Friday, July 5, 2013

ප්‍රවීණ නාට්‍යවේදී ජයලාල් රෝහණ සමග කළ කතාබහක් 2012/12/26



දැන් අපි සිටින්නේ වේදිකා නාට්‍යයේ මළගම ඉදිරිපිට

මාලන් විදානපතිරණ

මේ දිනවල ජාතික රෑපවාහිනියේ විකාශය වන සල්මල් කන්ද,බොරළු පාර යන ටෙලිනාට්‍ය නැවතත් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වී ඇති ජයලාල් රෝහණ,සඳගලතැන්න,ඉසුරැ යෝගය වැනි ටෙලිනාට්‍ය හරහා අතිශයින් ජනප්‍රියත්වයට පත් ප්‍රවීණ රංගන ශිල්පියෙකි.ප්‍රසන්න ඉත්තෑපානගේ පුර කලණි සහ සුසිරන් ද සිල්වාගේ නව ටෙලිනාට්‍යකින් ඉදිරියේදී ඔබ හමු වන ජයලාල්, කවදත් නවකයන් වෙනුවෙන් අතහිත දෙන්නෙකි. ලබන වසරේදී ලීටා නමින් නව වේදිකා නාට්‍යයක් ද වේදිකාගත කිරීමට බලාපොරොත්තු වන ඔහු මීට සමගාමීව මිරිස්වත්ත පැනෝටා ආයතනයේදී රංගනය පිළිබඳ පාඨමාලා කිහිපයක් ද දියත් කරමින් සිටී.නොමිලේ පැවැත්වෙන මෙම සියලු පාඨමාලා ඕනෑම වයසක, ඕනෑම තරාතිරමක අයට විවෘතව තිබෙන අතර මේ වන විට එය සාර්ථක ප්‍රතිචාර ලබමින් සිටී.මේ දැක්වෙන්නේ ජයලාල් සමග කලා ක්ෂේත්‍රය පිළිබඳ අප කරනා ලද කතාබහක කෙටි සටහනකි.

   මම දවසක් අනුරාධපුරට ගිය වෙලාවක මට ඉතා දැඩි චෝදනාවක් එල්ල වුණා. ඒ තමයි මම නවකයන්ට අත හිත දෙන්නේ නැතෙයි කියන එක.අපිම රඟපානවා කියන එක.ඒ වගේම එතැනදි අදාළ පුද්ගලයා මට දෝෂාරෝපණය එල්ල කළේ අපි නවකයන්ට අත හිත දෙන්න කැමැති නැතැයි කියන එක. ඒත් මම මෙම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරනවා. මොකද මම නිරන්තරයෙන්ම තරැණයන් සමග සිටින කෙනෙක්.ඔවුන් සමග වැඩ කටයුතු කරන කෙනෙක්.ඒත් අද වෙලා තියෙන්නේ මේක නෙමෙයි.අද ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ ගුණාත්මක ටෙලිනාට්‍ය අඩුයි. ගුණාත්මක රංගයන් අඩුයි.විශේෂයෙන්ම අද සුමින්ද සිරිසේන,ටෝනි රණසිංහ වැනි කලාකරැවන් අසනීපව සිටීම මීට තදින්ම බලපා තිබෙනවා.ඒ නිසා මෙතැන තිබෙන්නේ ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රශ්නයක්.ඒත් අද අපිට දක්ෂ තරැණ පරපුරක් සිටිනවා.ඒ ගැන සතුටු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මම රඟපාන බොරළු පාර සහ සල්මල් ලන්ද ටෙලිනාට්‍ය දෙකටම බලපෑවේ විශිෂ්ට තිර පිටපතක් තිබීම.ඒ නිසයි මම ටෙලිනාට්‍ය ද්විත්වය සඳහා මගේ කැමැත්ත පළ කළේ.මොකද මම ප්‍රතිපත්තියක් හැටියට මෙගා ටෙලිනාට්‍යවල රඟපාන්නේ නැහැ. ඒත් ජාතික රෑපවාහිනිය ටෙලිනාට්‍යයක් කොටස් සියයකට සීමා කිරීමට තීරණය කර ඇති නිසයි මම බොරළු පාරට සම්බන්ධ වුණේ“ජයලාල් කතාව අරඹමින් පැවසුවේය.

වත්මන් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය ගැන මොකද හිතන්නේ ?

අද ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය බාල තත්ත්වයට පත් වෙලා.ඒ බව මම වගකීමෙන් කියනවා.මොකද අද තිබෙන ටෙලිනාට්‍ය කිහිපයක් හැරෙන්න අනෙක් ටෙලිනාට්‍ය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න මතු වී තිබෙනවා.මේ නිසා තමයි නාගරික ප්‍රේක්ෂකයා සැටලයිට් නාලිකා සඳහා යොමු වී තිබෙන්නේ. ඒත් මම කියන්නේ නැහැ ඒක වැරදියි කියලා. ඒත් ටෙලිනාට්‍යෙය් ඇද වැටීම නිසයි, ප්‍රේක්ෂකයා මේ ආකාරයෙන් රෑපවාහිනියෙන් ඈත් වෙන්නේ.මේ නිසා රටේ ප්‍රධාන නාලිකා මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතුයි.මොකද ඇතැම් නාලිකා මගින් ප්‍රේක්ෂකයා අවජාතකරණය කරලයි තියෙන්නේ. විශේෂයෙන්ම ඔවුන් විසින් ප්‍රේක්ෂකයා මන්ද බුද්ධිකයන් කර තිබෙන බව කියන්නේ ඉතාම කණගාටුවෙන්.

අසූව දශකයේ සිට ශ්‍රී ලාංකීය වේදිකාවේ රුඳී සිටින ඔබ වත්මන් වේදිකාව ගැන මොකද හිතන්නේ ?

අද බොහෝ නාට්‍යකරැවන් නාට්‍ය නිර්මාණය කරන්නේ රාජ්‍ය නාට්‍ය උළෙල ඉලක්ක කරගෙනයි. ඒත් මට නම් ඔය රාජ්‍ය නාට්‍ය උළෙල සම්බන්ධෙන් විශාල ප්‍රශ්නාර්ථයක් තිබෙනවා.මොකද අද රාජ්‍ය නාට්‍ය උලෙළ හරහා කෙරෙන්නේ නාට්‍යකරැවන් දිරිමත් කිරීම නෙමෙයි. තව තවත් අලස කිරීමයි.යෞවන සම්මාන උලෙළ ගත්තත් එහෙමමයි. ඒ නිසා දැන් අපි කතා කරන්නේ වේදිකා නාට්‍යයේ මළගම ඉදිරිපිට ඉඳන්.මොකද අද නාට්‍ය කලාව සංඛ්‍යාත්මකව වර්ධනය වුණත් ගුණාත්මකව වර්ධනය වෙලා නැහැ.අනික අද ලංකාවේ පාලකයන් කලාකරැවන්ට උදව් කරනවා කියලා අදහස් කරන්නේ ලැප්ටොප් දෙන එකයි. ඒත් ඒකත් දෙන්නේ තෝරාගත්ත පිරිසකට පමණයි.මොකද ඔවුන්ට ඕනෑ කරන්නේ කලාකරැවන්ව ඔවුන්ගේ ප්‍රචාරණයට පාවිච්චි කිරීම පමණයි.ඒ නිසා වත්මන් කලාව සම්බන්ධයෙන් ගැඹුරැ සංගායනාවක් අවශ්‍ය බව මම අවධාරණයෙන් කියා සිටිනවා.ඒත් අද මේවා නොදකින සංස්කෘතියක් අමත්‍යාංශයක් නම් අපිට තිබෙනවා.ඒ නිසා මම මේ ගැන ශෝකය ප්‍රකාශය කරනවා.මොකද අද හැමදේම දේශපාලනීකරණය වෙලා. ඒ නිසයි නාට්‍යකරැවොත් කටපියාගෙන ඉන්නේ.අනික අද හැමෝගෙම කිල්ලෝටවල හුණූ පොඩ්ඩක් තියෙනවා. මේ නිසා සංවාද කරා පෙළඹෙන්න ඔවුන් කොහොමත් බයයි.අනික අද මෙවැනි ව්‍යාපෘතියක් පටන් ගත්තත් අනුග්‍රාහය දක්වන්න කිසිකෙනෙක් නැහැ.ඒත් රෑප රුජිනි තරගයකට නම් ඕනෑ තරම් අනුග්‍රාහකයෝ ඉන්නවා.මේ නිසා අද අනුග්‍රාහකයන්ගේ බුද්ධිය ගැනත් අපිට ප්‍රශ්න කරන්න සිදුවෙනවා. අනික අද අධිකරණයත් දියාරැ වෙලා ගිහින්.ඉතින් තව මොන කතාද ?

අද නාට්‍යකරැවන් ඇතුළු සෙසු අනුශාංගික ශිල්පීන්ට අධ්‍යයනය සඳහා තාමත් රාජ්‍ය නාට්‍ය පාසැලක් නිර්මාණය වෙලා නැහැ. ?

ඔව්.එහෙම හදන්නනෙත් නැහැ. මොකද එහෙම හැදුවොත් ප්‍රේක්ෂකයාට මොළේ පෑදෙනවා.එතකොට සමාජයේ වෙන්න මොකක්ද කියලා මහජනයා දැනගන්නවා. ඒ නිසා පාලකයන්ට තමන්ට අවශ්‍ය පරිදි මහජනයාව හසුරැවන්නත් බැරිවෙනවා. විශේෂයෙන්ම නාට්‍ය පාසලක් නිර්මාණය වුණොත් රටේ ප්‍රධාන පක්ෂ තුනම රටින් ඉවත් වෙන බව ඔවුන් දන්නවා.ඒ නිසා රටේ ගොබ්බයෝ ඉන්න තරමට පාලකයෝ කැමැතියි.අනික තමයි මෙවැනි නාට්‍ය පාසැලක් නිර්මාණය වුණත් මේ සඳහා පත්වන පුද්ගලයන් කවුද යන්නත් විශාල ගැටලුවක්. අද මේක ඇමෙරිකාවෙත් සිදුවෙන දෙයක්. අනික නමේ ඉස්සරහට ආචාර්ය කෑල්ල වැටුනම බයට පත්වන ජනතාවක් තමයි අද රටේ ජීවත් වෙන්නේ.ඒ නිසා විෂය පිළිබඳ විශේෂඥයන් මීට සම්බන්ධ කර ගනියිද යන්නත් සැක සහිතයි. මොකද අපි ලංකාවේ ප්‍රථම නාට්‍ය හා රංග කලාව පිළිබඳ ප්‍රථම උපාධිධරයාවත්(ආචාර්ය සාලමන් ෆොන්සේකා) මරා ගත්ත ජාතියක්.ඔහු ඒ කාලේ තම දැනුම බෙදාදීමට සංස්කෘතික අමාත්‍යාංශයෙන් දිගින් දිගටම ඉල්ලා සිටියාත් ඔහුව තුට්ටුවකට මායිම් නොකළ ජාතියක්.ඉතින් කොහොමද කලාවක් දියුණූ වෙන්නේ ?

අද ජන සමාජයේ පරිකල්පන ශක්තිය හීන වෙලා. මේ බව සමාජ විද්‍යාඥවරැත් තහවුරැ කළා. මේ නිසාද ස්වත්‍රන්ත රචකයන්ගේ අඩුවක් තිබෙන්නේ ?

ඒක සම්පූර්ණ වැරදියි.ඒ නිසා මම නම් කියන්නේ එම දත්ත වාර්තාව වැරදියි කියලයි.මතුපිටින් සමාජය අත පත ගා නිර්මාණය කරන ලද වාර්තාවක් කියලයි.මොකද අද ස්වතන්ත්‍ර පිටපත් ලියන්න ඕනෑතරම් රචකයන් සිටිනවා.ඒත් මෙතැන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ගුණාත්මක පිටපතකට අවස්ථාවක් නැති වීමයි.මොකද අද ඔවුන්ට අද මාකටිං සංකල්පය එන්නත් කරලා. ඒ නිසා ඒක ඔළුවේ තියාගෙනයි ඔවුන්ට ලියන්න සිදුවෙලා තියෙන්නේ.අනික මෙතැන අද නාට්‍යකරැවන් සහ ටෙලිනාට්‍යකරැවන් ඒකාධිකාරයක් ගොඩනගාගෙන.ඒ නිසා ඔවුන් තමන්ගේ නිර්මාණවලට ඉඩ කඩ හදා ගන්නවා මිසක් දක්ෂයන්ට අත හිත දෙන්නේ නැහැ.හරියටම කියනවා නම්, අද රජවාසලට අමු හොරැ ටිකක් කඩා පැනලා.මේ නිසා එතැන ඉන්නෙ දේශපාලන ඇම්බැට්ටයෝ ටික මොවුන්ට ඉඩ දෙන්නේ නැහැ.අනික අද සමහර කලාකරැවන්ගේ ඇඳුම දැක්කම අපිට බයත් හිතෙනවා.මේ නිසයි විදෙස් සිනමාකරැවෙක් කිව්වේ ලංකාවේ සිනමාවක් නැහැයි කියලා.මොකද අද සිනමාව කියලා කරන්නේ ඉතිහාස කතාවක්, රජ කතාවක් පමණයි.ගම්මඩු බලපු ඔහු කිව්වේත් ඒවා මීට වඩා හොඳයි කියලයි.මේ නිසා අපි ගුණාත්මක රචකයන්ට ඉදිරියට ඒමට ඉඩ ලබා දිය යුතුයි.ඒ වගේම ප්‍රේක්ෂකයාගේ රසාස්වාදයත් ඉහළ නංවාලිය යුතුයි. 

ඒත් ඔබ ඇතුළු තවත් කිහිපදෙනෙක් පමණයි මේ ගැන කතා කරන්නේ ?

ඔව්. මොකද අද සමාජය තුළ වාරණයක් සිදුවෙලයි තිබෙන්නේ. අද සියලු දේ වාරණය වෙලා. විරැද්ධ මත නිහඬ කරලා. ඒ නිසයි බොහෝ දෙනෙකු නිහඬව බලා ඉන්නේ. බොහෝම ඉවසීමෙන් ඔවුන් බලා සිටින්නේ මේ නිසයි. අනික අද කලාකරැවෝ භේද භින්න වෙලා. ඒ නිසා ජ්‍යෙෂ්ඨයෙක් නාට්‍ය ගැන අදහස් පළ කළාම ඒකට බනින නාට්‍යකරැවන් තමයි අද සිටින්නේ.ඒ නිසයි අද ජ්‍යෙෂ්ඨයන් අතින් විචාරයක් හෝ ලියැවෙන්නේ නැත්තේ.අනික අද ඒ සඳහා ලැබෙන ඉඩකඩ සම්බන්ධයෙනුත් විශාල ප්‍රශ්නයක් තිබෙනවා.



අද නාට්‍ය කලාව තුළ කෙටි නාට්‍ය කලාව සංස්කෘතියක් වශයෙන් දියාරැ වෙමින් පවතිනවා නේද ?

ඔව්.අද කෙටි නාට්‍ය සංස්කෘතිය මිය ගිහින්. සාහිත්‍ය පිළිබඳ උද්යෝගය නැතිවෙලා ගිහින්.මේ නිසා අද නිවැරදි කලාව හීන වෙලා.විශේෂයෙන්ම අද සමහරැ හාස්‍ය හඳුනන්නේ නැහැ. ප්‍රහසනය හඳුනන්නේ නැහැ. ඒ නිසා මේ ගැන කොහොම කතා කළත් කේන්ද්‍රය ගැනයි ප්‍රශ්නය තියෙන්නේ. මොකද අදාළ නිලධාරීන් අද මුනිවත රකිනවා.රජයටත් මේ ගැන කිසිම  උනන්දුවක් නැහැ.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය නවීන ලෝකයත් සමගින් යාවත් කාලීන වෙන්නේ නැහැ නේද ?

ඔව්. පැහැදිලිවම.මොකද අද ලංකාවේ සියලු දේට දේශපාලනය අත ගසා හමාරයි. සියල්ල දේශපාලනීකරණය වෙලා හමාරයි. ඒ නිසා අද සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ නැහැ.හොඳම උදාහරණය තමයි මම සුභ සහ යස. මම මේ නාට්‍යය වේදිකා විෂය නිර්දේශයට එකතු කරන්න කිව්වේ මීට අවුරැදු දොළහකට කලින්. ඒත් මේක සිදුවු‍ණේ 2009 වසරේ ආරම්භ වුණු නව නිර්දේශයේදියි.ඉතින් ඒකෙන්ම අපිට පේනවා අධාපනය ක්‍රමය කොතරම් වේගවත්ද කියලා.

No comments:

Post a Comment