Friday, July 5, 2013

ප්‍රවීණ නිවේදිකා රසාදරී පීරිස් සමග කතාබහක් -2012/10/17



අලුත් ලෝකයට යා යුත්තේ මයිකල් ජැක්සන්ගේ සින්දු කියලා නෙමෙයි
ප්‍රවීණ නිවේදිකා රසාදරී පීරිස් කියයි

සටහන සහ ඡායාරෑප - මාලන් විදානපතිරණ

මේ දිනවල ජාතික රෑපවාහිනියේ විකාශය වන ඔෂීන් ජපන් ටෙලිනාට්‍යයේ ඔෂීන්ගේ තරැණ වියේ චරිතයට හඬ නළු දායකත්වය ලබාදුන්නේ ප්‍රවීණ නිවේදිකා රසාදරී පීරිස්ය. එමෙන්ම ‍වත්මන් වෙළඳ දැන්වීම් කලාවේ වැඩිම වෙළඳ දැන්වීම් ගණනකට සිය කටහඬ ලබාදෙන නිවේදිකාව වන්නේ ද ඇයයි.කෙසේ වෙවුත් ඇය කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වන්නේ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයෙනි.ඒ පිළිබඳව අපි දැන් ඇයගෙන් අසමු. 
‘‘මම ශ්‍රී ලාංකීය වේදිකාවට පිවිසුණේ 1987 වර්ෂයේදි පමණ.මේ සඳහා මට නුගේගොඩ අනුලා විද්‍යාලය හොඳ තෝතැන්නක් වුණා. විශේෂයෙන්ම එමගින් මට චරිතා ප්‍රියදර්ශනී, දීපිකා ප්‍රියදර්ශනී වගේ සමකාලීනයන් ඇසුරැ කරන්නට අවස්ථාව ලැබුණ නිසා පොඩි කාලේ ඉඳලම කලාවේ කෙරේ විශාල ඇල්මක් ඇතිවුණා. ඒ නිසා තමයි මම මුල්ම වතාවට ජයලාල් රෝහණගේ ලෝකා නාට්‍යයට සම්බන්ධ වෙන්නේ.ඒත් මට එම නාට්‍යය වෙනුවෙන් යෞවන සම්මාන උළෙලේදී හොඳම සහාය නිළියට හිමි සම්මානය පවා හිමිවුණා.එයින් මම වේදිකා නාට්‍ය කලාවට පිවිසීම සඳහා හොඳ පන්නරයක් ලැබුවා. ඉන්පස්සේ තමයි මම පරාක්‍රම නිරිඇල්ලගේ උත්තමාවී,කේ.බී.හේරත්ගේ මායාදේවී,ශ්‍රියන්තමෙන්ඩිස්ගේ වර්ණ,ප්‍රසාද් සූරියආරච්චිගේ වළලු සැණකෙළි,රොහාන් සමරදිවාකරගේ ආචාරශීලී දඩයමක් සහ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මහාසාර,එලොව ගිහින් මෙලොව ආවා සහ කපුවා කපෝති ආදී වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ.“

ඒත් ඔබ අද ප්‍රවීණ නිවේදිකාවක්. කොහොමද මේ සඳහා පසුබිම සැකසෙන්නේ?

නිවේදිකාවක් වීම තමයි මට පොඩි කාලේ ඉඳලම තිබුණු ආසාව.ඒ නිසා මම පොඩි කාලේදී හැඳි මිටවල් අරගෙන නිවේදන කටයුතු කළා. ගස් ගල්වලට කතා කළා.ඒත් මට නිවේදනය සඳහා විශාල පිටිවහලක් වුණේ පාසල. මොකද මම පාසලේ විවාද කණ්ඩායමේ නිවාසාන්තර නායිකාවක් ලෙස කටයුතු කළා.විශේෂයෙන්ම අපි පවිත්‍රා වන්නිආරච්චි (වත්මන් රජයේ අමාත්‍යවරියකි.) වගේ අයගෙන් ඒ කාලේ හුඟාක් දේවල් ඉගෙන ගත්තා. ඒත් මගේ නිවේදනය ප්‍රගුණ කරගන්න අවස්ථාව ලැබෙන්නේ කැළණිය විශ්ව විද්‍යාලයෙන්. ඒ කාලේ එහි නිවේදන කටයුතු කළේ තිලක් දේශප්‍රිය කියලා අයියා කෙනෙක්. ඔහු තමයි මට ආරාධනා කළේ නිවේදන කටයුතු කරන්න පැමිණෙන්න කියලා. ඒ නිසා අපි විශ්ව විද්‍යාලයීය උත්සවවලදී එකට නිවේදන කටයුතු කළා. මේ අතරදි තමයි මට රෑපවාහිනි සංස්ථාවේ හඬකැවීම් ඒකකයට පැමිණෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ අතුල රන්සිරිලාල් මහත්මයා හින්දයි. ඒත් ඉන්පස්සේ මම ලක්හඬ ගුවන් විදුලියේත් වසරක් පමණ නිවේදිකාවක් වශයෙන් කටයුතු කළා. ස්වාධීන රෑපවාහිනියෙත් සියාත්‍රා වැනි වැඩසටහනුත් ඉදිරිපත් කළා.ඒ වගේම ජාතික රෑපවාහිනියේ නුග සෙවණ,ආයුබෝවන්, සාරතී වගේ වැඩසටහනුත් ඉදිරිපත් කළා. ඒ වගේම ඒ.බී.සී ගුවන් විදුලියෙත් කාලයක් සේවය කළා. මේ නිසා මම ඉබේටම වගේ වේදිකාවෙන් සහ රංගනයෙන් ඈත් වුණා. ‍ඒ නිසා දැන් මම කටයුතු කරන්නේ වෙළඳ දැන්වීම් නිවේදිකාවක් සහ හඬ කැවීම් ශිල්පිනියක් ලෙස පමණයි.

 පසුගියදා ටයිටස් තොටවත්තයන්ගේ ගුණානුස්මරණය යෙදුණා.ඔහු සමග ගත කළ කාලය පිළිබඳව සිහිපත් කළොත් ?

මට එතුමා‍ත් එක්ක මුලින්ම කටයුතු කරන්න ලැබුණේ යවෙස්ලූ මිනිසා (The Man in The Iron Mask) නම් ඒකාංගික ටෙලිනාට්‍යයේදීයි.මම එහි ප්‍රධාන චරිතයක් වන කුමාරිකාවගේ චරිතය නිරෑපණය කළා.හැබැයි ඒ හඬකැවීම් පරීක්ෂණයකින් පස්සේයි.කොහොම වෙතත් කලාව පිළිබඳ හදාරන්න ක්‍රමවත් වැඩපිළිවෙළක් නැති සමයක, ඒ සඳහා නිශ්චිත ස්ථානයයක් නැති සමයක, අපි ටයි මාමාගෙන් ඉගෙන ගත්ත බොහෝයි. ඔහු හරියට රංග අභ්‍යාස ආයතනයක් වගේ. ඔහු පුංචි හුස්මක්, ඇහිපිල්ලමක් පවා හඬකැවීම් කලාවේදී අවධානයට ලක් කළා. ඒවාට අවශ්‍ය ස්වභාවිකත්වය ආරෝපණය කළා.ඒ වගේම කාටූන්වලදිත් ඔහු අපේ නිර්මාණශිලිත්වය උපරිමයෙන් යොදා ගත්තා. ඒත් සමහරැන්ට නම් ඔහුගේ ගති ස්වභාවය හිතට ඇල්ලුවේ නැහැ. මොකද ඔහු සමහර වෙලාවට හරිම රළුයි.ඒත් ඒ රළු බව ඇතුළේ තිබුණේ හරිම සුන්දර බවක්. හරියට තාත්තා කෙනෙක් වගේ.ඒ නිසා ඔහු උතුම් මනුෂ්‍යයෙක් විදිහට හැඳින්වුවාට වරදක් නැහැ.

ඔබ දක්ෂ වෙළඳ දැන්වීම් වේදිකාවක් හැටියට වත්මන් වෙළඳ දැන්වීම් කලාව ගැන මොකද හිතන්නේ ?

අපි දැන් ජිවත්වෙන්නේ පාරිභෝගික සමාජයක. ඒ නිසා අද අපේ හැකියාවන්ට පවා මිලක් නියම වෙනවා. ඒ නිසා අපි අද විකිණෙන ගැන පුදුම විය යුතු නැහැ. ඒත් වෙළඳ දැන්වීම් කලාව තුළත් සාරධර්ම පද්ධතියක් තිබෙනවා. ඒ නිසා අදාළ නිෂ්පාදනය සමාජයට අහිතකර නම්  ඊට දායක වීමෙන් වැළකී සිටීමට හඬ  කැවීම් ශිල්පිනිය දැන ගත යුතුයි. ඒ නිසා මෙතෙක් මම කිසිදු අයහපත් වෙළඳ දැන්වීමකට හඬ ලබා දී නැහැ.ඒක මං වගකීමෙන් කියනවා. ඒ වගේම විෂමාචාර දේ සඳහාවත් හඬ ලබා දීලා නැහැ.විශේෂයෙන්ම දේශපාලඥයන් වෙනුවෙන් මම කිසිදාක කඩේ ගිහින් නැති බව කියන්නේ ආඩම්බරයෙන්.

ඒත් අද තරැණ නිවේදක නිවේදිකාවන්ට බරපතල චෝදනාවක් එල්ල වෙනවා. ඒ තමයි තරැණ පරම්පරාව විසින් භාෂාව මරනවා යන්න ?

ඒ විවේචනය මමත් කරනවා. හැබැයි මම තරැණ පරම්පරාවට දොස් කියන්නේ නැහැ. ඒත් මම මේ ඛේදවාචකය ගැන හරියට කම්පා වෙනවා. මොකද සමහර වෙලාවට අපි රෑපවාහිනි වැඩසටහන්වලට ගියාම, ඔවුන් නිවේදනය කරන හැටි දැක්කම, ඇයි අපි මෙතැනට ආවේ කියලා හිතෙනවා. ඒ වගේම ළඟදී එක්තරා වැඩසටහනකදී නිවේදිකාවක් අහලා තියෙනවා ඔයා මොනවද මෙච්චර කාලයකට කලේ කියලා.මේක තමයි අද නිවේදන ක්ෂේත්‍රයේ ඇත්ත තත්ත්වය.ඒත් නිවේදිකාවක් කියන්නේ යමක් කමක් දන්නා, විමර්ශනය කරනා ගවේෂකයන්ටයි.බොහෝ ඇසූ පිරෑ තැන් ඇති අයටයි. ඒත් අද ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. අනික ඒගොල්ලන්ව පුහුණු කරන්නවත් නිශ්චිත ක්‍රමවේදයක් අද නැහැ. ඒත් අපි ඒ කාලේ මේ කලාව ගැන ප්‍රවීණයන්ගෙන් ඉගෙන ගත්තා.

ඔබ තරැණයන් දොස් කියන්නේ නැහැ කියලත් කියනවා. ඒ වගේම මේ ගැන කම්පාවෙනවා කියලාත් කියනවා.ඒත් මේ අදහස් තරමක් පරස්පරයි ?

තරැණ කාලේ හැමෝම කැමැති හොඳට අඳින්න පළඳින්නයි. කැපිලා පෙනෙන්නයි.මාධ්‍යය ඉදිරියේ පෙනී සිටින්නයි. ඒ නිසා තමයි යම් යම් පුද්ගලයින් මේවායින් අයුතු ප්‍රයෝජන ගන්නේ.ඔවුන් දන්නවා තරැණයන් මේ හරහා ඕනෑම දෙයකට පොළඹවාගන්න පුළුවන් කියලා. ඒ නිසා ඔවුන් තරැණයන්ව ශාරිරිකවත් සූරාකනවා.ඒ නිසා මම මේ සම්බන්ධයෙන් කෙලින්ම ඇඟිල්ල දිගු කරන්නේ නාලිකා ප්‍රධානීන්නටයි. ඔවුන් තමයි තමන්ගේ විසූකදස්සනයන් වෙනුවෙන් තරැණයන්ව බිල්ලට දෙන්නේ.ඒත් ජාතික මාධ්‍ය කටයුතු කරන්නේ වගකීමක් ඇතුවයි.ඔවුන් මෙවැනි දේ සිදුකරන්නේ නැහැ. අනික ඔවුන් ප්‍රමිතියක් ඇතුවයි කටයුතු කරන්නේ.ඒ නිසා සියලුම නාලිකා ප්‍රධානීන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් යළි සළකා බලන්න කියලා මම යෝජනා කරනවා. ඒ වගේම නිවේදකයා පටන් ඉන් පහළ ස්ථරය දක්වා සියලු අංශ ආවරණ වන පරිදි රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් කරන ලෙසත් මම ඉල්ලා සිටිනවා. මොකද මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වුණොත් නිවේදිකාවන්ව විලාසිනියන් ලෙස හැඳින්වීම කිසිසේත්ම වළක්වන්න අපට බැහැ.

ඒත් අපි අද ජීවත් වෙන්නේ විශ්ව ගම්මානයක. විශේෂයෙන්ම ගෝලීයකරණය වූ සමාජයක ?

ඕවා කාලාන්තරයක් තිස්සේ පාවිච්චි වන වචන. ඒත් මම නම් ඕවාට එකඟ නැහැ. මොකද අපිට අපේම කියලා  අනන්‍යතාවයක් නැත්නම් ඔය මොන ගම්මානේ හිටියත් වැඩක් නැහැ.ඒ නිසා අපි මොනවද ලෝකෙට අරන් යන්නේ කියන එක ගැන නැවත වතාවක් සිතිය යුතුයි.ඒ හින්දා  අපි මුලින්ම අපි ගැන සිතිය යුතුයි. නැතුව මයිකල් ජැක්සන්ගේ සින්දුවක් අපේ ටියුන් එකකට කිව්වට, ඒක අපේ දෙයක් වෙන්නේ නැහැ.අනික අපි අද රාගධාරී සංගීතය ගැන ඉතා ඉහළින් කතා කරනවා.ඒත් ජන සංගීතය ගැන කතා කරන්න කිව්වම, ඒකට අපි මැලිවෙනවා. ඒ නිසා අපි මුලින්ම ශ්‍රී ලාංකිකයන් විය යුතුයි.ශ්‍රී ලාංකික යැයි කිව හැකි ප්‍රතිරෑපයක් සකසා ගත යුතුයි.   

No comments:

Post a Comment