Thursday, July 31, 2014

සාමය වෙනුවෙන් මකරුන්ට එරෙහිව සටන් වදින කෝඩුකාරයෝ How to Train Your Dragon 2 2014/07/24




සාමය වෙනුවෙන් මකරැන්ට එරෙහිව සටන් වදින කෝඩුකාරයෝ
How to Train Your Dragon 2

Introduction

How to Train Your Dragon චිත්‍රපට මාලාවේ දෙවැන්න වන How to Train Your Dragon 2 චිත්‍රපටය මේ දිනවල වැල්ලවත්ත සැවෝයි ත්‍රිමාණ සිනමා ශාලාවේ සාර්ථකව තිරගත වේ.ඇමෙරිකානු චිත්‍රපටයක් ලෙසින් ඔබ වෙත පැමිණෙන මෙම ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටය ක්‍රියාදාමවලින් පිරි ෆැන්ටසි ගණයේ නිර්මාණයකි.

Crew

ඩ්‍රීම්වර්ක් ඇනිමේෂන් වෙනුවෙන් බොනී ආනොල්ඩ් නිපැයූ මෙම චිත්‍රපටයේ කතාව සඳහා පාදක වන්නේ ක්‍රෙසිඩා කොවෙල් විසින් රචනා කරන ලද How to Train Your Dragon තුන් ඈඳුතු කතා මාලාවයි. 2010 වසරේදී කළ පළමු චිත්‍රපටයෙන් ලද සාර්ථකත්වය මෙහි දෙවැන්නක් සඳහා බලපෑ අතර විචාරකයන්ගෙන්ද ධනාත්මක විචාරයන්ට බඳුන් වීම මීට ප්‍රබල ලෙස බලපෑවේය.කෙසේ වෙතත් මෙවර චිත්‍රපටයේ තිර රචකයන් මෙන්ම අධ්‍යක්ෂවරයාද වෙනස්වීමට බඳුන් වී ඇති අතර ක්‍රිස් සෑන්ඩර්ස් සහ ඩීන් ඩේබ්ලොයිස් සම අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටයේ අධ්‍යක්ෂණය මෙවර ඩීන් ඩේබ්ලොයිස්ට පමණක් භාර දී තිබේ.එසේම විල් ඩේවිස්,ඩීන් ඩේබ්ලොයිස් සහ ක්‍රිස් සෑන්ඩර්ස් සම තිර රචනය කළ පළමු චිත්‍රපටයේ මෙවර තිර රචනයට ඩීන් ඩේබ්ලොයිස් පමණක් දායක වී ඇත.

Synopsis 

හිකප් ඇතුළු යහළුවන් දැන් කෝඩුකාර ගැටවරයන්ය.කෙසේ නමුත් නැවතත් අභියෝගයකට සැරසීමට ඔවුන්ට සිදුවේ.ඒ මකර තරගයකටයි.එහෙත් මෙවර පිටස්තර ලෝකයන් සොයා යන ඔවුන් ගගන අතික්‍රමණය කරයි.අලුත් ලෝකයන් දකිමින්,ඒවායේ සිටින අභියෝගාත්මක මකරැන් සමගින් සටන් වදී.සාමය සුරුකීමට දැඩි වෙහෙසක් දරයි.ඒ අනුව මකරැන්ගේ බලයෙන් වෙනස් විය හැකි අනාගතය රුක ගැනීමට හිකප් ප්‍රමුඛ යහළු කැල සමත් වේද ? චිත්‍රපටයේ කතා රසය ඇත්තේ එතැනයි.   

Cast -  Voice

හිකප් -ජේ බරැචෙල්
වැල්කා - කේට් බ්ලැන්චෙට්
ස්ටොයික් - ජෙරඩ් බට්ලර්
ගොබර් - ක්‍රෙග් ෆර්ගසන්
ඇස්ට්‍රිඩ් - ඇමෙරිකාන ෆෙරෙරා
ස්නොට්ල්අවුට් -ජොනා හිල්




Production

නිෂ්පාදකවරැන් විසින් How to Train Your Dragon චිත්‍රපටයේ දෙවැන්නක් නිර්මාණය වන බව 2010 වසරේ අප්‍රේල් මාසයේදීම නිවේදනය කළ අතර එය මේ වසරේ ජුනි මස නිකුත් කිරීමට පළමුව පිඹුරැපත් සැකසිණ.එහෙත් මෙවර ඩේබ්ලොයිස්ට පමණක් අධ්‍යක්ෂණ කාර්යය පවරද්දි ඔහු ඊට කොන්දේසියක් පැනවූ අතර එය නම් තමන්ට මෙහි තෙවැනි චිත්‍රපටයත් ලබාදෙන්නේ නම් පමණක් මෙය අධ්‍යක්ෂණය කරන බවයි.ඊඨ එකඟවීමත් සමග 2012 වසරේ ජුනි මස 19 වැනිදා මෙහි නිර්මාණ කටයුතු ඇරඹුණු අතර පළමු චිත්‍රපටයේ හඬ නළුවන් දෙවැන්න සඳහාත් යොදා ගන්නා බැව් නිවේදනය කෙරැණි.පළමු චිත්‍රපටයේදී උතුරැ මුහුද මෙහි ප්‍රධාන පසුබිම වුවද දෙවැන්නේදී එය බොහෝ දුරට වෙනස්කම්වලට භාජනය වූ අතර එය වෙනස්ම ක්‍රමවේදයකට සිදුවිණ.එසේම මෙහිදි නිෂ්පාදන සංවර්ධන නිර්මාණකරැවන් දොළොස්දෙනෙකු පමණ නෝර්වේහි දීර්ඝ කාලයක් මෙහි පර්යේෂණය කටයුතු වෙනුවෙන් වැය කළ අතර අධ්‍යක්ෂ ඩේබ්ලොයිස් සමග ඩ්‍රීම්වර්ක්ස් නිෂ්පාදන සමාගමේ වෘත්තාන්තමය අංශයේ ප්‍රධානී ග්‍රෙග් ටේලර් සහ දෘශ්‍ය රෑප උපදේශක රොජර් ඩීකින්ස්ට මෙහිදී මේ වෙනුවෙන් දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිණ.2002 වසරේ තිරගත වූ Lilo and Stitch චිත්‍රපටය මෙහිදී විශේෂයෙන්ම භාවිතයට ගැනිමට සිදුවූ බව පවසන අධ්‍යක්ෂවරයා,සජීවිකරණ චිත්‍රපටයකදි නිෂ්පාදනයට පෙර බොහෝ තැන්වල සංචාරය කළ යුතු බවද මෙම චිත්‍රපටයෙන් පසුව පැවැති සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේය.ජෝන් පවෙල්ගේ සිනමා සංගීතයෙන් නාද රටා සිත්තම් වූ මෙම චිත්‍රපටය නව වාර්තාවක් තබන්නේ Scalable multi-core processing තාක්ෂණය යොදා ගනිමින් කළ පළමු සිනමා නිර්මාණය ලෙසයි.එසේම නව සජීවිකරණ සහ ආලෝකකරණ තාක්ෂණික මෘදුකාංගයක් යොදා ගනිමින් කළ පළමු චිත්‍රපටය ලෙස සැළකෙන මේ හරහා සංවේදී භාව සියුම්ව රෑපණය කිරීමට නිර්මාණකරැවන් සමර්ථකම් දක්වා ඇත. ඒ අනුව සමස්ත නිෂ්පාදනය වෙනුවෙන් පන්සියයක අධික පිරිසක් තම ශ්‍රම දායකත්වය ලබා දී ඇති විදෙස් වාර්තා සඳහන් කරයි.

Release

මේ වසරේ පැවැති කෑන්ස් චිත්‍රපට උලෙළේදී මැයි මස 16 වැනිදා පළමුවරට ප්‍රදර්ශනය වූ How to Train Your Dragon 2,නිල වශයෙන් තිරගත වීම ඇරඹුණේ ජුනි මස 13 වැනිදාය. මෙය IMAX 3D තාක්ෂණය ඔස්සේ මෙදිනම තිරගත වූ අතර මේ වසරේ නොවැම්බර් මස 11 වැනිදා ඩීවීඩී පට සහ බ්ලූ - රේ (2D සහ 3D) වශයෙන් නිකුත් වීමට නියමිතයි.

Box Office

පළමු දිනදී ඇමෙරිකාවෙන් පමණක් ඇ.ඩො. මිලියන 18.5ක ආදායමක් අත්පත් කර ගත් How to Train Your Dragon 2 චිත්‍රපටය, පළමු සති අන්තය නිම වන විට ඇ.ඩො. මිලියන 50කට ආසන්න ආදායමක් උතුරැ ඇමෙරිකාවෙන් වාර්තා කිරීමට සමත් විය. ඒ අනුව මෙම චිත්‍රපටය පසුවූයේ එම සති අන්තයේදී වැඩිම ආදායමක් උපයා ගත් චිත්‍රපට අතර දෙවැනි ස්ථානයේය. මෙය දෙවැනි වූයේ “22 jump Street* චිත්‍රපටයට පමණි.දෙවැනි සති අන්තයේදී තවත් ඇ.ඩො. මිලියන 24ක අත්පත් කර ගනිමින් චිත්‍රපට දර්ශකයේ තුන්වැනි ස්ථානයට පත් මෙම චිත්‍රපටය තෙවැනි සති අන්තයේදීත් තෙවැනි ස්ථානයේම රුඳී සිටියේ  තවත් ඇ.ඩො. මිලියන 13කට අධික ආදායමක් අත්පත් කර ගනිමිනි.එහෙත් සිව්වැනි සති අන්තයේදී පස්වැනි ස්ථානය දක්වා පල්ලම් බසින ලද මෙම චිත්‍රපටය එම සති අන්තයේදී තවත් ඇ.ඩො. 9කට ආසන්න ආදායමක් උපයා ගැනීමට සමත් විය.මේ අනුව පසුගිය 17 වැනිදා වන විට ඇ.ඩො. මිලියන 160කට ආසන්න ආදායමක් උතුරැ ඇමෙරිකාවෙන් පමණක් උපයාගෙන,සෙසු රටවලින් අත්පත් කරගෙන සමස්ත ආදායම ඇ.ඩො.මිලියන 200කට ආසන්නය. “How to Train Your Dragon 2* චිත්‍රපටය මේ වන විට උපයාගෙන ඇති සමස්ත ආදායම ඇ.ඩො.මිලියන 350 ඉක්මවන්නේය.    


Sequel

How to Train Your Dragon චිත්‍රපට මාලාවේ මීළඟ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතුද මේ වන විට ආරම්භ වී ඇති අතර එය නම් කර ඇත්තේ How to Train Your Dragon 3 ලෙසිනි.එම චිත්‍රපටය 2016 වසරේ ජුනි මස 17 වැනිදා තිරගත කිරීමට නිෂ්පාදන කණ්ඩායම සැලසුම් කර ඇත.මෙහි අධ්‍යක්ෂණය,නිෂ්පාදනය මෙන්ම හඬ නළුවන්ද පළමු චිත්‍රපට ද්විතවයේම නිර්මාණකරැවන් බව මේ වන විට තහවුරැ වී ඇති අතර ජෝන් පවෙල්ද මෙහි සංගීත නිර්මාපකයා ලෙස තෙවැනි චිත්‍රපටයට නැවතත් එක්වීමට නියමිතයි.

Video Game

පසුගිය මාසයේ නිකුත් වූ මෙම වීඩියෝ ක්‍රිඩාව නිර්මාණය කර ඇත්තේ ලිට්ල් ඕර්බිට් නම් සමාගම විසිනි. How to Train Your Dragon 2 ලෙසින්ම නම් කර ඇති මෙම ක්‍රීඩාව,මකරැන් තෝරා ගනිමින් ඔවුන් සමගින් තරග කළ හැකි ආකෘතියකට නිමවා ඇති අතර පුහුණුවීමේ කාල සීමාවක් මෙන්ම පියාසර කිරිම සඳහාද පාසැලක් ලබා ගනිමින් නියැලිය හැකි ආකාරයට සැලසුම් කර ඇත.එහෙත් මෙහි ක්‍රීඩා කළ හැක්කේ Xbox 360, Nintendo 3DS, Wii, Wii U හෝ PlayStation 3 තාක්ෂණය ඇති වැඩසටහන්වල පමණි.

මාලන් විදානපතිරණ              
Mgovindaw@gmail.com

No comments:

Post a Comment