Showing posts with label Fillers. Show all posts
Showing posts with label Fillers. Show all posts

Friday, January 30, 2015

යුරෝපීය සිනමා උලෙළ හොරණටත් 2015/01/25 - අද

යුරෝපීය සිනමා උලෙළ හොරණටත්

මාලන් විදානපතිරණ


මීට සති කිහිපයකට ඉහතදි කොළඹදි නිමාව දුටු හත්වැනි යුරෝපීය සිනමා සම්මාන උලෙළ ප්‍රථම වතාවට හොරණ නගරයට ගෙන ඒමට කොළඹ විශ්ව විද්‍යාලයීය ශ්‍රීපාලි මණ්ඩපය සමත් විය.පසුගිය ජනවාරි 23 වැනිදා සිට 25 වැනිදා දක්වා පැවැති මීට යුරෝපීය සිනමාව පිළිබඳ කතිකාවතක්ද ඇතුළත්ව තිබීම කැපී පෙනේ. කොළඹ සිනමා ප්‍රේක්ෂක සංඛ්‍යාවට නොදෙවෙනි ප්‍රේක්ෂක සංඛ්‍යාවක් පැමිණි මෙම සිනමා උලෙළ සඳහා අනෝමා රාජකරැණා, තුමිඳු දොඩම්තැන්න, මණ්ඩපාධිපති ආචාර්ය ටියුඩර් වීරසිංහ, සිනමාව පිළිබඳ කථිකාචාර්යවරුන් වන ප්‍රියන්ත ෆොන්සේකා,චතුරිකා නිමලචන්ද්‍ර ආදීහු බොහොමයක් සහභාගි වූහ.University Filmmakers, Agenda 14 සමග සදර්ශි සංවාද කුලකය සංවිධානය කළ මෙම චිත්‍රපට උලෙළලට,විශාල තරුණ සහ පාසැල් ළමුන්ගේ උනන්දුවක් දක්නට ලැබීම කැපී පෙනුණි. මේ එහි සුවිශේෂ අවස්ථා කීපයකි. 

Saturday, June 28, 2014

පිය සෙනෙහසට කව් ගී ලියවුණා මදි -2014.06.15




පිය සෙනෙහසට කව් ගී ලියවුණා මදි



 

ජාත්‍යන්තර පියවරැන්ගේ නිමිත්තෙනි



 


මාලන් විදානපතිරණ


ප්‍රවේශයක්


අපි හැමෝම මෙලොව එළිය දකින්නේ අම්මාගෙන්.ඒ නිසා මව් පදවිය තමයි ලොව උතුම්ම පදවිය විදිහට සැළකෙන්නේ. ඒකටයි ගැහැණිය හැමදාම හීන දකින්නේත්. මොකද ඇය සමග තමයි අපි උපදින්න කලින් ඉඳන්ම සන්නිවේදනය වෙන්නේ.ඒ වගේම ඒකට තවත් හේතු බලපානවා.ඒත් ජීව විද්‍යාත්මක වශයෙන් බැලුවොත් අම්මයි තාත්තයි එකතු නොවී දරැවෙක් බිහිවෙන්නේත් නැහැ.පිරිමි හැමෝම තමන්ගේ ප්‍රතිවිරැද්ධ ලිංගිකයා සමග එක්නොවීම ප්‍රතික්ෂේප කළොත්,එහෙම නැත්නම් විවාහ වීම වර්ජනය කළොත් එදාට මුළු ලෝකයක්ම දෙදරැම් කයි.ඒ වගේ බලයක් තියෙන නිසා වෙන්න ඇති සමහර විට සමාජය තුළ පවා නොදැනුවත්වම පුරැෂාධිපත්‍යය නිර්මාණය වෙලා තියෙන්නේ.අනික අද ලංකාව ගැන සළකලා බැලුවොත් පිරිමි ජනගහණය, ගැහැණු ජනගහණයට වඩා දැඩි ලෙස අවම වෙලා තිබෙනවා. ඒත් මේ සටහන තබන්නේ අද්‍යතන යුගයේ පියවරැන් සහ මව්වරැන් ගැනයි. ඇතැම් විට මේක මව්වරැන්ට එරෙහිව ලියන ලිපියක් කියලත් කෙනෙක්ට හිතෙන්න පුළුවන්.කොහොම හිතුවත් මේක තමයි මෙවැනි ලියමනකට හොඳම අවස්ථාව.

ගෘහ මූලිකයා තාත්තාලු

අපේ සමාජයේ ගෘහ මූලිකයා තාත්තා.ඒත් ඒක හරියට අද ලංකාවේ තිබෙන අගමැති පුටුව වගේ.අනික ගෙදර වැඩිපුරම ආදරේ කාටද කියලා ඇහුවොත් බොහෝ දෙනෙක් ආදරේ අම්මට.ඒත් දුවෙක් ගෙදර ඉන්න ගෙදරක මේ තත්ත්වය යම් තාක් දුරට වෙනස් වෙන්න පුළුවන්.ඒත් අම්මා එක්ක තමයි තමන්ගේ පුද්ගලික ගනුදෙනුව කොහොමත් කෙරෙන්නේ.

“අම්මේ අද මං ක්ලාස් ඉවර වෙලා ගෙදර යන්න හදද්දි පිරිමි ළමයෙක් ඇවිත් කැමැත්ත ඇහුවා*

“ඉතින් *

“මං මුකුත් කිව්වේ නැහැ.හිනාවෙලා ආවා*

“ඔයා ඒ ළමයට කැමැතිද ?*

“අකමැත්තක් නැහැ*

මේ විදිහට සමහර වෙලාවට මුළුතැන්ගෙයට මුළුගැන්විලා තමයි මේවා සිද්ධවෙන්නේ.එහෙම නැත්නම් කාමරේට වෙලා ගෙදර දොර වහගෙන.ඉන්පස්සේ පිරිමි ළමයට දුව කැමැති නම් කරන්න ඕනැ දේවල්,රණ්ඩු සරැවල්,ආයේ වෙන්වෙන දේවල් හැම දෙයක්ම කියන්නේ අම්මාට.(මේ මුකුත් නොකියන දූවරැ නැතුවා නෙමෙයි.)
එතකොට මේක පුතාලාට සමපාත කළොත් ඒක වෙන විදිහක ගනුදෙනුවක්.

“අම්මේ අද මං ක්ලාස් එකේදි ලස්සන කෙල්ලෙක් දැක්කා.*

“ඉතින්*

“මම ඒ කෙල්ලට කැමැතියි අම්මේ*

“මම ඕවා දන්නේ නැහැ.තාත්තා දැන ගත්තොත් විසුමක් වෙන්නේ නැහැ. දැන් ඕවාද කරන්න තියෙන්නේ ? විභාගේ අත ළඟ.*

“අනේ අම්මේ !*

“හ්ම් හ්ම්*

ඉන්පස්සේ සමහර විට පිරිමි ළමයි මේ ගෑණු ළමයාගෙන් කැමැත්ත අහනවා,බැහැ කිව්වොත් ඒ දුකත් කියන්නේ අම්මට.අඬන්නේත් අම්මා ළඟ. කැමැති වුණොත් ඉන්පස්සේ වෙන දේවල් කියන්නේත් අම්මට.අනික් හැම දෙයක්ම කියන්නේත් අම්මාට.

එතකොට මේ හැම දෙයක්ම පොදුවේ ගත්තම මොකක් හරි දේකදි පුතා හෝ දුව අසරණ වුණොත් අන්න එතැනදි තමයි තාත්තාව මතක් වෙන්නේ.මොකද ඒ වගේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න තරම් හුඟක් අම්මලා ශක්තිවන්ත නැහැ. අනික් පැත්ත තමයි හැම දෙයක්ම සම්මත කරගෙන තාත්තාගේ අනුමැතිය උවමනා වෙද්දි තමයි තාත්තා කෙනෙක් ඉන්නවා කියලා සමහරැන්ට මතක් වෙන්නේ.

එහෙනම් ඇත්තටම මොකක්ද මෙතැන වෙලා තියෙන්නේ ?

ආසියානු පවුල් සංස්කෘතිය තුළ පවතින සම්ප්‍රදාය සැළකිල්ලට ගත්තොත් කුටුම්භය රක්ෂා කිරීමේ වගකීම පැවරිලා තියෙන්නේ තාත්තාට.ඒ නිසා තාත්තාට ගෙදර රුඳෙන්න තියෙන වෙලාව හුඟක් අඩුයි.ගෙදර රුඳෙන්නේ අම්මා.තාත්තා උපයන ධනය කළමණාකරණය කිරීමේ වගකීම පැවරෙන්නේ ඇයට.ඒ වගේම තාත්තා ගෙදර එනතුරැ ළමයින් රුක බලා ගැනීමේ වගකීම පැවරෙන්නේත් අම්මාට.අම්මා රුකියාවක් කළත් තාත්තාට කලින් ගෙදර එන නිසා එතැනි වාසියත් අම්මාට.
අනික කුසට ආපු වෙලේ ඉඳන් තියෙන ගනුදෙනුව නිසා ළමයි ගැන හොඳටම දන්නේත් අම්මා.බහුතරයක් එහෙමයි. හැබැයි ගෙදරින් පිටත සමාජය ගැන හොඳටම දන්නේ තාත්තා.සමාජය තුළ හොඳට තැලිලා, පොඩි වෙලා, පදම් වුණු තාත්තා, හොඳ මිනිස්සු කවුද, නරක මිනිස්සු කවුද, උගත්තු කව්ද,නූගත්තු කව්ද කියලත් හොඳටම දන්නවා.
ඒ නිසා අම්මා එක්ක මතුපිටින් කරන සාකච්ඡාව දිහා ගැඹුරින් දකින්නේ තාත්තා.ඒ නිසා ළමයි ගන්න තීරණ බොහෝ වෙලාවට වැරදෙන සම්භාවිතාවත් වැඩියි.ඒ ළමයි සහ තාත්තා අතර පවතින මත ගැටුම නිසා. ඒ හින්දා හැමදාම අන්තිමට සිදුවෙන්නේ පිය - පුතු ගැටුමක්. ඒත් මේක දූවරැන්ටත් පොදු තත්ත්වයක්.

ඒත් මේ සදාතනික සත්‍යය තේරැම්ගන්න බොහෝදෙනෙක්ට තාමත් බැහැ.මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍යයට පවා මේ තේමාව ප්‍රස්තුත වෙන්නේ මේ නිසයි.ඔහු තමන්ගේ පෞද්ගලික අත්දැකීමක් පාදක කර ගනිමින් “පුතු සෙනෙහේ සම් මස් නහර විද ඇට මිදුළු තුලටම* යන බව එම නාට්‍යයේ එක තැනකදි පවසන්නේ මේ නිසයි.ඒත් සමහරැ තමන්ගේ තාත්තාට වෛර බඳිනවා.සමහරැ තාත්තාට නිග්‍රහ කරනවා.සමහරැ අපවාද නගනවා.චෝදනා කරනවා.

හැබැයි කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ම තාත්තා කියපු බොහෝ දේවල් ඇත්ත නේද කියලා තේරැම් ගන්නවා.ඒත් එතකොට ඒක තාත්තාට කියන්න තරම් වාසනාවක් නැතිවෙනවා.සමහරැන්ට ඒක කියන්න පුළුවන් වුණත් තේරැම් ගන්නකොට බැඳ ගත්තු බෙරේ ගහන්න සිද්ධ වෙලා.
ඒත් එදිනෙදා ජිවිතයේ පුරැද්දක් විදිහට දරැවන් තමන්ගේ ප්‍රශ්න අම්මා එක්ක වගේම තාත්තා එක්කත් කියනවා නම් මේ තත්ත්වය වෙනස් වෙන්න ඉඩ තිබුණා.අනික කොච්චර වැඩ අධික වුණත් දරැවන් වෙනුවෙන් වෙලාවක් වෙන්කර ගන්න මැලි නොවන තාත්තලා,තාමත් අපිට ඉන්නවා.


තාත්තලාට කුඩම්මාගේ සැළකිළි

අපි හැමෝම දන්නවා මව්වරැන්ගේ දිනයක් තියෙනවා කියලා.දිනය කවදද කියලා අමතක වුණත් අඩුම ගාණේ එහෙම එකක් තියෙනවා කියලවත් අපි දන්නවා.ඒත් පියවරැන්ගේ දිනයක් තියෙනවා කියලා කව්ද දන්නේ? කව්ද අගය කරන්නේ? දිනයක් තිබුණත් නැතත් තාත්තා ගැන කතා කරන්න ඒක බාධාවක් නෙමෙයි වුණත් අම්මලාට සමාජය ලබා දී තිබෙන තැනත්, තාත්තලාට සමාජය ලබා දී තිබෙන තැනත් අතර ලොකු වෙනසක් මෙයින් පෙන්නුම් කෙරෙනවා. ටී.එම්.ජයරත්න ගායනා කරන “අම්මා සඳකි* ගීතය තුළින් පවා කතා කරන්නේ මේ සමාජ වටිනාකම ගැන.එවැනි ගීත පවා බිහිවෙන්නේ මෙවැනි පසුබිමක් තුළ. හැබැයි ලංකාව තුළත්,විදෙස් රටවලත් කාන්තාවන්ගේ විමුක්තිය උදෙසා විවිධ සංවිධාන කටයුතු කරනවා.ඒ වගේම නිසි තැන කියමින්, එහෙම නැතම් සම තැන කියමින් විවිධ උද්ඝෝෂණ ගෙනියනවා.විප්ලව කරනවා.ඒත් අපේ තාත්තලා කවද්ද තමන්ගේ නිසි තැන ලබාදෙන්න කියලා උද්ඝෝෂණය කළේ ?

අනාගත ඛේදවාචකය

අද වෙනකොට ලංකාව පුරාව අලුත් උප සංස්කෘතියක් ඇතිවෙමින් පවතිනවා.ඒ තමයි “ඩේ කෙයා* සංස්කෘතිය.ඒ නිසා මෙවැනි සමාජයක් තුළ ඉදිරියේදි කුමක් වේවිද කියලා අපටවත් හිතාගන්න බැහැ. තාත්තට තියා අම්මට ලැබෙන ගෞරවයවත් දරැවන්ගෙන් ලැබෙයිද කියලා හිතන්න අමාරැයි.ඒත් ඒ ගැන හිතන්නවත් දෙමාපියන්ට අද වෙලාවක් නැහැ.ළමයින්ට වෙලාවකුත් නැහැ. හැමෝම ළමයව ලොකු ඉස්කෝලෙකට දාන්න මහන්සි ගන්නවා.ඉන්පස්සේ ශිෂ්‍යත්වය පස්සේ පන්නනවා.ඉන්පස්සේ සාමාන්‍ය පෙළ. ඊට පස්සේ උසස් පෙළ.ඊට පස්සේ විශ්ව විද්‍යාලයට.බැරි වුණොත් විෂය පාඨමාලා,පරිගණක පාඨමාලා,ඉංග්‍රිසි පාඨමාලා.

එතකොට ළමයා හුස්ම ගන්නේ කොයි වෙලාවටද ? දෙමාපියෝ හුස්ම ගන්නේ කොයි වෙලාවටද ? අනික නව මාධ්‍යයත් එක්ක ළමයි ගෙදර ආවත් දෙමාපියෝ එක්ක ගනුදෙනුවක් නැහැ. තමන්ගේම ලෝකයක තනිවෙනවා.එහෙම බැලුවොත් මේ තත්ත්වය සමනය කරන්න පුළුවන් පිළියමක් තවමත් අපට පෙනෙන්නටත් නැහැ.ඒ නිසා සමාජවාදීන් කියන අන්දමට මේකත් සමාජ ක්‍රමයේම ගැටලුවක් කිව්වත් අප සැම සිතිය යුතු යමක් තියෙනවා. අම්මටයි තාත්තටයි වැඳලා යන, අවුරැද්දට එකතු වුණු,නත්තලට එකතු වුණු,දීපවාලි දවසට එකතු වුණු,හජ්ජි දවසට එකතු වුණු අපේ සංස්කෘතියට 21 වැනි සියවසේදි මොකද වුණේ ?

Wednesday, June 25, 2014

ඉන්දියාවේ ජනප්‍රියතම පියා - ෂාරැක් ඛාන්-2014.06.13



ඉන්දියාවේ ජනප්‍රියතම පියා - ෂාරැක් ඛාන්



 

හොඳම පිය පුතු දෙපළ - රන්බීර් සහ රිෂි 



 

හොඳම පියා දුව - ෂාරැක් සහ සුහානා



 

මාලන් ගෝවින්ද

ඉන්දියාවේ ජනප්‍රියතම පියා සෙවීමට කළ පසුගියදා ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත කළ මත විමසුමකින් ඉන්දියාවේ ජනප්‍රියතම පියා බවට පත්වීමට සුපිරි බොලිවුඩ් නළු ෂාරැක් ඛාන් සමත් විය.ළඟ එන පියවරැන්ගේ නිමිති කර ගනිමින් පැවැති මෙම සමීක්ෂණයේදී ෂාරැක්ට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබී ඇත්තේ ඉන්දියානු කාන්තාවන්ගෙනි.කෙසේ වෙතත් මීට හේතු වශයෙන් බොහෝ දෙනෙක් සඳහන් කර ඇත්තේ ෂාරැක් ඛාන් තුළ තම දරැවන් තිදෙනා කෙරෙහි තිබෙනා අසීමිත සෙනෙහස ඔහු සඳහා ඡන්දය භාවිතා කිරීමට පාදක වූ බවයි.ඒ අනුව ෂාරැක්ට මේ වෙනුවෙන් 42.5ක ප්‍රතිශතයක් ලැබෙද්දී, සුපිරි පිතිකරැ සචින් තෙන්ඩුල්කාර් මෙහි දෙවැනි ස්ථානයට පත් වීමට සමත්ව ඇති අතර ඔහුට හිමි වී ඇති ඡන්ද සංඛ්‍යාව සියයට 36.9කි. එසේම බොලිවුඩයේ දැවැන්තයා ලෙසින් සැළකෙන අමිතාබ් බච්චන් මෙහි තෙවැන්නා බවට පත්ව ඇති අතර ඔහුට හිමිව ඇති ඡන්ද සංඛ්‍යාව ප්‍රතිශතයක් වශයෙන් 20.6කි.

අන්තර්ජාලය ඔස්සේ කෙරැණු මෙම සමීක්ෂණයේදී වඩා ගෞරවාන්විතව ලෙස සළක පියා ලෙසින් ඇමෙරිකානු ජනාධිපති බැරුක් ඔබාමා තේරී පත්වූයේ ලෝකයේ ජනප්‍රියතම පියා ලෙසිනි.ඔහුට ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව ප්‍රතිශතයක් වශයෙන් 40.3කි. මෙහි දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ සුපිරි හොලිවුඩ් නළු විල් ස්මිත්ය.ඔහුට ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව ප්‍රතිශතයක් වශයෙන් 31.4කි.හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බේකම් මෙහි තෙවැනි ස්ථානයට පත් ඇති අතර ඔහුට ඡන්ද 15.2ක ප්‍රතිශතයක් ලැබෙද්දී මෙහි සිව්වැනි ස්ථානයට පත්වීමට සුපිරි ටෙනිස් ශූර රොජර් ෆෙඩරර් සමත්ව ඇත.ඒ සඳහා ඔහුට ඡන්ද 13.1ක ප්‍රතිශතයක් ලැබී ඇත.

එසේම හොඳම ඉන්දියානු පියා-දුව සොයා කළ මත විමසුමේදීද ප්‍රථම ස්ථානයට පත් වීමට ෂාරැක් ඛාන් සහ ඔහුගේ දියණිය සුහානා සමත්ව ඇත.ඔවුන්ට ඒ සඳහා සියයට 43.2ක ඡන්ද ප්‍රතිශතයක් ලැබී ඇත.මෙහි දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ මහේෂ් භාත් - බොලිවුඩ් නිළි ආලියා භාත්ය.ඒ සඳහා ඔවුන්ට සියයට 27.3ක ඡන්ද ප්‍රතිශතයක් ලැබී ඇත.ප්‍රකාශ් පදුකෝන්  සහ බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් මෙහි තෙවැනි ස්ථානයට පත්ව ඇති අතර ඔවුන් දෙදෙනාට මේ සඳහා සියයට 17.2ක ඡන්ද ප්‍රතිශතයක් ලැබී ඇත.එසේම මෙහි සිව්වැනි ස්ථානය දිනාගෙන ඇත්තේ බොලිවුඩ් නළු අනිල් කපූර් සහ බොලිවුඩ් නිළි සෝනම් කපූර් වීමද කැපී පෙනේ.ඔවුන්ට මේ සඳහා ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව සියයට 12.3කි.

කෙසේ වෙතත් හොඳම ඉන්දියානු පිය - පුතු දෙපළ සොයා කළ සමීක්ෂණයේදී පළමු ස්ථානයට පත් වීමට කපූර් පවුල සමත්ව ඇති අතර රිෂි කපූර් සහ රන්බීර්, මේ වෙනුවෙන් දිනාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය 33.4කි.බච්චන් පවුල මෙහි දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර ඔවුන්ට ලැබී  ඇති ඡන්ද ප්‍රතිශතය 31.2කි.ඒ අනුව සුපිරි නළු ෂාරැක් ඛාන් - ආර්යන්ට මෙහි තෙවැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුව ඇති අතර ඒ  ඔවුන්ට ඡන්ද 23.3ක ප්‍රතිශතයක් ලැබීම හේතුවෙනි. එහෙත් මෙහි සිව්වැනි ස්ථානයට පත්ව ඇත්තේ හිටපු සුපිරි ඉන්දීය පිතිකරැ සුනිල් ගවස්කාර් සහ රොහාන් ගවස්කාර්ය. ඔවුන්ට මේ වෙනුවෙන් ලැබී ඇති ඡන්ද ප්‍රතිශතය 12.1කි.


61 වැනි ඉන්දියානු රාජ්‍ය චිත්‍රපට උලෙළ -2014.05.07



61 වැනි ඉන්දියානු රාජ්‍ය චිත්‍රපට උලෙළ


හොඳම චිත්‍රපටය - Ship of Theseus



 

හොඳම හින්දි චිත්‍රපටය ජොලී එල්.එල්.බී.



 

ජනප්‍රියතම හින්දි චිත්‍රපටය - භාග් මිල්කා භාග්


මාලන් විදානපතිරණ

61 වැනි ඉන්දියානු රාජ්‍ය චිත්‍රපට උලෙළ පසුගිය 03 වැනි ඉන්දියාවේදී නිමාවට පත්විණ.කලාත්මක චිත්‍රපට සඳහා ප්‍රමුඛස්ථානයක් ලබාදෙන මෙම චිත්‍රපට උලෙළේදී හොඳම හින්දි චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත්තේ ජොලී එල්.එල්.බී. චිත්‍රපටයයි. ප්‍රනාබ් මුඛර්ජි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් පැමිණි මෙම චිත්‍රපට උලෙළේදී ජීවිත කාලයකටම එක් වතාවක් පිදෙන ගෞරව සම්මානය දිනා ගත්තේ හින්දි චිත්‍රපට විශාල සංඛ්‍යාවකට සිය පෑන් තුඩින් ගීත මැවූ ගුල්සාර්ය.

ඉන්දු ජනාධිපතිවරයාට අමතරව විශිෂ්ට නිළියක මෙන්ම ගායිකාවකද වන රාජේෂ්වරී සැච්දේව් සහ ව්ශිෂ්ට මාධ්‍යවේදිනියකද වන රයිනි සිමන් ඛන්නා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙසින් සහභාගී වූ, මෙවර උලෙළේදී සමස්ත චිත්‍රපට අතරින් හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේ Ship of Theseus ය.මෙම චිත්‍රපටයට මෙම සම්මානය ලබාදීමට ආසන්නතම හේතුව වී ඇත්තේ ඉතා සංකීර්ණ වූ නමුත් දාර්ශනික ගුණයෙන් පිරි චිත්‍රපටයක් වීමත් එහි භාවිතා කර ඇති අවභාවිත සිනමා කැමරාකරණයයි.
හොඳම අධ්‍යක්ෂරයාට හිමි සම්මානය හන්සල් මෙහ්තා විසින් ෂහීඩ් චිත්‍රපටය වෙනුවෙන් දිනා ගත් මෙම චිත්‍රපට උලෙළේ වෘත්තාන්ත නොවන චිත්‍රපට වර්ගය යටතේ සම්මාන 41ක් පිරිනැමුණු අතර වෘත්තාන්ත චිත්‍රපට යටතේ චිත්‍රපට සම්මාන 40ක් පිරිනැමුණි.

රාජ් කුමාර් (ෂහීඩ් හින්දි චිත්‍රපටය) සහ සුරජ් වෙන්ජාරාමූදු (පෙරාරියාදවර් මලයාලම් චිත්‍රපටය) අතරේ හොඳම නළුවා සම්මානය බෙදී ගිය මෙහිදී, හොඳම සහාය නළුවා ලෙසින් ජොලී එල්.එල්.බී. චිත්‍රපටය වෙනුවෙන් සව්රව් ශුක්ලාද සම්මානයට පාත්‍ර විය.

ලියාස් ඩයිස් හින්දි චිත්‍රපටයේ රඟපෑ ගීතාංජලී තාපා මෙහිදී හොඳම නිළිය සම්මානය දිනා ගත් අතර සහාය නිළිය සම්මානය දිනා ගත්තේ අම්රැතා සුභාෂ් (අස්ති) සහ ඊජිප්තියානු නිළි ආයිදා එල් කෂිෆ්ය (Ship of Theseus)ය.එහෙත් මෙහිදී ඊජිප්තියානු නිළිය මීට  නොපැමීණම නිසා මෙම සම්මානය ලබා ගත්තේ අම්රැතාය.

වෘත්තාන්තමය නොවන අංශයෙන් රන්ග්භූමී චිත්‍රපටය සම්මාන හිමිකර ගත් මෙහිදී සමාජයීය වශයෙන් වටිනා චිත්‍රපටයට පිදෙන සම්මානය දිනා ගත්තේ ගුලාබි ගැන්ග් චිත්‍රපටයයි.

අංජලී පටිල් චිත්‍රපටය වෙනුවෙන් විශේෂ ජූරියේ අවධානය දිනා ගැනීමට ළමා නළු චන්දන රෝයි සමත් වූ අතර හොඳම ඉංග්‍රීසි චිත්‍රපටයට හිමි රාජ්‍ය සම්මානය දිනා ගැනීමට  The Coffinmaker චිත්‍රපටය සමත් විය. බෙංගාලි චිත්‍රපටයක් වූ ජටිෂ්වාර් එහි මියුරැ සංගීතය වෙනුවෙන් හොඳම චිත්‍රපට සංගීතයට හිමි සම්මානය දිනා ගත් මෙහිදී චිත්‍රපට නර්තන වින්‍යාසයට හිමි සම්මානය දිනා ගත්තේ ගනේෂ් ආචාර්යාය. ඒ භාග් මිල්කා භාග් චිත්‍රපටයේ මැස්ටෝ කා ජුන්ඩ් ගීතය වෙනුවෙනි.Yellow and Miss Lovely විශේෂ ජූරියේ සම්මානය දිනා ගත් මෙහිදී ජෝන් ඒබ්‍රහම් රඟපෑ මැඩ්‍රාස් කැෆේ චිත්‍රපටය හොඳම ශබ්ද සංකලනයට හිමි සම්මානය දිනා ගත්තේය. හොඳම පසුබිම් ගායකයාට හිමි සම්මානය දිනා ගත්තේ රෑපන්කර්ය. ඒ බෙංගාලි චිත්‍රපටයක් වූ ජටිෂ්වාර් වෙනුවෙනි.

මෙහිදී භාග් මිල්කා භාග් චිත්‍රපටය ජනප්‍රියතම චිත්‍රපටයට හිමි සම්මානයද දිනා ගත් අතර නැගී එන අධ්‍යක්ෂවරයා සම්මානය දිනා ගත්තේ නාග්රාජ් මන්ජුලේය. ඒ ෆැන්ඩ්‍රි චිත්‍රපටය වෙනුවෙනි.
හොඳම ළමා චිත්‍රපටය ලෙසින් කපාල් සිනමා නිර්මාණයද,හොඳම බෙංගාලි චිත්‍රපටය ලෙස බකිතා බ්යාක්තිගතෝද සම්මානයට පාත්‍ර වූ මෙහිදී හොඳම කන්නාඩා චිත්‍රපටය ලෙස  December 1 ද,හොඳම මලයාලම් චිත්‍රපටය ලෙස North 24 Kaadhamද,හොඳම දෙමළ චිත්‍රපටය ලෙස තංගා මීන්ගල්ද, හොඳම තෙලිඟු චිත්‍රපටය ලෙස නෑ බැංගාරැ තල්ලි  චිත්‍රපටයද සම්මානයට පාත්‍ර විය.


19th Annual Critics' Choice Movie Awards - 2014.01.20



19th Annual Critics' Choice Movie Awards

මාලන් විදානපතිරණ

19 වැනි වරටත් පැවැත්වෙන චිත්‍රපට විචාරක සම්මාන උලෙළ පසුගිය 16 වැනිදා රාත්‍රියේ ඇමෙරිකාවේ සැන්ටා මොනිකාහිදී නිමාවට පත්විණ. එහිදී  වැඩි ගෞරවයක් අත්කර ගැනීමට  12 Years a Slave සහ American Hustle යන චිත්‍රපට සමත් විය.

වසරේ හොඳම චිත්‍රපටය
!2 Years a Slave (2013)
Argo (2012)
The Artist (2011)

හොඳම චිත්‍රපට අධ්‍යක්ෂවරයා
අල්ෆොන්සෝ කෝරන් (Gravity) -2013
බෙන් ඇෆ්ලෙක් (Argo) – 2012
මයිකල් හසනාවිසියස් (The Artist) -2011

වෘත්තාන්ත අංශය - හොඳම නළුවා
මැතිව් මැක්කානගී (Dallas Buyers Club) - 2013
ඩැනියෙල් ඩේ ලුවිස් (Lincoln) - 2012
ජෝර්ජ් ක්ලූනි (The Descendants)  - 2011

වෘත්තාන්ත අංශය  - හොඳම නිළිය  
කේට් බ්ලැන්චට් (Blue Jasmine) -2013
ජෙසිකා චස්ටයින් (Zero Dark Thirty) - 2012
වයලා ඩේවිස් (The Help) – 2011





වෘත්තාන්ත අංශයෙන් හොඳම සහාය නළුවා  ලෙස ජරෙඩ් ලෙතෝය. (Dallas Buyers Club)  සම්මාන දිනා ගත් අතර හොඳම සහාය නිළිය  සම්මානය දිනා ගත්තේ ලුපිටා නයොන්“ඕ (12 Years a Slave) ය.
මෙම සම්මාන උලෙළේදී හොඳම තරැණ නළුවා/නිළිය අංශයෙන් එම සම්මානය හිමිකර ගත්තේ ඇඩෙල් එක්සාර්චෝපවුලෝස්ය. ඒ ආන්දෝලනයකට තුඩු දුන් Blue is the Warmest Color චිත්‍රපටය වෙනුවෙනි.
හොඳම ස්වතන්ත්‍ර තිර රචනයට හිමි සම්මානය ස්පයික් ජෝන්සේ ( Her) දිනා ගත් අතර  හොඳම අනුවර්තිත තිර රචනය ජෝන් රිඩ්ලේ (12 Years a Slave) දිනා ගත්තේය . හොඳම සිනමා කැමරාකරණයට හිමි සම්මානය එම්මානුවෙල් ලුබෙස්කි (Gravity) දිනා ගත් මෙම උලෙළේදී හොඳම සජිවිකරණ චිත්‍රපටය ලෙසින් සම්මාන ලැබුවේ Frozen සිනමාපටයයි.එසේම මෙවර හොඳම ක්‍රියාදාම චිත්‍රපටය වූයේ  Lone Survivor චිත්‍රපටයයි

හොඳම ක්‍රියාදාම නළුවා
මාක් වෝල්බර්ග්  (Lone Survivor)-  2013
ඩැනියෙල් ක්‍රෙග් (Skyfall) - 2012

හොඳම ක්‍රියාදාම නිළිය
සැන්ඩ්‍රා බුලොක් (Gravity) - 2013
ජෙනිෆර් ලෝරන්ස් (The Hunger Games) -2012

මෙවර හොඳම හාස්‍ය/සංගීතමය චිත්‍රපටය අංශයෙන් එම සම්මානය හිමිකර ගත්තේ American Hustle  චිත්‍රපටයයි.

හොඳම හාස්‍ය/සංගීතමය නළුවා
ලියනාඩෝ ඩිකැප්‍රියෝ (The Wolf of Wall Street) - 2013
බ්‍රෑඩ්ලි කූපර් (Silver Linings Playbook)  - 2012

හොඳම හාස්‍ය/සංගීතමය නිළිය
ඇමී ඇඩම්ස් (American Hustle)  2013                      
ජෙනිෆර් ලෝරන්ස් (Silver Linings Playbook) - 2012

මේ අනුව එම සම්මාන ද්විත්වයේම ප්‍රතිඵල නිමා වූ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේ ප්‍රතිඵලයට සමාන විය.හොඳම විද්‍යාත්මක/අද්භූත චිත්‍රපටය Gravity හොඳම විදෙස් චිත්‍රපටය වූයේ ගිය වසරේ දැඩි ආන්දෝලනයකට තුඩු දුන් ප්‍රංශ චිත්‍රපටයක් වන Blue Is the Warmest Color සිනමාපටයයි.එසේම මෙහිදී හොඳම වාර්තා චිත්‍රපටය ලෙසින් සම්මාන හිමිකර ගත්තේ 20 Feet from Stardom නිර්මාණයයි.
මාලන් විදානපතිරණ
Mgovindaw@gmail.com