Friday, July 5, 2013

බර්නාඩාගේ සිපිරිගෙය වේදිකා නාට්‍යයේ අධ්‍යක්ෂ ප්‍රියන්ත සිරි කුමාර සමග සම්මුඛ සාකච්ඡාවක් - 2012/12/05



අද කලාව තුළ ගවේෂණය,කියවීම ඉතා අඩුයි

බර්නාඩාගේ සිපිරිගෙය වේදිකා නාට්‍යයේ අධ්‍යක්ෂ ප්‍රියන්ත සිරි කුමාර

සටහන - මාලන් විදානපතිරණ

1988 වසරේ සිට රංගන ශිල්පියෙකු,වේෂ නිරෑපණ ශිල්පියෙකු ආදී වශයෙන් වේදිකා නාට්‍ය සමග සම්බන්ධ වී සිටි ප්‍රියන්ත සිරි කුමාර, අද(06) කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී සවස 3.30 සහ 6.30 වේදිකාගත වන බර්නාඩාගේ සිපිරිගෙය නාට්‍යයේ වත්මන් නිෂ්පාදනයේ අයිතිකරැවායි. ඔහුගේ පළමු වේදිකා නාට්‍ය නිර්මාණය මරණය සහ කන්‍යාවයි. එය නිෂ්පාදනය වූයේ 1998 වසරේදියි. මහාචාර්ය රංජනී ඔබේසේකරගේ නාට්‍ය පිටපතටම අනුවම නිපැයුණු මෙම නව නිෂ්පාදනය, මෙලෙස අපට දැකගත හැකි වන්නේ දශක දෙකකට ආසන්න කාලයකට පසුවය.එසේ නම් ගාර්සියා ලෝකාගේ “ලා කා සා ඩි බර්නාඩා ඇල්බා “නම් ස්පාඤ්ඤ වේදිකා නාට්‍යය අපට වැදගත් වන්නේ කෙසේද ? අපි ප්‍රියන්තගෙන්ම අසමු.
“මම බර්නාඩාගේ සිපිරිගෙය පළමුව වේදිකාගත කළේ පසුගිය වසරේ මාර්තු 26 වැනිදා ලයනල් වෙන්ඩ්ට් රඟහලේදියි. අද ලංකාවේ පැරණි වේදිකා නාට්‍ය නැවතත් නිෂ්පාදනය වෙනවා. ඒ නිසා නව පරම්පරාවේ අවශ්‍යතාවය මතයි බර්නාඩාගේ සිපිරිගෙය යළි නිෂ්පාදනය වන නිසයි.අනික අද ගාර්සිකා ලෝකාගේ නාට්‍ය අද බොහෝ රටවල වසරක් පාසා නිෂ්පාදනය වෙනවා.මේ නිසා ගාර්සිකා ලෝකාගේ නාට්‍ය ශෛලිය ශ්‍රී ලංකාවට නැවත හඳුන්වා දීමට කරන ලද වෑයමක් වශයෙන් බර්නාඩා හඳුන්වන්න පුළුවන්. ඒ නිසා මට දැනට ලැබෙන ප්‍රතිචාර අනුව මෙම නාට්‍යය යම් සාර්ථකත්වයක් ලැබුවා කියලයි මම නම් හිතන්නේ“



ඔබ බර්නාඩාගේ සිපිරිගෙය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේදී මෙහි මුල් කෘතියේ පැවැති ස්පාඤ්ඤ සංගීතය යොදා ගෙන තිබෙනවා ?

ඔව්. ඔබ හරි. මොකද මට ඕන වුණේ මුල් නිෂ්පාදනයට හානියක් නොකර ශ්‍රී ලංකාවේ මෙය නිෂ්පාදනය කිරීමයි.මොකද අද අධ්‍යයනය සඳහාත් සමහරැ වේදිකා නාට්‍ය බලනවා. ඒ නිසා මුල් කෘතියට හානියක් නොවන පරිදි එහි ජීව ගුණය රුකගනිමින් බර්නාඩාගේ සිපිරිගෙය නිෂ්පාදනය කරන්නයි මම උත්සාහ කළේ. එතකොට තමයි ස්වතන්ත්‍ර නාට්‍ය රචකයන්ට වුණත් මෙයින් යම් ආභාසයක් ලබා ගත හැක්කේ. එතකොට තමයි මෙහි ගැඹුරැ වටහාගත හැකි වන්නේ.

කෙසේ වෙතත් යම් වේදිකා නාට්‍යයක කතා වස්තුව ශ්‍රී ලාංකීය සංස්කෘතියට අදාළ නොවන්නේ නම් එයින් ප්‍රතිඵලයක් නැහැ. බර්නාඩාගේ සිපිරිගෙය ශ්‍රී ලංකාවට අදාළ වෙන්නේ කොහොමද ?

මෙය සාමාන්‍ය ප්‍රේක්ෂකයන්ට කතාවක් ආකාරයෙන් ඉතා රසවත්ව රසවිඳින්න පුළුවන් නාට්‍යයක්. සෞන්දර්යාත්මක නාට්‍යයක්.ඒ නිසා මෙම නාට්‍යය සෑම සමාජ කොට්ඨසයකටම තම රසවින්දන මට්ටම අනුව රසවිඳිය හැකි නාට්‍යයක්.විශේෂයෙන් රටේ තරැණ පරම්පරාවට මෙම නාට්‍යය ඉතා වැදගත්.මොකද මීට එක දිගට ගලා යන කතාවක් තියෙනවා.කාන්තාවන්ගේ චෛතසික ක්‍රියා කරන අන්දම නිරෑපණය කරනවා.ඔවුන්ගේ මනෝභාවයන් හැසිරෙන අන්දම නිරෑපණය කරනවා. කොහොම වුණත් නාට්‍යයේදී ඔවුන් සියලුදෙනාම මුහුණ දෙන්නේ හැමදාකම කාන්තාවන් මුහුණදෙන ප්‍රශ්න සමූහයකටයි.


වර්තමාන නාට්‍යකරැවා ස්වතන්ත්‍ර පිටපත් ලිවීමට වඩා පරිවර්තන පිටපත් ලිවීමට වැඩි නැඹුරැතාවයක් දක්වනවා.මේ නිසා අද වේදිකාවේ ස්වතන්ත්‍ර නාට්‍ය පිටපත්වල අඩුවක් තිබෙනවා කිව්වොත් ?

 නැහැ. ඒක මම පිළිගන්නේ නැහැ.මොකද අද සාහිත්‍යමය වටිනාකමින් යුතු ස්වතන්ත්‍ර නාට්‍ය නිර්මාණය වෙනවා.උදාහරණයක් වශයෙන් රාජිත දිසානායක,පියල් කාරියවසම්,ප්‍රසන්න විතානගේ, ධනංජය කරැණාරත්න වැනි නාට්‍යකරැවන් සැමවිටකම ස්වතන්ත්‍ර නාට්‍ය නිර්මාණවලට පෙළඹෙනවා.මේ නිසා පරිවර්තන නාට්‍යයයි අපට අඩු. මොකද වසරකට පරිවර්තන නිර්මාණ අඩු වශයෙන් නිර්මාණය වෙන්නේ.මේ නිසා රටක වේදිකා නාට්‍ය කලාව පෝෂණය වීමට ස්වතන්ත්‍ර නාට්‍ය වගේම පරිවර්තන නාට්‍යයත් අත්‍යවශ්‍යයි.මේ නිසා තව තවත් පරිවර්තන නාට්‍ය බිහිවිය යුතුයි. එවිටයි, නව නාට්‍ය ක්‍රමවේද,නාට්‍ය ශෛලීන් සමග යාවත්කාලීන වෙන්නේ.මේ නිසා පරිවර්තන හෝ ස්වතන්ත්‍ර වශයෙන් නාට්‍ය කලාව බෙදා වෙන් කිරීම භයානක තත්ත්වයක්.අනික අද සමහරැ කියනවා ස්වතන්ත්‍ර නාට්‍ය රචකයන් නාට්‍ය ලිවීමට යම් බියක් හා චකිතයක් දක්වන බව. වාරණයක් තිබෙන බව. ඒත් මහා කවි ශේක්ස්පියර්ටත් නාට්‍ය රචනා කරන විට තර්ජන, ගර්ජන පැමිණියා. ඒත් ඔහු එයින් පසුබට වුණේ නැහැ.

අද වෙනකොට හොඳ විචාරක පරම්පරාවක් අපට නැති බව පෙනෙනවා ?

මේක වේදිකාවට පමණක් පොදු කාරණයක් නෙමෙයි.මොකද අද සිනමාවටත් ප්‍රමාණාත්මක විචාරයක් ලැබෙන්නේ නැහැ.කොහොම වුණත් නාට්‍ය කලාවේ ඉදිරි පැවැත්මට නාට්‍ය විචාරය ඉතා වැදගත්.අනික නාට්‍ය විචාරකයා සෑම නාට්‍යයක්ම නරඹන පුද්ගලයකු විය යුතුයි. නිතර නිතර නාට්‍යකරැවන් සමග ගැවසෙන පුද්ගලයෙකු විය යුතුයි. නාට්‍ය කලාව පිළිබඳ මනා කියවීමක් ලබන පුද්ගලයකු විය යුතුයි.ඒ නිසා වෘත්තිය විචාරක කලාවක අවශ්‍යතාවය අපට දැන් තදින් දැනෙනවා.මොකද අද විචාරය සිදුවෙන්නේ ගැඹුරින් සිදුකෙරෙනවාට වඩා පවත්වා ගැනීම සඳහායි.අද මනා විශ්ලේෂණයක් ඇතුව නාට්‍ය විචාරය කෙරෙන්නේ නැහැ. අනික සමහරැ අහන්නේ සාහිත්‍යය, නාට්‍ය ආදිය ගැඹුරින් විශ්ලේෂණය කළ යුතුද කියලයි.ඒත් මීට පෙර යුගවලදී නම් වේදිකා නාට්‍යයක් වේදිකාගත වී ඉන් පසුදිනම ඉංග්‍රීසි පුවපත්පත්වල හොඳ විචාර පළවුණා.අනික අද අධ්‍යාපන ක්ෂේත්‍රෙය් වුණත් නාට්‍ය කලාවට දී තිබෙන අවස්ථාව මීට හුඟාක් බලපානවා.මොකද අද ගවේෂණය සහ කියවීම ඉතා අඩුයි.පහසු ක්‍රම තමයි හැමෝම හොයන්නේ.

අද බොහෝ ප්‍රේක්ෂකයන් ‍විශිෂ්ට නිර්මාණ ලෙස සළකන්නේ මීට දශක හතර පහකට පෙර කළ නිර්මාණයි. මේ නිසා ඇතැමුන් නව නාට්‍ය දෙස බලන්නේ විවේචන ඇසින්. මේ නිසා තරැණ නාට්‍යකරැවන්ට නිසි ඇගයීමක් ලැබෙනවාද යන්න සැකයක් ?

අපි අතීතය සංසන්දනය කරමින් නූතන නිර්මාණ ගැන විවේචනය කරන්න නරකයි.මොකද ඒක භයානක තත්ත්වයක්.ඒත් මම කියන්නේ නැහැ, අතීතයේ විශිෂ්ට නිර්මාණ බිහිවුණේ නැහැයි කියලා. ඒත් එවැනි විශිෂ්ට නාට්‍ය නිෂ්පාදනය කිරීමට තරැණයන් අදත් විශාල පරිශ්‍රමයක් දරනවා. ඒ වගේම ඔවුන්ගෙන් ඇතැමෙක් මෙම අභියෝගය ඉතා සාර්ථකව ජයගෙන තිබෙනවා.ඒත් මෙතැන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඔවුන්ට හුදෙකලාවේ නිර්මාණය කිරීමට සිදුවීමයි.මොකද අද නාට්‍යකරැවන් සමටම එක්විය හැකි පොදු පරිසරයක් නැහැ.අධ්‍යාපනයත් එහෙමයි.අද ළමයි ඉගෙන ගන්නේ විෂය නිර්දේශයට අදාළ කොටස පමණයි.ඒ නිසා පුළුල්ව යමක් දෙස විමර්ශනය කිරිමේ පුරැද්ද කුඩා කාලයේදීම ඔවුන්ගෙන් විනාශ වී යනවා.ඒත් වාසනාවකට වගේ මෙවැනි වාතාවරණයක් තුළ වුණත් පුළුල්ව හිතන පිරිසක් බිහිවෙලා තිබෙනවා. ඔවුන් තමයි අනාගත නාට්‍ය පරපුර. ඒ නිසා ඔවුන් නාට්‍ය කලාව ඉදිරියට ගෙන යාවි.
  
   

No comments:

Post a Comment