Saturday, February 28, 2015

දෛවෝපගත විශ්වවිද්‍යාල පුද්ගල හමුවීම් දෙකක් 2015/02/28

දෛවෝපගත විශ්වවිද්‍යාල පුද්ගල හමුවීම් දෙකක්


එදා තමයි මම කොළඹ විශ්වවිද්‍යාලයීය හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ සිනමාව පිළිබඳ විශේෂවේදී උපාධියට අදාළ ප්‍රායෝගික පරීක්ෂණයට ආවේ.අලුත් ගමනක් පටන් ගනිද්දී මොකක්ම හරි මට වෙන නිසා එදත් මට මොනවාම හරි වෙන බව මම දැනගෙන හිටියා.ඒ වගේම එදා මට එහෙම දෙයක් වුණා.කන්ද නැගගෙන එද්දී අතරමගදී සපත්තු දෙක කඩලා ගියා.එවේලේ තමයි 5-B ශාලාව ඉස්සරහ තිබුණු බංකුවේ වාඩිවෙලා හිටපු එරන්ද සහෝදරයා මුණ ගැහුණේ.අපි දෙන්නා මුලින්ම හම්බවෙන්නේ අන්න එහෙම.අනික එයත් කරන්නේ සිනමාව කියලා දැනගත්තම මටත් ලොකු සතුටක් දැනුණා.ඉතින් තාත්තත් එයත් එක්ක හරි හරියට කතාව.

කොහොම වුණත් විෂයන් තුනකින්(ජනමාධ්‍ය,නාට්‍ය හා රංග කලාව සහ සිනමාව) ශ්‍රීපාලි මණ්ඩපයට ඉල්ලුම් කරලා තිබුණු මගේ අවසන් බලාපොරොත්තුව වුණේ සිනමාව.චිත්‍රපට පිස්සුව තදින්ම ඇඟට ගහලා තිබ්බත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඉල්ලුම් පත්‍රයේ තිබුණු පැටලිලි සහගත බව නිසයි,සිනමාව කියලා විශේෂවේදී උපාධියක් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ තිබෙන බව දැනගෙන හිටියේ නැත්තේ.ඒත් මම ඒ් අවදානම අරගෙන සැකෙන් වුණත් සිනමාවට අදාළ කතිරයත් එදා සලකුණු කළා.ඒ නිසයි මම අද ඊට අදාළ ප්‍රායෝගික පරික්ෂණයෙන් ඉහළම ලකුණු ලබාගෙන,අද වන විට එහි තෙවැනි වසරත් පසුකරමින් ඉන්නේ.(එදා පැවැති ප්‍රායෝගික පරීක්ෂණයෙන් වැඩිම ලකුණු ලබා ඇත්තේ මම බව මට පහුකාලෙක දැනගන්න ලැබුණා.)

කොහොම වුණත් එදා ප්‍රායෝගික පරීක්ෂණය අවසන් වෙලා මම ශාලාවෙන් එළියට බහිද්දී එතැන හිටියා බදුල්ලේ ඉඳන් ආපු තාත්තා කෙනෙක්.අපේ තාත්තා ඒ තාත්තත් එක්ක එදා හුඟක් වෙලා කතා කර කර හිටියා.පස්සේ කාලෙක මගේ බෝඩිමේ හොඳම යාළුවා වුණෙත්,තාත්තාගේ හොඳම යාළුවා වුණෙත් ඒ තාත්තගේ ළමයා.

ඒ වගේම මම එදා ශාලාවෙන් බැහැලා යද්දී අම්මා කෙනෙක් මාව නැවැත්තුවා.

“පුතා,ඔයා ගියේ ෆිල්ම් ප්‍රැක්ටිකල් ටෙස්ට් එකටද ?“

“ඔව් ආන්ටි“

“අයියෝ.අපරාදේ.අපේ දුව ඒක දාන්නත් හදලා පස්සේ ෂුවර් නැති නිසා දැම්මේ නෑ “

ඒත් එදා ඒ අම්මගේ දුව උත්සාහය අත්හැරියේ නෑ.ඉබ්බාගමුවේ පදිංචි ඇය නර්තනය විශේෂවේදී අංශයෙන් ශ්‍රීපාලි මණ්ඩපයටම තේරී පත්වෙලා හිටියා.ඒත් ඇය හුඟක්ම කැමැත්තෙන් ඉඳලා තියෙන්නේ, උනන්දුවක් තිබිලා තියෙන්නේ චිත්‍රපට විෂයට.(එදා සිනමා විශේෂවේදී උපාධිය අවාසනාවන්ත විදිහට අහිමි වුණේ ඇයමයි කියලයි මම හරියටම ප්‍රත්‍යක්ෂ කර ගත්තේ පළමු වසරේදී)

ඒ නිසාම ඇය ආ වෙලේ පටන් වැඩි උනන්දුවක් දැක්වුයෙත් චිත්‍රපට විෂයටයි.ඒක මට හොඳටම තේරුණා.ප්‍රධාන විෂයට නර්තනය හැදෑරුවත් ඉන් පරිබාහිර වෙලාවෙදී ඇයගේ ඇඟේ දිව්වේ සිනමාව.තෝරාගැනීමේ විෂයන්වලදිත් ඇය තෝරනු ලැබුවේත් සිනමාව.පුස්තකාලයේ හෙව්වෙත් සිනමාව.බෝඩිමේ හෙව්වෙත් සිනමාව.ලැප් එකේ හෙව්වෙත් සිනමාව.ඩොන්ගල් එකේ හෙව්වෙත් සිනමාව.

ඇගේ ජීවිතය කොතරම් දෛවෝපගතද කිව්වොත් ඉරණම්කරු ලෙස ඇයට පහුකාලෙක හමුවෙන්නේත් සිනමාව ඇඟ පුරා දුවන චිත්‍රපටි උණ තදින්ම ගහලු තිබුණු පෙම්වතෙක්.ඒත් ඔහුත් තමන්ගේ ප්‍රධාන විෂයට තෝරාගෙන තිබුණේ ජනමාධ්‍ය. ඒ නිසා දෙන්නටම චිත්‍රපට ගැන හොයන්න,චිත්‍රපට බලන්න,චිත්‍රපට ගැන කතා කරන්න ලොකු උනන්දුවක් තිබුණා.ඇත්තම කිව්වොත් අපිටත් ඒක විශාල උත්තේජනයක් වුණා.

අනික ජීවිතේ කියන්නේ කොච්චර නම් දෛවෝපගතද කිව්වොත් පස්සේ කාලෙක ඇගේ පෙම්වතායි,මායි එකම බෝඩිමේ එකම කාමරේ සගයන් බවට පවා පත්වුණා.ඒත් මුලින් ඒ හඳුනාගැනීම සිද්ධවුණේ අපි දෙන්නම කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකාරයන් වුණු හින්දා.ඒ වගේම කොළඹ ජනප්‍රියතම පාසැල් දෙකක ආදි ශිෂ්‍යයන් වුණු හින්දා.

කොහොම වුණත් අදටත් ඇය සිනමාව පිළිබඳ හදාරනවා.තෝරා ගැනීමේ විෂයන්වලදී සිනමාව පිළිබඳ විෂයන් අපිත් එක්කම එකතුවෙලා උනන්දුවෙන් ඉගෙන ගන්නවා.ඇගේ පෙම්වතාත් එහෙමයි.

(කිසිවකුගේ හෝ නම් සඳහන් නොකළේ එයි්න් ඔවුන්ට නිගරුවක් වේ යැයි හිතූ හින්දා)

මාලන් විදානපතිරණ

No comments:

Post a Comment