Showing posts with label කෙටි කතා. Show all posts
Showing posts with label කෙටි කතා. Show all posts

Wednesday, November 13, 2013

රෝහිත් තමයි “ක්‍රිෂ් 3* චිත්‍රපටයේ සුපිරි වීරයා බොලිවුඩ් නළු රිතික් රෝෂන්



රෝහිත් තමයි “ක්‍රිෂ් 3* චිත්‍රපටයේ සුපිරි වීරයා

බොලිවුඩ් නළු රිතික් රෝෂන්

මාලන් ගෝවින්ද

මේ දිනවල බොක්ස් ඔෆිස් තබමින් දිවයින පුරා සිනමාහල්වල තිරගත වන හින්දි චිත්‍රපටය “ක්‍රිෂ් 3* වේ.සුපිරි නළු ෂාරැක් ඛාන්ගේ චෙන්නායි එක්ස්ප්‍රෙස් චිත්‍රපටය තැබූ ඇතැම් වාර්තා පවා දැනටමත් බිඳ හෙළීමට සමත් වී ඇති මෙම චිත්‍රපටය ඉදිරියේදී බොක්ස් ඔෆිස් වාර්තා කිහිපයකටම හිමිකම් කියනු ඇතැයි වාර්තා වේ.ඒ අනුව රිතික් රෝෂන් ප්‍රධාන චරිතය නිරෑපණය කරන මෙම චිත්‍රපටය පිළිබඳ ඔහුගේ අදහස් කවරේදැයි සොයා බැලීමට අපට සිත්විය.මේ ඔහු ඒ පිළිබඳ කළ සම්මුඛ සාකච්ඡාවක සටහනකි.   

මීට පෙර චිත්‍රපට කොටස්වලට සාපේක්ෂව මේ චිත්‍රපටයේ චරිතය කොහොමද වෙනස් වෙන්නේ ?

රෝහිත් තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය.ඒ වගේම මෙහි වැදගත්ම චරිතය වෙන්නේත් රෝහිත්. ඒත් මීට කලින් වුණේ ක්‍රිෂ්ණා ප්‍රධාන චරිතය බවට පත්වීමයි.ඒ අනුව මම මෙහි රෝහිත් විදිහට චිත්‍රපටයෙන් කොටස් දෙකහමාරකට වඩා රඟපානවා. රෝහිත් තමයි ක්‍රිෂ් 3 චිත්‍රපටයේ සුපිරි වීරයා.හැබැයි ඔහු හරිම හැඟුම්බර චරිතයක්. ඔහු ආදරෙන් මුසපත් වෙන චරිතයක්.ඒ වගේම හරිම සුහදයි.ඒ නිසා මම පවා මේ චරිතයට හරිම ආදරෙයි.මට ලැබුණු ලස්සන චරිතයක් මේක.

ඒත් චිත්‍රපටයේ රෑගතකිරීම් අතරතුර විවිධ අනතුරැවලට ලක්වුණා නේද ?

ඔව්.ඒත් සාමාන්‍යයෙන් ඕනැම නළුවකුට මේ වගේ දේවල්වලට මුහුණදෙන්න සිද්ධවෙනවා.අනික ලේසියෙන් අපිට කිසිදෙයක් ලබාගන්න බැහැ.හැබැයි මේ අනතුර නම් ටිකක් දරැණු වුණා.ඒත්මම ඒක අභියෝගයක් විදිහට භාරගත්තා.ඒ නිසා මම ඒ තුළින්ම අලුත් පණක් ලැබුවා.අලුත් අභියෝග, අලුත් අවදානම් දරන්න එයින් මට අලුත් පෙරහුරැවක් ලැබුණා.ඒ හින්දා මොන අනතුරක්,අවදානමක් ආවාත් ඒවාට අපි මානසිකව සටන් කරන විදිහයි වඩා වැදගත් වෙන්නේ.

ඒත් ඔබ තාමත් ඒ වේදනාවෙන් දුක් විඳිනවා ?

වේදනාව නියත දෙයක්. අනිවාර්යයෙන්ම අපි වේදනාවට පුරැදු වෙන්න ඕනේ.ඒත් මේ වේදනාව විඳිනවාද විඳවනවා කියන එක තමන්ගේ තීරණයක්.අපි වේදනාව විඳින්න පුරැදු වුණත් එයත් අපේ ජීවිතේ යාළුවෙක් වෙනවා.ඒ නිසා ඉදිරියට යාමේදී, යමක් නිර්මාණ කිරීමේදී අපිට වේදනාව අවශ්‍යයයි.අනික ලෝකයේ හැම නිර්මාණයකටම පාදක වෙලා තියෙන්නේ ඔවුන්ගේ පෞද්ගලික අත්දැකීම්.ඒ නිසා වේදනාව කියන්නේ නරක දෙයක් නෙමෙයි.

මේ චිත්‍රපටයෙන් ක්‍රිෂ් චිත්‍රපට මාලාව අවසන් වෙනවද ?

කිසිසේත්ම නැහැ.මේක ආරම්භයක් පමණයි.දැන් තමයි සුපිරි වීරයා තිරයට ආවේ.මුල් කොටසේදි අපි කළේ ඔවුන්ගේ පවුලේ මිනිස්සු පිළිබඳව,චිත්‍රපටයයේ කතාවට පසුබිම පිළිබඳව ප්‍රේක්ෂකයාට අවබෝධයක් ලබා දීමයි.දැන් අලුත් චිත්‍රපටයේදි අලුත්ම සතුරන් නිර්මාණය වෙනවා.අමුතු ප්‍රතිවාදියෙක්.ඒත් සුපිරි දුෂ්ටයෙක්. සුපිරි ප්‍රතිවාදියෙක්.ඒ නිසා විස්තර කරන්නත් ආසා විදිහටයි මේ කතාව නිර්මාණය වෙන්නේ. අනික අපි හඳුන්වා දුන් මේ සතුරැ කොට්ඨාසය ගැන ප්‍රේක්ෂකයාට මීට පෙර කිසිම අත්දැකීමක් නැහැ.රයිනෝ මිනිස්සු,කූඹි මිනිස්සු,ගෙඹි මිනිස්සු,ගෝනුසු කාන්තාවන්, චීටා කාන්තාවන් මේ චිත්‍රපටයේදි තමයි තිරයට පැමිණෙන්නේ.

ක්‍රිෂ් 3 චිත්‍රපටය ගැන ඔබේ දැක්ම මොන වගේද ?

අපි මේ චිත්‍රපටයේදි හිතුවේ නැති අභියෝග හුඟකට මුහුණ පෑවා.සමහර රෑප රාමුවලදී ස්පයිඩර්මෑන් චිත්‍රපටයක වියදම මීට යට වුණා.ඒත් දැන් හොලිවුඩ් චිත්‍රපටයක් වුණත් විශාල පිරිවැයක් දරමින් නිෂ්පාදනය කරන්නේ නැහැ.ඔවුන් පවා තමන්ගේ ඇස්තමේන්තුගත වියදම අඩු කර ගන්නයි දැන් උත්සාහ කරන්නේ.කොහොම වුණත් සමස්තයක් විදිහට අපි මේ චිත්‍රපටයේදී විශාල මුල්‍යමය අර්බුදයකට මුහුණ පෑවේ නැහැ. ඒක මේ චිත්‍රපටයට වාසනාව ගෙන ආවා.

ඔබ මේ චිත්‍රපටය තිරගත වීමත් සමග එංගලන්ත ප්‍රේක්ෂකයන් හමුවෙන්න 
සිනේවර්ල්ඩ් ෆෙල්ට්හැම් වෙත ගියා.කොහොමද ප්‍රතිචාර ?

මට හිතාගන්න බැහැ.උණුසුම් පිළිගැනීමක් අපිට ලැබුණා.මම මීට කලින් වතාවේ එහේ ගිය වෙලාවේ දැක්ක මූණූ කීපයකුත් එතැනදි දැක්කා.ඒ නිසා ඒ මොහොත හරියට නැවතත් අපි එකතු වුණා වගේ මොහොතක්.ඒ වගේම චිත්‍රපටයෙන් පස්සේ මට තේරැණා අපේ චිත්‍රපටය ඔවුන් හොඳින් රසවිඳපු බව.ඔවුන් චිත්‍රපටය අවසානයේ මාව හිතපු නැති විදිහට අගය කළේ ඒ නිසා වෙන්න ඇති.

Saturday, July 13, 2013

බාප්පොච්චි

2011/11/08

 මාලන් විදානපතිරණ 

    හිරැ උදාවුව ද එය වෙනදා මෙන් සිය ආඩම්බරය නො පෙන්වූයේය. එහෙත් වෙනදා මෙන්ම උදා වූ ඒ හිරැ මට ඉතා වැදගත් දවසක් ගෙන ආවේය. එදා උසස් පෙළ ප‍්‍රතිඵල පැමිණෙන දිනයයි. කුමන ප‍්‍රතිඵලයක් පැමිණිය ද එයට නොපැකිළව මුහුණු දෙමියි යන අදිටනින් පාසැල වෙත පිය නැගූ මා පැසැලට ඇතුළු වත්ම පිරිසක් විසින් මා වටලන්නට විය. ඒ මාගේ යහළු යෙහෙළියන් කැළයි. ඔවුන්ගේ අපරිමිත ප‍්‍රශංසායි. ඔවුන් අතරින් ඉතා අපහසුවෙන් රිංගා ප‍්‍රතිඵල ලේඛනය කරා පිය නැගූ මා හට එය දැන්වූයේ පාසැලේ ඉහළම ප‍්‍රතිඵලයට හිමිකම් කියන්නේ මා බවයි. ඒ අනුව මා හට ගණකාධිකරණ විෂය ධාරාවෙන් කොළඹ පිහිටි විශ්ව විද්‍යාලයකට ඇතුළත් වීමට හැකියාව තිබිණ. මා තෝරා ගත්තේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයි. ප‍්‍රතිඵල දුටු මොහොතේ සිත තුළ කඳුළ මුසු සතුටක් ඇතිවූයේ නියර මතින් දුව පනිමින්, ගමේ කොල්ලෝ කුරැට්ටෝ හා එක්ව ගමේ කෙල්ලන්ට විහිළු තහළු කරමින්, ගෙවූ ජීවිතයට සමු දෙමින්, වැඩිදුර අධ්‍යාපනය තකා ගම හැරදා කොළඹ යා යුතු නිසාවෙනි.

    මා වරකට දෙවරකට වඩා කොළඹ ගොස් නැත. මේ නිසා මා තුළ කොළඹ පිළිබඳ අනියත බියක් ද ගොඩනැගෙමින් තිබිණ. මා පාසැල් සමයේ කොළඹ ගියේ අප්පච්චි සමගය. ඒ තවමත් විවාහ වී නොමැති පොඩි කාලයේදී ම ගමෙන් පැන ගිය ඔහුගේ මල්ලී බැලීමටය. අප්පච්චිගේ මල්ලී දක්ෂ ව්‍යාපාරිකයෙකි. කොළඹ අවට පවතින රත්තරන් වෙළඳසල් කිහිපයකම අයිතිකරැවා ඔහුය.

    විශ්ව විද්‍යාලය සඳහා වැඩිදුර අධ්‍යාපනය තකා යන්නේ නම් මා ජයගත යුතු තවත් අභියෝගයක් වූයේ එහිදි මාගේ වියදම් මටම බලාගන්නට සිදුවීමය. ඒ අප්පච්චි මීට දෙමසකට පෙර සිය රුකියාවෙන් විශ‍්‍රාම යාම නිසාය. අප්පච්චි, මා හට මාගේ වියදම් මා හටම බලාගන්නට යැයි නොපැවසුව ද නිවසේ පවතින ආර්ථික තත්ත්වය මත කටක් හැර ඔහුගෙන් මුදල් ඉල්ලා, තවදුරටත් ඉගෙනීමට මම අසමර්ථයෙක්මි.

    හෝරාවෙන්  හෝරාවෙන් ගෙවුණේ ජ’පුරට යන මාවත කෙමෙන් කෙමෙන් එළි පෙහෙළි කරමිනි. අවසානයේදී මම විශ්ව විද්‍යාලයට ඇතුළු වූයෙමි. අමුතුම තාලයේ සමාජ සංස්කෘතියකට ඇතුළු වූවා සේ දැනුනු ඒ ස්ථානයේ සිටි බොහොමයක් දෙනා මා වැනි ගම්බද සිසුහුය. ඔව්හු ද සිය විය පැහැදම් කොළඹ අවට සුළු සුළු රුකියා කරමින් පිරිමසාගන්තෝ වුහ. ඒ අතර මා සමග නායකත්ව පුහුණුවේදී මිත‍්‍ර වූ අජිත් ද විය.

‘‘
මචං උඹලා කොහේද බං හැමදාම හවසට යන්නේ අඩෝ මටත් හොයලා දීපන්කෝ ඔය වගේ ජොබ් කට්ටක් ’’ මම දිනක් අජිත් මෙසේ රාතී‍්‍ර සුළු රුකියාවකට ගොස් යළි විශ්ව විද්‍යාල නේවාසිකාගාරයට පැමිණි මොහොතේ ඇසුවෙමි.

‘‘
මාත් බොහොම අමාරැවෙන් බං මේ ජොබ් කට්ට හොයා ගත්තේ. අනික ඒ වගේ ජොබ් උඹලට හරියන්නේ නැහැ  ’’ අජිත්ගේ පිළිතුර විය

‘‘
එහෙම කියන්න එපා බං උඹලා අපි එකම බෝට්ටුවේ එවුන්නේ. එහෙම සවුත්තුව දාන්න එපා’’

‘‘
බලමු බලමු ’’

    ඔහු එසේ කිවා මිස දින ගණනාවක් යන තුරැ ඒ පිළිබඳව වචනයකුදු නොහෙළුවේය. එහෙත් ඔහු පිළිබඳ බලාපොරොත්තු නොතැබූ, ඒ පිළිබඳ නොතැකූ මා සුළු රුකියාවක් හෝ ලබා ගනිමියි සිතා කොළඹ බඩ නොගෑ ස්ථානයක් නොමැති තරම්ය. එහෙත් මාගේ වෑයම වක්කඩේ හකුරැ හැංගුවා වැනි විය.

    අකමැත්තෙන් වුව ද පළමු අවුරැද්ද පියා විසින් දුන් මුදල්වලින් පවත්වාගෙන ගිය මට නත්තල් දිනයට පෙරදා නම් වාසනාවන්ත දිනයක් විය ඒ මාගේ තවත් සමීපතම මිතුරකු වන සම්පත් සුබදායක පණිවිඩයක් රුගෙන පැමිණිමයි. 

‘‘
මචං උඹ ජොබ් එකක් හොයා හොයා හිටියා නේද ? ’’

‘‘
ඔව් ඔව් මචං ඇයි තියෙනවාද ? කොහේද තියෙන්නේ ? කීයටද ? මොන වගේ එකක්ද ? ’’ 

‘‘
පොඩ්ඩක් හිටපන්කෝ දඟලන්නේ නැතිව කියනකං’’

‘‘
හරි ඉතින් කියපන්කෝ තටමන්නේ නැතිව’’

‘‘
පොට් එකනං මේ ළඟ’’

‘‘
කොහේද ඉතින් කියහන්කෝ කොහේ උනාම මොකද බං මේ වෙලාවේ හැටියට අපායේ තියෙනවා කිව්වත්  එතෙන්ට යන සයිස් එකෙයි මං ඉන්නේ ’’   

‘‘
අපායේ නම් නෙමේ බං. මේ ළඟ. එහෙනං මං සෙට් කරලා දෙන්නං. උඹ කැමතියි නේ ?’’

“‘‘ එකෙන්ම. ඒත් මේ මොනවද එතැන කරන්න තියෙන්නේ කිව්වේ නෑනේ?’’

‘‘
“ඒක මං යනකොට කියන්නම්කෝ ’’

‘‘
හා හා ’’

    මම ‘හා හා’ කී නමුදු මෙය කිනම් සේවයක් ඉටු කළ යුතු රුකියාවක්දැයි දැන නොසිටියෙමි. අර්ථ විරහිතව තුෂ්නිම්භූතව සවස දේශනයට සවන් දුන්නේ රාත‍්‍රී හතට පමණ ඔහු මා කැඳවාගෙන යාමට පැමිණෙන බව දැන්වූ බැවිනි.

    රාතී‍්‍ර හතට පැමිණෙන බව පැවසූ ඔහු හයයි හතළිස් පහ වන විටම මා සොයා පැමිණයේ මා සූදානම්දැයි පරීක්ෂා කිරිමටය. එහෙත් මා හයයි තිහ වන විටම සියලූ වැඩපළ අහවර කර තිබුණු බැවින් සිත තුළ කරණම් ගැසුවේ අධ්‍යාපන කටයුතු පිළිබඳ අභියෝග නොව රුකියා ස්ථානයේදී කුමන අභියෝගයන්ට මුහුණ දිමට සිදුවන්නේ ද යන්න නොදන්නාකම නිසාය

‘‘
මචං මම උඹට ඊයේ කිව්වේ හතට ලෑස්ති වෙලා ඉන්න කියලා නේද ? අනේ මචං සොරි මචං එදා හදිස්සියට වෙලාව වැරදුණා. මොකද හතට තමා වෑන් එක එන්නේ.’’

‘‘
එල එල ඒකේ කේස් එක්ක නෑ බං. මං වැඩ ටික අහවරයක් කරගෙන උඹ එනකල් තමා මේ බලා උන්නේ ’’

‘‘
මචං හැමදාම අපිව එක්කගෙන යන්න ඔය වෑන් එක එනවා. අපි කිව්වේ තව කොල්ලො සෙට් එකක්ම ඉන්නවා කැම්පස් එකේ අපිත් එක්කම යන. උඹට බයවෙන්න දෙයක් නෑ එතනදී.  අන්න වෑන් එක ආවා වරෙන් යං. මං වැඩේ ගානට ලොක්කට කියලා සෙට් කරන්නං. උඹ එතනදී හ්ම් නොකියා හිටපනං හොඳේ’’

‘‘
හරි හරි බං. මං එල කිරට වැඬේ කරන්නම්කෝ වැඬේ වෙනවා නම්’’

‘‘
එල කොල්ලෝ වරෙන් එහෙනම් අපි යං’’

    වෑන් රිය නතර කළේ ප‍්‍රසිද්ධ ස්ථානයක් ඉදිරිපිටය එය කුමක්දැයි මා දැන සිටියේ නැත. එය අඳු වැටීගෙන එන ගොම්මන් යාමය බැවින් එම ස්ථානය හරිහැටි හඳුනාගැනීමට නොහැකි වූ මට හරිහැටි පෙනුණේ නාම පුවරැවේ ‘සමාජය’ යන්න පමණකි.
    ඒ සඳහා පැමිණියේ අතෙහි රන් මුදු දෙක තුන පැළඳ ගත් ලක්ෂ ගණනක් වටිනා මාල පැළඳගත් මහා ධනවතුන්ය. එහෙත් විශ‍්‍රාම සුවයෙන් පසුවන වයසේ උදවිය ද ඉඳ හිට මෙතැනට නොපැමිණියා ම නොවේ.

    මට පැවරී තිබුණේ එම පාරිභෝගිකයන් පිළීගැනීමේ කවුළුවයි. බැලූ බැල්මට භාරදූර කාර්යයක් නොවූ එම කාර්යය සතුටින් බාරගත් මා ඉතා  ඕනෑකමින් පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගනිමින් හැකි උපරිම අයුරින් එම සේවය ඉටු කළේය. මා හට පැවරී තිබුණේ පැමිණෙන පාරිභෝගිකයන් පිළිගෙන, ඔවුන් මා වැනි ගම්බද ප‍්‍රදේශවලින් පැමිණි යෞවනයේ පසුවන සුරෑපී ලලනාවන් වෙත යොමු කිරිමයි. එයින් ඔබ්බට එම ස්ථානයේ සිදුවන කි‍්‍රයාවලිය මා දැන සිටියේ නැත.

    එහෙත් මිතුරන් එම ස්ථානය පිළිබඳ නේවාසිකාගාරයේදී ඉතා සෙමින් රහස් බස් පවසන ස්වරයෙන් නිතර නිතර මට ද ඒ පිළිබඳව සැක සංකා ඇති නොවුණා ම නොවේ. එහෙත්  පිළිගැනීමේ නිලධාරී වැනි තනතුරක්  හිමි වූ බැවින් එවන් වැරැුදි දෙයක් ඇතුළත සිදුවුව ද තමන් එවැන්නකට හසු නොවන බැවින් එවැනි සිතුවිලි හටගත් ක්‍ෂණයෙන් ඒවා අමතක කළෙමි.මෙසේ මම මේ රුකියාව කිසිවකුගේ බාධාවකින් තොරව මාගේ සියලූ විය පැහැදම් ඉටුකර ගනිමින් අවසන් වසරේ මුල් කාර්තුව වන තුරැ ඉදිරියටම පවත්වාගෙන ගියෙමි. 
 
’‘
පුතේ දැන් කොහොමද වැඩ කටයුතු ’’අම්මා නිවාඩුවට ගමට පැමිණී මොහොතක ඇසුවේය.

‘‘
හොඳයි අපෙ අම්මේ වැඩ ටික කෙරීගෙන යනවා ’’මම පිළිතුරැ දුනිමි.

‘‘
“තනියම ඇහැක්ය වැඩ ටික කරගන්න’’

‘‘
ඇහැකි විදිහට කරගෙන යනවා. අම්මලා ඒවා ගැන වද වෙන්න  ඕනෙ නෑ ’’

‘‘
එහෙමෙයි කියලා කොහොමෙයි අපිත් දැනගන්න එපායැ උඹලාගේ වගතුග ’’

‘‘
පොඩි ජොබ් කට්ටක් මට යාළුවෙක් හොයලා දුන්නා ඒකෙන් මට මගේ වැඩ ටික කර ගත්තැහැකි ’’

‘‘
දැන් මොකක්ද ඔය මහ පොඩි ජොබ් කට්ට ? ’’මෙතෙක් වේලා සියල්ල ම ඉතා සාවධානව අසා සිටි අප්පච්චි ඇසුවේය.

‘‘
පිළිගැනීමේ නිලධාරී’’

‘‘
ඒක හොඳා. ඒ කොහොම වුණත් උඹ පරිස්සෙමෙන් පුතේ ’’

‘‘
පුතා ට රත්නත‍්‍රයේ ම පිහිටයි ! ’’ මා අම්මාගේ පෙතුල නමඳින විට ඈ පැතුවාය.

    දිනෙන් දින ම මෙවැනි ස්ථාන පිළිබඳ නරක ආරංචි පැතිරැණ ද ඈතින් ඉතා වේගයෙන් දිව එන වෑන් රථයේ හඬ දැන් ළඟ ළඟම ඇසේ. ඒ වේලාව සවස හතට ආසන්න බැවිනි. ඒ සමගම වේගයෙන් දිවෙන සෙරෙප්පු අඩි ශබ්දය ද ළඟ ළඟම කණ වැකේ. එම අඩි ශබ්දය සමග මුසු වූ මා ද දඩි බිඩියේ වෑන් රථයට ගොඩ වූයේ පුරැද්දට මෙනි.

‘‘
අහෝ ! ඛේදයක මහත !

    මා අතින් අම්මා විසින් මා නිවසින් පිටව යන මොහොතේ මා කර බැඳි සුරය බිඳී ගියේ මා ද විස්මයකට පත් කරමිනි. එහෙත් මෙය එය යළි එකලස් කිරීමට කාලය නොවේ. එය පසෙකින් තැබූ මම මගේ රාජකාරිය වෙත දිව ගියෙමි.

    මුල් පාරිභොගියන් වෙනදා මෙන් ම සුපුරැදු අයවුලන් ම විය. දැන් රාතී‍්‍ර 9 පසු වී ඇත. තව නොබෝ වේලාවකින් මාගේ වැඩ කටයුතු අහවර වීමට නියමිතය. එහෙත් තවත් පාරිභොගිකයෙක් මා දෙසට පැමිණෙනු මා දුටුවෙමි. මා ඔහු පිළිගැනිමට ලක ලැහැස්ති වූයෙමි.

    අඳුර නිසා මේ කවුරැන්දැයි හරිහැටි නිශ්චය කර ගැනීමට නොහැකි වූ ඔහුගේ රැව පිළිබඳ මාගේ මතකයේ සටහන් වී ඇත්තේ ලා පැහැයෙනි. ඔහු නිතර පැමිණෙන පාරිභොගිකයෙක් නොවන බව මාගේ අනුමානය විය. තරමක් උසින් යුතු වූ ඔහු වයස අවුරැදු 55කට ආසන්න පුද්ගලයෙකු වෙතැයි වෘත්තිය පළපුරුද්ද අනුව මා හට නිගමනය කළ හැකි විය. දැන් දැන් මා හට ඔහුගේ රූපය ටිකෙන් ටික පැහැදිලි වේ.

‘‘
අහෝ ! ඔහු මාගේ අප්පච්චිගේ මල්ලී ද ? ඔහු මෙහි කුමකට පැමිණියේද ? ’’

   
    මාලන් විදානපතිරණ   
 




                                                                                           
     


Sunday, July 7, 2013

ඉස්සරහට ද පස්සටද (කෙටි කතාව) - 2013/01/05 - GO Magazine





එදත් මං පුරැදු විදිහට රස්සාවට යන්න ඩිපෝව කිට්ටුවට ගියා. ඒත් බස් එකේ කට කපලා සෙනඟ. කොහාමත් ඉතින් උදෙන් ආපු මට එච්චර පරක්කුවක් තිබුණේ නැහැ.මොකද මං බලන් හිටියේ ඩිපෝවෙන් සි.ටී.බී බස් එක පිටත් වෙනකම්.

“අම්මෝ මේ බස්වල සෙනඟ ! “ ප්‍රයිවට් බස් දැකපු මට කියවුණා.

ඒත් එතකොටම වගේ තමයි අර හිස් සී.ටී.බී බස් එක අපේ පැත්තට ආවේ.මම ඉතින් තිබ්බ හදිසියට පැන්නා පාරට. දික් කලා අත බස් එකට. හැබැයි තව පොඩ්ඩක් ඉක්මන් වුණා නම් මං මෙලහකට පොළොවේ යට. කොහොමෙන් කොහොමෙන් හරි මමත් ඔන්න බස් එකට නැග්ගා.

“අඩේ.....“ නැග්ග ගමන් මට කියවුණා.

“බස් එක හිස් වගේ පෙනුනට,අද ඒකේ තව මනුස්සයෙක් ඉන්නවනේ ?“
මමත් ඉතින් පොඩ්ඩක් ඒ මනුස්සයා ගැන විපරම් කළා. අහල පහළ කෙනෙක්ද දන්නේ නෑනේ.

“මහත්තයා කොහාටද ?“ එතකොටම තමයි කොන්දොස්තර මහත්තයා මගේ පිටට තට්ටු කළේ.

එතකොටයි මට ටිකට් ගන්න මතක් වුණේ. බලනකොට මම එතකං බලං ඉඳලා තියෙන්නේ, ඒ මනුස්සයා දිහා.

“කොල්ලුපිටියට“ මං ටිකට් ගත්තා.

ඊට පස්සේ මම ආයෙත් අර මනුස්සයා දිහා බලං හිටියා.
එයා කොණ්ඩේ ඉදුණු වයසක කෙනෙක්. ඒත් කොණ්ඩෙන් කොහොමද වයස මනින්නේ ?  ඒ මනුස්සයට ඒ හැටි වයසක් පෙනුණෙත් නැහැ.එහෙමයි මට හිතුණේ.

එතකොටම වගේ ජනේලයෙන් පාර දිහා බල බල හිටපු එයා, වටපිට බලන්න පටන් ගත්තා. හරියට බහින තැන අමතක වුණා වගේ. එතකොටයි මම ඒ මනුස්සයාව හරියටම අඳුරගත්තේ. මගේ ඇඟ හිරිවැටෙන්න ගත්තා. ඇඟ වෙව්ලන්න පටන් ගත්තා. හරියට මරන්න අරන් යන හරකෙක් වගේ.

මගේ හිත අවුරැදු 10ක් ආපස්සට ගියේ එතකොටයි. එවේලේ එදා වෙච්ච සිද්ධිය දෝංකාර දෙන්න පටන් ගත්තා.

මම එතකොට හය වසරේ.ඒ දවස්වල මම ෆුල් ජොලියේ හිටියේ. මොකද තාත්තා මට අලුත්ම අලුත් මවුන්ටන් බයිසිකලයක් අරන් දීලයි තිබුණේ. මම ඉතින් ඒක පදින්න මාර ට්‍රයි. අපේ යාළුවෝත් ඒකට ෆුල් සපෝර්ට්. මොකද අලුත්ම බයිසිකලයක්නේ. උන්ටත් ඕන කළේ මාව සතුටු කරලා බයිසිකලේ පදින්න චාන්ස් එකක් ගන්න. කොහෙන් කොහොම හරි අන්තිමට මම බයිසිකලේ බැලන්ස් කර ගත්තා. ඒත් පොඩි අන්බැලන්ස් ගතියක් නොතිබුණාම නෙමෙයි. ඒත් තනියෙන් බයිසිකලේ පදින්න පුළුවන්කමක් තිබුණා.ඉතින් මමත් අපේ කොන්ක්‍රීට් පාරේ කඟවේණා වගේ ඉගිල්ලෙන්න පටන් ගත්තා. එහාට ගියා. මෙහාට ගියා. මට දැන් මාර හැපී. ඔහොම දවසක් දෙකක් ගියා. බයිසිකලයෙන් යනකොට භුමිතෙල් බෝතලයක් ගෙනියන මනුස්සයෙක් පාරේ අයිනෙන් ගියා.මං බැලුවා පොඩි වෙට්ටුවක් දාන්න. වැඩ පෙන්නන්න මරැ චාන්ස් එක. ට්‍රයි කළේ මනුස්සයගේ ඇඟේ ගැවී නොගෑවී යන්න.ඒත් එතකොටම ඒ මනුස්සයත් එකපාර පැන්නා පාර මැද්දට. ආපු වේගෙට මටත් බයිසිකලේ ක්‍රන්ට්‍රොල් කරගන්න බැරි වුණා. අතේ තිබ්බ භුමිතෙල් බෝතලේ කුඩේ කුඩු. මෑන්ට හොඳටම මල පැන්නා.මොකද මෙච්චර ඉඩ තියෙද්දි මමත් මෝඩයා වගේ එයාගේ දිහාවටම ආවානේ.අනික මගේ බයිසිකලේ හැන්ඩ්ල් එකත් ටිකක් දිගයි. ඒ හින්දා ඒක මෑන්ගේ දකුණූ උරෙස්සේ ටිකක් සැරට වැදිලා.දැන් මෑන්ගේ ඇස් දිලිසෙනවා. අනික මගේ බයිසිකලේ පදින්න පොරකාපු එක යාළුවෙක්වත් ළඟට නැහැ. උන් ඔක්කොම ඈත ඉඳන් බලන් ඉන්නවා. හරියට හරකෙක් මරන්න ඇදන් යන හැටි බලන් ඉන්නවා වගේ.  දැන් මම බයේ වෙව්ලනවා.ඒත් මගේ වෙලාව හොඳයි. එදා මගේ මාමා කෙනෙක් ඇවිත් මාව බේරා ගත්තා.ඒත් මෑන් එතැනින් ගියේ නයි වයිරයෙන්.එහෙමයි මට හිතුණේ. ආයේ හම්බවුණොත් මාව ඉවර කරනවා. එහෙමයි ඇස්වල ලියැවිලා තිබ්බේ.ඒත් එදා ඒ ඇස් තිබුණ මෑන් අද මගේ බස් එකේ.

එතකොටම මෑන් මගේ දිහා බැලුවා. හරියට අඳුරන්නේ නැති කෙනෙක් දිහා බලනවා වගේ. ඊට පස්සේ යාන්තමින් හිනා වුණා. අනික ඒ හිනාවේ තිබ්බේ හරිම දුකක්. ඒ හිනාව හරිම බයාදු හිනාවක්. මගේ ඉස්සරහ හිටියේ දුක් කරදරවලින් හෙම්බත් වෙච්ච ඇස් දෙකක්. හකු බැහැපු මූණත්තහඩුවක්. ඇට ගැහුණු බොඩියක්. අත්වල නහර පවා පේනවා. හරියටම කිව්වොත් ජීවිතෙන් පරාද වෙච්ච කෙනෙක් තමයි එතැන හිටියේ. මම බිම බලාගෙන කල්පනා කළා. අද මම ජය මාවතට ඇවිල්ලා. මම ඒ පාර දිගේ ඉස්සරහටම යන ගමන්. ඒත් මේ මනුස්සයා ? මම ආයෙත් මේ අහිංසක මනුස්සයා දිහා බැලුවා.ඒත් එතකොට එයා එතැන නැහැ. මම වටපිට බැලුවා. මම දැක්කා එයා ආපස්සට යනවා, මගින් බැහැලා. මම ආපහු පිටපස්ස බැලුවා.මට හිතුණා ගිහින් කතා කරන්න ඕනේ කියලා. මම දොර ගාවට ගියා. හරියට බහින්න වගේ.ඒත්,

“මහත්තයා බහිනවද ? හෝල්ට් එක පහු උනානේ ?“ කොන්දොස්තර මහත්තයා මගෙන් එතකොටම වගේ ඇහුවා.

මම නැහැ කියලා ඔළුවෙන් ඔව් කිව්වා. ආයෙත් නැහැ කිව්වා. ඒත් මම දෙන්න ඕනේ මොන උත්තරේද කියලා මට තාම හිතා ගන්න බැහැ.       

මාලන් විදානපතිරණ