සාහිත්‍යයට එක් වූ තීරැ ලිපි කලාව
මාලන් විදානපතිරණ
වත්මන් සාහිත්‍යයට එකතු වී ඇති ඉතා ජනප්‍රිය නවාංගයක් වශයෙන් තීරැ ලිපි
කලාව හඳුන්වා දිය හැකිය. සම්මත පුවත්පත් කලාවේ සීමා බන්ධනයන් පමණක් නොව,ඒ හා සබැඳි
රීතින් ද අතික්‍රමණය කරමින් ඉදිරියට යන මෙම තීරැ ලිපි කලාව කෙබඳුද? තීරැ ලිපියේ
අරමුණූ කවරේද ? තීරැ ලිපි රචකයා යනු කවරෙක්ද ? ඒ හරහා සාකච්ඡාවට බඳුන් කළ හැකි
විෂය පථයන් කවරේද? ඊට ඇති සීමා මායිම් කවරේද ?
අපි විමසා බලමු.
තීරැ ලිපි රචකයා වනාහි අතිශය නිර්මාණශීලී පුද්ගලයෙකි. මේ පිළිබඳව අදහස්
දක්වමින් ප්‍රවීණ ලේඛක දිවයින පුවත්පතේ ප්‍රධාන කර්තෘ ගාමිණී සුමනසේකර මහතා සඳහන්
කරන්නේ ද තීරැ ලිපි රචකයා අසාමාන්‍ය ප්‍රතිභාවකින් හෙබි ලේඛකයෙකු බවත්, භාෂාව
පිළිබඳ මනා අවබෝධයක් ඇත්තෙකු බවත්, සාහිත්‍යය පිළිබඳ මනා දැනුමක් ඇත්තෙකු බවත්ය. (ඔහු
මේ පිළිබඳ විශේෂ ලිපියක් අනුර හෑගොඩගේ ලන්ඩන් හෑගොඩයාගේ කොලම නම් කෘතියේ සඳහන් කර
ඇත.) එමෙන්ම ඉතිහාසය, දර්ශනය, දේශපාලනය, සංස්කෘතිය,විද්‍යාව ආදී ක්ෂේත්‍ර ගණනාවක්
පිළිබඳ දැනුමකින් පරිණත, ඒ පිළිබඳ මනා අවබෝධයකින් යුතු හෙතෙම පොදු පාඨකයා මෙන්ම
උගතුන් ආමන්ත්‍රණය කරනා පරිදි තම නිර්මාණය සකස් කළ යුතු පුද්ගලයෙකු බව බවත් ඔහු
පවසයි.එසේ නොමැතිව තීරැ ලිපි රචනයේ වගකීම තම පාණ්ඩිත්‍යය හුවා දැක්වීම බව කීම
උගහටය.
එමෙන්ම පාඨකයා වෙත වත්මන් සාමාජීය තත්ත්වය, දේශපාලනික තත්ත්වය, සංස්කෘතිකමය
වාතාවරණය, ආර්ථික තත්ත්වය ආදිය පිළිබඳ විනිවිද දැකිය යුතු තීරැ ලිපි රචකයා,
එතුළින් පාඨකයා වෙත අනාගතය පිළිබඳ යම් ඉඟියක් ලබා දීමට සමත් වන්නෙකු ද විය යුතුය.
ඒ කෙසේ ද යත් සිය කාර්ය භාර්යයේදී තමා විසින් ඉටු කළ යුත්ත වඩා නිර්භීතව සහ අදීනව
ඉටු කරනු ලබන ලේඛකයෙකු ලෙස හැඳින්වෙන තීරැ ලිපි රචකයා, සභ්‍යත්වයට ගරැ කරනා සමාජය
දෙස සෑම විටෙකම සුබවාදීව දකින්නෙකු ලෙස ද හඳුන්වා දිය හැකිය.කෙළින්ම කියතොත් ඔහු
හෝ ඇය තම ලිපියේදී යම් වරදක් පිළිබඳ නිර්දය ලෙස විවේචනය කරන්නේ නම් මධ්‍යම
පාන්තික, නිර්ධන පාන්තික මෙන්ම ධනපති පන්තිය වෙත ද එම විවේචනය එල්ල කිරීමට තරම්
නිර්භය පුද්ගලයෙකු විය යුතුය.එනම් සත්‍ය අනාවරණය කිරීම තම පරම යුතුකම බවට පත් කර
ගත යුතු රචකයා, ඒ තුළ අපක්ෂපාතී ලෙස තම ප්‍රකාශනය සමාජගත කිරීම අනිවාර්යය ලක්ෂණයක්
සේ සැළකිය හැකිය.
වත්මන් සමාජය තුළ සිව්වැනි බලවේගය සැළකෙන මාධ්‍යකරණය තුළ සමාජ සංශෝධනයන්
වෙනුවෙන් ප්‍රබල බලපෑමක් කළ හැකි තීරැ ලිපියෙහි අරමුණ, පාඨකයන්ට බණ කීම හෝ
අනුශාසනා කිරීම හෝ ඊට සමාන කාර්යයකැයි කිසිවකු සිතන්නේ නම් එය හුදු විකාරයකි.ඒ
තීරැ ලිපියක අරමුණු මීට වඩා පුළුල් අරැතකින් විග්‍රහ වන බැවිනි. එනිසා ඉන් ඔබ්බට
ගොස් පාඨකයාට යම් අර්ථ සම්පන්න යමක් තිළීණ කිරීම රචකයාගේ වගකීම වන අතර පාඨකයන්
නුදුටු පැතිකඩක් පිළිබඳ විවරණය කිරීමත්, සමාජය තුළ සිය ප්‍රස්තුතය පිළිබඳ පුළුල්
සංවාදයක් ගොඩනැගීමත් මේ තුළ වඩාත් වැදගත්ය.සුමනසේකර මහතා තවදුරටත් සඳහන් කළේ තීරැ
ලිපියක ප්‍රකාශනය ඉදිරිපත් කිරීමේදී භාවිතා කරන භාෂාව ද එහි ප්‍රධාන ස්ථානයක්
හිමිකර ගන්නා බවයි.සජීවි භාෂාවක් මෙන්ම වඩා ප්‍රායෝගික කරැණු කාරණා පිළිබඳව කතාබහ
කෙරෙන භාෂාවකින් සුසැදි තීරැ ලිපිය කට වහරින් හෝ ජනවහරින් හෝ වියත් වහරින් රචනා වී
තිබෙනවා විය හැකිය. ඒ තීරැ ලිපි රචකයාට හෝ රචිකාවියට ඒ සඳහා තිබෙනා අයිතිය
හේතුවෙනි.එමෙන්ම තවදුරටත් අදහස් දක්වමින් සුමනසේකර මහතා සඳහන් කරන්නේ තීරැ ලිපිය
සඳහා සඳහා නාට්‍යමය අවස්ථා,උද්ධෘත ගී,පද්‍ය පන්ති,රෑඪී, ආප්තෝපදේශ,උපමා, සංකල්ප
රෑප ආදිය ද එක් කර ගත හැකි බවයි. තීරැ ලිපියට සාහිත්‍යමය වටිනාකමක් ලැබෙන්නේ ද
එයිනි.
කෙසේ වුව ද සමස්තයක් වශයෙන් ගත් කල පොදු ජනයාගේ හිත සුව පිණිස ලියැවෙන
ලියවිල්ලක් සේ සඳහන් කළ හැකි මෙහි ඉතා සුවිශේෂී ලක්ෂණයක් ලෙස නිරවුල් බව සඳහන් කළ
හැකිය.එහෙත් සමකාලීන අත්දැකීම් හරහා අනාගතය පිළිබඳ පැහැදිලි අදහසක් ලබා දීමට තරම්
සමර්ථයකු විය යුතු තීරැ ලිපි රචකයා, ප්‍රඥාලෝකයේ මාර්ගෝපදේශකවරයෙකු යැයි හැඳින්වූව
ද වරදක් නොමැත.
එහෙත් මේ සියල්ල රඳා පවතින්නේ රචකයාගේ නිර්මාණශීලිත්වය සහ තම ප්‍රස්තුතයන්
පිළිබඳ කරනා සාර්ථක හෝ අසාර්ථක විග්‍රහයන් මතය.එමෙන්ම තම අරමුණු හා ඉලක්ක වඩා සංක්ෂිප්තව
ගොනු කිරීම මතය.එනිසාවෙන් අනවශ්‍ය හෑලි විනා අවශ්‍ය කරැණු ද මග හරිමින් අත්‍යවශ්‍ය
ම කරැණු පමණක් තම ලිපියට අදාළ කර ගන්නේ නම් එය සාර්ථක තීරැ ලිපි රචකයකුගේ
සමර්ථභාවය බව කිව මනාය.
No comments:
Post a Comment