Tuesday, July 23, 2013

සහජීවනයට දහමින්


සටහන - මාලන් විදානපතිරණ
2012/07/22 - (අද)

    සහයෝගයෙන් ජීවත් වීම, සමගියෙන් සාමයෙන් ජිවත්වීම සහජීවනය වශයෙන් සරල ව හඳුන්වා දිය හැකිය. එහෙත් මෙම සංකල්පයේ පවතින්නේ එසේ මෙසේ වටිනාකමක් නොවේ. ශී‍්‍ර ලංකාව තිස් වසරක් ආපස්සට ගෙන යාමට ප‍්‍රධාන වශයෙන් බලපෑවේ ද එකල ලංකාවේ පැවති සහජීවන ඌනතාවයයි.

    සහජීවනයේ ඇති වැදගත්කම පිළිබඳ දාර්ශනිකයෝ විවිධ අදහස් පළ කළහ. ඒ අතරින් ආගමික ශාස්තෘවරුන් පළ කළ අදහස් මුල් තැනක් ගනීග සහජීවනය මනුෂ්‍ය සමාජයේ තිබිය යුතු උසස් ම ලක්ෂණයක් බව බුදුරජාණන් වහන්සේ ද වදාළ සේක. සමවායෝ එව සාධු (සමගියම යහපත),  සමග්ගා හොථ මා විවදථ (සමගිවන්න වාද විවාද ඇතිකර නොගන්න) වැනි උපදේශ ඒ අතර වේ එහිදී උන්වහන්සේ අසමගියේ ආදීනව හා සමගියේ ආනිසංස බණ කතා ඇසුරින් ද පෙන්වා දුන් සේක. ඒ අතර කුඩා කල ඉගෙන ගත් දීඝායු කුමාරයාගේ කතාව ප‍්‍රකටය එහි වූ වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව බෞද්ධ ඔබට මතක ඇති. වැද්දාගේ මස් දැලට හසු වූ වටු කුරුලූ රංචුව සමගියේ බලයෙන් දිවි ගලවා ගත් අන්දම ද ඔබට මතක ඇති.

    සහජීවනය පිළිබඳ ජේසුස් වහන්සේ ද බයිබලයේ අවස්ථා කීපයකදීම අවධාරණය කළ සේක. උන්වහන්සේ අසල්වැසියාට පේ‍්‍රම කරන්න යැයි කිතුනු කතෝලික බැතිමතුන්ට නිතරම පැවසූ සේක. එමෙන්ම සාමය සඳහා කි‍්‍රයා කරන්නෝ දේවාශීර්වාදය ලද්දෝ වශයෙන් ද උන්වහන්සේ පැවසූ සේක. බයිබලයේ සඳහන් වන පරිදි වරක් පව් කළ ස්ති‍්‍රයකට ගල් ගැසීමට සැරසෙන මිනිසුන් පිරිසක් දුටු  ජේසුස් වහන්සේ ඔවුනට පැවසුවේ මේ ස්ති‍්‍රයට ගල් ගැසීමට පළමුව උපතේ සිට කිසිදා වරදක් සිදුනොකළ තැනැත්තෙකුට ගල් ගසනා ලෙසයි.

    මිනිසා ජාතිය, කුලය වැනි කරුණු පදනම් කරගෙන මනුෂ්‍ය වර්ගයායෙන් එක් කොටසක් උසස් ලෙසත් තවත් කොටසක් පහත් ලෙසත් සැළකීමේ ආකල්පය සහජීවනයට විශාල බාධාවක් වන්නේය. බුදුරජාණන් වහන්සේ සැමවිටම අගය කළේ සමානාත්මතාවයයි. උන්වහන්සේ එකල පැවති බ‍්‍රාහ්මණ, ක්‍ෂතී‍්‍රය, වෛශ්‍ය, ශුද්‍ර යන වර්ණ ධර්මයන් ප‍්‍රතික්ෂේප කළේ ද ඒ නිසාවෙනි. එමෙන්ම උන්වහන්සේ අන් අයට හිංසා පීඩා කිරීමට පෙර ඊට තමන් උපමා කරගන්නා ලෙස පෙන්වා දුන්නේ ද එබැවිනි. එය අත්තුපනායික ධර්ම පර්යාය නමින් හැඳින්වේ.

    ඉස්ලාම් ආගමෙහිදී ද අල් කුරාණය හරහා සහජීවනයේ වැදගත්කම පිළිබඳ අවධාරණය කර ඇත. දෙවියන්ට කීකරු වීම සාමයයි යනුවෙන් කුරාණයේ සඳහන් වන්නේ එබැවිනි.

    සහජිවනය වර්ධනය කරනු වස් බෞද්ධ දර්ශනයේ ද තවත් බොහෝ දේ දක්වා තිබේ බුදුරජාණන් වහන්සේ විසින් බෞද්ධයන්ට අවම වශයෙන් පංච සීලය හෝ ආරක්ෂා කරන්නැයි දේශනා කර ඇත්තේ එබැවිනි . සමාජයක ජීවත් වන සතුන්ට මිනිසුන්ට හිංසා කරන, අන් සතු මුදල්, දේපොළ ආදියට ගරු නොකරන හානි පමුණුවන සමාජයක සහජීවනයක් පැවතිය හැකි ද  යනාදී වශයෙන් උන්වහන්සේ ප‍්‍රශ්න කළේ එබැවිනි

    සූත‍්‍ර පිටකයේ එන සි`ගාලෝවාද සූත‍්‍රය ද සහජීවනය පිළිබඳ දැක්වෙන තවත් දර්ශනයකි එතුළින් යුතුකම් ඉටු කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන්නේ ද මෙම සහජීවනයේ වැදගත්කම නිසාවෙනිි. සමාජයක වෙසෙන මව්පිය - ¥දරු, ගුරු - ශිෂ්‍ය, ස්වාමි - භාර්යා, හිත මිතුරු, සේව්‍ය සේවක, ගිහි-පැවිදි යන කොට්ඨාස ඉටු කළ යුතු යුතුකම් ඊට ඇතුළත්ය. මෙයින් එක් පිරිසක් හෝ තම යුතුකම් පැහැර හැරීම යනු ගැටුමකට පාර කැපීමක් බව උන්වහන්සේ වදාළේ එබැවිනි.

    සහජීවනය, සාමය පිළිබඳ හින්දු ආගමෙහි ද සඳහන්ය. සාමය පිළිබඳ නිතරම භාවනා කරනා මෙන් එම අගාමේ දැක්වේ. එමෙන්ම නිතරම සාම මන්ත‍්‍රය මතුරන ලෙස ද එහි පැවසේ.

සාම මන්ත‍්‍රය

පෘථිවිය මත සාමය       -   අහස මත සාමය
වනාන්තරය තුළ සාමය   -   ජලාශ මත සාමය
බ‍්‍රහ්ම තුළ සාමය          -   මා තුළ සාමය

    එහෙත් මෙවන් උත්තරීතර සාරධර්මයන්ගෙන් හෙබි වත්මන් සමාජයේ පවතින ඛේදවාචකය නම් ආගම්වල හෝ දර්ශනයන්හි ඇතුළත් කරුණූවලට ද පිටුපාමින් ආගමික අනුගාමිකයන් විසින් ජනී ජනයා තම ආගමට පිරිස් බලෙන් හරවා ගැනීමට උපක‍්‍රමශීලිව කටයුතු කිරීමයි මෙය ද සහජීවනයට බාධාවකි. එහෙත් අනෝන්‍ය අවිශ්වාසය, විවිධ අමනාපකම්, කැරළි කෝලාහල, නිස්සාර විවාද ආදිය ද සහජීවනයට බාධාවක් බව ඒවායේ සඳහන්ය.

    කෙසේ වෙතත් විවිධ කණ්ඩායම්වලින් යුතු සමාජයක ජීවත් වෙද්දී අපට කිසිසේත්ම සමාන ආචාර ධර්ම පද්ධතියක් බලාපොරොත්තු විය නොහැක. මේ නිසා ඉවසීම යනු අප පුරුදු පුහුණු කර ගත යුතු ඉතා වැදගත් ම ගුණාංගයක් ලෙස බුදුන් වහන්සේ ද පෙන්වා දුන් සේක. තමන් හා නොගැලපෙන පුද්ගලයන්, තමන්ට නොගැලපෙන හැසිරිම් ඇති පුද්ගලයන් හා සුහදව ජීවත් විය යුතු බව උන්වහන්සේ එහිදී තවදුරටත් අවධාරණය කළ සේක. එමෙන්ම තමාට පිළිගත නොහැකි, තමා අනුමත නොකරන අදහස් පළ කිරිම වැනි අවස්ථාවේදී ඇතිවන විසම්මුතිය සාමූහිකත්වයේ එක් ලක්ෂණයක් බැවින් ඒවා සියල්ල ඉවසා දරා සිටීම මැනවයි ද උන්වහන්සේ පෙන්වා දුන්නේ එබැවිනි. මෙය ශී‍්‍ර ලංකාව වැනි විවිධ ජාතීන් ජීවත් වන, විවිධ ආගමිකයන් ජීවත් වන රටකට අත්‍යවශ්‍ය ම වූ ගුණාංගයකි.
මේ හේතුවෙන් යළිත් වරක් ලේ වැගිරෙන `දුළු වැගිරෙන සමාජයක් ඇතිවිම වළක්වනු වස් අප සහජීවනයෙන් කටයුතු කළ යුතු නොවේදැයි අප මඳකට හෝ සිතා බැලිය යුතු කාලය එළඹ ඇති බව මගේ හැ`ගීමයි

No comments:

Post a Comment