Friday, July 5, 2013

ඇස්.ගොඩගේ මහතා සමග සාකච්ඡාවක් 2012/09/19



ශ්‍රී ලංකාව පුරා පොත් ප්‍රදර්ශන පැවැත්විය හැකි ක්‍රමවේදයක් අපට සකසාදෙන්න

සාකච්ඡාව සහ සටහන - මාලන් විදානපතිරණ

ශ්‍රී ලංකාවේ ප්‍රකට ග්‍රන්ථ ප්‍රකාශකයකු ලෙස විශාල කීර්තියක් දිනාගෙන ඇති ගොඩගේ පොත් මැදුරේ සාඩම්බර හිමිකරැවා වන්නේ ඇස්.ගොඩගේ මහතාය.සාහිත්‍යය ක්ෂේත්‍රයේ විවිධ උස් පහත් වී හමුවේ නොසැලී ඉදිරියට පැමිණි දක්ෂ ව්‍යාපාරිකයකු වන ඔහු, අඩසිය වසකට ආසන්න කාලයක් තිස්සේ පොත් ප්‍රකාශනයේ යෙදුණෙකි. කාලයක් තිස්සේ ලේඛකයන් දිරිගැන්වීමේ අදිටනින් ගොඩගේ සාහිත්‍ය සම්මාන උත්සවය නමින් සම්මාන උළෙලක් ඇරඹි ඔහු සමග කළ කෙටි පිළිසඳරකි මේ.  
“අද වෙනකොට සාහිත්‍ය මාසය,ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය, විවිධ සාහිත්‍ය සම්මාන ආදිය නිසා පොත් ප්‍රකාශකයන්ගේ වර්ධනයක් දකින්නට පුළුවන්. ඒ වගේම පාඨකයා තුළත් විශාල පිබිදීමක් දක්නට පිළිවන්. ඒත් අපි මීට අවුරැදු පණහක් හැටක් ආපස්සට ගිහින් බැලුවොත්,මෙවැනි සාහිත්‍යය සම්මාන උත්සව තිබුණේ නැහැ. මොකද මගේ මතකයේ හැටියට 1959 තමයි රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලක් ආරම්භ වුණේ. අනික ඒ දවස්වල වැඩි වශයෙන් අලෙවි වුණේ කවි පොත්.මොකද ඒ කාලේ වැඩි ඉල්ලුමක් තිබුණේ කවි පොත්වලටයි.අනික ලේඛකයෝ හිටියෙත් ඉතා සුළු ප්‍රමාණයක්. ඒ නිසා එකල කවි පොතකින් පිටපත් 10,000ක් පමණ මුද්‍රණය වුණා. ඒත් අද මෙවැනි තත්ත්වයක් නැහැ. එනිසා අද කවි පොතකින් පිටපත් 1000ක්වත් අලෙවි කර ගන්න අමාරැයි. අනික අද පවතින බොහෝ කවි නිසඳැස් ආරෙන් රචනා වූ ඒවා. එනිසා අද, එදා වගේ සඳැස් කවියන් හරිම අඩුයි.ඒත් මම එය වැරුද්දක් හැටියට දකින්නේ නැහැ. මොකද කවියට මෙවැනි ඉරණමක් අත්වීමට වෙනත් වෙනත් රසවින්දන මාධ්‍ය කරළියට පැමිණීමත් බලපානවා.“ගොඩගේ පොත් මැදුරේ අධිපතිවරයා කතාව අරඹමින් ප්‍රකාශ කර සිටියේය.

මේ දිනවල පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැවැත්වෙනවා.ඒත් මීට පැමිණෙන ජන ගඟ හරහා පාඨකයන්ගේ වර්ධනයක් දකින්නට ලැබෙනවායි කියන්නට බැහැ නේද ?
ඔව්. ඒත් එහෙම නැහැයි කියන්නත් බැහැ. මොකද මේ ජන ගඟ තුළ රුල්ලට පැමිණෙන පිරිස් වාගේම පොත් කියවන්න කැමැති පිරිසුත් සිටිනවා. ඒ නිසා අපිට එය වෙන්කොට හඳුනාගන්න බැහැ. ඒත් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හරහා පොත් කියවීම පිළිබඳ පාඨකයන් තුළ පවතින උද්යෝගය වැඩි වී තිබෙනවා. විශේෂයෙන් මේ කරා ඇදෙන බහුතරය පාසැල් ළමුන්.

අද ඇතැම් නවකතාකරැවන් පොත් හැත්තෑ ගණන් අසූ ගණන් රචනා කරනවා. ඒත් ක්ෂණික නූඩ්ල්ස් වගේ පොත් ප්‍රකාශ කිරීම තුළින් අදාළ කෘතියේ ගුණාත්මක බව ගිලිහී යනවා නේද ?

ඔව්. එය සත්‍යයක්. ඒත් මගේ අදහස නම් බොළඳ නවකතා වගේම උසස් නවකතා ද පාඨකයන් අවශ්‍ය බවයි. මොකද සරල, බොළඳ තේමා හරහා තමයි පාඨකයා උසස් කෘති රසවිඳීමට පෙළඹෙන්නේ. මෙවැනි තත්ත්වයක් ඒ කාලෙත් තිබුණා. ඒ නිසා තමයි අපිත් උසස් කෘති කියවීමට පෙළඹුණේ.  

පසුගියදා පැවැති ගොඩගේ සම්මාන ප්‍රදානෝත්සවයේදී හොඳම නවකතාවට සහ හොඳම කවි පොතට සම්මාන හිමි නොවූවා යැයි චෝදනා එල්ල වෙනවා. මේ ගැන මොකද හිතන්නේ ?

ඇත්තටම මේ ගැන නම් මට කිසිවක් ප්‍රකාශ කරන්න බැහැ. මොකද එය ප්‍රශ්න කරන්න ඕනේ,මෙහි සිටි සමීක්ෂණ මණ්ඩලයෙන්. ඔවුන් තමයි මේ පිළිබඳ සියලු තීන්දු තීරණ ගන්නේ. ඒ නිසා මම උපදෙස් දී තිබෙන්නේ විවෘතව, අවංකව හොඳ පොතට සම්මානය ලබාදෙන්න කියා පමණයි.

ඒත් මෙවැනි සම්මාන ලබාදෙන කෘති මනින මිණුම් දඬුවල යම් ප්‍රශ්නයක් තිබෙනවා නේද ?

ඔව්. ඒත් මම නම් හොඳ පොතක් කියා නම් කරන්නේ හොඳ භාෂාවකින් යුතු, සභ්‍යත්වයකින් රචනා කරන ලද, සාරධර්ම පිරි කෘතියක් පමණයි. ඒ නිසා මම මෙවැනි මිණුම් දඬු කෙරේත් අවධානය යොමු කරන ලෙස ගොඩගේ සම්මාන ප්‍රදානෝත්සවයේ සමීක්ෂණ මණ්ඩලයට උපදෙස් දී තිබෙනවා.

වාර්ෂිකව පොත් ප්‍රකාශකයන් විසින් සංවිධානය කරන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය තවමත් කේන්ද්‍රගත වන්නේ කොළඹ සහ වෙනත් ස්ථාන කිහිපයක පමණයි. ඒත් ශ්‍රී ලංකාව පුරා අති විශාල පාඨක සංඛ්‍යාවක් සිටිනවා ?

ඔව්. ඔබ හරි.අපි ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයක් පවත්වන්නේත් මේ නිසායි. මොකද අපේ අරමුණත් පොත් අලෙවිය වැඩිකර ගැනීමයි. ඒ නිසා අපි ශ්‍රී ලංකාව පුරාම මේ ප්‍රදර්ශනය දියත් කිරීමට විශාල උත්සාහයක් දැරැවා. ඒත් සමහර ප්‍රදේශවලින් ඒ සඳහා අපට ඉඩ ලැබුණේ නැහැ. මොකද එම ප්‍රදේශවල මෙවැනි ප්‍රදර්ශනයන් පැවැත්වෙනවාට විරැද්ධයි.ඔවුන් කියන්නේ එයින් ඔවුන්ගේ පොත් අලෙවිසැල්වලට පහර වදින බවයි. ඒ නිසා අපට එකපාරක් සංවිධානය කළ පොත් ප්‍රදර්ශනයක්, නැවතත් අකුලාගෙන එන්න සිදුවුණා. ඒ නිසා අපිත් යෝජනා කරන්නේ ශ්‍රී ලංකාව පුරාවට පොත් ප්‍රදර්ශන පැවැත්විය හැකි ක්‍රමවේදයක් අපට සකසාදෙන්න කියලායි.



No comments:

Post a Comment