අපේ ඉස්කෝලේ සාහිත්‍ය සංගමය සහ මම
(අතීතයෙන් තවත් පුංචි රස කතාවක්)
අපේ ඉස්කෝලේ සිංහල සාහිත්‍යය සංගමය පටන් ගත්තේ මට මතක විදිහට හය වසරේදී..සිංහල සාහිත්‍ය සංගමයේ මුල්ම සභාපතිවරයා විදිහට කටයුතු කළේ මට මතක විදිහට සිදත් සහෝදරයා.(ලේකම් විදිහට කටයුතු කළේ ලකිඳු වගේ තමයි මතක. හැබැයි ඒක නම් හරියටම මතක නැහැ.) සිදත් මගේ අසල්වැසි පාසැල් මිත්‍රයාත් වෙනවා.ඒ වෙද්දී ඔහු මගේ පන්තියේත් හොඳම යාළුවෙක්.අපි දෙන්නා එක ශ්‍රේණීයෙන් පසුව දෙවැනි වතාවට සහ අන්තිම වතාවට තමයි ඒ ආකාරයෙන් එකම පන්තියට වැටුණේ.කොහොම වුණත් ඒ වසර වෙද්දී අපේ පාසැලේ මලලසේකර රඟහල ගිනිගෙන විනාශ නොවුණූ නිසා මලලසේකර රඟහලේ තමයි මුල්ම සිංහල සාහිත්‍ය සංගමය පැවැත්වුණේත්.
ගෙදරදි සින්දු කිව්වට,පන්තියේදී ජොලියට සින්දු කිව්වට, බැච් එකක් ඉස්සරහ වේදිකාවට නැගලා ගීතයක් ගායනා කරලා නොතිබුණු මට ඒ අත්දැකීම අපූර්වත්වයක් එක් කළා.

මම මුල්ම වතාවට වේදිකාවට පය තිබ්බා.හිතේ ලොකු චකිතයක් තිබ්බා.ඒත් එදා උදේ අම්මා මගේ බය සම්පූර්ණයෙන්ම වගේ නැති කරලා තිබ්බේ.ඒ නිසා මුල්ම වතාවට මයික් එක අතට අරන් “පාණ තියා බුදුසාදුට හිමිදිරියේ“ ගීතය කිව්වා.
අත්පොළසන් නාදය මැද්දේ මම වේදිකාවෙන් බැස ගියා. ඒ ගීතය හැමෝම අහලා තිබුණු ගීතයක් සහ නිතර ඇහෙන ගීතයක් නිසා බලන් හිටි අයට ලොකු අමුත්තක් වුණේ නෑ.
ඒත් හත වසරේදී මම වේදිකාවට නැග්ගේ පුරුදුකාරයෙක් වගේ.මොකද කලින් එක් වතාවක් වේදිකාවට නැග්ග නිසා දැන් එච්චර බයක් තිබුණේ නෑ.ඒත් අවුරුද්දකට වතාවක් විතරක් තියෙන නිසා දෙගිඩියාවක් නොතිබ්බා නෙමේ.
මොකද එදා මම ගායනා කළේ “දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න“ ගීතය.
දැලි රැවුලත් නැති ඒ කාලේ රැවුල ගැන කතා කරනවා කියන එකත් බයිට් වීමට කාරණාවක්.ඒ නිසා රැවුල ගැනත් කියැවෙන ඒ ගීතයේ ඒ කොටස කොහොම කියන්නද කියලා ලොකු සැකයක් තිබ්බා.නමුත් අවසානයේදී කවුරු හිනාවුණත් කමක් නෑ, මම සින්දුව කියනවා කියලා මම හිතාගත්තා.ඒත් මට අදාළ ස්ථානයේදී හිනා නොවී ඉන්න නම් බැරිවුණා (“මම තරුණෙකි කවදා හෝ එය ඉටුවන දා“ යන කොටසේදී)
ඒ කොහොම වුණත් එදා මම ගායනා කළ ගීතයේ අදාළ කොටස විතරක් උපුටා දක්වන්න මං කැමැතියි.ගීතයේ දෙවැනි අන්තරා කොටස පටන් ගන්නේ මෙහෙමයි.
“වැල් ඇඳ උඩ වාඩිවෙලා රැවුල පැසෙන දා
මම තරුණෙකි කවදා හෝ එය ඉටුවන දා
අවුරුදු දා බුලත් අතින් තෑගි ගෙනෙන දා
ඔබේ ඇසට කඳුළු නැගෙයි එදින නොවරදා“
එදා අපේ යාළුවෝ අතර එතරම් ප්‍රසිද්ධ නොවූ ඒ ගීතයත්,පාසැල් මට්ටමේ ගායන දක්ෂතාවයත් නිසා එදා මට ගායකයෙක් විදිහටත් යම් ජනප්‍රියත්වයක් ලැබුණා.
ඒත් අටවැනි ශ්‍රේණියේදී පැවැති සිංහල සාහිත්‍ය සංගමයෙන් පස්සේ තමයි හුඟක් අය අතර මාව කැපී පෙනෙන්න පටන් ගත්තේ.
මම එම වසරේ පැවැති සිංහල සාහිත්‍ය සංගමයේදී ගායනා කළේ “ රුං රුං හඬ දීලා “ ගීතය.
“රුං රුං හඬ දීලා හොඳම තැනක් බලලා
මුං ඇට තරමේ මැටි ගුලි ගෙනැල්ලා එක පිට තබලා
රන් කුඹලා උළුවස්සේ උඩ අපි පුංචි ගෙයක් හැදුවා“
මේක ඒ කාලේ බොහෝ දෙනෙක් නොදැන සිටි ගීතයක්.මට ඉගැන්නුවෙත් අපේ අම්මා.අම්මා කියන්නේ තනිකරම ළමා ගීත ලැයිස්තුවක්.අම්මා නොදන්න ගීතයක් නැහැ.
ඒ වෙද්දි මගේ කටහඬත් ගොරෝසුවෙමින් පැවැති කාලයක්.ඒත් ඒ වෙද්දිත් ළමා කටහඬ මා සතුව තිබුණා.හරිම සිහින්ව පැවැති ඒ හඬින් “රුං රුං හඬ දීලා“ ගීතය ගායනා කරද්දී හැමෝම ඒ ගීතය ගැන අවධානයෙන් හිටි බව මට අවසන් අන්තරා කොටස ගායනා වෙද්දී තේරුම් ගියා.ඒ වටහා ගැනීම කොච්චර නිවැරදිද කියලත් පසුව ලැබුණු අත්පොළසන් හඬින් පැහැදිලි වුණා.

“මාලන්, අර කුඹලාගේ සින්දුව කියන්නකෝ.අර එදා සාහිත්‍ය සංගමයේදි කිව්වේ.“
මට බලෙන් කරපු ඉල්ලීමක් වුණත්, මම ඒ ඉල්ලීම බාරගත්තා.ඒත් මම එදා පුදුම වුණා, ලකිඳු වගේ රංගනයට,ගායනයට,කථිකත්වයට ආදී දක්ෂතා ගොඩකට හිමිකම් කියන කෙනෙක් එහෙම ඉල්ලීමක් කරපු එක ගැන.
නමුත් නවය වසරේ මැද භාගයේදී පසුව උගුරු ඇටේ ඉදිරියට ඇවිත් කටහඬත් ගොරෝසු වුණාට පස්සේ මට ආයෙත් ළමා ගීත ගායනා කළ හැකි අවස්ථාව අහිමි වුණා.
ඒත් ඊටත් වඩා හොඳ කටහඬක් මට ලැබුණු බව මට තේරුණේ ඇගයීමක් වෙනුවෙන් එස්.මහින්ද හිමිගේ “ලංකා මාතා“ කවි පන්තියෙන් කවි දෙකක් ගායනා කරන්න ඉදිරියට ගිය අවස්ථාවේදී.මට තාමත් ඒ කවි දෙක කට පාඩම්.
“බෑ ඉවසන්නට බෑ ඉවසන්නට අම්මෙනි පෙම්බර ලංකා
මා සිත ගින්නෙහි ලූ ලුණු මෙන් පුපුරන්නෙය කෝප විකාරෙන්
ඈ සනසන්නට සිංහල ලේ ඇති සිංහල කොල්ලකු අයියෝ
දැන් උපදින්නම නැද්ද අහෝ අද දෙව් රජුනේ ලක රක්නා
ජාතික ආලෙහි ජීව නගා කිරි දී එඬරු රස දුන්නු
මේ ලක ගොයි මහගෙ සතු සම්පත කොයිබද ඒ කිරි දෙන්නු
කාමුක නීච සිරිත් පුරුදු කර උන් මරලා ගිල දැම්මෝ
මේ එක දේම නොවීද අහෝ අද ජාතික හානියෙ හේතු“
මේ කවි දෙක ඇහෙද්දී එහා පැත්තේ පන්තියේ උගන්නමින් හිටියේ අපේ පන්තියටත් ගණන් උගන්වන කමලදාස මිස්.මට සිංහල පීරියඩ් එකෙන් පස්සේ ලුචින (කළුවා) කියපු විදිහට මම කවි දෙක කියද්දී පාඩම නවත්තලා පන්තියේ ළමයි සහ මිස් මම කියපු කවි දෙක අහන් හිටියා කියලයි වාර්තා වුණේ.

“අම්මෝ මාලන්ව දැක්ක කල්.දැන් කටහඬත් වෙනස්වෙලානේ.ගොරෝසු වෙලා හොඳටම“
සටහන - මාලන් විදානපතිරණ
No comments:
Post a Comment