Saturday, July 6, 2013

තරුණ නීතීඥවරුන්ගේ සංගමය -2012/11/05




අරලිය ගහ මන්දිරයේ සිට නඩු තීන්දු ලබා දීම වැඩි ඈතක නොවෙයි
-      
    තරැණ නීතීඥවරැන්ගේ සංගමය

සටහන  හා ඡායාරෑප - මාලන් විදානපතිරණ

ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍ර විනිශ්චයකාර ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ගෙන එන දෝෂාභියෝගය තම සංවිධානය ඉතා පිළිකුළෙන් යුතුව හෙළා දකින බව තරැණ නීතිඥවරැන්ගේ සංගමය පවසයි. ඔවුන් මේ බව කියා සිටියේ පසුගිය සිකුරාදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කරමිනි.

එහිදී මේ රට මේ වන විට ගමන් කරන්නේ ඒකාධිපති වියරැවක් තුළ බව පවසන එහි විධායක කමිටු සාමාජික නීතීඥ කැලුම් කුමාරසිංහ මහතා තවදුටත් පවසා සිටියේ අධිකරණයේ උත්තරීතර ස්ථානය වන ශ්‍රේෂ්ඨාධිකරණයට එල්ල වන මෙම මරැ පහරට එරෙහිව තමන් ඇතුළු නීතිඥයන් ගණනාවකින් සැදුම්ලත් පෙත්සමක් අත්සන් කිරීමට නියමිත බවත්,එය ජාත්‍යන්තර නීතිඥවරැන්ගේ සංගමයට, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීතිඥවරැන්ගේ සංගමය මෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥවරැන්ගේ සංගමයට ඉදිරිපත් කිරීමට නියමිත බවත්ය.

එමෙන්ම රජයට වාසි සහගත අන්දමින් නඩු තීන්දු දෙන අවස්ථාවේදී විනිශ්චකාරවරැන් නඩුකාර හාමුදුරැවරැන් බවත්,රජයට අවාසි සහගත නොහොත් යුක්ති සහගත තීන්දු දෙන අවස්ථාවේදී ඔවුන් නිඝන්ඨයන් බවත් බව පවසන කුමාරසිංහ මහතා පවසන්නේ රටක ජනතාවගේ පරමාධිපත්‍යය සුරකින ප්‍රධාන කුළුණු තුන ව්‍යවස්ථාදායකය,අධිකරණය මර්දන කරමින් විධායකය විසින් රට පාලන කරන ස්වරෑපයක් වර්තමානයේ දක්නට ලැබෙන බවත්ය. මේ නිසා මේ තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් අරලිය ගහ මන්දිරයේ සිට නඩු තීන්දු ලබා දීම වැඩි ඈතක නොවන බවත්ය.

මේ අතර තරැණ නීතීඥවරැන්ගේ සංගමයේ ප්‍රධාන විධායක සභික අචල චින්තන කුමාරසිරි මහතා පළ කළේ මෙවන් අදහසකි.

“දෝෂාභි‍යෝගයක් ගෙන ඒමට බලපාන්නේ දීර්ඝ කාලීනව සිදුකරන විෂමාචාරයි. ඒත් අගවිනිසුරැතුමියට එරෙහිව එක්වරම දෝෂාභියෝගයක් ගෙන ඒමත්, ඊට පාදක වූ පිළිගත හැකි විෂමාචාර මොනවාදැයි ආණ්ඩුවට හෙළිදරව් කිරීමට අපොහොසත් වීමත් අපට විශාල ප්‍රශ්නයක්.ඒ නිසා අපට මෙයින් පෙනෙන්නේ ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට අධිකරණය හසුරැවා ගැනීමට නොහැකි වූ තැන අග විනිසුරැවරියට මෙවන් විෂමාචාර චෝදනාවක් එල්ල කරනවා කියලයි. “

“ඒත් අද ඇතැම් මාධ්‍ය සඳහන් කරනවා අධිකරණයේ අර්බුදයක් තිබෙනවා කියලා.ඒත් අධීකරණයේ පවතින අර්බුදයක් නැහැ.තිබෙන්නේ පවතින ක්‍රමයේ අර්බුදයක් පමණයි.මොකද අද අපිට දකින්නට ලැබෙන්නේ ව්‍යවස්ථාදායකය සහ විධායකය විසින් අධිකරණය තුළ අර්බුදයක් ඇති කළ ස්වභාවයක්. අනික අධිකරණයට නිලධාරි පත්වෙන්නේ ඡන්දයකින් නෙමෙයි. මේ නිසා අධිකරණයට පත්විය යුත්තේ කිසියම් දේශපාලන පක්ෂයක් නියෝජනය කරන හෝ ආණ්ඩුවට පක්ෂපාතී පුද්ගලයින් ද යන්න ගැන අප නැවත සිතිය යුතුයි. මොකද මේක හරියට ගෙදරක තමන්ට අවශ්‍ය දේ කරගන්න බැරි වුණාම අම්මාට හෝ තාත්තාට දමලා ගහනවා වගේ වැඩක්.ඒත් මේවා වෙනුවෙන් කතා කළ යුතු පිරිස් අද මුනිවත රකිනවා. විශේෂයෙන් බුද්ධීමතුන්ගේ පවතින දැඩි නිහැඬියාව මීට තදින්ම බලපානවා.මේ නිසා මේ වෙනුවෙන් පැහැදිලි හඬක් නිකුත් කළ යුතු සමයක,අපේ යුතුකම කිරීමටයි අප මේ උත්සාහ දරන්නේ. “

කෙසේ වෙතත් අග විනිසුරැවරියට දෝෂාභියෝගය ගෙන එන්නේ ජනතා ස්වාධිපත්‍යය රකිමිනි. ඒ බහුතර මන්ත්‍රිවරැන්ගේ අත්සන්වලින් යුත් පැහැදිලි ක්‍රියාවලියක් තුළය. එසේ නම් මෙම දෝෂාභියෝගයේ අසාධාරණයක් තිබේද ? මේ පිළීබඳව අදහස් දැක්වූයේ තරැණ නීතිඥවරැන්ගේ සංගමයේ විධායක සාමාජික නීතිඥ සුපුන් වික්‍රමරත්න මහතායි.

 “එම ප්‍රකාශය හරියට මැතිවරණ ක්‍රියාවලිය වගේයි. මොකද මැතිවරණ පැවැත්වෙන්නේ නිවැරදි ක්‍රමවේදයට අනුව කියලා අපි කියනවා. ඒත් අපි එතැනදි හොර ඡන්ද දැමීම අවධානයට ලක් කරන්නේ නැහැ. මොකද එය මේ ක්‍රියාවලියේ කොටසක් නෙමෙයි. ඒ නිසා ආණ්ඩු පක්ෂය භාවිතා කරන ක්‍රමවේදය සම්බන්ධයෙන් අපට ගැටලුවක් නැහැ. ඒත් මේ ක්‍රියාවලිය ඇතුළත නැගෙන චෝදනා නිවැරදිද කියන එකයි අපට තියෙන ප්‍රශ්නේ.මොකද බහුතර බලයක් තිබෙන්නේ ආණ්ඩු පක්ෂයට.ඒ නිසා නෛතික වශයෙන් ඔවුන්ගේ ක්‍රියාමාර්ගය හරි.ඒත් ඔවුන් තමන්ගේ බලය අයුතු ලෙස භාවිතා කිරීම හෝ ක්‍රියාමාර්ගයට පදනම් වන චෝදනා මොනවාද යන්න ඒ තුළ කතාබහ වෙන්නේ නැහැ. ඒ වගේම නඩු විභාග කරන්නේ කවුරැන්ද යන්න මේ ක්‍රියාදාමයට අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුව මේ ගෙන යන්නේ ජනතා ස්වාධිපත්‍යය හිමිකරන මුවාවෙන් මෙය අහිමි කරන ක්‍රියාදාමයක්. මීට අපි එරෙහි විය යුතුයි. මොකද එහෙම නැත්නම් අපට අපේ දුක කියාගන්න අධීකරණයක් නැතුව යාවි. ඒ වගේම ආණ්ඩුව මේ ආකාරයෙන්ම වෙනත් ආයතනවලටත් අත තබාවි. “                  

No comments:

Post a Comment