Saturday, January 23, 2016

පහන් පූජාව(පාසැල් මතක පොත අතරින්)

පාසැල් මතක පොත අතරින් -

පහන් පූජාව -

මම එක වසරේ ඉගෙන ගනිද්දී අපේ පන්තිභාර ගුරුතුමිය හුඟක් සැර කෙනෙක්.ඒ සැරටම මං බය වුණා.ඒ නිසා කොළඹ නාලන්දා විද්‍යාලයේ තිබුණු පහන් පූජාවකට පන්තියේ සියලුදෙනාම එන්න ඕනේ කියලා ඇය අණ කරලයි තිබ්බේ.ගුටිකන්න තිබුණු බය නිසා මමත් අපේ දෙමාපියන්ට චණ්ඩි පාට් දැම්මා ඒ හින්දම.ඒත් අපේ අම්මට මල්ලි හින්දා මාත්එක්ක කොහෙවත් යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.ඒ නිසා අපේ තාත්තව ඇදන් යන්න මට ලොකු මෙහෙයුමක් දියත් කරන්න වුණා.මොකද අපේ තාත්තා කියන්නේ ඒ කාලේදි උදේ ගියාම මහ රෑට ගෙදර එන,රැයක් දවාලක් නොතිබුණු චරිතයක්.කොහොම නමුත් මගේ මෙහෙයුම සාර්ථක වුණා.බස් එකේ කොට කොට අපි දෙන්නා පෝය දවසේත් නාලන්දා විද්‍යාල භූමියට ඇතුළත් වුණා.මං හිතුවේ මේ වෙද්දිත් මුළු ඉස්කෝලේම ළමයි එතැන පිරිලා හිටියා කියලයි.ඒත් මගේ පන්තියේ ළමයෙක් හොයාගන්න මට ලොකු උත්සාහයක් දරන්න වුණා. අඩුම ගාණේ පන්තිභාර ගුරුතුමියවත් ඇවිත් හිටියේ නැහැ.
අවසානයේදී මට කොහෙන්දෝ කටහඬක් ඇහුණා.
“ආහ් මාලන් ඔයත් ආවද ?“එහෙම කිව්වේ උජිත.උජිතත් එයාගේ තාත්තා එක්ක ඇවිත් හිටියේ.
“පෝය දවසේ බසුත් අඩුයි උජිත.මමත් හරි අමාරුවෙන් ආවේ.ඔයා දැන් කොහොමද යන්නේ“ මං කදේට වැටුණා.
“මං මේ ළඟ ඉන්නේ ?“
“ළඟ ?“ මං මවුට් මේරිය පැත්තට අත දික් කරා.
“නැහැ.නාරාහේන්පිට.“
කොහොම වුණත් මට එදා නිදාගන්නකම්ම තාත්තගේ බැණුම්වලින් නම් අඩුවක් තිබුණේ නැහැ.
හැබැයි පහුවෙනිදා ඉස්කෝලේ ගියාම පන්තිභාර ගුරුතුමී අපෙන් මෙහෙම ඇහුවා.
“ඊයේ කව්ද පහන් පූජාවට ආවේ ?“
“අපි ආවා ටීචර්.“ මං පැනලා උත්තර දුන්නා.
ඒත් මට පස්සෙයි තේරුණේ.මම කරලා තියෙන්නේ අපේ මුළු පන්තියම ආවරණය කිරීමක් කියලා.ඒක දැක්කේ අපේ යාළුවන්ගේ මූණුවල තිබුණු සතුටෙන්.ඒත් සමහරු එදා පහන් පූජාවට ඇවිත් තිබුණලු.ඉක්මනටම ගියාලු.මට ඒගොල්ලෝ පස්සේ කිව්වා.මං ඒක පිළිගත්තා.මොකද ඒකේ හරි වැරැද්ද හොයනවට වඩා මිත්‍රත්වය වැදගත් හින්දා.
(පළමු ශ්‍රේණියේදී අපේ පන්තිභාර ගුරුතුමිය වුණේ විජේරත්න මහත්මියයි.ඇය මේ වන විට කොළඹ නාලන්දා විද්‍යාලයෙන් පමණක් නොව දිවි ගමනින්ද සමුගත් ගුරුවරුන්ගේ ලැයිස්තුවට එක් වී හමාරය.)
සටහන -මාලන් විදානපතිරණ

No comments:

Post a Comment