Sunday, July 3, 2016

පාසැල් මතක පොතේ තවත් සොඳුරු සටහනක් - 2016/07/03

පාසැල් මතක පොතේ තවත් සොඳුරු සටහනක් -

පහ වසරේදි ඉස්කෝලේ ඇරුණු ගමන් අපි ගේට්ටුව කඩාගෙන දුවගෙන යන්නේ ප්‍රභාත් එක ළගට.අම්මගෙන් කොහොමත් ඉතින් රුපියල් දහයකට වඩා කඩා ගන්න බැහැනේ.එහෙම කියන්න නම් ඉතින් බොරු දාහක් විතර කියන්න ඕනි.ඒ නිසා අපි නිල් පාට කලිසම් සාක්කුවේ තිබුණු රුපියල් පහට අත දාගෙන යාළුවෝ එක්ක රේස් එකට ප්‍රභාත් එකේ බයිට් පැකට් පෝලිමට දුවගෙන ඒකෙන් බයිට් පැකට් උස්සන් යන්නේ ස්කූල් වෑන් එක එනකම් උදේ ඉස්කෝලේ වෙච්ච දේවල් ගැන ගුණ කථනයක් කරන්න.

කොහොමත් අපි ඒ වෙලාවට අපේ පංති භාර ගුරුතුමිය,අංශ ප්‍රධාන ගුරුතුමි රාමනායක මහත්මිය,එතුමියගේ වේවැල වගේම විදුහල්පතිතුමාවත් හොඳට මතක් කරනවා.මං හිතන්නේ ඒ කාලේ වෙද්දි ප්‍රභාත් එකයි, හෝටලෙයි අතරේ දැන් තියෙන මයිමික් පොත්හල තිබුණේ නැහැ.

ඒ කොහොම වුණත් අපි ඒ කාලේ ඒ හෝටලේ දැක දැක ප්‍රාර්ථනා කළේ කවදා හෝ දවසක අපේ අම්මලා අපට ඒ හෝටලෙන් යාළුවෝ එක්ක දවසම කන්න කියලා සල්ලි දේවි කියලයි.ඒත් කවදාවත් ඒ ප්‍රාර්ථනාව ඉෂ්ටවුණේ නැහැ.

ඒ කොහොම වුණත් බයිට් පැකට් එක ගත්තු ගමන් අපට තිබුණු ලොකුම අභියෝගය තමයි ඒක ඉක්මනට කාලා ඉවර කරන එක.නැත්නම් යාළුවෝ එක්ක කතා කරන්නත් වෙලාව මදි.මොකද කාගේහරි ස්කූල් වෑන් එකක් ඉක්මන් වුණොත් අපි එච්චරවෙලා ගොඩනගාගෙන ආපු කතාව වතුරේ යනවා.අනික බයිට් එක කකා කතා කරන්නත් බැහැනේ.අනිත් ප්‍රශ්නේ තමයි කාගෙන්හරි වෙලාව දැනගන්න එක.මොකද අපට නවය වසර වෙනකම් ඔරලෝසු බඳින්නත් තහනම්. මම අයියා කෙනෙක්ගෙන් වෙලාව අහන්නත් බයයි ඒ කාලේ.ලොකු මිනිස්සුත් ඒ හරියේ එච්චර ගැවසෙන්නේ නැහැ.වෙලාව අහන්නවත් දන්නේ නැති මිනිස්සුන් එක්ක කතා කරන්න එපායැ කියලයි ගෙදරින් කියලා තිබුණේ.දෙක පහුවුණාට පස්සේ අම්මලා තාත්තලත් හොයාගන්න අමාරුයි. ඒ නිසා අපේ හිතේ මිම්මට තමයි අපි ස්කූල් වෑන් එක එන වෙලාව හදාගන්නේ.

බුවනෙකගේ වෑන් එක තමයි කලින්ම එන්නේ.ප්‍රභාත් එක ළඟ පහ වසරේදි මාත් එක්ක හිටපු හොඳම යාළුවා තමයි බුවනෙක.අනික් අය එක්ක මගේ එච්චර සමීප සම්බන්ධයක් තිබුණේ නැහැ.කතා කරන්න දෙයක් තිබ්බෙත් නැහැ.ඒ නිසා බුවනෙකගේ වෑන් එක පරක්කුවෙලා ඇවිත් අපි දෙන්නට කතා කරන්න තියෙන වෙලාව වැඩිවෙනවා දකින්නයි හැමදාම මම ආසා කළේ.එ්ත් බුවනෙකට මාත් එක්ක කේන්ති යන එකම හේතුවත් ඒක.මොකද බුවනෙක කඩවත නිසා වෑන් එක පරක්කුවෙන්න වෙන්න වෙන්න ගෙදර යද්දි එයාට හවස් වෙනවා.ඒත් මට කොච්චර පරක්කු වුණත් ගෙදර යන්න ගතවෙන්නේ මිනිත්තු 20ක් වගේ විතරයි.

ඒ නිසා ඉස්කෝලේ ඇරුණම මම පුළුවන් ඉක්මනට බයිට් පැකට් එක කාලා ඉවර කරන්නේ අපි පන්තියේදි සෙල්ලම් කරපු ක්ලිප් ගේම් සහ ගේම් එකේදි ගත්තු ලකුණුවල වංචා, දූෂණ ගැන විමර්ශනයක් කරන්න හිතාගෙන.

දවසක් මට මතකයි අපි දෙන්නා සෙල්ලම් කරපු ක්ලිප් ගේමක් නිසා බුවනෙක එදා හවස කතා නොකරත් හිටියා.මොකද මම එදා ලොකු ලකුණු ගාණක් අරන් හිටියේ.මට මතක විදිහට ලකුණු 200- 300ක් වගේ ලකුණු ගාණක්.හැබැයි අතරමගදි මම හොර කළා කියලා බුවනෙක කරපු චෝදනාව මම ප්‍රතික්ෂේප කළා.ඒ නිසා අවුට් වුණාට පස්සේ බුවනෙක කිව්වේ,

“හොරුන්ට වැඩි ආයුෂ නැහැ“ කියලයි.

ඒ නිසා මම හොර නොකෙරුවට මම දැවුණේ නැහැ කියලා බුවනෙකට කිව්වට නොදැනුවත්කමින් එහෙම දෙයක් වුණාද කියලා ඉන්පස්සේ මගේ හිතත් ඉන්පස්සේ සැලෙන්න පටන් ගත්තා.ඒක නිසා ඉන්පස්සේ බුවනෙක මම මග ඉන්පස්සේ වැඩි වෙලාවක් සෙල්ලම් කරන්න බැරි වුණා.අනික මම දැවී ගියාට පස්සේත් කලින් කියාපු දේම කිව්වා.ඒකෙන් මගේ හිතටත් ඒ කාලේ දුකක් දැනුණා.

ඒ කාලේ අපි ස්කූල් බෑග්වල හොරෙන් ප්ලාස්ටික් බෝල දාගෙන එනවා. ගේන ප්ලාස්ටික් බෝල විවේක කාලයේදි අපේ කාගේහරි කලිසම් සාක්කුවකින් එළියට එනවා.අපි ඒ කාලේ මාරුවෙන් මාරුවට තමයි ප්ලාස්ටික් බෝල හොරෙන් හොරෙන් අරන් එන්නේ.ටෙනිස් බෝල ගේන එක තහනම්.ගෙනාවොත් ශිෂ්‍ය නායකයෝ ඒවා දෙකට පළනවා.අනික ප්ලාස්ටික් බෝලෙකුත් රුපියල් පහක් දහයක් වෙන නිසා එදාට කලින් දවසේ අම්මට කියන්න බොරු සීයක් විතර ලෑස්ති කරන් තමයි මම යන්නේ.එදාට හැබැයි බයිට් කන්න වෙන්නේ නැහැ.(අපි අපේ ක්‍රීඩාව වෙනුවෙන් ජාතික ආහාරයත් කැප කළා)

කොහොම වුණත් පන්තිය ඉස්සරහ ක්‍රිකට් සෙල්ලම් කරද්දි වෙච්චි දේවලුයි,ක්ලිප් ගේම් ගහද්දි වෙච්චි දේවලුයි,ශිෂ්‍යත්ව විභාගේ ගැන කරද්දියි,ශිෂ්‍යත්වේ පාස්වෙලා අලුතින් එන ළමයි ගැන කතා කරද්දියි අපේ වෙලාව ගිහින්.

හුඟක් වෙලාවට අපට මේ මාතෘකා ගැන කතා කරන්න වෙන්නේ කොටස් වශයෙන් විකාශය වෙන ටෙලිනාට්‍යයක් වගේ. මොකද බුවනෙක මේ හැම කතාබහක් අතරතුරදි එක පාරම,
“මම යනෝ....“ කියලා වෑන් එක දැකලා කඟවේනා වගේ වෑන් එක පස්සේ දුවගෙන යන්නේ ජීවිතේ අහිමිවෙන්න යන මුවෙක් වගේ.වෑන් එකේ හොඳටම හිර වුණාට පස්සේ තමයි බුවනෙකගේ අතක් එළියට එන්නේ.ඒකත් ටික දුරක් යද්දි තමයි එළියට එන්නේ.සමහර වෙලාවට එහෙම එන්නෙත් නැහැ.සමහර වෙලාවට හුඟක් ඈතට ගියාමත් අත එළියට එනවා.මොකද බුවනෙකට මාව පෙනුණට මට බුවනෙකගේ මූණ ස්කූල් වෑන් එකට නැග්ගට පස්සේ හොයාගන්න බැහැ.ඒත් මම ඒ හැමවෙලාවෙම ඒ වෑන් එක නොපෙනී යනකම්ම ආසාවෙන් බලන් හිටියා.එහෙම බලන් හිටපු සමහර දවස්වලට අපේ වෑන් එකත් හෝන් ගහපු වෙලාවල් තිබුණා හැබැයි.වෑන් අන්කල්ගෙන් බැණුම් අහපු අවස්ථාත් තිබුණා.

බුවනෙක සහ මගේ මිත්‍රත්වයේ තව සිදුවීමක් මම මේ වෙලාවේ මෙතැන මතක් කරන්න කැමැතියි.මම ඒ වෙද්දි හත වසරේ.මලල ක්‍රීඩා භාර ආචාර්ය මංජුල සර් තමයි අපිව පරීක්ෂණයක් තියලා මීටර් සීයය සහ දෙසීය ඉසව්වට මාව තෝරගෙන තිබුණේ.පහුවෙනිදා උදේ පාන්දර පහ වෙද්දි ඉස්කෝලෙට වාර්තා කරන්න කියලයි මංජුල සර් අණ කරලා තිබ්බේ(මට සර් අපට එන්න කියපු වෙලාව නම් හරියට මතක නැහැ).

අපේ ගෙදර මිනිස්සු බය වුණා.මොකක්ද මේ වෙන්න යන්නේ කියලා හිතාගන්න බැරිවුණා.විශේෂයෙන් අපේ අම්මට. මේ අතරේ මගේ කන්දොස්කිරියාව හින්දම කොහේදෝ තිබුණු බූට් සපත්තු දෙකක් තාත්තා මට ගෙදර මුල්ලක තිබිලා මට ගෙනැල්ලා දුන්නේ මේක දාගෙන හෙට උදේ පුහුණුවීම් යන්න කියලයි.මට ටික වෙලාවක් යද්දියි තේරුණේ ඒ සපත්තු දෙකත් මගේ හිතුවක්කාර තීරණයක් නිසා හය වසරේදි පාසැල් ක්‍රිකට් කණ්ඩායමට තෝරා ගැනීම සඳහා තිබුණු පරීක්ෂණයට යන්න මම ඉල්ලා සිටි සපත්තු දෙකම තමයි කියලා.කොහොම වුණත් මම උදේ පාන්දරම තාත්තා එක්ක පාන්දර බස් එකේ නැගලා ගියා.බස් එකේ මිනිස්සුන්ටත් පුදුමයි මම හවසට හතරට විතර ඉස්කෝලේ යනවා දැකපු නිසා.හැමෝම පුදුමෙන් බැලුවා.සමහරු මම ඉගෙනීමට හරිම උනන්දු හොඳ ළමයෙක් වගේ මං දිහා බැලුවා.

ඒ කොහොම වුණත් බාස්කට්බෝල් ක්‍රීඩා පිටිය අසලට වාර්තා කරන්න සිදුවුණු අපට මුලින්ම හොඳට නාගන්න කිව්වා.උදේ පාන්දරම හරියට කන්නෙත් නැතුව පිට්ටනියට ආපු මට සර් නාන්න කිව්වාම පුදුමත් හිතුණා.බය හිතුණා.අනික මම එච්චර උදෙන් කවදාවත් නාලා තිබුණෙත් නැහැ. ඒත් එහෙම නොකර යනවා කියන්නේ සර්ගෙන් ගුටිකන්න වෙන වැඩක්.ඒ නිසා මම හොඳට නාගෙන ඇඳුමත් මාරුකරගෙන පිට්ටනියට ආවා.

පුහුණුවීම්වලට කලින් වට දහයක් දුවන්න කිව්වා.ඉන්පස්සේ යාළුවෝ එක්ක ව්‍යායාම කළා.ඉන්පස්සේ තමයි මීටර් දෙසීය දුවන්න අවස්ථාවක් ලැබුණේ.ඒ වෙද්දි මගේ හොඳ පණ ගිහින්.දුවාගන්නත් බැහැ.දුවන්න බැහැ කියලා අයින් වෙන්නත් බැහැ.යාළුවෝ ඉස්සරහ සවුත්තු වෙන්නත් බැහැ.මොකද ඒ අතරේ බුවනෙකත් හිටියා.අනික් මංතීරුවේ හිටියේ බුවනෙක.

මං සංඥාව ලැබුණු ගමන් දුවන්න පටන් ගත්තා.පුළුවන් තරම් හයියෙන් දිව්වා. ඒත් බුවනෙක මුල් මීටර් එකසිය පණහම ආවේ සාමාන්‍ය වේගයෙන්.ඒත් මම ඒ ඇයි කියලා දැනන් හිටියේ නැහැ.මොකද මම මීටර් දෙසීයට අලුත්.ඒත් බුවනෙක ඒ වෙද්දි මලල ක්‍රීඩා සංගමයේ හිටියා. ඒත් අන්තිම වෙද්දි බුවනෙක දුවන්න පටන් ගත්තේ මගෙන් ටික ටික දුරස්වෙමින්.මොකද ඒ වෙද්දි මම හති හළනවා.

ඒත් කට්ටිය එක්ක උදේ අට විතර(ඒ කියන්නේ ඉස්කෝලේ පටන් අරන් පැය බාගයකට පස්සේ ) පන්තියට ආවා.

“මාලන් කොහෙද ගියේ? “ මනෝ මිස් ඇහුවා.

අපේ පන්ති භාර ගුරුතුමිය වුණේ මනෝජා රත්නායක ගුරුතුමිය. මට හම්බවුණූ හොඳම,සැරම,නීතිගරුකම පංතිභාර ගුරුතුමියක්. ඒත් එදා අනික් අය ඔක්කොම කලින් දවසේ මිස්ට කියලා තමයි පුහුණුවීම්වලට ගිහින් තියෙන්නේ.ඒත් මම දැනන් හිටියේ නැහැ මේ පුහුණුවීම් ගැන මිස්ට කියන්න ඕනි කියලා.ඒ නිසා මම කිව්වේ නැහැ.කියන්න ඕනි කියලා මට කවුරුවත් කිව්වෙත් නැහැ.ඒත් මම ගුටි නොකා එදා පන්තියට ආවා.ඒ වගේම ආයේ නම් මලල ක්‍රීඩා පුහුණුවීම්වලට යන්නේ නැහැ කියලා තීරණයට ආවා.

සටහන - මාලන් විදානපතිරණ

No comments:

Post a Comment