Sunday, July 7, 2013

ක්‍රීඩාව බේරා ගැනීමට නම් - (GO Magazine) -2012/10/15




මාලන් විදානපතිරණ

මේ වසරේදී පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේදී,බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් තරගාවලියේදී මෙන්ම ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේදී කරළීයට ආ මාතෘකාවක් ලෙස මුදලට තරග පාවාදීම හඳුන්වාදිය හැකිය. ජාත්‍යන්තර තලයේදී පාකිස්තානු ක්‍රීඩකයන් වූ මොහොමඩ් අමීර්,මොහොමඩ් අසීෆ් සහ හිටපු නායක සල්මන් බට් තරග තහනමකට පවා පසුගිය කාලයේ මුහුණ දුන් මෙම ප්‍රශ්නයෙන් ක්‍රීඩකයන් ගලවා ගැනීමේ වැඩපිළිවෙළකක් මේ වන විට අත්‍යවශ්‍යව තිබේ.එහි අලුත්ම තත්ත්වය වනුයේ මේ සඳහා විනිසුරැවරැන් ද හසුවීමයි. එහෙත්මෙය එතරම් හොඳ තත්ත්වයක් නොවේ. මේ නිසා මෙය ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද පොදු වූ වැඩපිළිවෙළක් විය යුතු තත්ත්වයකට වර්ධනය වී ඇති අතර සමස්ත ක්‍රීඩාවටම පොදු වූ දූෂණ හා වංචා විමර්ශන ඒකකයක් අවශ්‍ය වන්නේ මෙවන් පසුබිමක් තුළයි.

කෙසේ වෙතත් ක්‍රීඩාව කරා ගලා එන ජනප්‍රියත්වය සහ මුදල් කන්දරාව නිසා දූෂණ හා වංචා සඳහා තෝතැන්නක් බවට පත්වන්නේ නිතැතිනි. මෙවැනි දූෂණ හා වංචාවලට ක්‍රීඩකයන් පවා හසුවන්නේ ද එබැවිනි. එමෙන්ම ඔවුන් තුළ පවත්නා අනවබෝධය හේතුවෙනි. විශේෂයෙන් ආසියාවේ ජනප්‍රියතම ක්‍රීඩාව වන ක්‍රිකට් සඳහා මෙම ගැටලු‍ව දැඩි ලෙස බලපෑවේ, ඊට වානිජත්වය හා විනෝදාස්වාදය මුසු වීමත් සමගය. ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ පස්වැනි අදියරේදී ඉන්දීය තරැණ ක්‍රීඩකයන් පස්දෙනෙකුම තරග තහනමකට ලක්වූයේ මේ නිසාවෙනි. එමෙන්ම ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය ඇරඹීමට මත්තෙන් ඉන්දීය බුකිකරැවකු විසින් ඌව නෙක්ස්ට් කණ්ඩායමේ හිමිකරැට තරග පාවාදීම සම්බන්ධ යෝජනාවක් ගෙන ආවේ ද මේ නිසාවෙනි. කෙසේ වෙතත් මෙය අපට හෙළිවූයේ ද අදාළ හිමිකරැවා මේ පිළිබඳ මාධ්‍යයට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීම හේතුවෙනි.මෙම ප්‍රශ්නය තවමත් විසඳී නොමැති අතර එය වඩා වඩාත් තීව්‍රව ඉදිරියට ගොස් ඇත. නමුත් ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය සංවිධානය කළ ඉන්දීය පාලක මණ්ඩලය විසින් මේ සඳහා වංචා හා දූෂණ විමර්ශන ඒකකයක් පත් කළ අතර ඉහත කී ක්‍රීඩකයන් පිළීබඳ තොරතුරැ හෙළිවූයේ ද එබැවිනි. එනිසා ශ්‍රී ලංකාවේ ක්‍රිඩාව රුක ගැනීමට නම් දැන් හෝ බලධාරීන් අවධානය යොමු කරන්නේ නම් මැනවි. එමෙන්ම වහාම ක්‍රියාත්මක වන පරිදි සෑම තරග ඉසව්වක් සඳහාම වංචා හා දූෂණ ඒකකයක් ස්ථාපිත කරන්නේ නම් එය අනාගත ආයෝජනයක් ද වන්නේය.

මේ හේතුවෙන් අපගේ මතයට අනුව වංචා හා දූෂණ කොමිෂන් සභාව, ක්‍රීඩාවේ කොටසක් බවට පත්විය යුතු අතර වංචා හා දූෂණ කොමිෂන් සභාව විසින් සෑම තරගයක්ම හෝ තරගාවලියක් සම්බන්ධයෙන්ම සිදුවන වංචා හා දූෂණ පිළිබඳ විමර්ශන වාර්තාවක් සැපයිය යුතුමය.

එනිසා ජාතික ප්‍රතිපත්තියක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම පාපන්දු,රග්බි,වොලිබෝල් ආදී සෑම ක්‍රීඩාවක් සඳහාම වංචා හා දූෂණ විමර්ශන ඒකකයක් ස්ථාපිත කිරීම අනිවාර්ය කළ යුතු බවත්, ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නව පනතක් හෝ සම්මත කර ගත යුතු බවත් අපගේ අදහසයි.ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා වන්නේ එලෙසයි.අනෙක් අතට වත්මන් පාර්ලිමේන්තුව තුළින් මෙවන් පනතක් සම්මත කර ගැනීම ද කිරි කජු වැඩකි. ඒ, ඒ වෙනුවෙන් විශාල බහුතරයක් ආණ්ඩු පක්ෂයට තිබෙන බැවිනි. ක්‍රීඩාවට අයත් සාරධර්ම පද්ධතිය රුකගත හැක්කේ එවිටයි. බටහිර රටවල් මේ සඳහා සැරසෙන තෙක් බලා නොසිට ශ්‍රී ලංකාව හෝ මීට කඩිනම් පියවරක් ගෙන ආදර්ශමත් ක්‍රීඩාවක් සඳහා මාර්ගෝපදේශකත්වයක් සැපයිය යුත්තේ එලෙසයි.ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය වන අපට පෙන්විය හැක්කේ ද මෙලෙසයි. 

No comments:

Post a Comment