Thursday, May 28, 2015

“වනපස මල්,තාත්තා සහ කලං අන්කල් 2015/05/28

“වනපස මල්,තාත්තා සහ කලං අන්කල්

මේ චිත්‍රපට නළුවා ගැන කවුරුත් දන්නවා ඇති. මේ තමයි අමරසිරි කලංසූරිය.අපේ හිතවත්කම මත මම ඔහුට කතා කරන්නේ කලං අන්කල් කියලා.ඒත් අද මට හිතුණා ඔහු මට වැදගත් වෙන්නේ ඇයි කියලා ලියලා තියන්න.

කලං අන්කල් නිසා තමයි මම මුලින්ම ටෙලිනාට්‍යයක දර්ශනයක් දැකලා අඬන්නේ.එතකොට මම හුඟක් පොඩියි.හුඟක් කියන්නේ හුඟක්ම පොඩියි.මේ ටෙලිනාට්‍යයේ තියෙන අනික් විශේෂත්වය තමයි මේක අපේ තාත්තා අධ්‍යක්ෂණය කරපු ටෙලිනාට්‍ය හතෙන් කෙටිම කෙටි නාට්‍යය වීම.සම්පූර්ණ ටෙලිනාට්‍යයම කොටස් හතයි.මේ ටෙලිනාට්‍යයේ නම “වනපස මල්“. රෙබෙකා නිර්මලී තමයි මෙහි ප්‍රධාන චරිතය වුණු අම්මාගේ චරිතය නිරූපණය කළේ.වයසට නොගැලපෙන චරිතයක් තමයි රෙබෙකා ආන්ටි නිරූපණය කළේ.මොකද ඇයට ඒ චරිතය ඇතුළේ භූමිකා කීපයක් නිරූපණය කරන්න තිබුණා. ඊට අමතරව දමිතා අබේරත්න,ආනන්ද වික්‍රමගේ,ජගත් චමිල, ජයන්ත බෝපෙආරච්චි, මානෙල් වානගුරු මීට දායක වුණා.

කලං අන්කල්ට තිබුණේ තාත්තාගේ චරිතය.ජීවිතයෙන් හුඟක් බැට කාලා හෙම්බත් වුණු ඒ චරිතේ ඇතුළේ මට අපේ තාත්තාව අහුවුණා.ඒ තරම් ඒ චරිතය මට සමීප වුණා.හැබැයි ළඟකදි ඉඳලා තමයි ඒ චරිතේ ඇතුළෙන් මට තාත්තව හුඟක්ම අහුවෙන්න පටන් අරන් තියෙන්නේ.අපේ තාත්තාගේ ගති ලක්ෂණ කලං අන්කල් නිරූපණය කරපු තාත්තාගේ චරිතේ ඇතුළේ තියෙනවා නේද මට දැනෙන්න පටන් ගත්තා.

හැබැයි කතාවට අනුව දරුවන් හෝ බිරිඳ නොසිතූ මොහොතක ඔහු මෙලොව හැර යනවා.ඉන්පස්සේ දරුවෝයි අම්මයි අසරණ වෙනවා.ඇත්තටම මට ඒ දවස්වල අවුරුදු හතක් අටක් ඇති. තාත්තා කැමරාව තුළින් මවපු ඒ මළ ගෙදර දර්ශනයට පුදුම විදිහට මට ඇඬුණා.
ඉන්පස්සේ කතාව හැටියට තාත්තාගේ රැකවරණ නැතිකමින් එක්කෙනෙක් ලංකාවේ නොම්මර එකේ හොරෙක් වෙනවා.අනික් කෙනා හොඳට ඉගෙනගෙන පොලිස් නිලධාරියෙක් වෙනවා.ඒත් අවසානයේදී පොලිස් නිලධාරි අයියා අතින් මල්ලි මැරෙනවා.ඒ මල්ලි කියලා දන්නේ නැතිව වෙඩි තියන නිසා.

හොරාගේ චරිතය නිරූපණය කළේ ජගත් අයියා (ජගත් චමිල).පොලිස් නිලධාරියාගේ චරිතය නිරූපණය කළේ ජයන්ත බෝපෙආරච්චි(අද ඇමෙරිකාවේ ඉන්නේ).අම්මාගේ චරිතය නිරූපණය කළ රෙබෙකා නිර්මලීත් අද අප අතර නැහැ.නපුරුම නපුරු වලව් පැලැන්තියේ නෝනාගේ චරිතය නිරූපණය කළේ මානෙල් වානගුරු.මට හයක් හතරක් තේරෙන වයස වෙනකම් මම ඒ චරිතයට වෛර කළා.ඇත්ත ජීවිතයෙදිත් එහෙම වෙන්න ඇති කියලයි හිතුවේ.දුප්පත් මිනිස්සුන්ට කෙණෙහිලිකම් කරනවා කියලයි හිතුවේ.
කොහොම වුණත් අදටත් මට මේ ටෙලිනාට්‍ය කතාව අද වගේ මතකයි.

(සැ.යු. පම්පෝරියක් නොවෙයි.අමතකවෙන්න කලින් ලියා තැබීමක් පමණයි.)

-මාලන් විදානපතිරණ

No comments:

Post a Comment