාණන් වහන්සේ සමස්ත ලෝකයාටම පොදු සනාථන දහමක් දේශනා කළා මිසෙක ශ්‍රී ලංකාවට අදාළ දහමක් දේශනා කළේ නැත.එහෙත් පවත්නා සංවාද හරහා පාර කපන්නේ එවන් සංවාදයක් කරාය.විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළ බෞද්ධ දර්ශනය අද වන විට ආගමක් බවට පත්ව විකෘති වී ඇති අතර සෙසු ඇතැම් ආගම් ද කාලයාගේ ඇවෑමෙන් විකෘති තත්ත්වයකට පත්ව ඇත.උදාහරණයක් වශයෙන් සිංහල බෞද්ධයා ප්‍රතිපත්ති පූජාව වඩා ආමිස පූජාවට ඉහළින් සළකන අතර දැඩි ලෙස මිත්‍යා විශ්වාසවල එල්බගෙන සිටින්නේය. අනෙක් අතට පසුගිය සතියේ සිදුවීමට තිබූ ලෝක විනාශය පිළිබඳ වැඩි ජ්‍යෙතීර්ය විශ්වාසයන් කෙරේ අවධානයෙන් සිටියේ බෞද්ධයන්ය. එය තවත් නිදසුනකි.එහෙත් බෞද්ධ දර්ශනය තුළ ජ්‍යෙතිර්යයක් හෝ නැකැතක් පිළිබඳව කතා නොකරයි. සියලු දේ ට නැකැත් පැමිණෙන තුරැ බලා සිටිය යුතු යැයි ද නොපවසයි. එසේම ලෝකයේ අවසානය හෝ ආරම්භය නොසොයන බව වදාළ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කිසිම විටෙක කිසිම දෙයක අන්තය කරා නොයන ලෙසයි. එය උන්වහන්සේගේ මධ්‍යම ප්‍රතිපදාව හරහා මනාව පැහැදිලි වේ. මේ හේතුවෙන් අප යා යුත්තේ කොතැනට ද ? අප කළ යුත්තේ කුමක්ද ? මීට දිය හැක්කේ ඉතා සරල පිළිතුරකි. අපි සමාජයේ කුඩාම ඒකකය වන පවුල උදාහරණයකට ගනිමු. තම පවුල අසමගිය. එහෙත් සෙසු පවුල් එකිනෙකා හා සමගිය සිටී.එහෙත් අසමගි පවුල් එම සමගියට ඊර්ෂ්‍යා කරන්නේය.එනම් තම පවුලේ සාමාජිකයන්ට හෝ උදව් උපකාර නොකරන ඇතැම්හු අනෙක් පවුල්වල සමගියේ ප්‍රබලත්වය පුනා පුනා දක්වන්නේ,ඔවුන්ගෙන් තම පවුලට එල්ල වන ප්‍රහාර පිළිබඳ විස්තර කරමිනි. අපි මඳකට මෙවන් ප්‍රහාර එල්ල වන්නේ යැයි සිතමු. එහෙත් ඉතා සූක්ෂම ලෙස මෙවැනි ප්‍රහාරවලට මග සැලසෙන්නේ අපේම අසමගිය නිසාය. මීට අද වන විට දේශපාලනය ද ඉතා දැඩි ලෙස බලපෑමක් කර තිබේ.ඔවුන් ද මෙයින් ප්‍රයෝජන ගනිමින් සිටී. මන්ද ජනී ජනයා භේද වීම පාර කැපෙන්නේ පාලකයන්ටය.දේහපාලන ස්ථාවරත්ව තහවුරැ 
වන්නේ ඔවුන්ගේය. දේශපාලකයන් මීට මැදිහත් නොවන්නේ එනිසාය. එනම් එවිට ශිඝ්‍රෙයන් වෙනස් වන ශ්‍රී ලංකාව තුළ ජාතික සමගිය ගොඩනැගීමේ ගැටලුව ඔවුන්ට මග හැරිය හැකිය.සෙසු ජන පවුල්වල දුරාචාරයන් පිළිබඳව සොයන මහජනයාට මේ පිළිබඳ මතකය ද අමතක කළ හැකිය. මේ නිසාම ඕස්ට්‍රේලියාව සහ කොරියාව බලා යන සිංහල බෞද්ධයන් පිළිබඳව ද කිසිවකුගේ අවධානයක් යොමු වන්නේ ද නැත.ඔවුන් නීතිවිරෝධි අන්දමින් හෝ නීත්‍යනුකූල අන්දමින් රට හැර යන්නේ ඇයිද  යන්න ද සොයා බැලිය යුතු නොවේ.ඔවුන් ආර්ථික අහේනියේ බිල්ලක් වන සැටි ද සෙවිය යුතු නොවේ.

මේ නිසා අප පළමුව කළ යුතු වන්නේ එකාවන්ව කටයුතු කර රටේ ආර්ථික ගොඩනැංවීමයි. රට තුළ සුරක්ෂිතතාවය ඇති කිරීමයි.එසේම රටේ සියල්ලන්ටම ඕනෑම තැනක තම ආගම ඇදහීමට,චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමට අවකාශය සැලසීමයි. කොටින්ම කියතොත් මෙවැනි ක්‍රමෝපායන් කඩිනමින් දියත් කර යුත් වන්නේ පාලකයන් විසිනි. එහෙත් මනාප සටනක පොර බදන ඔවුන්ගෙන් කී දෙනෙකුට මෙවන් අවශ්‍යතාවයක් තිබේද යන්න ගැටලුවකි.එනම් යුද්ධය අවසන්ව වසර තුනක කාලයක් ගෙවී ගිය ද තවමත් මීට නිශ්චිත විසඳුමක් ලබා දීමට පවතින රජය අපොහොසත් වීම මීට ප්‍රධාන සාධකයක් වී ඇත..   

මෙම සියලු කරැණු කාරණා සොයා බලන කල්හි සිදුවන ලෝක විනාශයක් සිදු නොවුණ ද ශ්‍රී ලංකාව තුළ විනාශයක් නිර්මාණය වෙමින් පවතී. එහෙත් මෙවිට විනාශයන් දැක දැක තව දුරටත් මුනිවත රුකීම කළ යුතුදැයි ඔබ අපෙන් ප්‍රශ්න කරනු ඇත.එහෙත් අප අදහස් කරන්නේ එය නොවේ. එනම් ඔබ යම් විනාශයක් සිදුවන්නේ නම් ඊට විරෝධය පළ කළ යුතු වේ. ඒ අදාළ සිදුවීමේ කෝණයෙන් පමණි. එසේ නොමැතිව ජාතිවාදී කෝණයෙන් නොවේ.එනම් එය පුද්ගලබද්ධ කාරණයක් පමණක් විය යුතුය.

එහෙත් අවාසනාවකට මෙන් මීට තිස් හතරකට ආකාරයෙන්ම වර්තමානයේදී දැවෙන ප්‍රශ්න සඳහා ජාතිවාදී ලේබලය ඇලවී ඇත.එනම් ඇතැම් දේශපාලන පක්ෂ සහ අන්තවාදී සංවිධාන විසින් විස පොවා ඇත්තේ ඔවුන්ට ඉල්ලීම් නොලැබෙනුයේ තමන් සිංහලයෙක් නොවන නිසා බවයි.බෞද්ධයෙකු නිසා බවයි.එහෙත් පොදුවේ ගත් කළ අපට පෙනෙනුයේ තරැණ ප්‍රජාව මුහුණදෙන ගැටලුවල ස්වරෑපය එක හා සමාන බවයි.මේ නිසා අප කළ යුතු වන්නේ තම ගැටලු සම්බන්ධයෙන් එකමුතුව පාලකයන්ට ඒත්තු ගැන්වීම මිසෙක බෙදී විසිරී යාම නොවේ.

කෙසේ වෙතත් අවසානයේදී අපට මෙසේ සටහනක් තැබීමට සිතේ.ඔබ බෞද්ධයකු නම් හොඳ සිංහලයෙකු නම් තම ආගම ජාතිය සුරුකීමට කළ යුතු වන්නේ ජාතික මට්ටමේ වැඩපිළිවෙළක් සකස් කිරීම නොව අන්තර්ජාතික වැඩපිළිවෙළක් සකස් කිරීමයි.එනම් ශ්‍රී ලංකාව තුළ වෙසෙන බෞද්ධයන් සුරුකීමට සමගාමීව විදේශගත වූ බෞද්ධයා සුරුකීමේ වැඩපිළිවෙළකට මුල පිරීමයි.නොපැකිලව ජාතික අඛණ්ඩතාවය තහවුරැ කිරීමයි.

මාලන් විදානපතිරණ

No comments:

Post a Comment