Friday, February 27, 2015

“කල් හෝ නා හෝ“ මේනියාව 2014/09/01

“කල් හෝ නා හෝ“ මේනියාව

කල් හෝ නා හෝ කියන්නේ මාව පිස්සු වට්ටපු ෆිල්ම් එකක්.ඒකේ තියෙන කල් හෝ නා හෝ සින්දුව ඉස්සර අපි කට පාඩම් කළේ පිස්සුවෙන් වගේ.මේ හින්දා ප්‍රභාත් එක ළඟ ඔය වගේ ඒ දවස්වල හිට් වෙච්ච හින්දි සින්දු ඉංග්‍රිසියෙන් ලියපු බුක් මාක් විකුණන්නත් තිබ්බා.අපි ඉතින් එ්වා රුපියලට දෙකට උදේ පාන්දරම ගත්තේ හෝම්වර්ක් පැත්තක තියෙද්දී කට්ටිය එක්ක ඒ සින්දු කියන්න ඕනේ හින්දයි.

ඕලෙවල් පන්තියේදි මටයි,හර්ෂටයි,ජයසංඛටයි ඔය පිස්සුව තදින්ම තිබ්බා.කොහොම වුණත් අන්තිමට ඒ කල් හෝ නා හෝ මේනියාව හිතේ පැහැවන්න පටන් ගත්තේ මගේ හිතේ විතරයි.හිතට දුකක් ආවාම මම ඒ ෆිල්ම් එක බලන්න පටන් ගත්තා.හිතට දුකක් ආවාම ඒ ට්‍රැක් එක අහන්න පටන් ගත්තා.සින්දුවක් කියන්න කිව්වමත් කල් හෝ නා හෝ සින්දුව කියන්න පටන් ගත්තා.සිංහල එකක් කියන්න කිව්වමත් කිව්වේ ඒකෙම සිංහල අනුවාදය.

මේ හින්දා මට පස්සේ කල් හෝ නා හෝ ඇරෙන්න වෙන සින්දුවක් කියන්න බැරිමද කියලා සමහරු අහන ගාණට ඒක වැඩි වුණා.සමහර පොඩි එවුන් පවා මාලන් අයියා ඉතින් දන්නේ කල් හෝ නා හෝ විතරයි කියල විහිළුත් කළා.

මොකද ට්‍රිප් එකක් ගියත්,අපේ 31st night එකේදි වුණත් මම මුලින් කිව්වේ කල් හෝ නා හෝ සින්දුව.හැබැයි තිස් එක රැ තිබුණු එක අවුරුද්දක පාටියකදි ඒක මට සෘතියට කියන්න බැහැ කියලා වෙන සින්දුවක් කියන්න වුණා.ඒත් මම අධෛර්යමත් වුණේ නැහැ. ඉන්පස්සේ තිබුණු පාටියකදි හරියටම සෘතියට කියන්න මම හිතා ගත්තා.ඒ වගේම මම කිව්වා. මොකද මගේ හීනය වුණේ කවදාහරි කොහොම හරි ඒ සින්දුව සෘතියට කියන එක.

ඒත් තාමත් ඒ පිස්සුව හිතෙන් දුරස් වෙලා නැහැ.මේක ලියන මොහොතේත් මගේ පිටිපස්සෙන් ඇහෙන්නේ කල් හෝ නා හෝ ට්‍රැක් එක. දවසක් ඉස්කෝලේ ජනසන්නිවේදන ඒකකයේ උත්සවයක් තිබුණු වෙලාවක ඒක පටන් ගන්නකම් ශ්‍රවණාගාරයේ කල් හෝ නා හෝ ට්‍රැක් එක දාලා තිබුණා.ඒක උදේ පීරියඩ් එකක්.කෙමිස්ට්‍රි තිබුණේ. මහින්ද බණ්ඩාර සර්(ටිල්වින්) රසායන විද්‍යාවේ පදාර්ථ හරි මොකක් හරි පාඩමක් උගන්ව උගන්ව හිටියේ.ඒත් මම අවධානයෙන් හිටියේ එළියෙන් ඇහෙන කල් හෝ නා හෝ ට්‍රැක් එක ගැන . ඒ ඒකට තිබුණු පිස්සුව හින්දයි.මට එදා කළු ආරච්චිත් බැන්නා.

“යකෝ කල් හෝ නා හෝ නෙමෙයි. ඉස්සරහ බලාගෙන පාඩම අහගනින්“ ඌ අතට හයියෙන් ගහලා කිව්වා.මොකද ඒ වෙනකොට මම හෙමින් සීරුවේ මෙලඩියත් එක්ක සින්දුව කියනවා.

“පාඩම වගේද බං සින්දුව. පාඩම නම් ක්ලාස් එකෙන් හරි අල්ලගන්න පුළුවන්“ එච්චරටම පිස්සු වැටිලා හිටපු මම කිව්වා.

අනික අපේ කාලේ කීප දෙනාටයි ඉන්ටර්නෙට් තිබ්බේ. ඒ නිසා කල් හෝ නා හෝ අහන්නත් ටී.වී ප්‍රෝගෑම් එකක් එනකම් බලන්න ඉන්න උනා.ඒත් මට ඉවසුමක් නැතිවුණා.එක්කෝ එෆ් එම් කරකවන්න ඕනේ.ඒත් කව්ද දන්නේ ඒ සින්දුවම දායිද කියලා.

ඒ හින්දා ඒ කාලේ ඉන්ටර්නෙට් තිබුණු බුට්ටාට කියලා මම ඔය ට්‍රැක් එක විතරක්ම තියෙන ඕඩියෝ ට්‍රැක් එකක් රයිට් කර ගත්තා.

මොකද ඒ කාලේ අපේ ගෙදර තිබ්බා, සී.ඩී දාන්න පුළුවන් කැසට් එකක්.රට එකක්.මම කරපු වැඩේ සී.ඩී එක ලැබුණු ගමන් දැම්මා ඒක කැසට් එකට. මම හිතන්නේ මම ඒකේ තාක්ෂණික දෝෂ හැම එකකටම වගකියන්න ඕනේ.

මොකද මම දවසකට ඒ සින්දුව රිපීට් කර කර, හයි වොලියුම් දාලා ගමටම ඇහෙන්න දැම්මා.දවසකට පන්සිය වතාවක්වත් අහන්න ඇති. සමහර දවස්වලට පන්තියට ගියාමත් ඔය ගැන මම කියනවා, “ මචං මම මෙච්චර වතාවක් මේ සින්දුව ඇහුවා කියලා“

“මොකක්ද බං ඔය පිස්සුව.උඹට වෙන සින්දුවක් ඇත්තෙම නැද්ද ?“ අපේ එවුන් මට බනින්න පටන් ගත්තා.

“අනේ මන්දා බං. මුන් නම් හැදෙන්නේ නැහැ.උඹ අර ප්‍රතික්‍රියා ටික ඉවර කළාද ?“ තව එකෙක් ඇහුවා

“ඔක්කොම කරන්න බැරිවුණා බං. “ මම කිව්වා

“අනුකලනය ගණන් ටික ? “

“අවකලනය ලේසි වුණාට අනුකලය අමාරුයි බං.හදන්න හැදුවා.අමාරුයි අත ඇරලා දැම්මා“ මම කිව්වා

“යකෝ හදපිය“ ඌ මට බැන්නා.

“මොකක්ද බං මේකේ තේරුම ? උඹේ ගේ ළඟින් යනකොටත් යන පාරට ඇහෙන්නේ කල් හෝ නා හෝ නේ.“ ඒ අස්සේ දවසක් සිදත් මට බැන්නා.

මොකද සිදත් හිටියේ අපේ ගෙවල් ළඟමමයි.මීටර් සීයක්වත් නැහැ අපේ ගේ ළඟ ඉඳන්.

“මූගේ ගේ ළඟින් දැන් ඇහෙන්නේත් කල් හෝ නා හෝ බං.“ සිදත් ඉස්කෝලේදි අනික් උන් එක්ක කියන්න පටන් ගත්තා.නිකම් බයිටට වගේ.

ඒත් මගේ මානසික සහනයට හැම වෙලාවකම පිහිටට ආවේ කල් හෝ නා හෝ. ඒක කෙනෙක්ට හිනාවට කාරණාවක් වෙන්න පුළුවන්. තව කෙනෙක්ට මට මානසික ලෙඩක් තියෙනවා කියලා හිතෙන්න පුළුවන්.හැබැයි මට ඒක සතුටක්.විනෝදයක්.

හැබැයි පුදුමේ තමයි ඉන්පස්සේ ආපු ආශිකි සින්දුව මට ඒ තරම් දැනුනේ නැති එක.ඒ මොකද කියලා මට තාම හිතා ගන්න බැහැ. ඒ හින්දා තාමත් පරණ තැටියම තමයි.හැබැයි අලුත් විදිහකට.

ඉස්සර හිතේ පාළුව,දුකට,තනිකම,කේන්තිය නැති කරන්න සීඩී එකකින් මං ළඟට ආපු කල් හෝ නා හෝ ,දැන් ලැප් එකේ හාඩ් ඩිස්ක් එකට ඇවිත්.හැම වෙලාවෙම රිවයින් වෙන තත්ත්වයට ඇවිත්.එහෙමත් බැරි වුණු වෙලාවට යූටියුබ් එකට ඇවිත්.

මට නම් හිතෙන්නේ මට නම් කවදාවත් මේකෙන් ගැලවුමක් ලැබෙන්නේ නැහැ.හැබැයි ළගකදි ඔය ගැන ආපහු හිතද්දි හිතුණේ කවර් එකක්වත් කළොත් මේ බෝ නොවන රෝගය හොඳ වෙයි කියලයි.ඒකයි මගේ අන්තිම ප්‍රාර්ථනය. හි හි හි

No comments:

Post a Comment