Wednesday, October 23, 2013

මම මුලින්ම ජනප්‍රිය වුණේ අනික් නළුවන් ප්‍රතික්ෂේප කළ චරිතවලින්





මම මුලින්ම ජනප්‍රිය වුණේ අනික් නළුවන් ප්‍රතික්ෂේප කළ චරිතවලින්
සුපිරි බොලිවුඩ් නළු ෂාරැක් ඛාන් කළමණාකාර සැසියක් අමතමින් කියයි

මාලන් විදානපතිරණ
2013/10/03,2013/10/04
 අද පුවත්පත

සමස්ත ඉන්දීය කළමණාකරණ සංවිධානය විසින් 40 වැනි වරටත් සංවිධානය කළ ජාතික කළමණාකාර සැසිය පසුගිය 26 වැනිදා දිල්ලියේදි නිමාවට පත්විය. අවදානම තුළින් ධෛර්යය ළඟා කර ගැනීම තේමා කරමින් මෙවර පැවැති මෙම සම්මේලනයේ ප්‍රධාන දේශකයා වූයේ සුපිරි නළු ෂාරැක් ඛාන්ය.මේ ඔහු එහිදී “අවදානමේදී නිර්භිතව ඉදිරියට යාම* පාදක කර ගනිමින් කළ දේශනයේහි මූලික හරයයි.

මම දන්නේ නැහැ මේ කතාව කොහොම ආරම්භ කරන්නද කියලා.ඒත් සමස්ත ආර්ථිකයම කඩා වැටුණූ මොහොතක බොලිවුඩ් නළුවකුට මෙවැනි දේශනයකට ආරාධනා කිරීම ගැන මම ඔබ හැමෝටම ස්තූතිවන්ත වෙනවා. ඒත් මම මුලින්ම මේ යෝජනාව ගැන ඇහුවම නම් ටිකක් බය වුණා.

ෂිව් (ඩී ෂිවකුමාර් - සමස්ත ඉන්දු කළමණාකරණ සංවිධානයේ සභාපති) මගේ ළඟම යාළුවෙක් තමයි .ඒ වුණත් මට ඔහු කතා කරන්න කිව්වේ ටිකක් බරපතල මාතෘකාවක්.ඉතින් මහා පරිමාණයේ සමාගම්, මහා පරිමාණයේ සමාගම් කළමණාකරැවන් රුස්ව සිටින මෙවැනි මොහොතක ඒක සාධාරණ බියක්. හැබැයි ෂිව් කිව්වේ නම් ජනතාව ධෛර්යමත් කරන සුළු කතාවක් කරන්න කියලයි. හැබැයි මෙතැනදි මං ආර්ථික විද්‍යාව ගැන කතා කරන්න යන්නේ නැහැ.අනික මට මොකක්ද තියෙන අයිතිය ඒ  ගැන කතා කරන්න ? හැබැයි ඒකෙන් මම කියන්නේ නැහැ මේ ලැබුණූ අවස්ථාව නොලද යුතු දෙයක් කියලා. අනික ඔබ හැමෝම ලෝකයේ බිහිවූ සාර්ථක මිනිසුන් නිසයි මෙතැන ඉඳගෙන ඉන්නේ.මමත් සාර්ථක පුද්ගලයකු නිසයි අද මෙහෙම කතා කරන්නේ.

ඒත් මම සාර්ථකත්වය ගැන දේශන දෙන්න තරම් සුදුසු පුද්ගලයෙක් නෙමෙයි. මිනිස්සුන් කොහොම ධෛර්යමත් කරන්නද කියලා මට නම් තේරෙන්නේ නැහැ. ඒකෙන් මම අදහස් කළේ, ඒවා කරන විධිමත් ක්‍රම තිබෙනවා වුණත් මම ඒවා දන්නේ නැහැ කියන එකයි. ඒ නිසා ඒවා තුළින් සාර්ථකත්වය ගැන මට උපදෙස් දෙන්න නම් මට තේරෙන්නේ නැහැ. අනික ජීවිතය ගැන හැමදේම දැනගෙන උපදෙස් පුළුවන් කාටද ? එහෙම අය මේ ලෝකේ නැහැ.ඒ නිසා තමන්ගේ අත්දැකීම්වලින් තමයි මොනවා හරි යමක් කියන්න පුළුවන් වෙන්නේ.මමත් දැන් සූදානම් වෙන්නේ ඒ වගේ දේකටම තමයි. හැබැයි මම මේ ගැන දන්න දේ බොහොම සරලව කියන්නම්.ඒත් අන්තිමට ඔබට මෙයින් ගත යුතු යමක් නැත්නම් මකලා දැම්මයි කියලා මගේ කිසිම අමනාපයක් නැහැ.

සාර්ථකත්වයට ගිය මි

නිස්සු කවදාවත් ඉලක්ක තියාගෙන වැඩ කළේ නැහැ. උදාහරණයක් විදිහට අපි ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන වොරන් බෆට් ගනිමු. ඔහුගෙන් ඔබ සාර්ථක වීමේ රහස ගැන දවසකට පස් වතාවක් ඇහුවොත් ඔහු ඔබට උත්තර පහක් දෙයි.ඒවා තමයි “ඔබේ ලාභය නැවත ආයෝජනය කරන්න*,“ ණය ගැනීම අඩු කරන්න* ආදී පිළිතුරැ හයක්.අනික ඔහු කපටියෙක් නෙමෙයි. වංචාකාරයෙක් නෙමෙයි.ඒ නිසා සාර්ථකත්වය රඳා පවතින්නේ තමන් ලබන අත්දැකීම්වලින් නොවන බව ඔහුගෙන්ම තේරෙනවා.ඒත් අත්දැකීම් තමන්ගේ සාර්ථකත්වයට බලපාන්නේ නැහැම කියලා මම කියන්නේ නැහැ. ඒ මගේ ජීවිතේ මම ළමා කාලයේදී කළ හැමදෙයක්ම, ලැබූ හැම අත්දැකීමක්ම අද මගේ සාර්ථකත්වයට හේතු වෙලා තියෙන නිසයි. ඒ බව මම ලිපියකින් පවා කියලා තියෙනවා.

ඒ නිසා මම සාර්ථක වුණේ කොහොමද කියන එක ගැන කතා කරලා වෙලාව නාස්ති කරන්න මම කැමැති නැහැ.අනික මම මුල ඉඳලම “බැහැ* කියන වචනයට හුඟක් බයවෙලායි හිටියේ.ඒ නිසා හැමවෙලාවෙම උපරිමය කරන්නයි උත්සාහ කළේ.මේ නිසා මම “පුළුවන්* කියන සංකල්පය ඔස්සේ හුඟක් දේවල් ලබාගත්තා. කවදාවත්ම “නැහැ*, ‘“බැහැ* කියන්න උත්සාහ කළේ නැහැ.අනික මම මධ්‍යම - පහළ පාන්තිකයකු නිසා ජිවිතය එක තැනකින් කඩා වැටුණොත් එතැනින් බඹ ගාණක් මම පහළට ඇදන් වැටෙනවා කියලා හොඳින්ම දැනගෙන හිටියා. මම දැක්කා අසාර්ථක මිනිස්සු.අපේ සමාජ පන්තියේ සිටි ඔවුන් අසාර්ථක වුණේ කොහොමද කියලත් දැක්කා.

ඒ වගේම මට ලස්සන තාත්තා කෙනෙක් හිටියා.ඔහු තමයි මට මුළු ලෝකේම. ඒත් ඔහුව මට පොඩි කාලේම අහිමි වුණා.ඒක තමයි ලොකුම අහිමි වීම.මේ අහිමි වීමත් එක්ක අම්මා පවා ලොකු අපහසුතාවයකට පත් වුණා. ඒකයි ඇයට වුණත් මම සාර්ථක නළුවෙක් වෙනකොට ළඟ ඉන්න බැරි වුණේ.
ඒ අනුව මම මාවම උදාහරණයකට අරන් කතා කරනවා නම් මගේ ජිවිතයේ තීරණාත්මක සන්ධිස්ථානවලදී මම ජය ගන්නා සමත් වුණා.විශේෂයෙන්ම අපි ටිකක් දුප්පත් මිනිස්සු හන්දා ජිවිතය කොහොමහරි ජය ගත යුතුයි කියලා අපිට දැනුණා. ඒත් මම කියන්නේ නැහැ දුප්පත් මිනිස්සු විතරයි ජීවිතය ජයගන්නේ කියලා.ඒත්  මිනිස්සු දුප්පත් වුණාම පීඩනයට පත්වෙනවා. විශාදයට පත්වෙනවා. පිස්සුවෙන් වගෙයි එතකොට වැඩ කරන්නේ.අනික දුප්පත් වුණාම ලැබෙන නින්දා,ගැරහිලි අමතක කරන්නම බැහැ.ඒ වගේම දුප්පත්කමින් මිදෙන්න හදනකොට එල්ල කරන පීඩනය සුළු පටු නැහැ.ඒ ගැන අපේ අම්මටයි, තාත්තාටයි නම් හොඳ අත්දැකීම් තියෙනවා.

ඒ නිසා මම වුණත් අසාර්ථකත්වයට උත්තර දුන්නු විධි දෙකක් තිබුණා. හැබැයි මේවා අහනකොට ඔබට හිතෙන්න පුළුවන් මේවා හරිම ආධුනික මෝඩ වැඩ කියලා.ඒත් මම භාවිතා කරන පළමු ක්‍රමයට තමයි ඔබ කළමණාකරණයේදි උපයෝගීතාවාදය කියන්නේ.එහෙම නැත්නම් අසාර්ථක වූ දේ සාර්ථකත්වය වෙනුවෙන් යොදා ගැනීම. මම විශ්වාස කරන්නේත් ඒකයි.ඒක වානිජකරණයේදි, කළමණාකරණයේදී එහෙම නැත්නම් වෙළඳාමේදී වැදගත් වෙන්නේ මේ නිසයි.
අනික තමයි දෛවය වෙනස් කිරීම.දෛවයට සරදම් කිරීම. එහෙම නැතුව දෙවියනි, ඇයි මට මෙහෙම කරන්නේ ? ඇයි මට මෙහෙම වෙන්නේ කියලා කිය කියලා හිටියට උත්තර ලැබෙන්නේ නැහැ.  

ඒ නිසා මගේ ජීවිතයේදි සාර්ථකත්වයට පෙළඹවීමක් ලබාදුන්නේ අසාර්ථකත්වයයි.දිරිගැන්වුයේත් අසාර්ථකත්වයමයි. අසාර්ථකත්වය අපේ ජීවිතයේ සිටින හොඳම ගුරැවරයා විදිහට මං දකින්නේත් ඒ නිසාමයි. ඔබ යමකදි අසාර්ථක නොවුණොත්  කවදාවත් ඒ ගැන යමක් ගන්නේ නැහැ. 
  
ඒ වගේම ඔබ කවදාවත්ම අසාර්ථක වුණේ නැත්නම් කවදාවත්ම දියුණූ වෙන්නේත් නැහැ. ඊට හොඳම උදාහරණයක් විදිහට ඉන්දියාවේ සිටි බැංකු සභාපතිවරයෙක්ගේ අපූරැ කතාවක් මට කියන්න පුළුවන්.දවසක්  ඔහුගෙන් තමන්නේ සාර්ථකත්වය ගැන මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කෙරැවා.

“ඔබේ සාර්ථක වීමේ රහස මොකක්ද* මාධ්‍යවේදියා ඇහුවා.

“මම හැමවෙලේම හරි තීරණ ගත්තා* ඔහු එතකොට එහෙම කිව්වා.  

“ඒත් ඔබ කොහොමද දන්නේ ඒවා නිවැරදිද කියලා ?*

 “පළපුරැද්දෙන්* කියලා එතකොට ඔහු කිව්වා.

“ ඔබ කොහොමද හරි තීරණ ගන්න තරම් අත්දැකීම් ලබාගත්තේ ? *

 “වැරුදි තීරණ* කියලා එතකොට ඔහු පිළිතුරැ දුන්නා. ඒක තමයි ඔහුගේ සාර්ථකත්වයේ රහස.

සමහර බොරැ දේවල් කරන්න ගියාමත් මේ අසාර්ථකත්වය අපිව නතර කරනවා.ඒක මගේ ජිවිතයට නම් හොඳ දෙයක්.ඒකෙන් මගේ වෙලාව ඉතුරැ වුණා . එතැනදී මම අනික අයට වඩා මම ගැනයි ප්‍රශ්න කළේ.ඒ අනුව මම යන්නේ ඕනේ කොහොමද, යා යුත්තේ කොතැනටද ආදී හැම ප්‍රශ්නයකටම උත්තර මට ලැබුණා.හැබැයි එතැනදි මම සමහර දේවල් කරන එක නැවැත්වූ අවස්ථාත් තිබුණා.සමහරක් වෙලාවට කොච්චර බාධා පැමිණියත් දිගටම මගේ දේවල් කරපු අවස්ථාත් තිබුණා.එතැනදි මම බාධා, වැරුදිවීම් බලාපොරොත්තු වෙලා තමයි වැඩ කරන්නේ.ඒකට හොඳම උදාහරණයක් තමයි මගේ අයි.පී.එල්. කණ්ඩායම (කොල්කටා නයිට් රයිඩර්ස්).
ෂිව් දන්නවා ඒ ගැන හොඳට.ඔහු වගේ යාළුවෝ තමයි මට මෙතැනදි උපදෙස් දුන්නේ.ඒත් මම මෙතැනදී අලුත් අත්දැකීම් ලබන්න, අලුත් අත්හදා බැලීම් කරන්න උත්සාහ කළා. හැමදෙයක්ම කරලා බලන්න උත්සාහ කළේ මේ නිසයි.ඉතින් මම අන්තිමට මගේ කණ්ඩායමට කුසලානය ගෙනත් දුන්නේ නැද්ද ?

අසාර්ථකත්වය ගැන කියද්දී තව දෙයක් අමතක නොකළ යුතුයි.මේ වගේ අසාර්ථක වෙන අවස්ථාවලදී තමයි ඔබට ඔබේ ඇත්තම යාළුවෝ කව්ද කියලා හොඳින්ම වටහාගන්න පුළුවන් වෙන්නේ.ඔබේ යාළුවන්ගේ සැබෑ ශක්තිමත් බව පරීක්ෂා කිරීමට ඒක හොඳ අවස්ථාවක්.ඒ ගැන නම් මටත් හොඳ අත්දැකීම් තියෙනවා.විශේෂයෙන් “රා වන්* චිත්‍රපටයෙන් පස්සේ මගේ රසිකයන් හුඟක් මගෙන් ඈත් වුණා. මගේ යාළුවෝ හුඟක් ඈත් වුණා. එතකොට “චෙන්නායි එක්ස්ප්‍රෙස් * චිත්‍රපටයෙන් පස්සේ මට හම්බවුණේ අලුත් යාළුවෝ කණ්ඩායමක්.අලුත් රසිකයන් පිරිසක් . අලුත් පසුතලයක වෙනස්ම ආකාරයේ ශිල්පීන් තමයි මට හම්බවුණේ. ඒ ගැන ඔබ දන්නවා ඇති. ඒ නිසා ඒක මට සතුටුදායක දෙයක්.

 ඒ නිසා යාළුවෝ බොහෝ වෙලාවට තීරණාත්මක අවස්ථාවලදී වෙනස් වෙනවා. මම දක්ෂ නළුවෙක් වෙනකොට තමන්ගේ දේ මා විසින්ම කරගන්නයි උත්සාහ කළේ. අනුන්ව වැඩිය විශ්වාස කළේ නැහැ.ඒක මාන්නක්කාර හැඟීමක් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්.ඒත් එවැනි ආකල්පයක් තමන්ගේ හිතේ වර්ධනය කර ගත්තට වැඩි වරදක් නැහැ. එතකොට තමයි තමන්ගේ ඉදිරිය සාර්ථකවෙන්නේ. සමහර වෙලාවට වාසනාව පවා ඔබේ ගමනට උදව්වෙන්‍නේ එතකොටයි.සමහර තීරණාත්මක අවස්ථාවලදී වාසනාව මටත් බලපෑවේ ඒ නිසා විය යුතුයි.කොහොම නමුත් අසාර්ථකත්වය මාව හැමවෙලේම ශක්තිමත් කළා. විශේෂයෙන්ම කලබල වෙන්නේ නැතුව ප්‍රශ්න විසඳගන්න පුරැදුකළේ ඒකයි.අනුන්ව පරික්ෂා කරනවට වඩා තමන්ගේ හැසිරීමට මොකද වුණේ කියලා පරීක්ෂා කරන එක වඩා හොඳයි කියලා මම හිතන්නේත් මේ නිසයි.ඒ වගේම මේක තමන්ගේ හැකියාව පිළිබඳ තවදුරටත් විශ්වාසය තැබීමට උදව්වෙනවා. අවදානමකින් බේරීමේ හැකියාව වර්ධනය කරන්නත් උදව් වෙනවා.

හැබැයි මම හැමවෙලාවකම අසාර්ථකත්වයෙන් තුළින් සාර්ථකත්වයට යන එක ගැන කතා කරන එකට වැරුදි අර්ථ කථනයක් දෙන්න එපා.මම කිව්වේ යමක් කරනකොට අසාර්ථක වෙන්න පුළුවන් කියලායි. එහෙම නැතුව ඕනැකමින් අසාර්ථක වෙන්න කියලා නෙමෙයි.අනික මට සාර්ථකත්වය ගැන කතාකරන්න බැරිකමට අසාර්ථකත්වය වර්ණනා කරනවා නෙමෙයි.

ඒත් ජිවිතයේදි හැමවෙලේම සාර්ථකත්වයම ළඟා කරන්න බැහැ.අපිට ලැයිස්තුගත කරගෙන අපේ ජීවිතේ සැලසුම් කරන ආකාරයෙන්ම ගෙවන්න බැහැ.අනික ලබාගත් දේවල් සර්ව සම්පූර්ණ කරගන්නත් ටිකක් අමාරැයි. මෙතැනදි මම සුදුසුකම් ගැන නෙමෙයි ප්‍රශ්න කරන්නේ. ඔබේ රුකියාවත් නෙමෙයි ප්‍රශ්න කරන්නේ.ඒත් අපිට ගත කරන්න ලැබෙන්නේ හුඟක් අමාරැ, තෝරාබේරාගන්න බැරි හරිම සංකීරණ  ජීවිතයක්.ඒක වෙලාවකට ප්‍රහේලිකාවක් වගෙයි. මනුෂ්‍යත්වය,ඔබේ අසාර්ථකවීම්වලට ගෞරව කිරීම ආදිය තුළින් ඉදිරියට යන්න පුළුවන් කියලා මම කියන්නේ ඒ නිසයි.ඒක තමයි ඔබට උපකාරීවෙන්නේ.ඔබේ ජීවිතය ගලවාගන්න පුළුවන් වෙන්නේ මේ තුළින්.

 මේ නිසා ප්‍රායෝගික ජිවිතයේදී ඔබට ලැබෙන හොඳම තෑග්ග අසාර්ථක උත්සාහයන්. ඒක බාහිර සාධකයක් විදිහට අපිට බැහැර කරන්න බැහැ.මේවාට කොහොම ඔබ මුහුණ දෙනවාද යන්න තුළින් තමයි ඔබේ අනාගතය කොයිවගේද කියලා තීරණය වෙන්නේ.

තමන් අත්දැකීම් ලබාගනිමින් , සැහැල්ලුවෙන්, පසු නොබැස හදාරමින් ජීවිතය ගොඩනගා යුතු බව මම කියන්නේ ඒ හින්දයි.හැමදේම අගය කරන්න.ඔබ කරන දෙයින් ඔබට ලැබෙන ප්‍රතිඵලය පිළිගන්න.ඒකයි කළ යුත්තේ. ඒකයි ඔබට ලැබෙන හොඳම ඉගෙනීම.එහෙම නැතුව මේවායින් අධෛර්යමත් වෙලා හුදෙකලා වීම නෙමෙයි කළ යුත්තේ.

මෙතැනදි තව දෙයක් විශේෂයෙන් කියන්න ඕනේ.විශේෂයෙන්ම මා ඉදිරියේ සිටින කළමණාකරැවන්ට.

ඉගෙනගන්න ආදරය ගැන. ඒක මුළු ජිවිතේටම ඕනි දෙයක්.ඒ ගැන හොඳ අවබෝධයකින් යුතුව කටයුතු කරන්න.ඔබ උද්දීපනයෙන් ආවේශ වෙලා කටයුතු කරනවා වෙන්න පුළුවන්. හිතේ තියෙන්නේ ව්‍යාපෘති, හීන, ව්‍යාපාර,ලාභ,වටිනාකම,තමන්ගේ ශක්තිමත් බව වෙන්න පුළුවන්. ඒත් හැමවෙලාවකම හොඳ සංවේදී මිනිසුන් වෙන්න උත්සාහ කරන්න.
අනික සාර්ථකත්වය කියන්නේ ජීවිතේ අවසානය නෙමෙයි. අසාර්ථකත්වය කියන්නේ මරණය තරම් බයංකාර දෙයකුත් නෙමෙයි.ඒත් හිතට ධෛර්ය අරන් අවදානමක් ඇතුව (ගත හැකි අවදානමක් නම් පමණක් ගෙන) හෝ සාර්ථකත්වයට ළඟා වීමයි කළ යුත්තේ.නැතුව බයවෙන එක නෙමෙයි. එහෙම නැත්නම් ඔබට ඒ අවස්ථාව අහිමිවෙනවා. 

මම විශ්වාස කරන්නේත් අවදානමක් අරන් නිර්භිතව සාර්ථකත්වයට ළඟා වීම තමයි හොඳම දෙය කියලයි.මගේ යාළුවෝ පවා මගේ සාර්ථකත්වය මනින්න උත්සාහ කළ පාර්ශ්වයන්.

ඉතින් මේක තමයි මම දන්න සාර්ථකත්වයට යා හැකි එකම සිද්ධාන්තය. කළමණාකරණයේදිත් මම දන්න තරමින් අති දැවැන්ත විදිහට ජීවිතෙන් පරාජය වුණූ මිනිස්සු තමයි නැවත සාර්ථකත්වයට ගිහින් තියෙන්නේ.ඒක තමයි මම දන්න තරම.ඒ නිසා අවසානයේදි මට කියන්න තියෙන්නෙ මේ උග්‍ර ආර්ථික අවපාතයට විසඳුම තියෙන්නේත් අපේ දේශීය වෙළඳපොලේ කියලයි. ඒක අංශක 360ක් කරකවා බැලුවොත්, නිවැරදිව ඒක පරීක්ෂා කර බැලුවොත් ඒ විසඳුම ඉතා ඉක්මනින් ළඟා කර ගන්න පුළුවන් කියලයි.

ඒක ක්‍රියාදාම චිත්‍රපටයක භාෂාවෙන් කියනවා නම් “ ඉස්සෙල්ලාම වැඩේ සාර්ථක වෙන්නේ නැත්නම් ආයෙත් මුල ඉඳලා කරල බලන්න.ඉක්මනින් වෙඩිතියලා බලන්න.මුලින් එක පාරක් වෙඩි තියලා බලන්න.ඒත් තව පතුරමකුත් සූදානමින් තියාගන්න*. එහෙමයි ඩොන් කිව්වේ.  
 

කොහොම වුණත් මගේ දෙමාපියෝ මිය ගියාට පස්සේ මම අසාර්ථකත්වයයි, දුප්පත්කම තරාදියේ දෙපැත්තේ සම සමව තියන්න උත්සාහ කළා. ඒ නිසා මම මේ දුප්පත් ජීවිතයේ වැඩි දවසක් ඉන්නේ නැහැයි කියලා හිතා ගත්තා. ඒ අනුව මගේ මුල් කාලීන රංගන දුප්පත් වුණත් අසාර්ථකත්ක වුණත්  එදා ඒවා මම එක මට්ටමෙන් සැළකූ හින්දා පසුකාලීනව ඒවා මගේ ‍සාර්ථකත්වයට හේතු වුණා. හැබැයි මම ඒකෙන් කියන්නේ නැහැ අසාර්ථකත්වය කියන්නේ හරිම විනෝදජනක දෙයක් කියලා.ඒත් අසාර්ථකත්වය ඔස්සේ අපිට ලැබෙන අත්දැකීම්වලින් අපේ ජීවිතය මැනගන්න පුළුවන්.අපි කොතැනටද යා යුත්තේ කියලා යම් තීරණයකට එළඹෙන්න පුළුවන්. මේ නිසා සාර්ථක වූ මිනිසුන්ගේ පසුබිමේ අසාර්ථක වූ අවස්ථා රුසක් අපිට දකින්න පුළුවන්.

ඒත් මම මෙතැනදි මගේ මුල් කාලීන චිත්‍රපට ගැනත් තව දෙයක් කිව යුතුයි. ඒවායෙන් බොහොමයක් ඒ කාලේ සිටි අනික් නළුවන් ප්‍රතික්ෂේප කළ චරිත.එහෙම නැත්නම් වෙන කවුරැවත් නැතිකමට මාව දාලා කළ චිත්‍රපට.“දීවානා* තමයි මගේ පළමු ජනප්‍රියම චිත්‍රපටය.ඒත් ඒ චිත්‍රපටය සඳහා මුලින් තෝරගෙන තිබුණේ ආමන් කෝලිව.ඒත් ඔහු ඒ චරිතය ප්‍රතික්ෂේප කළා. 

ඒ වගේම “බාසිගර්* චිත්‍රපටයේ චරිතය කරනන් හිටියේ සල්මන් ඛාන්. ඔහුත් මේ චරිතය ප්‍රතික්ෂේප කළා.“ඩර්* චිත්‍රපටයේ චරිතයත් එහෙමමයි. ඒක අමීර් ඛාන් විරැද්ධත්වය පළ කළ චරිතයක්.

ඒත් මම ඒ හැම චරිතයක්ම හොඳින් කළා. ඒවා ජනප්‍රිය වුණේ ඒ නිසයි.සමහර විට ඒකට කාලයත් බලපාන්න ඇති.ඒ නිසයි සමහරැ ජනප්‍රියවෙන්න නම් කාලයත් සුබ වෙන්න ඕනි කියන්නේ. මමත් ඒකට එකඟයි.

මම මේ ගැන ගරැ දිලිප් කුමාර්ගෙනුත් දවසක් ඇහුවා.ඒ දවසක් දා අපි දෙන්නා එකට දේව්දාස් නරඹන අවස්ථාවේදි.මම එතැනදි එතුමාට කිව්වා, “දේව්දාස්* අලුත් චිත්‍රපටයට මම දුන්නේ මගේ අර්ථ කථනයක් කියලයි.මොකද දිලිප් කුමාර් කියන්නේ අතිවිශිෂ්ට නළුවෙක්. මම ආචාර කරන නළුවෙක්.මේ නිසා චිත්‍රපටය උදාහරණයට ගත්තොත් නළුවන් විදිහට අපේ සාර්ථකත්වය ගැනයි මුලින් සිතිය යුත්තේ. අධ්‍යක්ෂවරයාගේ අදහස මොකක් වුණත් ඒකම නෙමෙයි අපේ සාර්ථකත්වය වෙන්නේ.

මේ හින්දා මගේ අදහස නම් තමන්ට උවමනා විදිහේ පාරවල්වලින් සාර්ථකත්වයට යන්න බැහැ කියන එකයි.මොකද සාර්ථකත්වයේ අවසානය මොකක් වුණත් ඒකට යන පාර මොනවගේද කියලා අපිට කලින් නිශ්චය කරගන්න බැහැ. අපිට කැමැති පාරවල යන්නත් බැහැ.ඒක තමයි මම මගේ දරැවන්ට කියලා තියෙන්නේත්. විශේෂයෙන්ම මම මගේ දරැවන්ට කියන්නේ ජිවිතේදි අසාර්ථක වෙන්න පුළුවන් කියලා ඒ වගේ අවස්ථා මග හරින්න එපා කියලයි. ඒවායින් පැනලා යන්න එපා කියලයි. මොකද ඒකම තමයි ඔබේ සාර්ථකත්වයට හේතුවෙන්නේ. අනික ඒකෙන් සාර්ථකත්වයට හොඳ පන්නරයක් ලැබෙනවා.ඒ නිසා මම වුණත් අසාර්ථකත්වයට උත්තර දුන්නු විධි දෙකක් තිබුණා.

 

No comments:

Post a Comment