Friday, July 5, 2013

රට පිට යාම සහ පිට රට යාම -(තරුණයා) -2012/11/05



රට පිට යාම සහ පිට රට යාම
තාරැණ්‍යයෙන් රජයට රතු එළියක්

පසුගිය කාලයේ කොරියානු විභාගයට මුහුණ දුන් අපේක්ෂකයන් විශාල අපහසුතාවයකට පත් වූයේ නිසි දැනුම්වත් භාවයක් නොමැති වීමෙනි. කෙසේ වෙතත් බලධාරීන් ද එය නොපිළිගැනීම නිසා කඹ ඇදිල්ලක නිරත වූ මෙම දෙකොට්ඨාසය හේතුවෙන් විභාග අපේක්ෂකයන්ට කොරියානු සිහිනය, සිහිනයක්ම විය. ‍එහෙත් මව්බිම තිබියදී ශ්‍රී ලාංකිකයන්  පිටරට රස්සා කරා ඇදෙන්නේ මන්ද ? මේ ඒ පිළිබඳ තරැණයා කරනා විමසුමකි.

විභාග අපේක්ෂකයන්

කොරියානු විභාගයට පෙනී සිටි අපේක්ෂකයන් පිළිබඳ සොයා බලන විට පෙනී යන්නේ ඔවුන් බොහොමයක් විධිමත් අධ්‍යාපනයක් ලැබීමට අපොහොසත් වූවන් වීමයි.කෙලින්ම කියතොත් ඔවුන්ගෙන් ඇතැමෙක් උසස්පෙළ අසමත් වූ වෝ වෙති. ඇතැම්හු විශ්ව විද්‍යාල වරම් නොලැබුවෝ වෙති. ඇතැම්හු අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා පමණක් ඉගෙන ගත්තෝ වෙති.

විධිමත් ‍අධ්‍යාපනයක් නොලැබීමට හේතුව

කොරියානු විභාගය සඳහා පෙනී සිටීමට පැමිණි අය අතර දුර බැහැර ප්‍රදේශවලින් පාන්දර බස් එකෙන්/කෝච්චියෙන් පැමිණි අය ද සිටිති. මේ අනුව බලන කල කොළඹ පමණක් සියලු පහසුකම් හිමි වීම සහ මූලික පහසුකම් හෝ නිසි පරිදි බෙදී නොයාමේ විෂමතාවය මෙවැනි පුද්ගලයන් හරහා විනිවිද යයි.විශේෂයෙන්ම ගම්බද පාසල්වල නිසි පරිදි ඉගෙනීම් කටයුතු සිදු නොවීමත්, පාසැල් වැසී යාමේ ප්‍රවණතාවයක් වර්තමානයේ දක්නට ලැබීමත් මේ තුළින් අපට මැනවින් වටහා ගත හැකිය.‍එමෙන්ම මේ අතර රුකියා විරහිත උපාධිධාරීන් ද සිටීම කණගාටුවට කරැණකි. ඒ තුළින් පෙනී යන්නේ ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්‍රමයෙන් උපාධිධාරීන් බිහි කළ ද ඒ උපාධිය සහ රුකියාව රේල් පීලි දෙකක් බවකි.එනම් එය වෘත්තිය අධ්‍යාපනයක් හෝ ජීවිතය පිළිබඳ අධ්‍යාපනයක් නොව වෙන මොකක්දෝ එක්ක බවකි. එසේම උසස් පෙළින් සමත් වුව ද විශ්ව විද්‍යාලය සඳහා වරම් ලබන්නේ සියයට දෙකක් තරම් අඩු ප්‍රතිශතයක් වීම ද තරැණයන් පිට රට රස්සා කරා පෙළඹීමට දැඩි ලෙස හේතු වී තිබේ.

කොරියානු විභාග සඳහා තිබෙනා උනන්දුව

මෙම විභාග සඳහා පෙනී සිටින බොහෝ අපේක්ෂකයන් උසස් පෙළ, සාමාන්‍ය පෙළ විභාගයන්වලට සූදානම් වීමට වඩා, කොරියානු විභාග සඳහා විශාල උනන්දුවක් දක්වයි.විශේෂයෙන්ම නොවරදවාම පන්ති කරා යන එම අපේක්ෂකයන් නොපසුබට උත්සාහයෙන් යුතුව කොරියානු භාෂාව ඉගෙනීමට වෙහෙසෙති.එනිසා මෙය දකින අපට විටෙක සිතෙන්නේ මෙම අපේක්ෂකයන් මෙවැනිම ආකාරයෙන් වෙහෙසුණී නම් එය කෙතරම් අගනේද කියාය.එහෙත් අප එසේ නොකරාම කියන්නේ නැත. එහෙත් මෙහි බහුතරය, එසේ නොවෙහෙසීම නිසා පීඩාවට පත් ව ඇතැයි යන්න අපගේ හැඟීමයි.එමෙන්ම උසස් පෙළ හරිහැටි සමත් වීමට නොහැකි වීම නිසා මෙසේ පීඩාවට පත්වී ඇතැයි යන්න අපගේ හැඟීමයි.

රට රුකියා ඛේදවාචකය

ශ්‍රී ලංකාව තුළ ශීඝ්‍රයෙන් පැතිර යන උග්‍ර ඛේදවාචකයක් ලෙස රට රුකියා ඛේදවාචකය දක්වාලිය හැකිය. විශේෂයෙන්ම ඉතාලිය, කොරියා, ඕස්ට්‍රේලියාව වැනි රටවල් කරා හරි පාරෙන් මෙන්ම හොර පාරෙන් ද ගමන් කිරීමට වත්මන් තරැණයා පෙළඹී ඇති අතර ශ්‍රී ලංකාව තුළ රුකියාවක් කරනවාට වඩා එම රටවල්වලට වී නැවතී සිටීම සුවදායක යන තත්ත්වයට තාරැණ්‍යය හදවත් නැඹුරැ වී ඇත. එනිසා මේ යනාදි රටවල සුළු රුකියාවක් හෝ කරමින් පණ නල ගැට ගසා ගැනීමට තරැණයා වෙහෙසීම ශ්‍රී ලංකාව පැත්තෙන් බලන කල රතු එළියකි.ධර්මප්‍රිය ඩයස් හොඳම නළුවා සම්මානය හිමිකරගත් මචං චිත්‍රපටයෙන් කතාබහ කෙරෙන්නේ ද මෙම සමාජ ඛේදවාචකයයි.අනෙක් අතට රුකියා විරහිත උපාධිධාරීන් යනු රටේ උගතුන් ලෙස සළකන කොට්ඨාසයක් බැවින් මේ සමාජ ඛේදවාචකය හමුවේ බුද්ධි ගලනයක් සිදුවීම ද වළක්වා ගත නොහැකිය. එනම් එය ශ්‍රී ලංකාවට නිකුත් වූ රතු කාඩ්පතකි.එසේම පෙර කී පරිදි කොරියා විභාගයට පෙනී සිටීමට නොහැකි වූ, ඉතාලි යාමට නොහැකි වූ තරැණයන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්,වංචාකාරයන්, ස්ත්‍රී දූෂකයන් හෝ මංකොල්ලකරැවන්  වුවහොත් ඒ සඳහා රජය සම්පූර්ණයෙන්ම වගකිව යුතු වන්නේ බඩට නොදැනෙන සංවර්ධනයක් පිළිබඳ පම්පෝරි ගසන්නේ ඔවුන් (රජය) බැවිනි. එමෙන්ම දේශප්‍රේමීන් වන්නේ ඔවුන් බැවිනි. දේශද්‍රෝහීන් වන්නේ තාරැණ්‍යය බැවිනි.

නූගතුන් සහ රට රුකියා

වත්මන් සමාජය තුළ පවත්නා එක්තරා දුර්මතයක් ලෙස රට රුකියා සඳහා යන්නේ නූගතුන් බව කියැවේ.එහෙත් අපගේ අදහස නම් නූගතුන් යැයි කොට්ඨාසයක් බිහිකරන්නේ පාසැල තුළින් බවයි.එනම් වර්තමානයේ පවත්නා කුහක අධ්‍යාපන ක්‍රමයේ ආදිනව ලෙස නූගතුන් බිහිවන බවයි. බුද්ධිමතුන් යැයි වැරුදි මිණුම් දඬුවලින් විශ්ව විද්‍යාලයට ඇතුළත් කර ගන්නා සිසුන් සහ විශ්ව විද්‍යාල වරම් නොලබනා පිරිස් නූගතුන් ලෙස වත්මන් සමාජය හඳුන්වන අතර ඔවුන් අතර පරතරයක් ගොඩනැගීමට පාලකයන් කටයුතු කර තිබේ.එහෙත් වත්මන් විශ්ව විද්‍යාල ජාලය පිළිබඳ අවධානය යොමුකළ කල්හි එයින් බුද්ධිමතුන් බිහිවන්නේ ද යන්නත්,විශ්ව විද්‍යාලයට ප්‍රවේශවන්නේ සැබෑම බුදිධිමතුන් ද යන්නත් විශාල ප්‍රශ්නයකි. එමෙන්ම නූගතුන් යැයි හංවඩු ගැසූ, විශ්ව විද්‍යාල වරම් නොලද බුද්ධිමතුන් වත්මන් සමාජය තුළ නැත්තේද යන්නත් ප්‍රශ්න කළ යුතු සමයකි මේ. මේ නිසා රට රුකියා කරා ඇදෙන්නේ නූගතුන් බව යන මතය වහාම සමාජයෙන් බැහැර කළ යුතුය යන්න අපගේ හැඟීමයි.මන්ද අද ඇතැම් අවස්ථාවලදී පෙර කී රටවල බුද්ධිමතුන් නියෝජනය කරමින් අපේම මිනිස්සු, අපේම රට කරා ඇදෙන බැවිනි. එසේම එම රටවලට ගිය බොහෝ ශ්‍රී ලාංකිකයන් යළි දිවයිනයට පැමිණීමට පවා ඈලි මෑලි ගතියක් පෙන්නුම් කරන්නේ, ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය වී ඇති නිසා බව අපි තදින්ම විශ්වාස කරමු.

මාලන් විදානපතිරණ      

No comments:

Post a Comment