Sunday, August 25, 2013

සාර්ථකත්වය පිටිපස්සේ හැමවෙලාවෙම තියෙන්නේ අසාර්ථකත්වය The Wolverine චිත්‍රපටයේ වොල්වරීන් කියයි


සාර්ථකත්වය පිටිපස්සේ හැමවෙලාවෙම තියෙන්නේ අසාර්ථකත්වය

The Wolverine චිත්‍රපටයේ වොල්වරීන් කියයි


මේ දිනවල වැල්ලවත්ත සැවෝයි ත්‍රිමාණ සිනමාශාලාවේදී තිරගත වන The Wolverine චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන වොල්වරීන්ගේ චරිතය නිරෑපණය කරන්නේ හියු ජැක්මන්ය.මෙවර පැවැති ඔස්කාර් සම්මාන උලෙළේදී Les Miserable's(2012) චිත්‍රපටය වෙනුවෙන් හොඳම නළුවාට නිර්දේශ වූ  හියු ජැක්මන් දැන් දයාබර පියෙකි. දැන් හතළිස් දෙහැවිරිදි වියේ පසුවෙන ඔහුගේ මීළඟට පැමිණීමට ඇත්තේ Real Steel චිත්‍රපටයේ දෙවැනි කොටසයි. මේ ඔහු The Wolverine චිත්‍රපටය සහ තම සිනමා ජීවිතය පිළිබඳව Shave සඟරාව සමග කළ සම්මුඛ සාකච්ඡාවක සටහනකි.
කොහොමද මේ දවස්වල අලුත් තොරතුරැ?
නියමයි.මම මේ දවස්වල ඉන්නේ ටොරොන්ටෝවල. මම හරිම ආදරෙයි මේ නගරයට.මෙහේ තමයි මම මේ වසරේ රඟපෑ පළමු චිත්‍රපටය(X - Men) හැදුවේ.ඒ නිසා මම මේ දවස්වල තනියම මෙහි ප්‍රචාරණ කටයුතුවල නිරත වෙනවා. මම වන් මෑන් ෂෝ එකක් කරනවා කිව්වොත් හරියටම හරි.

පුතාට වොල්වරීන් වගේ සෙල්ලම් බඩුවක් ගෙනැල්ලා දීලා ලොකු අකරතැබ්බයකට මුහුණ දුන්නලු නේද?  

ඒක එච්චරම දෙයක් නෙමෙයි. ඒකට දාලා තියෙන්නේ මගේ කටහඬ ඒකයි එයා එවේලේ පොඩ්ඩක් බයවෙලා තියෙන්නේ. ඒත් දැන් එහෙම නැහැ.දැන් එයාගේ ආසම සෙල්ලම් බඩුව වෙලා තියෙන්නේ ඒක.ඒත් මට ටික දවසක් යනකම් මේ සෙල්ලම් බඩුවට මගේ කට හඬ ගියේ කොහොමද කියලා හිතාගන්න බැරි වුණා.ඒත් මුල්ම X – Men චිත්‍රපටය රෑගතකරන දවස්වල X - Men චිත්‍රපටයේ ප්‍රචාරණ වැඩකට එක්තරා පුද්ගලයෙක් ආවා කියලා මට පස්සේ මතක් වුණා. ඔහු කිව්වා කොළයක් බලාගෙන වාක්‍ය කිහිපයක් කියන්න කියලා.මයික් එකකුත් දුන්නා. ඉතින් මමත් කිව්වා.මොකද එවේලේ මටත් වෙන විකල්පයක් තිබ්බේ නැහැ. කොහොම හරි X – Men පළමු චිත්‍රපටය හිට් එකක් වුණා.ඒ වගේම සෙල්ලම් බඩුත් දුසිම් ගණන් විකිණෙන්න පටන් ගත්තා.දැන් අලුත්ම තත්වය හැටියට පුතා මගේ කාමරේ මාත් මිසක් වෙන කොහේවත් නිදාගන්නේ නැහැ. මේක වුණෙත් මේ සෙල්ලම් බඩුව නිසයි. දැන් එයා මගේ කටහඬට හුඟක් ආදරේ කරනවා.

අපි වොල්වරීන් චිත්‍රපටය ගැන කතා කළොත්, මේ චිත්‍රපටයේ සමහර කොටස් ඔබට වෙනස් අත්දැකීමක් වුණා නේද ?

නැහැ. එහෙම වෙනසක් මට දැනුණේ නැහැ. අනික මට මේ චිත්‍රපටයේදී එච්චර ක්‍රියාදාම දර්ශන තිබ්බේ නැහැ.ඒ නිසා මේ චිත්‍රපටයේ රෑගතකිරිම් හරිම රසවත්.

ඒත් රොබෝවරැන් සමග සටන් කිරීමේ දර්ශන නිරෑපණය කිරීම ලේසි නැහැ. අනික මේ චිත්‍රපටය තුළ පිය - පුතු ගැටුමකුත් තිබෙනවා.මේවා අමාරැ අභියෝග වුණේ නැද්ද ?

ඒක මේ චිත්‍රපටයේදී මට එච්චර බලපෑවේ නැහැ.ඒ නිසා මම මේ ගැන බොහොම සැහැල්ලුවෙන් හිතුවේ.අනික මම මේ වගේ අත්දැකීම්වලට මීට කලිනුත් මුහුණ දීලා තියෙනවා. ඒ නිසා මට මේවා ඒ හැටි දේවල් නෙමෙයි.ඒත් මේ චිත්‍රපටය ඒ අතින් නම් විශිෂ්ටයි.මහා පරිමාණයේ විශේෂ ප්‍රයෝග හුඟක් පාවිච්චි කරලා තියෙනවා. ඒවාත් මේ චිත්‍රපටයේ ජනප්‍රියත්වයට බලපාලා තියෙනවා.කොහොම වුණත් මම පොතින් කියවපු, හිතෙන් මවාගත්තු මේ රොබෝ චරිත ඇත්තටම දකින්නට ලැබෙයි කියලා මම නම් කවදාවත් හිතුවේ නැහැ.මට ඒක මුලින්ම දැනුණූ වෙලාවේ ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපටය මතක් වුණා.

ඔබයි, දාකෝතායි චිත්‍රපටවලට හොඳට ගැලපෙන ජෝඩුවක්. ඒක මේ චිත්‍රපටය බැලුවම හොඳටම තේරෙනවා.ඔය දෙන්නගේ චරිත සම්බන්ධතාවය හරිම ස්වාභාවිකයි.හැබෑටම දර්ශනය ලබාදෙන්න කොච්චර වෙලාවක් ගන්නවද  ඈ ?

මම ෂෝන් එක්ක ළමයින්ගේ හුඟක් ඔඩිෂන්වලට(කුසලතා පරීක්ෂණවලට) සහභාගිවෙලා තියෙනවා.ඒ නිසා අපි දෙන්නට දෙන්නා අමුත්තෝ නෙමෙයි. අපි දන්නවා ඒක ළමයින්ට කොච්චර වැදගත්ද කියලා.චිත්‍රපටය ගැනත් එහෙමයි.අපි හැම දර්ශනයකට අපේ උපරිම කාලය ලබා ගන්නවා.අනික දාකෝතා සෙට් එකට ආවාම අපි දිහා අමුතු විදිහකට බලනවා.පිටපතේ නැති දේවල් කරනවා. අනික ඒවා කරන්නේත් මූණෙන්.සමහර වෙලාවට ඒවායින් අපිත් අප්සට් යනවා. හැබැයි ඒකත් හරිම විනෝදයි.මොකද හැමදාම එයා එහෙම තමයි තමන්ගේ දර්ශනයට ලෑස්ති වෙන්නේ. ඒක තමයි එයාගේ පරිණත බව.ඒ නිසා මමත් එයාත් එක්ක අපේ දර්ශනයට හොඳටම ලෑස්ති වෙනවා.හුඟක් වෙලා ඔහුත් සමග කාලය ගත කරනවා.
මට මතකයි එක පාරක් ට්‍රක් එළවන දර්ශනයකදී මම ඩ්‍රයිව් කර කරයි හිටියේ.මගේ ළඟ හිටියේ ෂෝන්. එතැනදි දෙබසක් කියන්න තිබ්බේ නැහැ.ඒත් ට්‍රක් එක එළවගෙන යද්දි මම එකපාරම බ්‍රේක් ගැහුවා.ඒත් බ්‍රේක් ඇහුවේ නැහැ. මං බය වුණා. ඉන්පස්සේ මම එයාට කිව්වා මේ බ්‍රේක් එකේ අවුලක් තියෙනවා කියලා.මොකද අපි පල්ලමකට හිටියේ.

“ඔව්. ඔව්. එහෙනම් නවත්තන්න. මේක නම් විහිළුවක් නෙමෙයි. 

* එයා එතකොට කිව්වා.

“මම ඇත්තටමයි කියන්නේ. මෙතැන බ්‍රේක් එකේ මොකක්හරි අවුලක් තියෙනවා.කොහේද හෑන්ඩ් බ්‍රේක් තියෙන්නේ.හොයන් හොයන්න* මම කිව්වා.

එතකොට එයා හෑන්ඩ් බ්‍රේක් හොයන්න ගත්තා.

“නෑ නෑ. බ්‍රේක් හොඳට වැඩ කකරනවා. මම කිව්වේ බොරැවට *  මම කිව්වා

ඒ වගේ සම්බන්ධතාවයක් තමයි අපි අතරේ තියෙන්නේ

ආපු ගමන ගැන මොකද හිතෙන්නේ. රඟපාපු නිර්මාණ ගැන සතුටුද ?

ඔව්. ඇත්තෙන්ම. මම රඟපාන එක තමයි මුල ඉඳලම කළේ.ඒකටයි ආදරෙයි කළේ.ඒත් මම නාට්‍ය පාසැලේදි ෆේල් වෙච්ච් ළමයෙක්. ඒ නිසා මගේ ආරම්භය එච්චර හොඳ නැහැ.ඒත් එදා මම අසාර්ථක වුණේ නැත්නම් අද මම සාර්ථක වෙන්නේ නැහැ.ඒ නිසා සාර්ථකත්වය පිටිපස්සේ හැමවෙලාවෙම තියෙන්නේ අසාර්ථකත්වය කියලයි මම නම් හිතන්නේ. ඒ නිසා අද මම ඉන්න තැන ගැන මම හරිම සතුටුයි.අනික මම රඟපාන්න පටන් ගත්තට පස්සේ මට හුඟක් කෙල්ලෝ එක්ක රඟපාන්න ලැබුණා.ඒත් මාත් එක්ක රඟපාපු මුල්ම කෙල්ල තමයි අද මගේ බිරිඳ.ඒක නම් මට කවදාවත් අමතක කරන්න බැහැ.

මාලන් විදානපතිරණ

mgovindaw@gmail.com

No comments:

Post a Comment