Sunday, July 7, 2013

රජ්ජුරුවෝ උඩයි උඩයි - 2012/09/04 - GO Magazine



ඒ රජකම ගෙනයන හැටි තවම නොදන්නා

මාලන් විදානපතිරණ

ශ්‍රී ලංකාව තුළ නිදහස්, ක්‍රමානුකූල දේශපාලන රටාවක් නිර්මාණය වන්නේ 1948 වසරින් අනතුරැවයි. රජ පෙළපත් ක්‍රමය අහෝසි වී ඒ වෙනුවට අගමැති, ජනාධිපති වැනි පදවි තානාන්තර පැමිණෙන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙසයි. එහෙත් නිදහස් ද්වීපයක් බවට පත්වීමට එදා සිට අද දක්වාම සිහින මැවූ අප, එදා සිට කොටුවී සිට ඇත්තේ එකම පාලන තන්ත්‍රයකට බව මේ වන විට සක්සුදක් සේ පැහැදිලි කරැණකි. එනිසා රජු හෝ පාලක පක්ෂයක් පාලන තන්ත්‍රයේ සුක්කානම අතට ගත් විට,අනෙක් පාර්ශ්වය එම සුක්කානම අතට ගැනීමට දත කනු විනා කිසිවකුටත් රටේ අභිවෘද්ධිය උදෙසා පැහැදිලි එක්සත් වැඩපිළිවෙළක් කරා යොමුවීමට අවශ්‍යතාවයක් නොවූ බව ද දැන් මනාව පැහැදිලි වේ.ඒ ශ්‍රී ලාංකීය දේශපාලන ක්‍රමය තුළ වාදනය වන්නේ එකම තැටිය බැවිනි. මේ නිසා මෙය එක් අතකින් ශ්‍රී ලංකාවට පමණක් අනන්‍ය වූ ලක්ෂණයක් සේ ද සැළකිය හැක. මේ අතර එවන් තේමාවක් වස්තු විෂය කර ගත් අපූරැ ගීතයක් ප්‍රවීණ ගායක එඩ්වඩ් ජයකොඩි අතින් මීට බොහෝ කලකට ඉහතදී ගායනා විය. තරමක් යල් පැන ගිය සංස්කෘතියක් පිළිබඳ කියැවෙන්නක් සේ මතුපිටාර්ථයෙන් හැඳන්විය හැකි මේ ගීතය බොහෝ දෙනා හඳුන්වන්නේ ළමා ගීතයක් වශයෙනි.එහෙත් මෙය ළමා ගීතයක් පමණක්මද? අපි මඳකට ඒ ගීතය සඳහා අවධානය යොමු කරමු.

රජ්ජුරැවෝ උඩයි උඩයි
මිටි කොල්ලෝ බිමයි බිමයි
මතකද ඒ පුංචි අපේ සෙල්ලම් කාලේ
පුංචි අපිත් එක මොහොතක් රජ වුණි බාලේ

කුඩා කල අප සැමගේ සිහිනයක් වන්නේ ඉරටුවලින් අමුණන ලද කොස්කොළ තොප්පි පළඳමින් රජුවීමටයි. කෙළිදෙළෙන් කාලය ගත කළ අපට එය ප්‍රීතියක් ගෙන දුන් ක්‍රීඩාවක් වූයේ රජු වූ විට තමන් අණ කරන ඕනෑම දෙයක් අනෙකුන් කළ යුතු වීම නිසාවෙනි.එනිසාවෙන් අප සෑම දිනකම උත්සාහ කළේ කෙසේ හෝ රජකම ලබාගනිමිනි. එනිසා සෑම දිනකම පාහේ මේ ක්‍රීඩාව ආරම්භ කිරීමටත් මත්තෙන් එකම කුකුල් පොරයකි. එනිසා අපට ක්‍රීඩාවෙන් වැඩි කාලයක් කැප කිරීමට සිදුවූයේ රජකම ලබාගනු පිණිසය.රජකම් කරන්නට ලැබෙන්නේ සුළු කාලයකි.ඒ අප එහෙන් මෙහෙන් අඳුර වැටීගෙන එන කල නිවෙස් බලා යා යුතු බැවිනි.කෙසේ වෙතත් මෙම ක්‍රීඩාවේදී කෙනෙකු රජු වූ විට අනෙකුන් මිටි කොල්ලෝ බවට පත්වේ. ගීතයේ ස්ථායි කොටසේ ප්‍රධාන අරමුණ කුඩා කල අප කළ මෙම ක්‍රීඩාව නැවත සිහිපත් කරමින් අප සියල්ලෝම යළි බාල කාලයට ගෙන යාමයි.

කොස්කොළ ගෙන ඔටුනු හදලා හිස පළඳින්ටා
සිංහාසනයක් අතගා එහි රජවෙන්නා
යුක්තිය පසිඳාලන්නට නඩු විසඳන්නා
වැරුදි හොයා රජු කාටත් දඬුවම් දෙන්නා

අපි එකල ඔටුනු සෑදීමට විශාල පරිශ්‍රමයක් දැරැවෙමු. විශාල කාලයක් කැප කළෙමු.  එහෙත් අප එයින් ලැබූ ආස්වාදය අපරිමිතය.සිංහාසනයක් තැනීමට මෙන්ම ඒ සඳහා සුදුසු ස්ථානයක් සොයා බැලීමට ද ක්‍රීඩාවෙන් විශාල කාලයක් කැප කළ අපි එයින් ද විශාල ආස්වාදයක් ලැබුවෙමු.රජු තම කාර්යය ආරම්භ කරන්නේ ඉන්පසුවයි.කුඩා කල අප අසා ඇති රජවරැ යුක්තිය පසිඳලූ බැවින් අපි ද එසේ සෙල්ලමට මෙන් කළෙමු.බොරැ නඩු විසඳුවෙමු. බොරැ වැරුදි සොයා බොරැ දඬුවම් දුන්නෙමු.එය අප එකල පොඩිකමට සිතූ හැටිය. අප ක්‍රීඩාවේ ප්‍රමුඛතා ලැයිස්තුවට අනුව යුක්තිය පසිඳලීම,දඬුවම් දීම,වැරුදි සෙවීම ආදිය පසුපෙළ කාර්යයන් සේ සැළකුවේ ඒනිසාවෙනි. ගීතයේ පළමු අන්තරා කොටස එසේ අපට රජ කෙනෙකු පිළිබඳ කුඩා අවදියේදී අප සිතූ අයුරැ සිහිගන්වයි.


එහෙත් ගීතයේ සම්පූර්ණ හරය අඩංගු වී ඇත්තේ දෙවැනි අන්තරා කොටසය.

එකෙක් ඇතෙකු වී රජු ඒ ඇතු පිට යන්නා
කෙසෙල් පතුරැ කඩුව අරන් යුද්ධ කරන්නා
එකින් එකා පොරකාගෙන රජකම ගන්නා
ඒ රජකම ගෙනයන හැටි තවම නොදන්නා

අප වීරත්වයට කැමැතිය.කඩු හරඹ දස්කම් දක්වමින් සටන් කරන්නා රජෙකු බවත්, වීරයෙකු බවත් ජන ව්‍යවහාරයේ විශ්වාසයයි.අනෙක් අතට සිරිලක තුළ අද කඩු නොවෙතත් ඒ සඳහා තුවක්කු තිබෙන බැවින් ද මේ දෙකෙහිම අරමුණ සටන බැවින් කඩුවේ හෝ තුවක්කුවේ හෝ බෝම්බයේ හෝ වැඩි වෙනසක් නොමැත. එනිසා බලය ලබා ගැනීම සඳහා කෙරෙනා අරගලය තවමත් අවසන් වී නොමැත.ඇතැම් විට අද පවතින අරගලය හෙට නැවතෙනු ඇත. එහෙත් එවිට තවත් පිරිසක් බලය ලබාගත්තවුන් බලයෙන් පහකිරීමට බලා සිටියි. එනිසා සමාජ ප්‍රශ්න,ආර්ථික ප්‍රශ්න,සංස්කෘතික ප්‍රශ්න ආදියට සෘජු පිළිතුරක් ලබාදෙන පාලන පද්ධතියක් ශ්‍රී ලංකාවේ තවමත් නිර්මාණය වී නොමැත.ඒ සඳහා උත්සාහ කරනා බවක් පෙනෙන තෙක් මානයක ද නොමැත.එනිසා කිසිදු දේශපාලඥයකුට එවැන්නක් පිළිබඳ සිහිනයකින් පෙනෙන්නේදැයි යන්න ද ප්‍රශ්නාර්ථයකි.අවසන ගී පද රචකයා බලයට පත්වන කිසිදු රජයක් තම පාලනය පවත්වාගෙන යන්නේ කෙසේද, සමාජයේ දැවෙන ප්‍රශ්න කවරේද  ආදිය එක් පදයකින් ඉතා නිර්මාණශිලිව ප්‍රශ්න කරන්නේ එනිසාවෙනි.එහෙත් ශ්‍රී ලංකාව නමැති දූපතෙන් පිටමං වූ විට දක්නට ලැබෙන්නේ පාලකයා සහ පාලිතයා අතර ඉතා කිට්ටු සබඳතාවයක් දක්නට ඇති බවයි. බොහෝ රටවල පාලක පක්ෂය සාමාන්‍ය ජනයා පරිද්දෙන්ම කඩෙන් බඩුගන්නා අතර ඔවුන් හමුවීමට පාලිතයාට කිසිදු වේලාවක් වෙන් කරවා ගත යුතු නොවේ.එනිසා එම රටවල පාලකයා, ජනයාට වඩා පහළ මට්ටමක සිටින අතර පාලිතයාගේ ඡන්ද බලය ඉතා ප්‍රබල මට්ටමක පවතී. ගෙවල් ගානේ යමින් ඡන්ද හිඟා නොකන එම රටවල පාලකයා විසින් පාලිතයාගෙන් ඡන්ද බලය ලබා ගන්නේ තම කෙරැවාව තුළින් මිසක කයිවාරැවෙන් නොවේ.


No comments:

Post a Comment