Saturday, February 21, 2015

ජීවිතයේ තවත් අමතක නොවන කතාවක් 2015/02/18 and 2015/02/19

ජීවිතයේ තවත් අමතක නොවන කතාවක්



මීට වසර තුනකට පෙර ප්‍රායෝගික පරීක්ෂණයෙන් අසමත්ව විශ්වවිද්‍යාල සිහිනය තරමකට බොඳ කර ගැනීමට මට සිද්ධවුණා. ඒ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට විද්‍යාර්ථයකු ලෙස ආයෙමත් එන්න බැරි බව දැනගත්තු නිසා.මොකද මම නාට්‍ය හා රංග කලාව ප්‍රායෝගික පරීක්ෂණය අසමර්ථ වුණු හින්දා.

මට ලැබුණේ මෙගා ටෙලිනාට්‍යයක් සහ වේදිකා නාට්‍යයක් එකවර අධ්‍යක්ෂණය කරන අධ්‍යක්ෂවරයකුගේ චරිතයක්. වේදිකා නාට්‍යයේ පුහුණුවීම් අතරතුර තමන්ට පැමිණෙන දුරකතන ඇමතුමක් අනුව ටෙලිනාට්‍යයේ ඉදිරි කටයුතුවලට උපදෙස් දෙන චරිතයක දර්ශනයක් තමයි මට නිරූපණය කරන්න තිබ්බේ.මම එම චරිතය සෑහීමකට පත්විය හැකි ආකාරයෙන් රඟපා තිබුණේ නෑ.

ඒත් මම ඉන්පස්සේ පැවැත්වුණු කොළඹ විශ්ව විද්‍යාලයීය ශ්‍රිපාලි මණ්ඩපයේ සිනමා විශේෂවේදී උපාධියට තෝරා ගැනීමේ ප්‍රායෝගික පරීක්ෂණයෙන් සමත්වෙලා තිබුණා.හැබැයි මම එහිදී ජනමාධ්‍ය උපාධියටත් තෝරාගෙන තිබුණත් ඊට Z Score එක බලපෑමක් එල්ල කළා.

ඉතින් ඉන්පස්සේ මම වසර තුනක් යන තුරුත්, ප්‍රායෝගික පරීක්ෂණයෙන් අසමර්ථ වුණායින් අනතුරුව සෞන්දර්ය විශ්ව විද්‍යාලය පැත්ත පළාතේ ගියේ නෑ.(ඒත් එකම වතාවක් ශ්‍රීපාලි මණ්ඩපයේ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියකගේ වැඩකට කථිකාචාර්ය පියල් කාරියවසම් හමුවීමට පමණක් එක් වතාවක් සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ගියා මතකයි.ඒත් ගේට්ටුවෙන් ඇතුළු වුණේ නෑ)

ඉන්පස්සේ තමයි පසුගිය බදාදා මම නැවතත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ආවේ.ඒ කොළඹ විශ්ව විද්‍යාලයීය ශ්‍රීපාලි මණ්ඩපය වෙනුවෙන් සිනමා අංශය නියෝජනය කරමින්.ආරාධිත විශ්ව විද්‍යාලයීය  විද්‍යාර්ථයකු වශයෙන්. ඒත් ඒ තනියෙම නොවෙයි.තවත් ශ්‍රීපාලි විද්‍යාර්ථයන් කණ්ඩායමක් සමගින්.

ඇත්තටම ඒක මට හීනයක් වගේ.පරීක්ෂක මණ්ඩලයේ හිටි ඇතැමුන් මගේ ඉදිරියේම එදා හිටගෙන හිටියා.මට එය වඩාත්ම දැනුණේ මුල් දිනයේ ආරාධිත විශ්ව විද්‍යාලයක් ලෙස ශ්‍රීපාලි මණ්ඩපය නියෝජනය කරමින් පොල්තෙල් පහන දල්වන්නට ලොකු ලොක්කන් සමගම මටත් හැකිවීම හින්දයි. මෙය සත්‍යක්දැයි මටම අදහාගන්නට නොහැකිවුණේ මේ නිසයි.

විශේෂයෙන්ම වැරැදි මිනුම් දඬු ඔස්සේ (මා අසමත් වූ නිසා නොව නාට්‍ය හා රංග කලාවට විද්‍යාර්ථයින් තෝරන ක්‍රමය අදටද ප්‍රාථමිකයි.) මාව පරීක්ෂාවට ලක්කළ ඉතා ඉහළ නිලධාරියෙක් මගේ විශ්ව විද්‍යාලය කුමක්දැයි එවේලේ ඇහුවාම මට ඇතිවූයේ මහා ප්‍රීතියක්.එසේම කෝපයක්.එනම් ඔහු ප්‍රතික්ෂේප කළ සිසුවා ශ්‍රීපාලි මණ්ඩපය විසින් බාරගත් බව පවසන්නට මට වරක් හිතුණා. ඒත් එම හැඟීම මම බොහොම අමාරුවෙන් පාලනය කර ගත්තා.

එහෙත් සිනමාව, නාට්‍ය යනු මාධ්‍ය දෙකක් බව මම නොදන්නවා නොවේ.ඒත් මෙම මාධ්‍ය දෙකම කෙරේ මට ලොකු පිස්සුවක් තිබුණා.ඒ හින්දා මට හුඟක් ළඟ සෞන්දර්ය විශ්ව විද්‍යාලය විසින් නාට්‍ය හා රංග කලාවට මා තෝරාගනු ඇතැයි මම සිතුවා.ඒත් අවසානයේදී චිත්‍රපට පිස්සුව මගේ අනාගතය වෙනස් කළා.අනික මට තිබුණේද මාර්ග දෙකෙන් එකක් තෝරා ගැනීමේ අසීරුතාවයක්.

කෙසේ වෙතත් එහිදී සිදුවූ අනෙක් විශේෂ සිදුවීම වූණේ ආචාර්ය සෞම්‍ය ලියනගේගේ දේශනයෙන් පසුව පැවැති කෙටි සාකච්ඡා කාල සීමාවේදී මා ගැන දන්නා කථිකාචාර්යවරයෙක් නිතැතින්ම මට මෙහි මයික්‍රොේෆෝනය දිගු කිරීමයි.ඒ මෙම වැඩසටහනේ සංවිධායක වන ඔහු අපේ විශ්ව විද්‍යාලයට බාහිර කථීකාචාර්යවරයකු ලෙස පැමිණ ඇති බැවින්(මම කට පියාගෙන ඉන්න කෙනෙක් නොවෙන නිසා වෙන්න ඇති) .ඒත් පළමු අදහස් දැක්වීම හෝ ප්‍රශ්න ඇසීම මගෙන් බලාපොරොත්තු වන බවක් මම අපේක්ෂා කළේ නැහැ.

එම සුවිශේෂී මොහොත මට අමතක නොවන්නට තවත් හේතුවක් තිබුණා. එනම් වසර පහකට පමණ පෙර ආචාර්ය ජයලාල් රෝහණ මහතා විසින් මෙහෙයවූ නාට්‍ය හා රංග කලාව උසස් පෙළ පන්තියේදී මට හමුවූ ධනුත්තරා අක්කාව නැවතත් මුණ ගැසීමට වාසනාව ලැබීම.අවසන් වසරේ සිටින ඈ දැන් හුඟක් හැඩයි.අඳුනගන්නත් අමාරුයි. ඒත් එදා ඇය සමග සෞන්දර්ය විශ්ව විද්‍යාලයේදී ගත කළ සුළු මොහොත කවදාවත් මට අමතක වෙන්නේ නැහැ.ඒ අපි දෙදෙනාම එදා විශ්ව විද්‍යාල සිහිනය,සිහිනයක්ම වෙයි කියලා දෙගිඩියාවෙන් හිටි හන්දා.ඒ වගේම එදා නාට්‍ය හා රංග කලාව පන්තියේ හිටි වැඩිමහල්ම අයගෙන් දෙදෙනෙකු වුණේ අපි දෙන්නා හින්දා.ඒ නිසා අපි දෙදෙනාම විශ්ව විද්‍යාල සිසුන් විදිහට එකට හමුවේවි කියලා මම කවදාවත්ම හිතුවේ නෑ.

ඒ වගේම මා එක්ක එකට උසස් පෙළ කරපු, තුන් පාරක් කලා විෂය ධාරාවෙන් පෙනී හිටපු,අපේ ගෙවල්  පැත්තේ නදීර අයියා හෙවත් සෞන්දර්යයේ හිටපු මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිතුමාත් එදා මට හම්බවුණා. ගෙවල් පැත්තේදි දැක්කට මම නදීර අයියාව විශ්වවිද්‍යාලයේදි දැක්කේ එදායි. සෞන්දර්යයේ කැන්ටිමේදී සිදුවුණු ඒ හමුවීමත් අමතක කරන්න බැහැ.මොකද උත්සාහය අත් නොහැර උසස් පෙළ කළ ඔහුත් දැන් ඉන්නේ අවසන් වසරේ.

කොහොම වුණත් සෞන්දර්ය විශ්ව විද්‍යාලයට පසුගිය වසරේදී සිනමාව විෂයක් ලෙස පැමිණෙද්දී අද මා වසර දෙකක් ඉදිරියට පැමිණ තිබෙනවා.තවත් මට ඉතිරිව ඇත්තේ වසර දෙකකටත් අඩු කාලයක්.අනික ශ්‍රීපාලි මණ්ඩපයේදී සෘජුවම මට සිනමාව තෝරා ගැනීමට මග පෑදෙද්දි, සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ තිබෙන ක්‍රමයට  නම් මට කවදාවත්ම සිනමාව කරන්න ලැබෙන්නේ නෑ. මෑතකදි තමයි ඔවුන් එම අවස්ථාව සාම්ප්‍රදායිකත්වයෙන් මිදී විවෘත කළේ. ඒ නිසා මම එදා ශ්‍රීපාලි මණ්ඩපයට ඇතුළු වීමට ගත් තීරණය කොතරම් නිවැරදි,වටිනා තීරණයක්දැයි අද මට තියෙන්නේ විශාල ආඩම්බරයක්.

මාලන් විදානපතිරණ

No comments:

Post a Comment