Friday, July 5, 2013

රුවන්ති ඩි චිකේරාගේ ‘“කළුමාලි“ වේදිකා නාට්‍යය නැරඹුවෙමි - (GO Magazine)-2012/10/10



ගැහැණීයක ද නොවන පිරිමියෙකු ද නොවන කළුමාලි

සටහන - මාලන් විදානපතිණ

මීළඟ දර්ශනය - නොවැම්බර් 22 වැනිදා කොළඹ බිෂොප් විද්‍යාලයේදී ‍සවස 7.00ට රැවන්ති ද චිකේරා විසින් අධ්‍යක්ෂණය කරන ලද නවතම නාට්‍ය නිර්මාණය වන කළුමාලි (A Fairy Tale for Grown- Ups) නැරඹීමට අපි පසුගිය 15 දා කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවට ගියෙමු. එදින රංග කාර්යය ඇරඹීමට නියමිතව තිබුණේ සවස 7.15 ට ය. විශේෂයෙන්ම වසර ගණනාවකට පසු වේදිකාවට පිවිසෙන ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහගේ රංගන ප්‍රතිභාව නැරඹීමට එදින අපි නොඉවසිල්ලෙන් පසුවූයෙමු. එහෙත් එය ආරම්භයේදීම සුන් විය. අයිරාංගනී සේරසිංහ මහත්මියට විවේක ගන්නා මෙන් වෛද්‍ය උපදෙස් ලැබී ඇති බවට නිවේදනයක් නිකුත් වීම නිසාවෙනි. එහෙයින් අප අකමැත්තෙන් වුව ද තිරය විවර වන තෙක් මුව අයා බලා සිටියෙමු. ඒ කළුමාලි වේදිකා නාට්‍යය කවර මුහුණුවරකින් වේදිකාගත වනු ඇත් ද යන සැකයෙන් යුතුවය. තුන්වැනි සීනුව නාද විය. එහෙත් තිරය විවර වන පාටක් නොමැත. බෝනික්කන් වට කර ගත් කාන්තාවක්(නදී කම්මැල්ලවීර) පැමිණ අප ඉදිරියේ පුටුවක් මත වාඩි වී සිටියාය. ඉනික්බිති ඇය පුටුව ද ගෙන පිටව ගියාය. ඒ අප සිත තුළ පැවැති කුහුල තව තවත් ලියලමිනි.

පළමු අංකය ආරම්භ විණ. බෝනික්කන්ගෙන් පිරි පුටු සමූහයක් වේදිකාවේ තිබුණු අතර ටික මොහොතකින් ඒවාඑකින් එක රුගෙන පිරිසක් පිටව ගියහ. මේ අතර වර්ණවත් කොණ්ඩයකින් සුසැදි කාන්තාවක් වේදිකාවේ වම් කෙළවරේ කිසියම් කාර්යයක නිරත වන බව ප්‍රේක්ෂක අපට දැකගත හැකි විණ. ඒ අසලම කුඩා දැරියක ද සිටිනු දැකගත හැකි විණ. කුඩා දැරිය සකිය. (හඳුන්වාදෙන නිළිය ශලීනා මුතුමුදලිගේ). කාන්තාව ෆිල්ම් ආච්චිය (ජුවනිටා බීලිං). නාඩගම් පිස්සුවෙන් වෙළුණු ෆිල්ම් ආච්චිගෙන් කළුමාලි කතාවක් දැන ගැනීම සකිගේ අභිප්‍රායයි. එහෙත් දිල් (සකිගේ මව) ඊට ඉඩ නොදෙයි. දිල් සිතන්නේ කතා ඇසීමට වඩා වටිනා දේ සකිට ඇතය කියාය. එහෙත් සකි ෆිල්ම් ආච්චි සොයා පැමිණින්නී,ඈගෙන් කලුමාලි පිළිබද පළමු කතාව අසන්නීය. ප්‍රේක්ෂකයන් කළුමාලි පිළිබද දළ අදහසක් ලබා ගන්නේ එයිනි. එය සැබැවින්ම වෙනස් මුහුණුවරක සුරංගනා කතාවකි.
අලුත් බිළිදෙකු උපදින බව මුලින්ම දැනගන්නේ සුරංගනාවන් සහ සුරංගනාවියන්ය. බිළිදාට මුලින්ම තෑගිගෙන පැමිණෙන්නේ ද මොවුන්ය.එහෙත් අවාසනාවට මෙන් උපදින දරැවා පිරිමි දරැවකු ද ගැහැණු දරැවකු ද වග කල් තියා හඳුනාගත නොහැකි වූ ඔවුන් කළුමාලිට ගැහැණුන්ට හිමිවන දේ මෙන්ම පිරිමින්ට උරැමවන දේ ද තෑගි ලෙස ලබාදෙන්නේය.එහෙයින් කළුමාලි උපදින මොහොතේ බොහෝ දෙනා සිතුවේ කළුමාලි පිරිමි දරැවෙකු කියාය. එහෙත් කල් යත්ම සියලු තතු හෙළි විණ. ඈ තුළ පිරිමි ගති පරයමින් ගැහැණු ගති ද ඉස්මතු විණ. එහෙයින් නොයෙක් ආකාරයේ නින්දා, අපහාස විඳි ඇයට ජීවත් වීම පවා එපා විය. මේ නිසා මැජික් කාරියක සේ විටෙක පිරිමියෙකු ලෙස ද විටෙක ගැහැණියක ලෙස ජිවත් වෙමින් ඇය කල් ගෙවුවාය. ඇය ජීවත් වූයේ ද එයිනි. කළුමාලි කතාව නිමවිය.

එනම් ජීවත් වීමේදී අප නොයෙක් ආකාරයේ වෙස් මුහුණු පළඳින බව කීම අධ්‍යක්ෂවරියගේ අරමුණ වී ඇති බව එයින් අපට වැටහේ. එහෙත් වේදිකාවකදී කතාවක් කියමින් ප්‍රේක්ෂකාගාරය රඳවා ගැනීම ඉතා අසීරැය. ඊට අභිරෑපණය භාවිතා වන්නේ මෙවැනි වටපිටාවක් තුළය.එය සාර්ථකය.අති විශිෂ්ටය.ඒ සඳහා යොදාගෙන ඇති නවක නිළිය එකී භාව මනාව ප්‍රේක්ෂකාගාරයට ඉදිරිපත් කරන්නීය.

එහෙත් ෆිල්ම් ආච්චිගේ කළුමාලි කතාවෙන් අනතුරැව සකි විසින් දිගින් දිගටම විවිධ ප්‍රශ්න අසමින් දිල් වෙහෙසට පත් කරන්නීය.එය නාට්‍යයේ සුවිශේෂී සිදුවීමකි. ඇගේ ප්‍රශ්න වන්නේ ඔයා කව්ද කියාය, අම්මාගේ ඔළුව කොහෙද තියෙන්නේ, ඔයා මොනවද කරන්නේ ආදියයි. එහෙත් කිසිවකට දිල්ට දීමට නිසි පිළිතුරක් නොවීය. එනමුත් ඒවා අපට පොඩිකමට ඇසූ ප්‍රශ්න ලෙස ද බැහැර කළ නොහැක්කේය. ඒ එම ප්‍රශ්නවල ඇති බැරෑරැම් බව නිසාවෙනි. එමෙන්ම අවුලින් අවුලට පත් දිල්ට තමන් කව්ද කියාවත් වටහා ගැනීමට නොහැකි බැවිනි.තරගකාරී සමාජයක ස්වරෑපය එයයි. අධ්‍යක්ෂවරිය ආරම්භයේ සිටම දිල්ගේ චරිතය හරහා වත්මන් සමාජයේ සංකීර්ණත්වය හා ඊට මැදි වූ කාන්තාවගේ භූමිකාව නිරෑපණය කිරීමට උත්සාහ කරන්නේ මෙබැවිනි. එමෙන්ම සකිගේ චරිතය ඉතා සරල, විනෝදකාමී චරිතයක් බවට පත් කර ඇත්තේ, ඈ මෙම සමාජ සංකීර්ණත්වයට ගොදුරැ නොවූ එම සංකීර්ණත්වය සොයා යන්නියක බැවිනි. මේ නිසා ඈ සොයන්නේ ඇගේ ලෝකයකි.ඈ මවගෙන් තම ප්‍රශ්න පිළිබඳ දිගින් දිගටම විමසන්නේ සහ ඒවාට පිළිතුර සෙවීමට උත්සාහ දරන්නේ එබැවිනි. එහෙත් ඒ සෑම මොහොතකම මව සහ දුව අතර පවතින බැම්ම පළුදු වන්නේය. ඔවුන් අතර කෙතරම් තද බැදීමක් තිබුණ ද ඒ පිළිබද නැවත වරක් ප්‍රශ්න කරන අධ්‍යක්ෂවරිය, එවන් තත්ත්වයකට පත් කළ සමාජ හර පද්ධතියේ විෂමතාවය කවරක්ද යන්න ද වක්‍රොක්තියෙන් ප්‍රශ්න කරන්නීය.
‘‘
“මට නොතේරෙන මොකක්දෝ ඇත්තක් අම්ම දන්නවා,ඒ වගේම අම්මත් නොදන්න මොකක්දෝ ඇත්තක් මටත් දැනෙනවා.“ යැයි විටෙක සකි මවගෙන් අසන්නේ එබැවිනි.
සකි විසින් ගේ පුරා ක්ලේ ගුලි සහ වෙනත් වෙනත් ඇඳුම් කැබැලි විසි කිරීම හේතුවෙන් උද්ගත වන තත්ත්වය කළුමාලි වේදිකා නාට්‍යයේ පළමු අංකයේ එන තවත් විශේෂ සිද්ධියකි. ගෙදර වැඩ නිම කිරීමට නොහැකිව ළතැවෙන වත්මන් ස්ත්‍රියට, ළමා නිර්මාණශිලිත්වය පවා නුහුරට පෙනෙනා අයුරැ එයින් මනාව පිළිබිඹු වන එතුළින් අධ්‍යක්ෂවරිය නැවත වරක් ප්‍රශ්න කරන්නේ සම්ප්‍රදාය යන විෂය තුළ ගැහැණිය පමණක් තම යුතුකම් අකුරටම ඉටු කළ යුතු ද යන්නයි.ඇයට මේ ක්‍රමය තුළ නිදහසක් නොමැතිද යන්නයි.එහෙත් ඇගේ මව ඇයට වදාරන්නේ කුමක්ද ?

“ දුව, මවක් වූවා යැයි තමන්ගේ හිතට එකඟව වැඩ කිරීම නවත්තන්න එපා. දරැවා වෙනුවෙන් හැම දෙයක්ම කැප කරන්න එපා.”

එමෙන්ම පළමු අංකයේ එන තවත් විශේෂ සිදුවීමක් මෙහිලා සටහන් කිරීම අගනේය. දිල් තම දියණියට(සකි) පාසැලේදි පැවරෑ ගෙදර වැඩ කියාදෙයි. එහෙත් සකි ඊට අවධානය යොමු නොකරන්නීය. ඈ යළිත් වරක් පෙර කී ප්‍රශ්න වැල නොනවත්වා අසයි. ඈ කේන්තියෙන් පුපුරා යයි.එහෙත් අවසන සිදුවන්නේ කුමක්ද ? දිල්, සකි හමුවේ සකීටත් වඩා අසරණ වන්නීය. ඒ සකිට මෙවන් මන්ද බුද්ධික අධ්‍යාපන ක්‍රමයක් කියා දීමට සිදුවූ බැවිනි.එයට සකි කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බැවිනි. මන්ද සකිගේ මානසිකත්වය මවට සාපේක්ෂව ඉතා හොඳ මට්ටමක පවතින බැවිනි. ඈ සිය මව මෙන් මානසික විකෘතිතාවයට පත් වී නොමැති බැවිනි. අවසන දිල් සහ සකි අතර මෙවන් සංවාදයක් ඇතිවන්නේ එබැවිනි. 

“ සකි - අම්මී, අම්මී මොකද කරන්නේ අම්මී ?
  දිල් -  මම අම්මී නෙමෙයි. මම දැන් සකි. මම දැන් හෝම් වර්ක් කරනවා“

වේදිකා නාට්‍යයේ පළමු අංකයේ එන අවසන් සිද්ධිය ද ලගන්නා සුළුය. එය පුවත්පත් මූලික කර ගත් ජනමාධ්‍යවේදීන් වස්තු විෂය කර ගත්තකි. දිල් මවක් වීමට පෙර සිය වෘත්තිය වශයෙන් යෙදී සිටියේ මාධ්‍යකරණයේයි. එහෙත් පවතින ක්‍රමය තුළ ඈ දැඩි ලෙස තෙරපී සිටින්නීය. ඒ නිදහසේ තම ප්‍රකාශනය සමාජගත නොහැකිවය. ඈ දෙවරක් තම කුටුම්භය තුළම එම නිදහස අහිමි කර ගන්නීය. එහෙත් එම නිදහස ලබා ගැනීමට යළි යළිත් වෙර දරන්නීය. එහෙත් එය දෙවතාවේම වැළකෙන්නේ ප්‍රේක්ෂකාගාරය හමුවේ ඈ උපහාසයට බඳුන් කරමිනි.

මේ හරහා මවට තම පවුල වෙනුවෙන් හෝ තීරණයක් ගත නොහැකිද යන්න මතුපිටින් ප්‍රශ්න කරන අධ්‍යක්ෂවරිය, වත්මන් ශ්‍රී ලාංකීය සමාජයේ මාධ්‍යවේදියාට උරැම වී ඇති ස්ථානය පිළිබඳව ද කදිම විවරණයක යෙදෙන්නීය. එමෙන්ම පුළුල් සමාජ හෝ දේශපාලනික ප්‍රශ්න පිළිබදව නිදහසේ කතා කිරීමේ නිදහස වත්මන් මාධ්‍යවේදියාට අහිමි වී ඇති බව ද වක්‍රෝක්තියෙන් පවසන්නීය. එබැවින් දෙවන අංකය වන විට නාට්‍ය අධ්‍යක්ෂවරිය වඩා එඩිතර පිම්මක් පැන ඇති බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. එහෙයින් එය පැසසුමට ලක් කළ යුත්තේ එය උඩුගං බලා යන්නක් වන බැවිනි.
 දෙවන අංකයේ එන තවත් කැපී පෙනෙන සිදුවීමක් ලෙස දිල්ගේ වැඩ ලැයිස්තුව සඳහන් කළ හැකිය.

“දිල් -    කළණ, අද මම මට කරන්න තියෙන දේවල ටික ලැයිස්තුගත කළා.ඔයත් බලන්න ආ (ඈ ලැයිස්තුව දෙයි. එය ඔතන ලද ඉතා දිග එකකි.) ඒත් මට තේරෙන්නේ නැත්තේ කළණ මේවායින් මුලින්ම මොකක්ද කරන්නේ කියලායි. ඔයාට බැරිද මට ඒකට උදව් කරන්න ? 

කළණ - (ඔහු ලැයිස්තුව කියවයි.ඉන්පසු නිශ්ශබ්දව බිම බලා ගනියි.)

දිල් -     හැබැයි කළණ මට මේ ලැයිස්තුව හදන්න නම් පැය පහක්වත් ගියේ නැහැ. ඒත් තාම මොකක් මුලින් කරනවාද කියලා තමයි හිතාගන්න බැරි.“

සැබැවින්ම මේ මොහොතේදී දිල් මෙන්ම කළණ (දිල්ගේ සැමියා) ද අසරණය. මෙනිසා උදේ පටන් මුදල් ඉපයීමේ ගින්නෙන් මිරිකුණු ඔහුට දිල්ට හෝ පිහිටවිය නොහැක. යථාර්ථය ද එසේමය.ඇන්ටන් චෙකෝෆ් වැනි නාට්‍ය රචකයන්ගේ ස්වාභාවික චින්තන ධාරාව (Naturalism), හැරල්ඩ් පින්තර්, ඉයුජින් අයනොස්කෝ වැනි නාට්‍යකරැවන්ගේ රංග රීතින්ගේ මෙන්ම හෙන්රික් ඉබ්සන් වැනි නාට්‍යකරැවන්ගේ නව යථාර්ථවාදී නාට්‍ය රීතිවල (Neo- Realism) ද නොමඳ ආභාසය ලබා ඇති බවට පෙනෙන මෙම නාට්‍යයේ තේමාව වඩා පුළුල් ස්ථරයක් වෙත ගමන් ගන්නේ තෙවැනි අංකයේදීය.මීට පෙර අංකවලදී කළුමාලි යනු ස්ත්‍රී භූමිකාවක් පමණක්ව තිබුණ ද කළණගේ කළුමාලි කතාව සහ ගෙදර ආච්චිගේ කළුමාලි කතාව හරහා එය වෙනස්ම මානයක් කරා අපගේ ප්‍රේක්ෂාව ගෙන යන්නේ සමාජයේ සිටිනා විවිධ ස්ථරයේ පුද්ගලයන් නියෝජනය කරමිනි. එමෙන්ම එය තෙවැනි අංකයේ අවසන් සිද්ධිය වන නාඳුනන මිනිහාගේ කළුමාලි කතාවේදී තරමක් ගැඹුරැ සමාජ සංවාදයකට මං පාදයි. එනම් ජීවිතයේ අරැත සොයා උඩුගං බලා යන පුද්ගලයකුගේ චරිතයක් හුවා දක්වයි.  ජීවිතයේ අරැත සොයා යාමට හැකි අලුත් දොරටුවක් කරා ප්‍රේක්ෂකයා පොළඹවයි. එමෙන්ම මෙතෙක් අපගේ චිත්තය තුළ චිත්‍රණය කරගත නොහැකි වූ
කළුමාලි චරිතය ද චිත්‍රණය කරවයි. එනම් කළුමාලි යනු ස්ත්‍රියක හෝ පුරැෂයකු හෝ නොව සමාජයේ ජීවත් වන පොදු මහ ජනතාව වන ඔබම බවයි.

කෙසේ වෙතත් නාට්‍යයේ අවසන් අංකයේදී සෙවණැලි රෑපණය ද මනා සේ ගලපා ඇති  කළුමාලි හි ආලෝකකරණය (ජෙරෝ එල්. ද සිල්වා) ද ඉතා උසස් මට්ටමක පැවතුණැයි කීම අතිශයෝක්තියක් නොවේ.

ඒ අනුව නූතන පවුල් ජීවිතයේ යථාර්ථයන්,රුකියා,සංස්කෘතිය,අධ්‍යාපන පද්ධතිය සහ බොරැව මත දෝලනය ඉදිරියට විතැන් වෙන ලෝකය ආදිය පිළිබඳ කදිම විවරණයක යෙදෙනා සාර්ථක උත්සාහයක් සේ සැළකිය හැකි කළුමාලි වේදිකා නාට්‍යයේ ඇති එකම දුර්වලතාවය ලෙස දැකිය හැක්කේ මේ තුළින් කතාබහ කෙරෙනා ප්‍රස්තුතය හුදෙක් මධ්‍යම පාන්තිකයන් ට සීමා වූවක් වීමයි.
   
මාලන් විදානපතිරණ

No comments:

Post a Comment