Friday, August 9, 2013

ත්‍රස්තවාදියා යැයි නොකියා ත්‍රස්තවාදය ගැන කතා කරන මැඩ්‍රාස් කැෆේ



ත්‍රස්තවාදියා යැයි නොකියා ත්‍රස්තවාදය ගැන කතා කරන
මැඩ්‍රාස් කැෆේ

මාලන් විදානපතිරණ

අගෝස්තු මස 23 දා සිට ලෝ වටා ප්‍රදර්ශනයට නියමිතව ඇති හින්දි චිත්‍රපටයක් වන මැඩ්‍රාස් කැෆේ, මේ වන විට ඉන්දීය විචාරකයන්ගේ දැඩි මතභේදයකට තුඩුදෙන සිනමාපටයක් වී ඇත.කොටින්ම එය මේ වන විට චෙන්නායි නගරය කළඹවනු සුළු චිත්‍රපටයක් වී ඇත. එනම් අගොස්තු මස 05 වැනිදා මෙහි පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට එක් කළ සැණින් එය මහා උද්ඝෝෂණයක් කිරිමට තරම් ප්‍රබල වී ඇත. 
කොටි ත්‍රස්තවාදීන් ඉතා ප්‍රබලව සිටි අනූව දශකයේ ශ්‍රී ලංකාවේ පැවැති තත්ත්වය,ශ්‍රී ලංකා හමුදාව සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර පැවැති ගැටුමේ සැබෑ තත්ත්වය,ඉන්දීය සාම සාධක හමුදාවේ පැමිණීම සහ ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය පදනම් කර ගත් මෙහි කතා වස්තුව මීට ආසන්නතම හේතුව වී ඇත.උද්ඝෝෂකයන් පවසන්නේ මෙමගින් කොටි සංවිධානයට පහර වැදී බවත්, අසත්‍ය තොරතුරැ විකෘති ආකාරයෙන් සිනමා කෘතියට යොදාගෙන ඇති බවත්ය. විශේෂයෙන්ම ඉන්දියානු රහස් තොරතුරැ සංවිධානයේ  නියෝජිතවරයෙකු ලෙස පැමිණෙන වික්‍රම් සිං ගේ ක්‍රියාකාරිත්වය මෙන්ම ජාත්‍යන්තර වාර්තාකාරියක ලෙස ජායාගේ චරිත ස්වභාවය මෙහිදී දැඩි ලෙස විවේචනයට භාජනය වී ඇත.

මෙම චිත්‍රපටයේ ජෝන් ඒබ්‍රහම් මෙහි වික්‍රම් සිං ගේ චරිතය නිරැපණය කරන අතර ජාත්‍යන්තර මාධ්‍යවේදිනිය වන ජායාගේ චරිතය නිරෑපණය කරන්නේ නාගිස් ෆක්රි විසිනි.ෂුජිත් සිර්කාර් අධ්‍යක්ෂණය කළ මැඩ්‍රාස් කැෆේ,නිෂ්පාදනය කර ඇත්තේ ජෝන් ඒබ්‍රහම් සමග රොනී ලහිරිය.
කෙසේ වෙතත් මතු වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මෙහි නිර්මාණකරැවන් පවසන්නේ මෙම චිත්‍රපටය මගින් කොටි සංවිධානය දෙස වපරුසකින් නොබලා නැති බවත්, එය විවේචනය කර නොමැති බවත්ය.

“මම මේ විදිහේ උද්ඝෝෂණයක් කරන බව දැන ගත්තාම පුදුම වුණා.ඒ නිසා මම චෙන්නායි නගරයට ගියා.ඒත් මම ගියේ මේ උද්ඝෝෂණය ගැන කරැණු දැන ගන්න මිසක් උද්ඝෝෂණය දැකගන්න නෙමෙයි. ඒත් මේ වෙලාවේ මේක හැබැහින් දැක ගත්තම මම ඒ ගැන පුදුම වුණා.මම කල්පනා කළා ඇයි මේ තරම් මේ නගරයට ආරක්ෂාවක් කියලා.ඒත් තත්ත්වය පාලනය කළ යුතු වූ තරම් බරපතල වෙලා නිසා මට ආපහු හැරී යන්න සිදුවුණා*

“ඒත් අපි චිත්‍රපටයේදි කිසිම කෙනෙකුට ත්‍රස්තවාදියා කියලා කතා කරලා නැහැ.අනික දැන් මැඩ්‍රාස් කැෆේ චිත්‍රපටයට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාත් සල්ලි වියදම් කළ බවට ආරංචි පැතිරෙනවා. එය රහස්‍යමය වශයෙන් සිදුවී ඇති බවත් සමහරැ කියනවා.මේ පුවත ඉන්දියාවේ NDTV මාධ්‍ය ආයතනයත් වාර්තා කළා. ඒත් ඒක මම සම්පූර්ණයෙන්ම මම ප්‍රතික්ෂේප කරනවා.මීට මුදල් වියදම් කළේ Viacom 18 Motion Pictures චිත්‍රපට සමාගම පමණයි.අනික අපි හුඟක් කල්පනා කරලයි මෙහි මුදල් ඇස්තමේන්තුව හැදුවේ. බොහොම අඩු වියදමින් නිෂ්පාදනය කරන්නයි අපි සැලසුම් කළේ.ඒ නිසා එම සීමාව ඉක්මවීමට අපිට අවශ්‍ය වුණේ නැහැ. අපි ප්‍රමුඛත්වය ලබා දුන්නේ කතාවක් කීමට පමණයි.*ජෝන් ඒබ්‍රහම් මෙම චිත්‍රපටය පිළිබඳව පැවසුවේ එසේයි.

 “ මේ චිත්‍රපටය අපි බොහොම ස්වාධීන ස්ථාවරයක සිට නිර්මාණය කළ කෘතියක්. ඒ නිසා මෙහි ප්‍රකාශනය අපක්ෂපාතියි.එහෙම නැතුව කාටවත් පහර ගහන්න අපේ තුන් හිතකවත් තිබුණේ නැහැ.මේ තිර කතාව පවා ඉතා විශ්වාසනීයයි. අභව්‍ය නැහැ.ඒ වගේම අපි ඉතා වගකීමෙන් සහ සංයමයක් ඇතුවයි මෙහි පෙළ ගොඩනැගුවේ.* 

දෙමළ ප්‍රේක්ෂකයන් මෙම චිත්‍රපටය වර්ජනය කිරීම පිළිබඳව මෙහි අධ්‍යක්ෂ ෂුජිත් සර්කාර් මෙසේ අදහස් පළ කළේය.


එහෙත් දෙමළ ප්‍රේක්ෂකයන් මෙය පිළිගන්නා සේයාවක ලකුණක් තවමත් පහළ නොවන අතර නවතම ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ ලබන 23 වැනිදා සිට මැඩ්‍රාස් කැෆේ චිත්‍රපටයේ දෙමළ භාෂාවෙන් හඬ කවන ලද පිටපතක්ද නිකුත් කිරීමට නියමිත බවයි.

ඉන්දියාවේ දිල්ලි සහ යාපනයේ රෑගතකිරීම් සිදුවූ මැඩ්‍රාස් කැෆේ චිත්‍රපටයට වියදම් කළ මුදල ඉන්දියානු රැපියල් මිලියන 350කි. මෙම සිනමාපටය තහනම් කරන ලෙස නාම් තමිලර් පක්ෂය තවමත් ඉල්ලා සිටින මෙහි ජැක්ලින් ෆර්නැන්ඩස්, ලීනා මාරියා, රෂි ඛන්නා සෙසු ප්‍රධාන චරිත නිරෑපණය කරති.


No comments:

Post a Comment