Sunday, July 17, 2016

පාසැල් මතක පොතේ තවත් සොඳුරු පිටුවක් -2016.07.17

පාසැල් මතක පොතේ තවත් සොඳුරු පිටුවක් -2016/07/17

ඉස්කෝලේ උසස් පෙළ කරන කාලේ විභාගේ කිට්ටුවෙනකොට අපි ඉස්කෝලේ ගියේ ඕනැකමකින් නෙමෙයි.කවුරුහරි ආවේ නැහැ කියලා වුණත් යාළුවන්ට ඒ තරම් ප්‍රශ්නයක් තිබ්බේ නැහැ.අවශ්‍ය වුණොත් යාළුවාව බේරන්න ක්ෂණිකව බොරු කියන්නත් අපට හැකියාවක් තිබුණා.අනික ගුරුවරුන්ට වුණත් ඒක ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ.මොකද එයාලා දන්නවා අපි එන්නෙත් නැත්තේ ‍සමහරවිට ගෙදරට වෙලා පාඩම් කරන නිසා කියලා.එහෙම නැත්නම් අමතර පංතියක් නිසා කියලා.මොකද ඒගොල්ලන්ගෙනුත් සමහරු ටියුෂන් ගුරුවරු.

ඔය කාලේදි ඉතින් අපිත් හැසිරුණේ හරියට ඉස්කෝලේ අයිතිකාරයෝ වගේ.උදේ අටෙන් පස්සෙත් අපි ඉස්කෝලෙට ආපු වෙලාවල් තිබුණා .ජංගම දුරකතන සාක්කුවේ දාගෙන අරන් ආපු වෙලාවල් තිබුණා.ඉඳලා හිටලා උදේ පොඩි රවුමක් ගහන්නත් සෙට් වුණ වෙලාවල් තිබුණා.

ඒත් සමහරු නම් උදේ හතට තිබුණු විෂය මූලික වැඩමුළුවටත් අන්තිම කාලේ සහභාගි වුණා.හැබැයි මට නම් ඒ තරම් ඒකට උනන්දුවක් තිබුණේ නැහැ. එච්චර උදෙන් නැගිට්ටෙත් නැහැ. ඒ නිසා ඒ වෙලාවට නැගිටින්න අමාරු නිසා හැමදාම ඒකට යන්න වුණෙත් නැහැ.අනික සමහරු මම ඒකට එනවා දැකපුවාම මං දිහා පුදුමවෙලත් බැලුවා. මොකද මම ඒ කාලේ පංතියේ අන්තිම හරියේ (ඉගෙනගත්තු ළමයින්ගෙන් අන්තිම හරියේ) හිටපු ළමයෙක්. ඒ නිසා පොඩි ලැජ්ජාවකුත් හිතට ආවා.මොකද මම ඒ වෙද්දි දැනගෙන හිටියා මට ඉංජිනේරුවරයෙක් වෙන්න බැහැ කියලා.

ඔය අතරෙදි තමයි මට උදේට කන්නේ නැහැ කියලා ගෙදරින් කන්දොස්කිරියාවක් එන්න පටන් ගත්තේ.ඒ නිසා මම උදේට කන්න කියලා හිතාගෙන ගෙදරින් සල්ලි ඉල්ලා ගත්තා.මොකද මම ඒ කාලේ පරණ ගුරුවරයෙකුගේ දුවෙකුට හිත ගිහින් හිටියේ.එයා ගැන පොඩි හැඟීමක් තිබුණා මට.ඒ නිසා එයා බස් හෝල්ට් එකට එන වෙලාව අල්ලලා බස් හෝල්ට් එකට එන්න තමයි මම ඒ කාලේ උදේට වෙලාව හදාගත්තේ.මම ඕනැකමින්ම ගෙදරින් පරක්කුවෙලා යන්න පටන්ගත්තේ මේ නිසා.මොකද උදේ හය හමාරින් පස්සේ කොහොම වාහනේක යන්න හැදුවත් කෝට්ටේ හරිය වෙද්දි ලොකු වාහන තදබදයකට අහුවෙනවා කියලා අපි දැනගෙන හිටියා. හොඳට කාලා බීලා උදේ අට හමාරට විතර පංතියට යන්න හිතුවේ මේ හින්දයි.කොහොමත් ඒ කාලේ පළමු කාල පරිච්ඡේදය හරියට කෙරුණේ නැහැ. මේ හින්දා සර් එක්ක කතා කරන මුවාවෙන් සර්ගේ දුව දිනාගන්නයි මට ඕනැ කළේ.එයාලා ගියාට පස්සේ තමයි මම බස් එකට නැග්ගේ.සමහර වෙලාවට එයාලා මට කලින් ගිය අවස්ථාත් තිබුණා.අපි දෙගොල්ලෝම එකට ගිය අවස්ථාත් තිබුණා.ඇත්තම කිව්වොත් ඒ කාලේදි මගේ පාසැල් රඟපෑම උපරිම මට්ටමක තිබුණා නේද කියලත් දැන් මට හිතෙනවා.

කොහොම වුණත් ඔය කාලේදිම තමයි මම පුංචි බොරැල්ලේ තියෙන අපූරු අවන්හලකින් උදේ කෑම ගන්න පුරුදුවුණේ. කෙටි කෑම වේලක් වුණත් ඒ අවන්හලේදි මේසේ වාඩිවෙලා හෙමින් සීරුවේ කෑම එක කන එකේ මට පොඩි විශේෂත්වයක් ඒ කාලේ දැනුණා .ඔය අතරේදි තමයි මට දවසක් ජනප්‍රිය චිත්‍රපට නළුවෙකු වන විජය නන්දසිරි හම්බවෙන්නේ.එදා සුපිරි වාහනයක් එළවගෙන ඇවිත් මම හිටපු අවන්හලේම නවත්තපු එක ගැන මට ඒ දවස්වල පුදුම හිතුණා.මොකද මම ඒ කාලේදි මාධ්‍ය ක්ෂේත්‍රයට තියා කලා ක්ෂේත්‍රයට එන්නවත් හීනෙකින්වත් හිතලා තිබුණේ නැහැ. අනික මම ඒ කාලේ අපේ තාත්තා සහ ඔහු සම්බන්ධ අත්දැකීම් හුඟක් මං එක්ක කියලා තිබුණා.ඒත් ඇත්තටම ඔහුව දැකලා තිබුණේ නැහැ.පුංචි කොලු ගැටයෙක් හැටියට මට ඒ කාලේ ඒ දැනුණු සතුට උහුලගන්න බැරිවුණා.ළඟටම ගිහිල්ලා කතා කරන්න ඕනි කියලා මට හිතුණේ මේ හින්දයි.

“විජය නන්දසිරි අන්කල්“
මට ඔහුගේ අවධානය ගන්න ඕනැවුණා.

“ඔව් පුතා කියන්න.“
විජය නන්දසිරි අන්කල් සිනාසෙමින් මගේ දිහා බැලුවා.

“අන්කල් ගැන අපේ තාත්තා හුඟක් දේවල් කියලා තියෙනවා.“
මම ඔහුට කෙලින්ම කිව්වා.

“කව්ද පුතේ තාත්තා ?“ එකපාරම පුදුමයෙන් වගේ හිනාවුණ විජය නන්දසිරි අන්කල් මං ගැන විස්තර ඇහුවා.

ඒත් මට තේරුණා විජය නන්දසිරි අන්කල් ඒ වෙලාවේ ලොකු හදිස්සියකින් ඉන්න බව. ඒ නිසා මම කරදරයක් වෙන්න ගියේ නැහැ.ඒක මගේ ඇස්වලිනුත් ඔහුට තේරුණා මං හිතන්නේ. ඒ නිසා ඔහු මගෙන් අන්තිමට මෙහෙම ඇහුවා.

“කොහෙද පුතා පුතාගේ ඉස්කෝලේ. එන්න මං ඇරලන්නම්“
“නාලන්දේ.කමක් නැහැ අන්කල්. මහ දුරක් නැහැනේ. තෑන්ක් යූ“
“එහෙනම් මම යනවා පුතා.තාත්තව මතක් කළා කියන්න. “
“ අනිවාර්යයෙන්ම“

හිත සනසන්න වගේ විජය නන්දසිරි අන්කල් එහෙම මට කිව්වට තවදුරටත් ඔහුගේ වාහනයේ ගිහින් වදයක් වෙන්න මට උවමනා වුණේ නැහැ.

හැබැයි එදා මම ඔහු තමන්ගේ වාහනයට නැගලා නොපෙනී යනකම්ම ඒ දිහා බලාගෙන හිටියා.මොකද මට ඕනැ කළේ මේක ගෙදර අයට කියන්නයි.

ඒත් තාත්තට ඒ ගැන කිව්වම මට අහන්න ලැබුණේ හොඳ බැණුම් ටිකක්.මොකද තාත්තට විශ්වාස නැතිවෙලා තිබුණේ මම ඒ අවන්හලේදී ඔහු එක්ක තාත්තා ගැන මොනවා කියෙව්වද දන්නේ නැති එක ගැනයි.අනික තාත්තට නම් නිතර කලා ක්ෂේත්‍රයේදී ඔවුන්ව හමුවෙන නිසා මගේ ඒ අනපේක්ෂිත අත්දැකීම ඒ තරම් තාත්තට ලොකු දෙයක් වුණේ නැහැ.

- මාලන් විදානපතිරණ

No comments:

Post a Comment