Saturday, January 25, 2014

දක්ෂ නිළියක් නම් ඇය තුළ චරිත වැහි වැහැලා තිබිය යුතුයි - මාදනී මල්වත්තගේ




දක්ෂ නිළියක් නම් ඇය තුළ චරිත වැහි වැහැලා තිබිය යුතුයි
-    මාදනී මල්වත්තගේ

 

“මාදනී* නාට්‍ය උළෙල අද සිට
සටහන හා ඡායාරෑප - මාලන් විදානපතිරණ

මෑත යුගයේදී ස්වකීය සුවිශේෂ යැයි කිව හැකි රංග කෞශල්‍යයෙන් නාට්‍ය පේ‍්‍රක්ෂකාගාරය විස්මයට පත් කළ රංගන ශිල්පිනියක් ලෙස  මාදනී මල්වත්තගේ හැඳින්විය හැකිය. පේරාදෙණියේ සිට නාට්‍ය කලාව වෙනුවෙන්ම කොළඹ සිය නැවතුම්පළ කර ගත් ඇය යෞවන සම්මාන වේදිකා‍වේ සිට පියවරෙ˙න් පියවර ඉදිරියට පැමිණි ශිල්පිනියකි. ඒ අනුව අද සිට (10 වැනි දින) ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී ඇගේ හොඳම චරිත නිරෑපණ ඇතුළත් නාට්‍ය උලෙළක් ඇරඹෙයි. එනම් වසර දහසයක් පුරා මෙහිදී අද(10) සිට පිළිවෙළින් ජගන් මා, සුද්දෙක් ඔබ අමතයි,මහ සමයම, කළු කුමාරි,සෙල්ලම් නිරිඳු යන නාට්‍ය වේදිකාගත වීමට නියමිතය. ජනවාරි මස 14 වැනිදා තෙක් පැවැත්වෙන මෙම උලෙළ අරබයා ඇය සමග කතාබහක යෙදීමට අප අදහස් කළේ එබැවිනි.

“මාදනී* නාට්‍ය උලෙළ ගැන ඔබෙන් ඇසුවොත් ?

නාට්‍ය උලෙළක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් මගේ සහෘද ප්‍රේක්ෂකයන්ගෙන් බොහෝ ඉල්ලීම් තිබුණා.මොකද මම රාජ්‍ය නාට්‍ය උළෙළේදී දිගු නාට්‍ය අංශයෙන් සුසිල් ගුණරත්නගේ “දෙනුවර දෙන්නෙක් (2007)*, කේ බී හේරත්ගේ “ජගන් මා (2009)* හා ඔහුගේම “කΩළුකුමාරි*˙ (2013) යන නාට්‍ය වෙනුවෙන් හොඳම නිළිය සම්මානය හිමිකරගත්තා. ඒ වගේම තෙවතාවක් හොඳම නිළියට නිර්දේශ වුණා.ඒ නිසා මෑතකදී එවැන්නක් කළ එකම නිළිය “මාදනී* විදිහටත් සමහරැ මාව හඳුන්වනවා. “සුද්දෙක් ඔබ අමතයි* නාට්‍යයේ කළ රංගනය බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක්වුණා. ඒ නිසා එම නාට්‍යයත් මීට ඇතුළත් කළා. ඒ වගේ මගේ සම්මානනීය නාට්‍ය දෙකත් එක්ක මහාචාර්ය ආරියරත්න ඇතුගලගේ දෘශ්‍ය කාව්‍යයත් මීට ඇතුළත් කළා. ඒ එය මගේ වෙනස්ම විදිහේ අත්දැකීමක් නිසයි. ඒත් එයත් මිනිසුන් අතර කතාබහට ලක්වුණා.ඒ වගේම මම නාට්‍ය කලාව පිවිසුණේ ජයලත් මනෝරත්නයන්ගේ කනේරැ මල් නාට්‍යයෙන්.ඒ නිසා එතුමාට ගෞරවයක් වශයෙන් එතුමාගේ නවතම නිර්මාණය වන සෙල්ලම් නිරිඳු නාට්‍යයත් මීට ඇතුළත් කරන්නත් මට උවමනා වුණා.

මෙවැනි නාට්‍ය උලෙළක් පැවැත්විය යුතුයි කියලා හිතුණේ ඇයි ?

අද වේදිකාව අවර ගණයේ වේදිකා නාට්‍ය රුල්ලකින් වැසී ගිහින්. ඒ නිසා නාට්‍ය හා රංග කලාව විෂයක් විදිහට හදාරන ළමයින්, විශ්ව විද්‍යාල සිසුන්,ගුරැවරැන් පවා හොඳ නාට්‍ය මොනවාද යන්න ගැන දන්නේ නැහැ. ඒ නිසා මේ වෙනුවෙන් මගෙන් යම් සාධාරණයක් ඉෂ්ට කරන්න මට උවමනා වුණා.

එසේ නම් ඔබ කියන්නේත් ලංකාවේ නාට්‍ය ප්‍රේක්ෂකයාගේ රසවින්දනය පහත් 
මට්ටමක පවතිනවා කියලද  ?

නැහැ.කොහෙත්ම නැහැ.ලංකාව පුරා හොඳ ප්‍රේක්ෂකාගාරයක් අපිට තියෙනවා. ඔවුන්ට හොඳ රසවින්දන මට්ටමක් තිබෙනවා.ඒකත් මම අත්දැකීමෙන්ම දන්නවා. ඒත් ඔවුන් නාට්‍ය පිළිබඳ වූ මන්ද පෝෂණයකින් පෙළෙනවා.ඒ ඌනතාවය යම් තරමකින් හෝ සමනය කිරීම තමයි මගේ අරමුණ.

ඔබ සම්මානයට පාත්‍ර වූ ශිල්පිනියක්. ඒත් නාට්‍ය පිළිබඳ වූ උප සංස්කෘතියක් නොපවතින රටක ඔබේ චරිත පිළිබඳ හෝ කිසිදු අධ්‍යයනයක්,සාමුහික කතාබහක් සිදුවෙනවාද ?

වත්මන් නාට්‍යකරැවන්ගෙන් ඇතැමෙක් මොටවෙන්න බලපෑ එක් හේතුවක් තමයි එවැනි කතිකාවතක් නොමැති වීම.ඒත් මීට පෙර සුගතපාලද සිල්වා, දයානන්ද ගුණවර්ධන, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර වැනි නාට්‍යකරැවන් සිටි යුගයක මෙවැනි උප සංස්කෘතියක් පැවතුණා.ඒ නිසයි අලුත් විදිහට හිතන පරම්පරාවක් ගොඩනැගුණේ.ඒත් අද පවතින්නේ අනුකරණය කිරීමේ නාට්‍ය රුල්ලක්. එක්කෙනෙක් අලුත් විදිහට හිතලා යමක් කළොත් ඒ විදිහේම නාට්‍ය රුල්ලක් ඒ එක්කම එනවා.ඒත් මේක හේතුව පවතින ජිවන අරගලයද, හිතලා යමක් කරන්න තරම් වෙලාවක් නැතිකමද, එහෙමත් නැත්නම් වෙලාවක් හදාගන්නවත් ඕනෙකමක් නැතිකමද කියලා මට නම් තේරෙන්නේ නැහැ.    

එසේ නම් දක්ෂ නිළියක හැටියට ඔබත් මේ ජීවන අරගලයේ සිටිනවා. සම්මාන පවා හිමිකර ගන්නවා.එසේ නම් චරිතයක් ගොඩනැංවීමට අවශ්‍ය පෙර වැඩ කිරීම ඔබ කාලය කැප කළේ කොහොමද ?

වසරකට බොහෝ විට මම එක් වේදිකා නාට්‍ය නිර්මාණයක චරිතයක් තමයි භාර ගන්නේ.ඒ අනුව මට චරිතයට සූදානම් වීමට ඉඩ ප්‍රස්තාව තිබෙනවා.අනික වේදිකාව කියන්නේ මම සල්ලි හම්බකරන තැන නෙමෙයි. ඒත් මේක ඇතැම් සංවිධාකයන් නිසා එවන් තැනක් බවට පත්වෙලා.ඒත් ඔවුන් හැමවෙලාවකම දැන ගත යුතුයි තමන්ගේ ගමට ගුණාත්මක නාට්‍ය ලබාදෙන්න. මොකද වේදිකාව කියන්නේ පූජනීය තැනක්.එතැනින් තමයි මම අලුත් වෙන්නේ.එතැනින් තමයි මම දවසින් දවස පරිණත වෙන්නේ.

වත්මන් නාට්‍ය පරම්පරාවේ දක්ෂ නළු නිළියන්ගේ ඌනතාවයක් පවතිනවා. පාසැලින් බිහිවන දක්ෂයන් නිවැරදිව සමාජගත කරන්න විධිමත් ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය වෙන්නේ මේ නිසා නේද ?

හැකියාව කියන්නේ උපතින් ගේන දෙයක්. ඒක මුවහත් කරන්න පුළුවන්.ඊට මග පෙන්වීමක් අවශ්‍යයයි. හැබැයි කාටවත් දක්ෂ නළු නිළියන් හදන්න බැහැ.කාටවත් එතැනට තල්ලු කරන්න බැහැ. තමන් දැන ගත යුතුයි තමන්ගේ දිශාව තෝරාගන්න.තමන්ගේ මාර්ගය එළිපෙහෙළි කර ගත යුත්තේ තමන්මයි.උදාහරණයක් විදිහට මම නාට්‍ය කලාවට ප්‍රවේශ වෙද්දි මගේ පවුලේ කවුරැවත් කලාවට ගෑවිලාවත් හිටියේ නැහැ.මමයි ජාතික තරැණ සේවා සභාව පවා හොයාගත්තේ.එතැනදිත් මගේ අඩුපාඩු හදාගත්තත් මගේ ස්වෝත්සාහයෙන් තමයි දියුණු වුණේ.අනික රඟපෑම කාටවත් උගන්නන්නත් බැහැ. ඒ නිසා තමන්ගේ ගුරැවරයා විය යුත්තේ තමන්මයි.

ඔබ දක්ෂ ටෙලිනාට්‍ය නිළියක්.වත්මන් ටෙලිනාට්‍ය කලාව ගැන මොකද හිතන්නේ ?

ටෙලිනාට්‍ය කලාවේ පවතින්නේ රුල්ලක් පමණයි.ඒකාකාරී ආකෘතියක් තමයි එහි තියෙන්නේ. ඒ නිසයි ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන් දැන් රඟහලට ඇදෙන්නේ. කොහොම නමුත් ජාත්‍යන්තර මට්ටමෙන් සලකා බැලුවොත් ටෙලිනාට්‍ය කියන්නේ යම් ගරැත්වයක් පවතින කලාවක්. ඒත් ලංකාවේ එහෙම තත්ත්වයක් නිර්මාණය වෙලා නැහැ.ඒ නිසයි මමත් ටෙලිනාට්‍ය තෝරාබේරාගෙන රඟපාන්නේ. ඒත් මාව වෘත්තියමය නිළියක් විදිහට හඳුන්වනවටවත් මම කැමැති නැහැ.කොහොම වුණත් මට පසුගිය කාලේ සෑහීමකට පත්විය හැකි චරිත සීමිත ප්‍රමාණයක් ලැබුණා.රන්ගිර නාට්‍යයේ මගේ රංගනය මේ වසරේ පැවැත්වෙන සම්මාන උලෙළක් සඳහාත් නිර්දේශ වෙලා තියෙනවා.ඒ නිසා ඒ ගැන සතුටක් නැත්තේමත් නැහැ.කොහොම වුණත් මම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරැන්ගෙන් ආයාචනාවක් කරන්න කැමැතියි. දක්ෂ නිළියක් නම් ඇය තුළ චරිත වැහි වැහැලා තිබිය යුතුයි.ඒ නිසා එකම වගේ චරිත නිර්මාණය කරන්න එපා.එක් ටෙලිනාට්‍යයකින් දකින නිළියක් අනික් ටෙලිනාට්‍යයේදීත් ඒ විදිහටම දැකීම සිදු නොවිය යුතු දෙයක්.ඒ නිසා එසේ සිදුවීම නිර්මාණකරැවන්ගේ දුර්වලකමක් විදිහටයි මම දකින්නේ.

එසේ නම් ඔබට චිත්‍රපට ක්ෂේත්‍රය හරහා ඔබේ රංගන ප්‍රතිභා පරාසය එළිදක්වන්න පුළුවන් නේද ?

ඔව්.ඒත් චිත්‍රපටවලට මට ආරාධනා ලැබුණේ ඉතා සීමිත ප්‍රමාණයක්. ඒ ඇයි කියලා නම් මම දන්නේ නැහැ. අනික ලැබුණූ චරිතවලින් පවා ලොකු යමක් මට කරන්න ලැබුණේ නැහැ.ඒ නිසා ඉදිරියේදී හොඳ යමක් කරන්න පුළුවන් චරිතයක් ලැබෙයි කියලා හිතනවා.  

No comments:

Post a Comment