Showing posts with label සාහිත්‍යය. Show all posts
Showing posts with label සාහිත්‍යය. Show all posts

Thursday, August 22, 2013

දෙමළ ජනතාව සහ දෙමළ දේශපාලකයෝ කියන්නේ කොටස් දෙකක් - ප්‍රවීණ දෙමළ භාෂා පරිවර්තක උපාලි ලීලාරත්න


දෙමළ ජනතාව සහ දෙමළ දේශපාලකයෝ කියන්නේ කොටස් දෙකක්
-       
    ප්‍රවීණ දෙමළ භාෂා පරිවර්තක උපාලි ලීලාරත්න

සටහන හා ඡායාරෑප - මාලන් විදානපතිරණ

උතුරැ - නැගෙනහිර කලාපයේ සමහර දෙමළ කණ්ඩායම් විසින් ඇතිකරන ලද විනාශකාරී අරගලය, අපේ රටේ ආර්ථිකයට පමණක් නොව සාමකාමී ජන සමාජයටද ඇති කළ හානිය අතිමහත්ය.තවමත් මේ තත්ත්වය සමනය වී නොමැත. එහි ප්‍රතිඵලයක් ලෙස පශ්චාත් යුද සමයේ ආදීනව විඳින අප දහ තුන්වැනි සංශෝධනය හමුවේ තව තවත් අසරණ වී ඇත.සැප්තැම්බර් මස පැවැත්වෙන මැතිවරණයේදී උතුරේ පවත්වන මැතිවරණය ඉතා තීරණාත්මක වී ඇත්තේ මෙවැනි පසුබිමක් තුළය. එනම් එය දැන් ලංකාවට පමණක් නොව ඉන්දියාව ප්‍රමුඛ ආසියානු කලාපයටම මහා හිසරදයක් වී ඇත.කෙසේ වෙතත් උතුරේ දෙමළ අරගලය අළලා විවිධ මත දරමින් මේ මොහොතේදීත් විවිධ පොත් සිංහල සාහිත්‍යයට එකතු වේ.ඒ අතර දෙමළ තරැණ තරැණියන් දේශප්‍රේමීන් ලෙස හඳුන්වමින්ද, දෙමළ තරැණ තරැණියන් ත්‍රස්තවාදීන් හෝ බෙදුම්වාදීන් ලෙස හඳුන්වමින්ද ලියූ කෘතිද වේ.

මේ අනුව යට කී දේශපාලන කතාව වෙනස් ඇසකින් දුටු, ඒ පිළිබඳව යුද සමයේදීම “හිරැ උදාවේ සාපය(බෙදුම්වාදී අරගලයේ ඇතුළු පැත්ත)* නමින් කෘතියක්ද සම්පාදනය කළ සාහිත්‍යයධරයෙකු සමගින් මෙම දහතුන්වැනි සංශෝධනය, බෙදුම්වාදය,අන්තවාදය සම්බන්ධයෙන් යම් සාකච්ඡාවක යෙදීමට අපි අදහස් කළෙමු. ඔහු උපාලි ලීලාරත්නයි.මෙරට සිටින අතළොස්සක් වූ දෙමළ පරිවර්තකයන් අතරින් කෙනෙකු වන උපාලි ලීලාරත්න, දෙමළ සංස්කෘතිය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් ඇත්තෙකි. ඔවුන් සමග පමණක් නොව මුස්ලිම් ජනයා සමගද නිරන්තරයෙන් ගනුදෙනු කරන්නෙකි. දෙමළ පරිවර්තන කෘති විශාල සංඛ්‍යාවක් සිංහල සාහිත්‍යයට දායාද කළ ඔහු කළ පරිවර්තන අතරින් පූලාන්දේවී(1,2) අතිශයින් ජනප්‍රිය විය. ඊට අමතරව පෙරදා පෑයූ සඳ,සිහින සැබෑ වේවා,ගල් අඟුරැ,ඉරණම ඇඳි මාවතේ, මිනිස් බෝම්බය සහ වේදනාව(කෙටිකතා),සඳ සිසිල, යට ගිය දා මිනිස්සු(කෙටිකතා) එලෙසින්ම ජනප්‍රිය විය.

“  මම උපන්නේ අහංගම.ඒ කියන්නේ දකුණු පළාතේ. ඒත් තාත්තාගේ රුකියාව නිසා පොඩිකාලේම මට තලවාකැලේට යන්න සිදුවුණා.ඒ කියන්නේ මට අවුරැදු එකහමාරක් තරම් කුඩා කාලේ ඉඳන් ජිවත්වුණේ කඳුකරයේ. මගේ වයසම නසීර්,අනික් පැත්තේ ගෙදර සිටි ත්‍යාගාරාජා තමයි මගේ හොඳම යාළුවෝ.ඊට අමතරව ක්‍රිස්තියානි,මලයාලම් ආදී විවිධ ජාති ආගම්වල මිනිස්සු එක්ක අපි ජීවත් වුණා. ඒ නිසා දෙමළ භාෂාව,දෙමළ සංස්කෘතිය මට අමුත්තක් වුණේ නැහැ. මුස්ලිම් සංස්කෘතියත් එහෙමමයි. ඒ නිසා ඉබේම මගේ දෙමළ භාෂා හැකියාව වැඩි දියුණු වුණා.ඒත් මෙහි වැදගත්කම මට දැනුණේ කොළඹ ආවාට පස්සේයි.ඒ අනුව පොත්පත් කියවීමෙන් මම මගේ පරිවර්තන හැකියාව වැඩිදියුණු කර ගත්තා.ඒ නිසා ඉංග්‍රීසි භාෂාව උගෙනීමට පෙර අපේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් හඳුනාගැනීමට දෙමළ භාෂාව උගෙනීමයි වඩා වැදගත්වෙන්නේ. ඒත් වත්මන් අධ්‍යාපන ක්‍රමය තුළ ළමයා දෙමළ ඉගෙන ගන්නේ ප්‍රගති වාර්තා පොතට ලකුණු කිහිපයක් එකතු කර ගන්න පමණයි.ඒ නිසා රජය මගින් දෙමළ භාෂාව ජනතාවට උගෙනීමට කළ ව්‍යාපෘතිවලින් පවා ප්‍රතිඵලයක් වුණාද යන්න සැකයක්.“ ලීලාරත්න සිය හඬ අවදි කළේ එසේයි.

තිස් වසරක යුද්ධයක් නිමා කළ ශ්‍රී ලංකාව නැවතත් නැගී සිටීමේ උත්සාහයක නිරත වන බවත් ඒත් අන්තවාදීන් නැවතත් රට ආපස්සට ගෙන යාමේ මෙහෙයුම් දිගින් දිගටම දියත් කරන බවත් පැවසෙනවා. ඔබ කොහොමද මෙය දකින්නේ ?

දැන් ඔබ කියනා අන්තවාදීන් පිරිස් ශීඝ්‍රයෙන් අඩුවෙලා. එවැනි යුගයකයි අපි ජීවත්වෙන්නේ. ඒ වගේම ඔවුන්ගේ ප්‍රතිපත්ති, ක්‍රියාකාරකම් පවා දැන් පොදු මහජනයා අනුමත කරන්නේ නැහැ. ඒක පොදු කාරණාවක්.හැබැයි අන්තවාදීන් නිකම්ම ඇතිවුණේත් නැහැ. ඔවුන්ව දේශපාලකයන් නිර්මාණය කළ පිරිසක්.ඉතින් ආර්ථික ප්‍රශ්න හමුවේ ඔවුනුත් ඒවාට මැදිවෙනවා.විශේෂයෙන්ම කාලාන්තරයක් තිස්සේ පවතින නිසි අධ්‍යාපන ප්‍රතිපත්තියක් නැතිකමත් මීට බලපෑවා.ඒ වගේම මේ මොහොතේදිත් එය බලපාමින් පවතිනවා. අද හොඳ මොළයක් තිබෙන පිරිස් වෙනුවට කර්මාන්තශාලාවකට අවශ්‍ය කරන ඇණ,මුරැච්චි පමණක් බිහිවී තිබෙන්නේ මේ නිසයි.ඒ හින්දා අධ්‍යාපන ක්‍රමය මඟින් අවිචාරශීලී ජනතාවක් ඇතිවුණාට වඩා ඇති කළා කියලායි මට හිතෙන්නේ. ඒක ළඟ එන මැතිවරණයේදී හොඳින්ම පෙනේවි.
එසේ නම් ඔබ කියන්නේ දහතුන්වැනි සංශෝධනය ජනතාවට අදාළ නොවේය කියාද ?.

දෙමළ ජනතාව සහ දෙමළ දේශපාලකයෝ කියන්නේ කොටස් දෙකක්. දේශපාලකයෝ තමයි තමන්ගේ බලය තහවුරැ කර ගැනීමට මිනිසුන්ව ජාති,ආගම්වලට වෙන්කර ගන්නේ. ඔවුන්ට ජාතිවාද, ආගම්වාද ආදි විෂබීජ කවන්නේත් ඔවුන්. ඒත් ඇත්තටම බැලුවොත් උතුරේ ජීවත් වන දෙමළ ජනතාවට දහතුන් වැනි සංශෝධනය පිළිබඳ වගක්වත් නැහැ.ඔවුන් තමන්ගේ දේවල් කරගෙන සිටිනවා.මගේ දෙමළ සහෘදයන් පවා,ඇතැම් උගතුන් පවා තමන්ගේ ළමයින් උගැන්වීමට පිටරට යවන්න තමයි උත්සාහ කරන්නේ. ඒකයි අලුත්ම තත්ත්වය. ඒත් ඔතන ප්‍රශ්නේ තිබෙන්නේ ඉඩම් බලතල සමග ‍දෙමළ ජනතාවගේ තේසවලාමේ නීතිය ගැටීමයි.මොකද මේ නීතියට අනුව ඔවුන්ගේ ඉඩම් තමන්ගේ ජාතියේ කෙනෙකුට හැරෙන්නට වෙනත් ජාතිකයකුට විකුණන්න තහනම්. ඒක දිගු ඉතිහාසයක් තිබෙන නීතියක්.ඒ නිසායි ඔවුන් නීතිගරැක පැත්තෙන් මේ නීතිය රකින්න උත්සාහ කරන්නේ.

කොහොම වුණත් පිටරට ගිය දෙමළ සහෘදයන් නම් නැවතත් කැමැතියි තමන්ගේ මව්රටට එන්න.ඒ පිටරටවල සිටීමෙන් තමන්ගේ සංස්කෘතිය අහිමි වේවිය කියලා බියකුත් ඔවුන්ට තිබෙන හින්දයි. මොකද ඔවුන් ඩයස්පෝරාවට අයිති නැහැ. ඒත් යම් යම් අවස්ථාවලදී ජීවත්වීම සඳහා ඒ රටේදී ඔවුන්ටත් යම් යම් තීරණ ගන්න වෙනවා. ඒක තමයි සමහරැ උලුප්පා දක්වන්නේ.

අනික ඉස්සර වතුකරයේ තිබුණේ එක් පක්ෂයක් පමණයි.ඒ ලංකා ජාතික කම්කරැ කොංග්‍රසය පමණයි. ඒත් අද කීයක් තියෙනවද ? ඒ කියන්නේ බල තණ්හාව වැඩිවෙලා. ඒ වගේම තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් දෙමළ මිනිසුන්ව කොටස්වලට බෙදාගැනීමත් වැඩිවෙලා.ඒ නිසා අද සිදුවෙන්නේ දෙමළ මිනිසුන්ගේ ප්‍රශ්න යට යෑමක් මිසෙක ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමක් නෙමෙයි.හැබැයි දෙමළ ජනතාවට ඕනෑ කරන්නේ සතුටින් ජිවත් වෙන්නයි.නැතුව රට බෙදාගන්න නෙමෙයි. රාජ්‍ය පරිපාලනයේදී ඔවුන්ට භාෂාව නිසා යම් අපහසුතා පැන නගිනවා තමයි.ඒත් ඒවා විසඳාගත හැකි ප්‍රශ්න. ඒ නිසා ඒවාට නිසි රාජ්‍ය මැදිහත්වීමක් තමයි අවශ්‍ය වෙන්නේ.අනික තමිල්නාඩුවේදී ස්වාමීන් වහන්සේ නමකට පහර දීම පිටුපස තිබෙන්නේත්,බුද්ධ ගයාවට පහර දීම පිටුපස තිබෙන්නේත් මොකක්ද කියලා අපිට ඒක නිවැරදි ලෙස විග්‍රහ කර ගත්තොත් පේනවා.එතැන තිබෙන්නේ දේශපාලන ප්‍රශ්නයක්. එහෙම නැතුව බුදුන් වහන්සේ උපන් දේශයේ මෙවැනි දේ සිදුවෙන්නේ නැහැ. එල්.ටී.ටී.ඊ. ප්‍රශ්නය වුණත් නිර්මාණය කළේ දේශපාලඥයන්.අනික ඒ කාලේ දෙමළ මිනිස්සු සහ සිංහල මිනිස්සු ජීවත් වුණේ එක පවුලක් වගෙයි.ඒ නිසා ඒ කාලේ සිංහල මිනිසුන් යාපනයට ඇවිත් බේකරි කර්මාන්ත ශාලා පවා කරගෙන ගියා.දෙමළ වෛද්‍යවරැන් ආදී විවිධ රාජ්‍ය සේවකයන් දකුණේත් සේවය කළා.මේවා නැති කළේ බලලෝභී දේශපාලඥයන්.

එසේ නම් මෙසේ ජනතාවගේ ප්‍රශ්න යට ගහන මෙම ලාංකීය දේශපාලන ක්‍රමයට හොඳ ඉතිහාසයක් තිබෙනවා.එතෙක් සාහිත්‍යකරැවා මොකද කළේ ?

සාහිත්‍යකරැවා තමන්ගේ යුතුකම ඉෂ්ට කළා.දිගින් දිගටම එහි නියැලී සිටියා.මමත් මගේ “හිරැ උදාවේ සාපය* කෘතියෙන් ඒ පිළිබඳ ජනතාව ගැඹුරින් දැනුම්වත් කළා.ඒත් ජනතාව ඒවා ග්‍රහනය කර ගන්නේ නැත්නම් එතැනින් එහාට අපි මොකද කරන්නේ ? අනික ලංකාවේ තරම් රෑපවාහිනියේ බණ කියන කිසිම රටක් නැහැ.ඒත් ඒ තරමට ලංකාවේ ජාතික සමගිය ගොඩනැගිලත් නැහැ.හැබැයි මීගමුව වගේ ප්‍රදේශවල සිංහල,දෙමළ, මුස්ලිම් මිනිසුන් එක පවුලක් වගේ ජිවත්වෙනවා.ආගමික උත්සවවලදී ඔවුන් එකාවන්ව කටයුතු කරනවා.එහෙනම් ඇයි ඒක  ආදර්ශයට ගන්න බැරි ?

ඒත් මේ මොහොතේදිත් මතුපිටින් නොපෙනුණත් නව මාධ්‍ය හරහා මුස්ලිම් අන්තවාදී පිරිස් සමාජයට අහිතකර ක්‍රියාකාරකම්වල නිරතවන බව කියැවෙනවා.මේක කොහොමද දකින්නේ ?


එතැන නම් මම අන්තවාදයක් දකින්නේ නැහැ.අපි පොදුවේ සමාජයක් වශයෙන් අහන දකින දේ අනුව තමයි මේක අන්තවාදයක් කියලා කියන්නේ.අපිට සන්නිවේදනය වෙන දේවල් අනුවයි අපි ක්‍රියා කරන්නේ.ඒත් ඒ සන්නිවේදනය වෙන දේවල් නිර්මාණය කරන්නේ බටහිර රටවල්.උදාහරණයක් විදිහට හෙට අපේ රටේ නායකයා කවුද කියලා තීරණය කරන්නේ බටහිර රටවල්.ඒ නිසා මේ සත්‍යය අපි තේරැම් ගත යුතුයි. එහෙම නැත්නම් අපිට සිද්ධවෙන්නේ ඔවුන්ගේ න්‍යාය පත්‍රවලට වැඩ කරන්නයි. අනික ඔවුන් කරන හැම දෙයක්ම අනුමත කරන්න අපි ලෑස්ති නැහැ. මොකද ලිබියාවට,ඉරාකයට වෙච්ච දේ අපි දන්නවා. හැබැයි කාලයක් තිස්සේ පැවතුණු හලාල් ප්‍රශ්නේදී මුස්ලිම් මිනිස්සුන්ගෙන් ගත යුත්තක් තිබුණා.අපි ගව මස් කන්න එපා කියනවා.ඒත් ඔවුන් ඌරැ මස් කන්නේ නැත්තේ ඇයි කියලා හොයන්නේ නැහැ.ඒත් එහි විද්‍යාත්මක පැත්තක් තිබෙනවා.ඒ නිසා මෙතැන කෙරෙන්නේ මිනිස්සුන්ගේ ප්‍රධාන ප්‍රශ්න අමතක කරවීමට ඔවුන්ගේ මනස් වෙනත් වෙනත් දිශානතින්ට යොමු කිරීමක්.ඒත් ජනමාධ්‍යයේ දියුණුවත් සමග මිනිසුන් දැන් බුද්ධිමත් වෙලා.බුද්ධිමතුන් දේශපාලනයට යාම අඩුවෙලා තිබෙන්නේ මේ නිසයි.

ශ්‍රී ලංකාව කුඩා රටක්. ඒත් ශ්‍රී ලංකාව උතුරේ පොලිස් බලතල,ඉඩම් බලතල ගැන කෑ මොර දෙනවා. නමුත් ජාතීන් රාශියක් ජීවත් වන ඉන්දියාව ලොව දෙවැනි බලවත් ආර්ථිකය හිමි රාජ්‍යය බවට පත්වෙලා. විශේෂයෙන්ම ඔවුන් ඉන්දියානු සළකුණ යටතේ ජාත්‍යන්තරය ජයගෙන තිබෙනවා ?

මීට පදනම සැකසුණේ ඉන්දියානු නිදහස් අරගලයේදි.එහිදී මිනිසුන් ලක්ෂ ගාණක් මැරැණා.ඒ නිසා ඔවුන් තුළ අපට වඩා ජාතික හැඟීමක් තියෙනවා.උදාහරණයක් විදිහට අද තමිල්නාඩුවට ගිහින් බැලුවොත් හිඟන්නෙකු අතේ පවා “හින්දු* පත්තරය තියෙනවා.ඔවුන් ඒ පත්තරේ තියාගෙන සිටින්නේ හරිම අභිමානයෙන්.ඒ නිසා ඉන්දියාවේ සෑම පුරවැසියෙකු තුළම තමන් ඉන්දියන්කාරයෙකු කියන හැඟීම නිරන්තරයෙන්ම තිබෙනවා.ඒක එහි සිටින මුස්ලිම් ජාතිකයන් පවා සිතන්නේ එහෙමයි. අනික රටට අවශ්‍ය බොහෝ දේවල් ඔවුන් තමන්ගේ රටේම නිපදවා ගන්නවා.පිටරටත් යවනවා.ඒත් අපේ රටට මොකද වෙලා තියෙන්නේ ? ලංකාවේ ටයර් සංස්ථාව පවා බිඳ වැටිලා.පොහොර සංස්ථාව කඩා වැටිලා. මේ සංස්ථා හොඳට තිබුණා නම් බස් ගාස්තු, අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් වැඩි කරන්න ඕනේ නැහැ. ඒ නිසා අපේ රටේ කර්මාන්ත ටික දියුණු කර ගැනීමයි කළ යුත්තේ. නැතුව ලංකාවට ඇවිල්ලා කර්මාන්ත ආරම්භ කරන්න කියලා විදේශිකයන්ට කියලා හරියන්නේ නැහැ. අනික අද තමිල්නාඩුව ජලය නැතුව තමන්ගේ වගා කටයුතු කරගන්න බැරැව දඟලනවා. ඒක මම අත්දැකීමෙන් දන්නවා. ඒ නිසා ඔවුන් දැන් වැසි ජලය එකතු කිරීමේ ව්‍යාපෘතියක් දියත් කරලයි තියෙන්නේ. ඒත් ලාංකික අපට මේ සියල්ල ලැබිලත්, අපේ ආර්ථිකය කඩා වැටිලා.අපේ ජාතික හැඟීමත් එහෙමයි.අපට මහරුජින නිදහස ලබා දුන්නේ නිකම් පිනට වගෙයි.අනුකම්පා කරලා වගෙයි. අපේ ජාතික වීරයෝ සටන් කළා තමයි. ඒත් ඉන්දියාව කළ මහා සටන නිසා ලංකාවට නිදහස නොදී බැරිකමටයි අපට 

නිදහස ලැබුණේ.     

Saturday, July 13, 2013

බාප්පොච්චි

2011/11/08

 මාලන් විදානපතිරණ 

    හිරැ උදාවුව ද එය වෙනදා මෙන් සිය ආඩම්බරය නො පෙන්වූයේය. එහෙත් වෙනදා මෙන්ම උදා වූ ඒ හිරැ මට ඉතා වැදගත් දවසක් ගෙන ආවේය. එදා උසස් පෙළ ප‍්‍රතිඵල පැමිණෙන දිනයයි. කුමන ප‍්‍රතිඵලයක් පැමිණිය ද එයට නොපැකිළව මුහුණු දෙමියි යන අදිටනින් පාසැල වෙත පිය නැගූ මා පැසැලට ඇතුළු වත්ම පිරිසක් විසින් මා වටලන්නට විය. ඒ මාගේ යහළු යෙහෙළියන් කැළයි. ඔවුන්ගේ අපරිමිත ප‍්‍රශංසායි. ඔවුන් අතරින් ඉතා අපහසුවෙන් රිංගා ප‍්‍රතිඵල ලේඛනය කරා පිය නැගූ මා හට එය දැන්වූයේ පාසැලේ ඉහළම ප‍්‍රතිඵලයට හිමිකම් කියන්නේ මා බවයි. ඒ අනුව මා හට ගණකාධිකරණ විෂය ධාරාවෙන් කොළඹ පිහිටි විශ්ව විද්‍යාලයකට ඇතුළත් වීමට හැකියාව තිබිණ. මා තෝරා ගත්තේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයි. ප‍්‍රතිඵල දුටු මොහොතේ සිත තුළ කඳුළ මුසු සතුටක් ඇතිවූයේ නියර මතින් දුව පනිමින්, ගමේ කොල්ලෝ කුරැට්ටෝ හා එක්ව ගමේ කෙල්ලන්ට විහිළු තහළු කරමින්, ගෙවූ ජීවිතයට සමු දෙමින්, වැඩිදුර අධ්‍යාපනය තකා ගම හැරදා කොළඹ යා යුතු නිසාවෙනි.

    මා වරකට දෙවරකට වඩා කොළඹ ගොස් නැත. මේ නිසා මා තුළ කොළඹ පිළිබඳ අනියත බියක් ද ගොඩනැගෙමින් තිබිණ. මා පාසැල් සමයේ කොළඹ ගියේ අප්පච්චි සමගය. ඒ තවමත් විවාහ වී නොමැති පොඩි කාලයේදී ම ගමෙන් පැන ගිය ඔහුගේ මල්ලී බැලීමටය. අප්පච්චිගේ මල්ලී දක්ෂ ව්‍යාපාරිකයෙකි. කොළඹ අවට පවතින රත්තරන් වෙළඳසල් කිහිපයකම අයිතිකරැවා ඔහුය.

    විශ්ව විද්‍යාලය සඳහා වැඩිදුර අධ්‍යාපනය තකා යන්නේ නම් මා ජයගත යුතු තවත් අභියෝගයක් වූයේ එහිදි මාගේ වියදම් මටම බලාගන්නට සිදුවීමය. ඒ අප්පච්චි මීට දෙමසකට පෙර සිය රුකියාවෙන් විශ‍්‍රාම යාම නිසාය. අප්පච්චි, මා හට මාගේ වියදම් මා හටම බලාගන්නට යැයි නොපැවසුව ද නිවසේ පවතින ආර්ථික තත්ත්වය මත කටක් හැර ඔහුගෙන් මුදල් ඉල්ලා, තවදුරටත් ඉගෙනීමට මම අසමර්ථයෙක්මි.

    හෝරාවෙන්  හෝරාවෙන් ගෙවුණේ ජ’පුරට යන මාවත කෙමෙන් කෙමෙන් එළි පෙහෙළි කරමිනි. අවසානයේදී මම විශ්ව විද්‍යාලයට ඇතුළු වූයෙමි. අමුතුම තාලයේ සමාජ සංස්කෘතියකට ඇතුළු වූවා සේ දැනුනු ඒ ස්ථානයේ සිටි බොහොමයක් දෙනා මා වැනි ගම්බද සිසුහුය. ඔව්හු ද සිය විය පැහැදම් කොළඹ අවට සුළු සුළු රුකියා කරමින් පිරිමසාගන්තෝ වුහ. ඒ අතර මා සමග නායකත්ව පුහුණුවේදී මිත‍්‍ර වූ අජිත් ද විය.

‘‘
මචං උඹලා කොහේද බං හැමදාම හවසට යන්නේ අඩෝ මටත් හොයලා දීපන්කෝ ඔය වගේ ජොබ් කට්ටක් ’’ මම දිනක් අජිත් මෙසේ රාතී‍්‍ර සුළු රුකියාවකට ගොස් යළි විශ්ව විද්‍යාල නේවාසිකාගාරයට පැමිණි මොහොතේ ඇසුවෙමි.

‘‘
මාත් බොහොම අමාරැවෙන් බං මේ ජොබ් කට්ට හොයා ගත්තේ. අනික ඒ වගේ ජොබ් උඹලට හරියන්නේ නැහැ  ’’ අජිත්ගේ පිළිතුර විය

‘‘
එහෙම කියන්න එපා බං උඹලා අපි එකම බෝට්ටුවේ එවුන්නේ. එහෙම සවුත්තුව දාන්න එපා’’

‘‘
බලමු බලමු ’’

    ඔහු එසේ කිවා මිස දින ගණනාවක් යන තුරැ ඒ පිළිබඳව වචනයකුදු නොහෙළුවේය. එහෙත් ඔහු පිළිබඳ බලාපොරොත්තු නොතැබූ, ඒ පිළිබඳ නොතැකූ මා සුළු රුකියාවක් හෝ ලබා ගනිමියි සිතා කොළඹ බඩ නොගෑ ස්ථානයක් නොමැති තරම්ය. එහෙත් මාගේ වෑයම වක්කඩේ හකුරැ හැංගුවා වැනි විය.

    අකමැත්තෙන් වුව ද පළමු අවුරැද්ද පියා විසින් දුන් මුදල්වලින් පවත්වාගෙන ගිය මට නත්තල් දිනයට පෙරදා නම් වාසනාවන්ත දිනයක් විය ඒ මාගේ තවත් සමීපතම මිතුරකු වන සම්පත් සුබදායක පණිවිඩයක් රුගෙන පැමිණිමයි. 

‘‘
මචං උඹ ජොබ් එකක් හොයා හොයා හිටියා නේද ? ’’

‘‘
ඔව් ඔව් මචං ඇයි තියෙනවාද ? කොහේද තියෙන්නේ ? කීයටද ? මොන වගේ එකක්ද ? ’’ 

‘‘
පොඩ්ඩක් හිටපන්කෝ දඟලන්නේ නැතිව කියනකං’’

‘‘
හරි ඉතින් කියපන්කෝ තටමන්නේ නැතිව’’

‘‘
පොට් එකනං මේ ළඟ’’

‘‘
කොහේද ඉතින් කියහන්කෝ කොහේ උනාම මොකද බං මේ වෙලාවේ හැටියට අපායේ තියෙනවා කිව්වත්  එතෙන්ට යන සයිස් එකෙයි මං ඉන්නේ ’’   

‘‘
අපායේ නම් නෙමේ බං. මේ ළඟ. එහෙනං මං සෙට් කරලා දෙන්නං. උඹ කැමතියි නේ ?’’

“‘‘ එකෙන්ම. ඒත් මේ මොනවද එතැන කරන්න තියෙන්නේ කිව්වේ නෑනේ?’’

‘‘
“ඒක මං යනකොට කියන්නම්කෝ ’’

‘‘
හා හා ’’

    මම ‘හා හා’ කී නමුදු මෙය කිනම් සේවයක් ඉටු කළ යුතු රුකියාවක්දැයි දැන නොසිටියෙමි. අර්ථ විරහිතව තුෂ්නිම්භූතව සවස දේශනයට සවන් දුන්නේ රාත‍්‍රී හතට පමණ ඔහු මා කැඳවාගෙන යාමට පැමිණෙන බව දැන්වූ බැවිනි.

    රාතී‍්‍ර හතට පැමිණෙන බව පැවසූ ඔහු හයයි හතළිස් පහ වන විටම මා සොයා පැමිණයේ මා සූදානම්දැයි පරීක්ෂා කිරිමටය. එහෙත් මා හයයි තිහ වන විටම සියලූ වැඩපළ අහවර කර තිබුණු බැවින් සිත තුළ කරණම් ගැසුවේ අධ්‍යාපන කටයුතු පිළිබඳ අභියෝග නොව රුකියා ස්ථානයේදී කුමන අභියෝගයන්ට මුහුණ දිමට සිදුවන්නේ ද යන්න නොදන්නාකම නිසාය

‘‘
මචං මම උඹට ඊයේ කිව්වේ හතට ලෑස්ති වෙලා ඉන්න කියලා නේද ? අනේ මචං සොරි මචං එදා හදිස්සියට වෙලාව වැරදුණා. මොකද හතට තමා වෑන් එක එන්නේ.’’

‘‘
එල එල ඒකේ කේස් එක්ක නෑ බං. මං වැඩ ටික අහවරයක් කරගෙන උඹ එනකල් තමා මේ බලා උන්නේ ’’

‘‘
මචං හැමදාම අපිව එක්කගෙන යන්න ඔය වෑන් එක එනවා. අපි කිව්වේ තව කොල්ලො සෙට් එකක්ම ඉන්නවා කැම්පස් එකේ අපිත් එක්කම යන. උඹට බයවෙන්න දෙයක් නෑ එතනදී.  අන්න වෑන් එක ආවා වරෙන් යං. මං වැඩේ ගානට ලොක්කට කියලා සෙට් කරන්නං. උඹ එතනදී හ්ම් නොකියා හිටපනං හොඳේ’’

‘‘
හරි හරි බං. මං එල කිරට වැඬේ කරන්නම්කෝ වැඬේ වෙනවා නම්’’

‘‘
එල කොල්ලෝ වරෙන් එහෙනම් අපි යං’’

    වෑන් රිය නතර කළේ ප‍්‍රසිද්ධ ස්ථානයක් ඉදිරිපිටය එය කුමක්දැයි මා දැන සිටියේ නැත. එය අඳු වැටීගෙන එන ගොම්මන් යාමය බැවින් එම ස්ථානය හරිහැටි හඳුනාගැනීමට නොහැකි වූ මට හරිහැටි පෙනුණේ නාම පුවරැවේ ‘සමාජය’ යන්න පමණකි.
    ඒ සඳහා පැමිණියේ අතෙහි රන් මුදු දෙක තුන පැළඳ ගත් ලක්ෂ ගණනක් වටිනා මාල පැළඳගත් මහා ධනවතුන්ය. එහෙත් විශ‍්‍රාම සුවයෙන් පසුවන වයසේ උදවිය ද ඉඳ හිට මෙතැනට නොපැමිණියා ම නොවේ.

    මට පැවරී තිබුණේ එම පාරිභෝගිකයන් පිළීගැනීමේ කවුළුවයි. බැලූ බැල්මට භාරදූර කාර්යයක් නොවූ එම කාර්යය සතුටින් බාරගත් මා ඉතා  ඕනෑකමින් පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගනිමින් හැකි උපරිම අයුරින් එම සේවය ඉටු කළේය. මා හට පැවරී තිබුණේ පැමිණෙන පාරිභෝගිකයන් පිළිගෙන, ඔවුන් මා වැනි ගම්බද ප‍්‍රදේශවලින් පැමිණි යෞවනයේ පසුවන සුරෑපී ලලනාවන් වෙත යොමු කිරිමයි. එයින් ඔබ්බට එම ස්ථානයේ සිදුවන කි‍්‍රයාවලිය මා දැන සිටියේ නැත.

    එහෙත් මිතුරන් එම ස්ථානය පිළිබඳ නේවාසිකාගාරයේදී ඉතා සෙමින් රහස් බස් පවසන ස්වරයෙන් නිතර නිතර මට ද ඒ පිළිබඳව සැක සංකා ඇති නොවුණා ම නොවේ. එහෙත්  පිළිගැනීමේ නිලධාරී වැනි තනතුරක්  හිමි වූ බැවින් එවන් වැරැුදි දෙයක් ඇතුළත සිදුවුව ද තමන් එවැන්නකට හසු නොවන බැවින් එවැනි සිතුවිලි හටගත් ක්‍ෂණයෙන් ඒවා අමතක කළෙමි.මෙසේ මම මේ රුකියාව කිසිවකුගේ බාධාවකින් තොරව මාගේ සියලූ විය පැහැදම් ඉටුකර ගනිමින් අවසන් වසරේ මුල් කාර්තුව වන තුරැ ඉදිරියටම පවත්වාගෙන ගියෙමි. 
 
’‘
පුතේ දැන් කොහොමද වැඩ කටයුතු ’’අම්මා නිවාඩුවට ගමට පැමිණී මොහොතක ඇසුවේය.

‘‘
හොඳයි අපෙ අම්මේ වැඩ ටික කෙරීගෙන යනවා ’’මම පිළිතුරැ දුනිමි.

‘‘
“තනියම ඇහැක්ය වැඩ ටික කරගන්න’’

‘‘
ඇහැකි විදිහට කරගෙන යනවා. අම්මලා ඒවා ගැන වද වෙන්න  ඕනෙ නෑ ’’

‘‘
එහෙමෙයි කියලා කොහොමෙයි අපිත් දැනගන්න එපායැ උඹලාගේ වගතුග ’’

‘‘
පොඩි ජොබ් කට්ටක් මට යාළුවෙක් හොයලා දුන්නා ඒකෙන් මට මගේ වැඩ ටික කර ගත්තැහැකි ’’

‘‘
දැන් මොකක්ද ඔය මහ පොඩි ජොබ් කට්ට ? ’’මෙතෙක් වේලා සියල්ල ම ඉතා සාවධානව අසා සිටි අප්පච්චි ඇසුවේය.

‘‘
පිළිගැනීමේ නිලධාරී’’

‘‘
ඒක හොඳා. ඒ කොහොම වුණත් උඹ පරිස්සෙමෙන් පුතේ ’’

‘‘
පුතා ට රත්නත‍්‍රයේ ම පිහිටයි ! ’’ මා අම්මාගේ පෙතුල නමඳින විට ඈ පැතුවාය.

    දිනෙන් දින ම මෙවැනි ස්ථාන පිළිබඳ නරක ආරංචි පැතිරැණ ද ඈතින් ඉතා වේගයෙන් දිව එන වෑන් රථයේ හඬ දැන් ළඟ ළඟම ඇසේ. ඒ වේලාව සවස හතට ආසන්න බැවිනි. ඒ සමගම වේගයෙන් දිවෙන සෙරෙප්පු අඩි ශබ්දය ද ළඟ ළඟම කණ වැකේ. එම අඩි ශබ්දය සමග මුසු වූ මා ද දඩි බිඩියේ වෑන් රථයට ගොඩ වූයේ පුරැද්දට මෙනි.

‘‘
අහෝ ! ඛේදයක මහත !

    මා අතින් අම්මා විසින් මා නිවසින් පිටව යන මොහොතේ මා කර බැඳි සුරය බිඳී ගියේ මා ද විස්මයකට පත් කරමිනි. එහෙත් මෙය එය යළි එකලස් කිරීමට කාලය නොවේ. එය පසෙකින් තැබූ මම මගේ රාජකාරිය වෙත දිව ගියෙමි.

    මුල් පාරිභොගියන් වෙනදා මෙන් ම සුපුරැදු අයවුලන් ම විය. දැන් රාතී‍්‍ර 9 පසු වී ඇත. තව නොබෝ වේලාවකින් මාගේ වැඩ කටයුතු අහවර වීමට නියමිතය. එහෙත් තවත් පාරිභොගිකයෙක් මා දෙසට පැමිණෙනු මා දුටුවෙමි. මා ඔහු පිළිගැනිමට ලක ලැහැස්ති වූයෙමි.

    අඳුර නිසා මේ කවුරැන්දැයි හරිහැටි නිශ්චය කර ගැනීමට නොහැකි වූ ඔහුගේ රැව පිළිබඳ මාගේ මතකයේ සටහන් වී ඇත්තේ ලා පැහැයෙනි. ඔහු නිතර පැමිණෙන පාරිභොගිකයෙක් නොවන බව මාගේ අනුමානය විය. තරමක් උසින් යුතු වූ ඔහු වයස අවුරැදු 55කට ආසන්න පුද්ගලයෙකු වෙතැයි වෘත්තිය පළපුරුද්ද අනුව මා හට නිගමනය කළ හැකි විය. දැන් දැන් මා හට ඔහුගේ රූපය ටිකෙන් ටික පැහැදිලි වේ.

‘‘
අහෝ ! ඔහු මාගේ අප්පච්චිගේ මල්ලී ද ? ඔහු මෙහි කුමකට පැමිණියේද ? ’’

   
    මාලන් විදානපතිරණ   
 




                                                                                           
     


Sunday, July 7, 2013

රජ්ජුරුවෝ උඩයි උඩයි - 2012/09/04 - GO Magazine



ඒ රජකම ගෙනයන හැටි තවම නොදන්නා

මාලන් විදානපතිරණ

ශ්‍රී ලංකාව තුළ නිදහස්, ක්‍රමානුකූල දේශපාලන රටාවක් නිර්මාණය වන්නේ 1948 වසරින් අනතුරැවයි. රජ පෙළපත් ක්‍රමය අහෝසි වී ඒ වෙනුවට අගමැති, ජනාධිපති වැනි පදවි තානාන්තර පැමිණෙන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙසයි. එහෙත් නිදහස් ද්වීපයක් බවට පත්වීමට එදා සිට අද දක්වාම සිහින මැවූ අප, එදා සිට කොටුවී සිට ඇත්තේ එකම පාලන තන්ත්‍රයකට බව මේ වන විට සක්සුදක් සේ පැහැදිලි කරැණකි. එනිසා රජු හෝ පාලක පක්ෂයක් පාලන තන්ත්‍රයේ සුක්කානම අතට ගත් විට,අනෙක් පාර්ශ්වය එම සුක්කානම අතට ගැනීමට දත කනු විනා කිසිවකුටත් රටේ අභිවෘද්ධිය උදෙසා පැහැදිලි එක්සත් වැඩපිළිවෙළක් කරා යොමුවීමට අවශ්‍යතාවයක් නොවූ බව ද දැන් මනාව පැහැදිලි වේ.ඒ ශ්‍රී ලාංකීය දේශපාලන ක්‍රමය තුළ වාදනය වන්නේ එකම තැටිය බැවිනි. මේ නිසා මෙය එක් අතකින් ශ්‍රී ලංකාවට පමණක් අනන්‍ය වූ ලක්ෂණයක් සේ ද සැළකිය හැක. මේ අතර එවන් තේමාවක් වස්තු විෂය කර ගත් අපූරැ ගීතයක් ප්‍රවීණ ගායක එඩ්වඩ් ජයකොඩි අතින් මීට බොහෝ කලකට ඉහතදී ගායනා විය. තරමක් යල් පැන ගිය සංස්කෘතියක් පිළිබඳ කියැවෙන්නක් සේ මතුපිටාර්ථයෙන් හැඳන්විය හැකි මේ ගීතය බොහෝ දෙනා හඳුන්වන්නේ ළමා ගීතයක් වශයෙනි.එහෙත් මෙය ළමා ගීතයක් පමණක්මද? අපි මඳකට ඒ ගීතය සඳහා අවධානය යොමු කරමු.

රජ්ජුරැවෝ උඩයි උඩයි
මිටි කොල්ලෝ බිමයි බිමයි
මතකද ඒ පුංචි අපේ සෙල්ලම් කාලේ
පුංචි අපිත් එක මොහොතක් රජ වුණි බාලේ

කුඩා කල අප සැමගේ සිහිනයක් වන්නේ ඉරටුවලින් අමුණන ලද කොස්කොළ තොප්පි පළඳමින් රජුවීමටයි. කෙළිදෙළෙන් කාලය ගත කළ අපට එය ප්‍රීතියක් ගෙන දුන් ක්‍රීඩාවක් වූයේ රජු වූ විට තමන් අණ කරන ඕනෑම දෙයක් අනෙකුන් කළ යුතු වීම නිසාවෙනි.එනිසාවෙන් අප සෑම දිනකම උත්සාහ කළේ කෙසේ හෝ රජකම ලබාගනිමිනි. එනිසා සෑම දිනකම පාහේ මේ ක්‍රීඩාව ආරම්භ කිරීමටත් මත්තෙන් එකම කුකුල් පොරයකි. එනිසා අපට ක්‍රීඩාවෙන් වැඩි කාලයක් කැප කිරීමට සිදුවූයේ රජකම ලබාගනු පිණිසය.රජකම් කරන්නට ලැබෙන්නේ සුළු කාලයකි.ඒ අප එහෙන් මෙහෙන් අඳුර වැටීගෙන එන කල නිවෙස් බලා යා යුතු බැවිනි.කෙසේ වෙතත් මෙම ක්‍රීඩාවේදී කෙනෙකු රජු වූ විට අනෙකුන් මිටි කොල්ලෝ බවට පත්වේ. ගීතයේ ස්ථායි කොටසේ ප්‍රධාන අරමුණ කුඩා කල අප කළ මෙම ක්‍රීඩාව නැවත සිහිපත් කරමින් අප සියල්ලෝම යළි බාල කාලයට ගෙන යාමයි.

කොස්කොළ ගෙන ඔටුනු හදලා හිස පළඳින්ටා
සිංහාසනයක් අතගා එහි රජවෙන්නා
යුක්තිය පසිඳාලන්නට නඩු විසඳන්නා
වැරුදි හොයා රජු කාටත් දඬුවම් දෙන්නා

අපි එකල ඔටුනු සෑදීමට විශාල පරිශ්‍රමයක් දැරැවෙමු. විශාල කාලයක් කැප කළෙමු.  එහෙත් අප එයින් ලැබූ ආස්වාදය අපරිමිතය.සිංහාසනයක් තැනීමට මෙන්ම ඒ සඳහා සුදුසු ස්ථානයක් සොයා බැලීමට ද ක්‍රීඩාවෙන් විශාල කාලයක් කැප කළ අපි එයින් ද විශාල ආස්වාදයක් ලැබුවෙමු.රජු තම කාර්යය ආරම්භ කරන්නේ ඉන්පසුවයි.කුඩා කල අප අසා ඇති රජවරැ යුක්තිය පසිඳලූ බැවින් අපි ද එසේ සෙල්ලමට මෙන් කළෙමු.බොරැ නඩු විසඳුවෙමු. බොරැ වැරුදි සොයා බොරැ දඬුවම් දුන්නෙමු.එය අප එකල පොඩිකමට සිතූ හැටිය. අප ක්‍රීඩාවේ ප්‍රමුඛතා ලැයිස්තුවට අනුව යුක්තිය පසිඳලීම,දඬුවම් දීම,වැරුදි සෙවීම ආදිය පසුපෙළ කාර්යයන් සේ සැළකුවේ ඒනිසාවෙනි. ගීතයේ පළමු අන්තරා කොටස එසේ අපට රජ කෙනෙකු පිළිබඳ කුඩා අවදියේදී අප සිතූ අයුරැ සිහිගන්වයි.


එහෙත් ගීතයේ සම්පූර්ණ හරය අඩංගු වී ඇත්තේ දෙවැනි අන්තරා කොටසය.

එකෙක් ඇතෙකු වී රජු ඒ ඇතු පිට යන්නා
කෙසෙල් පතුරැ කඩුව අරන් යුද්ධ කරන්නා
එකින් එකා පොරකාගෙන රජකම ගන්නා
ඒ රජකම ගෙනයන හැටි තවම නොදන්නා

අප වීරත්වයට කැමැතිය.කඩු හරඹ දස්කම් දක්වමින් සටන් කරන්නා රජෙකු බවත්, වීරයෙකු බවත් ජන ව්‍යවහාරයේ විශ්වාසයයි.අනෙක් අතට සිරිලක තුළ අද කඩු නොවෙතත් ඒ සඳහා තුවක්කු තිබෙන බැවින් ද මේ දෙකෙහිම අරමුණ සටන බැවින් කඩුවේ හෝ තුවක්කුවේ හෝ බෝම්බයේ හෝ වැඩි වෙනසක් නොමැත. එනිසා බලය ලබා ගැනීම සඳහා කෙරෙනා අරගලය තවමත් අවසන් වී නොමැත.ඇතැම් විට අද පවතින අරගලය හෙට නැවතෙනු ඇත. එහෙත් එවිට තවත් පිරිසක් බලය ලබාගත්තවුන් බලයෙන් පහකිරීමට බලා සිටියි. එනිසා සමාජ ප්‍රශ්න,ආර්ථික ප්‍රශ්න,සංස්කෘතික ප්‍රශ්න ආදියට සෘජු පිළිතුරක් ලබාදෙන පාලන පද්ධතියක් ශ්‍රී ලංකාවේ තවමත් නිර්මාණය වී නොමැත.ඒ සඳහා උත්සාහ කරනා බවක් පෙනෙන තෙක් මානයක ද නොමැත.එනිසා කිසිදු දේශපාලඥයකුට එවැන්නක් පිළිබඳ සිහිනයකින් පෙනෙන්නේදැයි යන්න ද ප්‍රශ්නාර්ථයකි.අවසන ගී පද රචකයා බලයට පත්වන කිසිදු රජයක් තම පාලනය පවත්වාගෙන යන්නේ කෙසේද, සමාජයේ දැවෙන ප්‍රශ්න කවරේද  ආදිය එක් පදයකින් ඉතා නිර්මාණශිලිව ප්‍රශ්න කරන්නේ එනිසාවෙනි.එහෙත් ශ්‍රී ලංකාව නමැති දූපතෙන් පිටමං වූ විට දක්නට ලැබෙන්නේ පාලකයා සහ පාලිතයා අතර ඉතා කිට්ටු සබඳතාවයක් දක්නට ඇති බවයි. බොහෝ රටවල පාලක පක්ෂය සාමාන්‍ය ජනයා පරිද්දෙන්ම කඩෙන් බඩුගන්නා අතර ඔවුන් හමුවීමට පාලිතයාට කිසිදු වේලාවක් වෙන් කරවා ගත යුතු නොවේ.එනිසා එම රටවල පාලකයා, ජනයාට වඩා පහළ මට්ටමක සිටින අතර පාලිතයාගේ ඡන්ද බලය ඉතා ප්‍රබල මට්ටමක පවතී. ගෙවල් ගානේ යමින් ඡන්ද හිඟා නොකන එම රටවල පාලකයා විසින් පාලිතයාගෙන් ඡන්ද බලය ලබා ගන්නේ තම කෙරැවාව තුළින් මිසක කයිවාරැවෙන් නොවේ.