Friday, July 5, 2013

මහාචාර්ය ගංගානාත් දිසානායක සමග සම්මුඛ සාකච්ඡාවක් 2012/11/20



රාජ්‍ය මාධ්‍ය හරහා පොදු ජන මතය වෙනස් කරන්න බැහැ


සටහන - මාලන් විදානපතිරණ

අද ලෝක  රෑපවාහිනි දිනයයි. එසේම  මේ වන විට  ශ්‍රී ලංකාවට ද රෑපවාහිනිය ලැබී වසර තිහ ඉක්මවන්නේය. එනිසාවෙන් ශ්‍රී ලාංකීය රැපවාහිනි කලාව අද පවතින්නේ කොතැනද යන්න විමසා බැලිය යුතු කරැණකි. එසේම එහි නව  ප්‍රවණතා කවරේද, ගැටලු කවරේද ආදිය පිළිබඳව කෙටි සමාලෝචනයක යෙදීම ද කාලෝචිතය. කලක් ශ්‍රී ලංකා රෑපවාහිනි සංස්ථාවේ සභාපතිවරයෙකු ලෙස ද සේවය කළ, දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යනාංශයේ මහාචාර්යවරයකු ලෙස සේවය කරන ගංගානාත් දිසානායක අප හා එක්වන්නේ මෙවන් පසුබිමක් තුළය.

වර්තමාන රෑපවාහිනි මාධ්‍ය කලාවේ මාධ්‍ය භාවිත තුළ යම් අව ප්‍රමාණයක් පෙන්නුම් කරන බව කියනවා. මේ ගැන ඔබ මොකද හිතන්නේ ?

අද වෙනකොට රෑපවාහිනිය තුළ අතිවිශාල නාලිකා ප්‍රමාණයක් බිහිවී තිබෙනවා. ඒ වගේම මේ හරහා විශාල තරගකාරිත්වයක්ද ඇති වී තිබෙනවා.ඒ නිසා රෑපාවාහිනි මාධ්‍යකරැවා සැමවිටම උත්සාහ දරන්නේ වෙළඳපොළේ තරගකාරිත්වයට මුහුණ දිය හැකි වැඩසටහන් නිර්මාණය කිරීමටයි.මොකද රෑපවාහිනී සමාගමක් නඩත්තු වෙන්නේ ගුවන් කාලය විකිණීමෙන්. ඒ නිසා අද සෑම නාලිකාවක්ම පාහේ උත්සාහ දරන්නේ ප්‍රේක්ෂකයාගේ ඉල්ලීම පරිදි වැඩසටහන් පෙළගැස්මක් සකස් කිරීමටයි.එහි වරදක් මා දකින්නේ නැහැ.

එහෙත් අපට ජපනුන් විසින් රෑපවාහිනිය හඳුන්වා දුන්නේ අධ්‍යාපනික උපාංගයක් වශයෙන්.එනිසා අප වැඩි ප්‍රමුඛතාවයක් ලබා දිය යුත්තේ අධ්‍යාපනික වශයෙන් ප්‍රේක්ෂකයා දැනුම්වත්භාවයකට පත්කිරීමටයි. ඒත් අද එය අව භාවිත තත්ත්වයකට පත්වෙලා. ?

ඔව්. එය නිවැරදියි.ඒත් ජපනුන් රෑපවාහිනිය පිරිනමද්දී ගුවන් කාලය පිළිබඳ කොන්දේසි කිසිවක් පනවලා නැහැ.අනික ප්‍රශ්නේ තිබෙන්න ඔතැන නෙමෙයි.මොකද අද අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මහජන සේවා විකාශයක්.  ඒත් ඒ සඳහා අවශ්‍ය වටපිටාව සහ මූලික ලක්ෂණ රෑපවාහිනි සංස්ථා පනතෙත් තිබෙනවා.ඒත් එහි ගැටලුවකට තිබෙන්නේ ස්වාධිනතාවය සහ මහජනයාට අවශ්‍ය දේ ඉටු නොවීම අන්තර්ජගත නොවීමයි. එහි මීට අදාළ වගන්ති ස්ථාපිතව නොපැවතීමයි.ඒ නිසයි අද පවතින බල ඒකාධිකාරයට අනුව අධ්‍යක්ෂ ජනරාල්වරැන් පත්වන්නේ. අනික මෙහි ගුවන් කාලය විකිණීම සම්බන්න්ධ වගන්තිවත් සඳහන් වෙලා නැහැ.ඒ නිසා අද තමන්ට අවශ්‍ය පරිදි නාලිකාවලට ගුවන් කාලය විකුණා දමන්න ඕනෑතරම් අවකාශ තිබෙනවා.මේ නිසා අද ජපනුන් හඳුන්වා දුන් මහජන සේවා විකාශය, අනුක්‍රමිකව වෙළඳ විකාශයක් බවට පත්වෙලා.  ඒ නිසයි ඔබ කියූ අධ්‍යාපනික අරමුණු ජය ගැනීමට යම් බාධා පැමිණවී ඇත්තේ.



එසේ නම් මෙයින් අපට හැඟෙන්නේ පොදුවේ මාධ්‍යකරැවාට තම වගකීම් කොටස ඉටු කිරීමට යාමේදී යම් දේශපාලන බලපෑමක් එල්ල බවයි ?

නැහැ.අපිට එය දේශපාලන බලපෑම් පමණක් කියන්න බැහැ. මොකද එය ඇතැම් විට වෙළඳ බලපෑමක් විය හැකියි.නොඑසේ නම් ප්‍රේක්ෂකයන්ගේ බලපෑම වුවත් විය හැකියි.ඒ නිසයි මා මහජන සේවා විකාශයක් ආරම්භ කළ යුතුයි කියන්නේ. මොකද එව්ට කිසිවකුටත් ඊට දේශපාලන බලපෑමක් කරන්න බැහැ.වෙළඳ බලපෑමක් කරන්නත් බැහැ.අනික එය ප්‍රේක්ෂකයාගේ ඉල්ලීම මත නොව සමාජ අවශ්‍යතාව උදෙසා විකාශය වන්නක් බැවින් ප්‍රේක්ෂකයන්ට බලපෑමක් කරන්නත් බැහැ. බ්‍රිතාන්‍යයේ බී.බී.සී.,ජපානයේ එන්.එච්.කේ. සහ ඕස්ට්‍රේලියාවේ ඒ.බී.සී. යන නාලිකා මීට කදිම උදාහරණයක්.මෙම නාලිකා කිසිවක් දේශපාලනයට නතුවෙලා නැහැ. අනික මේවායේ වෙළඳ දැන්වීමක් තබා රාජ්‍ය දැන්වීමක්වත් පළවෙන්නේ නැහැ.මොකද මෙම නාලිකාවලට අධ්‍යක්ෂවරැන් පත්වන්නේ පාර්ලිමේන්තු පනතක් අනුවයි. ඒ නිසා මෙහි ප්‍රධානීන් සහ අධ්‍යක්ෂවරැන් පත්කිරීමට හෝ ඉවත්කිරීමට අමාත්‍යවරැන්ට බලය ලැබිලා නැහැ. ඒ වගේම මෙම නාලිකාවලට මුදල් ගලා එන්නේ මහජනයාගේ සෘජු බදු හරහායි. මෙය ශ්‍රී ලංකාවේ අග්‍රවිනිශ්චයකරැ පත්වනවා හා සමානයි.

එසේ නම්  ඔබ කියූ මහජන සේවා විකාශය ශ්‍රී ලංකාවට අනුගත කළ හැක්කේ කෙසේද?

අද වෙනකොට බොහෝ නාලිකා වෙළඳපොල ඔස්සේ ගසාගෙන යනවා. ඒ නිසා ඔවුන් අතින් ඇතැම් වගකීම් ගිලිහෙනවා. ඒ නිසා එවැනි ජාතික වගකීම් ඉටුකර ගැනීමේදී මහජන සේවා විකාශයක් ඉතා වැදගත්. උදාහරණයක් වශයෙන් අද වෙළඳ නාලිකාවලට අධ්‍යාපනික දැනුම දීමට වෙලාවක් නැහැ. ආර්ථික ගැටලු පිළිබඳ දීර්ඝ සංවාද ඇති කිරීමට වෙලාවකුත් නැහැ .ඒ වගේම අපේ උරැමය, සංස්කෘතිය,වැළලී යන කුල ගෝත්‍ර,ජනශ්‍රැති, වැන්දඹුවන්, අනාථයින් ආදිය පිළිබඳ සංවාදයක යෙදීමටත් ඉඩක් නැහැ. මේ නිසා සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාවට මෙය ඉතා වැදගත්. මොකද අපි ශීඝ්‍රයෙන් දියුණු විය යුතු රටක්. ඒ නිසා අපි වහාම දුප්පත්කම නැති කළ යුතුයි. නූගත්කම නැති කළ යුතුයි. මෙතැනදි තමයි සමාජ අභිවෘද්ධිය උදෙසාම කැපවූ විකාශයක අවශ්‍යතාවය දැනෙන්නේ. එනිසා ශ්‍රී ලංකාව වැනි රටක් දියුණූවේ හිණිපෙත්තට ගෙන යාමේදී මහජන සේවා විකාශයකින් කළ හැකි මෙහෙය අතිමහත්. මොකද අද අපි මහ පාරේ යන විට පිළිපැදිය යුතු නීති ගැන පවා හරිහැටි දන්නේ නැහැ.ඒත් ජාත්‍යන්තරය රටක් ගැන නිර්ණය කරන ප්‍රධාන කැඩපත මෙයයි. ඒ වගේම තවමත් අපිට නිවැරදිව අධීවේගී මාර්ගයක ගමන් කරන්න බැහැ. ඒ නිසා මේවා ගැන දැනුම්වත් වීම ඉතා වැදගත්. ඒත් මෙහි ප්‍රයෝගික ගැටලුව වෙන්නේ පවතින ආණ්ඩුව මෙවැනි විකාශයකට ඉඩදේවිද යන්නයි. මොකද කිසිම ආණ්ඩුවක් මෙවැනි විකාශයක් ආරම්භ කිරීමට කැමැති වෙන්නේ නැහැ.මොකද ඔවුන් එයින් තමන්ට යම් තර්ජනයක් එල්ල ‍වේවි යැයි සැක සිතනවා. අනික මෙය රාජ්‍ය මාධ්‍ය කරන්න පුළුවන් දෙයකුත් නෙමෙයි. අනික මහජනයා මෙවැනි මහජන සේවා විකාශයකට බදු ගෙවීමට සූදානම්ද යන්නත් විශාල ගැටලුවක්. එනිසා මහජනයාගේ යුතුකම් වෙන්නේ මෙවැනි මහජන විකාශයක් අවශ්‍ය නම් ඒ සඳහා ප්‍රබල හඬක් නැගීමයි.

අද වන විට ඇතැම් නාලිකා ප්‍රේක්ෂකයාගේ ප්‍රචණ්ඩත්වය අවුස්සමින්, ජනප්‍රිය වීමට උත්සාහ දරනවා. විශේෂයෙන්ම ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී මෙය බහුලව භාවිතා දක්නට ලැබෙනවා.ඒත් මෙය එතරම් හිතකර ප්‍රවණතාවයක් නොවෙයි ?

ඔව් ඔබ නිවැරදියි. ඒ නිසා මගේ අදහස නම් මේ සඳහා ඉතා ඉක්මනින් විකාශන අධිකාරියක් ස්ථාපිත කළ යුතුය යන්නයි.නැත්නම් මේවා කෙළවර වෙන්නේ මහා විනාශයකින්.ඒත් දියුණූ රටවල මෙවැනි තත්ත්වයක් දකින්නට නැහැ. අඩුම තරමේ ඔවුන් නාලිකා හරහා මිනියක්වත් පෙන්නන්නේ නැහැ.මැරැණු ආකාරය හෝ මැරෑ ආකාරය පෙන්වන්නේත් නැහැ.ඒත් අපි මේවා විකුණාගෙන කන්න උත්සාහ දරනවා. ඒත් ඔවුන් දන්නේ නැහැ, ප්‍රවෘත්ති විකාශය වෙන්නේ ප්‍රේක්ෂකයා කෑම කන වෙලාවට බව.අනෙක් අතට මෙය මානව නීති උල්ලංඝනය කිරීමක්. ඒ නිසයි විකාශන අධිකාරියක් වැදගත් වෙන්නේ.  නැතුව අපි කළ යුත්තේ විරැද්ධ මත දරන්නන් මර්දනය කිරීම නෙමෙයි.ඔවුන් හරහා මහජනයාට හිතවත් විකාශනයක් පවත්වා ගැනීමයි. ඒ වගේම අපි මේ හරහා ව්‍යාපාරිකයන්ගේ ප්‍රාග්ධනය නිවැරදිව යොදවා ගැනීමට මග පෙන්වීමත් සිදුකළ යුතුයි. ඒත් අද පවතින රෑපවාහිනියේ රෑප රාමුවලින් තුනෙන් එකක් පමණ වෙළන්ඳන් විසින් කොල්ල කාලා. මේ නිසා අද ගුවන් කාලය සහ සංඛ්‍යාත විසුරැවා හැරීම සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න තිබෙනවා.මොකද අද වැඩසටහන විකාශය වන අතරතුර පවා වෙළඳ දැන්වීම් විකාශය වෙනවා.ඒ නිසා අද වැඩසටහනක් නැරඹීමේදි පවා ප්‍රේක්ෂකයන්ගේ විශාල වශයෙන් බාධා පැමිණෙනවා.මේ හේතුවෙන් අපි වහාම මේ සඳහා ප්‍රමිති සකස් කළ යුතුයි. වෙළඳ දැන්වීම් සම්බන්ධ සීමා බන්ධන පැනවිය යුතුයි.නැත්නම් මේ වල්වැදීම කොහෙන් කෙළවර වෙයිද දන්නේ නැහැ.

එසේ නම් එවැනි වල්වැදී නිසාද නව මාධ්‍ය ඉදිරියට පැමිණ තිබෙන්නේ ?

නැහැ.එය කොහොමත් තිබුණූ දෙයක්. ඒ නිසා නව මාධ්‍ය කියන්නේ තාක්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූවක්. ඒත් මෙහි තිබෙන වාසිය වෙන්නේ මෙහි අධීවේගී බවයි. ඒ නිසා අද බොහෝ විට සිදුවෙන්නේ නව මාධ්‍ය හරහා පැමිණෙන තොරතුරැ සෙසු මාධ්‍යන්වලට පරිවර්තනය කිරීමයි.කෙසේ වෙතත් නව මාධ්‍යයේ ස්වාධීන වීමත්, අධිවේගී බවත් හරහා අද සාම්ප්‍රදායික රෑපවාහිනියට පවා යම් තර්ජනයක් එල්ල වී තිබෙනවා.ඒත් නව මාධ්‍යයේ තිබෙන විශාලතම අඩුපාඩුව තමයි එකවර විශාල පිරිසකට තම පණිවිඩය සමාජගත කළ නොහැකිවීම.මොකද අද සමහර වෙබ් අඩවිවල සාමාජිකත්වය දරන්නේ බොහොම සුළු පිරිසක්. එවිට ඒ ගැන දැනගන්න ලැබෙන්නේ ඔවුන් පිරිසට පමණයි.  ඒ නිසයි අදත් රෑපවාහිනිය පවතින්නේ. ඒත් ශීඝ්‍රයෙන් දියුණුවට පත්වන නව මාධ්‍ය හරහා සාම්ප්‍රදායික මාධ්‍ය තව කොතරම් කාලයක් පවතීවි ද යන්න සැකයක්. මොකද අද තරැණයන් ලෝකයත් සමග නිරන්තරයෙන් යාවත්කාලීන වෙනවා.ඒ නිසා රෑපවාහිනි පෙන්නන වැඩසටහන් ඔවුන්ට බහුබූත වගෙයි.අනික අද ලෝකයේ  යම් විෂයක් පිළිබඳව දේශනයක් කළ වහාම ඒවා අන්තර්ජාලයට මුසුවෙනවා.ඒත් අපේ එහෙම තත්ත්වයක් තවමත් දකින්නට නැහැ. මේ නිසා අපි‍ට මෙවැනි වාතාවරණයක් සකස් වන තුරැ කාලාන්තරයක් බලා හිඳින්න සිදුවේවි

අවසාන වශයෙන් රාජ්‍ය මාධ්‍ය දේශපාලනීකරණය වීම කොහොමද දකින්නේ ?

මෙය කොහෙත්ම හිතකර නැහැ.ඒත් ඔවුන් හිතන් ඉන්නේ රාජ්‍ය මාධ්‍ය හරහා විශාල ජන මතයක් ගොඩනැගිය හැකි වේවි කියලයි.ඒත් එහෙම වෙන්නේ නැහැ.මීට හොඳම උදාහරණය තමයි 1977 මහ මැතිවරණය.එහිදී ජේ.ආර්.ජයවර්ධන අග්‍රාමාත්‍යවරයා හයෙන් පහක බහුතරයක් හිමිකර ගත්තා. ඒ ප්‍රතිවාදී සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව පරාජය කරමින්. ඒත් මෙහිදි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව දැඩි ලෙස රාජ්‍ය මාධ්‍ය තමන්ගේ ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගත්තා. ඇය ලේක්හවුස් සහ ගුවන් විදුලිය හැර අනෙක් මාධ්‍ය සීල් තිබ්බා. ඒත් එයින් ජන මතය වෙනස් කිරීමට හැකිවුණේ නැහැ.අනික අද රාජ්‍ය මාධ්‍ය කොතරම් ඒකපාර්ශවික වුණත් සෙසු මාධ්‍ය තමන්ගේ විකාශන පරාසය පුළුල් කරගෙන තිබෙනවා. ඒ නිසා අද රාජ්‍ය මාධ්‍ය කරන්නේ මොකක්ද කියලා දැන් මහජනතාව හොඳින් දන්නවා.







No comments:

Post a Comment